ආණ්ඩුවකට ඇති ලොකුම අභියෝගය මැතිවරණ සමයේ දී දුන් පොරොන්දු ඉටුකිරීමයි. වර්තමාන ආණ්ඩුවට ද දැනට ඇතිවී තිබෙන ප්‍රධානම අභියෝගය තමන් විසින් ලබාදෙන ලද කප්පරක් පොරොන්දු ඉටු කිරීමය.
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කිරීම, මැති ඇමැති නිලවාහන සහ වරප්‍රසාද ඉවත් කිරීම, ජීවන වියදම අඩුකිරීම, පෙට්‍රල් සහ ඩීසල් සඳහා අයකරන බදු ඉවත්කර මිල පහත දැමීම, ගොවීන්ට දුන් පොරොන්දු, විදුලි බිල පහත දැමීම විධායක ජනාධිපතිධුරය ඉවත් කිරීම, ඇමැතිධුර සංඛ්‍යාව 25ට සීමාකිරීම, ඇතුළු තම රජයකින් ඉටුකරන අතිමහත් පොරොන්දු සම්භාරයක් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබිණි. ඇමැති මණ්ඩලය 25 ට සීමා කරන පොරොන්දුව මේ වන විට ඉටුකර තිබේ.
ලාංකිකයන්ගේ ජීවිත නවීන තත්ත්වයට ගෙන එමින් පොහොසත් රටක් ස්ථාපිත කිරීම පිළිබඳ සැලසුම මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රට හමුවේ තබනු ලැබීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ද කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීමට ද එමගින්
පොරොන්දු විය.
මේ වන විට එළැඹ ඇත්තේ එසේදුන් පොරොන්දු ඉටුකිරීමේ අවස්ථාවය. මේ සියලු පොරොන්දු එක දිනකින් හෝ කෙටි කලකින් ඉටුකළ නොහැකිය. ඒ සඳහා යම් නිශ්චිත කාලයක් ගතවේ. එහෙත් ජාතික ජනබලවේගයේ කථිකයන් එකල පැවසුවේ තෙල්මිල අඩු කිරීම, විදුලිබිල අඩුකිරීම, හිටපු ජනපති නිල නිවාස අහිමි කිරීම ආදිය එක රැයකින් සහ ඉතා කෙටි දිනකින් ඉටුකරන බවය. එහෙත් ඒ කිසිවක් අද වනතුරුම ඉටුවී ඇති බවක් පෙනෙන්නට නැත.
ආණ්ඩුව ජනතාවට දුන් එක් පොරොන්දුවක් වන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම පනත් සම්මතයකින් පමණක් කළ හැක්කක් නොවේ. එම වරප්‍රසාද ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි ව්‍යවස්ථාවෙනි. වත්මන් ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් ජනපතිවරණ ප්‍රචාරක සමයේ ඡන්ද දායකයන්ගේ අත්පොළසන් මැද කියා සිටියේ තම රජයක් බලයට පැමිණ පැය විසිහතරෙන් හිටපු ජනාධිපතිවරුන් නිල නිවාසවලින් එළියට ඇද දමන බවය. වර්තමාන ඇමැතිවරයකු වන සමන්ත විද්‍යාරත්න එම කටයුත්ත වඩාත් නාට්‍යානුකරයෙන් පැවසුවේ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයගත් දා මධ්‍යම රාත්‍රිය වන විට හිටපු ජනාධිපතිවරුන් නිල නිවාසවලින් ඉවත්කොට ඔවුන් දරුවන් වෙත යවන උත්සවයක් පවත්වන බවය. හිටපු ජනාධිපතිවරුන් හා බිරියන් ඉවත් කිරීම උත්සවාකාරයෙන් සිදුකරන බවත් එය මධ්‍යම රාත්‍රී දොළහට සිදුකරන බවත් සමන්ත විද්‍යාරත්න පැවසීය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවට පත්වූවත් ඔහු ජයගත් මධ්‍යම රාත්‍රියේ හෝ එතැන් සිට ගෙවී ගිය මාස දෙකක කාලයේ එවැනි උත්සවයක් අපට දැකගත හැකි නොවීය. ඒ වෙනුවට සිදුවූයේ හිටපු ජනපතිවරුන්ගේ හා මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද අධ්‍යයනය කර තමාට භාරදෙන මෙන් ජනාධිපතිවරයා කමිටුවක් පත් කිරීමය. එම කමිටුව වාර්තාව ද ඉකුත්දා භාරදුන් අතර රජය ඒ ගැන අධ්‍යයනය කරමින් සිටියි.
