ගෝලීය වටිනාකම්දාම සමග සහසම්බන්ධවීම, සියලු සමාජ කොටස් අන්තර්ගත කරගැනීම හා පැරැණි සහ නවීන පාරිසරික පද්ධති සේවා වෙත ළං වීම ඔස්සේ ජනජීවී හා තිරසර නගර නිර්මාණ අභියෝගයට මුහුණ දිය හැකි යයි සිංගප්පූරුවේ ආරම්භ වූ 6 වැනි ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසුදු පරිසර සමුළුව යන තුන් ඈඳුතු සමුළුව ආරම්භක සැසි වාරයේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
“අද ලෝකය ලබා ඇති තාක්ෂණ දියුණුව ඔස්සේ ගොඩනැංවී ඇති නිර්මාපිත බුද්ධිය හා අන්තර්ජාල අංග පදනම් කරගත් සුපිරි වේගවත් සම්බන්ධතා, මානුෂීය සුරක්ෂිතභාවය හා සුබ සාධනය උපරිම තලයකට නැංවීමටත්, සුහුරු, ආරක්ෂිත ජනජීවී හා තිරසර නගර සංවර්ධනය සඳහාත් භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇති බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
සිංගප්පූරුවේ සෑන්ඞ්ස් එක්ස්පෝ හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී රටවල් 135ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සමුළුව ආරම්භ කෙරිණ. සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය තර්මන් ෂන්මුගරත්නම්, අන්ද්‍ර ප්‍රදේශ ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නායිඳු සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ ඇතුළු සම්භාවනීයයෝ රැසක් ඊට සහභාගි වූහ.
සමුළු නියෝජිතයන් පිළිගනිමින් සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂන්මුගරත්නම් මහතා පැවසුවේ නගර නිර්මාණය සම්බන්ධයෙන් ලොව පුරා විවිධ ගැටලු මෙන්ම විසඳුම් ද මතුවී ඇති බවය. මේ විසඳුම් ලොව පුරා බෙදා හදා ගැනීමට කටයුතු කළ යුතු බව ද එකිනෙකා අනෙක් හැම දෙනාගෙන් පාඩම් උගත යුතු යයි ද ඔහු අවධාරණය කළේය.
සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ පැවසූයේ එක්වර සමුළු තුනක් සමගාමීව සංවිධානය කළේ නගරය, ජලය හා පරිසරය පිළිබඳව පමණක් නොව මිනිස් සම්පත පිළිබඳව ද වැඩි අවධානය යොමු කරලීම සඳහා බවය. ශ්‍රී ලංකාවේ පරිණත හා නිපුණ දේශපාලනඥයා සේ සැලකෙන රනිල් වික්‍රමසිංහ මහතා සමුළු ත්‍රිත්වයෙහිම මුඛ්‍ය දේශනය සඳහා සහභාගි කරවා ගැනීමට හැකි වීම සතුටක් බව ඔහු ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයෙන් අනතුරුව ප්‍රශ්නෝත්තර වැඩසටහනක් ද සංවිධානය කර තිබූණි. එය සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ මහතා විසින් මෙහෙය වූ අතර එහිදී ඉදිරිපත් කළ ප්‍රශ්න සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේය.
“අනාගත ජනජීවී හා තිරසර නගර - මානව ක්‍රියාකාරකම් තුළින් මතුවන අභියෝග” මැයෙන් ආරම්භක සැසි වාරයේ මුඛ්‍ය දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
මා සමුළුවට සහභාගි වන විට, පළමුව මාගේ සිහියට නැගෙන්නේ 1965 දී පමණ පාසල් යන අවදියේ ඡායාරූප හා වාර්තා චිත්‍රපට ඔස්සේ දුටු සිංගප්පූරුවයි. එය, විරැකියාවෙන් මෙන්ම දරිද්‍රතාවයෙන් පෙළුණු ජනතාවගෙන් තදබද වූ මුඩුක්කු ගෙවල් ගොන්නක් මැද, යටත් විජිත පාලකයන් ඉදිකළ දැවැන්ත ගොඩනැගිලි කිහිපයක් නැගී සිටි තවත් එක් ආසියානු නගරයක් පමණයි.
