ජනතාවට සවන්දීම වැඩි කළා නම් මේ තුනෙන් දෙකේ බලය එහා මෙහා වෙන්නේ නෑ


රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති මහජන එක්සත් පෙරමුණේ නායක

දිනේෂ් ගුණවර්ධන 

  • ගෝඨා කියනවා. තව එක එක දේවල් කියනවා. ඒවා ඉතින් සටන් පාඨනේ. ඒවා බරපතළ සටන් පාඨ. මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට මැදිහත්වන ආකාරය අසාර්ථක වෙලා තියෙනවා. 
  • මට කියන්න තියෙන්නේ මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට පුළුවන්කම තිබුණා කියලයි.  
  • මං හිතනවා මේක පිටිපස්සේ යම්කිසි බලවත් සැලැස්මක් තිබෙන්න ඕනැ කියලා. එහෙම නැතිව මේවා මේ සාමාන්‍යයෙන් විසිරී ගිය උද්ඝෝෂණ නොවෙයි. අපි උද්ඝෝෂණ දැකලා තියෙනවා. නමුත් නිශ්චිත වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගෙ හා මහජන නියෝජිතයන්ට පහර දීමේ සැලැස්මක් තිබිලා තියෙනවා.
  • අරගල බිමේ ඉන්න සියලු දෙනා ගැන මගෙත් මත ගැටුමක් නෑ. 

 

රටේ දේශපාලන තත්ත්වය දිනෙන් දින වෙනස් වේ. නව අගමැතිවරයකු රටට ලැබී තිබේ. කුමක් වෙයි ද? රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන ඇමති, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.   

ප්‍රශ්නය:- තුනෙන් දෙකක බලයක් තිබුණ ආණ්ඩුවකට මෙච්චර ඉක්මනට මේ මොකද වුණේ?   


පිළිතුර:- තුනෙන් දෙකක ජනවරමත් එක්ක ගැට ගැහුණු බලාපොරොත්තු අති විශාලයි. ඒ වගේම වැඩියි. ඒවා ඉටු කිරීමට යාමේ දී රජයට මග හැරලා යන්න බැරි බාධාවන් ප්‍රමාණයකුත් තිබුණා. ණය ගොඩකුත් තිබුණා. ඒ වගේම අපි බලාපොරොත්තු නොවුන පරිදි ලෝක වසංගතයකුත් ආවා. ඒ එක්කම බරපතළ ආර්ථික අර්බුදයකුත් ඇතිවුණා. ඒ හා සමාන්තරව දේශපාලන මත ගැටුම් රජය තුළ ඇතිවීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීන වුණේ.   


ප්‍රශ්නය:-  ඒ මත ගැටුම් ඇතිවුණේ ජනවරමට පිටුපාලා කටයුතු කරන්න ගිය නිසයි ?   


පිළිතුර:- ජන වරමට පිටුපෑම කියන කාරණයට වැඩිය දේශපාලනය කළමනාකරණය කිරීමේ ප්‍රශ්න තමයි මතු වුණේ. ඒවා දේශපාලන ගැටුම් බවට පත් වුණා. ජනතාව තුළ බලාපොරොත්තු කොපමණ තිබුණත් ඒ බලාපොරොත්තු ඉටු කිරීමට කාලය ගතවන බව විවිධ අවස්ථාවල ප්‍රකාශ කිරීමට ජනාධිපතිතුමාටත් සිදු වුණා. අවශ්‍ය ප්‍රතිකර්ම ඉක්මනින් කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයේ පහසුකම් තිබුණෙත් නෑ.   


ප්‍රශ්නය:- මෙහෙම කියන්න වෙච්ච ලංකාවේ පළමු ආණ්ඩුව ඔබේ ආණ්ඩුවයි ?   


පිළිතුර:- ඔව්, වෙන්න පුළුවන්. ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයෙන් පස්සෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිද්ධ වුණා. ඒ 2020 මාර්තු 2 වැනිදා. ඊට පස්සේ ඡන්දයට දින නියම වුණත් ඒ දිනයට පවත්වන්න බැරි වුණා. අගෝස්තු මාසයේ අවසානය වනතුරු කිසිම වැදගත් පියවරක් ගැනීමට මැතිවරණ කොමිසම ගත් තීරණවලට යටත් කිරීමට සිදු වුණා. මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා ගත්තට ඉන් පස්සේ ඇතිවෙච්ච කොවිඩ් වසංගතය දිගටම ගමන් කිරීමත් ප්‍රශ්නයක් වුණා.   


