ඡන්දය කල් දාපු කට්ටියට වසර 40ක් යනකම් ඒ ශාපය තියේවි


 

දේශපාලන ලෝකය ගිනිගත් ගිනිහල් ගෙයක් බඳුය. මේ ඒ දේශපාලනය ගැන හා ආණ්ඩුවේ ඉරණම ගැන අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ගිනියම් මතවාදය පිරික්සමින් කළ සංවාදයකි.  


ප්‍රශ්නය:- මෙහෙම ගිහින් ආණ්ඩුවට මොකක් වෙයිද?  
පිළිතුර:-
ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආණ්ඩු එනවා. ආණ්ඩු යනවා. තත්ත්වයන් නිරන්තරයෙන් වෙනස් වෙනවනේ. ඒකේ කාල සීමාව විතරයි වෙනස් වෙන්නේ.  


ප්‍රශ්නය:- ඒ කියන්​ෙන් ​ෙම් ආණ්ඩුව ආවා. දැන් යන්න ඕනෑ කියන එකද?  
පිළිතුර:-
ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිද්ධ විය යුතු දේ ගැනයි මම කියන්නේ.  


ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුව ගැන ඔබ සතුටෙන්ද?
පිළිතුර
- සමහර කරුණු ගැන තෘප්තිමත්. සමහර කරුණු ගැන තෘප්තිමත් නෑ. හැබැයි මට අයිති විෂයන් පිළිබඳව මම තෘප්තිමත්.

 
ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් ඔබ හින්දා හොරු අල්ලන්න බෑ කියලා අජිත් පී. පෙරේරා  
නියෝජ්‍ය ඇමැතිවරයා කිව්වා.  
පිළිතුර:-
​ෙක්වට්ටයන් කට කැඩිච්ච කතා කියනවා. ඒ එක්කෝ ඒගොල්ලෝ ජනප්‍රිය වෙන්න. එහෙම නැත්නම් ඒ අයට නීතිය යුක්තිය පසිඳලීමේ මේ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් නෑ. හොරු අල්ලන්නේ මම නොවෙයි. ජනාධිපතිටත් 
බැහ​ැනේ. එහෙනම් අජිත් පෙරේරාටත් පුළුවන්නේ හොරු අල්ලලා ගෙනත් දෙන්න. හොර අල්ලන්න ඕනෑ පොලිසිය. ඒ බලය තියෙන්​ෙන පොලිසියට. පරීක්ෂණ කරන්නේ පොලිසිය. එතකොට පොලිසිය බාර​ ඇමැතීටත් ඒකට මැදිහත් වී​ෙම් සීමාවක් තියෙනවා. අහවල් කෙනාව අල්ලාගෙන එන්න අහවලාට නඩු දාන්න කියලා කියන්න ඒ ඇමැතිටත් බෑ.  


ප්‍රශ්නය:- එහෙම නම් ඔබට මේ චෝදනා කරන්නේ?  
පිළිතුර:-
ඒක තමයි මම කිව්වේ. නොදන්නා කම්. වෙන මොකක්වත් නොවෙයි. යහ පාලනය ඇති කරන්න නම් ආයතන ස්වාධීන කරන්න ඕනෑ. පොලිස් කොමිසම තියෙනවා. අධිකරණ සේවා කොමිසම තියෙනවා. මැතිවරණ කොමිසම තියෙනවා. රාජ්‍ය සේවා කොමිසම තියෙනවා. පැමිණිල්ලක් ආවම තියෙන ශාක්ෂි අනුව තමයි ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වෙන්නේ. වෙන මොකක්ද තියෙන ක්‍රමවේදය කියන්න. දේශපාලනඥයාට ඒක කරන්න කියලද මේ කියන්නේ. දේශපාලනඥයා ඒකට මැදිහත් වෙනවා නම් ඒක යහ පාලනයද? නීතියේ ආධිපත්‍යයද? අපි නඩු කටයුතු ඉක්මන් කිරීමේ ක්‍රමවේදය හදලා තියෙනවා. මේ අවුරුදු දෙක ඇතුළත නඩු විභාග කිරීමේ ක්‍රමවේදය සියයට 50කින් අඩු කරලා තියෙනවා. ඒකට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. හැබැයි අධිකරණ ඇමැතිවරයටවත් ජනාධිපතිවරයාටවත් අගවිනිසුරුවරයාටවත් බලයක් නෑ ගිය ආණ්ඩුවේ හොරු වෙනම තෝරලා මේ ආණ්ඩුවේ හොරු වෙනම තෝරලා ගිය ආණ්ඩුවේ ඒවා ඉක්මන් කරලා මේ ආණ්ඩුවේ ඒවා ප්‍රමාද කරන්න.  


