එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක
රමේෂ් පතිරණ
ජනාධිපතිවරණය අබිමුව පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව හා ජනාධිපතිවරණ ඡන්ද සටන සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක රමේෂ් පතිරණ මහතා සමඟ කළ සාකච්ඡාවකි.
ප්රශ්නය:- කොහොමද ජනාධිපතිවරණ ඡන්ද සටන?
පිළිතුර:- ඉතාම හොඳින් සංවිධානය වෙලා ඉන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ ළාබාලතම දේශපාලන පක්ෂයක් වුණාට පහුගිය වසර එක හමාරක කාලය තුළ ලංකාවේ ඉතාම සංවිධානාත්මක දේශපාලන පක්ෂය බවට පත්වෙලා. ශාඛා සමිති, තරුණ සමිති, කාන්තා සමිති ආදී වශයෙන් ග්‍රාමීය මට්ටමෙන් සංවිධානය වෙලා. මධ්‍ය බල මණ්ඩල, දිස්ත්‍රික් සංවිධාන ගොඩ නගලා අනුබද්ධ සංවිධාන ගොඩ නගලා දැවැන්ත ව්‍යූහයක් ගොඩ නගලා තියෙනවා.
ඒ සමගම මේ රටේ පාවෙන උගත් බුද්ධිමත් ඡන්ද දායකයන් අපත් සමඟ දවසෙන් දවස රොද බැඳ ගනිමින් ඉන්නේ. ඒ ඔස්සේ ඉතාම දියුණු සංවිධානාත්මක ඡන්ද ව්‍යාපාරයක් අපි කරගෙන යනවා.
ප්රශ්නය:- එජාපයෙන් ඉදිරිපත් වුණේ සජිත් ප්‍රේමදාස. ඔහුගේ ඉදිරිපත් වීමත් එක්ක ලොකු රැල්ලක් ගොඩනැගිලා තියෙනවා?
පිළිතුර:- එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රදායික පාක්ෂිකයන් අපේක්ෂකත්වය ලබා ගැනීමේ සටනින් සජිත් ප්‍රේමදාස මහත්මයා ජය ගැනීමෙන් පසුව යම් උද්දාමයකට පත් වුණත් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ යාන්ත්‍රණයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය දවසෙන් දවස උග්‍ර වෙමින් තිබෙනවා.
අපි හොඳින්ම දන්න තොරතුරුවලට අනුව එක්සත් ජාතික පක්ෂයෙ ප්‍රබල ඇමැතිවරුන් දහ දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස මහත්මයාට කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ. ඒ සමගම පක්ෂයේ බල යාන්ත්‍රණය බරපතළ විදියට අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්මයාට හිතවත් පාක්ෂිකයන් පිරිසක් කිසියම් උද්දාමයකට පත් වුණත් ග්‍රාමීය මට්ටමේ දී ඔහුට ජනතා සහයෝගයක් නැති බව බොහොම පැහැදිළිව අපි දන්නවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළා පක්ෂයක් හැටියට ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ ජන හමුවල දී ජනතාව අමතනවා. ඊට අමතරව ඔවුනුත් ස්වාධීනව ඔවුන්ගේ ජනහමු මාලාවක් පවත්වාගෙන යයි.
ප්රශ්නය:- ඔබ එහෙම කියන්නේ කොහොම ද? ඔබ ඉන්නේ පොහොට්ටුවේ?
පිළිතුර:- ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය තිබුණනේ. සජිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය පළ කරන ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා රැස්වීම් හතක් සංවිධානය කළා. එම රැස්වීම්වලින් රැස්වීම් තුනකට විතරයි සජිත් ප්‍රේමදාස මහත්මයා ආවේ. ඒ රැස්වීම් තුනටත් සියයකට අඩු පිරිසක් තමයි සහභාගි වෙලා හිටියේ. ඉතුරු රැස්වීම් හතරම අවලංගු කරන්න වුණා. ඒ නිසා ඔය ඔබ කියපු විදියේ රැල්ලක් තියා මොකක්වත් ගම් මට්ටමේ නම් නෑ.
ප්රශ්නය:- 2015 දී ඔබලා හිතාගෙන හිටියේ එජාපයේ අපේක්ෂකයා රනිල් කියලයි. ඒත් ආවේ මෛත්‍රීපාල සිරිසේන. මේ පාරත් රනිල් එයි කියලා ගණන් හැදුවට ආවේ සජිත්. මේකට ඔබේ කඳවුර කොච්චර කලබල වුණා ද කියනවා නම් මහින්ද, බැසිල්, ගෝඨා තුන් දෙනාම ගිහින් ජනාධිපති මෛත්‍රී හමුවෙලා ඔහුගේ සහයෝගය ඉල්ලා සිටියා?
