රටේ අලුත් දේශපාලන තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.
ජනමත විචාරණයක් තියලා ජනාධිපති රනිල්ගේ කාලය දිගු කළ යුතුයි කියන ස්ථාවරයෙ නේද ඔබ ඉන්නෙත්?
මම එහෙම ස්ථාවරයක නෑ. නමුත් මේ රටේ සමාජ මතයක් තියෙනවා. විශේෂයෙන්ම රට ගැන හිතන ව්‍යාපාරිකයන් හිතනවා අවුරුදු තුන හතරක් වැටිලා ඉඳලා යන්තම් ඔළුව උස්සන්න හදන කොට නැවත වරදීවි කියලා.
සමාජ මතයක් තියෙනවා කියලා කිව්වට ඔබලා එහෙම මතයක් හදන්න හදනවා?
ඇත්තටම නෑ. මේ රටේ හැමදාමත් ඡන්දවලින් වුණේ රට දියුණු වෙන එක නොවෙයි. රටේ දියුණුවට බාධා වෙන එකයි. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28, 29 යන වගන්ති යටතේ ජනාධිපතිවරයා ශක්තිමත් නොවීම. ඒ නිසා කියන අදහසක් මිසක්. ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා ඉවරයි ඔක්තෝබර් 17 වැනිදාට ප්‍රථම ජනාධිපතිවරණය පවත්වන්න කටයුතු කරනවා කියලා.
ඔබේ පක්ෂයෙ මහ ලේකම් රංගෙ බණ්ඩාර බොහොම පැහැදිලිව කිව්වා ‘ජනාධිපතිවරයාගේ ධුර කාලය ජනමත විචාරණයකින් දිගු කරන්න’ ඕනෑ කියලා.
නෑ. එතුමා එහෙම කියලා නෑ. එතුමා කියලා තියෙන්නේ සමාජ මතයක් ගැන.
ජනපති රනිල් වෙනුවෙන් රංගෙ බණ්ඩාර මුට්ටිය දාලා බැලුවා?
නෑ. කවදාවත් එහෙම වෙන්නේ නෑනේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මිසක් වෙනත් ක්‍රමවේදයකට එතුමා යන්නේ නෑ. එතුමා බැඳී සිටිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්න.
ජනපති රනිල් රට ගොඩදැම්මා කියලා කිව්වට අර්බුදය තවත් උග්‍රවෙලා ඉතාම නරක ලෙස පුපුරා යනවා කියලා විපක්ෂය කියනවා?
බාලාංශ පන්තියේ ළමයි එක එක ඒවා කියනවනේ. ඔය කතාවත් ඒ වගේ එකක්. දැන් ඒ අය කල්පනා කළ යුතුයි නැවත ගුටි කාලා දුවනවද කියලා. ගෝල්ෆේස් එකේදි විපක්ෂයත් ගුටි කාලා දුවන රටක් බවට මේ රට පත් වුණා. නිදහසින් පසුව ආපු හැම නායකයකුටම ‘ස්තූතියි’ කියන්න ඕනැ මේ මට්ටමින් හරි මේ රට ආරක්ෂා කරගැනීම ගැන.
ජාත්‍යන්තර බලපෑම් සමග කෙසේ හෝ නිදහසෙන් පස්සේ අවුරුදු 75 ක් වැරදුණ ජාතියක් නිවැරැදි කරගැනීම සඳහා තමයි එක්සත් ජාතික පක්ෂය තනි අසුනක් බවට පත් වුණත් ඒ තනි අසුන කොච්චර බලවත්ද කියලා පෙන්වමින් මේ ගමන ආවේ.
නායකයා ස්ථාවර මතයකින් පැරදුණත් හරි ගියත් දිනුවත් පැරදුණත් මහජනතාවට බොරු නොකියා සත්‍ය ප්‍රකාශ කරපු නිසා අවසානයෙ සත්‍ය ජයගත්තා. සත්‍ය කොච්චර බලවත්ද කියනවා නම් ඒක ගිනස් වාර්තාවක් බවට පත් වුණා. තනි අසුනක් තියාගෙන මන්ත්‍රීවරයෙක් වෙලා අගමැති වෙලා ජනාධිපතිවරයා බවට පත්වෙලා. මේ කරපු හපන්කම ලෝක වාර්තාවක්.
බොහෝ අය හිතුවා එක්සත් ජාතික පක්ෂය වැටුණා කියලා. නෑ. එක්සත් ජාතික පක්ෂය අටවැනි විධායක ජනාධිපතිවරයා බිහි කළේ සත්‍ය ප්‍රකාශ කිරීම හරහා.
මොකක්ද ඔය ඔබ කියන පරම සත්‍ය?
පිළිතුර:- 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවට කිව්වා ‘යන පාර වෙනස් කරන්න එපා වෙනස් කරන්න ගියොත් දුක් විඳින්න වෙයි’ කියලා. නමුත් ජනතාව පාර වෙනස් කළා. ප්‍රතිඵලය වුණේ ජනතාවට දුක් විඳින්න සිදුවීමයි. 2021 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා එජාපයේ නායකයා.
