මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති
මහින්ද දේශප්‍රිය
- ජූනි 20 ඡන්දය තියන්න බෑ කියන එකට සියයට සියයක්ම හේතුව කොවිඩ් 19 නෙවෙයි. අපේ වැඩ කටයුතු ඉවර කරගන්න බැරිවුණා.
- අපි තවම කාටවත් මනාප අංක දීලා නෑ. අකාරාදිය දන්න ඕනෑ කෙනෙකුට ඕක හදාගන්න පුළුවනි.
රටේ පවතින කොරෝනා රෝගය තරමටම කියවෙන අනිත් වචනය මැතිවරණයයි. මේ මැතිවරණය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සමග කළ සාකච්ඡාවකි.
ඡන්දෙ තියන්නෙ කවදද කියලා හැමෝම අහන ප්‍රශ්නෙම අපිත් ඉස්සෙල්ලම අහනවා.
අධිකරණයේ විභාග කෙරෙන නඩුවල තියෙන කරුණු සම්බන්ධයෙන් අපට කිසිවක් ප්‍රකාශ කරන්න බෑ. නමුත් ඡන්ද විමසීම ජූනි විස්ස පවත්වන්න බෑ කියන එක දේශපාලන පක්ෂ එක්ක කරපු සාකච්ඡාවලදිත් අපි කිව්වා. ඒකට සියයට සියයක්ම කොවිඩ් 19 නෙවෙයි හේතුව. අපේ වැඩකටයුතු ඉවර කරගන්න බැරිවුණු නිසා මේක කරන්න බෑ කියලා අපි දේශපාලන පක්ෂවලට කිව්වා. අපි බලාපොරොත්තු වුණේ අප්‍රේල් විසි හත්වෙනිදා කොළඹ ඇඳිරි නීතිය අයින් කරයි කියලා. ඒත් ඒක වුණේ නෑ. ඒක නිසා අපට කාලය මදි ඒ වෙනකොට අධිකරණ එන්වයර්මන්ට් එකත් එක්ක ඉලෙක්ෂන් මූඩ් එකක රට නෑ. ඒක නිසා ජූනි විස්ස කොහොමටවත් ඡන්දෙ තියන්න බෑ. අපි මේක අධිකරණයට කියන්න කලින් පත්තරේටත් කිව්වා. ඡන්ද විමසීම පවත්වන්න වෙනදාට වඩා වැඩි කාලයක් අපට ඕනැ කියලා අපි දේශපාලන පක්ෂවලට කිව්වා. මොකද දවසකට වෙනදා තරම් වෙලාවක් අපිට වැඩ කරන්න හැකියාවක් දැන් නැති නිසා. වෙනදා ඉලෙක්ෂන් ඔෆිස් එක පැය දහ අටක් වැඩ කළා. දැන් වැඩ කරන්න පුළුවන් පැය දහයක් හෝ දොළහක් විතරයි. ඉලෙක්ෂන් කොමිෂන් එක හැමදාම කියන්න වගේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව හෝ මෘත දේහ ගණන් කරමින් හෝ ඡන්ද විමසීමක් පැවැත්වීමේ බලාපොරොත්තුවක් නෑ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරල ඡන්ද විමසීම් නොපැවැත්වීමේ බලාපොරොත්තුවක් අපට නෑ. අපි අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් බලාගෙන ඉන්නවා.
අධිකරණ තීන්දුව කවද විතර ලැබෙයි කියලද හිතන්නේ?
මේ මාසේ ඉවර වෙන්න කලින් ලැබෙයි කියල අපි හිතනවා.
එහෙම වුණොත් ඡන්දෙ තියන්න පුළුවන් කවදද?
