මහජන මතය පිළිබඳව ඉතාම වැදගත් පාඩමක් ආණ්ඩු පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් දෙකටම උගන්වමින් ජනාධිපතිවරණය නිම විය. ප්‍රභූ දේශපාලනයට තවදුරටත් ජන හද ආකර්ෂණය කරගත නොහැකි බව පළමු පාඩමය. ජන හද ආකර්ෂණය කරගත හැකි නායකයකුට ජනාධිපති පුටුවට නැගගත හැකි බව දෙවැනි පාඩමය. සුපිරි යැයි සම්මත වාහනයකින් බැස අව් කණ්ණාඩි දමා ජනතාව ඉදිරියට යන ප්‍රභූ දේශපාලනය ජනතාවගේ හාස්‍යයට ලක්ව ඇති බව අපගේ දේශපාලකයන් උගත යුතු හොඳම පාඩමය. ජනපති අපේක්ෂකයා විය යුත්තේ ඔහුගේ අම්මා, නැන්දම්මා, බිරිය, සොහොයුරිය, සොහොයුරා, පුතා, දුව, පෙම්වතිය ඉදිරියට දමාගත් පුද්ගලයකු නොවිය යුතු බව මෙරට ජනතාව දේශපාලකයන්ට උගන්වා
ඇති පාඩමකි.
2019 ජනාධිපතිවරණයේදී ඡන්ද පනස්පන් ලක්ෂ හැටහතර දහසක් ලැබූ සජිත් ප්‍රේමදාසට මෙවර ලැබී ඇත්තේ ඡන්ද හතළිස් දෙලක්ෂ හතළිස් එක්දහස් හාරසිය තිස්හතරක් පමණකි. ඔහුගේ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 13කින් අඩු වී ඇත. 2019 දී ඡන්ද හාරලක්ෂ දහඅට දහස් පන්සිය පනස්තුනක් ලැබූ අනුර කුමාර දිසානායක මෙවර පළමු වටයේදී ඡන්ද පනස්හය ලක්ෂ තිස්හතර දහස් නවසිය පහළොවක ඡන්ද ප්‍රමාණයක් ලබා ඇත. ඔහු 2019ට වඩා ඡන්ද පනස් දෙලක්ෂයක් පළමු වටයේදී හිමි කරගෙන ඇත. රටේ ජනාධිපතිවරයා තුන් වැනි තැනට වැටී පරාජය වෙද්දී, රටේ විපක්ෂ නායකවරයා දෙවැනි තැනට වැටී පරාජය වෙද්දී, ලක්ෂ හතරකට මඳක් වැඩියෙන් තිබූ කුඩා පක්ෂයක නායකයකු ජනාධිපති වීම මෙවර
සුවිශේෂම සිදුවීමය.
හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනත් පක්ෂවලට සමානව රටේ සෑම ප්‍රදේශයකම විසිර ගියේ නැත. බොහෝ ප්‍රදේශවලට ගෙන් ගෙට යාම පවා සිදු වී නොතිබුණි. බොහෝ ප්‍රදේශවල ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පවා බෙදා නොතිබිණි. බොහෝ තැන්වල ඔහුගේ ප්‍රචාරක කාර්යාලයක් දැක ගැනීමටවත් නොලැබිණි.
විපක්ෂ නායකවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ද ඇතැම් ස්ථානවලදී මාලිමාවේ ඡන්ද ව්‍යාපාරය තරම් සක්‍රීය වූයේ නැත. මෙම ජනාධිපතිවරණයේදී පෝස්ටර් පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම තහනම් වුවත්, ප්‍රධාන මාර්ගවලින් බැහැර ගම්වලදී මාලිමාවේ පෝස්ටර් පත්‍රිකා විශාල වශයෙන් ඇලවී තිබිණි. එහෙත් ජනාධිපතිගේ හා විපක්ෂ නායකගේ පෝස්ටර් මේ ඇතැම් ගමක ඇලවී තිබුණේ
ඉතාම අවමයෙනි.
මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ අතර පක්ෂ මාරුව සිදවෙන්නේ තම තමන්ට සිදුවෙන පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වා ගැනීමේ අරමුණෙනි. බලයේ සිටියදී විපක්ෂයට දැඩි ලෙස හිරිහැර කළ මැති ඇමැතිවරුන් තමා එකතු වී සිටින පක්ෂය පරාජය වේ යැයි හැඟී යන විට ජයග්‍රහණය කරමින් සිටින විපක්ෂයට එකතු වෙන්නේ තමාගේ ආරක්ෂාව පිණිස මිස අන් හේතුවකින් නොවේ. දූෂණ වංචා චෝදනාවලට ලක්වූ බොහෝ දේශපාලකයන් නිතරම සිටින්නේ ජයග්‍රාහී පක්ෂයේය. එවිට කවර පක්ෂය බලයට ආවත් පූර්ව මැතිවරණ වේදිකාවේදී කෑ මොර දෙන දේශපාලන දූෂිතයන්ට දඬුවම් දීමක් සිදු වෙන්නේ නැත. මැතිවරණය අවසන් වී බලන විට පරාජිත පිලේ දූෂිත දේශපාලකයන් සිටින්නේ ජයග්‍රහණය ලැබූ පක්ෂයේය. 1999 වසරේ සිට අපට මෙම තත්ත්වය රටාවක් ලෙස හඳුනාගත හැකිය.
මෙවර ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා යන දෙදෙනාම පිල් මාරු කරන්නන් දුසිම් ගණනක් තම කඳවුරට වද්දගත්තේ, එය ජනතාව ආකර්ෂණය කරන එමෙන්ම තමාගේ බලයට විරුද්ධවාදියා ද එකතු වෙන බවට හැඟීමක් ජනතා සිත්වල ඇති
වෙතැයි හැඟීමෙනි.
එහෙත්, ජනතාව එවැනි පටු දේශපාලන දෘෂ්ටියක නොමැති බව ඔවුන් ලබා දුන් එක් පණිවුඩයකි. පොහොට්ටුවෙන් මන්ත්‍රීන් බාගත් රනිල්ටවත්, ස.ජ.බ.යටවත් ජනතාව ඡන්දය දුන්නේ නැත. ජනතාව එම දේශපාලනය ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ වෙනුවට ජනතාව තම මනාපය පළ කළේ මන්ත්‍රීවරුන් තිදෙනකු පමණක් සිටින, එමෙන්ම, ප්‍රධාන පක්ෂවල පිනුම්කාරයන් වද්ද නොගන්නා ජාතික ජනබලවේගයටය. පිනුම්කාරයන්ගෙන් පක්ෂ ශක්තිමත් නොවන බවත්, මෙරට දේශපාලන පිනුම් අප්පුලා ප්‍රතික්ෂේපිත කරන බවත් ජනතාව ලබා දී ඇති පණිවුඩයකි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහකළ දැවැන්ත මහජන නැගිටීමේ ප්‍රතිඵලයක් ලෙස අනුප්‍රාප්තික ජනාධිපති පුටුවට නැගුණු වික්‍රමසිංහ ජනාධිපතිවරයා එතැන් සිට කටයුතු කළේ අරගලය කුඩු පට්ටම් කරමිනි. අරගලයෙන් පොදු ජනතාව දුන් පණිවුඩය ඔහු සහ ඔහුගේ රජය තේරුම් ගත්තේ නැත. රාජපක්ෂලාට නඩු පැවැරුණේ නැත. ජනතාව එවැන්නක් බලාපොරොත්තු වුව ද පැරැණි පාරේම නව රජය ද