මේ දිනවල දේශපාලන පක්ෂ, පිල් පනින මන්ත්‍රීවරුන් එකතු කරමින් සිටියි. මෙතෙක් මහින්ද සරණේ ගිය මන්ත්‍රීවරු අනූ ගණනක් දැන් රනිල් සරණේ යති. තවත් පිරිසක් සජිත් ළඟට ගියේ සති දෙක තුනකට පෙරය. විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් රැසක්ම අනුර සරණේ යන අතර, පොහොට්ටුවේ සුළු පිරිසක් සුපුරුදු පරිදි මහින්ද වන්දනය දිගටම කරගෙන යති.
දේශපාලන පක්ෂ පිල් පනින මන්ත්‍රීවරුන් එකතු කරන්නේ, ජන රැල්ල ඇත්තේ තම පක්ෂයට බව රටට පෙන්වීමටය. ජනාධිපතිවරණයට පෙර වැඩිම පිල් පනින්නන් පිරිස එකතු කර රැල්ල ඇත්තේ තමන්ට බව පෙන්වීමට ඔවුහු උත්සුක වෙති. ප්‍රශ්නය වෙන්නේ, මන්ත්‍රීවරුන් පිල් පැන්නාට එතැන ජන
රැල්ලක් නොවීමය.
මෙම ජනපතිවරණයේ ජයග්‍රාහකයා ගැන පූර්ව නිගමනයකට පැමිණීමට තවමත් අවකාශ නැත. ප්‍රධාන පක්ෂ තුනම තමා ජයග්‍රහණය කරන බවට ජන රැලි හා රැස්වීම්වලදී පුරසාරම් කීවද, අවසන් මොහොත තෙක්ම ජයග්‍රාහකයා නිගමනය කිරීමට අපහසු මෑත කාලීන මැතිවරණවලින් එකක් වෙන්නේ මෙම ජනපතිවරණයයි. ආණ්ඩු පක්ෂය, සමගි ජන සන්ධානය සහ ජ.වි.පෙ. යන පක්ෂ තුනම කැපී පෙනෙන ජන සහභාගිත්වයක් ඇති රැස්වීම් පවත්වයි. එම පක්ෂ හිතවාදීන් කියන්නේ, ‘රැල්ල’ තිබෙන්නේ තම පක්ෂයට බවය. එහෙත්, මතුපිටින් පෙනෙන ජන රැල්ල මත ජයග්‍රාහකයා අනුමාන කිරීම මිථ්‍යාවක් බව මෙරට මැතිවරණ ගණනාවකින්ම පෙන්නුම් කර තිබේ.
එක්දහස් නවසිය පනස් හයේ මහ මැතිවරණයේදී ද ජයග්‍රාහකයා ගැන පූර්ව මැතිවරණ අනාවැකි සඵල වූයේ නැත. ඩඩ්ලි සේනානායකගේ ඉවත්ව යාමෙන් පසු අගමැති තනතුරට පත්වූ සර් ජෝන් කොතලාවල, මෙම මැතිවරණය කැඳවූයේ තමන්ට යළිත් වරක් බලයට පත්වීම සඳහා වාසිදායක තත්ත්වයක් උද්ගත වී ඇති බවට නිගමනය කරමිනි. එනිසාම අගමැති කොතලාවල නියමිත කාලයට වසර එක හමාරකට කලින් මැති සබය විසුරුවා ඡන්දය කැඳවීය.
එකල පාර්ලිමේන්තුව සමන්විත වූයේ ආසන 101කිනි. විධායක ජනාධිපති ක්‍රමයක් නොවූ අතර, ආණ්ඩු නායකයා වූයේ අගමැතිවරයාය. ඔහු ද පත්වෙන්නේ මෙම ආසන 101ට තරග කර ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන් අතරිනි.
