ජනපති ප්‍රේමදාසගේ “ සන්තෝෂ ගම ” උදාවුණ හැටි


 

1977 දී පළාත් පාලන නිවාස ඉදිකිරීම් සහ සභානායක ධුරයටත් ඉන් පසුව 1978 දී අගමැති ධුරයටත් පත් ආර්. ප්‍රේමදාස ආරම්භ කළ උදාගම් ව්‍යාපාරය ඒ ඒ ප්‍රදේශයට ආවේණික වූ සුවිශේෂ පුද්ගලයන් විශේෂිත ස්ථාන ඓතිහාසික ස්ථාන පසුබිම් කර ගනිමින් උදාගම් නම් කිරීම සම්ප්‍රදායක් කර ගත්තේය. ජනපති ආර්. ප්‍රේමදාසගේ පියා උපන් ගමට  අදාළව අහුන්ගල්ලේ ඉදිකළ ගම්මානය පියගම විය. අම්මා උපන් හොරණ බටුවිට ගොඩනැඟූ උදාගම මව්ගම විය. 
 
1988 දී ජනාධිපති ධුරයට රණසිංහ ප්‍රේමදාස පත්වීමෙන් පසු ද උදාගම සංකල්පය නොනැවතී ක්‍රියාත්මක විය. 
 
මෙසේ නම් කරන ලද උදාගම්වලට ඓතිහාසික ස්ථානයක් සුප්‍රසිද්ධ ප්‍රභූවරයෙකුගේ නමක් පූජනීය ස්ථානයක නම් යොදාගැනීම සම්ප්‍රදායක් බවට පත්විය. 
 
අපි මේ  සටහනෙන් පෙන්වන්නේ හබරාදූවේ පිහිටි පැලැස්ස සන්තෝසගමට ඒ නම ලැබුණු ආකාරය සම්බන්ධයෙනි. 
 
ගාල්ල දිසා ඇමැති ධුරයේ ද වසර කීපයක් කටයුතු කළ ජී. වී. එස්. ද සිල්වා මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1983 මැයි 18 වැනිදා පැවැති හබරාදූව අතුරු මැතිවරණයෙනි. 
 
1965 දී සහ 1970 දී හබරාදූව අසුනට එ.ජා. පක්ෂයෙන් තරග කළද ජී. වී. ඇස්. ද සිල්වා ජය ගත්තේ නැත. 
1982 ජනමත විචාරණයෙන් පසු 1983 පැවැති අතුරු මැතිවරණයට ජී. වී. ඇස්. ද සිල්වා සුපුරුදු පක්ෂයෙන් තරග කළේය. 
 
ඡන්ද ප්‍රතිඵල මෙසේය.
 
ජී. වී. එස්. ද සිල්වා එජාප 22,059
ඔස්වින් අබේගුණසේකර ශ්‍රී.ල.නි.ප. 17,756 
ප්‍රින්ස් ගුණසේකර ස්වාධීන 1,163
පී. සුමතිරත්න ස්වාධීන 537 
ඩී. එස්. ගුණසේකර ස්වාධීන 243
 
වැඩි ඡන්ද 4,303 ක් ලබා ජී. වී. ඇස්. සිල්වා ජය ගත්තේය. 
කොළඹ සිට ඡන්ද සටනට පැමිණි ඔස්වින් අබේගුණසේකර (ඔසී අබේගුණසේකර) 17,756ත් හිටපු මන්ත්‍රීවරුන් වූ ප්‍රින්ස් ගුණසේකර 1,163 පී. සුමතිරත්න (එජාප) 537 ඩී. එස්. ගුණසේකර 243 පරාජයට පත් කරමින් සිල්වා ලැබූ විහිෂ්ට ජයග්‍රහණයෙන් උද්දාමයට පත් සිල්වා තමන් ඉදිරියට පැමිණෙන පක්ෂ විපක්ෂ සියලු දෙනා සමගම කතා බහ කළේ සන්තෝෂයි. සන්තෝෂයි බොහොම සන්තෝෂයි කියමිනි. හබරාදූවේ පමණක් නොව මුළු ගාලු පුරවරයේම බොහොම සන්තෝෂයි කතාව ඉක්මණින් ජනප්‍රියත්වයට පත්විය. ජනප්‍රසාදය කොතරම් ද යත් ගාලු දිසා ඇමැති ධුරය හොබවමින් සිටියදී පාර්ලිමේන්තුවේදීම ඝාතනයට ලක්වූ කීර්ති අබේවික්‍රමගේ (දෙනියාය මන්ත්‍රී) පුරප්පාඩුවට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් ජී. වී. ඇස්. සිල්වා පත් කරන ලදී. 
 
