ජාත්‍යන්තර දේශපාලනයේ නව ප්‍රවණතා අධ්‍යයනය කිරීම වැදගත් සාධකයකි. සීතල යුද්ධයක් තිබුණ එකල ලෝකයේ කඳවුරු දෙකක් තිබුණි. ඒ වාමාංශික හා දක්ෂිණාංශික වශයෙනි. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් දක්ෂිණාංශික වූ අතර සෝවියට් දේශය ප්‍රධාන කොටගත් වාමාංශික රටවල් සමූහයක් වෙනම ප්‍රතිපත්ති අනුව කටයුතු කරමින් සිටියහ. මෙම පාර්ශ්ව දෙක අතර පැවැති තරගය, ආර්ථික හා සමාජ වශයෙන් ලෝකයේ දියුණුව සඳහා එක්තරා ආකාරයට බලපෑ සාධකයක් විය.
ලෝක බලවතුන් හා නොගැටී, නොඇලී පවතින ප්‍රවණතාවක ඇතැම් රටවල් කටයුතු කළේය. එය නොබැඳි ප්‍රතිපත්තිය වූ නමුත් එම රටවල්ද බලවත් රටක් සමග එකතු වී සිටි බව නොරහසකි. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියගේ ආණ්ඩුව සෝවියට් දේශයට නැඹුරුව සිටි අතර ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව ඇමරිකා එක්සත් ජනපදයට සමීපව ක්‍රියා කළේය. ආර්ථිකය දියුණු කිරීම සඳහා ආධාර හා ආයෝජන ලබාගැනීමට නම් ප්‍රධාන රටකට ළැදියාව අවශ්‍ය විය.
ප්‍රධාන ධාරාවේ ප්‍රතිපත්ති වර්තමානයේදී වෙනස් වී තිබේ. වම හා දකුණ වශයෙන් වෙන් කර හඳුනාගත නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය හා විවෘත ආර්ථික ප්‍රතිපත්ති ලෝකයේ දියුණුව සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. ආසියාව, විශේෂයෙන් චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව දියුණුවීම විවෘත වෙළෙඳපොළ ක්‍රමයෙහි ප්‍රතිඵලයකි. ඇමරිකාව, රුසියාව, චීනය, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, යුරෝපා හවුල ආදී වශයෙන් ඇතැම් රටවල බලය විශේෂිත තැනකට පැමිණ ඇත. මෙම රටවල්, බලඅධිකාරිය හසුරුවන ආකාරය ලෝකයේ පැවැත්ම තියුණු ස්වභාවයකට පත් කර තිබේ. බලවත් රටවල් සමග පවතින මිත්‍රශීලීබව, ආර්ථික ගනුදෙනු හා ගිවිසුම් සම්ප්‍රදායික රාමුව ඉක්මවන තැනට පත්ව ඇත.
ජාත්‍යන්තරයේ අලුත් බලවත් රාමුව
විශාලත්වය, ජනගහනය හෝ ධනවත්භාවය නොසලකා සමාන ස්වෛරීත්වයක් සෑම රටකටම බලපවත්වා තිබුණි. 1600 ගණන්වල ඇති කරගත් වෙස්පාලියා සම්මුතිය එයට පදනමක් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද සමාන පිළිගැනීමක් සෑම රටකටම පවතින ප්‍රතිපත්තියක කටයුතු කරමින් සිටී. නමුත් ප්‍රායෝගික තත්ත්වය එය නොවේ. තීන්දු ගැනීමේ දී ධනය හෝ බලය ඉහළ අධිකාරියක් සේ සැලකේ. ආරක්ෂක හමුදාවල බලය ද එයට එකතු වේ. මේ අනුව කුඩා රටවලට යුක්ති සහගත භාවයක් නැත. සම්පත් බෙදාගැනීම, වෙළෙඳාම, ජාත්‍යන්තර අණ පනත් ක්‍රියාවට නැංවීම ඇතුළු අංශවල කුඩා රටවලට අසමානතා සිදුවේ. බලය ඇති තැන්වලින් පැනනැගෙන තීරණ නිවැරදි බව විශ්වාස කෙරේ.
මාධ්‍ය නිදහස, මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් බලවත් රටවලට වඩා වෙනස් ස්වභාවයකින් කුඩා රටවලට පැනවේ. ශ්‍රී ලංකාවේ ඩයස්පෝරාව බලවත් රටවල දේශපාලනය හා මිශ්‍රවීම මානව හිමිකම් සම්බන්ධ තීන්දුවලට බලපා ඇති තවත් පැත්තකි. ත්‍රස්තවාදය තුරන් කරන ක්‍රියාවලියේ දී ලෝකයේ බලවත් රටක් ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට තීරණ ගැනීමට වඩා හාත්පසින්ම වෙනස් ආකෘතියකට තීරණ ගැනීමට මෙරටට සිදුවිය.
