අතුරලියේ රතන හිමි
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් ඉවත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ හදිසියේම පැවසූහ. රතන හිමියන්ගේ දේශපාලනය එතැනින් කොතැනටදැයි යන්න ගැන කෙරුණු දේශපාලන සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය- ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් හිටිහැටියේ අස්වුණේ ඇයි?
පිළිතුර- ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කියල කියනකොටම මේ ආණ්ඩුවේ වෙන වැඩ මගේ කරපිටත් පැටවෙනවා. ඒ වැරැදිවලට මාත් වගඋත්තරකාරයෙක් වෙනවා. එනිසා එයින් නිදහස් වෙන්න මට ඕනෑ වුණා. ජනාධිපතිතුමා සමග වැඩකිරීමට මට එය බාධාවක් නෙවෙයි. එතුමා කතා කරන ඕනෑම වෙලාවක උපදේශනයෙන් සහාය දැක්වීමට මම සූදානම්.
ප්‍රශ්නය- මොනවද ආණ්ඩුවෙන් වෙන වැරැදි කිව්වේ?
පිළිතුර- බැඳුම්කර ප්‍රශ්නය ආවේ පළමු කාර්තුවේදීමයි. අර්ජුන් ඇලෝසියස්ගේ සම්බන්ධතා, අර්ජුන් මහේන්ද්‍රන්ගේ හැසිරීම හා රටට හා රාජ්‍ය ආයතනවලට සිදු වූ ආර්ථික පාඩුව සමග බැඳුම්කර සිද්ධිය මහ මංකොල්ලයක් හැටියට ජනතාව තේරුම්ගෙන තිබෙනවා. ලංකාවේ දේශපාලනයේ නිරුවත මේ තරම් හෙළිදරව් වූ යුගයක් තවත් නෑ. එක්සත් ජාතික පක්ෂය වැඩ කළේ ජාතික ආණ්ඩුව කියන සංකල්පය හිතේ තියාගෙන නෙවෙයි. කුඩා කල්ලියක් විසින් තීන්දු ගනු ලැබුවා.
ප්‍රශ්නය- තනතුර තිබුණාට උපදෙස් දීමක් සිදුවුණෙත් නැතැයි ඔබවහන්සේ එක් අවස්ථාවක සඳහන් කළා. එතකොට තනතුර තිබුණේ නමට ද?
පිළිතුර- ඇත්ත වශයෙන්ම පහුගිය කාලේ ක්‍රියාකාරකම් බැලුවාම මට තේරෙන්නේ අපේ උපදේශකත්වයෙන් ප්‍රයෝජනයක් නැති බවයි.
ප්‍රශ්නය- උපදෙස් නොගත්තට ලැබුණු පහසුකම් ඇති නේද?
පිළිතුර- මම ඔය ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් අරගෙන තියෙන්නේ අවුරුදු විස්සක් පරණ කබල් වාහනයක් විතරයි. මම පෙට්‍රල් එලවන්ස් අරන් නෑ. මුදල් අරන් නෑ. මම කිසිම දෙයක් අරගෙන නෑ. වස විසෙන් තොර ගොවිතැනට පොළොන්නරුවට, ත්‍රිකුණාමලේට හතළිස් වතාවකට වඩා ගියේ මගේ සල්ලි වියදම් කරන්. අද එහෙම මිනිස්සු කරන්නේ නෑ. සත පහක ඉතිරියක් නෑ මට.
ප්‍රශ්නය- ආණ්ඩුව ජාතික නම් යූඑන්පී එකට විතරක් බැණලා අත පිහිදාගන්න පුළුවන්ද?
පිළිතුර- ඇත්තටම ආර්ථික කළමනාකරණය යූ.එන්.පී. එක බාරගැනීම ගැන සැලකිය යුතු වගකීමක් ජනාධිපතිවරයාත් ගන්න ඕනැ. මොකද අපි බලය දුන්නේ ජනාධිපතිවරයාට. රටට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපතිවරයායි.
ප්‍රශ්නය- එවැනි අවස්ථාවල ආණ්ඩුව නිවැරැදි කරන්න මැදිහත් වෙලා තිබෙනවාද?
