උසස් අධ්‍යාපන, තොරතුරු සන්නිවේදන, තාක්ෂණික නවෝත්පාදන ඇමැති
ආචාර්ය බන්දුල ගුණවර්ධන
- පරිපූරක ඇස්තමේන්තුව දැම්මේ එජාප ආණ්ඩුවට වැඩ කළ කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ගෙවන්නයි
පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයට දින නියම වී තිබේ. මේ මහ මැතිවරණය සම්බන්ධයෙන් තබා ඇති බලාපොරොත්තු මොනවාද? මේ ඒ ගැන විමසමින් උසස් අධ්‍යාපන, තොරතුරු සන්නිවේදන, තාක්ෂණික නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය : පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අප්‍රේල් 25 මහ මැතිවරණය. මොනවද බලාපොරොත්තු?
පිළිතුර : බලාපොරොත්තු තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නව දේශපාලන සංස්කෘතියට රටේ ඉතිහාසයේ දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට අදාළවෙන ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් ඇතිකර ගැනීම. එය තමයි මූලික බලාපොරොත්තුව.
ප්‍රශ්නය :අතුරු සම්මත ගිණුම සම්මත වුණෙත් නෑ. මැකෝ කියනවා. සල්ලි අවශ්‍යයි කියලා. ඡන්දෙ කරන්න සල්ලි තියෙනවද?
පිළිතුර : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තෝරා පත්කර එවීමේ එක මූලික කාරණයක් තමයි මහජනතාවගේ මුදල් පිළිබඳ බලාගැනීම. ආණ්ඩුව වියදම් කරන හැම ශතයක්ම. වැටුප් ගෙවන්න හරි සමෘද්ධිය සඳහා හරි ඕනෑම දෙයකට ගෙවන්නේ අපේ පෞද්ගලික මුදල් නොවේ. මේ රටේ ජනතාවගෙන් හූරලා බදු වශයෙන් ලබා ගන්නා මුදල් තමයි වියදම් කරන්නේ. ඕනෑ තරම් සල්ලි දෙන්න පුළුවන්. හැබැයි ගන්න වෙන්නේ මිනිසුන්ගෙන්මයි.
පාර්ලිමේන්තුව එක දවසක් හරි නැති වුණොත් තමයි තේරෙන්නේ තත්ත්වයේ භයානකකම. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බෑ. විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප් ගෙවන්න බෑ. සමෘද්ධිය දෙන්න බෑ. සංවර්ධන යෝජනා කරන්න බෑ. ඒ නිසා අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ජනතාවට හිරිහැරයක් වෙන්න කොයිම වෙලාවකවත් මේ ව්‍යවස්ථාදායකයෙ සාමාජිකයෝ ඉඩ දෙන්නේ නෑ.
ඔබ කියපු විදියට අපේ රටේ ඉතිහාසයේ පළමු අවස්ථාවට තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි මේකට කකුල් මාට්ටුව දැම්මෙ. මංගල සමරවීර අප්‍රේල් 31 වැනිදා වෙනකම් අපේ ආණ්ඩුව පවත්වාගෙන යන්න අවශ්‍ය මුදල් වෙන්කරලා තියෙනවා.
ප්‍රශ්නය : එහෙම නම් පරිපූරක ඇස්තමේන්තුවක් දැම්මේ?
පිළිතුර : ඔව්. 2019 වෙනකම් ඔවුන්ගේ රජය විසින් දේශපාලන අරමුණ ඉටුකර ගැනීම සඳහා ක්‍රියාත්මක කරපු ළඟම පාසල, හොඳම පාසල, ගම්පෙරළිය, වගේ ව්‍යාපෘතිවලට වැඩ කරපු කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙවන්න ඕනෑ. රජය විවිධ සේවා අරගෙන තියෙනවා. ඒවට ගෙවන්න ඕනෑ. ඒ ගෙවීම් විශාල ලෙස පමාවීම නිසා විශාල පිරිසක් සෑහෙන පීඩාවට පත්වෙලා ඉන්නවා. මේ තත්ත්වය සලකලා බලලා තමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මුදල් ඇමැතිවරයා ලෙස අතුරු සම්මතයට සංශෝධනයක් ඉදිරිපත් කළේ. ඒ සංශෝධනයට සජිත් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මංගලගේ ලණුව කාලා විරුද්ධ වුණා.