රජයට එම බලතල ගැන අධ්‍යයනය කරන්නට සිදුවුණේ උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන දරුවන් පවා හිටපු ජනපති වරප්‍රසාද දැන සිටියේ එම වරප්‍රසාද සඳහන්ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි ව්‍යවස්ථාවේ නිසාය. එම ව්‍යවස්ථාව අනුව හිටපු ජනපතිට නිලනිවාසයක්, නිල වාහනයක්, විශ්‍රාම වැටුපක් රජයෙන් හිමිය. එම වරප්‍රසාද ඉවත් කළ නොහැක්කේය.
36 වැනි වගන්තියේ
මෙසේ සඳහන් වේ
‘යම් තැනැත්තකු විසින් ජනාධිපති ධුරය භාරගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමටද ඉන්පසුව එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමට ද ඒ තැනැත්තා හිමිකම ලබන්නේය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයක් මෙම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනුකූල වන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධිවිධානයක් අතීතයට බල නොපාන්නේය. හිටපු ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප යම් පූර්ව සේවයක් හේතුකොටගෙන ඒ තැනැත්තාව හිමිකම ඇති වෙනත් යම් විශ්‍රාම වැටුපකට අතිරේකව වන්නේය.’
ව්‍යවස්ථාවේ 36 (අ) සහ (ආ) වගන්තිවල ඉතා පැහැදිලිව එම වරප්‍රසාද දක්වා තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ මෙම හිමිකම් පැය 24 න් අහෝසි කරන බවට වත්මන් ජනාධිපතිවරයාත් ඔහුගේ අනෙක් සගයනුත් මැතිවරණ සමයේදී ප්‍රකාශ කිරීමය. 2001 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ජවිපෙ මන්ත්‍රීවරුන් හිටපු ජනපති වරප්‍රසාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු බව නොදැන සිටියේ ද? එසේත් නැතිනම් දැනගෙන ඡන්දදායකයන් අල්ලා තබාගැනීම සඳහා සිතාමතාම බොරු කීවේ ද? ප්‍රශ්නය වන්නේ එයයි.
කෙසේ හෝ එම මැතිවරණ පොරොන්දුව ඉටුකිරීමට වත්මන් ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍යය. එම වගන්ති වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය මෙන්ම ජනමත විචාරණයකින් සම්මත වීමද අත්‍යවශ්‍යය. මේ හේතුවෙන් වත්මන් රජය එම පොරොන්දුව ඉටුකිරීම තවදුරටත් ප්‍රමාද
වනු ඇත.
අනුමාන කළ හැකි වන්නේ තවත් වසර තුනකින් ගෙන එන බව කියන නව ව්‍යවස්ථාවට හිටපු ජනපති වරප්‍රසාද අහෝසි කරන වගන්තිද ඇතුළත් විය. හැකි බවය.
වත්මන් රජයේ කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පවසන්නේ ඉදිරි වසර තුන අවසානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවය. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ හැකිතරම් ජනතාව සමග සාකච්ඡා කර කාටත් පිළිගත හැකි නව ව්‍යවස්ථාවක් සැකසීම බව ආණ්ඩුවේ බලවත්තු කිහිප දෙනෙක්ම ඉකුත් කාලයේ කියා සිටියහ. ආණ්ඩුව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් ලෙස මෙම ක්‍රමය තෝරාගෙන ඇති බව පැහැදිලිය. එහෙත් අප දකින්නේ වසර තුනක් යනු ඕනෑවට වඩා ප්‍රමාද වීමක් හැටියටය. ඕනෑම අලුත් ආණ්ඩුවක ‘මධුසමය’ තුන්මාසයකට සීමාවෙයි. එතැනින් පසු පැමිණෙන්නේ ආණ්ඩුව ජනතාවගේ විවේචනයට ලක්වන කාලසීමාවය. එවැනි කාලයක දී නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම ජනතාවගේත් විපක්ෂ කණ්ඩායම්වලත් දැඩි විවේචනයට සහ විරෝධයට ලක්වීමට හේතුවකි. එම තත්ත්වය හොඳින්ම අවබෝධ කරගෙන සිටියේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාය.