අධිකරණ තීන්දුව අනුව තමයි ඒක හරියටම කියන්න පුළුවන්. අධිකරණ තීන්දුවෙන් පස්සෙ තමයි බය නැතුව ඒ ගැන හරියටම කතා කරන්න පුළුවන්. පළවෙනි කාරණය අධිකරණ තීන්දුව. ඊට අමතරව තව කරුණු තුනක් අපට ඕනෑ මැතිවරණ දිනේ තීරණය කරන්න. එකක් සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයෙන් ලැබෙන නිර්දේශය. දෙවැනි එක අපේ නිලධාරීන්ට නිදහස් හා සාධාරණ විනිවිදබවින් යුතු විශ්වාසනීය ඡන්ද විමසීමක් පැවැත්වීමට අදාළ මූලික කටයුතු සිදු කරන්න අවශ්‍ය ප්‍රමාණවත් කාලයක් තියෙනවද කියන එක. තුන්වෙනි කාරණය දේශපාලන පක්ෂවලට, දේශපාලන ක්‍රියාකාරීන්ට, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට, මැතිවරණ නිරීක්ෂකයින්ට, වෘත්තීයවේදීන්ගේ සංවිධානවලට ජනමාධ්‍යවේදීන්, ඡන්ද විමසීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු පාර්ශ්වයන්ට තමන්ගේ කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද කියන එක. මේ කරුණු තුන උඩ තමයි ඡන්ද විමසීමේ දිනයක් තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඒකටත් නෛතික තත්ත්වය සම්පූර්ණයෙන් යහපත් වෙන්න ඕනෑ.
දේශපාලන පක්ෂ එක්ක කරපු සාකච්ඡාවලදී ඒ අයගේ ප්‍රතිචාර කොයි වගේද මේ සම්බන්ධව?
මිශ්‍ර ප්‍රතිචාරයක් තමයි ලැබුණේ. දේශපාලන පක්ෂ පනස් හතක් මේ ඡන්ද විමසීමට සම්බන්ධ වෙනවා. මේ පනස් හතම එක්ක සාකච්ඡා කළාම දෙකක් තමයි දින නියමයක් නැතුවම ඡන්දෙ කල් දාන්න කියල කිව්වේ. තව පක්ෂයක මතයක් තිබුණා, පාර්ලිමේන්තු මැතිවරණයකට හදිසි නොවී ජාතික මණ්ඩලයක් පිහිටුවන්න කියලා. තවත් පක්ෂ කීපයක් කිව්වේ ජූලි මාසේ මැද වත් ඡන්දෙ තියන්න කියලා. තව පිරිසක් කිව්වා ඡන්දය මාස තුනක් විතර ප්‍රමාද කරන්න කියලා. තවත් අය කිව්වා පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා. මේ ගැන මීට වඩා දේවල් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද අධිකරණයේ විභාග වෙන කරුණක් නිසා. විවිධ අදහස් ඉදිරිපත් වුණා. හැබැයි ඡන්ද ඕනැම නෑ කියල කවුරුවත් කිව්වෙ නෑ.
ඉතා ඉක්මනින් ඡන්දෙ තියන්න කියලා ඔබට කවුරුහරි බලපෑම් කරනවද?
හැකි ඉක්මනින් තියන්න කියල තමයි බොහෝ දෙනා කියන්නේ. හැකි ඉක්මනින් කියන්නෙ අපිට හැකි ඉක්මනින්නෙ. එහෙම නැතුව රටේ තත්ත්වය මොකක් වුණත් ජූනි විස්සම තියන්න කියලා කවුරුත් බලපෑම් කරල නෑ.
ජනාධිපතිවරයා මේ ගැන ඔබට ප්‍රතිචාරයක් දක්වලා නැද්ද?
ඔහුගේ ප්‍රතිචාරය තමයි ජනාධිපති ලේකම් එවපු ලිපිය. එතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ අදහස් අනුව පාර්ලිමේන්තුවක අවශ්‍යතාව තිබෙන බව පෙනී යනවා. පාර්ලිමේන්තුව එපා කියන කෙනෙක් නෑ.
කලින් දීපු නාමයෝජනා අවලංගු වෙන කතාවක් කියවෙනවා. මොකක්ද ඒ?
සමගි ජනබලවේගයේ නාමයෝජනා ගැන ප්‍රශ්නයක් තියෙනවා. නඩුවක් යනවනෙ ඒකට.
