ලෝක ජනගහනය තුළ සිටින විවිධ ජාතීන් සමාජ භාවය හා ජන කණ්ඩායම් ප්‍රමාණය අති විශාලය. එම ජන කණ්ඩායම් අතර විවිධ කුල, ආගම්, භාෂාවන්, සංස්කෘතීන්, අනන්‍යතා ලක්ෂණයන් ආදී වෙනස්කම් ද රැසකි.
ආදි මානවයාගේ සිට විවිධ යුග පසු කරමින් නවීන ලෝකය දක්වා පිය නගමින් ඇති මිනිසා මනස දියුණු කරගත්තද ගතානුගතික ලක්ෂණ හා සම්ප්‍රදායන් වෙනස් කර නොගැනීම නිසා අදටත් මිනිස් සමාජයේ විවිධ කණ්ඩායම් හා ප්‍රජාවන් දැඩි
පීඩනයට ලක් කිරීම මොවුන් අතින් නිතැතින්ම සිදුවේ.
මෙලෙස සමාජය තුළ ආන්තීකරණයට ලක්වූ මානව සමාජ කොටසක් ලෙස LGBTIQ ප්‍රජාව හඳුනාගත හැකිය.
මෙම LGBTIQ ප්‍රජාවට එරෙහිව සිදුවෙන වෙනස් කොට සැලකීම, අවමානයට ලක් කිරීම ආදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දිනපතා අඩු වැඩි වශයෙන් සිදුවීම ස්ථීර විසඳුමකින් නවතාලීමට පියවර නොගැනීම ඉතා ශෝචනීය තත්ත්වයකි. LGBTIQ ප්‍රජාව සමන්විත වෙන්නේ සමාජය විසින් සාමාන්‍ය හෝ පිළිගත හැකි යැයි සලකනු ලබන කරුණු සමග සමපාත නොවන විවිධ ලිංගික දිශානතින් සමාජ භාවයන් සහ සමාජභාවී ප්‍රකාශනයන් සහිත පුද්ගලයන්ගෙනි.
ඔවුන් සතුටින් සිටින මොහොතක්
මේ නිසා LGBTIQ ලෙස හඳුනාගන්නා පුද්ගලයන් බොහෝ විට සමාජය විසින් අපහාසයට, උපහාසයට, වෛරයට, වෙනස් කොට සැලකීමට, අවමන් සහගත සැලකීමට, නඩු පැවරීමට, හිංසාවට ලක් කෙරේ.
සමරිසි ගැහැනු, සමරිසි පිරිමි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජ භාවී, අන්තර් ලිංගික, ප්‍රශ්නකාරී, කුවියර් හා සිස් සමාජ භාවී මෙන්ම තවත් අනු කොටස් රැසකින් මෙම ප්‍රජාව සමන්විත වෙයි.
LGBTIQ ප්‍රජාවද විද්‍යාත්මක සංසිද්ධියක පෝෂණයෙන් ජනිත වූ උපකුලකයක් බව අප සමාජය අමතක කර ඇත්තේය. කෙනෙකුගේ ලිංගික දිශානතිය තීරණය වෙන්නේ උපතේදීම හෝමෝනවල අඩු වැඩි වශයෙන් නිරාවරණය වීම තුළ ඇතිවෙන වෙනස්කම් සංසිද්ධියක ප්‍රතිඵලයකිනි. ඒ අනුව මෙම ප්‍රජාවගේ හැසිරීම අප විඳ දරා ගැනීමෙන් ඔවුන්ට සම බිමක් සකස් කර දිය යුතුය.
අතීතයේ සිටම මෙම ප්‍රජාව මුහුණපා සිටින රැකියා අවස්ථා, අධ්‍යාපනය, සමාජ පිළිගැනීම, සෞඛ්‍ය, මානසික නිදහස, සතුට, ආදරය, ලිංගිකත්වය, ආදී අවස්ථා සඳහා සාධාරණත්වය ඔවුන්ට අහිමිව ඇත.