ප්‍රශ්නය:- නමුත් ආණ්ඩුවක් තියෙන්නේ අර්බුදවලට උත්තර හොයන්න ?   


පිළිතුර:- ඔව්. මේවා හේතු වශයෙන් ඉදිරිපත් කරන්න බෑ. දේශපාලන දැඩි සහයෝගය, සහෝදරත්වය එකට තබාගෙන ජනතාවට සවන් දීම වැඩි කළා නම් මේ තුනෙන් දෙකට බලය එහා මෙහා යාමක් සිද්ධ වෙන්නේ නෑ. එහෙම එහාට මෙහාට ගියාම විසඳා ගැනීමට බැරි මහා අර්බුදයක් රජයක් හැටියට නැහැයි කියලත් මම විශ්වාස කරනවා.   


ප්‍රශ්නය:-  මෙතෙක් පැමිණි ගමනේ දී ඔප්පු වුණ එකම දේ ජනාධිපතිවරයා අසාර්ථකයි කියන එකයි. ඒක ජනාධිපතිවරයාත් පිළිගත්තා. මේ ගැන ඔබ මොකද කියන්නේ ?   


පිළිතුර:- ජනාධිපතිතුමාම කියනව නම් ගත්ත යම් යම් තීරණ නිවැරැදි නොවෙයි. ඒවා ගැන හරියට මහජනයට කිව්වේ නෑ. ඒ වගේම ඒවාට ප්‍රතිකර්ම හරියට දුන්නේ නෑ කියලා වෙන යමක් මටත් කියන්න බෑ ඇමැතිවරයෙක් හැටියට. ආණ්ඩුවේ සන්ධානයේ ප්‍රධාන කොටස්කාරයකු හැටියට මට කියන්න තියෙන්නේ මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට පුළුවන්කම තිබුණා කියලයි.   


ප්‍රශ්නය:-  නමුත් කළමනාකරණය කළේ නෑ ?   


පිළිතුර:- ඔව්. එය නොකළා පමණක් නොව බැලිය යුතු පැතිකඩවල් ගැන සලකා නොබැලීම නිසා තමයි මේක සිද්ධ වුණේ.   


ප්‍රශ්නය:- මයිනා ගෝ ගම හැදුණා. මහින්ද රාජපක්ෂ ගියා. ගෝඨා ගෝ ගම හැදුණා. ගෝඨාභය රාජපක්ෂ යන්නේ නෑ කියනවා. මොකක් වෙයි ද?   


පිළිතුර:- එතැනට රැස්වෙලා ඉන්න පිරිස් රටේ විවිධ සිවිල් සංවිධාන දේශපාලන ක්‍රියාකාරීන් විශාල වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒවා කරන්න ජනාධිපතිතුමා අගමැතිතුමාට පවරලා තියෙනවා. අගමැතිතුමා ඒ සඳහා යොමු වී තියෙනවා. විශ්වාසය කඩ කළ යුතු නෑ කියන එකයි මගේ මතය. යමක් අපි රටට කිව්වා නම් ඒක කරන්න උත්සාහ දැරිය යුතුයි. කරන්න බැරි දෙයක් නම් ඒක රටට කිව යුතුයි. මොන පක්ෂය ද කියන ප්‍රශ්නය නොවෙයි මෙතැන තියෙන්නේ. පොදුජන අභිලාෂයන් ඉටු කිරීමේ දී අපි අමාරුකම් රාශියකට මුහුණ දෙනවා. විදේශ විනිමය අතින් රට බංකොළොත් වුණා. ඒ වගේම දේශීයව ඇති කළ හැකි නිෂ්පාදන පිළිබඳව පැහැදිළි වැඩපිළිවෙළක් ගේන්න බැරි වුණා. මේ අභියෝග දිනන්න පුළුවන් රටක්. ඒ සඳහා සමගිය අවශ්‍යයි. අපි දේශපාලන වශයෙන් කුමන ප්‍රතිපත්ති අනුගමනය කළත් රට මුහුණ දෙන මේ දරුණු අර්බුදයෙන් රට ගොඩගන්න තමයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික එකඟතාවයකින් වැඩ කිරීමට මේ ක්‍රියාවලියට කැපවී ඉන්නේ.  