පිළිතුර:- මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අපේ සාකච්ඡාවක් ටික කාලයක ඉඳන් තිබුණා. එහෙම නැතිව ඒක එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධ කාරණාවක් නොවෙයි. අපි ඉතාම සංවිධානාත්මක පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂයෙන් එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ හැකියාවෙන් යුක්තයි.
2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව ඒ තත්ත්වය දවසෙන් දවස වර්ධනය වෙමින් තිබෙන බවත් ඉතාම පැහැදිලියි. එ් නිසා මේ රටේ සාතිශය බහුතරයක් ජනයා තුළ වර්ධනය වෙලා තියෙන ආණ්ඩු විරෝධය වගේම ජනතාවගේ දැවෙන කිසිදු ප්‍රශ්නයකට උත්තර නැති නිසා මේ ආණ්ඩුව ගෙදර යැවීමේ තදබල අවශ්‍යතාවයෙන් ජනතාව ඉන්නේ.
ඒ විරෝධය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට කියන නමට විතරක් නෙවෙයි. ඒ විරෝධය සජිත් ප්‍රේමදාසටත් එලෙසින්ම තියෙනවා. ඒ විරෝධයේ තරම ඡන්ද ප්‍රතිඵලවලින් මනාව පෙනේවි.
ප්රශ්නය:- ඔබ කියපු පළාත් පාලන මැතිවරණයේ දී තේරුවේ ගමේ අපේක්ෂකයා. නමුත් මෙවර තෝරන්නේ රටේ නායකයා. යළිත් බලය ඉල්ලලා ඉදිරියට ඇවිත් තියෙන්නේ 2015 දී පරාජය කළ රාජපක්ෂ රෙජීමයමයි. ඒක ප්‍රශ්නයක් නොවෙයි ද?
පිළිතුර:- මේ රටේ ජනතාවට තිත්ත ඇත්ත තේරුණා. මේ රටේ ජනතාව තමන්ගේ අත්දැකීමෙන්ම සියල්ල තේරුම් ගත්තා. මේ රටේ රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල කරපු චෝදනා එකක්වත් ඇත්ත නොවෙයි කියන එක ඔප්පු වෙලා ඉවරයි. ඔවුන් බලයට ආවෙම පලිගැනීමේ චේතනාවෙන්මයි. ඔවුන්ට ජනතාවට සේවය කිරීමේ උවමනාවක්වත් තිබුණේ නෑ. පලිගැනීමේ චේතනාවෙන් බලයට ආපු ආණ්ඩුවක් වෛරයෙන්, ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, නීතිය නවමින්, නීතිය අවනීතිය කරමින් අවලංගු අධිකරණ ස්ථාපිත කරමින් දේශපාලනිකව දඩයම් කරපු ආකාරය මේ රටේ ජනතාව දැක්කා.
දේශපාලනඥයන්ට විතරක් නොවෙයි මහා සංඝරත්නයට, ආරක්ෂක ප්‍රධානීන්ට රාජ්‍ය සේවකයන්ට ඒ කුරිරු මර්දනය මේ ආණ්ඩුව මුදාහැරියා. පලිගන්න කටයුතු කළ නිසා සංවර්ධනය අමතක වුණා. මේ රටේ ජනතාව පහුගිය අවුරුදු හතර හමාර සංසන්දනය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය සමගයි.
මේ රටේ ඇහැට පෙනෙන, ඇඟට දැනෙන, සිතට දැනෙන සංවර්ධනයක්, ආර්ථික සංවර්ධන වේගයක් ඒ කාලේ තිබුණා. නමුත් මේ අවුරුදු හතරහමාර තුළ මේ බිම මුඩු බිමක් බවට පත් කරලා තියෙන හැටි මේ රටේ ජනතාව දකිනවා. ඒනිසා මේ රටේ ජනතාව ඔය අභූත චෝදනා අලුයම ලූ කෙළ පිඩ වගේ බැහැර කරලා ඉවරයි.
ප්රශ්නය:- ගෝඨාභය රාජපක්ෂව මාර්කට් කරන්නේ ආරක්ෂාව පැත්තෙන් හිතලා. නමුත් ඔහුගේ කාලයේ දී හමුදා මූලස්ථානය ඇතුළටම ඇවිත් බෝම්බ ගැහුවා. ගෝඨාභයවත් මරාගෙන මැරෙන බෝම්බයක ඉලක්කයක් වුණා?