එ.ජා.ප.යට විරුද්ධව සිටි ප්‍රධාන බලවේගය වූයේ මහජන එක්සත් පෙරමුණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම එක්සත් පෙරමුණේ ප්‍රධාන පක්ෂය විය. විප්ලවකාරී සමසමාජ පක්ෂය ද, තවත් ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ද මහජන එක්සත් පෙරමුණේ සෙසු හවුල්කාරයෝ වූහ.
එහෙත්, බැලූ බැල්මටම මෙම හවුලට සිටියේ රට පිළිගත් දේශපාලන චරිත සුළු ප්‍රමාණයකි. බණ්ඩාරනායක හා ඔහුගේ සමීප සගයන් කිහිප දෙනා ද, පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සමසමාජ පක්ෂයේ කිහිප දෙනකු ද, ඊරියගොල්ල හා ඩබ්ලිව්. දහනායක ද ඇතුළුව ජනප්‍රියව සිටි පිරිස ඉතා අල්ප වූයෙන් අතට හසුවෙන ඕනෑම කෙනකු දමා මැතිවරණයට තරග කිරීමට මහජන එක්සත් පෙරමුණට සිදු වී තිබිණ. බැලූ බැල්මටම එම පක්ෂයට රැල්ලක් පෙනෙන්නට තිබුණේ නැත. අගමැති සර් ජෝන් කොතලාවල නියමිත කාලයට වසර එක හමාරකට කළින් මැතිවරණය කැඳවූයේ ද ශ්‍රී.ල.නි.ප.ය ඇතුළු මෙම හවුලට දිනන රැල්ලක් පෙනෙන්නට නොතිබූ නිසාය.
එකල ඡන්දය පැවැත්වූයේ එක් තනි දිනයක නොවේ, දවස් කිහිපයකය. දවස් ගණන ද එක ළඟ දවස් නොවූ අතර, දින කිහිපයක පරතරයක් ඇතිවය. පනස් හයේ මහ මැතිවරණය අප්‍රේල් 5 වැනිදා, 7 වැනිදා සහ 10 වැනිදාට යෙදී තිබිණ. ඒ ඒ දිනවලට ආසන ගණනක ඡන්ද පැවැත්වෙන අතර, පසු දා එම ඡන්ද ගණන් කෙරේ. ප්‍රතිඵලය ද එදාම දැනගත හැකිය. ඊළඟ දිනයේ තවත් ආසන කිහිපයක ඡන්දය පැවැත්වෙන අතර, පසු දා එම ඡන්ද ගණන් කර, ජය පරාජය ප්‍රකාශයට පත්කෙරේ. මේ අනුව, රටවැසියන්ට ද සුළඟ හමන අත බලා ඡන්දය ප්‍රකාශ කිරීමේ වරමක් හිමි වේ. සර් ජෝන් කොතලාවල අප්‍රේල් 5 වැනිදාට නියමිත ආසන ලෙස යොදා තිබුණේ එ.ජා.ප.යට හිතවත් ආසනය. එ.ජා.ප.යට වැඩි වාසි ඇති ආසනවල ඡන්දය පවත්වා එහි ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන නිසා සෙසු දින දෙකේ මැතිවරණයෙන් එ.ජා.ප.යට වාසිදායක ජන රැල්ලක් ඇති වෙනු ඇතැයි අගමැති කොතලාවලගේ සැලසුම විය. එහෙත්, ඒ සැලසුම ජනතාව අනුමත කළේ නැත.
පළමු දිනයේ එ.ජා.ප.ය දිනා ගත්තේ ආසන පහක් පමණකි. ඉතිරි ආසන ජයගත්තේ මහජන එක්සත් පෙරමුණය. 7 වැනිදා පැවැති ඊළඟ වටයේ ඡන්දයෙන් එ.ජා.ප.යට කිසිදු ආසනයක ජය හිමි නොවීය. 10 වැනිදාත් එසේය. එ.ජා.ප.යට හිමි වූයේ පළමු දවසේ ජයගත් ආසන 8 පමණකි. බණ්ඩාරනායක අගමැති කරමින් මහජන එක්සත් පෙරමුණ විශාල ජයක් ලැබීය. පූර්ව නිගමන රැලි සියල්ල බිඳවැටී තිබිණ.