1977 ජූලි මාසයේ මැතිවරණ ජයග්‍රහණය ලැබූ ඔහු ජනාධිපති ධුරය නව ව්‍යවස්ථාව සහ සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන්නේ බලයට පත්වී පළමු හය මාසය අතරතුරය. එම කාලයේ ලොකු විරෝධයක් පළ ලොවීය. විපක්ෂය සිටියේ මැතිවරණ පරාජයෙන් නැගිටගත නොහැකිවය. එම කාලයේ ජේ.ආර්. තමන්ගේ අභිප්‍රාය ඉටුකර ගත්තේය.
වත්මන් ආණ්ඩුව වසර තුනකින් පසු ඉවත් කරන්නට යන්නේ එම ව්‍යවස්ථාවය. ලබාදුන් පොරොන්දු ඉටුකර ගැනීමට නොහැකිව ජනතා විරෝධයක් මතුව තිබුණොත් තුන් වසරකට පසු එළැඹෙන දිනක නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එයටද චන්ද්‍රිකා ජනපතිනිය හැදූ ව්‍යවස්ථාවට අත්වූ ඉරණමම අත්වීමට බැරි නැත. 1994 දී බලයට ආ චන්ද්‍රිකා වසර පහකට ආසන්න කාලයක් රටේ ජාතික ධනය කෝටි ගණනක් වැය කර පාර්ලිමේන්තු කමිටු, මහජන හමු ආදියද පවත්වා ඉදිරිපත් කළ නව ව්‍යවස්ථා කෙටුම්පත එවකට විපක්ෂයේ දැඩි විරෝධය මත අකුළා ගන්නට සිදුවිය. කල්ගතවීමේ ප්‍රතිඵලය වූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඇතුළු ඇය ලබාදුන් බොහෝ පොරොන්දුද සමග ව්‍යවස්ථා කෙටුම්පත විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී සංකේතාත්මකව ගිනි තැබීමය. එවැනි තත්ත්වයක් උදාකර නොගෙන විධෘයක ජනපති ධුරය අහෝසි කිරීමට අවංක වුවමනාවක් තිබේ නම් ජේ.ආර්. මෙන් හය මසකින් එම කටයුත්තු කිරීමට බැරිකමක් නැත. ප්‍රමාදය ආණ්ඩුවේ නොව ජනතාවගේ පසුතැවිල්ලට හේතුවක් වේදැයි අපට දැන්මම කිව නොහැකිය.