ප්‍රශ්නය:- ආණ්ඩුවේ සමගියට බාධා කළේ කවුද ? කවුද ඔබේ විත්තිකරුවා ?  


පිළිතුර:- එයට බාධාවන්ට වඩා විවිධ ස්ථාවර විවිධ පාර්ශ්ව දරනවා.  


ප්‍රශ්නය:- ආණ්ඩුවේ සමගිය බිඳ දැමීම සම්බන්ධයෙන් සමහර පාර්ශ්ව කෙළින්ම ඇඟිල්ල දික් කරන්නේ බැසිල් රාජපක්ෂට ?  


පිළිතුර:- විවිධ අයට විවිධ චෝදනා කරන්න පුළුවන්. අගමැතිතුමාට චෝදනා කරන්න පුළුවන් ඇයි කලින් නොගියේ කියලා. නමුත් අගමැතිතුමා අයින් වෙලා ගියා. ඊට කලින් චෝදනා කරපු බැසිල්, චමල්, නාමල් ඔය ඔක්කොමලව ජනාධිපතිතුමා කැබිනට් එකෙන් අයින් කළා. අපි දන්නවා පොහොට්ටුව තමයි මේ ආණ්ඩුවේ ප්‍රධානම බලවේගය. අනික් පක්ෂ සහෝදරත්වයේ පක්ෂ. නිවැරැදි කළමනාකරණ පිළිවෙතක් අපට තිබුණේ නෑ කියලා මම කලින් කිව්වේ ඒකයි. මෙවැනි ආණ්ඩු ලෝකේ තියෙනවා. සාර්ථක වෙලත් තියෙනවා. ඉන්දියාවේ අමාරුම කාල පරිච්ඡේදවල මේ වගේ සමගි ආණ්ඩුවක් තිබුණා. නමුත් ඔවුන් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ වගේම රටක් දිහා බලන්න ඕනැ අපි පරිත්‍යාගෙන් බලන දේ අපි අතින් සිදු වුණේ නෑ. ඒ වගේම මේ දැවැන්ත අර්බුදය අද අවදි කරලා තියෙනවා රට. අපේ පක්ෂ විතරක් නොවෙයි විරුද්ධ පක්ෂත්. 
ර​ටේ හැමදෙනාවත් මේ සුළු දේවල්වලට මහා ගැටුම් ඇතිකර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රටවල් පාලනය කර ගැනීමට බැරි තත්ත්වයට පත්වෙනවා. මහජනයාගේ නියෝජිතයන් අතේ තවත් වැඩි බලතල ඇති කරලා ඉදිරියට යාම තමයි එකම මාර්ගය.  


ප්‍රශ්නය:- නිර්පාක්ෂික අරගලකරුවන් අතර සිටින බවට ඔවුන්ම කියන ජවිපෙත් පෙරටුගාමී පක්ෂයත් කියනවා. ‘මේ ප්‍රශ්නය ව්‍යවස්ථාව ඇතුළෙන් බැරිනම් පිටින් විසඳා ගන්නවා.’ කියලා. 9 වැනිදා සඳුදා රාත්‍රිය එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබ දකිනව ද?  


පිළිතුර:- මාස ගණනාවක් තිස්සේ මේක වර්ධනය වුණා. එහෙම නැතිව 9 වැනිදා සිදුවීමකට මේක ගැළපීමට වැඩිය මාස ගණනාවක් තිස්සේ මේක වර්ධනය වුණා. පොහොර ප්‍රශ්නය ආවා. එම ප්‍රශ්නය තුනී වේගෙන එනකොට නාගරික සමාජයට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වෙලා තියෙන ගෑස් අර්බුදය මතුවුණා. ඒ සමග විදුලිය අර්බුදය මතුවුණා. ඒක නිවැරැදිව කළමනාකරණය වුණේ නෑ. ඒ එක්කම ඉන්ධන ප්‍රශ්නය ආවා. ඒ විදේශ මුදල් අර්බුදය නිසා. මේ පීඩාවන් එක්ක මාස ගණනාවක් පුරා මේවා වර්ධනය වුණා. මහජනයා දේශපාලන බලයක් පැවැරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ගැටලු විසඳයි කියලා. ගෙදර දොරේ ජීවත් වෙන්න බැරි නම් විදුලිය නැති නිසා රෑට නිදාගන්න බැරි වෙනවා නම් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්න බැරි නම් ඇතිවන තත්ත්වයත් එක්ක මේවා වර්ධනය වෙනවා.  