ප්‍රශ්නය:- ඔබ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරනවා කියලයි කියන්නේ.  
පිළිතුර:-
මොකක්ද මම කරපු බලපෑම?  


ප්‍රශ්නය:- ඔබේම ආණ්ඩුවේ අයයි එහෙම කියන්නේ?  
පිළිතුර:-
ඔය කියන මෝඩ දේශපාලනඥයන්ට මං කියන්න ඕනෑ නීතිපති දෙපාර්තමේන්තුව කියලා කිවවට ඒක ස්වාධීන ආයතනයක්. ගිය පාර ඔහොම කරලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු දෙකකට කලින් ගෙදර ගියේ. ඕක අතට අරගෙන බලපෑම් කරන්න ගිහින් තමයි ගෙදර යන්න වුණේ. මම විෂය පථය දන්න කෙනෙක්. මගේ බල සීමාව පිළිබඳව මම හොඳට දන්නවා. අත ගහන්න පුළුවන් ඒවා, බැරි ඒවා දන්නවා. ඒ නිසා නීතිපති දෙපාර්තමෛ්න්තුව කාර්යක්ෂම කරන්න පොදුවේ කටයුතු කරනවා මිසක් නඩු තෝරා ගෙන විරුද්ධකාරයාගේ එක උඩට අරගන්න කියලා මම කවදාවත් කතා කරලා නෑ. ඒ අය කරන දෙයක් එපා කියලත් නෑ.  


ප්‍රශ්නය:- බැඳුම්කර ගනුදෙනුව ආණ්ඩුවට බෝම්බයක් වෙලා.?  
පිළිතුර:-
ඔව්. ඒක හරි.  


ප්‍රශ්නය:- එහෙම වුණේ ඇයි?  
පිළිතුර:-
ඒක ඉතින් මගෙන් ඇහුවේ නැති වුණත් ඔයගොල්ලන්ට, රටට පේනවනේ. එහෙම සිද්ධියක් වුණා. ජනතාව ලොකු මතයක් ඇති කරගත්තා. මාධ්‍යයෙන් මේක ප්‍රශ්න කරන්න පටන් ගත්තා. අවසානයේදී ජනාධිපතිතුමා බැලුවා... සාමාන්‍ය තත්ත්වය යටතේ මේක වේගවත් වෙන්නේ නෑ. ඒකට අපහසුතාවයන් තියෙනවා. පොලිස් පරීක්ෂණවලින් හෙළි කරගන්න බැරි කරුණු තියෙනවා. ඒ නිසා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න කිව්වා. ඉතින් එතුමා පත් කළා. එහෙම පත් කරපු නිසා සියලු තොරතුරු දැන් අනාවරණය වෙමින් තියෙනවා. ඒවා අනාවරණය වුණාම ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගැනෙනවා.  


ප්‍රශ්නය:- ඇමැති රවීට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රි කිව්වා.  
පිළිතුර:-
ඒකනම් මම දන් නෑ. එතුමා කියනවා නෑ කියලා. එහෙන් කියනවා එහෙම කිව්වා කියලා. නමුත් පෞද්ගලිකව නම මම ඒ ගැන හොයලා නෑ.  


ප්‍රශ්නය:- ඇමැති රවි ඉල්ලා අස්විය යුතුයි කියලා එජාපයේම සමහර මැති ඇමැතිවරුත් කියන්න ගත්තා.  
පිළිතුර:-
බහුතරයක​ෙග මතය තිබුණේ මේ ව​ෙග් අවස්ථාවලදී ඉල්ලා අස්වීම සුදුසුයි කියලයි.  