ප්‍රශ්නය : ඔවුන් කිව්වේ ණය සීමාව ඉක්මවා යන නිසා විරුද්ධ වෙනවා කියලයි.
පිළිතුර : එහෙම තමයි කිව්වේ. රාජ්‍ය මූල්‍ය පිළිබඳ වැස්සකට හරි විශ්වවිද්‍යාලයකට ගිහින් තියෙන අය දන්නවා දිනපතා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා ණය අරගෙන තමයි ආණ්ඩුවක් දුවන්නේ කියලා. ඒකට භාණ්ඩාගාරය බැඳුම්කර වෙන්දේසි තියෙනවා. ඒවා ඉවර වෙනකොට වෙළෙඳපොළේ පොලී අනුපාතයට වෙන බලපෑම ගැන ඉංග්‍රීසි මාධ්‍යයේ පුවත් පත්වල වෙනම පිටු බාගයක් විතර දැන්වීම් එනවා. ණය සීමාව වැඩි කරන්නේ නැතිව ඒ සල්ලි ටික ගෙවන්න බැරි වුණා. ඒ නිසා තමයි අගමැතිතුමා සඳහන් කළේ අවස්ථාව ලැබෙන පළමු වැනිම අවස්ථාවෙදි මේ වගේ විපක්ෂයක් නම් තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා. දැන් අපි අපේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කරලා ඊට පස්සේ අලුත් අය වැයක් ඉදිරිපත් කරලා සෞභාග්‍යයේ ඉදිරි දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.
ප්‍රශ්නය : සෞභාග්‍යයේ ඉදිරි දැක්ම වගේ අලංකාරික වචන තිබුණට තියෙන්නේ පරණ මුහුණුමයි තියෙන්නේ. අලුත් බෝතලේ පරණ වයින්.
පිළිතුර : නෑ. තියෙන්නේ. සෞභාග්‍යය රටට ගෙනාපු මුහුණුමනේ. රට කඩන්නේ නැතිව, බෙදෙන්නේ නැතිව සියලු ජාතිකයන්ට අභය දානය ලබා දුන්න මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ මුහුණ තියෙනවා. ඊට පස්සේ මේ රටේ අධ්‍යාපන ඉතිහාසය වෙනස් කරපු තාක්ෂණ විෂය දහරාව හඳුන්වලා නවෝත්පාදන ඇති කරපු අධ්‍යාපන ඇමැති වශයෙන් මගේ මුහුණ තියෙනවා. ඉතින් මොකක්ද වැරැද්ද?
ඊළඟට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අපූරුවට මෙහෙයවපු කතා නායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ මුහුණ තියෙනවා. රට පාවාදීපු ජිනීවා ගිවිසුම ජිනීවා නුවරට ගිහින් වෙනස් කරගෙන එන්න පුළුවන්කම තිබ්බ දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාගේ මුහුණ තියෙනවා. මේ රටට විරුද්ධව විජාතික බලවේග ක්‍රියාත්මක වෙනකොට ඒ වෙනුවෙන් මාරාන්තික උපවාස කරපු විමල් වීරවංශගේ මුහුණ තියෙනවා. මේ වගේ මුහුණු තමයි තියෙන්නේ.
ඉතින් මේ මුහුණු එපානම් මීට වඩා හොඳ මුහුණ සජිත් ප්‍රේමදාසගේ මුහුණ කියලා හිතෙනවා නම් එහෙම නැත්නම් මංගල සමරවීරගේ... රාජිත සේනාරත්නගේ.... චම්පික රණවකගේ මුහුණ කියල හිතෙනවා නම් ඒක ජනතාවගේ මුහුණු කැමැත්ත.