හැත්තෑ හතේ මහ මැතිවරණය පවත්වන තුරුම, එවකට පැවැති රජය විශාල ජන සහභාගිත්වයෙන් යුතු රැස්වීම් රට පුරාම තැබුවේය. බස් දමා සෙනඟ ඇදිල්ල ඇරැඹුවේ හැත්තෑවේ ආණ්ඩුවය. විද්‍යුත් ජනමාධ්‍ය නොතිබූ එකල, පුවත්පත් පිටු පිරෙන්නට සෙනග පෙන්වීම මගින් ජන රැල්ල තමන් ළඟ බව පෙන්වීමට රජය උත්සාහ ගත්තේය.
හැත්තෑ හතේ අන්තිම මොහොත තෙක් ශ්‍රී.ල.නි.ප.යටත් සෙනඟ සිටියා
1977 පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද ව්‍යාපාරය අතරතුර පැවැති මැතිවරණ රැලිවලදී විපක්ෂ එක්සත් ජාතික පක්ෂය තරමටම පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැලිවලට ද විශාල ජන සහභාගිත්වයක් දැකගත හැකි විය. කොළ පැහැති ඉටි රෙද්දෙන් මැසූ හිස් වැසුම් පැලඳි එ.ජා.ප. පාක්ෂිකයන් සේම නිල් පැහැති ඉටි රෙද්දෙන් මැසූ හිස් වැසුම් පැලඳි ශ්‍රී.ල.නි.ප. සාමාජිකයන් ද මැතිවරණ දිනය කිට්ටු වෙද්දී ගම් සහ නගරවල දැකගත හැකි විය.
රතු පැහැති හිස් වැසුමෙන් සැරැසුණු වාමාංශික පාක්ෂිකයෝ ද ගම්වල වූහ. එ.ජා.ප.ය පිබිදෙමින් එද්දී ශ්‍රී.ල.නි.ප. ඡන්ද ව්‍යාපාරය ද වැහැරී තිබුණේ නැත. ශ්‍රී.ල.නි.ප. නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහභාගි වූ ඡන්ද රැස්වීම්වල සුවිශාල ජන සහභාගිත්වයක් දැකගත හැකි වූ නිසා ශ්‍රී.ල.නි.ප.ය සෑහෙන තරගයක් දෙන බව කාටත් පෙනී ගොස් තිබුණි.
එහෙත්, මැතිවරණ ප්‍රතිඵලය පූර්ව නිගමන සියල්ල බිඳ දමා තිබිණ. ශ්‍රී.ල.නි.ප.ය අන්ත පරාජයකට පත්ව මන්ත්‍රීවරුන් අට දෙනකුට පමණක් හිමි වී සිටියේය. වාමාංශික පක්ෂ දේශපාලන භූමියෙන් අතුගෑවී ගොස් සිටියේය. එ.ජා.ප.ය මැතිවරණ ආසන 168න් 144ක්ම ජයග්‍රහණය කර සිටියේය. එය හයෙන් පහක බලයක් හෙවත් අතිවිශාල ජන වරමක් විය.
පූර්ව මැතිවරණ සමයේ ශ්‍රී.ල.නි.ප.යට මෙතරම් අතිවිශාල පරාජයක් නොපෙනිණි. ඡන්ද සමයේ රැස්වීම්වල සෙනඟ සිටි පමණකින්ම ඡන්ද ප්‍රතිඵලය වාසිදායක වේ යැයි සිතීම වැරැදි බව පෙන්නුම් කළ අවස්ථාවක් වෙන්නේ 1977 මහ මැතිවරණයි.