පිළිතුර- ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් හදන්නැයි අපි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලුවා. ජනාධිපතිවරයා ජනතාවට පොරොන්දුවක් දුන්නා. අපි ලිඛිතව එය පිහිටුවන්නැයි ඉදිරිපත් කළා. එතකොට කැබිනට් මණ්ඩලයට ගෙන එන ඕනෑම යෝජනාවක් විෂයට අදාළ යම්කිසි ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් සභාවකට ගිහිල්ලා අධීක්ෂණය වී පෙරිලායි කැබිනට්ටුවට නැවත එන්නේ. සිංගප්පූරු ගිවිසුම් වගේ ඒවා ගැහුවේ එවැනි විමර්ෂණයක් නැති නිසයි. මේ යෝජනාව ජනපති - අගමැති දෙදෙනාටම දුන්නත් කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නෑ. දැන් දෙපැත්තෙන්ම කමිටු පත්කළා කියලා කියනවා.
ප්‍රශ්නය- දැන් ඉතින් සිංගප්පූරු ගිවිසුම අස්සන් කරලා ඉවරයිනේ. කලින් කිව්වේ නැද්ද?
පිළිතුර- සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් මගේ විරෝධය වාචිකව ඉදිරිපත් කළා. මලික් සමරවික්‍රම ඇමැතිවරයා සමග සාකච්ඡාවක් පවත්වාත් අගමැතිවරයා වෙනමම මුණගැසීත් මෙහි ඇති අනර්ථය පෙන්වාදුන්නා. යහපාලන ආණ්ඩුව කිව්වාට මේ ගිවිසුම අස්සන් කරලා තිබෙන්නේ ජේ.ආර්. ජයවර්ධන සමයටත් වඩා ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියටයි. මේ ගිවිසුම අස්සන් කළේ ජනාධිපතිතුමාගේ ඉදිරියේ වුණාට ඔහු මේ ගැන දන්නේ නෑ. අද ජනාධිපතිවරයා කියන්නේ උත්සවවලට ගෙනියන සැරසිල්ලක්. මෙවැනි ගිවිසුමක් එද්දී තමන්ගේ උපදේශන කමිටුවක හෝ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමාට යුතුකමක් තිබුණා. මම ජ්‍යෙෂ්ඨ උපදේශක නම් මගෙන් අහන්න තිබුණා. මොකද එතුමා බලයට ගේන්න මම විශාල කැපකිරීමක් කළා. මේක අගමැතිතුමාගේ වැඩක් යැයි සමහරු හිතුවත් මට තේරෙන විදියට අගමැතිතුමාටවත් මේ ගැන අදහසක් නෑ. මට හිතෙන්නේ මේක මලික් සමරවික්‍රම මහතාගේයි. මේ ගිවිසුම කැබිනට්ටුවට ඉදිරිපත් කර තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඔතන සිටින ඇමැතිවරු ගණනාවකට ඉංග්‍රීසි බෑ. ඉංග්‍රීසි දැනගත්තත් මෙහි ඇති තාක්ෂණිකභාවය නිසා වටහාගැනීම දුෂ්කරයි. මේක බ්‍රිතාන්‍ය කොළණියක් නෙවෙයි.
මේකෙන් දේශීය කර්මාන්තකරුවන්ට, වෘත්තියවේදීන්ට වගේම රටේ ස්වෛරීත්වයට හානිවෙනවා. වෙළෙඳ ගිවිසුම් අස්සන් කිරීමට නම් රටට ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් තිබිය යුතු වුවත් එවැන්නක් අපට නෑ. පාරිසරික නීති මෙම ගිවිසුමට අදාළ වන්නේ නෑ. මේක නීතිවිරෝධී සදාචාර විරෝධී ගිවිසුමක්.
ප්‍රශ්නය- ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන් කියලා ඒක හදපු අයම කියනවා.
පිළිතුර- ඔව්. අපට වැඩ දෙකක් කරන්න පුළුවන්. මේ ගිවිසුම විධිමත් සාකච්ඡාවකට ලක්කිරීමට පුළුවන්. ඔබතුමා අභිමුඛයේ අස්සන් කළ මෙම ගිවිසුම ගැන වෘත්තියවේදීන් සමග විශේෂ සාකච්ඡාවක් කරන්නැයි ජනාධිපතිවරයා බලයට පත්කිරීමට කැප වූ මම ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. මේ ගැන මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. මීට අදාළ ලියකියවිලි සියල්ල බාරදුන්නා.
ප්‍රශ්නය- ආණ්ඩුව තවමත් හදාගන්න පුළුවන් කියලා ඔබවහන්සේ විශ්වාස කරනවාද?
පිළිතුර- හදාගන්න පුළුවන් කියලා නෙවෙයි මම කියන්නේ. වැරැදි නිවැරැදි කරගන්න. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් මේවා නිවැරැදි කරලා රටේ ජනතාවගේ ගරුත්වය යළි දිනාගන්න පුළුවන්. වැරැද්ද හමුවේ මම දන්නේ නෑ කියලා නිහඬවීම ගැළපෙන්නේ නෑ.