සමහරුන්ට අංක දුන්නා . සමහරුන්ට දුන්නෙ නෑ කියලත් දේශපාලකයෝ ඔබලට දොස් කියනව ඇහුණා.
අපි කාටවත් මනාප අංක දීලා නෑ. සිංහල අකාරාදිය දන්න ඕනෑ කෙනෙකුට ඕක හදාගන්න පුළුවන්. හැබැයි එහෙම හදාගත්ත කියලා ඒක නිවැරැදිම නෑ. ඒව වරදින වෙලාවල් තියෙනවා. එහෙම නැතුව අපි කාටවත් අංක දීල නෑ.
කොරෝනාවෙන් අසරණ වෙච්ච අයට දෙන රුපියල් පන්දාහ නැවැත්තුව කියලත් බැණුම් අහනවා නේද මේ දවස්වල?
අපි කිසි තැනක කියලා නෑ ඒක නවත්තන්න කියලා. ඒක කොමිසම විදිහට යවපු ලියුමක්. අපි කිව්වෙ මේ ගැන පැමිණිලි ලැබිල තියෙනවා, මේ වැඩේ දේශපාලනීකරණය වෙලා කියලා. ඒ ගැන සොයා බලන්න කියලා අපි කිව්වා. ඔය ගැන පක්ෂ ලේකම්වරු එක්ක සාකච්ඡා කරද්දී ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂවල නියෝජිතයොත් හිටියා. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ ඒ අයගෙ හිතවතුන්ට, පාක්ෂිකයන්ව තෝර තොරා දෙනවා කියල චෝදනා එල්ල වුණා. අපි කිව්වෙ ආදායම් අහිමිවූ අයට දෙන මේ දීමනාව රට සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා තියෙනව නම් ජූනි මාසෙත් දෙන්න ඕනැද කියලා සලකා බලන්න කියලා විතරයි. ඒ වගේම මේ ව්‍යාපෘතිය ප්‍රාදේශීය, ග්‍රාමීය දේශපාලකයින්ගේ සහභාගිත්වයෙන්, මැදිහත්වීමෙන් තොරව ක්‍රියාත්මක කරන්න කියලා. කොටින්ම මේ සහනාධාර මුදල දීම නිර්දේශපාලනීකරණය කරන්න කියලයි අපි ඉල්ලුවේ. එහෙම නැතුව අපි කිසිම වෙලාවක කියල නෑ රුපියල් පන්දාහ දෙන එක නවත්තන්න කියලා. ඒක එක එක්කෙනා තම තමන්ට වාසි විදිහට අර්ථ දක්ව ගත්ත.
මේ තියෙන තත්ත්වය උඩ ඉදිරි මැතිවරණයකදී සියලු පක්ෂවලට සම බිමක ඡන්දය කරන්න අවස්ථාවක් තියේවිද?
අපි සියලු පක්ෂවලට කියල තියෙනවා පාලිත කොරෝනා තත්ත්වයන් යටතේ ඡන්දයක් පැවැත්වීමේදී ගත යුතු ක්‍රියාමාර්ග, ක්‍රමවේද පිළිබඳව ඒ අයගේ අදහස් දන්වා එවන්න කියලා. තාම බොහෝ දෙනා ඒවා අපට දන්වලා නෑ. සාධාරණ මැතිවරණයක් සඳහා අපි ක්‍රියාකරමින් ඉන්නවා. සියලු පක්ෂවලට අපේක්ෂකයින්ට සමාන අවස්ථා ලැබෙන පරිදි ඡන්දය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අපිට ඍජු මැදිහත්වීම තියෙන්නේ මාධ්‍ය ආයතන හතරක් සම්බන්ධව විතරයි. ජාතික රූපවාහිනි, ස්වාධීන රූපවාහිනිය, ගුවන් විදුලි සංස්ථාව, ලේක්හවුස් ආයතනය කියන ඒවාට අපිට ඍජුව මැදිහත් වෙන්න පුළුවන්. අනිත් මාධ්‍ය සම්බන්ධව මාධ්‍ය උපමාන ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපි සලකා බලනවා. ඒ ගැනත් වැඩපිළිවෙළක් මේ වතාවේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා මේ මාධ්‍යවල ඉඩ හැම පක්ෂයකටම හැම අපේක්ෂකයකුටම සමසේ ලබා දෙන්නෙ කොහොමද කියන එක ගැන. අපේක්ෂකයෝ අටදදාහකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා මේ වතාවේ.