පිළිතුර:- ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය තමයි එල්ටීටීඊ සංවිධානය කියන්නේ. ඒ ත්රස්තවාදීන්ගේ ගොදුරු බවට මේ රටේ කී දෙනෙක් ගොදුරු වුණා ද? ජාතියේ වාසනාවට තමයි ඒ ප්‍රහාරවලින් ඔවුන්ෙග් ජීවිත බේරුණේ. ඉතිහාසය ගත්තොත් මේ රටට විශිෂ්ට සේවයක් කරපු විජය විමලරත්න, ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් කී දාහකගේ ජීවිත ඒ යුද්ධය බිලි ගත්තා ද? ආරක්ෂක රාජ්‍ය ඇමැති රංජන් විජයරත්න මහත්මයා, ලලිත් ඇතුලත්මුදලි මහත්මයා, ගාමිණී දිසානායක මහත්මයා, ප්‍රේමදාස ජනාධිපතිතුමා, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්මයා ඇතුළු දේශපාලනඥයන් කී දෙනෙක් ඝාතනය වුණා ද?
ඒ තත්ත්වයෙන් ඒ සැහැසි ඉරණමෙන් මේ රට මුදාගන්න පුළුවන් වුණේ එදා ඒ විදියට අහම්බෙන් දිවි බේරා ගන්න හැකි වුණ නිසයි. අපේ රණවිරුවන් අද ලෝක පූජිත වීරයන් බවට පත්වෙලා ඉන්නේ ඒ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න දැක්වූ වීරත්වය නිසයි. ඒ වීරත්වය තමයි අපේ රට රැක්කේ. අපේ රට අනාගතයට රකින්නෙත්.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ප්රතිලාභ ලබාගෙන තමන්ෙග් හිතවත් අතළොස්සකට පමණක් උදව් කරලා තියෙනවා. මේවා කියන්නේ උතුරේ ජනතාවයි.
ප්රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ වේදිකාවට ගොඩවෙන්නේ මහින්ද රාජපක්ෂත් සමගමයි. සමහරු කියනවා ගෝඨාභය දේශපාලන ගිරවෙක් කියලා?
පිළිතුර:- මහින්ද රාජපක්ෂ මැතිතුමා රැස්වීම්වලට නොගියා නම් ඔබගේ ප්රශ්නය කෙසේ වේ ද කියලා ඔබට හිතාගන්න පුළුවන් ද? මහින්ද රාජපක්ෂ මැතිතුමාට මුළු ජාතියම පක්ෂ පාට බේදයකින් තොරව ආදරය කරනවා. අපේ දේශපාලන ව්‍යාපාරයේ නායකයා එතුමයි. පොදු ජනතාවගෙත් ඉල්ලීම ආවේ අපේ කඳවුරෙන් ගෝඨාභය රාජපක්ෂ නම් කරන්න කියලා.
දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඒ ජනතා ඉල්ලීම ඒකමතිකව අනුමත කළා. මේ රටට යම් පමණකට සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදුණු නව ගමනක් මේ රටේ ජනතාව ඉල්ලනවා. ඒ ඉල්ලීම ඉටු කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සූදානමින් ඉන්නවා.
එතුමා කතා කරන්නේ ප්‍රතිපත්තිමය කරුණු. දේශපාලන මඩ අවලාද පුරසාරම්, පුරාජේරු, එතුමාගේ කතාව තුළ නෑ. රට හදන ප්‍රතිපත්ති තමයි එතුමා කතා කරන්නේ. ඒනිසා මේ රටේ ජනතාව 2015 දී ඉල්ලපු වෙනස් රාජ්‍ය පාලනයේ දී සමාජ ආර්ථික වර්ධනයේ දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මේ රටේ ජනතාවට සැබෑ ලෙසම ලැබෙනවා.
ප්රශ්නය:- දැනටමත් ගෝඨාභයගෙන් ‘මාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න බෑ.’ බලයට එන්න කලින් මෙහෙම නම් බලයට ආවොත් කොහොම වෙයි ද?
පිළිතුර:- ඒක පට්ටපල් බොරුවක්. ඕක ඔය යූඑන්පී එක මවාපාන්න හදන එකක්. එතුමා මාධ්‍යයේ වගකීම හොඳින්ම දන්න
වා වගේම මාධ්‍යයට ගරු කරන නායකයෙක්. මාධ්‍යයට එතුමාගෙන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතුමා සෘජු උත්තර දෙන්නේ. ඒක එතුමාගේ සාමාන්‍ය තත්ත්වය.
ප්රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය පොහොට්ටුවට දෙන්න තීරණය කළා?