87 ජ.වි.පෙ. රැල්ල පුස්සක් වෙයි
ඉතිහාසයේ ඊළඟ රැල්ල අපට දැකගත හැකි වූයේ 1987–89 මහා භීෂණ සමයේදීය. එකල ජේ.ආර්. හා රජීව් ගාන්ධි අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව සුවිශාල ජන සහභාගිත්වයකින් විරෝධතා ව්‍යාපාර පැවැත්විණි. ජ.වි.පෙ. මැදිහත් වීමකින් මෙම පෙළපාළි සක්‍රිය වුව ද, එ.ජා.ප.යට මහජනයා නමැති ඉන්ධනය ලැබුණේ ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන් ඇතුළු විපක්ෂයෙනි. ජ.වි.පෙ. හා එ.ජා.ප.ය අතර ආයුධ සන්නද්ධ ගැටුම අවසන් වූයේ අති විශාල ජීවිත විනාශයකිනි. 1980 එ.ජා.ප. රජයේ දෙවැනි අර්ධය ක්‍රියාත්මක වීම ඇරැඹුණු සමයේ සිටම විපක්ෂයට බර අතිවිශාල ජනතාවක් රට පුරා දැකිය හැකි විය. භීෂණ සමයේ මහා ජීවිත හා දේපළ විනාශයෙන් පසුව 1989 පැවැත්වූ මහ මැතිවරණයේදී පැහැදිලි බහුතරයක් දිනාගන්නට එක්සත් ජාතික පක්ෂ රජය සමත්විය. ජනාධිපතිවරණයෙන් ද 1988 දී ජය ලැබුණේ එජාපයටය. මැතිවරණ සමය තුළ එජාප රැස්වීම් බොහොමයක් තිබුණේ කුණාටුවකට හසුවූ අන්දමින් ජනශූන්‍යවය. විපක්ෂය වූ ශ්‍රීලනිපයට විශාල ජනතා සහායක් පෙන්නුම් කෙරිණි. එහිදී එජාප රජය භීෂණයට මුවා වී ඡන්ද දූෂණවල යෙදීම ඡන්ද පෙට්ටි පුරවා ගැනීම ආදිය සිදුවූවත් බණ්ඩාරනායක මැතිනිය පරාජය වෙන මට්ටමේ ජන රැල්ලක් පෙනෙන්නට නොතිබිණි. එහෙත් ජය එජාපයට හිමිවිය. මෙහිදී සිදුවී තිබුණේ පවතින රජයම පවත්වාගෙන යන්නට ඡන්දදායකයන් පෙලඹී තිබීමය. ජවිපෙ සහ ශ්‍රීලනිපය ක්‍රියාත්මක කළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ජනතාවට පීඩාවක් වී තිබුණේය. ඡන්දයට පෙර විපක්ෂ ක්‍රියාකාරකම්වලට හේතුව වූයේ සන්නද්ධ කණ්ඩායම්වලට තිබූ බය පක්ෂපාතීකමය. විපක්ෂයට පෙනෙන්න තිබූ රැල්ල එම මැතිවරණයේදීත් මිරිඟුවක් පමණක් විය.