ප්‍රශ්නය:- මීට පෙර පූර්වාදර්ශයකුත් තියෙනවා. තිලක් මාරපන ඇමැතිකමෙන් ඉල්ලා අස්වුණා.  
පිළිතුර:-
ඔව්. එතුමා ඉල්ලා අස්වුණා. ඒ එතුමා වරදක් කරලත් නොවෙයි.  


ප්‍රශ්නය:- ඇමැති රාජිත සේනාරත්න නම් කියන්නේ ගිය ආණ්ඩුවේ හොරකම් එක්ක බලනකොට මේක ලූනු බිකක කියලයි.  
පිළිතුර:-
වෙන්නැති.. මොකද ගිය ආණ්ඩුවේ හිටපු අයනේ ඒ ආණ්ඩුවේ හොරකම් ගැන දන්නේ.  


ප්‍රශ්නය:- ඇමැති සරත් ෆොන්සේකා කියනවා මේ ආණ්ඩුව ගේන්න පුරෝගාමී වුණ රවී රැකගන්න ඕන කියලා.  
පිළිතුර:-
මම ඒකට හිනා වුණා කියලා ලියන්න.  

 

 


ප්‍රශ්නය:- ජනාධිපති කොමිසම පත්කළේ බැඳුම්කර ගනුදෙනුව ගැන හොයන්න. නමුත් ඇමැති රවීට යන්න කියන්නේ ගෙයක් ලැබීමේ සිද්ධියකට?  
පිළිතුර:-
ඒකත් ඉතින් බැඳුම්කර සිද්ධියට සම්බන්ධයිනේ. පරීක්ෂණය කෙරෙන්නේ බැඳුම්කරය ගැනනේ. එතකොට ඒකට සම්බන්ධ සියලු සිද්ධි බැඳුම්කරයට අදාළයි. බැඳුම්කරයෙන් වාසියක් අරන් දෙන්න තමන් වාසියක් ගත්තද නැද්ද කියල​ෙන් මේ හොයන්නේ.   


ප්‍රශ්නය:- බැඳුම්කර ගනුදෙනුව කළේ මහ බැංකුව. ඒක අයිත් වෙලා තිබුණේ ඇමැති රවීට නොවේ කියලා කියනවා.  
පිළිතුර:-
සියල්ල රජයෙනේ. එතැනයි ප්‍රශ්නය තියෙන්නේ. මොකද මහ බැංකුව අගමැතිතුමාට ගැසට් කළාට මහ බැංකුවට අදාළ නොයෙක් කටයුතු අණපනත් මගින් බලය පැවරිලා තියෙනවා මුදල් ඇමැතිවරයාට.  


ප්‍රශ්නය:- ඇමැති රවි නම් කියන්​නේ පක්ෂයේම ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනෙක් තමයි මේ ප්‍රශ්නය පිටිපස්සේ ඉන්නෙ කියලා.  
පිළිතුර:-
එතුමා ඉතින් එහෙම කියනව නම කරුණු දැන ගෙන නම් එහෙම කියන්නේ අපි ඒක පිළිගන්නවා.  


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපකෂය කියනවා ‘රවීගෙන් නතර වෙන්නේ නෑ. මේ හොරකමේ තෝරු මෝරු අල්ලනවා.’ කියලා.  
පිළිතුර:-
ඒක ඉතින් තීරණය කරන්නේ විශේෂ ජනාධිපති කොමිසන් සභාව. ඔවුන්​ෙග් නිර්දේශ මත තමයි ඊළඟ පියවර ගැනෙන්නෙ.  


ප්‍රශ්නය:- ‘ෆුට් නෝට්’ කල්ලියටත් නිවාස සංකීර්ණ පිටින් අරන් දීලා තියෙනවා කියලා ඒකාබද්ධ විපකෂය කියනවා.  
පිළිතුර:-
ඒක මාත් මාධ්‍යවලින් තමයි දැක්කෙ.  