ප්‍රශ්නය- ප්‍රතිසංස්කරණ කර ජනතාව දිනාගැනීමට තරම් කාලයක් ආණ්ඩුවට තිබෙනවාද?
පිළිතුර- ගම්පෙරළි කරලා ජනතාව දිනාගැනීමට හැකි යැයි ආණ්ඩුව හිතනවා. මම හිතන්නේ රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයා තමන්ගේ පාර පැහැදිලිව රටට ඉදිරිපත් කළ යුතුයි. එතුමාට ස්ථාවරභාවයක් නෑ. ජනමත විචාරණයට තුඩු දෙන ව්‍යවස්ථාවක් ගේනවද කියන කරුණ සම්බන්ධයෙන් එතුමාට ස්ථාවරයක් නෑ. ආර්ථික ප්‍රතිපත්තිය ගැනත් එහෙමයි. එතුමා සියල්ලට පෙර මෛත්‍රී පාලනයක්, ස්ථාවර රටක් කියලා ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය තුළ ස්ථානගත විය යුතුයි.
ප්‍රශ්නය- රතන හිමි ස්වාධීන වෙද්දී ජනාධිපතිවරයා පක්ෂය බදාගන්නවා. 2015 පැවැති දේශපාලන බල හවුල් බිඳීයාමත් ආණ්ඩුවේ පරිහානියට බලපෑවා නේද?
පිළිතුර- ජනාධිපතිවරයා හැටියට එතුමාට පක්ෂයක් තිබෙන එක හොඳයි. ඒක වෙන විදියට බලපාන්න ඇති.
ප්‍රශ්නය- නමුත් එදා පැවැති දේශපාලන මිතුරු හවුල් දැන් නැහැ නේද?
පිළිතුර- උපන් හැටියෙම රාජ්‍ය බැංකු කැඩුවාම එවැනි හවුල් ඉතුරුවෙන්න විදියක් නෑනෙ. ඉදිරිපත් කළ අයවැයට රටේ ගමන්මග ගැන දැක්මක් නැති වුණාම මහජන විශ්වාසය කඩාවැටෙන එක අහන්න දෙයක් ද?
ව්‍යවස්ථාවත් එහෙමයි.
ප්‍රශ්නය- දේශපාලන පක්ෂයකුත් නැති තත්ත්වයකදී අතුරලියේ රතන කියන දේශපාලන චරිතයට අතීතයේ තිබුණු කේවල් කිරීමේ ශක්තිය තාම තියෙනවා කියලා හිතනවාද?
පිළිතුර- මම පක්ෂයක සිටි බව ඇත්ත. නමුත් මම හැමදාම සිටියේ බහුජන ව්‍යාපාර සමගයි. මිනිස්සු මගේ හෘදසාක්කිය විශ්වාස කරනවා කියලා මම හිතනවා. නැත්නම් ලක්ෂ ගණනක ප්‍රජාවක් නියෝජනය කරන සමුපකාර ව්‍යාපාරය වැනි එකක් ආමන්ත්‍රණය කිරීමට මට ආරාධනා කරන්නේ නෑනෙ. බත් පැකට්, මග වියදම් නොදී ලක්ෂ ගණනක් ගෙන්වන්න පුළුවන් කාටද? පක්ෂයක් නැති ලක්ෂ දහයක් පමණ වූ ජනතාවකගේ හෘදසාක්ෂිය හා රටේ ජාතික වුවමනාව නියෝජනය කිරීම මගේ වගකීමයි. කේවල් කිරීමේ බලය තියෙනවාද නැද්ද කියලා ඉදිරි කාලයේදී බලාගන්න පුළුවන්.
ප්‍රශ්නය-මේ ආණ්ඩුවට ගහලා එළියට ඇවිල්ලා කාත් එක්කද හිටගන්නේ?
