මැයි දිනය හෙටය. ඒකාබද්ධ විපක්ෂය කොළඹ ගාලු මුවදොර පිටියේ මැයි දින සැමරුමට සූදානම් වේ. “ගෝල්ෆේස්” යන අයට වැඩ වරදී යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් අනතුරු අඟවමින් සිටිති. මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා සමඟ කළ සාකච්ඡාවකි.
● ප්රශ්නය- මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් සෑහෙන දේශපාලන වාසි ගන්න ඒකාබද්ධ විපක්ෂය උත්සාහ ගත්තා?
පිළිතුර- එහෙම කිසිම උත්සාහයක් අපේ තිබුණේ නෑ. ඒක තනිකරම ඛේදවාචකයක්. අපට ඕනෑ කළේ ඒ විපතට පත් ජනතාවට පිහිටවෙන්න සහ ඔවුන්ට සාධාරණය ඉටු කරන්නයි. එහෙම නැතිව ඒකෙන් දේශපාලන වාසි ගන්න අපි උත්සාහ කළේ නෑ.
● ප්රශ්නය- ඔබ හිතන විදියට මේ විපතේ වගකීම භාරගන්න ඕනෑ කවුද?
පිළිතුර- රජය හා නිලධාරින් වගකීම භාර ගත යුතුයි. කොළඹ මහ නගර සභාව අත්තනෝමතික ලෙස කටයුතු කිරීම නිසා තමයි අද මෙම තත්ත්වය උදාවුණේ.
● ප්රශ්නය- ඔබ කොහොමද එහෙම කියන්නේ? ඔබ හිටපු මහ ඇමැතිවරයා?
පිළිතුර- මම මහ ඇමැතිවරයා වශයෙන් වැඩ භාරගන්නකොට අපිට ලැබුණු ලොකුම පැමිණිලි දෙකක් තමයි කරදියාන හා මීතොටමුල්ල කුණු කඳු දෙක. එතකොට කරදියාන සම්බන්ධයෙන් අපට මැදිහත් වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ නිසා අපි කරදියාන බාර අරගෙන කොම්පෝස්ට් අංගණ හදලා ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. පිටින් කුණු ගේන්නේ නැතිව පළාත් පාලන ආයතන හතර පහකින් කුණු අරගෙන අපි ඒ කටයුත්ත කළා.
● ප්රශ්නය- මීතොටමුල්ල කුණු කන්ද ඇතහැරියා?
පිළිතුර- නෑ. අපට ඒකට මැදිහත් වෙන්න දුන්නේ නෑ.
● ප්රශ්නය- ඒ කවුද?
පිළිතුර- ඒකට නඩු කිව්වනේ. අපි කිව්වා ඒ නඩුවට අපට මැදිහත් වෙන්න ඉඩ දෙන්න කියලා. මොකද පළාත් සභාව හැටියට අපි ඒ කාලේ මීතොටමුල්ලට කුණු ගෙනත් දානවට විරුද්ධ වුණා. අපි විරුද්ධ වුණේ ඒ කරන ක්රමවේදයටයි. ඒක පළාත් සභාවේ සම්මත වුණා. අපි ඉල්ලීමක් කළා මේකට මැදිහත් වෙන්න අවස්ථාවක් දෙන්න කියලා.
● ප්රශ්නය- නමුත් ලැබුණේ නෑ?
පිළිතුර- ඔව්, ඒ අවස්ථාව ලැබුණේ නැහැ. අවස්ථාව දුන්නේ 2016 දි. එතකොට වෙන්න ඕනෑ දේවල් වෙලා ඉවරයි. මොකද ඔය කුණු කන්ද සම්බන්ධයෙන් නඩු කියනකොට උසාවියෙන් නියෝග දුන්නේ අක්කර 4ක කුණු දාන්න කියලයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයෝජකයන්ට කාර්යාල ගොඩනැගිලි හදන්න ඉඩ තිබිය යුතුයි. අධිකරණ නියෝගයට අනුව විධිමත් ලෙස ටෙන්ඩර් දාලා ක්‍රියාත්මක කරන්න හදනකොට අක්කර දාහතේම කුණු දාලා. ඊට පස්සේ යූඩී එක මැදිහත් වෙලා මේකට විකල්පයක් හැටියට තීන්දු කළා මේ කුණු පුත්තලමට ගෙනියන්න. ඒකට තිබුණ ගැටලුව තමයි ප්‍රවාහනය. ඒ සඳහා බලන්න 2017, 2013, 2014 අවුරුදු තුනේම අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා.
● ප්රශ්නය- නමුත් වැඬේ කෙරුණේ නැහැ?