ප්‍රශ්නය:- ඔබට මොකද හිතෙන්නේ?  
පිළිතුර:-
අනාවරණය වෙන තොරතුරුවලට අනුව තමයි යමක් හිතන්න වෙන්නේ.  


ප්‍රශ්නය:- මේ මොහොතේදී ඔබව ඉලක්ක කරලා ආණ්ඩුවේම පිරිසක් ප්‍රහාර එල්ල කරන්නේ ඇයි? ඔබට ඒ ගැන මොනවද හිතෙන්නේ?  
පිළිතුර:-
හේතු ගණනාවක් තියෙන්න පුළුවන්.  


ප්‍රශ්නය:- ඒ හේතු අතර හම්බන්තොට වරාය චීනයට බදු දීමට ඔබ විරුද්ධ වීමත් ප්‍රධාන හේතුවක්?  
පිළිතුර:-
ඔබ හරි. මම එතැනදී තද ස්ථාවරයක හිටියා. තාමත් ඉන්නවා.  


ප්‍රශ්නය:- හම්බන්තොට වරාය චීනයට නොදී වෙන මොනවා කරන්නද කියලා අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව කියනවා. ඔබත් ඇමැති මණ්ඩලයේ ඉන්නේ ඔබ වෙන ස්ථාවරයක ඉන්​ෙන් ඇයි?  
පිළිතුර:-
ඔව්. මම ඉන්​ෙන වෙනත් මතයක. මම කියන්නේ හම්බනතොට වරාය හැදීම ගැන මම මුල ඉඳලම දන්නවා. චන්ද්‍රිකා මැතිනියගේ කාලේ පටන් ගත්තේ. අනුර බණ්ඩාරනායකයි මමයි ගියා ඒ සාකච්ඡාවලට. චීන සමාගම කිව්වේ හම්බන්තොට දැනට තියෙන ධීවර වරාය ඒක ලංකාවේ ලොකුම ධීවර වරායයි, බංකරින් වරායයි කරමු කියලයි. ඇමෙරිකන් ඩොලර් මිලියන 310 යි ඇස්තමේන්තුව.  


ප්‍රශ්නය:- නමුත් මහින්ද රාජපක්ෂ සමයේදී ඒකට ඩොලර් මිලියන 580 ක් යනවා කිව්වා.?  
පිළිතුර:-
ඔව්. ගොඩබිම හාරලානේ වරාය හැදුවේ. අවසානයෙදී වරාය හදලා ඉවර වෙනකොට ඇමෙරිකන් ඩොලර් මිලියන 1500 ක් ගියා. චීනය අපිව ණය උගුලක හිර කළා. චීනය දන්නවා අපිට කවදාවත් මේ ණය ගෙවන්න බෑ කියලා.  


ප්‍රශ්නය:- එහෙම නම් ණය දුන්නේ?  
පිළිතුර:-
ඒ දුන්නේ වෙන විකල්පයක් නැති තත්ත්වයට පත් කරලා අපේ බෙල්ල හිර කරන්නයි. එහෙම ණය දුන්​ෙන් වරාය ගන්න ඉලක්ක කරගෙනයි. ​ෙම්ක ඇත්තටම වාණිජ ගනුදෙනුවක් නොවෙයි. ​ෙද්ශපාලන ගනුදෙනුවක්.  


ප්‍රශ්නය:- දේශපාලන ගනුදෙවක් කිව්වේ?  
පිළිතුර:-
ලෝක දේශපාලන ගනුදෙවක්. අපි වරාය දීම තුළ අපේ ණය කැපෙන්නේ බිලියන එකයි. හැබැයි බිලියන 78 ක් අපි ණයයි. ඒ ඉතුරු ගණන අපි කොහොමද ගෙවන්නේ? ඒකට අපිට සැලැස්මක් තියෙනවද? එහෙම නම් චීන්නු ආපහු මෙතැනට ගේන්නේ ඩොලර් මිලියන 400 යි. අපි මෙචචර ණය ගන්න එකේ ඒ ඩොලාර් මිලියන 400 අපි ණයක් අරගෙන හරි වරාය අංගසම්පූර්ණ කළා නම් ඔය වරායෙන් අපට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.  