පිළිතුර- මම කා එක්කවත් හිටගන්නේ නෑ. මම හිටගන්නේ ප්‍රතිපත්ති එක්ක. හිතලා මතලා ඡන්දය දෙන ලක්ෂ දහයක පමණ සබුද්ධික ජනතාවක් ඉන්නවා. බණ භාවනාවෙන් ආධ්‍යාත්මික ජීවිතයෙන් ගත කරන පන්සල වටා ගැවසෙන ලක්ෂ පහක් පමණ සිටිනවා. මේ විදියට රට යන්න බෑ කියලා ඔවුන් කල්පනා කරනවා. හැබැයි ඔවුන්ට ඒකමතික අදහසක් නෑ. පාරක් නෑ. අපේ අදහස වන්නේ මෙන්න මේ ලක්ෂ දහය හරියට අරගෙන එය ජාතික මණ්ඩලයක් බවට පත්කිරීමයි. භික්ෂූන් වහන්සේලා, ආචාර්යවරුන්, ඉංජිනේරුවන්, වෘත්තියවේදීන්, මාධ්‍යවේදීන් හා කලාකරුවන් ඇතුළු බහුවිධ විෂය ප්‍රවීණයන් ඇතුළත් වෙන සේ ඒ ලක්ෂ දහය නියෝජනය කිරීමට පන්සීයක පමණ කවුන්සියලයක් හදන්න පුළුවන්. ඒ වගේ දෙසීයක් පමණ අප සමග දැනට සිටිනවා. ඊට අදාළව සියලු ක්‍ෂේත්‍රවල පිරිස් සමග මේ දිනවල සාකච්ඡා කරනවා. ඒ අයගෙන් පිට කැබිනට් එකට තීරණ ගැනීමට බැරි තත්ත්වයක් හදන්න ඕනෑ.
මම තීන්දු දෙකක් ගෙන තිබෙනවා. එක වර්තමාන ජනාධිපතිතුමාට මේ වෙච්ච සියලු අකටයුතු නිවැරැදි කිරීමේ බලය තිබෙනවා. එතුමා එක්ක කිසිම ගැටලුවක් මට නෑ. මම උපදේශකකමින් අයින් වුණාය කියන්නේ එතුමා එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන එක නෙවෙයි. එතුමා ඉල්ලනවා නම් ඕනෑ තරම් උපදෙස් මට දෙන්න පුළුවන්. එතුමා කියන ඕනෑ වැඩකට මට සම්බන්ධවෙන්න පුළුවන්. අගමැතිතුමාටත් එහෙමයි. මට එතුමා එක්ක පුද්ගලික තරහක් නෑ. මහින්ද රාජපක්ෂ එක්කත් එහෙමයි. අපි එතුමාව පරද්දලා දවස් දෙකකින් දුරකතන ඇමතුමක් දුන්නා. මම කිසි කෙනෙක් එක්ක පුද්ගලික තරහ ඇතිකරගන්නේ නෑ.
ප්‍රශ්නය- ජවිපෙ, ගෝඨාභය රාජපක්ෂ හා ඒකාබද්ධ විපක්ෂය හැටියටත් වෘත්තිකයන් පෙරටු කරගත් මෙවැනිම බහුජන වැඩ විවිධ නම්වලින් කරළියට පැමිණ තිබෙනවා. ඔය කියන සබුද්ධික ජනතාව එක තැනකට ගොනුවෙන්නේ නෑ නේද?
පිළිතුර- ගොනුකරගැනීමේ ප්‍රශ්නයක් නෑ. හරි දේ මොකද්ද පුළුල්ම ව්‍යාපාරය මොකද්ද කියලා මිනිස්සු තේරුම් ගන්නවා. මම කිසි කෙනෙක් එක්ක පුද්ගලික ගැටුමක් ඇතිකරගන්නේ නෑ. ඒක ජේ.වී.පී. වෙන්න පුළුවන්. පෙරටුගාමී වෙන්න පුළුවන්. ඒ සියලු කණ්ඩායම් ඒකාබද්ධ කළහැක්කේ කාටද? මට ඕනැ ඒකෙ නායකයා වෙන්න නෙවෙයි. සම්බන්ධීකාරකයා වෙන්නයි. මේ හැම කෙනෙක්ම ගැටගහන්න ඕනෑ. මොකද අපේ අරමුණ එකක් නම් අපි බෙදෙන එකේ තේරුමක් නෑ. යූ.එන්.පී., ශ්‍රී ලංකා දෙකේමත් අවංක මිනිස්සු ඉන්නවා. හැබැයි යටවෙලා. ඔවුන්වත් එළියට ගන්න ඕනෑ. ඒකාබද්ධ විපක්ෂෙත් වටිනා මිනිස්සු ටික දෙනෙක් ඉන්නවා. ගෝත්‍රවාදීන් හැටියට හිතන මිනිස්සුත් රටේ හැමතැනම ඉන්නවා. ගෝත්‍රයට නායකයෙක් හදාගෙන එයාම බලයට ගේන්න ඕනෑ යැයි කියලා හිතනවා. ඒකෙන් අපි මිදිලා සම්මා දිට්ඨියට එමු. ඒකාබද්ධ විපක්ෂයට තිබෙන්නේ විරෝධාකල්පයක් විතරයි. දැක්මක් නෑ. සිංගප්පූරු ගිවිසුම ගැන රට සංවර්ධනය කිරීමේ මග ගැන ඔවුන්ට හරි අදහසක් නෑ.