 

මේ ප්‍රශ්නවලට සම්පූර්ණ පිළිතුරක් දිය හැකි කාලය කුමක්ද කියලා අගමැතිතුමාට තමයි ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. මෙවැනි ආර්ථික අර්බුදයකට රට පත් වුණ කාලපරිච්ඡේදයක් අපි ඉතිහාසයෙ අහලා නෑ. පසුගිය දශක තුන හතර ඇතුළත මහ බැංකු අධිපතිවරු ආවා ගියා. නමුත් බැංකුව ඇතුළෙන්ම මහ බැංකුව දුවපු කාලෙත් මීට වඩා මිහිරියි. අපි ඒකෙන් පීලි පැනපු හැම අවස්ථාවකදීම අමිහිරියි. උද්ධමනය වැඩිවීම, රුපියල බාල්දු වීම සිදුවෙනවා.


ප්‍රශ්නය:- පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු මහමග මරා දැම්මා. ඔබේ නිවසටත් පහර දුන්නා. මහජන නියෝජිතයන්ගේ නිවාස දේපොළ ගිනි තිබ්බා. මේවාට දේශපාලන පක්ෂවල සම්බන්ධයක් තියෙනවා කියලා ඔබ හිතනවාද?  


පිළිතුර:- ඔව්. මං හිතනවා මේක පිටිපස්සේ යම්කිසි බලවත් සැලැස්මක් තිබෙන්න ඕනැ කියලා. එහෙම නැතිව මේවා මේ සාමාන්‍යයෙන් විසිරී ගිය උද්ඝෝෂණ නොවෙයි. අපි උද්ඝෝෂණ දැකලා තියෙනවා. නමුත් නිශ්චිත වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගෙ හා මහජන නියෝජිතයන්ට පහර දීමේ සැලැස්මක් තිබිලා තියෙනවා. ඒ සැලැස්ම කාගෙද කියන එක තමයි හොයන්න ඕනැ. මේක මහජන උද්ඝෝෂණයක් නොවේ. එක පැත්තකින් සර්ව පක්ෂික ආණ්ඩුවකට සාකච්ඡා පවත්වමින් තිබුණේ. යම් යම් ප්‍රතිඥා ලැබෙමින් තිබුණා. මේ ඔක්කොම ප්‍රශ්න මැදත් ආණ්ඩුව පඩි ගෙව්වා. නාස්තිය දූෂණය ඉහවහා ගිය සමාජයක් බවට අපේ සමාජය පත්වෙලා විවෘත ආර්ථිකය අපට ඇති කළ පිළිකාව තමයි එය. ඒ පිළිකාවෙන් ගොඩ ඒම අපහසු ක්‍රියාවක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විවිධ මත සමාජ තල, ස්ථර ඒවායේ බලාපොරොත්තු එකිනෙකට පරස්පරයි. සමහර තැන්වල සමහර ඒවා බහුතරයට පිළිගන්න බෑ. එවැනි තත්ත්වයන් තුළ බොහොම ප්‍රජාතාන්ත්‍රිකව සාකච්ඡාවෙන් කටයුතු කිරීම තමයි ආණ්ඩුවක වගකීම වෙන්නේ.  


ප්‍රශ්නය:- 9 වැනිදා අරලියගහ මැදුරේ රැස්වීමට ඔබත් ගියා ද?  


පිළිතුර:- රැස්වීමට මම සහභාගි වුණේ නෑ.  


ප්‍රශ්නය:-  විශේෂ හේතුවක් තිබුණ ද ඒකට?  


පිළිතුර:- මට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු රාශියක් තිබුණා. කතානායකතුමා මාව කැඳවලා තිබුණා. ඒ රැස්වීම ඉවර වෙලා යන ගමන් මම අගමැතිතුමාට සුබ පැතුවා. අපි දීර්ඝ කාලීන සටන් සගයන්. ඊට පස්සේ මං කෙළින්ම ගියේ අමාත්‍යාංශයට. හැම ජනමාධ්‍යයකම කලින් දවසේ විශාල ප්‍රචාරයක් අරගෙන ගියා... එතුමා අයින් වෙනව කියලා.  


ප්‍රශ්නය:- ‘යන්න එපා. අගමැති මහින්දට නොයා ඉන්නවා’ කියලා පෙන්වන්න නේද අරලියගහ මන්දිරයට සෙනඟ ගෙනාවේ.  