ප්‍රශ්නය : ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවෙලා මාස 4 යි. ජනතාව හිතුවා ආපු දවසේ ඉඳලා වැඩ පෙන්වයි කියලා. නමුත් ජනතාව ඉන්නේ හරිම පීඩනයකින්.
පිළිතුර : එයින් බේරුණා හොඳටම ප්‍රමාණවත් මොකද හේතුව අවුරුදු 5 ක් තිස්සේ රටක් මුළුමනින්ම විනාශ කළාම වක්කඩ කැඩුවා වගේ සියලු දේවල් පිටරටින් ගෙනල්ලා ආර්ථිකය විනාශ කරලා තියෙන්නේ. මේ නිසා තමයි තරුණයෝ පුරන් වෙච්ච කුඹුරු වගා කරන්න පටන් අරගෙන තියෙන්නේ. ගම්මිරිස්, කජු, කුරුඳු, කරුංකා ජාවාරම්වලට අනුව මෙරටට ගෙන්වපු නිසා ඒවා ඔක්කොම නතර කළා. කර්මාන්ත ඔක්කොම විනාශ කරලා හඳුන්කූරු සරුංගල් බූරු කුට්ටම් සියල්ල පිටරටින් ආනයනය කළේ. ඒ සියල්ල නතර කළා. බදු ගෙවා ගන්න බැරිව හිටපු ජනතාව තමන්ගේ ව්‍යාපාර වහලා දැම්මා. ඒ මිනිසුන්ට හුස්ම ගන්න පුළුවන් වෙන්න බදු ගෙවා ගන්න බැරිව සිය දිවි නසා ගන්න සූදානම්වෙලා හිටපු මිනිසුන්ට ආපසු ජීවිතය දෙන්න වැට් බදු ඇතුළු බදු සහන පැකේජයක් දුන්නා.
ප්‍රශ්නය :ඔය ඔබ කියන බදු සහන පැකේජයෙන් සහන සැලසුණෙත් මහා පරිමාණ ව්‍යාපාරික සමාගම්වලටයි ?
පිළිතුර : බදු පිළිබඳව අබමල් රොණක තරම්වත් අවබෝධයක් නැති බදු හා සම්බන්ධිත අධ්‍යාපනයක් ලැබීම සඳහා වැස්සකටටවත් විශ්වවිද්‍යාලයකට නොගිය කෙනෙක් තමයි ඒක කියන්නේ. මොකද අත්‍යවශ්‍ය භාණ්ඩවලට වැට් බදු නෑ. සහල් පිටි, සීනි ලොකු ලූනු, අර්තාපල්, පරිප්පු, සැමන්, මේවට තියෙන්නේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද. ඉතින් වැට් බදු අඩු කළා කියලා. ඒවායේ බදු අඩු වෙන්නේ නැහැනේ. ඒ නිසා මේ කතා කරන බදු, අය වැය හිඟය, උද්ධමනය, විනිමය අනුපාතය කියන දේවල් මේ ලෝකයේ ශාස්ත්‍රයකට අනුව සිද්ධවෙන තාක්ෂණික කරුණු කාරණා.
ඉතින් ඒ සම්බන්ධව ප්‍රාමාණික අවබෝධයක් නැතිව නන් දෙඩවිල්ලක් විතරක් කළාම ඒක හුදු දේශපාලන සටන් පාඨයක් විතරයි. ඒකට මැද කාලීන දිගු කාලීන පිළියම් ලෙස තමයි කෘෂි කාර්මික ක්ෂේත්‍රයට අදාළව මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි මේ රටේ වගා කළ හැකි සියලුම දේවල් රට ඇතුළේ වගා කරන්නත් මේ රටේ නිපදවිය හැකි සියලුම භාණ්ඩ රට ඇතුළේ නිෂ්පාදනය කරන්නත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ස්ව ජාතික කර්මාන්තකරුවනුත්, දේශීය ගොවියන් ආරක්ෂා කර ගැනීමට පදනම් කරගත් වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙන්නේ. දැන් හුස්ම ගන්න පුළුවන්වෙලා තියෙනවා. ණය සහන පැකේජයක් දීලා තියෙනවා. මේ දුෂ්කරම අවස්ථාවේත් ණය ගෙවාගෙන සුළු ව්‍යාපාරිකයන්ට අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න සියයට 10 පොලියට මිලියන 300ක් දක්වා ණය රාජ්‍ය බැංකු විසින් ලබා දෙනවා. ලංකාවේ කිසිම ආණ්ඩුවක් පිට පිට හැම අවුරුද්කම රට කඩා වට්ටලා නෑනේ. 2015ට වඩා 2016 දී වැට්ටුවා. 2016ට වඩා 2017 දී 2017ට වඩා 2018 දී 2018ට වඩා 2019 දී මේ රට වැට්ටුවනේ. යුද්දයක් නෑ ලෝක ඛණිජ තෙල් අර්බුදයක් නෑ. ලෝක ආහාර අර්බුදයක් නෑ.