ප්‍රශ්නය:- ආණ්ඩුව කිව්වේ මේක තනිකරම සුදු අලියෙක්. නැව් එන්නේ නැහැ කියලා. නමුත් ඔබ කියනවා මේක දියුණු කරන්න පුළුවන් කියලා.  
පිළිතුර:-
මෙහෙමයි. මේක දියුණු කරන්න පුළුවන්ද බැරිද කියලා කතා කරලා වැඩක් නෑ. දැන් මේක හදලා ඉවරයි. වෙන විකල්පයක් නෑ. මේක දියුණු කරන්නම ඕන.  


ප්‍රශ්නය:- ඔබ විරුද්ධ වෙන්නේ ඇයි?  
පිළිතුර:-
බරපතළ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. පළමු වැනි ප්‍රශ්නය ඇත්තටම ඒක බරපතළ අනතුරක්. කොළඹ වරායට එන නැව් වලින් සියයට 85 ක්ම එන්​ෙන් ප්‍රතිඅපනයනයට. එතකොට හම්බන්තොට වරාය ඔය පහසුකම් ටික ඔක්කොම දුන්නම වැඩිපුර මුහුදු සැතපුම් හාර සියයක් දුර ගෙවාගෙන කොළඹ එයිද? එතකොට ඒ සියයට 85 ම හම්බන්තොට නතර වෙනවා නේද? එතකොට කොළඹ පිහිනුම් තටාකයක් කරන්නද කියන්නේ? අපි කොළඹ වරායට කොච්චර ආයෝජන කරලා තියෙනවද? එතකොට ඒ නැව් ටික ඔක්කොම හම්බන්තොටට ආවම සියයට 85ක් වරායේ හිමිකම තියෙන චීන සමාගමට නොවෙයිද ඒ ආදායම යන්නේ. අනිත් එක චීනය දකුණු කොළඹ වරාය හදලා අවුරුදු 25කින් යනවා.  


ප්‍රශ්නය:- නමුත් හම්බන්තොට දුන්නේ 99 අවුරුද්දකට?  
පිළිතුර:-
එතැනින් ප්‍රශ්නය හම්බන්තොට අපි හදපු වරාය ඒකේ මෙහෙයුම් කරලා අවුරුදු 99 ක් ආදායම උපයනවා. එතැන තියෙනවානේද පරස්පරයක්. ඒකයි මම කියන්නේ කොළඹ වුණේ වාණිජ ගනුදෙනුවක්. හම්බන්තොට වුණේ ලෝක දේශපාලන ගනුදෙනුවක්. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද ඉන්දියාව ත්‍රිකුණාමලය ඉල්ලන්නේ. අද මෙම ප්‍රශ්නයේදී ඉන්දියාවත් එක්ක ඇමෙරිකාව, ජපානය හා යුරෝපය එකතු වෙලා ඉන්නවා. චීන ආධිපත්‍ය පැතිරවීමට එරෙහිව ලෝක දේශපාලනය තුළ ලොකු ගැටුමක් එනවා. ඒ ගැටුමේදී අප තමයි විනාශ වෙන්නේ මුලින්ම.  


ප්‍රශ්නය:- ඔබ මේක කැබිනට් එකේදී මතු කළාම ඔබට එරෙහිව ලොකු ඝෝෂාවකුත් මතු වුණා.  
පිළිතුර:-
ඔව්. ලොකු ඝෝෂාවක් ආවා. ඇත්ත කතා කරනකොට හැමදාම එහෙමයි.  


ප්‍රශ්නය:- ඇයි ඔබ කියන මේ කාරණය ජනපතිට, අගමැතිට නොතෙ​්රෙන්නේ?  
පිළිතුර:-
ඒක මගෙන් අහලා හරියන්නේ නෑ. කැබිනට් මණ්ඩලයෙන්ම අහන්න ඕනෑ.  


ප්‍රශ්නය:- හවුල් ආණ්ඩු අවුලක් කියලා ඔබ හිතනවද?   
පිළිතුර:-
සෑහෙන දුරකට ඔව්.  