ගමන් කරන්නට පටන්ගත්තේය. ජනතා විරෝධයට ලක්වූ එක් අංගයක් වූයේ, රාජපක්ෂ යුගයේ පැවැති අති විශාල කැබිනෙට්ටුවය. වික්‍රමසිංහ රජය ද එම කැබිනට්ටුවේ පැරැණි මුහුණු ඉවත් කර නවක මුහුණු ඇතුළත් කරගනිමින් අති දැවැන්ත කැබිනට්ටුවක් පවත්වාගෙන ගියේය. එම තීන්දුව ජනතාවගේ දැඩි විරෝධයට හේතු විය. අරගලකාරීන් ගැසූ ගල්වලින් වැටුණු අඹ ගෙඩිය නමැති ආණ්ඩුව අල්ලාගත් රනිල්, ඒ අඹ ගෙඩිය ආපසු පොහොට්ටුවටම ලබා දුන්නේය. එ.ජා.ප. නායක රනිල් ජනපති පුටුවේ සිටියාට තිබුණේ පොහොට්ටු ආණ්ඩුවකි. සැබැවින්ම ඒ ආණ්ඩුව ඇදවැටුණේ ගාලු මුවදොර අරගලයේදීය. ජනතාව ඒ ආණ්ඩුව අතැර ගියේ ඒ සඳහාය. එහෙත්, රනිල් පැමිණ වැටුණු ආණ්ඩුව කෙළින් කර අගමැති මහින්ද රාජපක්ෂ වෙනුවට දිනේෂ් ගුණවර්ධන අගමැති කර ආණ්ඩුව කරගෙන ගියේය. ගෝඨාභය වෙනුවට රනිල් ආවාට, රාජපක්ෂවාදී ඇමැතිවරුන් වෙනුවට රාජපක්ෂලාගෙන් කැපී සිටි අය ඇමැතිවරුන් වුණාට, මහජනතාව ආණ්ඩුව වැලඳ ගත්තේ නැත. අනුප්‍රාප්තික ජනපති වූ රනිල්ට මෙවර ලැබුණු ඡන්ද ලක්ෂ විසි දෙකෙන් පෙනෙන්නේ
ඒ කතාවය.
අතීතයේදී මෙන් වර්තමානයේදී ජනතාව පාලකයන් කියන දෙය සත්‍ය ලෙස පිළිගන්නේ නැත. සමාජ මාධ්‍යයෙන්, ජාතික ජනමාධ්‍යයෙන් ජනතාව එදිනෙදා සිදුවෙන සියලු දේ ගැන දැනුවත්ය. ජනතාව තේරුම් ගත්තේ, රනිල් ඇවිත් රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත් කළ බව පමණකි. රනිල්ට කරන්න තිබුණේ, අරගලයේ නායකයන් සමග පැහැදිලි සංවාදයකට ගොස් ඔවුන්ගේ ඉල්ලීම්වලින් කොටසක් හෝ ජනතාවට පෙනෙන පරිදි ඉටු කරන්නය. දේශපාලකයා ලබන අසීමිත ගරු බුහුමන්, සැලකිලි, රාජ්‍ය දීමනා මෙරට ජනතාවගේ හාස්‍යයට හා විරෝධයට ලක්වී බොහෝ කාලයකි. මන්ත්‍රී විශ්‍රාම වැටුප ආදිය යම් ප්‍රතිසංස්කරණයකට ලක්කර ජනතා සහාය ලබා ගත්තේ නම් රනිල්ට මෙතරම් විරෝධයක් ඇති වෙන්නේ නැත. රනිල් රට හැදුවා කීවාට ආර්ථිකය යථාවත් කළා කීවාට ජනතාවගේ ආර්ථික ප්‍රශ්න එහෙමමය. වැට් බැද්ද ඉන් ප්‍රධානය. අද මෙරට බොහෝ ජනතාවක් ජීවත් වෙන්නේ ඖෂධවලිනි. බෙහෙත් ගන්න යන හැම වාරයකම මහජනතාව ඖෂධ ශාලාවෙන් ෆාමසියෙන් එළියට එන්නේ ආණ්ඩුව පතුරු ගසමිනි. බෙහෙත් මිල ඉහළය. වැට් බද්ද මිල ඉහළ යාමට එක හේතුවකි.