ලෝක මූල්‍ය අර්බුදයක් නෑ. මේවා මුකුත් නැතිව අර මම කියපු අවුරුදුවල පිට පිටම වැටුණ රටක් තියෙනවා නම් ඒ රට තමයි මේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා උත්සවයකදී මට හමුවෙලා කිව්වා රට කඩාවැටුණු අවස්ථාවල මම පොත් ගණනාවක් ලිව්වනේ. හදලා තිබුණ රටක් රටක් ඉතාම කෙටි කාලයකදී විනාශ කරන්නේ කොහොමද කියලා පුළුවන් නම් පොතක් ලියන්න කියලා. බැසිල් රාජපක්ෂ මැතිතුමා කිව්වා.
ප්‍රශ්නය :දැන් ඒ පොත ලියනවද?
පිළිතුර : මං ඒක ගැන හිතනවා. වෙලාව පිළිබඳ ගැටලුව නැත්නම් ඇත්තටම මම ලියනවා.
ප්‍රශ්නය : මේ තියෙන බඩු මිලට අනුව මිනිහෙකුට රුපියල් 2500කින් ජීවත්වෙන්න බැහැ කියලා. ඔබ දැන්වත් පිළිගන්නවද?
පිළිතුර : රුපියල් 2500න් ජීවත් වෙන්න පුළුවන් කියලා මම කිව්වේ ගුරු විද්‍යාලවල ශිෂ්‍යයන්ටනේ. නොමැරී ජීවත්වෙන්න 2500ක් ප්‍රමාණවත් නිසයි. මම එහෙම කිව්වේ ඒ අයට රුපියල් 3000ක් දෙන්න කියලා මම දාපු කැබිනට් පත්‍රිකාවක් ගැනනේ ඔය කියන්නේ. ඔහොම දේශපාලන මඩවලින් රටක ආර්ථිකයක් කළමනාකරණය කරන්න බෑ. ගිය ආණ්ඩුව කාලෙම පිළිඅරන් තියෙනවා. නොමැරී ජීවත් වෙන්න රුපියල් 5000 ක් ඕනෑ කියලා. සීයට සියකින් නොමැරී ජීවත්වෙන්න යන විදයම වැඩිවෙලා කියලා ඒ ආණ්ඩුව ඔප්පු කළා.
ප්‍රශ්නය :ගෝඨාභය ජනාධිපති වුණාම රට එක එල්ලේ යයි කියලා මිනිස්සු හිතුවා. ඒත් ජනාධිපති පත් කරන කෙනා අගමැති ඉවත් කරනවා. අගමැති පත් කරන කෙනා ජනාධිපති ඉවත් කරනවා. සමහර තැන්වල අධ්‍යක්ෂ මණ්ඩල, සභාපතිවරු පත් කරලත් නෑ. මිනිස්සු මෙහෙම තත්ත්වයක් බලාපොරොත්තු වුණේ නෑ.
පිළිතුර : සාම්ප්‍රදායික දේශපාලනය තුළ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච තත්ත්වය තමයි බලය ආපු ගමන් ආයතනවලට ගිහිල්ලා සභාපතිවරුන්ටයි. අධ්‍යක්ෂ මණ්ඩලවලටයි කන පැලෙන්න ගහලා එළියටදාලා ඒ ඒ පුටුවලට තමන් කැමති කෙනෙක් වාඩි කරවන එක තමයි වුණේ. ඒක ඒ ආකාරයෙන්ම සිදු නොවීම පිළිබඳ ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ.