ප්‍රශ්නය:- මේ විදියට ඉස්සරහට යන්න පුළුවන්ද?  
පිළිතුර:-
අමාරුයි.  


ප්‍රශ්නය:- අමාරුයි නම් මොකද කරන්නේ?  
පිළිතුර:-
ඒකත් බලන් ඉමු.  


ප්‍රශ්නය:- මේ ආණ්ඩුව ඡන්ද තියන්නේ නැහැනේ.  
පිළිතුර:-
ඔව්. ඒක මහා භයානක දෙයක්. සිරිමාවෝ මැතිනිය අවුරුදු දෙකක් 72 ව්‍යවස්ථාවට මුවා වෙලා ඡන්දය කල් දැම්ම. අවුරැදු 17ක් යනතුරු ඒක ශාපයක් වුණා. ඒ පක්ෂයට බලයට එන්න බැරිවුණා. ජේ.ආර්. අවුරුදු 6ක් ඡන්දය කල් දැම්මා. ඒකේ ශාපය තවමත් තියෙනවා. අපිට අවුරුදු 20ක් ගිහිල්ලත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදන්න බෑ. අදත් හදලා තියෙන්නේ තනියන් නොවෙයිනේ.  


ප්‍රශ්නය:- මේ ආණ්ඩුවත් ඡන්ද කල්දාලා.  
පිළිතුර:-
මේ ඡන්ද කල්දාපු කට්ටියට අවුරුදු 40 ක් යනකල් වත් ඒ ශාපය තියේවි.  


ප්‍රශ්නය:- ඔබට හිතෙන විදියට අැයි ​ෙම් ඡන්ද කල් දාන්නේ.  
පිළිතුර:-
ඒක මම නොවෙයිනේ කරන්නේ. ඒ නිසා මට හරි උත්තරයක් දෙන්න බෑ. පළාත් පාලන ඡන්දය කල් දාන්න සාධාරණ හේතුවක් තිබුණ, සාධාරණ කාලයකට. නමුත් දැන් ඒක අසීමාන්තික විදියට යන එක වැරැදියි. පළාත් සභා ඡන්දය කල්දාන එක රටේ ඉතාම භයානක තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබෙන එකක්.  


ප්‍රශ්නය:- ඔබේ වාසගම ‘රාජපක්ෂ’ නිසා ඔබ රාජපක්ෂවරුන් සමග ඩීල් එකක ඉන්නවා කියලා කියන අයත් ඉන්නවා.  
පිළිතුර:-
හැබැයි රාජපක්ෂ ආණ්ඩුවේ ඉහළටම නැගලා ඉන්න වෙලාවේ මේ රටේ රාජපක්ෂලාට බල්ලෙක්වත් බිරුවේ නැහැනේ. මේ රටේ වචනයක් ලියන්න මාධ්‍යවේදියෙක් හිටියේ නෑ. ඒ කාලේ තමයි ඒ රාජපක්ෂවරුන්ට අභියෝග කරලා මම එළියට බැස්සෙ. අපේ ගෙවල්වලට හමුදාව දාලා. මම කෝප් වාර්තාව දෙනකොට හමුදාව ගෙවල් වට කරලා. එහෙම බාධා කරද්දිත් ඒ ගොල්ලන්ට ඔළුව නැමුවේ නෑ මම. එහෙම නම් දැන් මොකටද? ඒ ගොල්ලන්ට බලය නැති කාලෙ මම බයද ඒ ගොල්ලන්ට. මතක තියාගන්න අද මම චෝදනා කරන අය එදා මම රාජපක්ෂවරුන්ට අභියේග කරලා එළියට බහිනකොට රාජපක්ෂවරුන්ගේ දෑත් ශක්තිමත් කරන්න ආණ්ඩුව ඇතුළට ගියා. එහෙම අයද මට ඔ​හොම චෝදනා කරන්නේ.  