ජනතාවගේ සංවේදී ඉන්ද්‍රියයන් අවුස්සන එවැනි බදු ඉවත් කිරීමට නොව තව තවත් බදු වැඩි කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගත් පියවර ජනතාවට ඔහු එපා කළේය. එය ඔහුවත් ඔහුගේ ළඟම සගයන්වත් තේරුම්
ගත්තේ නැත.
විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සාමූහිකයක් ඇති කිරීමට ජ.වි.පෙ. ගත් තීන්දුව 1988-89 සමයේ භීෂණය සම්බන්ධයෙන් ජනතාවගේ යම් සැක සංකාවක් තිබුණේ නම් එය ඉවතලෑමට පොලඹවන සාධකයක් විය. 1988-89 භීෂණ සමයේ සිදුවීම් හේතුවෙන් ජ.වි.පෙ.ට ඡන්දය දීම සඳහා ජනතාවගේ පැකිලීමක් මෙයට පෙර තිබිණි. එහෙත්, කැරැල්ල මර්දනය කිරීමේලා නම් දැරූ ආරක්ෂක අංශ සාමාජිකයන් පවා මැතිවරණ සමයේ ජ.වි.පෙ. වේදිකාවට ගොඩ වීම දැකගත හැකි විය. ජ.වි.පෙ. ප්‍රධාන පෙළේ නායකයන් ද ජ.වි.පෙ. හිතවාදී හා නොවන තරුණයන් ද දහස් ගණනක් ඝාතනය කරමින් රට පුරා භීෂණය පැතිරූ ආරක්ෂක අංශ සාමාජිකයන් ද ඒ අතර දක්නට ලැබිණි. එහෙත්, ජ.වි.පෙ. ඔවුන් සමග සුහදව මැතිවරණ කටයුතුවල යෙදීම පෙන්වා දුන්නේ ජ.වි.පෙ.ට බිය වී ඡන්දය නොදී සිටි පිරිසට පවා එයට දැන් එකතු විය හැකි බවය. පරම්පරා ගණනක වෛරයකින් තවදුරටත් ඵලක් නොවෙන බවට ලබා දුන් එම පණිවුඩය ද මෙවර විශේෂයෙන් සැලකිය යුතුය.
ජ.වි.පෙ. වෙනුවට මාලිමාව නිවැරැදි තෝරා ගැනීමක් විය. ජාතික ජන බලවේගය වශයෙන් අලුත් සන්ධානයකින් නව දේශපාලන ගමනක් යාමේ අදහස වත්මන් ජනාධිපතිවරයාගේය. ජ.වි.පෙ. දේශපාලනයට ඇතුළු විය නොහැකි වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, ඉහළ මධ්‍යම පාන්තිකයන් එකතු කරගත්තේ එමගිනි. එය සැමදාම ජ.වි.පෙ.ට තිබූ සියයට තුනක ඡන්ද ප්‍රමාණය සියයට හතළිස් තුන දක්වා ඉහළ නැංවූ බුද්ධිමත් තෝරා
ගැනීමක් විය.
ජ.වි.පෙ. විජේවීරගේ තනි සිංහල බෞද්ධ මතවාදය ප්‍රතික්ෂේප කළේය. 2005 ජනාධිපතිවරණයේදී එය යම් තරමකට සිංහල දේශප්‍රේමය වටා ගොනු වුව ද මහින්ද ජය ගෙන විමල් වීරවංශත් සිය බුක්තියට ගත් පසු ජ.වි.පෙ. තවදුරටත් සිංහල ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටියේ නැත. එම පක්ෂය මෑත කාලයේ දිගටම පෙනී සිටියේ සර්ව ජාතික, සර්ව ආගමික මතවාදයක් වෙනුවෙනි. මෙවර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද එකිනෙකාට ආදරය කරන ගෞරව කරන මිනිස් සමාජයක් වෙනුවෙන් අත්වැල් අල්ලාගෙන සිටින සිංහල දෙමළ හා මුස්ලිම් සහෝදරත්වයක් ගැන ප්‍රතිඥා දෙයි. එය ඉතා නැණවත් තීරණයකි. ජ.වි.පෙ. මැතිවරණ ක්‍රමය මගින් බලය ලබා ගැනීමට බලාපොරොත්තු වූ එම තීරණ ජනතාව අනුමත කළේය.
