(*** නිමල කොඩිතුවක්කු)
නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විරෝධතාවයක් එල්ලවී ඇති අවස්ථාවක එය ගෙන ඒමට හදිස්සි වන්නේ ඇයිදැයි රජයෙන් විමසා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා කොළඹදී ඊයේ (10) පැවසීය.
නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේනම් හදිස්සි නොවී මහා සංඝරත්නය, විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, අදහස් හා යෝජනා ගනිමින් රටට හිතකර යෝජනා ගෙන ආ යුතු යැයිද හිටපු කතානායකවරයා එහිදී සඳහන් කළේය.
ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ලක්ෂ 69 මෙන්ම අහිමි වූ ඡන්ද ලක්ෂ 62 පිළිබඳවත් අවධානය යොමු කරමින් රාජ්‍ය පාලනය ගෙනයාම ජනාධිපතිවරයාගේ සහ වත්මන් ආණ්ඩුවේ වගකීම විය යුතු බව ද පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ දී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කතානායක කරු ජයසූරිය මහතා මෙසේද කීවේය.
“ශ්‍රී ලාංකීය ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි නිදහසේ සාමකාමීව ජීවත් වෙන්න කැමති පිරිසක් අපේ ජනතාව දූෂණය, භීෂණය, අල්ලස් දීම ප්‍රතික්ෂේප කළ ජාතියක්. ඒ ජනතාව තුනෙන් දෙකක ජන වරමක් තිබෙන නව පාර්ලිමේන්තුවක් පත්කර ගන්න පසුගියදා කටයුතු කළා.
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව යෝජිත විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය යහපත් අරමුණකින් ඉදිරිපත් කරන්න ඇති කියා අප විශ්වාස කරනවා. නමුත් මෙතැනදී ප්‍රජාතන්ත්‍රවාදයට යම් ගැටලු සහගත තත්ත්වයක් සහ අනාගතයේදී මේ තුළින් ඇති වෙන හානිය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටි අයකු විදියට මා දකිනවා. අපටත් ඇස්, කන්, නාසා වසා ගෙන ඉන්න බැහැ. අපේ අදහසත් අප සද්භාවයෙන් ඉදිරිපත් කළ යුතුයි.
1978 වසරේදී ජේ. ආර්. ජයවර්ධන මහතා නව ව්‍යවස්ථාව හඳුන්වා දීපු වෙලාවෙ විවිධ මත පළ වුණා. විධායක ජනාධිපති ක්‍රමය රටට හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයම එය අහෝසි කළ යුතුයි කියා කතරගම පැවති පක්ෂ සම්මේලනයක ඒකමතික තීන්දුව ගත්තා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සිට ඊට පසුව ඉදිරිපත්වූ සෑම ජනාධිපති අපේක්ෂකයකු විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දුන්නද එය වුණේ නැහැ.
තොරතුරු දැන ගැනීමේ පනත ආසියාවෙන් පළවැනි වතාවට අප ලංකාවෙන් හඳුන්වා දුන්නා. 2008 වසරේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අපේ උත්සාහය ව්‍යර්ථ වුණා. 2010 වසරේදී පනත යළිත් ඉදිරිපත් කළ අවස්ථාවේදී එවක රජය එය ප්‍රතික්ෂේප කළා. මේ නිසා 2015 වසර වෙනතෙක් පනත නිෂ්ක්‍රීය වුණා. 2015 දී පනත සම්මත කර ගැනීමට අපට හැකි වුණා.
ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම වෙනුවෙන් සිවිල් සංවිධාන හා එක්ව අප විශාල කාර්ය භාර්ය කළා. මෙහි ප්‍රතිඵලය විදියට දහනම වැනි සංශෝධනය ඉදිරිපත් කර විධායක ජනාධිපතිධුරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් වැදගත් කාර්ය භාරය ඉටු කිරීමට අපට හැකියාව ලැබුණා.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් ආරම්භ කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒ වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටු කළා. උන්වහන්සේගේ නායකත්වයෙන් විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් සිවිල් සංවිධාන විද්වතුන් සටනට පණ පෙව්වා.
මෙමගින් තොරතුරු දැන ගැනීමේ පනත වගේම කොමිෂන් සභා ශක්තිමත් කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට අපට අවස්ථාව ලැබුණා. ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ නිසා රටට විදේශ රටවලින් විශාල ගෞරවයක් ඇති කළා. මුල් ස්ථානයේ දී ජනාධිපතිවරයාට විදේශ රටවලින් විශාල පිළිගැනීම තිබුණා.
2020 මහ මැතිවරණයේදී 19වැනි ව්‍යවස්ථා සංශෝධනය රටට හානිය කියා ජනතාවගේ මනස විකෘති කළා. 19 වැනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට නිදහස ලැබුණු ශක්තිය අද පැත්තකට දාලා 19න් රටට වූ සුභවාදි දේවල් වෙනුවට රටට විපත්වලට 19 හේතු වූ බව ඔවුන් පෙන්වා දෙමින් යනවා. පාස්කු ප්‍රහාරයට කොරෝනා වසංගතයටත් අද දහ නමය අල්ලාගෙන සිටිනවා.
ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ඡන්දය දුන්නා. ජනාධිපතිවරයාට විරුද්ධව තවත් ලක්ෂ හැට දෙකක් ඡන්දය දුන්නා කියන එක මේ අය අමතක කරලා. මේ 69 ගැන කතා කරනවා වගේම 62 ගැනත් කතා කළ යුතුයි. ඒ අයගෙත් අවශ්‍යතාවයට ද මූලිකත්වය දිය යුතුයි.
දහ නවවැනි ව්‍යවස්ථා සංශෝධනය පැත්තකට දාලා 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ඇයි මෙච්චර හදිසි කියා අප ආණ්ඩුවෙන් අහනවා.
කැබිනට් මණ්ඩලය සංශෝධනය කරන්න, ද්විත්ව පුරවැසිභාවයට අවසර දෙන්න, පාර්ලිමේන්තු වසරකින් විසුරුවා හරින්න. විගණන කොමිසම ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරන්න ගෙන එන ව්‍යවස්ථා සංශෝධනය හදිස්සි කරන්නේ ඇයි කියා අප අහනවා.
මෙමගින් මිලියන 22ක ජනතාවගේ අයිතිය එක් පුද්ගලයකුට පැවරෙනවා. ඒක රටකට හිතකර දෙයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර රජය ගත යුතුයි.
අද ව්‍යවස්ථා සභාව විවේචනය කරනවා. මගේ සභාපතිත්වයෙන් යුතු ව්‍යවස්ථා සභාවට මේ අවුරුදු හතරහමාර තුළ කිසිදු ගැටලුවක් ආවේ නැහැ. කොච්චර විවේචන කළ ද ව්‍යවස්ථා සභාවෙන් විශාල සේවාව රටට වුණා. මේ ගැනත් අවධානය යොමු කරන්න කියා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
ව්‍යවස්ථා සංශෝධනය තව සති දෙකකින් තියනවාට වඩා ඒ ගැන ගැඹුරින් සාකච්ඡා කර විපක්ෂයේත් අදහස්ගෙන සියලුදෙනා ඒකරාශි කර කරනවා නම් එය රටේ අභිවෘද්ධියට හේතු වෙනවා.
දැන් රටට අභියෝගාත්මක අවස්ථාවක් එළැඹ තිබෙනවා. මේ ගැන බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. මේ පණිවිඩය නිවැරදිව ජනතාවට දෙන්න මාධ්‍යයටත් විශාල වගකීමක් තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් පවා මෙහි සමහර කරුණුවලට විරුද්ධයි. මේ සංශෝධනය රටට අහිතකරයිනම් එය පරාජය කිරීමට සියලු දෙනා ඉදිරිපත් විය යුතුයි”යැයිද ඔහු එහිදී පැවසීය.
මුගුණුවටවන සිද්ධන්ත හිමි :
“සෝභිත හිමි ඇති කළ මහා ජාතික ව්‍යාපාරය පිටුපස සිටිමින් කරු ජයසූරිය මහතා විශාල කාර්ය භාරයක් කළා. එහි ප්‍රතිඵලය විදියට 19 සම්මත කර ගැනීමට හැකි වුණා. කරු ජයසූරිය මහතා එතුමාගේ කාල පරාසය තුළ සෝභිත හිමි දිනා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ආරක්ෂා කර ගන්න කැපවී ක්‍රියා කළා. දින 52 ආණ්ඩු සමයේ මිරිස්කුඩු කමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට එතුමා කැප වුණා. ඒ ශක්තිය හැකියාව අදත් ඔහු සතුයි.
සමහරුන් කරු ජයසූරිය මහතා වයසලු. වයසට යන්න යන්න තමයි පරිණත වෙන්නේ. විසිවැනි සංශෝධනයට එරෙහිව සියලුදෙනා ඒකරාශී කරගෙන එය පරාජය කිරීමට නායකත්වය දෙන්න කියා එතුමාගෙන් අප ඉල්ලීම කරනවා.
රටේ අභාග්‍ය සම්පන්න යුගය අවසන් කරා යළිත් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය දිනා දෙන්න කියා අප එතුමාගෙන් ඉල්ලීම කරනවා.
මහාචාර්ය රොහාන් සමරජීව මහතා :
“19 වැනි සංශෝධනයෙන් අපේ සියලු ප්‍රශ්න විසඳුණේ නැහැ. නමුත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් සාධනීය පියවර රැසක් ගැනීමට ඉන් හැකි වුණා.
19 ට එහා ගිය 19 ප්ලස් ගේන්න අප කටයුතු කළ යුතුයි. මේ රජය දිරිමත් කර තිබෙන විසිවැනි සංශෝධනයෙන් වෙන්නේ රට යළි ආපස්සට ගෙන යාමයි. ඒ නිසා එයට එරෙහිව සියලුදෙනා ශක්තිමත්ව මුහුණ දෙන්න ඕනෑ.
ආචාර්ය පාක්‍යසෝර්ති සරවනමුත්තු, මාධ්‍යවේදී සුනිල් ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වූහ.