ජනාධිපති කාර්ය මණ්ඩලය ගැන දැනගනිමු


ජනාධිපති ලේකම් කාර්යාලය, අමාත්‍යාංශ සහ රජයේ විවිධ ආයතනවල නිලධාරීන් එම තනතුරු වෙනුවෙන් ව්‍යවස්ථාපිතව ලැබෙන නිල රථ හා වෙනත් දීමනා අවභාවිත කරන බවට කාලයක් තිස්සේ චෝදනා නැගේ. ජනාධිපතිවරයාට ඔහුගේ නිල කටයුතු පහසු කර ගැනීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයක් සිටිය ද එහි සංයුතිය හා ස්වභාවය සම්බන්ධයෙන් සමාජයේ බොහෝදෙනකුට නිසි වැටහීමක් නැති බව පෙනේ. එබැවින් මෙම ලිපියෙන් ජනාධිපති කාර්ය මණ්ඩලය සහ එයට පුද්ගලයන් පත් වෙන ආකාරයත් ඔවුන්ට හිමි දීමනා හා වරප්‍රසාද ගැනත් විමසා බැලීමක් කෙරේ. ඒ වෙනුවෙන් අදහස් දක්වන්නේ හිටපු දිසාපතිවරයෙකු වූ සුනිල් කන්නන්ගර මහතාය. 
රාජ්‍ය නායකයා වෙන ජනාධිපතිවරයා විධායකයේත් ආණ්ඩුවේත් ප්‍රධානියා ​ෙවන අතර සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ද වේ. මේ අනුව, ජනාධිපතිවරයාට පංචවිධ වගකීම් ව්‍යාවස්ථාපිතව පැවරී තිබේ. ඒවාට අදාළ කර්තව්‍යයන් වගකීම් තනිව ඉටු කිරීමට ජනාධිපතිවරයාට නුපුළුවන. ඒ සඳහා සහාය වීමට කාර්ය මණ්ඩලයක් අවැසිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වැනි වගන්තියෙහි දැක්වෙන්නේ ධුරයේ කාර්ය කර්තව්‍යය සහ වගකීම් ඉටු කිරීම පිණිස තමන්ට සහාය වීමට අවශ්‍ය යැයි සිතෙන ලේකම්වරුන් පත් කර ගැනීමට ජනාධිපතිවරයාට හැකි බවය. එම පදනම මත ජනාධිපති ලේකම්, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, සහකාර ලේකම්වරුන් යනාදී වශයෙන් මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් පත් කරනු ලැබේ. තමන්ට අවශ්‍ය යැයි සිතෙන ලේකම්වරුන් පිරිසක් පත් කර ගැනීමට 
ජනාධිපතිවරයාට පුළුවන.

ඊට අමතරව ව්‍යවස්ථාවේ 41 (1) අනු වගන්තිය ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලය විමසා වෙනත් නිලධරයන් සහ කාර්ය මණ්ඩල පත් කර ගැනීමට ජනාධිපතිවරයාට පුළුවන. එහි අර්ථය, අමාත්‍ය මණ්ඩලයෙන් විමසා තවත් ලේකම්වරුන් හෝ නිලධාරීන් අවශ්‍ය නම් ජනාධිපතිවරයාට පත් කර ගත හැකි බවය. කාර්යාල කාර්ය සහායක සිට සියලු 
කාර්ය මණ්ඩල සාමාජිකයන් පත් කළ හැකිය. 
ජනාධිපති කාර්ය මණ්ඩලය සමන්විත විය යුතු නිශ්චිත සංඛ්‍යාවක් ගැන ව්‍යස්ථාවේ සඳහන් නොවේ. මෙම ක්‍රම දෙකට අමතරව බාහිරින් ද නිලධාරීන් පත් කර ගැනීමට ජනාධිපතිවරයාට පුළුවන. නැතිනම් රාජ්‍ය සේවයේ සිටින අය පත් කර ගැනීමට ද හැකිය. ගණකාධිකාරී, පරිපාලන සේවා සහ දීපව්‍යාප්ත සේවාවන් හා ඒකාබද්ධ සේවා ආදී විවිධ සේවාවල සේවයේ නිරතව සිටින රාජ්‍ය නිලධාරීන් ජනාධිපති 
කාර්ය මණ්ඩලයට අනුයුක්ත කර ගත හැකිය. 
එපරිදි රාජ්‍ය සේවයේ සිටින අය ජනාධිපති කාර්ය මණ්ඩලයට බඳවා ගැනීමේදී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටියක් තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අදාළ නිලධාරීන් නිදහස් කිරීමෙන් පසු ජනාධිපති කාර්ය මණ්ඩලයට අනුයුක්ත කර ගත හැකිය. එසේ බාහිරින් පුද්ගලයන් බඳවා ගැනීමේදී විශේෂයෙන් සලකා බැලෙන සුදුසුකම් නැත.
රාජ්‍ය සේවයෙන් ජනාධිපති කාර්ය මණ්ඩලයට අනුයක්ත කර ගැනෙන අයට රාජ්‍ය සේවයට හිමි විශ්‍රාම වැටුප් ඇතුළු සියලු හිමිකම් හිමි වේ. එහෙත් ඔවුන්ට ආයතනික සංග්‍රහය අදාළ නොවේ. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ජනාධිපති කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවක ගණයට අයත් නොවෙන හෙයිනි. ජනාධිපති කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ බඳවා ගැනීම්, විනය පාලනය සහ ඉවත් කිරීම සම්බන්ධ සියලු බලතල තිබෙන්නේ ජනාධිපතිවරයාටය.