භීෂණ සමය අවසන් වී එ.ජා.ප. පාලනයට වසර දාහතක් ගෙවුණු 1994 දී පැවැති මහ මැතිවරණයෙන් ද විපක්ෂය ජය ගත්තේ බහුතර එක් ආසනයකිනි. මැතිවරණ සමයේදී බණ්ඩාරනායක අගමැති යුවළගේ දියණිය වූ චන්ද්‍රිකා කුමාරතුංග වටා විශාල ආකර්ෂණීය ජන රැල්ලක් පැතිරී තිබුණේය. පළමුව පැවැත්වුණේ මහ මැතිවරණය වූ හෙයින් ඇය ඡන්ද සටනට බැස්සේ අගමැති අපේක්ෂිකාව ලෙසය. භීෂණය පැරැදවීමට වගකිව යුතු සන්නද්ධ කල්ලි මෙහෙය වූ එ.ජා.ප. මැති ඇමැතිවරුන් ආණ්ඩු පක්ෂයෙන් තරගයට ආ අතර, චන්ද්‍රිකාගේ තරුණ ආකර්ෂණශීලි නායකත්වයට එරෙහිව තරගයක් දුන්නේය. එ.ජා.ප.යේ වයෝවෘද්ධ නායකත්වය භීෂණය මැඩලීමේ අපකීර්තිමත් අළු ගොඩේ ලැග සිටි එ.ජා.ප.ය රටෙන්ම අතුගෑවී යන සෙයක් පූර්ව මැතිවරණ සටනේ පෙනෙන්නට තිබිණි. එහෙත්, චන්ද්‍රිකා වටා තිබූ ජන රැල්ල ද සමග ශ්‍රී.ල.නි.ප. ලබා ගත්තේ එ.ජා.ප.යට වඩා එක් වැඩි ආසනයකි. පෙනෙන්නට ඇති ජන රැල්ල සැබෑව ම නොවන බව එම මැතිවරණයේදී ද මනාව පෙන්නුම් කළේය. මන්ත්‍රීවරුන් පිල් මාරු කළ පමණින් ඔවුන් වටා ජන රැල්ලක් ගොඩනැගෙන්නේ නැත.
එක්දහස් නවසිය අනූනවය, දෙදහස සහ දෙදහස් එක යන වසර තුනේ මෙරට රාජ්‍ය බලය උරගා බැලූ මැතිවරණ තුනක් පැවැත්විණි. මෙම මැතිවරණ තුනේදී ජන රැල්ල එකකට එකක් වෙනස් වූයේ පුදුමාකාර අයුරිනි. එවකට උතුරු නැගෙනහිර ඊළාම් ත්‍රස්තවාදී ප්‍රහාර උච්ච අවස්ථාවකට පත්ව තිබිණි. 1999 දෙසැම්බර් 21 වැනිදා පැවැති ජනාධිතිවරණයේදී ප්‍රතිවාදි අපේක්ෂකයා වූ රනිල් වික්‍රමසිංහ පරාජයට පත් කරමින් චන්ද්‍රිකා කුමාරතුංග යළිත් ජය ගත්තාය. අනතුරුව දෙදහස වසරේ ඔක්තෝබර් 10 වැනිදා පැවැති මහ මැතිවරණය ද ජය ගන්නට චන්ද්‍රිකා කුමාරතුංගගේ ශ්‍රී.ල.නි.ප.යට හැකි විය. ඒ අතරතුර උතුරේ යුද කඳවුරු එකින් එක ඇදවැටිණි. හමුදා මරණ වාර්තා වූයේ සිය ගණනින් නොව දහස් ගණනිනි. ජන විරෝධය හමුවේ අලුත් ආණ්ඩුව වසරක් යාමට ද කලින් පෙරළා ගන්නට විපක්ෂයට හැකි විය. දෙදහස් එක වසරේ දෙසැම්බර් 5 වැනිදා පැවැති මහා මැතිවරණයේදී වසරකට පෙර චන්ද්‍රිකාට තිබූ ජන රැල්ල ආපසු හරවා ගන්නට රනිල් වික්‍රමසිංහ සහ එ.ජා.ප.ය සමත් විය. සාමයට කතා කළ රනිල්ට මැතිවරණයේදී ආණ්ඩු බලය ලැබුණේය. රනිල් සටන් විරාම ගිවිසුමක් එල්.ටී.ටී.ඊ.ය සමග අත්සන් කරමින් ආණ්ඩු පාලනය 2004 වසර දක්වා ගෙන ගියේය. මුල් අවස්ථාවේ සාම ව්‍යාපෘතියට විශාල ජනතා සහයෝගයක් ලැබුණි. විපක්ෂය රනිල්ගේ සටන් විරාම ගිවිසුම ප්‍රධාන තේමාව කරගනිමින් රනිල් රට බෙදන බවට මතයක් ගොඩනැගුවේය. ජන රැල්ල ටිකෙන් ටික යළි විපක්ෂය වෙත ඇදුණේ, රනිල් ආණ්ඩුව ලබා ගත්තාට බඩු මිල අඩු කළේවත්, රජයේ එක රැකියාවක්වත් ලබා දුන්නේ
නැති නිසාය.