ජීවන වියදම අඩුකිරීම
ජීවන වියදම අඩුකිරීම ජාතික ජනබලවේගයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූවාසේම ඡන්දය දුන් ජනතාවගේද ප්‍රමුඛ බලාපොරොත්තුවක් විය. හාල් කිලෝවේ මිල අඩුකිරීමේ පටන් එදිනෙදා ජනදිවියට බලපාන බොහෝ දේ ගැන මාලිමාවේ අපේක්ෂකයෝ සිත් කා වදින තර්ක ඉදිරිපත් කළහ. එහෙත් මෑත කාලයේ අප දන්නා පරිදි ජීවන වියදම පාලනයට රජයට කළ හැකි දෙයක් නැත. එයට හේතුව රජය කිසිවක්ම නිෂ්පාදනය නොකරන බැවිනි. මේ වන විට ඇතිවී තිබෙන සහල් හිඟය පොල් හිඟය වෙළෙඳපොළ ප්‍රශ්න මිස රජයට පාලනය කළ හැකි ප්‍රශ්න නොවේ. දෙසැම්බරයේ දී පොල් හිඟවීම වසර විස්සකටත් අධික කාලයක සිට මෙරට ප්‍රධාන ප්‍රශ්නයක්ව පවතී. ඉල්ලුම වැඩිවීම. නිෂ්පාදනය වන පොල් ප්‍රමාණයෙන් වැඩි කොටසක් රට පැටවීම එයට හේතු වේ. රජය කළ යුත්තේ නිෂ්පාදකයන්ට රටින් පොල් හෝ පොල් මද ගෙනැවිත් දීමය. සහල් වෙළෙඳපොළේ හිඟය පාලනය කෙරුණේ විදේශයෙන් සහල් ආනයනය කර ඉල්ලුම සැපිරීමෙනි. සතොස සහ සමුපකාර ආයතන ආරම්භ කර ඇත්තේ ඒ සඳහාය.
මෙම කටයුතු ශ්‍රී ලංකා රජයේ වෙළෙඳ කෘෂිකර්ම සතොස වැනි දෙපාර්තමේන්තු හා ආයතනවලට විසඳාගත හැකි ප්‍රශ්නය. එහෙත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ලෙස සෑම කටයුත්තක්ම තමන් අතට ගැනීමේ ඇමැතිවරුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර මේ ආණ්ඩුව මහින්ද ක්‍රියාත්මක වීම පොල් සහල් පෝලිම් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යාමට හේතුවී තිබේ.
වෙළෙඳපොළ සියලු මිල උස් පහත් වීම් රජයට පාලනය කළ නොහැකිය. කෙසේ වෙතත් ජවිපෙ සහ ජාතික ජනබලවේග දේශපාලකයන් විපක්ෂයේදී මේ සියලු ප්‍රශ්න ජනාධිපති සහ ඇමැතිවරුන් ඇතුළු ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමට යොදා ගත් අතර වර්තමානයේදී ඔවුන්ටද එය පාරාවළල්ලක් වී තිබේ. සැබැවින්ම ජීවන වියදම ඉහළයාම ජනාධිපති ගෝඨාභයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෝ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැරදි හේතුවෙන් හට ගන්නක් නොවේ. එය සැමදාම ජනාධිපතිවරුන් පිට පැටවූයේ විපක්ෂ දේශපාලකයන්ය. ජවිපෙ සහ ජාතික ජනබලවේගය ද ඔවුන් විපක්ෂයේ සිටියදී ජීවන වියදම වැඩිවීමට එරෙහිව පැවැති සෑම රජයක්ම විවේචනය කළේය. ඔවුන්ගේ රජයක් අද බිහිවී තිබියදී වර්තමාන විපක්ෂ බලවේග එම චෝදනාව වත්මන් රජයට එල්ල කරයි. රටේ වැවිය හැකි කෘෂිකාර්මික නිෂ්පාදන අස්වනු සුලභ කිරීම සහ සතොසේ ආරම්භක අරමුණු ඉටුකිරීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකිය. සතොස ඇරඹුවේ අත්‍යවශය ආහාර ද්‍රව්‍ය ආනයනය කර ගම් මට්ටමින් බෙදාහැරීම සඳහාය. අද සතොස යැපෙන්නේ දේශීය තොග වෙළෙඳපොෙළනි. රජයේ පාලනය යටතේ ඇති සතොසේ බඩු සුලභ කළ විට ජීවන වියදම් ප්‍රශ්නයට ප්‍රමාණවත් විසඳුමක් ලැබෙනු ඇත.