සුළු ජාතික
බලය අවසන්
2019 ජනාධිපතිවරණයේදී සේම මෙම ජනාධිපතිවරණයේදී ද ජයග්‍රාහකයා තෝරා ගැනීමේදී සුළු ජාතික ඡන්ද තීරණාත්මක භූමිකාවක් ඉටු කළේ නැත. ලක්ෂ හතළිහකට ආසන්න උතුරු නැගෙනහිර සහ වතුකරයේ ඡන්ද රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනා අතර බෙදී ගිය ද, අනුර දිසානායක ජයග්‍රහණය කළේ ප්‍රධාන වශයෙන්ම සිංහල ජනතාවගේ ඡන්දයෙනි. ඔහුට දමිළ හා මුස්ලිම් ජනතාවගේ ද යම් සහායක් හිමි විය. 2019 දී ජනාධිපතිවරයා ද පත්වූයේ බහුතර සිංහල ඡන්දයෙන් හෙයින්, සිංහල ජනතාව එක් මතයකට ගොනු වෙන්නේනම් සුළු ජාතික ඡන්දවල කේවල් කිරීමේ හැකියාව ඔවුන්ට අහිමි වෙන බව මෙම දෙවාරයේදීම ලැබී
ඇති පණිවුඩයකි.
සියයට තුනෙන් එළියට
ජ.වි.පෙ. නායකයා රටේ නායකත්වය කරා ඔසවා තැබුණේ ජ.වි.පෙ.ට හිමි සියයට තුනක් වූ ඡන්දදායක සාමාජිකයන් පමණක් නොවේ. ඔහු ලැබූ සියයට හතළිස් තුනක ඡන්ද ප්‍රතිශතයෙන් සියයට හතළිහක්ම වෙනත් පක්ෂවලට ඡන්දය දුන් සාමාන්‍ය ඡන්දදායකයාය. ඔවුන් අගය කළේ ජ.වි.පෙ. ප්‍රතිපත්ති ප්‍රකාශනය නොව මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ය. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සිට සුළු පරිමාණ ව්‍යාපාරිකයන් දක්වාත්, සාමාන්‍ය කම්කරුවාගේ සිට රජයේ විධායක ශ්‍රේණි නිලධාරියා දක්වාත්, කම්කරු පන්තියේ සිට මධ්‍යම පන්තිය දක්වාත් ජනතාව මාලිමාවේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවූයේ පැරැණි ජ.වි.පෙ. සාමාජිකයන්ට වුවමනා අයුරින් මේ රට වාමාංශික රටක් කිරීමටවත් රෝහණ විජේවීරගේ පැරැණි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත් නොවේ. ප්‍රභූ දේශපාලනය අවසන් කරන බවටත්, දූෂණය වංචාව අහෝසි කරන බවටත්, රටේ ආර්ථික ස්ථායිතාවක් ඇති කරන බවටත් ජා.ජ.බ. නායකයා දුන් පොරොන්දු නිසාය. අනුර වෙත නැඹුරු වූ බොහෝ දෙනා මේ රටේ මධ්‍යම පන්තිය නියෝජනය කරන පිරිසය. ඒ පිරිසට අවශ්‍ය වෙන්නේ සුපිළිපන් ශ්‍රී ලංකාවකි. පක්ෂයේ මූලය වාමාංශික වුවත්, දූෂණයෙන් තොර රාජ්‍යය පවත්වාගෙන යන්නේ නම් පොදු ජන සහාය ලැබෙන බවට මෙරට පළමු දේශපාලන වාර්තාව ජා.ජ.බ. නායකයා විධායක ජනාධිපති ලෙස අභිෂේක ලැබීමය.