දෙදහස් පහේ ජනාධිපතිවරණය එද්දී ජන රැල්ල රනිල්ගෙන් ඈත්ව විපක්ෂය වෙත ගොස් තිබිණි. 1999 දී චන්ද්‍රිකාට තිබුණු රැල්ල 2001 දී ඇද වැටුණේය. 2011 දී රනිල්ට තිබූ ජන රැල්ල 2005 දී යළිත් විපක්ෂය වෙත හැරුණේත් ක්ෂණිකවය. ඒ නිසා ජන රැල්ල මිථ්‍යාවකි. ජන රැල්ලෙන් උද්දාමයට පත්වීම මෝඩකමකි.
මෑත කාලීන උදාහරණයක් වෙන්නේ, 2015 ජනාධිපතිවරණයයි. දෙදහස් පහළොවේ පැවැති ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ තුන්වැනි වතාවටත් ඉදිරිපත් වූයේ ජනාධිපති ධුරය තුන්වැනි වතාවටත් දැරිය හැකි බවට ව්‍යවස්ථා සංශෝධනයකුත් කරගැනීමෙන් පසුවය. එල්.ටී.ටී.ඊ.ය විනාශ කර දැමූ යුද ජයග්‍රහණයේ රශ්මි කදම්බය ඒ වෙද්දීත් මහින්දගෙන් ඉවත්ව තිබුණේ නැත. ආණ්ඩුවෙන් යැපෙන පිරිසක් මහින්දගෙන් ඉවත්ව විපක්ෂයට ගිය ද මහින්ද සිතුවේ තමාට ඇත්තේ තනි අශ්වයාගේ තරගයක් කියාය. විපක්ෂය ශක්තිමත් වීමෙන් රටේ මතුව ඇති තත්ත්වය ඔවුන්ගේ අවධානයට ලක්වුණේ නැත.
“ඡන්දෙ දිනන්න පුළුවන් ද?” ජනමාධ්‍යයෙන් විමසන විට ඇමැතිවරුන් දුන්නේ සරල පිළිතුරකි.
“අයියෝ, සිම්පල්නේ... ලොක්කා උතුරේ මිනිස්සුන්ට ප්‍රභාකරන්ගෙන් නිදහස අරන් දුන්න එකම ඇතිනේ... ඒ ඡන්දත් මේ පාර අපිට...” ඒ ඇමැතිවරුන් කිව්වේ එහෙමය. ප්‍රභාකරන් මරා දමා, උතුරු නැගෙනහිර පාරවල් කාපට් කර, උතුරු වසන්තය ක්‍රියාත්මක කළ මහින්දට
දෙමළ ජනතාව පෝලිමේ ඇවිත් ඡන්දය දෙන බව මේ
ඇමැතිවරු සිතුවෝය.
“ගෝඨාත් මොනවා හරි කරයි.” මහින්දවාදීන් ඒ දවස්වල කතා වුණේ එහෙමය. ඒ කියන්නේ ජනතාව ඡන්ද පොළට යාම වළක්වන මොකක් හෝ වැඩක් ගැනය. එහෙත්, ඡන්දය දවසේ ගෝඨාට අත් බෝම්බයක්වත් පුපුරවන්න බැරි වුණේය. දෙමළ ජනතාව උදේ පාන්දරම ඡන්ද පොළට ගියේ දස දහස් ගණනිනි.