ප්‍රශ්නය : ඔබට අයිති සංස්ථාවකට සභාපති කෙනෙක් ආවා. එයාට ඉන්න පුළුවන්වුණේ දවස් දෙකයි. ඒවා එහෙම වෙන්නේ කොහොමද?
පිළිතුර : මම නොවෙයි ඒක කළේ පත් කිරීම් කරන අලුත් ක්‍රමයක් හඳුන්වලා දුන්නේ. විද්වත් කමිටුවක් ජනාධිපතිතුමා පත් කළානේ. ඒ පත් කිරීම් කරනකොට.... මේ කවුරුත් මිනිස්සුනේ. විවිධ වැරැදීම් වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒක නිවැරැදි කරනවා. මේක නිවැරැදි වෙන ආණ්ඩුවක්නේ.
ප්‍රශ්නය : ඔබත් උසස් අධ්‍යාපන ඇමැති විදියට වැඩ පටන් ගත්තේ සරසවි ශිෂ්‍යන් උද්ඝෝෂණ කරන තැනට ගිහින් අට්ටාලයේ වාඩිවෙලා සාකච්ඡා කරලා. නමුත් දැන් සරසවි ශිෂ්‍යයන් බුරුතු පිටින් අත්අඩංගුවේ?
පිළිතුර : ඒකත් මම නොවෙයිනේ. මම නිතරම ශිෂ්‍යයන්ටත් පොලිසියටත් කිව්වේ මේ ශිෂ්‍යයෝ වනාහි මේ රටේ ඉන්න අති දක්ෂයන් අතරින් තෝරා එවන පිරිසක්. ඔවුන් එතැනට ඒම සඳහා විඳින දුක ගැන මම තරම් අත්දැකීමක් තියෙන කෙනෙක් මේ කැබිනට් මණ්ඩලය තුළ ඉන්න බැහැ. මේ පාර්ලිමේන්තුව තුළ ඉන්නත් බැහැ. මොකද මම පුරා දශක තුනකටත් වැඩි කාලයක් උගුරට ලේ රහ දැනෙනතුරුත් මේස් බැනියමට දාඩිය උරන තුරුත් මේ පොපියන චමත්කාරය සහිත භද්‍ර යෞවනයේ ඉන්න අයට නිසි මඟ පෙන්වීම සඳහා කැපවෙලා වැඩ කරපු ගුරුවරයෙක්. ඒ නිසා ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් හා බැරි අමාරුකම් ගැන මට අටුවා ටිකා ටිප්පනි අවශ්‍ය නෑ. ඒ නිසා මම පොලිසියටත් කිව්වා මේ අයට කඳුළු ගෑස් ගහන්න එපා ගහන්නත් එපා කියලයි.
ප්‍රශ්නය : පාරේ දැම්මට ප්‍රශ්නයක් නෑ.
පිළිතුර : මෙහෙමයි. මේක වෙන දේශපාලන අරමුණකට සිද්ධ වෙන දෙයක්. මම හැම වෙලාවකදීම සාකච්ඡා කළා. ඒ සාකච්ඡා මම පටිගත කළා.
ප්‍රශ්නය : රංජන් රාමනායක වගේ.
පිළිතුර : නෑ.නෑ.ඒවා එළිපිට තමයි පටිගත කළේ. ඒවා බලනකොට පේනවා අරමුණු මොනවද කියලා. මෙහෙම සාකච්ඡා හරියන්නේ නෑ. වීදුරුවකට හරි ගහන්න ඕනෑ. ඔවුන්ට අවශ්‍ය වුණා. කොහොම හරි ගෝඨාභය රාජපක්ෂ යුගය තුළ කඳුළු ගෑස් බැටන් ප්‍රහාර හා ඔළු පලා ගැනීම් ආදී සිද්ධි. අපි දේශපාලන බබ්බු නොවන නිසා අපි දන්නවා කටුනායක මිනිය ගත්තේ කොහොමද? රතු පස්වලදී මිනී ගත්තේ කොහොමද? තුන්නානේ මිනිය ගත්තේ කොහොමද කියලා මළ මිනී අත්‍යවශ්‍යයි. සමහර ජාත්‍යන්තර බලපෑම්වලට අනුව ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩත්වයේ දේශපාලනය සඳහා ඉතින් ඒක වළක්වා ගැනීම සඳහා තමයි මම සාකච්ඡාමය ක්‍රියා මාර්ග ගත්තේ?