ප්‍රශ්නය:- දැන් තියෙන තත්්ත්වයක් එක්ක බලනකොට එදා එළියට බැහැපු එක ගැන වෙනස් හැඟීමක් නැද්ද?  
පිළිතුර:-
මෙහෙමයි. අද සමහරු දූෂණයට එරෙහිව ගිරිය කඩාගෙන කෑගහනවා. හැබැයි ඒ කෑගහන අය දූෂණය නතර කරන්න මොකක්ද කළේ කියල මට කියන්නකෝ. ඔබ හිතයි මම බව මේ පම්පෝරියක් කියනවා කියලා. මගේ ආත්ම වර්ණනාවක් කරගන්න මට අවශ්‍ය නෑ. නමුත් ර​ෙට් ජනතාවට ඇත්ත කියන්න ඕනෑ. මම අද ​ෙම් ස්ථාවරයේ ඉඳගෙන කතා කරන්නේ දූෂණයට විරුද්ධව තනියෙන් සටන් කරලා. බිලියන දාහකට වැඩියෙන් මේ රටේ ජනතාව අරන් දීපු කෙනෙක් විදියටයි.  


ප්‍රශ්නය:- ඔබ කොහොමද එහෙම කළේ?  
පිළිතුර:-
ඔබට මතක ඇති 2003 අවුරුද්ද?  


ප්‍රශ්නය:- එතකොට යූඑන්පී ආණ්ඩුව කාලේ.  
පිළිතුර:-
ඔව්. අපේ ර​ෙට් ලංගම වික්කා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාතේ රුපියල් මිලියන 860කට වික්කේ. කවුද කතා කළේ? නඩු දැම්මා කට්ටිය. නමුත් විසි කළා. අවසානයේදී මම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේක නීති විරා්ධියි කියලා තර්ක කළේ. එදා මට විරුද්ධව ජනාධීපති නීතිඥවරු පොකුරක් හිටියා. එදා හිටුප අග විනිසුරතුමා නඩුව ඇහුම්කන් දීලා අන්තිමට කිව්වා ඔබ සියලු දෙනාම පෙනී සිටින්​ෙන් රුපියල් ශත වලට. නමුත් විජයදාස රාජපක්ෂ නීතිඥතුමා පෙනී සිටින්නේ රට වෙනුවෙන් කියලා. ඒ ප්‍රකාශය කරලා තමයි ලංගම විකිණීමේ ගිවිසුම අහෝසි කළේ. අද ලංගමයත් තියෙනවද ඒ නඩු තීන්දුව නැත්නම්.  
ප්‍රශ්නය:- ඔබ කෝප් කමිටුවෙත් සභාපතිවෙලා හිටියා.  
පිළිතුර:-
ඔව්. ඒ වෙලාවේ මට මරණීය තර්ජනය තිබුණා. ඒ රජයෙන් බලපෑම් කළා. අහවල් ගනුදෙනුව ගැන ප්‍රශ්න කරන්න එපා කිව්වා. මම නතර කළාද? අවසානයේදී රක්ෂණ සංස්ථාව ආණ්ඩුවට ගන්න කියලා අපි කිව්වා. රුපියල් බිලියන 125ක වත්කම තියෙන රක්ෂණ සංස්ථාව බිලියන 60 දීලා තිබුණේ. ඒත් යූඑන්පී ආණ්ඩුව කාලේ මිලින්ද මොරගොඩ තමයි එතැන මූලිකව කටයුතු කළේ. ඒවා ආණ්ඩුවට ගන්න කිවවට පස්සේ තමයි මට පහර දුන්නේ. ඒකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? ඔය දූෂණවලට සම්බන්ධ දූෂිතයොත් ඇතුළුව 18 දෙනෙක් ගියා මහින්ද ළඟට.  