ඊට 50 වසරකට පසු අද දිස්වන සිංගප්පූරුව මර්සර් වාර්තාවන්ට අනුව ආසියාවේ ඉහළම ජීවන තත්වය ඇති නගරයයි. මේ ගුණාත්මක බව ඔවුන්ට ඉබේ ලැබුණු එකක් නොවන බව අප කවුරුත් දන්නවා. ලී ක්වාන් යු අග්‍රාමාත්‍යවරයාගේ දුරදැක්ම හා අධිෂ්ඨානය හේතුවෙන් සිංගප්පූරුව උසස් සුහුරු, ආරක්ෂිත හා ජනජීවී නගරයක් බවට පත් වුණා.
අප අද ජීවත් වන්නේ මානව ක්‍රියාකාරකම් මත හැඩ ගැසුණු යුගයකයි. එවැනි දැවැන්ත බලපෑමක් ඇති කරන ක්‍රියාකාරකමක් වන්නේ ග්‍රාමීය ජනතාව විශල වශයෙන් නගර කරා සංක්‍රමණය වීමයි. ඒ නිසා නගරීකරණය සඳහා මානව ක්‍රියාකාරීත්වය මූලික පදනමක් වෙනවා.
2017 වසරේ ලෝක බැංකු දත්තවලට අනුව, ලෝක ජනගහනයෙන් 54.7% ක් එනම් බිලියන 4.1ක ජනතාවක් නාගරික ප්‍රදේශවල වාසය කරනවා.
මෙය මෙසේ වූයේ නාගරීකරණය, ආර්ථික වර්ධනය වේගවත් කරන උත්ප්‍රේරකයක් වීම නිසයි. නාගරීකරණය හේතු කරගෙන ජනතාව හා ව්‍යවසායයන් එකට එකතු වී කාර්මීකරණයේ හා නවීකරණයේ කේන්ද්‍ර බවට නගර පත් වුණා. සේවකයන් සහ කර්මාන්ත එකට එක්වීමත් සමග බහුල වූ රැකියා අවස්ථා නිසා ඒ සමාගම්වල ඵලදායිතාව ඉහළ යාමෙන් ඔවුන්ට ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි වුණා.
මහා පුරවර තවත් ඉදිරියට ගියේ සේවකයන් හා ව්‍යාපාර සුසංයෝගයෙන් ගෝලීය වෙළඳපොළ හා සම්බන්ධ විය හැකි ඉහළ ඵලදායකත්වයක් සහිත කේන්ද්‍රස්ථාන ලෙස වර්ධනය වූ නිසයි. මේ නගර ධනය ඉපයීම් කේන්ද්‍රස්ථාන බවට පත්වූ අතර, සිය ග්‍රාමීය පෙදෙස්වල දී හිමිව තිබූ දියුණුවීමේ ඉඩ ප්‍රස්ථා සොයමින් බොහෝ ජනතාව නගර වෙත ඇදී එන්න පටන් ගත්තා.
වැඩි වන ජනගහණයට අවශ්‍ය පරිදි යටිතල පහසුකම් ඉඩම්, මූලික සේවා නිවාස, පරිසර අවශ්‍යතා සපුරාලීම අභියෝගයක් වුණා. මේ නිසා බහුතරයක් එකම ස්ථානයකට ඒකරාශී වීමේ වාසි සහ ප්‍රතිලාභ එක් අතකින් ලැබෙද්දී, නව අභියෝග හමුවේ නාගරිකයන්ගේ ජීවන තත්ත්වය පහළ වැටුණා. සනීපාරක්ෂාව, ප්‍රවාහනය හා සුදුසු නිවාස ලබා ගැනීමේ අවකාශ ඇහිරුණා. අපිරිසිදු වාතය ආඝ්‍රාණය කරමින්, දූෂිත ජලය පානය කරමින් ජීවත්වීමට ජනතාවට වුණා.