පෙට්‍රල් මිල අඩුකිරීමේ මිථ්‍යාව
පෙට්‍රල් ඇතුළු ඛනිජ තෙල් මිල අඩුකරන බවට වත්මන් ජනාධිපතිවරයා ඇතුළු සියලු ජවිපෙ කථිකයන් මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දුව මේ වන විටත් ඉටුකර නැත. 1960 – 65 ආණ්ඩුව යටතේ විදේශීය තෙල් සමාගම් ජනසතු කෙරුණාට පසු සුබසාධක කටයුතු රජය පවත්වාගෙන යන්නේ ඛනිජ තෙල් අලෙවියෙන් ලැබෙන ආදායමෙනි. වර්තමානයේ සමෘද්ධිය, අස්වැසුම. වැඩිහිටි දීමනා, රෝහල් පවත්වාගෙන යෑම හා බෙහෙත් ආනයනය පොදු ප්‍රවාහනය පවත්වාගෙන යාම ඇතුළු රජයේ මහා පරිමාණ වැයශීර්ෂ පියවා ගන්නේ ඛනිජතෙල් විකුණා ලැබෙන ආදායමෙනි. ඒ නිසා පසුගිය ආණ්ඩු ගණනාවක්ම ඛනිජ තෙල් ලීටරයක් මිල කරන්නේ භාණ්ඩාගාරය පෝෂණය කරන විවිධ බදු ගණනාවක්ද සමගය. මෙම බදු ඉවත් කිරීමට හැකියාව ඇතත් එමගින් රජයේ සුබසාධනන කටයුතු පවත්වාගෙන යාම අවුල් සහගත වනු ඇත. පැවති ආණ්ඩු කටයුතු කළේ එම තත්ත්වය අවබෝධ කරගෙනය. එහෙත් වත්මන් ආණ්ඩුව විපක්ෂයේදී කියා සිටියේ මෙම බදු අඩුකරන බවය. ආණ්ඩුව ගත්තාට පසු වත්මන් රජයද එම තත්ත්වය අවබෝධ කරගත් නිසා අද වනතුරුත් තෙල් බදු අඩුකරන බවට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට අසමත් වී තිබේ.
රාජ්‍ය සේවක පොරොන්දු
වත්මන් රජයට විශාලම ප්‍රශ්නයක් වනු ඇත්තේ රජයේ සේවකයන්ට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමය. ලක්ෂ දහහතරක් වන රජයේ සේවකයන්ගෙන් අතිවිශාල පිරිසක් වත්මන් රජයට ඡන්දය ප්‍රකාශ කළ ආකාරය තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලි විය. රාජ්‍ය සේවයේ බොහෝ දෙනාට තිබෙන්නේ ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීමේ ප්‍රශ්නයය. ඒ නිසා බොහෝ රාජ්‍ය සේවකයන් වත්මන් රජයට ඡන්දය පාවිච්චි කළේ තමන්ගේ වැටුප ප්‍රමාණවත් තැනකට ගෙන එනු ඇතැයි යන විශ්වාසයෙනි. එමෙන්ම රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති අතිවිශාල ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිති වන අතර රාජ්‍ය සේවකයන් මෙම වෘත්තිය සමිතිවල ක්‍රියාකාරී සාමාජිකයන්ය.
ජනපතිවරණ ප්‍රචාරක සමයේ රාජ්‍ය සේවයේ නියුතු බොහෝ දෙනා ජාතික ජනබලවේගය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරීව සිටින ආකාරය දැක ගත හැකි විය. පැවැති ආණ්ඩුවලට හා එම පක්ෂ නායකයන්ට එරෙහිව එතරම් තදබල ප්‍රහාරයක් වෙනත් කිසිදු මැතිවරණයකදී දැකගත නොහැකි විය. මේ බොහෝ දෙනාගේ ඉල්ලීම වූයේ යහපත් රාජ්‍ය සේවයක් උදෙසා ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරවිය යුතු බවය. යහපත් රාජ්‍ය සේවයක් යනු රාජ්‍ය සේවකයන්ට වාසිදායක රාජ්‍ය සේවයකි. ඔවුන්ගේ පඩි වැඩි කරන ඉල්ලීම් මෙන්ම රාජ්‍ය දේපොල පෞද්ගලීකරණයට එරෙහි මතවාද එමගින් මුහුණු පොතේ පළකෙරිණි.