ප්‍රශ්නය- ඒකාබද්ධයට දැක්මක් නෑ කිව්වාට පළාත් පාලන ඡන්දයේදී මිනිස්සු පොහොට්ටුවට දුන්නේ විශාල ජයග්‍රහණයක් නේද?
පිළිතුර- විරෝධාකල්ප පෙන්වන්න ඕනෑ වුණාම මිනිස්සු තියෙන එකට ගහනවා. මගේ අදහස ජනාධිපතිවරණයකදි එහෙම වෙන්නේ නෑ කියන එකයි.
ප්‍රශ්නය- පරිසරවේදීන් එදාටවත් වඩා අද ආණ්ඩුවට පරිසරය විනාශ කරන බවට චෝදනා එල්ල කරනවා. ඔබවහන්සේගේ තිරසර සංවර්ධන යෝජනාවලට මොකද වුණේ?
පිළිතුර- සුළු හා බලවත් යන ජාතීන් දෙපිරිසම පැරිස් සමුළුවේදී එකඟතාවයකට එද්දී තමන්ට අමුද්‍රව්‍ය තිබෙද්දී යුරෝපය ගල් අඟුරු බලාගාර වසද්දීත් අපි කිලෝවොට් 1300 ක් ගන්න පුළුවන් විදියට 2025 වෙනවිට ගල් අඟුරු බලාගාර පහක් හදන්න ජනන සැලැස්මක් හදලා තියෙනවා. 2018 සිට වසර හතක් දක්වා වූ විදුලි ඉල්ලුමට කරන්නේ මොකද්ද කියලා ජනන සැලැස්මක් නෑ. 2025 නිසා කොහොමත් මේ අයට නම් ඒක කරන්න වෙන්නේ නෑ. නොරොච්චෝලෙ හදපු හත්තිලව්වෙන් වසරකට ගල් අඟුරු කෑලි ලක්ෂ පහක් ඉතුරු වෙනවා. පොල් ගස් ටික මැරිලා යනවා නම්, මිනිස්සුන්ට ශ්වසනාබාධ නම් අපේ ආණ්ඩුව කරලා තියෙන්නේ මොකද්ද? ගල් අඟුරු බලාගාර සම්බන්ධයෙන් කැබිනට් තීන්දුවක් ගන්න කොන්ද පණ නැති මේ ආණ්ඩුව එක්ක අපට තියෙන ගමන මොකද්ද? ලෝකයේ පිරිහිච්චම දූෂිතම අඥානම ආණ්ඩුව ගන්න තීරණයයි මේ අරගෙන තිබෙන්නේ. මගේ පාලන කාලයේදී ගල් අඟුරු වෙනුවට පුනර්ජනනීය බලශක්තිවලට යනවාය කියලයි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණය දිනුවෙ. පරිසර හිතකාමී ජනාධිපතිවරයෙක් බිහිවෙයි කියලා පරිසරකාරයෝ ආදරයෙන් ඡන්දෙ දුන්නා. හැබැයි එහෙම ආපු ජනාධිපතිගෙ නායකත්වයෙන් ගල් අඟුරු බලාගාරවලට සැලැස්මක් හදනවා. පුනර්ජනනීය බලශක්තිය අඩුවෙන්ම ක්‍රියාත්මක කළ වසර තුන බවට පත්ව තිබෙන්නේ මේ වසර තුනයි.
ප්‍රශ්නය- විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවනුත් මේ ආකාරයටම ගණන් හිලව් සංඛ්‍යාලේඛන දක්වමින් ගල් අඟුරුවල වාසිය කියනවා. මිනිස්සු හරි වැරැද්ද තෝරාගන්නෙ කොහොමද?
පිළිතුර- ගල් අඟුරු බලාගාර අයින් කරන්න කියන එකට ලෝකයේ වාදයක් නෑ. ඉංජිනේරුවන්ට වාද කරන්න බෑ. මොකද දේශපාලන නායකත්වයක් පත්කරන්නේ මහජනතාවයි. ප්‍රතිපත්ති හදන්නේ පාර්ලිමේන්තුව මිස නිලධාරින් නෙවෙයි. විදුලි ඉංජිනේරුවන්ගේත් බෙදීමක් තියෙනවා. සමහරු පක්ෂයි. සමහරු විපක්ෂයි. ලෝකෙ තියෙන හොඳම ගල් අඟුරු ගේනවා යැයි ඉංජිනේරුවෝ කියනවා. විෂ නැති ගල් අඟුරු කියලා ජාතියක් ලෝකෙ නෑ. ඒකාබද්ධ විපක්ෂයට මේ ගැන අදහසක් නෑ. ඒ අය බණින එකයි කරන්නේ. මහජන මතයක් හදන්න බෑ. ගෝඨාභය රාජපක්ෂගෙ වියත් මගෙන්වත් මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා මම දැක්කේ නෑ.