ප්‍රතිපත්ති ප්රකාශනයෙන් කිව්වා ‘2021 ට ඕනැ ඩොලර් මිලියන 3000 ක්. 2022 ට ඕනැ ඩොලර් මිලියන 6000 ක් යන පාර මාරුකරන්න එපා. මාරු කළොත් රට විශාල අර්බුදයකට පත්වෙයි කියලා. ඡන්දදායකයා එහෙම ගැඹුරින් බලන්නේ නෑ. දේශපාලන පක්ෂ කියන විසිතුරු කතන්දර අහලා සම්පූර්ණයෙන්ම පෝලිම් යුගයකට ගිහින් දුක් වින්දා.
දැන් තියෙන ප්රශ්නය, නැවත එබඳු අර්බුදකාරී තත්ත්වයකට රට පත්වීමෙන් වළක්වා ගන්නේ කොහොම ද කියලයි?
පිළිතුර:- ඒ වෙනුවෙන් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමස්ත පාර්ලිමේන්තුවට කිව්වා ‘මම රට ගොඩගන්නම්, හැබැයි ඒකට මට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි’ කියලා. සියලු දෙනාගේ සහයෝගය එතුමාට යම් ප්‍රමාණයකින් ලැබුණා.
මන්ත්‍රීවරුන් 134 දෙනෙක් විවිධ දේශපාලන මත දරන අය පාර්ලිමේන්තුවේදී එතුමාට ඡන්දය දුන්නා. එතුමා ජනාධිපතිවෙලා පාර්ලිමේන්තුවේ ජාතික සභාවක් පිහිටෙව්වා. සමහරු ඒ ජාතික සභාව මග ඇරියා. පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරයෙකුගේ වගකීම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150, 151, 152 කියන වගන්තිවලට වගකීම. නමුත් අපට ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා එවැනි දේට වගකිව හැකි මහජන නියෝජිතයන්ද මහජනයා විසින් පත්කර එවන්නේ කියලා. ඒකටත් හේතුවක් තියෙනවා?
මොකක්ද ඒ හේතුව?
ඔව්, ඒකට අපිත් වැරැදි කාරයෝ. 1987 දී අපි මනාප තුනක් හඳුන්වලා දුන්නා. ඒ නිසා සිංහල අය සිංහල අයට ඡන්දය දුන්නා. දෙමළ අය දෙමළ අයට ඡන්දය දුන්නා. මුස්ලිම් අය මුස්ලිම් අයට ඡන්දය දුන්නා. ආගම අනුව ඡන්දය දුන්නා. කුලය අනුව ඡන්දය දුන්නා. දැන් ශ්‍රීලංකේය අනන්‍යතාව කුඩුපට්ටම් වෙලා තියෙන්නේ. එහෙම කුඩු පට්ටම් වෙච්ච ජාතියක් නැවත ගොඩගන්න නම් අපේ ඉතිහාසය, සංස්කෘතිය වැදගත්.
ඒ නිසා ඒවා ආරක්ෂා කරගෙන යා යුතු ගමනක් තියෙන්නේ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ කෙටි කාලය තුළ එතුමාට විධායක බලය ලැබුණු එකම අවස්ථාවේදී අණපනත් සියයකට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා.
ඒ අතර බොහොම භයානක ඒවත් තියෙනවා?
ඒ මොනව ද? මට එකක් කියන්න?
ඇයි ආර්ථික පරිවර්තන පනත. මේ පනතට විරුද්ධව විපක්ෂය අධිකරණයටත් ගිහින් තියෙනවා?
ඒ පනත භයානක නෑ. ඒක ඉතාම වැදගත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28 වගන්තිවල සඳහන් වන්නේ ජාතික ප්‍රතිපත්ති සහ මූලධර්ම. එතැනදි තමයි දේශපාලන පක්ෂ මහජනතාව ඉදිරිපිටට ගිහින් බොරු සුරංගනා කතා කියලා, බොරු පොරොන්දු දීලා මහා විනාශයක් කරන්නේ.
මගේ ප්රශ්නය වුණේ ආර්ථික පරිවර්තන පනත ගැනයි?
ඔව්. මම ඒකට තමයි උත්තර දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28 වගන්තිවල තියෙන්නේ රටේ මහජනතාවගේ අයිතිවාසිකම් ගැනයි. ආහාරපාන. සුරක්ෂිතභාවය, නිවාස ආදිය එහි සඳහන් වෙනවා. ඒත් එහි අවසන් වගන්තියේ කියනවා
‘ඉහත පරිච්ඡේදයේ විධි විධාන හේතු කොට නීතියෙන් කිසිම අයිතිවාසි කමක් නොපැවරෙන්නේය. තවද මෙම පරිච්ඡේදයේ විධි විධාන අධිකරණයක් හෝ විනිශ්චයාධිකරණයක් මගින් ක්‍රියාත්මක කරවාගත නොහැක්කේය. එම විධි විධානවලට අනුකූලවීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් කවර හෝ අධිකරණයකට ඉදිරිපත් කළ නොහැක්කේය.’ යනුවෙන්.