ජනාධිපති කාර්ය මණ්ඩලයේ වැටුප් රජයේ ඒකාබද්ධ අරමුදලෙන් දැරිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. සේවාවට අදාළ වැටුප මෙන්ම ජනාධිපති කාර්යාලයේ සේවාව වෙනුවෙන් ලබා දෙන අතිරේක දීමනාවක් ද රාජ්‍ය සේවයෙන් ජනාධිපති කාර්ය මණ්ඩලයට අනුයුක්ත කෙරෙන අයට හිමි වේ. රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට ලැබෙන දීමනා ජනාධිපති කාර්ය මණ්ඩලයේ සිටින නිලධාරීන්ට ද හිමිය. ජනාධිපති උපදේශකවරුන් පත් කරද්දීම ඔවුන්ට හිමි 
වැටුප තීරණය කරනු ලැබේ. 
එය දීමනාවකි.

ජනාධිපති උපදේශකවරුන් ඇතුළත් වෙන්නේ ද ජනාධිපති කාර්ය මණ්ඩලයටය. ජනාධිපතිවරයාට පෞද්ගලික කාර්ය මණ්ඩලයක් නැත. ජනාධිපති කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ගේ ප්‍රධානියා වෙන්නේ ජනාධිපති ලේකම්වරයායි. ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා වෙන අතර විධායකය යනු නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන අංශයයි. එනම්, රාජ්‍ය සේවයයි. 
මේ අනුව, රාජ්‍ය සේවය අයත් වෙන්නේ විධායකයට බැවින් ද විධායකයේ ප්‍රධානියා ජනාධිපතිවරයා බැවින් ද ජනාධිපතිවරයා විධායකය සමග ගනුදෙනු කරන්නේ ජනාධිපති ලේකම්වරයා මගින් ​ෙවන බැවින් ද ජනාධිපති ලේකම් තනතුර රාජ්‍ය සේවයේ ප්‍රධාන තනතුර ලෙස සැලකේ. ඊට හේතුව, විධායකයේ ප්‍රධානියා වෙන ජනාධිපතිවරයා සමග කටයුතු කරන පුරුක ජනාධිපති ලේකම්ය.
රාජ්‍ය සේවා ප්‍රතිපත්තිය අනුව, දීප ව්‍යාප්ත සේවයේ පළමු පන්තියේ නිලධාරියකුට නිල වාහනයක හිමිකම ලැබේ. ඒ යටතේ ප්‍රාදේශීය ලේකම්වරයකුගේ සිට රජයේ සහකාර ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන් මේ අදී නිලතල හොබවන අයට නිල රථ හිමි වේ. ජනාධිපති කාර්ය මණ්ඩලයේ ඒ මට්ටමේ තනතුරු දරන අයටත් එම හිමිකම ලැබේ. 
ඒ යටතේ ජනාධිපති ලේකම්වරුන්ට සහ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට නිල රථ පහසුකම් හිමිය. එය රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට හිමි අයිතිවාසිකමක් ​ෙවන අතර එය ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට ද හිමි වේ. එම රථ වාහනවලට හිමි ඉන්ධන දීමනා පිළිබඳ විධිවිධාන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවලින් නියම කර ඇත. රාජ්‍ය සේවාවට නියම කර 
ඇති ඉන්ධන සීමාවන්ම 
ජනාධිපති කාර්ය මණ්ඩල නිලධාරීන්ට ද හිමි වේ.