මැතිවරණ කොමිසමේ සාමාජිකයො අතරේ බරපතළ මත ගැටුම් තියෙනවා කියලත් ආරංචියි.
එහෙම බරපතල ගැටුම් අපි අතරේ නෑ. මත ගැටෙන්නෙ නැති කණ්ඩායමක් නම් මහින්ද දේශප්‍රියලා තුන්දෙනෙක් හරි, නලින් අබේසේකරලා තුන්දෙනෙක් හරි රත්නජීවන් හූල්ල තුන්දෙනෙක්ම වෙන්න එපැයි. අදහස් අදහස් ගැටිලා තමයි නිවැරැදි අදහස ඉදිරියට යන්නේ. අපි කාගෙත් පැතුම ඒකයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම තමයි අපි කාගෙත් පැතුම.
හූල් මහත්තයාගෙ හැසිරීම ගැන සමහරු වෙතින් විවේචන ඉදිරිපත් වෙනවා.
මගේ නම් කිසිම විවේචනයක් නෑ. මහාචාර්ය හූල් මාව විවේචනය වෙන විදියෙ අදහස් සමහර වෙලාවට පළ කරනවා. ඒත් ඒවා ඔහුගේ අදහස්නෙ.
කොමිසමේ සාකච්ඡාවලට ඔහු නිසි පරිදි සහභාගි වෙන්නෙ නෑ කියනවා. ඔහු නැතුව ඔබලා තීන්දු ගන්නව කියනවා. මොකක්ද ඇත්ත නැත්ත මේවයෙ?
ඔහුට සහභාගි වෙන්න බැරි අවස්ථාවල ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනවා. අපි තනි තීරණ ගන්නෙ නෑ කොයිවෙලාවකවත්.
විදේශයක ඉඳල ආපු ඔහුගේ දුව පහුගිය දවසක මැතිවරණ කොමිසමේ කාර්යාලයට ඇවිත් ප්‍රශ්නයක් වුණා නේ?
පත්තරවල එහෙම කතා තියෙනවනෙ. දරුවකුගෙ හැසිරීම හේතුකොටගෙන පියෙකුගෙ ක්‍රියාකලාපය විවේචනය කිරීම යුතුයි කියල හිතන කෙනෙක් නෙවෙයි මම. මහාචාර්ය හූල්ගෙ දුව මම දන්න තරමට පී.එච්.ඩී. ස්ටුඩන්ට් කෙනෙක්. තුන්වෙනිදා ආපු ෆ්ලයිට් එකේ ආවෙ. අවශ්‍ය දවස් ගණන ජෙට්වින් එකේ නිරෝධායනය වෙලා තිබුණා. ඊට පස්සෙ යාපනේ යනකම් මහාචාර්යතුමා එක්ක මෙහේ ඇවිත් තියෙනවා. එතුමා තමයි එහෙම කිව්වේ. මහාචාර්යතුමා කියන විදියට නිරෝධායනය වුණා කියන සහතිකය ලැබිලා තියෙනවා. 19 වැනිදාත් ඔවුන් ආවා මෙහාට. එදා ඔවුන් මෙහෙන් පිටත් වුණාට පස්සේ මැතිවරණ කාර්යාලයේ පිරිසක් ඇවිත් අපිත් එක්ක මේ ගැන කතා කළා. පත්තරවල තිබුණ කාර්යාලයේ පිරිසකගේ විරෝධතාව මැද මහාචාර්ය හූල් පිටව ගියා කියලා. ඒක බොරු කතාවක්. අපේ කාර්යාලයේ අය මේ නිසා යම් නොසන්සුන්තාවකට පත්වෙලා හිටියා. කොරෝනා කිව්වම ඕනෑ කෙනෙක් බය වෙනවනේ.
ප්‍රියන්ත කොඩිප්පිලි