ඔබ මෙමගින් කියන්න උත්සාහ කරන්නේ?
එහෙම සඳහන් වෙලා තියෙන නිසා දේශපාලන පක්ෂවලට ගල් පැළෙන බේගල් කියන එක පාලනය කරන්න පුළුවන්. මේවා ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල තියෙනවා. මට මතක විදියට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තියෙනවා මෙතැන වගවීමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කරලා තියෙන්නේ.
මේ පනත මගින් කොහොමද වගවීම ඉෂ්ට වෙන්නේ?
මෙහෙමයි. ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධ ප්‍රතිපත්ති ප්රකාශනය සම්බන්ධයෙන් මෙහි සඳහන් වෙනවා. 2028 වසර වන විට වාර්ෂිකව සියයට 5ක් දක්වා ළඟාවීමට හෝ ඉන් පසුව වාර්ෂිකව සියයට 5ට වඩා ඉලක්කයකට ළඟා විය යුතුයි කියලා. අනාගතයේදී දේශපාලන පක්ෂවලට ජනතාව සමග සෙල්ලම් කරන්න බැරි කරනවා මේ පනතෙන්.
ඊළඟට කියනවා 2025 වසරේ සිට විරැකියාව ශ්‍රම බළකායෙන් සියයට 5 ට අඩු මට්ටමකට ගෙන ආ යුතුයි කියලා. ඒවා නීතිගත කරලා තියෙන්නේ.
ආසියාවේ බලවත් රටක් බවට පත්කරන්නයි මේ පනත ගෙනැත් තියෙන්නේ. මීට පස්සේ දේශපාලන පක්ෂවලට හන්දිවලට ඇවිත් බොරු කියලා රට විනාශ කරන්න වෙන්නේ නෑ. මේ පනත පිටු 165 කින් සමන්විතයි. ඒ පිටු 165 ම තියෙන්නේ අපේ රටේ ජනතාවගේ සුරක්ෂිත භාවය සඳහායි.
මේ පනතේ සඳහන් වෙනවා ජනාධිපතිවරයා මින් ඉදිරියට බැඳී සිටිනවා කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරලා වසර පහකට වරක් ආර්ථික ප්‍රතිපත්තියේ අවශ්‍ය සංශෝධන නීතිමය කෙටුම්පතක් මගින් ඉදිරිපත් කිරීමට කියලා.
රටට අවශ්‍ය කරන්නේ විහිළුකාරයෙක් නොවෙයි. දුර දකින නායකයෙක්. මේ තත්ත්වය තේරුම් නොගත්තොත් අනාගතයේදී තමන්ට හිඟා කන්න සිද්ධ වෙන බව අපේ ජනතාව තේරුම් ගත යුතුයි. ලෝකයෙන් ණය අරගෙන ගෙවන්න බැරි වුණොත් අපේ රට යටත් විජිතයක් බවට පත්වීම වළක්වන්න බෑ. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව මේ බව මතක් කරගත යුතුයි.
දැන් වුණත් වෙනසක් නැහැනේ. අපේ රට අයි.එම්.එෆ්. එකේ යටත් විජිතයක්නේ?
ඇයි ඔහොම කලබල වෙන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටවල් 180 ක විතර ක්‍රියාත්මකයි. එතකොට ඒවත් යටත් විජිත ද?ණය ගන්න භය වෙන්න හොඳ නෑ. ලෝකයේ සෑම ව්‍යාපාරිකයෙක්ම දියුණු වෙලා තියෙන්නේ ණය අරගෙන. නැතිව ගෙදර සල්ලි අරන් ගිහින් නොවෙයි. ණය අරගෙන ඉලක්කවලට යා යුතුයි.
කොහොම නමුත් විපක්ෂය දැන් අධිකරණයට ගිහින් තියෙනවා?
සමගි ජන බලවේගය විපක්ෂයේ කියලා ජනතාව පිළිගන්නේ නෑ. ඒකේ ඉන්නේ ජනාධිපතිතුමා හදපු පොඩි ළමයි ටිකක්. මිනිස්සු විපක්ෂය කියලා පිළිගන්නේ මාලිමාව. ඒ අය දන්නවා ඒ අයගේ බොළඳ සෙල්ලම් මේ පනතෙන් කරන්න බෑ කියලා. ජනතාවට බොරු කියන්න බලාගෙන ඉන්න අය උසාවියට ගිහින් හරි ඉඩක් හදාගන්න පුළුවන් වෙයි ද කියලා බලනවා ඇති.
ලෝකයේ රටවල් බංකොළොත් වෙලා තියෙන හැටි බලන්න. පාන් ගෙඩියක් ගන්න විල්බැරැක්කයෙන් සල්ලි අරන් යන්න වෙලා තියෙනවා. ලෙබනනයේ ලක්ෂ කොළයට ගන්න පුළුවන් පාන් රාත්තලක් විතරයි. මම ඒකයි කියන්නේ අපේ රට ඒ විපතින් මුදවාගන්න ජාතික නායකයාට තව වසර 12 ක් දිය යුතුයි කියලා.
ප්‍රසන්න සංජීව
තෙන්නකෝන්