ප්‍රශ්නය- ග්ලයිෆොසේට් තහනම් කරන්නැයි ඔබවහන්සේ ඉල්ලීම් කළා. රජය එය පළමුව ක්‍රියාවේ යෙදෙව්වත් පසුව තහනම ඉවත් කළා. තිරසර සංවර්ධන වැඬේට බැස්සේ විකල්ප නැතුව කියන කතාව ඇත්ත නේද?
පිළිතුර- රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ඔළුවෙ වස විසෙන් තොර ගොවිතැන ගැන ලොකු අදහසක් නෑ. නව ලිබරල් ආර්ථික ක්‍රමය තමයි එතුමාගෙ දර්ශනය. ජනාධිපතිතුමාට නව ලිබරල්වාදයක් නැතත් කිසිම දෙයක් ගැන ස්ථාවර අදහසක් නෑ. ස්ථාවර අදහසක් නැතත් ගොවි කලාපයකින් ආපු නායකයකු හැටියට මේ ගැන ජනාධිපතිවරයාට ඒත්තු ගැන්විය හැකි යැයි මම විශ්වාස කළා. ලෝකයේ විකල්ප තිබෙනවා. මගේ පැත්තෙන් විකල්ප ගණනාවක් ඉදිරිපත් කළා. දැන් මධ්‍යම කඳුකරේට නැවත ග්ලයිෆොසේට් ගහනවා. ඒ දිය දහරාවලින් එන කැලණි ගඟේ වතුර බොන මිනිස්සුන්ගේ ශරීරවලට නැවතත් ග්ලයිෆොසේට් ඇතුළු වෙනවා. මේ ගැන විවාද කරන්න ඕනෑ කෙනෙක් එක්ක මම සූදානම්. ටෝකියෝ බීජිං වැනි නවීකාරක නූතන සංවර්ධන මාදිලිවලට අපි ගිහින් නැති නිසා තිරසර සංවර්ධනයට යන්න වඩා ලේසි අප වැනි රටවලටයි. තෙල් පෝරවලට යන බිලියන සීයක් ඉතුරු කරගන්න අපට පුළුවන්. පරිප්පු බිලියන 21ක්, ලූණු බිලියන 15 ක්, සීනි බිලියන 53, ක් හාල් බිලියන 2 ක්, පාන් පිටි මිලියන 314 ක්, කිරි නිෂ්පාදන බිලියන 39 ක්, මාළු බිලියන 36 ක්, තෙල් හා මේද බිලියන 5 ක් ආදී වශයෙන් පිටරටට ඇදී යන මුදල් කන්දරාව කොච්චරක් ද? රට වටේට මූද තිබිලා ලුණු මිලදී ගන්නෙ මොන මෝඩයද? නිදහසින් පසුව ලුණු ටික හදාගන්න බැරි ජාතියක් අපි. ලුණු ටික, කිරි ටික හදාගන්න බැරිද? පිටි කිරි නිෂ්පාදනය කරන බොහෝ රටවල වසර පුරා තණකොළවත් නෑ. නමුත් අපි සදාහරිත රටක්. නවසීලන්තය අද පකිස්ථානයට, බංග්ලාදේශයට, භූතානයට, ඉන්දියාවට කිරි විකුණනවාද? අපිට විතරයි විකුණන්නේ. මේ එක රටකවත් අපේ තරම් තණකොළ හැදෙන්නේ නෑ. අපි තරම් හරක් තවත් ඉන්නවද?
ප්‍රශ්නය- ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්න හැදුවාට ඔබවහන්සේ දිගටම හිටියේ මන්ත්‍රී ධූරයකනෙ. උපදෙස් දුන්නට ගන්නෙත් නැත්නම් ඇමැතිකමක් බාරගෙන ප්‍රතිපත්ති හදන තැනින්ම වැඩ පටන්ගත්තා නම් ඉවරයි කියලා හිතෙන්නේ නැද්ද?