ප්‍රශ්නය : සාකච්ඡා විතරක් වැඩක් නැහැනේ. විසඳුම් දෙන්නත් අවශ්‍යයි?
ප්‍රශ්නය : මගේ ළඟ සැඟවුණ න්‍යාය පත්‍රයක් නැහැ. අපිට තියෙන්නේ රටේ ජාතියෙ න්‍යාය පත්‍රය පමණයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඡන්දවලින් ආණ්ඩු වෙනස් කරන්න හෝ අලුත් ආණ්ඩු පත් කරන්න බැහැ කියලා පහුගිය ජනාධිපතිවරණයේදී ඔප්පු වුණානේ. පෙරටුගාමීන්ගෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච මහත්තයාට හම්බ වුණේ ඡන්ද අටදාහයි. ජනතා විමුක්ති පෙරමුණට ඇපත් නෑ. ඔවුන්ගේ ඡන්දය දේශපාලනයේදී වැදගත් නෑ කියලා.
ප්‍රශ්නය :ඒ නිසා විසඳුම් දෙන්න උන්නදුවකුත් නෑ.
පිළිතුර : නෑ. නෑ. මම කියන්නේ එහෙම දෙයක් නොවෙයි. රටක් අවස්ථාවර කිරීම ශිෂ්‍යයන්ට කරන්න පුළුවන් කියන එක ඉතිහාසයෙන් ඔප්පු කරලා තියෙනවා. 87-89 යුගය සිහිපත් කර ගන්නකෝ. ඔන්න බලන්න අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අපේ හාමුදුරුවෝ මම වඩම්මලා සුදු පිරුවටයක් දාලා මම වැඳලා මේ තියෙන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කළා. අවශ්‍ය ගරුත්වය දුන්නා. නමුත් අවාසනාවකට රුහුණු විශ්වවිද්‍යාලයෙ උපකුලපති ගෙදර යවන්න කියලා ඉල්ලනවා. නමුත් මට එහෙම බලයක් නැහැ. රුහුණු විශ්වවිද්‍යාලයෙ සියලුම ශිෂ්‍යයන් එහෙම කියලත් නෑ. අධීක්ෂණයක් කරන්න කියලා අපට කිසිම කරුණක් ඉදිරිපත් කරලත් නෑ. මම රුහුණු විශ්වවිද්‍යාලය ඇතුළට ගියා. උපකුලපතිතුමයි, සියලුම පීඨාධිපතිවරුනුයි සමග සාච්ඡා කළා. පන්ති තහනම් කරලා තියෙන ශිෂ්‍යයන් නව දෙනෙකුට සමාව දීම සඳහා ලිපියකුත් යැව්වා. මම විශ්වවිද්‍යාලය ඇතුලට ගියදාට පහුවැනිදා බන්ධනාගාර ගතවෙලා ඉන්න හාමුදුරුවෝ රුහුණෙන් නොවෙයි. කොළම පැත්තෙන් ශිෂ්‍යයන් පිරිසක් හොයාගෙන බස් එකක දාගෙන රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිටට ගිහින් උද්ඝෝෂණයක් කළා. අරමුණ මොකද්ද? උපකුලපති උම්මත්තයෙක්. ඒ නිසා තමයි උසස් අධ්‍යාපන ඇමැතිව විශ්වවිද්‍යාලය ඇතුළට ගෙන්න ගෙන තියෙන්නේ. මේක තමයි තත්ත්වය. අපිට එහෙම ඉවත් කරන්න බෑ. ඔබ දන්නවා විශ්වවිද්‍යාලයක උප කුලපති කෙනෙක් පත් කරන්නේ පාලක සභව විසින් ඡන්දයෙන් තෝරාගත්ත නම් ජනාධිපතිවරයට යවලා. ජනාධිපතිවරයා තමයි ඒ පත් කිරීම කරන්නේ. ඒකට මැදිහත්වීමේ කිසිම බලයක් අධ්‍යාපන ඇමැතිට නෑ. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ඉවත් කරන්න වෝඩ් ප්ලේස් එකේ උපවාස කරලා හරියන්නේ නැහැනේ.