පිළිතුර- ඔව්! මුදල් වෙන් කළාට ඒක ක්‍රියාත්මක කළේ නෑ.
● ප්රශ්නය- කවුද ක්‍රියාත්මක කළේ නැත්තේ?
පිළිතුර- ඒ ඒ ආයතන. අපි ඒක ආණ්ඩුවෙන් අහන්න ඕනැ. මොකද ඔය වෙනකොට අපේ ආණ්ඩුව පෙරළිලා. 2015 ජනවාරි 8 වෙනකොට ආණ්ඩුව පෙරළිලා. ඊට පස්සේ ඒ ව්‍යාපෘති නතර වුණා. මහ බැංකු වාර්තාවල ඔය මුදල් වෙන් කිරීම් සඳහන්වෙලා තියෙනවා. ඊට කලින් හැම අවුරුද්දකම මිලියන 140ක් විතර වෙන් කරලා තියෙනවා ඔය සඳහා. හැබැයි ක්‍රියාත්මක වුණේ නෑ. එහෙම ක්‍රියාත්මක නොවුණේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ කඹ ඇදිල්ලක් තිබ්බා ආයෝජකයින් සම්බන්ධයෙන්. ඒ අයට කුණු කියන්නේ සල්ලි. එක එක්කෙනා තමන්ට හිතවත් අයට දෙන්න යම් යම් බලාපොරොත්තුවෙන් තමයි මේවා කළේ. ඒකෙ අත්වැල තමයි ජනතාව ජීවිත පූජා කිරීමට සිද්ධවීම.
● ප්රශ්නය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වේ මහ ඇමැතිවරුන්ගේ තිබුණ කඹ ඇදිල්ල නිසා මේ ප්රශ්නය විසඳන්න බැරි වුණා කියලා. ඔබයි හිටපු බස්නාහිර මහ ඇමැති?
පිළිතුර- නෑ, අපේ ආණ්ඩුව කාලේ කඹ ඇදිල්ලක් තිබුණේ නෑ. ඒකට අපට මැදිහත් වෙන්නම බැරි වුණා. ඔය දේ වුණේ මේ ආණ්ඩුව කාලේ. ඒක ඉසුරු දේවප්‍රියත් කිව්වා.
● ප්රශ්නය- ඒකාබද්ධ විපක්ෂය ඇතුළෙත් “මණ්ඩලේ කචල්” වගෙයි?
පිළිතුර- එහෙම කිසිම දෙයක් නෑ. අපි හොඳට දේශපාලන කටයුතු කරගෙන යනවා. අපට ලොකු අභියෝගයක් තියෙනවා මැයි 1 වැනිදාට ඒ අභියෝගයට මුහුණ දෙන්න අපි එකා වගේ වැඩ කරගෙන යනවා.
● ප්රශ්නය- ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු සංවිධායකවරුන් තුන් දෙනෙකු සංවිධායක තනතුරුවලින් එළියට දැම්මා?
පිළිතුර- පක්ෂයෙ නායකයෝ මේ පක්ෂය ඇදගෙන යන්නේ කොතැනටද කියලා දැන් පේනවානේ. අපේ පක්ෂයෙ නායකයෝ උපදෙස් ගන්නේ සිරිකොතෙන්. යූඑන්පී න්‍යාය පත්‍රයට අනුව තමයි මේ අය වැඩ කරන්නේ. බලන්න! ජන පදනමක් තියෙන නායකයන්ව එළියට දානවා.
● ප්රශ්නය- කොහොම වුණත් මේ තත්ත්වය ඒකාබද්ධ විපක්ෂයට රතු එළියක්?
පිළිතුර- කාටද? ඒකාබද්ධ විපක්ෂයේ අපිටද? ඕවට සැලෙන බයවෙන කවුරුවත් අපි අතර නෑ. අපි තව තවත් ශක්තිමත් වෙලා මේ දුර්දාන්ත මුස්පේත්තු යූඑන්පී ආණ්ඩුව ගෙදර යවන සටන වේගවත් කරනවා.
● ප්රශ්නය- ගෝල්ෆේස් එන ගාණ ගැන ඒකාබද්ධ විපක්ෂයම විවිධ කතා කියනවා. ඔබ කියන්න කීයක් විතර එයිද?