ප්‍රශ්නය:- එතකොට ඔබ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා.  
පිළිතුර:-
මම කිව්වා හිරගෙදර ඉන්න ඕනෑ එවුන්, රජගෙදර ඉන්නවා කියලා. එදා ඉඳලා ඒ අය මට විරුද්ධව මහින්ද​ෙග් මොළය සේදුවා. මට ගහන්න ගත්තා. අන්තිමට මම එළියටත් ගියා. එහෙම එළියට ගිහින් අනික් පැත්තෙන් පාර්ලිමේන්තුවටත් ආවා. මම ම​ෙග් ගමන නතර කරලා නෑ. අද ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ඇපලෝ රෝහල, ලිට්රෝ ගෑස් සමාගම, සියලුම පෞද්ගලික බැංකුවල සියලුම කොටස් සියයට 3 සිට සියයට 10 දක්වා ප්‍රමාණයන් වරායේ ඉඩම් අක්කර අට හමාර නැවත මම ජනතාවට අරන් දුන්නා. ඒ නිසා මට බොහොම පැහැදිලිව පෙනවන්න පුළුවන් මම තනි සටනක් කරලා බිලියන දාහකට වැඩිය රටට නැවත ලබාදීලා තියෙනවා. මේ සටන මම නවත්වන්නේ නෑ.  


ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබට තව සටන් තියෙනවා.  
පිළිතුර:-
ඔව්. අනිවාර්යයෙන්ම. මම හම්බන්තොට වරාය නැවත ජනතාවට අරගෙන දීලා මිසක් ආපස්ස බලන්නේ නැහැ.  


ප්‍රශ්නය:- ඔබට ඒක කරන්න පුළුවන්ද?  
පිළිතුර:-
ගන්නවා. කොහොම හරි ගන්නවා.  


ප්‍රශ්නය:- ඔහොම සටන් කරලා ඔබට ආණ්​ඩුවේ ඉන්න පුළුවන්ද?  
පිළිතුර:-
හිටියත් එකයි, නැතත් එකයි ඒක ගන්නවා. මේ එහෙම කියලා තමයි ඉස්සර ඒවත් කළේ. හම්බන්තොට වරාය බලහත්කාරයෙන් ගන්න බැහැනේ. නමුත් කුමන හෝ නිත්‍යානුකූල ක්‍රමයකින් අරගෙන මිසක් ආපස්ස බලන්නේ නෑ.  


ප්‍රශ්නය:- හම්බන්තොට වරාය බදු දීම අගමැතිවරයාගේ විශේෂ ව්‍යාපෘතියක්.  
පිළිතුර:-
ඒක කාගේ ව්‍යපෘතියක් වුණත් හම්බන්තොට වරාය ජනතා දේපොළක්. මෙතැන තියෙන්නේ අපේ රටේ ස්වාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. අද චීනය කරන්නේ එදා යුරෝපීය ජාතිකයන් තුවක්කුවෙන්, බයිනෙත්තුවෙන් කරපු දේම තමයි. මේ තමයි අපේ රටේ ශ්‍රමය හා සම්පත් සූරාකන නූතන අධිරාජ්‍යවාදී ක්‍රමය. ඕක ඇමෙරිකාව කළෘ නම් අපේ රටේ සමාජවාදියෝ ඔළුවෙන් හිටගෙන කෑගහයි. චීනය කරනකොට නෑ. චීනය තමයි අද තියෙන ලෝකයේ නරකම ධනපති රට.  


ප්‍රශ්නය:- ඔය ඔබේ සටනට සහාය දෙන තවත් ඇමැතිවරු ඉන්නවද?  
පිළිතුර:-
ඒ ගැන මට සැකයි.  


ප්‍රශ්නය:- ඒ කියන්නේ කවුරුත්ම නෑ.  
පිළිතුර:-
මම දැනුම්වත්ව නම් නෑ. හැබැයි අර්ජුන ඇමැතිතුමා ඒකට විරැද්ධව කැබිනට් පේපර්ස් 6ක් ඉදිරිපත් කරලා තිබුණා.  


ප්‍රශ්නය:- ආණ්ඩුවකට මෙහෙම යන්න පුළුවන්ද?  
පිළිතුර:-
ඒවා ගැන කම්පාවෙන්න අවශ්‍ය නෑ. ප්‍රජාතන්ත්‍රවාද​ෙය් හැටි ඒක. ජනතාවට අයිතියක් තියෙන ඕනෑ ඒ කණ්ඩායම හොඳ නැත්නම් වෙන කණ්ඩායමක් පත් කරගන්න. හැබැයි ඒක නීත්‍යානුකූල විදියට ඡන්දයකින් වෙන්න ඕනෑ.  

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්