පිළිතුර:- ඔව්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළා පක්ෂයක් හැටියට ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ ජන හමුවල දී ජනතාව අමතනවා. ඊට අමතරව ඔවුනුත් ස්වාධීනව ඔවුන්ගේ ජනහමු මාලාවක් පවත්වාගෙන යයි. ගම් මට්ටමේ දී ඔවුන්ගේ පළාත් පාලන නියෝජිතයන් හා ක්‍රියාකාරින් හිතවතුන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙයි. එය අපගේ ජයග්‍රහණයට ඉතාම වැදගත් වගේම රුකුලක්.
ප්රශ්නය:- ජනාධිපති මෛත්‍රී ස්වාධීන වෙලා. මොකක්ද මේ ස්වාධීනත්වය?
පිළිතුර:- මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට දේශපාලනිකව සෘජුව යම් අපේක්ෂකයකුට ආධාර කිරීමේ චකිතයක් මේ වෙලාවේ ඇතිවෙන එක සාධාරණයි. පසුගිය වසර හතර හමාර තුළ එතුමා එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කළා. ඒ වගේම එතුමව බලයට පත් කරන්න සම්පූර්ණයෙන්ම කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂයයි. ප්‍රතිපත්තිමය වශයෙන් එක්සත් ජාතික පක්ෂය සමග ගනුදෙනු කරන්න නොහැකි බව එතුමා අත්දැකීමෙන් ඉගෙන ගත්තා.
අනිත් අතට එතුමගේ හදවතට ළඟ ප්‍රතිපත්ති තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බව එතුමා අවබෝධ කරගෙන තියෙනවා. මේ කරුණු දෙක සසඳා බැලීමේ දී හා මේ කරුණු දිහා අවධානය යොමු කිරීමේ දී එතුමා හිතන්නට ඇති තමන් යම් පමණට මධ්‍යස්ථව ඉඳීම සෑම අතින්ම සුදුසු කාරණයක් කියලා.
- අපි එකම පවුලක සහෝදරයන් විදියට හිටියෙ. සුළු කාලයක් විරසක වෙලා හිටියත් දැන් අපි සෑම දෙනෙකුටම අවස්ථාව ලැබිලා තියෙනවා අත්වැල් බැඳගෙන රටේ පොදු හතුරු බලවේගය පරාජය කරන්න.
ප්රශ්නය:- පක්ෂ මූලස්ථානවල ගිවිසුම් අත්සන් කරලා ඔය විදියට සන්ධාන ගත වුණත් ගම්වලත් අවංකවම ඒ සන්ධානගත වීම සිද්ධ වෙනව ද?
පිළිතුර:- මම ඔබට මුලිනුත් කිව්වා. බොහොම පැහැදිලිව මේ රටේ ප්රගතිශීලි ජනතාව කියන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී ජනතාවක්. අපි එකම පවුලක සහෝදරයන් විදියට හිටියෙ. සුළු කාලයක් විරසක වෙලා හිටියත් දැන් අපි සෑම දෙනෙකුටම අවස්ථාව ලැබිලා තියෙනවා අත්වැල් බැඳගෙන රටේ පොදු හතුරු බලවේගය පරාජය කරන්න. මෙතැනදී අපි පරාජය කරන්නේ එක පුද්ගලයෙක් නොවෙයි. මේ රටට හතුරු, මේ රට විනාශ කරන, මේ රට බටහිර කොළණියක් බවට පත් කරන්න හදන, මේ රටේ දුප්පත් ජනයාගේ බොටුව සිරකරන ප්රතිගාමී කඳවුරයි අපි මේ පරාජය කරන්නේ. ඒක ප්රගතිශීලි ජනයාගේ යුතුකම වගේම වගකීමක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම සාමාජිකයෙකුට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය ගැන හිතන්ටත් පුළුවන් කමක් නෑ. පහුගිය ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට විරුද්ධව මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දුන්න ජනතාවක්. ඒ නිසා ඔවුන්ටත් පහසුයි අපටත් පහසුයි එක්ව ගමනක් යන්න.
ප්රශ්නය:- එහෙම නම් ඇයි ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතුවලට මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට එන්න දෙන්නෙ නැත්තේ?
පිළිතුර:- එහෙම කිසිම බාධාවක් නැහැ කියලා මම වගකීමෙන් කියනවා. එතුමා අපේ සහෝදර මන්ත්‍රීවරයෙක්.
ප්රශ්නය:- ඔබ එහෙම කිව්වත් පොහොට්ටුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට චන්දිම වීරක්කොඩිට ආරාධනාවක්වත් නෑ.