පිළිතුර:- එහෙම දෙයක් නම් මම හිතන්නේ නෑ. එහෙම සැලසුමක් තිබුණා නම් තවත් ලක්ෂ ගණනාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ම ගේන්න තිබුණා. එහෙම ගෙන්නුවේ නෑ. මහජන නියෝජිතයන්, පළාත් පාලන නියෝජිතයන්, පක්ෂයේ අය හිටියා. එහෙම නැතුව ඔබ කියන විදියෙ සැලැස්මක් තිබුණා නම් ලක්ෂ ගානක් ජනතාව ගේන්න තිබුණා.  


ප්‍රශ්නය:- එක සමාන එක ප්‍රමාණයේ මුගුරු කොහොමද ප්‍රහාරකයන් අතට පත් වුණේ?  


පිළිතුර:- එහෙම ගෙනාව බව පොලිසිය හොයාගෙන තියෙනවා නම් ඒ අය නීතියට ඉදිරියට ගේන්න ඕනැ. අපි මන්ත්‍රීවරුන් හැටියට පක්ෂ නායකයන් හැටියට එහෙම දේවල් අනුමත කරන්නෙත් නෑ. මම දේශපාලනයෙ අවුරුදු 50 ක් කිට්ටු වෙන්න වෙනවා. පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. ඉන් පිටත ඉඳලා තියෙනවා. උද්ඝෝෂණවල ඉඳලා තියෙනවා. කවදාවත් මම මගේ අතට අවි ආයුධයක් ගත්තේ නෑ. ඒ ආදර්ශය අමාරුම කාල පරිච්ඡේද හරහා පවා මම අත් නොහැර හිටියා. සමහර අය දැන් ජීවතුන් අතර නෑ. ආයුධ ගැන විශ්වාසය තබපු නායකයන් පවා ජීවතුන් අතර නෑ. ඒ අය සමගත් මම කියලා තිබුණේ ඒ අන්තයට යන්න එපා කියලා. ප්‍රජාතන්ත්‍රවාදය තුළයි ප්‍රශ්න විසඳාගත යුත්තේ.  


ප්‍රශ්නය:-  පොහොට්ටුවෙ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තුවේදී කිව්වා ‘සිංහයෙක් වගේ යන්න හිටපු මහින්දට අවසානයේ මීයෙක් වගේ යන්න වුණා’ කියලා.  


පිළිතුර:- ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. මට ඔය හැමදෙනාගෙම කතාවල මී පැණි මෙන්ම තිත්තත් දැනෙනවා. වාසියට එක එක දේවල් කියනවා. රටට ජනතාවට යහපත් දෙයක් දීමයි පාර්ලිමේන්තු නියෝජිතයාගේ කාර්යභාරය.  


ප්‍රශ්නය:- පොහොට්ටු ආණ්ඩුව කොච්චර අසාර්ථක ද කියනව නම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආව රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලැබෙනවා?  


පිළිතුර:- සර්ව පාක්ෂික රජයක් හැදීමේ සාකච්ඡාවට කලක් ගත වුණා. යෝජනා ඉදිරිපත් වුණා. එක මන්ත්‍රීවරයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවසානයේ දී අගමැති ධුරය බාර ගත්තා. මේ අමාරු වෙලාවේ ආර්ථික තැන්පත් භාවයට නැත්නම් ස්ථාවර භාවයට මෙතැන් පටන් දේශපාලන ස්ථාවර භාවය ඇති කරගත යුතුයි. සියලු දෙනා එකතු වෙලා රට කරන්න ඕනෑ කවුද? කියන ප්‍රශ්නය නොවෙයි. අපේ ප්‍රතිපත්ති වෙනස්. නමුත් මේ අභියෝගය ජයගෙන රටට ජයග්‍රහණය ගෙන ආ යුතුයි. කවුරුවත් තලාපෙළා විනාශ කළ යුතු නෑ. 60 ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටුණ තැනින් ගොඩ ගත යුතුයි.  


ප්‍රශ්නය:- නිල් අගමැති කිරීම අරගල බිමට උත්තරයක් කියලා ඔබ හිතනව ද?  


පිළිතුර:- අගමැතිතුමා අරගල බිම ගැන බොහෝ කතන්දර කියනවා. අගමැති වෙන්න කලිනුත් කිව්වා. දැනුත් කියනවා. අරගල බිමේ ඉන්න සියලු දෙනා එක්ක මගෙත් මත ගැටුමක් නෑ.  