යුද්ධයට වඩා සාමයේ අභියෝග සංකීර්ණ හා දුෂ්කර වූ අතර යුද බිමේ සිද්ධිවලට වගකියන ලෙස ජාත්‍යන්තරය කරන ලද බලකිරීම් යුක්ති සහගත නැති බව පැහැදිලිව පෙනිණි. ඒවා ඉරාකය, ඇෆ්ගනිස්ථානය හෝ වියට්නාමයේ සිද්ධි සමග සසඳන්නට කිසිම අවස්ථාවක අවකාශයක් ලැබුණේ නැත.
2015 වසරේ දී ඇමරිකානු ජාතික ග්‍රෙහැම් හැරිසන් “තියිසඩිසිස් ට්‍රැප්” යනුවෙන් පොතක් ලියූ අතර “බලය ඇති රටක් ඉදිරියේ තවත් බලය ඇති රටක් අභියෝග කරමින් නැගෙන විට යුද්ධයක් ඇති විය හැකි බව” ඔහු එයින් කියා සිටියේය. සෝවියට් දේශය බිඳුණු පසු චීනයේ නැග්ම ජාත්‍යන්තරය හැසිරෙන හා තීරණ ගන්නා ආකාරය සංකීර්ණ කරන්නට කෙළින්ම බලපෑවේය.
චීනය හා ඉන්දියාව අතර ආසියාවේ ප්‍රබලයන් වීමේ තරගයක් ඇතිවූ අතර, චීනය ලෝකයේ අවස්ථා අත්පත් කරගැනීමට ඇති ඉඩකඩ අනෙක් බලවත් රටවල ද විරෝධයට හේතු විය. චීනය කොවිඩ් වසංගතය හේතු කොටගෙන සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීම සමග ඇමරිකාව ප්‍රධාන රටවල් චීන වෙළෙඳාම හා නිෂ්පාදනවලින් යැපෙන ප්‍රමාණයෙහි බලය වටහාගැනීමට සමත්විය. චීනයට එරෙහි තත්ත්වයක් නිරායාසයෙන්ම ඇතිවීම එහි ප්‍රතිඵලයකි.
වෙළෙඳපොළ අත්පත් කරගැනීමට වෑයමක්
කොවිඩ් අර්බුදය පැතිරෙන කාලයේ දී ආහාර, ඖෂධ හා බලශක්තිය සෑහෙන තරමකට ළඟ තබාගැනීමේ උවමනාව ඇතිව සෑම රටක්ම ක්‍රියා කළේය. රට ලොක්ඩවුන් කරන ප්‍රවෘත්තියක් නිකුත්වූ පසු සාමාන්‍ය පුද්ගලයන් හැසිරුණු ආකාරය විශේෂිතය. එම කාලය වෙනවිට ලෝකයේ වෙළෙඳපොළ තරගකාරී විවෘත සැපයුම් චක්‍රයකට අනුව හැඩගැසී තිබුණි. එය වෙනත් රටක නිපදවන දේ තවත් රටකට ආනයනය කර එහි ශ්‍රමය භාවිත කර නිෂ්පාදන ගෙන්වාගැනීමේ ක්‍රමවේදයකි.
වසංගත තත්ත්වය හෙයින් ලොක්ඩවුන් වූ පසු මෙම සැපයුම් වක්‍රය බිඳ වැටුණු අතර අත්‍යවශ්‍ය ආනයන ක්‍රමවේද අවදානමකට පත්විය. මෙහි දී මෙතෙක් තමන්ගේ රටට ඔබ්බෙන් (Off shoring) ලබාගත් අවශ්‍යතා රට ඇතුළතින් (In shoring) නිපදවා ගැනීමට සූදානම් කෙරිණ. ආහාර ද්‍රව්‍ය වගාකරන, ගබඩා කරන අතර බලශක්ති අවශ්‍යතා සඳහා තෙල් සංචිත රැස්කරගන්නා ක්‍රම බලවත් රටවල් සංවිධානය කරගත්තේය. කොවිඩ් වසංගත තත්ත්වය ක්‍රමයෙන් අඩුවූ පසු ආසන්න රටවල් සහ විශේෂයෙන් මිත්‍ර රටවලින් ( Friend shoring) අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ ක්‍රමවේදයකට ඇතුළු වී තිබේ. ශ්‍රී ලංකාව වැනි රටවල් අනුගමනය කරමින් සිටි විවෘත වෙළෙඳාම වෙනුවට ආනයනය ප්‍රතිපත්තිවල දී තමන්ගේ රටට ළැදියාවක් ඇති මිත්‍ර රටවල නිෂ්පාදන ඇණවුම් කරන ක්‍රමයක් බලවත් රටවල බලගැන්වී ඇත.