වර්තමාන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ තමන්ට ඡන්දය ප්‍රකාශ කළ මෙම රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් ඉටු කිරීමය. ඔවුන්ට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමය. විදුලිබල මණ්ඩලයේ ජවිපෙ වෘත්තීය සමිති නායකයා දෙසැම්බර් 10 වැනිදාට පෙර බෝනස් ලබා දීම සිදුනොවුවහොත් ඔවුන් ගන්නා පියවර තර්ජනාත්මකව පළකළ හැටි අපට මතකය. දැන් ඇත්තේ තමන් හැදූ ආණ්ඩුවක් බවටත් බෝනස් නොදුන්නොත් ආණ්ඩුවට රිංගා ගෙන සිටින මාලිමාවේ කිහිප දෙනා කනෙන් ඇද එළියට දමන බවටත් පළ කළ ප්‍රකාශය ආණ්ඩුවට ඡන්දය දුන් රාජ්‍ය සේවකයන්ගේ පොදු මතය බවට පත්වුවහොත් රජය ඉදිරියට ගෙන යාමට මුදල් ඉතිරිවන්නේ නැත. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ ඇතැම් ආයතන පෞද්ගලීකරණයට ලක් කිරීමට ගෙන තිබූ පියවරට එරෙහිව රාජ්‍ය සේවයේ බොහෝ දෙනා ඡන්දය ප්‍රකාශ කළේ ජාතික ජනබලවේගයට පක්ෂවය. එවැනි විටක මූල්‍ය අරමුදලේ නිර්දේශ වන රාජ්‍ය සේවයේ සේවකයන් අඩුකරන යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ වත්මන් රජයටය. ඉදිරි අයවැය සම්මත කර අවසන් කරනතුරු මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබෙන්නේ නැත. එහි අරුත වන්නේ සේවකයන්ගේ සිය ගණනක් ඉල්ලීම් ඉටුකර ගැනීමේ බලාපොරොත්තු ඉටු නොවන බවය. ආණ්ඩුවට ඇති ලොකුම අභියෝගයක් වන්නේ තමන්ට ඡන්දය දුන් රාජ්‍ය සේවකයා සතුටු කිරීම මෙන්ම අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද සතුටු කිරීමය.
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයාත් තුන්දෙනාගේ තාවකාලික කැබිනට්ටුවත් පෙන්වූ ආදර්ශය අතිමහත්ය. ෆේස්බුක් සමාජ මාධ්‍යයේ අතිමහත් ආධාරයෙන් බලයට ආ ගමන ඒ ලෙසට රැක ගනිමින් සමාජ මාධ්‍යයේ විරුද්ධ මත දරන්නන් පසුපස පැන්නුවේ නැත. විරුද්ධවාදියා සිරගත කළේ නැත. එහෙත් එහි වෙනසක් මහ මැතිවරණයෙන් ආණ්ඩුව පිහිටවූ පසු සිදුවී තිබේද? සමාජ මාධ්‍යයෙන් ආණ්ඩුවට රිදවූ කිහිප දෙනකු රිමාන්ඩ් කරන්නට උත්සාහ කළේ ආණ්ඩුව තුළ වෙනත් පිරිසක් බලවත් වී ඇති නිසාද? ජනපතිගේ මතය අබිබවා යන වෙනත් මතයක් දැන් ආණ්ඩුවේ ඇතිවී
තිබේ ද? එසේත් නැතිනම් සියයට පනහේ බහුතරය නොලැබූ ජනපතිවරණයට වඩා වැඩි බලයක් ලබා ගන්නා තුරු ආණ්ඩුව බොරු සිල් රැක්කා ද? මේ කවරක් හේතු වුවත් ලබාදුන් පොරොන්දු ඉටු නෝවන්නේ නම් ආණ්ඩු බලයට වඩා ජනබලය බලවත් බව තමනුත් පාර්ශ්වකරුවකු වූ ගාලු මුවදොර අරගලයෙන්ම ආණ්ඩුවට පාඩමක් ඉගෙන ගත හැකිය.
ප්‍රේමකීර්ති රණතුංග