ප්‍රශ්නය:- ඔවුන් කියන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ කියලා. ඒ කියන්නේ ඔබත් එය​ට එකඟයි?’  


පිළිතුර:- ගෝඨා කියනවා. තව එක එක දේවල් කියනවා. ඒවා ඉතින් සටන් පාඨනේ. ඒවා බරපතළ සටන් පාඨ. මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට මැදිහත්වන ආකාරය අසාර්ථක වෙලා තියෙනවා. අලුතෙන් විසඳුම් සෙවීමට අලුත් මාවත් සෙවිය යුතුයි. මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. සමගියෙන් කටයුතු කළ යුතුයි. නාස්තිය නතර කරන්න ඕනෑ. දූෂණය නතර කළ යුතුයි. අරගල බිමේ විතරක් නොවෙයි අපේ දේශපාලන කඳවුර ඇතුළෙත් මේවා කියනවා. සමහර තැන් නිවැරදි වෙලා තියෙනවා. මෙවැනි කාලයක දේශපාලන අර්බුදයට තුඩු දෙන දේවල් වෙන්නේ ආර්ථික අර්බුදය උත්සන්න වීම තුළයි. විශේෂයෙන්ම මහජනයාගේ මූලික අවශ්‍යතාවයන් එදිනෙද‌ා අවිනිශ්චිත භාවයට පත් වෙනකොට මන්ත්‍රීවරු 150 ක් හිටිය කියලා ප්‍රතිකර්ම යොදන්න නැත්නම් ප්‍රශ්න උග්‍ර වෙනවා. විසඳුම් දෙනවට හරස්වෙන පුද්ගලයන් ආයතන තියෙනවා නම් ඒවා අනාවරණය කළ යුත්තේ සූර්යය පැනල ගැන ජනාධිපතිතුමා අවුරුද්දක් කතා කළා. ඒක ක්‍රියාත්මක කළේ නෑ. එහෙම කළේ කවුද කියලා රටට කියන්න ඕනෑ. අපේ පිරිපහදුව වහලා දැම්මා. එහි හානිය ගැන කතා කළ යුතුව තිබුණා. රට ගොඩනගන්න නම් අපේ දේශපාලනයටය මීට වඩා ගුණාත්මක භාවය අවශ්‍යයි. පසුගිය 9 වැනිදා සිදුවීම් දිහා බලනකොට අපේ වටිනා සංස්කෘතික උරුමයට පවා හානි වුණා. කාලිංග මාඝ ආවා වගේ.  


ප්‍රශ්නය:- මේ ප්‍රශ්නවලට උත්තරය?  


පිළිතුර:- මහා මැතිවරණයකට යා යුතුයි. මේ ප්‍රශ්න ඉක්මනට විසඳගෙන හැකි ඉක්මනින් මැතිවරණයකට යා යුතු බව තමයි අපේ පක්ෂයේ මතය.  


ප්‍රශ්නය:- රටේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට මට දැනෙන දේ තමයි හෙට දවස ගැන විශ්වාසයක් තබන්න බෑ කියන එක. තව කොච්චර දවසක් මෙහෙම විඳවන්නද?  


පිළිතුර:- මේ ප්‍රශ්නවලට සම්පූර්ණ පිළිතුරක් දිය හැකි කාලය කුමක්ද කියලා අගමැතිතුමාට තමයි ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. මෙවැනි ආර්ථික අර්බුදයකට රට පත් වුණ කාලපරිච්ඡේදයක් අපි ඉතිහාසයෙ අහලා නෑ. පසුගිය දශක තුන හතර ඇතුළත මහ බැංකු අධිපතිවරු ආවා ගියා. නමුත් බැංකුව ඇතුළෙන්ම මහ බැංකුව දුවපු කාලෙත් මීට වඩා මිහිරියි. අපි ඒකෙන් පීලි පැනපු හැම අවස්ථාවකදීම අමිහිරියි. උද්ධමනය වැඩිවීම, රුපියල බාල්දු වීම සිදුවෙනවා.  


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ විසඳුම එන්නේ කොයි කාලෙ ද කියලයි?  


පිළිතුර:- ඉදිරි සති කිහිපය තුළ මහජනයාට සහන ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව වෙනදට වැඩිය අද දක්නට ලැබෙනවා.  

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්