මහින්ද රාජපක්ෂ ඡන්දයෙන් පැරැදුණේය. ඒ පරාජයට ප්‍රධාන සාධකයක් වූයේ, උතුරය. රට හැදූ බව කිව්වාට, ආර්ථිකය හැදූ බව කිව්වාට ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ වෙනම රටාවකට බව හොඳින්ම පෙන්නුම් කළේ එම මැතිවරණයේදීය. සුළු ජාතීන්, නාගරික මධ්‍යම පන්තිය, තරුණ ප්‍රජාව එදා ඡන්දය පාවිච්චි කර තිබුණේ මහින්ද රාජපක්ෂට එරෙහිවය. වැඩිහිටි ප්‍රජාව, ග්‍රාමීය ප්‍රජාව, කාන්තා පාර්ශ්වය ඡන්දය පාවිච්චි කර තිබුණේ මහින්ද රාජපක්ෂට පක්ෂවය.
එහෙත්, ඒ ඡන්ද ටික පමණක් මහින්ද දිනවන්න මදි වුණේය. ජනාධිපතිවරණයක් දිනන්න නම් ගමින් ගම, ප්‍රජාවෙන් ප්‍රජාව, ජන කොටසෙන් ජන කොටස එකතු කරගත යුතුය. 2015 දී මහින්ද පිල අලුත් ඡන්ද එකතු කරන්න මහන්සි වුණේවත්, තියෙන ඡන්ද ටික රැක ගන්නට මහන්සි වුණේවත් නැත. ඔවුන් සිතුවේ, ජනතාව තමාට තවත් අවස්ථාවක් දීම ස්ථිර බවය. එහෙත්, එහෙම වූයේ නැත. සිදු වූ එකම දේ, මහින්ද වටා ස්ථිර ඡන්ද බැංකුවක් ගොඩනැගීම විතරය.
ගාලු මුවදොර අරගලයත් සමග ලක්ෂ සංඛ්‍යාත මහජනතාවක් පාරට බැස පළ කළ විරෝධය ගොනුව තිබුණේ රාජපක්ෂලාට පමණක් නොවේ. රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන්ට ද එම චෝදනා හා විරෝධය එල්ල විය. ඒ අතරින් සමහරු අදටත් රනිල් වික්‍රමසිංහ යටතේ ආණ්ඩුව නියෝජනය කරති. තනතුරු නොලැබී සිටි ගණනාවක්ම රනිල්ට සහාය පළ කරමින් එකතු වූ 92 දෙනාට අයත් වෙති. ඉතිරි පිරිස රාජපක්ෂවරුන් යටතේම තවදුරටත් පොහොට්ටුවේ රැඳී සිටිති. ඉදිරි දේශපාලන ප්‍රවණතා මත මේ සමහරු ජන ඝෝෂා මැද පිහිටුවන අලුත් ආණ්ඩුවක තනතුරුලාභීන් බවට පත්වන්නේය. එහිදී ඉබේම ඔවුන්ට ඇති දූෂණ චෝදනා ද නිෂේධ වී යනු ඇත.
ප්‍රශ්නය වෙන්නේ, ආණ්ඩුවෙන් ස.ජ.බ.යට, ස.ජ.බ.යෙන් ආණ්ඩුවට, පොහොට්ටුවෙන් ජනපති ළඟට, ජනපති ළඟින් පොහොට්ටුවට මන්ත්‍රීවරුන් පිල් පැන්නාට ජනතාව ඉන්නේ කා සමග ද කියන එකය. සැබෑ ජනමතය ඇත්තේ කවුරුන් සමගදැයි කියන්නට අද එකම දේශපාලන පක්ෂයකටවත් නොහැකි වී ඇත. ආණ්ඩුව පමණක් නොව විපක්ෂයත් ඉන්නේ දිනන්නේ කවුදැයි සිතාගන්නට බැරිව අවිනිශ්චිතවය. ඒ කියන්නේ, තවමත් රජ වෙලා ඉන්නේ මහජනතාව කියන එකය. තම දෙපා ළඟටම බඩගා යදිමින්, තමන් රජ කරවන්නැයි වැලපෙන දේශපාලකයන්ගෙන් හොඳම මිනිසා තෝරා කතිරය ගැසීම මහජනතාවගේ වගකීමය.