පිළිතුර- සම්පූර්ණයෙන් එකඟයි. මම හිතනවා ඉදිරියේදී මම කෘෂිකර්ම ඇමැති වුණත් නොවුණත් ඒක මොළේ තියෙන දැක්මක් තියෙන කෙනෙක් අතට ගන්න ඕනෑ කියලා. බලශක්තිය හා කෘෂිකර්මය රටට ආදරේ ඇමැතිවරු දෙදෙනෙක් අතට යන්න ඕනෑ. පෝර වෙනුවට සල්ලි දෙන්න තීරණයක් ගත්තා. ඊට පස්සෙ ආයෙ පොහොර දෙන්න තීරණයක් ගත්තා. එතකොට මම ඇහුවා වස විසෙන් තොර ගොවිතැන කළ විසි පන්දාහට මොකද වෙන්නේ කියලා. මොකද අපි සල්ලි වියදම් කරලා කළ වැඬේ අසාර්ථක වෙනවා. ඒ නිසා කරුණාකරලා කැබිනට් පත්‍රිකාවක් දාන්නැයි මම කිව්වා. ඔන්න ඒ පාර දැම්මා. දාලා ආපහු කැමැති ගොවීන්ට සල්ලි දෙන්න තීරණයක් ගත්තා. අමරවීර මහත්තයාට ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනෑ. හැබැයි තාම ඒ සල්ලි දීලා නෑ. යල කන්නෙට පෝර දීලත් නෑ. සල්ලි දීලත් නෑ. යල කන්නෙ ගොවීන්ට කියලා කියලා පොළඹවලා කොම්පෝස්ට්වලින් ඒ මිනිස්සු වගාව කළාම සල්ලි දෙන්නේ නැත්නම් මම කරන්නේ මොකද්ද? අන්ත අසරණයි.
ප්‍රශ්නය- ඔය ඉලක්කවලට යන්න 2020 මීළඟ බල මාරුව පාවිච්චි කරගන්න බැරිද?
පිළිතුර- අනිවාර්ෙයන්ම බල හුවමාරුවක් විය යුතුමයි. හැබැයි ඒක මේ රතන හාමුදුරුවෝ කණ්ඩායමක් හදාගෙන කරන වැඩක් නෙවෙයි. පුළුල් ජාතික එකමුතුවකින් වෙන්න ඕනෑ දෙයක්. අපි කෘෂිකර්මාන්තයේදී කළ අත්හදාබැලීම් සාර්ථකයි. දුෂ්කරතා මැද මා කළ මැදිහත්වීමට හරි නම් රාජ්‍ය සම්මානයක් හිමි විය යුතුයි. මට කිසිම ගෞරවයක් හම්බවෙලා නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කරන්න බෑ කිව්වාම කෘෂිකර්ම අමාත්‍යාංශයේම නිලධාරින් සම්බන්ධ කරගෙන ඔවුන්ගේම නිරීක්ෂණ යටතේ නියැඳි පරීක්ෂණයක් කළා. පළමු කන්නයේදීම වස විසෙන් තොරව අඩු වියදමකින් ලාභ ලබන හැටි අපි පෙන්නුවා. අපි ට්‍රයල් එකෙන් දිනුවා. එහෙම එකක් කළාම ඒක ප්‍රකාශයට පත්කළ යුත්තේ ජනාධිපතිවරයායි. අපිට එවැන්නක් කරගන්න බැරිවුණා. මට කනගාටුයි. කිසිම ගරුත්වයක් මට ලැබිලා නෑ. මට අවශ්‍යත් නෑ දැන්.
ප්‍රශ්නය- මන්ත්‍රී වැටුප් සීයට දෙසීයකින් වැඩිවෙන්න යනවා. රට හදන්න යන්නේ හැන්ද අත ඇති අය බෙදාගෙනද?