ප්‍රශ්නය : ඔබගේන තර්ක කුමක් වුවත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබෙන ගැටලු විසඳීමත් අංක 01 ට ගත යුතුයි?
පිළිතුර : ඒ සම්බන්ධයෙන් තර්කයක් නෑ. නමුත් මහ පාරවල් අවහිර කරගෙන උද්ඝෝෂණ කරනකොට මොකක්ද ගන්න තියෙන පියවර? පොලිසිය අධිකරණ නියෝගය අරගෙන ඇවිත් වැඳලා කිව්වා අට්ටාලය ගලවාගෙන යන්න කියලා. කිසිම ප්‍රහාරයක් එල්ල කරලා නෑ. නමුත් අධිකරණ නියෝගය ඉරලා ඉරලා විසි කරලා අධිකරණය පිළිගන්නේ නැහැ කියලා කිව්වා. ඒක අධිකරණයට ඉතා විශාල අපහාසයක්. අධිකරණයට කළ අපහාසය නිසා තමයි අද ඔවුන් රඳවාගෙන තියෙන්නේ. මොකද අධිකරණය පිළිගන්නේ නැහැ කීම රට අරාජිකත්වයට ඇද දැමීමක්. සරසවි ශිෂ්‍යයන් මෙයට වඩා බුද්ධිමත් විය යුතුයි.
ප්‍රශ්නය : එම්.සී.සී. ගිවිසුම රටට අහිතකරයි කියලා කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ මේ ඡන්දය නිසා?
පිළිතුර : ඡන්දය නිසා නොවෙයි. එම්.සී.සී ගිවිසුම සම්බන්ධ පරීක්ෂා කරන්න විද්වත් කමිටුවක් පත් කළා. ඒකේ ප්‍රධාන කරුණු තුනක් සඳහන් වෙනවා. ඒකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ නීති පද්ධතියට පටහැනි වගන්ති පැවතීම ඒ වගේම රටේ ජාතික ආගමික සංස්කෘතික හර පද්ධතියට හානිකර වගන්ති පැවතීම, විනිවිද භාවයෙන් තොරව කටයුතු කරලා තිබීම මේ කරුණු නිසා රජය ඒකමතිකව තීරණය කළා. එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. මේ ගිවිසුම කාටහරි කියවන්න අවශ්‍යනම් මම මුළු ගිවිසුම සිංහලට පරිවර්තනය කරලා පොතක් විදියට මුද්‍රණය කළා. ලංකාවේ ප්‍රධාන පොත් සාප්පුවලින් මේ පොත අරගෙන බලන්න පුළුවන්.
ප්‍රශ්නය :ඡන්දෙන් පස්සේ ආණ්ඩුවක් පිහිටෙව්වත් ඔය ස්ථාවරයෙමද ඉන්නේ.
පිළිතුර : ඒ ස්ථාවරය වෙනස් වෙන්න හේතුවක් ඇත්තෙම නෑ.
ප්‍රශ්නය : ඔබලා තුනෙන් දෙකක බලයක් ඉල්ලනවා ලැබෙයිද?
පිළිතුර : ජනතාවට වෙන විකල්පයක් නෑ. මේ තමයි රට ගොඩ නගන්න තියෙන අවසන් අවස්ථාව. මේ අවස්ථාව මඟ හැරීම මාරාන්තිකයි. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරයි. ඒ සම්බන්ධයෙන් මට කිසිම සැකයක් නැහැ.
සාකච්ඡා කළේ -
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්