එසේම රටක පාලන බලයක් පිහිටුවාලීමට එම රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය වැදගත් වුවද, මෙම ප්‍රජාවේ බොහෝ අයට තම පරමාධිපත්‍ය බලය ප්‍රකාශ කිරීම අහිමිව ඇත. මෙරට නීතිය අනුව සෑම පුරවැසියෙකුටම අනන්‍යතාව හෙළි කරන හැඳුනුම්පතක් තිබිය යුතුය. ඡන්දය ප්‍රකාශ කිරීමේදී එය මූලික අවශ්‍යතාවකි.
නමුත් උපතේදී පැවරෙන ලිංගයට අනුරූප ලක්ෂණවලින් වෙනස් වෙන සංක්‍රාන්තිය සමාජභාවී පිරිස්, අන්තර් ලිංගික, ලිංගික දිශානතිය හෝ සමාජ භාවි අනන්‍යතාව හඳුනා නොගත් පුද්ගලයින්, නිර්ලිංගික පුද්ගලයින්, සිස් සමාජභාවි පිරිස් ඇතුළු මේ ප්‍රජාවේ බොහෝ අයට මෙම හැඳුනුම්පත සකස් කර ගැනීමට නීතිමය බාධා මතු වී ඇත.
මේ පිළිබඳව අදහස් පළ කළ එම ප්‍රජාව නියෝජනය කරන නවෝදා බෙනට් රත්නායක
‘‘මාව හඳුනා ගන්නේ සංක්‍රාන්තික දිවිමය නොවන අනන්‍යතාවක ජීවත්වෙන අයෙකු ලෙසයි. ලංකාවෙ හැඳුනුම්පත් හදද්දී, ගැහැනු - පිරිමි කියලා විතරයි තියෙන්නේ. වෙනත් කියලා එකක් නෑ. ඒ නිසා හැඳුනුම්පත හදන්න මට වෙනත් විකල්පයක් නැහැ. මේ ප්‍රජාවේ අනන්‍යතාවට අනුව හැඳුනුම්පතක් හදන වැඩපිළිවෙළක් ලංකාවේ නැහැ. ඒ නිසා එය අපට විශාල ගැටලුවක්.’’
රූපලාවණ්‍ය ශිල්පී දිනේෂ්
‘‘හැඳුනුම්පත නොමැති නිසා අපට ඡන්ද අයිතිය අහිමි වෙලා තියෙනවා. ඒ නිසා මම රජයෙන් ඉල්ලනවා ඡන්ද අයිතිය උදෙසා ස්ථිර හැඳුනුම්පතක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා’’.
එම ප්‍රජාවේ විශ්ව පැතුම්
‘‘LGBTIQ ප්‍රජාව වෙනස්කමට ලක් කිරීමෙන් අපගේ ඡන්ද අයිතිය අහිමි කරන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”
සමාජ ක්‍රියාකාරී ගයාන් සෙනෙවිරත්න
“LGBTIQ ප්‍රජාවගෙන් වැඩි හරියකට ජාතික හැඳුනුම්පත සකස් කිරීමේ ගැටලුව ඇතිවී තිබෙනවා. ඡන්දයකදී මේ අයට තාවකාලික හැඳුනුම්පතක් දුන්නත් එය තාවකාලික විසඳුමක් පමණයි. නැවත ඡන්දයකදී නැවතත් තාවකාලික හැඳුනුම්පතක් හදන්න වෙනවා. මෙය ඒ අයට ලොකු පීඩාවක්. ඒ නිසා අපි යෝජනා කරන්නේ ඒ ඒ අනන්‍යතා සහිත පුද්ගලයන් හඳුනාගෙන ඒ අයට ස්ථිර හඳුනුම්පතක් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරන්න කියලයි. එහෙම නොවුවොත් මේ අය ඡන්ද පෝලිමේදී අපහසුතාවට ලක් වෙනවා පමණක් නොව, වෙනස් කොට සැලකීමකටද ලක් වෙනවා.”
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මෙවැන්නකි.