සර් අපේ ලොකු අයියා අන්ත්‍රා වුණා යැයි ඡන්දදායක හිතවතෙකු පැවසූ අවස්ථාවේදී පවා බොහොම සන්තෝෂයි බොහොම සන්තෝෂයි කීම ද එකල ප්‍රචාරය විය. එහෙත් ඒ කිසිවෙකු ඒ මහතා සමග ප්‍රශ්න දාගත්තේ නැත. ප්‍රදේශය පුරා සියලු දෙනා සමග හිතෛෂිභාවයෙන් වෙලී සිටි දිසා ඇමැති ජී. වී. එස්. සිල්වා සමග ප්‍රජාතන්ත්‍රවාදය නොරිස්සූ තවත් පිරිසක් නොරොක්වී සිටියහ. 
 
ඒ 1987-89 දකුණේ භීෂණය උච්චතම ස්ථානයට පැමිණි අවස්ථාවයි. හබරාදූව ඡන්ද කොට්ඨාසයේ ගම්මානයක පොහෝදා ශීල ව්‍යාපාරයකට සම්බන්ධ වී සිටි දිසා ඇමැති ජී. වී. එස්. ද සිල්වා නාඳුනන තුවක්කුකරුවන් විසින් අතරමගදී ඝාතනය කරන ලදී. 
 
ඔහුගේ අකල් මරණය ප්‍රදේශයේ ජනතාවට සුවිශේෂ ශෝක ජනක සිද්ධියක් විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් ආදාහන උත්සව පැවැත්වුණු ඒ ප්‍රදේශයට නිල නොවන ඇඳිරි නීතිය පනවා තිබුණි. ප්‍රදේශවාසීහු මෙම අඳුරු නීතිය තුට්ටුවකටත් ගණන් නොගත්හ. 
 
ආදාහන උත්සවයට දහස් ගණනක් සහභාගී වූයේ අපේ මන්ත්‍රීතුමාගේ ආදාහන උත්සවයට ගිහිං වෙඩි කලා මැරුණත් කමක් නැහැ කියමිනි. 
 
ප්‍රදේශයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් පැලැස්ස ගම් ප්‍රදේශයේ ජනතාව සඳහා උදාගමක් එකල සකස් වෙමින් තිබුණි. මේ උදාගමට යොදන නම මොකක් දැයි එවකට අගමැතිව සිටි උදාගම් ව්‍යාපාරයේ නිර්මාතෘ රණසිංහ ප්‍රේමදාස ප්‍රදේශවාසීන්ගෙන් විමසීය. 
 
වෙන මොකක්ද සර් අපි දාමු සන්තෝෂගම කියලා. මොකද 83 මන්ත්‍රී වුණු දවසේ ඉඳන්ම කටේ තිබුණේ බොහොම සන්තෝෂයි කියන වචනෙනේ. 
 
අගමැතිතුමා අපි ඒ නම අපේ ගමේ උදාගමට දාමු. සියලු දෙනා එම යෝජනාව අනුමත කළහ. පැලැස්ස ප්‍රදේශයේ ඉදිකරන ලද උදාගමට ගමට සන්තෝෂගම නම ලැබුණේ ඒ ආකාරයෙනි. 
 
 

බන්දුල ආර්. ගුලවත්ත