පිළිතුර- මැයි දිනය කියන්නේ කම්කරුවන්ගේ දිනය. ඒ වගේම මේ වෙලාවේ රටේ ආණ්ඩු විරෝධි සියලු ජනයා ඒකරාශි වෙන මැයි දිනය තමයි ගෝල්ෆේස් පිට්ටනියෙ තියෙන්නේ. අද තියෙන ප්රශ්නය තමයි අද රටේ ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් හා බස් එකක නැගලා කොළඹ එන්න හරි ඒ තත්ත්වයට රටේ ජනතාවගේ ආර්ථිකය බිංදුවටම වැටිලා තියෙන්නේ. නමුත් ආණ්ඩු විරෝධි සියලු කොටස් උදාහරණයක් විදියට අපි රජයෙ සේවකයෝ ගත්තොත් අපි ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පරාදයි. තැපැල් ඡන්ද කියන්නේ රාජ්‍ය සේවකයෝ. ඒ අය බලාපොරොත්තු වුණේ මොකද්ද? පනස් දාහේ බයිසිකලය නිකම් හම්බවෙයි. රුපියල් දහ දාහ පඩියට එකතු කරයි. තමන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙයි කියලා. නමුත් රජයේ සේවකයන්ගේ සාක්කුවට රුපියල් දහ දාහක් දානකොට රුපියල් පහළොස් දාහක් මේ ආණ්ඩුව පොකට් ගහලා ඉවරයි. බදු ගහලා රජයේ සේවකයන්ට රුපියල් දහ දාහක් හරි හම්බ වුණා. පෞද්ගලික අංශයට මුකුත්ම නෑ. ඔවුන් කබලෙන් ළිපට වැටිලා ඉන්නේ. සමෘද්ධිය සියයට 25කින් කපලා. පින් පඩියෙනුත් රුපියල් සියයක් කපා ගන්න මේ ආණ්ඩුව මොන තරම් නිර්ලජ්ජිත විදියට ජනතාව හූරාගෙන කනවද කියලා පේනවා නේද? ව්‍යාපාරිකයන් ඉන්නේ හතර ගාතෙන් වැටිලා. රෝහලකට ගියාම බෙහෙත් ටිකක් නෑ ගන්න. පාතාලය රජ කරනවා. සාධාරණ මිනිහෙකුට ව්‍යාපාරයක් කරන්න බෑ. කප්පම් ඉල්ලනවා. ඉතින් අද ජනතාව ඉතාමත් පීඩාවට පත්වෙලා. ජීවත්වීමත් එපාවෙලා තියෙන්නේ.
● ප්රශ්නය- මම ඔබෙන් ඇහුවේ කොපමණ පිරිසක් සහභාගි වෙයිද කියලයි?
පිළිතුර- ඒක තමයි මම කියාගෙන ආවේ. මේ පරිසරය තුළ අපි විශ්වාස කරනවා දස ලක්ෂ ගණනින් ජනතාවක් ගෝල්ෆේස් පිට්ටනියෙ රොදබැඳ ගනීවි කියලා.
● ප්රශ්නය- ඔබ මුලින්නම් කිව්වේ අරලියගහ මන්දිරය රජ ගෙදර වටලනවා කියලා?
පිළිතුර- ඔව්! අනිවාර්යයෙන්ම රජගෙදර, අරලියගහ මන්දිරය වටලන්න එන්න කියලා සියලු පීඩිත ජනයාට අපි ආරාධනා කරනවා. මොකද මේ ජනගඟ දැක්කම පාලකයන්ගේ ඇස් ඇරේවි කියලා අපි හිතනවා.
● ප්රශ්නය- ගෝල්ෆේස් පිට්ටනිය ඉල්ලීමත් ‘ඉල්ලාගෙන කෑමක්’ කියලා සමහරු අර්ථ දක්වනවා?
පිළිතුර- කවුද එහෙම කියන්නේ. අපි අභියෝගයක් බාරගන්නේ ඒකට සූදානමින්. අපි නුගේගොඩ රැස්වීමක් තිබ්බම ඒ එන සෙනඟට අඩු ගාණේ වේදිකාව පේන්නෙවත් නෑ. අපි මේ සෙනඟ පෙන්නන්න බලාගෙන ගෝල්ෆේස් පිට්ටනිය ඉල්ලුවා නොවෙයි. අපේ පාක්ෂිකයට ඇත්තටම හැතැම්ම පනහක් ඈත ඉඳලා තමයි රැස්වීමට සහභාගිවෙන්න ලැබුණේ. ඒ නිසා සියලුම දෙනාට අඩුගාණේ බලන්නවත් පුළුවන් විදියට තමයි අපි ගෝල්ෆේස් පිට්ටනිය ඉල්ලුවේ. අපිට මේක නිකම් දුන්නෙ නෑ. අපි ලක්ෂ ගාණක් සල්ලි බැඳලා තමයි මේ ගෝල්ෆේස් පිට්ටනිය අරන් තියෙන්නේ.