“මෙම ප්‍රජාවේ විවිධ අනන්‍යතා ලක්ෂණ කිහිපයක පිරිස් සිටිනවා. ඒ හැම කෙනා වෙනුවෙන්ම අපට පෙනීසිටීමට අයිතියක් නෑ. අපට හැකියාව තියෙන්නේ මැතිවරණ නීතිය තුළ මැතිවරණයට අදාළ සම්බන්ධ කරුණුවලට මැදිහත්වෙන්න පමණයි. සමාජයේ තියෙන මතවාද සම්බන්ධයෙන් කටයුතු කරන්න අපට හැකියාවක් නෑ. එය මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ, ආගමික පරිසරය හා සමාජ හර පද්ධතීන් තුළ වෙනස් විය යුතු කාරණා. මේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවට සෘජු වගකීමක් ගන්න බෑ. කෙසේ වෙතත් මේ ප්‍රජාව පිළිබඳව අපත් අධ්‍යයනයක් කළා. ඒ අය ඡන්ද මධ්‍යස්ථාන තුළ අපහසුතාවට පත්වීම වැළැක්වීමට අප පියවර ගෙන තියෙනවා. කෙසේ වෙතත් මේ අයට හැඳුනුම්පත සකස් කිරීමේ බලයක් අපට නෑ. ඒ සම්බන්ධයෙන් ආයතන තියෙනවා. ඡන්ද භාවිතයේදී සුදුසුකම්ලත් අයට හැඳුනුම් පතක් නොමැති නම් ග්‍රාම නිලධාරි හරහා තාවකාලික හැඳුනුම්පතක් සකස් කර ගත හැකියි.”
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේය.
“LGBTIQයන මේ අයත් මේ රටේ පුරවැසියෝ. ඒ නිසා අනෙකුත් පුරවැසියන්ට තියෙන අයිතිවාසිකම් මේ අයටත් හිමි විය යුතුයි. ඒ අනුව මැතිවරණයකදී අනෙකුත් ඡන්ද දායකයන්ට වගේම බාධාවකින් තොරව ගිහින් ඡන්දය පාවිච්චි කිරීමේ ඉඩකඩ තියෙන්න ඕනෑ.”
ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ සිට ඡන්දය ප්‍රකාශ කිරීම දක්වා කාලය අතරතුර LGBTIQ ප්‍රජාව විවිධ අවස්ථාවලදී නොතකා හැරීම්, මානසික සහ කායික හිංසන සහ අපවාදවලට ලක්වීම සුලබ තත්ත්වයකි.
අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඡන්ද අයිතිය මූලික අයිතිවාසිකමක් නොවේය යන්න සඳහන් වුවද, මඩකළපු කජු වත්ත නඩු තීන්දුව සමග, මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා එම අයිතිය සනාථ කොට තිබේ. ඒ අනුව 1947 වසරේදී අප රටේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ දා සිට අද වෙන විට පාර්ලිමේන්තු මැතිවරණ දහසයක් පැවැත්වුවද, එම එකදු ජනතා නියෝජිතයෙකුවත් මෙම ප්‍රජාවගේ ගැටලු නිම කිරීමට කටයුතු කර නොමැති බව තහවුරු වේ. එසේම අප රටේ 1982 පැවැත්වූ පළමු ජනාධිපතිවරණයේ සිට අද දක්වා පත්වූ එකඳු ජනාධිපතිවරයෙකුවත් මේ ප්‍රජාවගේ ගැටලු හඳුනාගෙන නැති බව පැහැදිලිය.
මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ විධායක අධ්‍යක්ෂිකා හා අම්මා පදනමේ නිර්මාතෘ භූමි හරේන්ද්‍රන්.
“තමන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් දේශපාලනඥයෝ අපි ගැන පාර්ලිමේන්තුවේ කතා කළා මිසක් දැනුම්වත්භාවයකින් ඒ අය මේ ප්‍රශ්නය කතා කළේ නෑ. ඒ ගැන අපට කනගාටුවක් තියෙන්නේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පුද්ගලයන් තුළ දැනුම්වත්භාවය හා පිළිගැනීම යන කාරණා ඇතිවිය යුතුයි. ඒ මත තමයි මේ ගැටලු විසඳිය හැක්කේ. මේ තුළින් පුද්ගලයන් සංවේදී වීම, හිරිහැර කිරීම අවම කිරීම, නීතියේ රැකවරණය පුළුල් කිරීම, ප්‍රතිපත්ති මාලා සකස් කිරීම සිදුකළ යුතුයි. එය ඡන්දයක් ළං වුණාම නෙවෙයි අවංක භාවයෙන් දීර්ඝ කාලීනව විසඳුම් ලෙස සිදු කළ යුතුයි. එසේම මිනිස්සු කොට්ඨාසයකට තමන්ගේ පෞද්ගලික අනන්‍යතාවන් මත වෙනස් කොට සැලකීම හා හිංසනයට ලක් කිරීම අප වැනි සංස්කෘතිය අතින් පොහොසත් රටක ජනතාවක් ලෙස නොකළ යුතු දෙයක්.