ඉදිරි කාලයේ දී මෙම සැපයුම් චක්‍රය තවත් පියවරක් ඉදිරියට ගමන් කරන අතර එය Trustworthy Supply Chain යනුවෙන් දැක්වේ. එහි දී මෙතෙක් විවෘත ආර්ථික ක්‍රමයෙන් සැලකිය යුතු ප්‍රතිලාභ ලබමින් සිටි දියුණුවෙමින් පැවැති රටවලට සියුම් බලපෑමක් එල්ල වෙනු ඇත. ඇමරිකාව හා චීනය අතර නොගැළපීම මිත්‍රශීලී රටවල් අතර වෙළෙඳාම ඉදිරියේ මතු වූ අතර ඉන්දියාව, රුසියාව, යුරෝපා ප්‍රජාව ඇතුළු රටවල් ද එම ක්‍රමයට ඇතුළු වී ඇත. මිත්‍රශීලී රටවල් සමග කරන සැපයුම් වක්‍ර ක්‍රමවේදය අද බහුලව භාවිත වේ.
රෙදි ආනයනයට ඇමෙරිකානු බාධා
විදුලිය බලයෙන් ධාවනය වන වාහන නිපදවීමේ දී චීනය සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබේ. අඩු වියදමකින් සහ අඩුම පිරිවැයකින් නිපදවන චීන රථවාහන ආනයනයේ දී ඇමරිකානු එක්සත් ජනපදය ඉහළ බද්දක් පනවා තිබේ. චීන නිෂ්පාදන සීමා කිරීමට වඩා නැගී එන චීනයේ බලය පාලනය කිරීම මෙහි අභ්‍යන්තරය බව පෙනේ. අනෙක් අතට චීනයෙන් රෙදි ආනයනයට බාධා කරන නීතියක්ද පනවා ඇත. කපු වගාකරන චීනයේ ක්ෂින්ජියෑන් ප්‍රාන්තයක සුළු ජනවර්ගවලට කරන බාධා ගැන කරුණු දක්වන ඇමරිකා එක්සත් ජනපදය එහි නිපදවන රෙදිපිළි ගෙන්වීම වළක්වන පරිදි රෙගුලාසි පනවා ඇත. ලෝකයේ සමස්ත කපු නිෂ්පාදනයෙන් සියයට විස්සකට ක්ෂින්ජියෑන් ප්‍රාන්තය දායක වේ. ගෙන්වන රෙදිපිළි හා ඇඟලුම්වලට ජාන සම්බන්ධ පරීක්ෂණ කරන අතර චීනයේ රෙදි ගෙන්වාගෙන ඒවායෙන් ඇඟළුම් නිෂ්පාදනය කර අපනයනයෙහි යෙදෙන රටවලට පවා බාධා කරන්නට එම නීති සමත්ව තිබේ. මෙයද සාමාන්‍ය සැපයුම් චක්‍රය බිඳ දමන තීන්දුවකි. අඩු මිල ගණන්වලට චීනයෙන් රෙදි ආනයනය කර ඇමෙරිකාවට ඇඟලුම් අපනයනය කරමින් සිටි සැපයුම්කරුවන්ට අමුද්‍රව්‍ය ප්‍රශ්නයක් පැනනැගී තිබේ. ශ්‍රී ලංකාව, බංගලාදේශය, වියට්නාමය හෝ මැලේසියාව වැනි ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදකයන්ට මෙහි බලපෑමක් එල්ල වී ඇත.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තීරණ ගැනීමේ දී බලවත් රටවල් එයට අවනත නොවේ. යුක්රේනයට සහාය දක්වන බටහිර රටවල් රුසියාවට සම්බාධක පනවමින් සිටී. ගෑස් හා ඛනිජ තෙල් අපනයන අවහිර කරන අතර විනිමය හුවමාරුවට බාධා කර ඇත. නමුත් ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් මිල දී ගන්නා අතර ගෙවීම්වලට ඉන්දීය රුපියල් භාවිත කරන්නට රුසියාව එකඟය. රුසියාවෙන් මිල දී ගන්නා බොරතෙල් ඉන්දියාව නැවත වෙනත් රටවලට අලෙවි කරමින් සිටී. අනෙක් අතට යුක්රේන යුද පසුබිම මත රුසියාවට එරෙහි වන නමුත් එරට ගෑස් සැපයුමට බාධා කරන්නට යුරෝපා රටවල් සූදානම් නැත. කුඩා රටවලට රුසියාව සමග ගනුදෙනුකිරීම අවහිර කර තිබිය දී බලවත් රටවල් ඒවා නොසලකා තීරණ ගන්නා බව මෙහි දී පෙන්වා දිය යුතුය. ඇමෙරිකාව විශාලතම තෙල් හා ගෑස් නිෂ්පාදකයා වන අතර පරිසර සාධක සලකා පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි බලවත් රටවල් එපමණ නොතකන බව ද නිරීක්ෂණය වේ.