මාලිමා අපේක්ෂකයා ජයග්‍රහණය කළ තීන්දුවෙන් ලැබෙන පණිවුඩය වෙන්නේ, ඔවුන්ගේ නව ප්‍රතිපත්ති ජනතාව අනුමත කර ඇති බවය. ඒ පණිවුඩය සියයට තුනක් වූ ජ.වි.පෙ. පැරැණි සාමාජිකයා තේරුම්
නීම වැදගත්ය.
අලුත් විපක්ෂයක්
විපක්ෂයට දැන් ඇති ලොකුම ප්‍රශ්නය, ජනතාව ආකර්ෂණය කරගත හැකි නායකයකු තෝරා ගැනීමය. ජනතාව හිටපු ජනාධිපතිවරයාත්, විපක්ෂ නායකවරයාත් දෙදෙනාම ප්‍රතික්ෂේප කිරීමෙන් පෙනී යන්නේ, ජනතාව ඉල්ලන වෙනසට අනුගත විය හැකි අලුත් විපක්ෂයක් වහාම තෝරාගත යුතු බවය. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක එම පුටුවට පැමිණියේ විපක්ෂයේ ආකර්ෂණීය නායකයකු ලෙස කටයුතු කිරීමෙනි. නිල විපක්ෂ නායකයා සිටියදී විපක්ෂයේ පක්ෂයක වෙනත් නායකයකු ජයග්‍රහණය කිරීමෙන් පෙනී යන්නේ නිල තනතුරු නම්බු නාම ජනතාවට ආකර්ෂණය නොවන බවය. ජනතා හද ගැස්ම තේරුම් ගත හැකි ආකර්ෂණීය කතා ශෛලියක් ඇති නායකයකුට ජනතාව තමා වෙතට ඇදගත හැකි බව අනුර කුමාර දිසානායක ජනාධිපති පුටුවට පත්වීමෙන් තේරුම්ගත හැකි ජනතා පණිවුඩය වේ. මීළඟ මහ මැතිවරණය මෙහෙයවීම සඳහා අවශ්‍ය වෙන්නේ රජයට විපක්ෂ බලවේගයක් මෙහෙයවිය හැකි ශක්තිමක් නායකයෙකි. ඔහු තමන්ගේ මතය වේදිකා මත තප්පුලමින් යන දේශපාලකයකු නොවිය යුතුය. මම, මට, මටමය යන වචන නිරතුරු පුනරුච්චාරණය කරන්නකු නොවිය යුතුය. එවැන්නකු ජනතාව අතර හෑල්ලුවට ලක්වෙනවා මිස එවැන්නකුට ජනතාව ඇදී එන්නේ නැත. විපක්ෂයෙන් ජනතාව ඈත් කරන්නකුට මීළඟ මහ මැතිවරණය ජයගත නොහැකිය.
වත්මන් ජනාධිපතිවරයාට ලැබුණු සියයට හතළිස් තුනක ඡන්ද ප්‍රමාණය සියයට පනහ දක්වා වැඩි කරගැනීමට ඔහු හැකි තරම් උපක්‍රමශීලී වෙනු ඇත. එම වෑයම බිඳ හෙළා දැනට සියයට පනස් හතක් වෙන පොදු විපක්ෂ බලවේග නිවැරැදිව මෙහෙයවුවහොත් ඉදිරි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය වීමට වත්මන් විපක්ෂයට අමාරු නැත. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ, දැනට කැඩී බිඳී කණ්ඩායම් විශාල ගණනකට වෙන්වී ඇති විපක්ෂය එකතු කරන ශක්තිමත් නායකයෙකි. එවැන්නකු වත්මන් විපක්ෂ දේශපාලනයේ සිටීදැයි සැක සහිතය.