● ප්රශ්නය- ගෝල්ෆේස් එකට සියලුම පහසුකම් සපයන්න කියලා අගමැති රනිල් උපදෙස් දුන්නා කියලා පුවත් පළවුණා.
පිළිතුර- මොනවද සියලු පහසුකම් සපයනවා කියලා කියන්නේ? එහෙමනම් සල්ලි අය නොකර ඉන්න තිබුණා. එහෙමනම් ආරක්ෂක අංශ යොදවලා බට ටික ගහලා ඒ පහසුකම් සපයලා දෙන්න තිබුණා. රජයෙන් සහන මිලකට බස් ටික දෙන්න තිබුණා. ඒවා කරන්නේ නැහැනේ. කයිය විතරයිනේ. අගමැතිවරයා එහෙම පහසුකම් දෙන්න කියලා උපදෙස් දීලා තියෙනවා නම් ඒවා දෙන්න එපැයි. මොනවද මේ අය දීලා තියෙන්නේ. ඔය මාධ්‍ය හරහා කරන සෙල්ලම්නේ.
● ප්රශ්නය- ඇමැති ඩිලාන් නම් කිව්වේ ගෝල්ෆේස් පිට්ටනිය දීම හරහා රනිල්-බැසිල් ඩීල් එක අනාවරණය වුණා කියලයි?
පිළිතුර- අපට ඩීල් නෑනේ. බැසිල් නොවෙයිනේ මේක කරන්නේ, මේක ඒකාබද්ධ විපක්ෂය කරන්නේ. බැසිල් රාජපක්ෂ මහත්තයා කටයුතු කරන්නෙ පොදු ජන පෙරමුණත් එක්ක. එතුමා එතුමගේ දේශපාලන ක්‍රියාවලියෙ ඉන්නවා. ඒකයි ඔය හැමෝටම රිදිලා තියෙන්නේ. එහෙම ඩීල් දානවා නම් බැසිල් රාජපක්ෂ හිරේ නොදා ඉන්න තිබුණානේ. ඩිලාන් පෙරේරා මැතිතුමා අපිත් එක්ක හරි හිතවත්. අපේ පවුලේ කෙනෙක් වගෙයි. එතුමා ඉතින් සැරින් සැරේ විවිධ දේවල් කියනවා තමයි. ඒ ඉතින් එතුමගේ චරිතයේ හැටි. ඒ නිසා එතුමට එහෙම කියන්න පුළුවන්. ඒ කියන දෙයට වටිනාකමක් තියෙනවද නැද්ද කියලා රටේ ජනතාව බලනවා.
● ප්රශ්නය- 2017 දී ආණ්ඩුව පෙරළනවා කියපු මහින්ද රාජපක්ෂ දැන් කියන්නේ වෙසක් පෝය දෙකකින් ආණ්ඩුව පෙරළනවා කියලයි!
පිළිතුර- එතුමා 2017 කියලා කිව්වේ 2017 දී තමයි “පෙරැළියක ඇරැඹුම” කියලයි. අපි නුගේගොඩින් ආරම්භ කළේ ඒ සටන තමයි. ඒ වැඩසටහන අපි ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
● ප්රශ්නය- කොහොම වුණත් තව වෙසක් පෝය දෙකක් මේ ආණ්ඩුවට යන්න පුළුවන්?
පිළිතුර- එහෙම කියන්න බෑ. මේ තියෙන ගැටලුවල හැටියට තව පෝය කීයක්ද කියලා කියන්න බෑ.
● ප්රශ්නය- ගෝල්ෆේස් යන මන්ත්‍රීවරුන්ට මේ පාර නම් වැඩ වරදිනවා කියලා පක්ෂයේ නායකයෝ කියනවා.
පිළිතුර- මොනව වරදින්නද? පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගියේ එක්සත් ජාතික පක්ෂයෙ මැයි දින රැළියට. ඒ පක්ෂයේ සම්මේලනයටත් ගියෙ. එහෙම යන්න පුළුවන්. අද දෙගොල්ලෝ එකතු වෙලා ආණ්ඩු කරන්නේ. හොඳට අයියයි-මල්ලියි වගේ එකට වැඩ කරන්නේ. අපි ආණ්ඩු විරෝධි කණ්ඩායමක් හැටියට පෙනී සිටිනවා.
● ප්රශ්නය- ඒ කියන්නේ බය නෑ?
පිළිතුර- අපොයි ඔව්! පොඞ්ඩක්වත් බය නෑ.
සාකච්ඡා කළේ-
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්