බලවත් රටවල් සමග පැති නොගෙන, ලැදියාවක් රහිතව ක්‍රියාකිරීම ගැටලුවක් බව මෙවැනි සිද්ධි සනාථ කරයි. ඇමෙරිකාවට හෝ යුරෝපා රටවලට විරුද්ධව තීරණ ගැනීමට නොහැකි ශ්‍රී ලංකාව බලවත් රටවල් සමග සමබරව සම්බන්ධ වී ඔවුන්ගේ අභිලාෂ අනුව තීන්දු ගැනීමට හැකි වෙන පරිදි පසුබිම සකස් කරගත යුතු වේ.
ආයෝජනය හා විදේශ ප්‍රතිපත්ති
ඇමරිකා එක්සත් ජනපදය සමග මිත්‍රශීලීව සිටින අතර චීනය සමගද ගනුදෙනු කිරීම සඳහා උපාය අවශ්‍ය වේ. ඉන්දියාව සමග සිටින ශ්‍රී ලංකාවට චීනය පැත්තකට නොකර නැඹුරුව සඳහා ප්‍රවේශයක් සොයාගත යුතුය. දේශපාලනික වශයෙන් චීනය සමග මතභේද පවතින ඉන්දියාව ක්‍රමයෙන් වෙළෙඳාම සීමා කරන බව අලුත්ම වාර්තා දක්වයි. චීනයේ නිපදවන ස්මාට් දුරකථනවලට ඇමෙරිකාවේ තිබූ වෙළෙඳපොළ සීමාකිරීම සඳහා සූක්ෂම ආයෝජන ගුජරාට් හා තමිල්නාඩු ප්‍රාන්තවල සිදුවේ. ඉදිරියේ දී ඉන්දීය ස්මාට් දුරකතන බටහිරට ඇතුළු වෙනු ඇත. මෙවැනි අංශ වටහාගෙන රටවල් සමග අනන්‍ය ආකාරයකට සම්බන්ධ වෙන ක්‍රමවේද අනුගමනය කරන්නට ශ්‍රී ලංකාවට සිදුවේ.
ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවට රටට එපිටින් ධනය සොයාගැනීම අවශ්‍යය. විදේශ සම්පත් නොලැබුණහොත් තව තවත් බදු අය කිරීම හැර අනෙක් පියවරක් නැත. උපායශීලීව ලෝකයේ බලවත් රටවල් සමග ගනුදෙනු කර මිත්‍රශීලීබව තහවුරු කර ගැනීම අවශ්‍යය. විදේශ වෙෙළඳාම, ආයෝජනය හා සැපයුම් චක්‍රයට ඇතුළුවීමේ දී තමන්ගේ මිත්‍රයන් සමග හැසිරෙන්නට තීරණය කර ඇති බලවත් රටවල රාමුව අනුව කටයුතු කරන්නට සිදුවේ. චීනය සමග මිත්‍ර වෙන අතර ඉන්දියාවට අභියෝගයක් නොවීම හා ඉන්දියාව හා චීනය සමග කටයුතු කරන අතරවාරයේ ඇමෙරිකානු විශ්වාසය දිනාගැනීම පහසු කර්තව්‍යයක් නොවේ. කෙසේ නමුත් ලෝකයේ කුඩා රටවල් ගණනාවක් මෙම අභියෝගයට සාර්ථකව ඇතුළු වී තිබේ. ශ්‍රී ලංකාව වැනි රටක් බලවත් රටවල හැසිරීම හා තීරණ ගැනීමේ ක්‍රමවේද වෙනස් කරන තරමට බලවත් සාධකයක් නොවෙන බව ද වටහාගත යුතුය. බලවත් රටවල අභ්‍යාසය හඳුනාගෙන එයට එදිරිව නොයන සූක්ෂම ප්‍රතිපත්තිවලට අපට ඇතුළු විය හැකිය. එවැනි ප්‍රතිපත්ති සකස් කරගැනීම සඳහා ලංකාවේ ඉතිහාසය හැදෑරිය යුතුය. ලෝකයේ රටවල් සමග ගනුදෙනු කරන අතර ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් නැගීසිටින්නට සමත් වූයේ කෙසේද යන්න ගැඹුරින් අධ්‍යයනය කිරීම අවශ්‍යය.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට එවන්නේ නම් අගය කරමි.