LGBTIQ ප්‍රජාව අප රටේ ජනගහනයෙන් සියයට දොළහක් වැනි විශාල ප්‍රමාණයක් බව EQUAL GROUND ආයතන සිදු කළ සමීක්ෂණයකින් හෙළිව ඇත.
මේ ප්‍රජාවේ ගැටලු හා ඔවුන්ගේ සිතුම් පැතුම් නිසි ලෙස හඳුනා නොගැනීමෙන් අද එම ප්‍රජාව දැඩි පීඩාවකට පත්ව සිටිති. සාමාන්‍ය වැසියා භුක්ති විඳින බොහෝ වරප්‍රසාද මෙන්ම මානව අයිතීන් රැසක්ම මොවුන්ට අහිමිය.
ඒ පිළිබඳව අදහස් දක්වූ එම ප්‍රජාවේ දිනූෂි ලාවණ්‍යා හල්ලොළුව
“බොහොමයක් සංක්‍රාන්තිය සමාජභාවී පුද්ගලයන් ඇතුළු LGBTIQ පුද්ගලයන්ට ඔවුන්ට කැමති රැකියාවක් හෝ ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට බාධක තිබෙනවා. ඒ බාධක ඇතිවෙන්නේ සමාජය හා පවුල විසින් ඔවුන්ට පිළිගැනීමක් සහ ඔවුන්ව නිවැරදිව තේරුම් නොගැනීමෙන්. ඒ නිසා අප සෑමදෙනාගෙන් ඉල්ලා සිටිනවා අපව තේරුම් ගන්න කියා.” යැයි පැවසීය.
එම ප්‍රජාව නියෝජනය කරන නිරූපණ ශිල්පී සංජය ස්වයංභූ නාඩාර් මෙලෙස අදහස් දැක්වීය.
“සංක්‍රාන්තික කාන්තාවක් නවාතැන්පොළක් බැලුවත් එයා සංක්‍රාන්තික කෙනෙක් කියලා දැනගත්තොත් ඒ ඇනෙක්ස් එක එයාට දෙන්නේ නෑ. ඉතින් මේ විදිහට මිනිස්සු තීන්දු ගන්නකොට මේ අයට ඒවා දරාගන්න බෑ. මේ නිසාම ඒ අයට මානසික විෂාදය ඇතිවී දිවි නසා ගැනීම දක්වා එය වර්ධනය වෙනවා.”
ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ ජාතික නීති උපදේශිකා මධුරි තමිල්මාරන් සානුකම්පිතව ඉල්ලීමක් කළාය.
“LGBTIQ ප්‍රජාවට වෙනස් කොට සලකන්න එපා කියලයි අපේ ඉල්ලීම. මෙය මානුෂීය ඉල්ලීමක්.”
මෙම ප්‍රජාව මෙසේ සෑම ක්ෂේත්‍රයකින්ම තම අභිමානය ළඟා කරදෙන ලෙස ඉල්ලුවද එය නොලැබෙන කල, ඔවුන් සෑම වසරකම ජූනි මාසය තුළ දේදුනු වර්ණයෙන් පවත්වන උත්සව මාලාවක් තුළින් තම අභිමානය ගොඩනැගීමට උත්සාහ කරති. සමකාමී සංක්‍රාන්තික ප්‍රජාවක් මෙසේ අභිමානය සෙව්වද, විනයවත් ශිෂ්ට සමාජය එය ලබාදීම තවත් කල් දමයි. බහුත්වවාදය පිළිගනිමින් මෙම ප්‍රජාවට සම බිමක් සකස් කර දුන් දාට ඔවුන්ද අභිමානය සමරනු ඇත.
මනුස්සකම සොයා උද්ඝෝෂණයේ
සටහන හා ඡායාරූප
සුරංග රාජනායක