පිළිතුර- අනුරාධපුර, පොළොන්නරු කලාපයේ මිනිස්සුන්ට අද කන්න නෑ. මන්දපෝෂණය. අපි කියනවාට වඩා ගොවි කලාපයේ දුගීකම වැඩියි. හැම මිනිහාම ණය වෙලා. ජනාධිපතිතුමාගෙ පොළොන්නරු දිස්ත්‍රික්කෙම සීයට පනහක් මිනිස්සු ඉඩම උකස් තියලා. සීයට දහයයි පහළොවයි පොළිය. අපේ මන්ත්‍රී වැටුප් වරප්‍රසාද වැඩිකරගෙන හරියනවද අපි? මේ ජනතාව ගැන අපි හිතන්න ඕනෑ. මේ වැටුප් වැඩිකිරිල්ලට මම විරුද්ධයි. ගිය ආණ්ඩුව කළ වැරැදි හරියට කියන්නේ නැතිව ඒ වැරැදිම මේ ආණ්ඩුවත් කරනවා. නුවර - කතරගම පාර නවත්තලා හරියට රේල් පාර හදන්නයි මේ අයට තිබුණේ. දැන් මේ අයත් ඒකම කරනවා. ගම්පහ ඉඳලා කොළඹට කෝච්චි පහක මිනිස්සු එනවා. රුහුණු කුමාරියේ කෝච්චි දෙකක මිනිස්සු එනවා. ඉස්සෙල්ලාම කරන්න ඕනැ මොකද්ද? කාර් එක තියෙන මනුස්සයට පාරේ යන පහසුකමනෙ මේ හදන්නේ. අගමැති දහනායක මහත්තයා පාර්ලිමේන්තු ආවේත් කෝච්චියෙන්. පාලකයා ආරක්ෂා වෙන්න ඕනැ රට ආරක්ෂා කරන්නයි. මේ ගොල්ලො රට ආරක්ෂා කරන්නේ නැතිනම් මේ ගොල්ලො මොකටද ආරක්ෂා වෙන්නේ? පොලිසිය, හමුදාව ඇතුළු සමස්ත රටවැසියන් සිටින්නේ ඉතාම අසහනයෙන්.
ප්‍රශ්නය- මොන දේ වුණත් නැතත් ජනතාව ඊළඟ ඡන්දයේදී කාට හෝ ජනවරමක් දෙනවා. ඔබවහන්සේ දැන් නිශ්චිත දේශපාලන තීන්දුවක් ගෙන නැද්ද?
පිළිතුර- මම තීන්දු දෙකක් ගෙන තිබෙනවා. එක වර්තමාන ජනාධිපතිතුමාට මේ වෙච්ච සියලු අකටයුතු නිවැරැදි කිරීමේ බලය තිබෙනවා. එතුමා එක්ක කිසිම ගැටලුවක් මට නෑ. මම උපදේශකකමින් අයින් වුණාය කියන්නේ එතුමා එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන එක නෙවෙයි. එතුමා ඉල්ලනවා නම් ඕනෑ තරම් උපදෙස් මට දෙන්න පුළුවන්. එතුමා කියන ඕනෑ වැඩකට මට සම්බන්ධවෙන්න පුළුවන්. අගමැතිතුමාටත් එහෙමයි. මට එතුමා එක්ක පුද්ගලික තරහක් නෑ. මහින්ද රාජපක්ෂ එක්කත් එහෙමයි. අපි එතුමාව පරද්දලා දවස් දෙකකින් දුරකතන ඇමතුමක් දුන්නා. මම කිසි කෙනෙක් එක්ක පුද්ගලික තරහ ඇතිකරගන්නේ නෑ. හැමෝම එක්ක හොඳින් ඉන්නවා. ප්‍රතිපත්තිය විවේචනය කරනවා. දැනට මගේ පළමු වැනි වැඬේ ජනාධිපතිවරු තෝරන එක නෙවෙයි. මේ කරන අනර්ථයන් වැළැක්වීමයි. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරයා මොක වුණත් මේ ආණ්ඩුවෙන් රටට තවත් හානිවෙන්න දෙන්න බෑ කියන එකයි මගේ ස්ථාවරය.
ප්‍රශ්නය අපේ අතින් වැරැදි වුණා කියලා මහින්ද රාජපක්ෂ වගේම බැසිල් රාජපක්ෂත් කියනවනෙ. වැරැදි හදාගෙන ආණ්ඩුවක් හදන්න ආරාධනා කළොත් සම්බන්ධ වෙනවාද?
පිළිතුර- ඇත්තටම මට ඒගොල්ලො එක්ක ප්‍රශ්නයක් නෑ. ඒ අය වැරැදි හදාගන්නවා කිව්වාට වැරැදි මොනවද කියලා තේරුම් අරගෙන තියෙනවාද? මෙච්චර කාලෙකට පොහොට්ටුවෙ හරි ඒකාබද්ධෙ හරි ආර්ථික ප්‍රතිපත්තිය රටට කියලා තියෙනවාද? කියලා නෑ. වස විසෙන් තොර ගොවිතැන, ග්ලයිපොසේට් ගැන මොකද්ද ඒ අයගෙ අදහස? ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි විරුද්ධයි කියලා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වාට ඒක සංයුක්තව සාකච්ඡා කරලා තියෙනවාද? ඔය ගෝඨාභය රාජපක්ෂගෙ වියත් මගේවත් මේවා කතාවෙනවා මට ඇහිලා නෑ. රටක බලය ගන්න කලින් ඒක සාකච්ඡා කරන්නෙපැයි.
බිඟුන් මේනක ගමගේ