ආසියාවේ බහුනගර පොකුරු නිර්මාණයේ දී මේ අවස්ථා හා අභියෝග අවධානයට ලක්වී තිබෙනවා. බෙයිජිං - ටියැන්ජිං - ජින්හුවංදාඕ නගර කලාපයේ ජනගහනය මිලියන 100 කට අධිකයි. අනාගතයේ බෙයිජිං සිට බැංකොක්, ජකර්තා හරහා මුම්බායි දක්වා නගර කේන්ද්‍ර පොකුරක් අපට දකින්න ලැබේවි. ලෝකයේ, විශේෂයෙන්ම ආසියානු රටවල නගර නිර්මාණ මූලිකයන්ට මෙය අපූරු පාඩමයි. ආසියානු නගර දියුණු වෙමින් පැවතුණ ද මර්සර් සමීක්ෂණයේ ජීවන තත්වය ඉහළ නගර 50 අතරට ගැනෙන්නේ ආසියානු නගර තුනක් පමණයි. සිංගප්පූරුව, තෝකියෝව සහ කෝබේ නගරයයි.
දකුණු ආසියානු නගර අතර කොළඹ ඉහළින්ම සිටියත්, නගර 231 ක් අතුරින් අපට ලැබී ඇත්තේ 137 වැනි ස්ථානයයි. ආසියානු නගර 50 ක් පමණ තිබෙන්නේ දර්ශකයේ පහලම නගර 50 අතරේයි.
ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ඉලක්කය වන්නේ ඉන්දීය සාගර මධ්‍යයෙහි අපේ රටෙහි පිහිටීමේ වාසිය පදනම් කර ගනිමින් කලාපීය වශයෙන් වැඩි ආර්ථික වර්ධනය ගැනීමයි. 2050 වන විට බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය සාගර වෙරළාසන්න රටවල ජනගහනය බිලියන 2.9 ක් බවට පත් වෙනවා.
අපගේ ප්‍රයත්නයේ වැදගත් අංගය වන්නේ බස්නාහිර මහපුරවරය හා ප්‍රධාන නාගරික කොරිඩෝර දෙකයි. මීට මිලියන 9ක ජනගහණය පදනම් වෙනවා. කොළඹ හා හම්බන්තොට වරාය වැනි දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනවා. කොළඹ වරාය අසබඩ මුහුද ගොඩ කර ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ඉදිකෙරෙනවා. කර්මාන්ත සඳහා යටිතල පහසුකම් සැපයෙන ආර්ථික කලාප හතරක් ද නිර්මාණය කෙරෙනවා.
නගර සහ මහපුරවර පුද්ගලික අංශයේ මූලිකත්වය ගත් ධන සම්පත් නිර්මාණය කරලීමේ පසුබිමක් සේ සැලකුණ ද මේ ආර්ථික ක්‍රියාදාමය බොහෝ අවස්ථාවලදී කාන්තා, වැඩිහිටි, ළමා, තරුණ හා විශේෂ අවශ්‍යතා සහිත යන සමාජ කොටස්වල අදහස් හා ඕනෑ එපාකම්වලින් තොරව සැකසී තිබෙනවා. සියලු සමාජ කොටස් අන්තර් ග්‍රහණය කර ගැනීම උදෙසා අපගේ නිවාස ප්‍රතිපත්තිය අංශ තුනක් පදනම් කරගෙන නිර්මාණය කරනවා ඒ ප්‍රතිසංවර්ධනය, ප්‍රතිස්ථානගත කිරීම හා ස්ථාපනයයි. නිසි අයුරින් භාවිත කර නැති නාගරික ඉඩම් උසස් මට්ටමේ නිවාස, වාණිජ හා සේවා අවශ්‍යතා සඳහා ප්‍රජා සහභාගීත්වය ඔස්සේ සංවර්ධනය කිරීම ප්‍රතිසංවර්ධනය යටතේ කෙරෙනවා. ප්‍රතිස්ථානගත කිරීම යටතේ නුසුදුසු මට්ටමේ ඉඩම්වල වෙසෙන ජනතාවට සුදුසු ස්ථාන දීමත්, අවශ්‍ය ස්ථානයටන්ට යටිතල පහසුකම් දීමත් කෙරෙනවා.
අවසාන අංශය වන්නේ අඩු පහසුකම් සහිත පදිංචි කිරීම් ලෙස තවමත් හැඳින්වෙන එනමුත් ආරක්ෂාව, සේවා සහ වාසස්ථානයට සුදුසු නිවාස ආදියෙන් උසස් තත්ත්වයට සංවර්ධනය කළ කොළඹ නගරයේ පදිංචි කිරීම් සමාජයීය හා නෛතික වශයෙන් පිළිගැනීමට ලක් කිරීමයි.