ජනාධිපති කාර්ය මණ්ඩල නිලධාරීන් නිල රථ අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල ​ෙවන ආකාරයක් දැකිය හැකිය. එහෙත් එවැනි හැකියාවක් නැති බව සඳහන් කළ යුතුය. රාජ්‍ය සේවයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරියකුට නිල රථයක් ලබා දුන් විට එය පෞද්ගලික පරිහරණයට යොදා ගන්නේ නම් ඒ සඳහා යම් මුදලක් මාසිකව අය කෙරේ. 
එම මුදල අය කළ පසු අදාළ නිලධාරීන්ට ඔවුන්ගේ නිල රථ පෞද්ගලික පරිහරණයට ද යොදා ගත හැකිය. එහෙත් ඒ සඳහා රජයෙන් ඉන්ධන ලබා දීමක් සිදු නොවේ. රජයෙන් ලබා දෙන ඉන්ධන දීමනාවෙන් රාජකාරි හා පෞද්ගලික ගමන් බිමන් වෙනුවෙන් යොදා ගැනීමට සිදු වේ. මේ අනුව, ජනාධිපති කාර්ය මණ්ඩල නිලධාරියකු නිල රථය පාවිච්චි කරන්නේ නම්, ඊට අදාළ මාසික ඉන්ධන දීමනාව ලබා දෙන අතර එයින් ඉන්ධන වියදම් පිරිමසා ගත යුතුය.


ජනාධිපති කාර්ය මණ්ඩලයේ යම් නිලධාරියකු දුර බැහැර ප්‍රදේශයකට රාජකාරි කටයුත්තක් සඳහා පිටත් වෙන්නේ නම්, එවැනි ගමන් සඳහා වෙනම ඉන්ධන දීමනාවක් ලබා ගත හැකිය. එහෙත් ඒ සඳහා ජනාධිපති ලේකම්වරයා විශේෂ අනුමතයක් ලබා දිය යුතුය. එම විශේෂ දීමනාව ලබා ගන්නේ නම් මිලදී ගත් ඉන්ධනවලට අදාළ බිල්පත් ඉදිරිපත් කළ යුතුය.
රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරියකු නීතිවිරෝධී ක්‍රියාවක් හෝ නීති උල්ලංඝනය කිරීමක් හෝ කළ හොත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකිය. 
ජනාධිපති කාර්ය මණ්ඩලයට අනුයුක්ත රාජ්‍ය සේවයේ නිලධාරියෙකු යම් වදරක් කළ හොත් ඒ ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ද පැමිණිලි කළ හැකිය. එවැනි පැමිණිලි අරබයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට විමර්ශන කළ හැකි වුව ද දඬුවම් පමුණුවාලීමේ බලය තිබෙන්නේ ජනාධිපති ලේකම්වරයාටය.

ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරියකුගේ විෂමාචාර ක්‍රියාවක් හෝ නීතිවිරෝධී ක්‍රියාවක් හෝ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාට ද පැමිණිලි කළ හැකිය. එවැනි පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වා අදාළ නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත හැකිය. 
විනය නියෝග ගත යුත්තේ ජනාධිපතිවරයාගෙනි. බොහෝ අවස්ථාවල ජනාධිපතිවරු එම විනය බලතල ජනාධිපති ලේකම්වරයාට පවරති. එවිට ජනාධිපති ලේකම්වරයාට ඒ සම්බන්ධ තීන්දු තීරණ ගත හැකිය. විනය පරීක්ෂණයකින් වරදකරුවකු වෙන රාජ්‍ය නිලධාරියකු රාජ්‍ය සේවයට යළි නිදහස් කිරීම 
බහුලව සිදු වේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධුරය හඳුන්වා දීමට පෙර පැවති කැබිනට් ආණ්ඩුක්‍රමය යටතේ ආණ්ඩුවේ ප්‍රධානියා වූ අග්‍රාමාත්‍යවරයාට ලේකම්වරයකු සිටිය ද වර්තමානයේ මෙන් වෙනම කාර්ය මණ්ඩලයක් නොසිටියේය. 
අගමැති කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයෙන්ම සකස් විණි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමත් සමග ජනාධිපති කාර්ය මණ්ඩලය වෙනම ස්ථාපිත කෙරුණි. අගමැතිවරයාගේ කාර්ය මණ්ඩලය ගැන ව්‍යවස්ථාවේ නිශ්චිත සඳහනක් නොමැත. 
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙන තෙක් අග්‍රාමාත්‍ය ලේකම් තනතුර ව්‍යවස්ථා ගත වී නොතිබුණි. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැති ලේකම් තනතුර නිල වශයෙන් ස්ථාපිත කෙරිණි. ඒ අනුව, සමන් ඒකනායක මහතා ව්‍යවස්ථාපිත මුල්ම අගමැති ලේකම්වරයා වශයෙන් පත් කරන ලදී.
උපුල් වික්‍රමසිංහ