පිළිතුර:- එතුමට පක්ෂය විසිනුත් ගාල්ල දිස්ත්‍රික් සංවිධානය හැටියට අපිත් ආරාධනා කළා. මොකක් හරි පෞද්ගලික කාරණාවක් නිසා ඒ අවස්ථාවට එතුමා නෑවිත් හිටිය ද කියන්න මම දන්නේ නෑ. එතුමා පහුගිය දවස්වල ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ වේදිකාවල කතා කළා.
ප්රශ්නය:- ජනාධිපතිවරණයක දී සුළු ජාතික ඡන්ද තීරණාත්මකයි. එතැන දී පොහොට්ටුව ඉන්නේ ගව් ගානක් පිටිපස්සෙයි?
පිළිතුර:- පහුගිය දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් අපි කිලිනොච්චිය ප්‍රදේශයේ හිටියේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් දැන් උතුරෙත් නැගෙනහිරත් කිසිම බේදයකින් හෝ වෙනසකින් තොරව දේශපාලන කටයුතුවල නිරත වෙනවා.
2015 දී තිබුණ තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් දැන් උතුරේත් නැගෙනහිරත් ඇතිවෙලා තියෙන බව අපට බොහොම පැහැදිලිව අත්දකින්න ලැබුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා උරුම කර දුන් ආර්ථික සංවර්ධනයේ කෘෂිකාර්මික සංවර්ධනයේ ප්රතිලාභ ඒ කාලයේ ඔවුන්ට ලැබුණම ඔවුන්ට පෙන්වලා තිබුණේ වැරැදි චිත්‍රයක්.
ඒ පළාත්වල රේල් පාරවල් හදලා මහා මාර්ග පද්ධතිය සංවර්ධනය කරලා ජල සැපයුම් ව්‍යාපෘති ආරම්භ කරලා විදුලිබලය සම්පූර්ණයෙන්ම ලබා දීලා කරපු කටයුතු සියල්ලම දැන් එක තැනම නතර වෙලා තියෙනවා. සංවර්ධන ගමන සම්පූර්ණයෙන්ම ඇණහිටලා තියෙනවා.
ප්රශ්නය:- නමුත් දෙමළ ජාතික සන්ධානය තමයි දෙමළ මතය තීරණය කරන්නේ?
පිළිතුර:- මම ඒකයි කිව්වේ දැන් තියෙන්නෙ හාත්පසින්ම වෙනස් තත්ත්වයක් කියලා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ප්රතිලාභ ලබාගෙන තමන්ෙග් හිතවත් අතළොස්සකට පමණක් උදව් කරලා තියෙනවා. මේවා කියන්නේ උතුරේ ජනතාවයි. උතුරේ පළාත් සභාව හැටියට රජයෙන් වෙන් කළ ප්‍රතිපාදනවලින් ප්‍රාග්ධන වියදම්වලින් සියයට 30ක් පමණ මුදලක් තමයි වියදම් කරලා තිබුණේ. ඒ මුදලවත් ඒ ප්‍රතිපාදනවත් උතුරේ ජනතාවට ලබා නොදුන් දෙමළ ජාතික සන්ධානය ගැන බරපතළ විවේචනයක් වගේම විරෝධයක් ජනතාව තුළ තියෙනවා. ඒ උතුරේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට සමත් ප්රගතිශීලි දේශපාලනයක් අපි උතුරටත් නැගෙනහිරටත් රැගෙන ගිහින් තියෙනවා.
දකුණේ ජනතාවට තේරෙන ඇත්ත උතුරේත්, නැගෙනහිරත් ජනතාවට තේරුම් ගන්න අසීරු නෑ. ඒකට විශේෂ බාධාවක් නෑ. ඒ නිසා ඉතිහාසය දිහා බලාගෙන වර්තමානය ගැන කතා කිරීම පල රහිතයි. උතුරේත් නැගෙනහිරත් ජනතාව කොයිතරම් වෙනස් වෙලාද කියලා මෙවර ජනාධිපතිවරණයේ දී කාටත් තේරුම් ගන්න පුළුවන් වෙයි.
ප්රශ්නය:- ඒ කියන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණය ගැන ඔබට කිසිම දෙගිඩියාවක් නෑ?
පිළිතුර:- ඉතාම විශ්වාසයෙන් කියන්නේ ජයග්‍රහණය ඒකාන්තයි. ජනතාවගේ හද ගැහෙන රිද්මය හඳුනන, තේරුම් ගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට මේ මොහොතේ ජනතාවගේ බලාපාරොත්තුව මොකක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අතිවිශිෂ්ට ජයග්‍රහණය පාමුල අපි ඉන්නේ. ඒ සංඥාව තමයි ඇල්පිටියේ ජනතාව දුන්නේ.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්