පසුගිය කාලයේ ගෝලීය දේශගුණ වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය අඩු වූවා. ස්වාභාවික ආපදා තත්ත්වයන් ඉහළ යමින් තිබෙනවා. නිරිතදිග ප්‍රදේශයන්හි ජනගහණ, කාර්මීකරණ හා නාගරීකරණ වර්ධනය නිසා මේ තත්ත්වය තව තවත් වර්ධනය වෙනවා. ප්‍රතිඵලය අනතුරුදායකයි.
ජල කළමනාකරණය අංශයෙන් සිංගප්පූරුව ඉදිරියෙන්ම සිටිනවා. ඔවුන් සිය මුල්ම ජාතික සැලැස්ම මගින් උත්සාහ කළේ වැඩි වැඩියෙන් ජලය රඳවා තබා ගැනීම පිළිබඳවයි. ඒ සමගම ඉතා ඥානාන්විතව අසල්වැසි දකුණු මැලේසියාවේ ජොහෝ ප්‍රාන්තය සමග ජලය සැපයුම් ගිවිසුමටත් එළැඹුණා. මුහුදු ජලය භාවිතයට සුදුසු පරිදි සැකසීමේ හා අපජලය පිරිසුදු කර ගැනීමේ කටයුතුවල නිපුණත්වය ඔවුන්ට හිමි වෙනවා. සිංගප්පූරුවේ මහජන උපයෝගීතා මණ්ඩලය මගින් නිෂ්පාදනය කරන “නව ජලය” මගින් පිළිබිඹු වන්නේ එයයි. ජනජීවී නගර සංවර්ධනයේ දී මෙමගින් අපට උගත හැකි පාඩම් බොහොමයි.
ශ්‍රී ලංකාව හෝ වෙනත් ඕනෑම රටක් හෝ සඳහා මේ අභියෝග ජයගැනීමට නම් ඒ රටේ පළාත් පාලනය දේශපාලනික මෙන්ම මූල්‍යමය වශයෙන් බලගැන්වීම කළ යුතුයි. මහා නගර කළමනාකරණය කිරීමේ දී බලපාන ප්‍රබලම ගැටලුව නම් ඔවුනට විවිධ මට්ටම්වල දී ආණ්ඩු සහ දේශීය බලධාරීන් සමග කටයුතු කිරීමට වීමයි. මධ්‍යම රජය සහ පළාත් සභා අතර, බලය බෙදන අවධිය වන විට මහා නගර හෝ ගෝලීය සම්බන්ධතාව යන සංකල්ප පිළිබඳව හෝ අදහසක්වත් ඔවුනට තිබුණේ නැහැ. නමුත් අද බලය ක්‍රියාත්මක කිරීමේ දී සම්පූර්ණයෙන්ම වෙනත් පරිසරයක දී කළ යුතුව තිබෙනවා. ඒ නිසා අපගේ පළාත් පාලන ව්‍යූහය පිළිබඳ නැවත සිතා බැලීම අත්‍යවශ්‍යයි. අප අද ජීවත් වන ආකාරයට මෙන්ම නගර පරිපාලනය කරන ආකාරයට ද මෙමගින් බලපෑම් එල්ල වෙනවා. අප සුහුරු වීදි ලාම්පු උදාහරණයට ගනිමු.
ඉතින් මේ සම්මන්ත්‍රණය වෙත ප්‍රශ්නය ඉදිරිපත් කරමින් ම මගේ කතාව අවසන් කරන්න කැමැතියි. නිර්මාපිත බුද්ධිය හා අන්තර් ජාල අංග පදනම් කරගත් සුපිරි වේගවත් සම්බන්ධතා මානුෂීය සුරක්ෂිතභාවය හා සුබ සාධනය උපරිම තලයකට නැංවීමටත්, සුහුරු, ආරක්ෂිත ජනජීවී හා තිරසර නගර සංවර්ධනය සඳහාත් භාවිත කරන්නේ කෙසේද?” යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.