ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද එජාප ජ්‍යෙෂ්ඨයන් දැන් ජනතා මුදලින් නඩත්තු වෙන බවට චෝදනාවක් තිබෙනවා.
චෝදනා කරන අයට ඇත්ත සොයා බලන්න කියන්න. මා ජනාධිපති උපදේශකයෙක් ලෙස වැඩකටයුතු කළාට කිසිම පඩියක් ගන්නේ නැහැ. ඒ වගේම කිසිම වාහනයක් අරගෙන නැහැ. ජනපතිගේ දැක්ම ඉදිරියට ගෙන යාම සඳහා අප ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටිනවා. මා දන්න හැටියට, අපේ අනෙක් අයත් එවැනි වරප්‍රසාද ලබා ගන්නේ නැහැ. ඡන්දයක් ළං වුණාම හැම දෙනාටම ඉවක් බවක් නැතිව මඩ ගහන්න වෙනම කට්ටියක් ඉන්නවා. අපට රජයෙන් හෝ ජනතාවගේ බදු මුදලින් යැපෙන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. අනෙක් පැත්තෙන් බැලුවොත්, අභියෝගය බාරගෙන රට බේරාගත්තෙත් ඔය ප්‍රතික්ෂේප වුණා යැයි කියන නායකයාම තමයි. රටට හරි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ එකම නායකයා රනිල් බව දැන් ජනතාවට වැටහී තිබෙනවා. මෙපමණ කලක් එතුමාට චෝදනා කොට මඩ ගැහුවාට එදා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කෙරුවාට දැන් ජනතාවට ඇස් ඇරී තිබෙනවා. අප රනිල් වික්‍රමසිංහ සමග හිටගත්තේ එතුමා ගැන ඇති විශ්වාසය නිසයි. අප කිසිවිටක පක්ෂය හැර ගියේ නැහැ. එහි ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නට කටයුතු කළා. ගිය මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ පුටුවක් ගැනීමට ඔළුවේ තියාගෙන හිටියා නම් අපටත් සජිත් ප්‍රේමදාස සමග එකතුවෙන්න තිබුණා. රනිල් වික්‍රමසිංහ ගැන තිබෙන විශ්වාසය නිසා අප හැමදාම එජාපය සමඟ සිටියා.
රනිල්ට ජනපතිවරණයෙන් ඇපත් නැති වෙනු ඇති බව විරුද්ධ පක්ෂ කියනවා.
ඇප නැති වී සිටි ජාතියට ඇප අරගෙන දුන් නායකයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. පසුගිය කාලයේ රට මුහුණ දුන් ආර්ථික අවපාතය ජනතාවට අමතක නැහැ. රට බංකොලොත් තත්ත්වයට ඇද වැටී තිබුණා. පෝලිම්වල ජනතාව මිය යමින් සිටියා. රනිල් ඇවිත් රට හරි තැනකට ගෙන ඒම විශ්මකර්ම වැඩක්. සමහර මිනිස්සුන්ට ඒ කාරණය අද අමතක වී තිබෙනවා. කෑ ගහන විපක්ෂයත් අද ජීවත් වෙන්නේ එදා රනිල් වික්‍රමසිංහ ගත් පියවර නිසයි.
අගමැති ධුරය භාරගෙන ප්රශ්නය විසඳීමට ඉදිරිපත් වෙන්නැයි එදා ගෝඨාභය රාජපක්ෂ ජනපති විපක්ෂයේ සියලු නායකයන්ට ආරාධනා කළා. නමුත් ඒ සියලු නායකයන් පැන දිව්වා. සමහරුන් හැංගිලා හිටියා. එදා තිබුණ ප්‍රශ්න විසඳන්න ඒ අයට හැකියාවක් නොතිබූ බව ඔවුන් දැනගෙන හිටියා. දැන් සමහර පක්ෂවල ආර්ථික විශේෂඥයන් ඇවිත් කතා වෙනවා. පැනගිය පක්ෂ නායකයන් අළු ගසා දමා ඇවිත් රූපවාහිනී වැඩසටහන්වල ලොකුවට කතා කරනවා. අවශ්‍ය වෙලාවේ ඒ අය හිටියේ කොහේද? විවේචනය කළා විතරයි. ඔවුන් අදත් විවේචනය කරමින් ඉන්නවා. අපිට තමයි හොඳටම කරන්න පුළුවන් කියා කියනවා. රනිල් එදා අභියෝගය බාරගත්තේ නැත්නම් අද රටක් ලෙස අප ඉවරයි. රනිල් ගත් පියවර නිසා අප ජීවත් වෙමින් හුස්ම ගන්නවා.
ජීවන බර තිබුණත් ඔහු මේ වෙන විට රටේ උද්ධමනය අඩුකර තිබෙනවා. ඉන්ධන සැපයීම යථාවත් කර තිබෙනවා. විදුලි බලය හරියට තිබෙනවා. ඔහු වසර දෙකක් ඇතුළත කළේ පරිවර්තනයක්. මේ වෙන විට බංකොලොත් භාවයෙන් ද නිදහස් වෙන්නට හැකි වී තිබෙනවා. ලංකාවේ කළගුණ සලකන ජනතාවක් සිටිනවා.
සැලැස්මක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහට පමණක් බව විරුද්ධවාදීන් පවා දන්නවා. රටේ කරුමෙකට හෝ ඔය කෑ ගහන කෙනෙක් රටේ ජනාධිපති බවට පත්වුණොත් අනිවාර්යයෙන් වසර දෙකක් යන විට ජනතාවට නැවත පෝලිම්වල ලගින්න වෙනවා. නැවත මේ රටේ ආර්ථිකය නැගිට්ටවන්න බැරි විදිහට වැටෙනවා. ඔවුන්ට ආර්ථිකය නගා සිටුවන්න ඇති දැනුමක් නැහැ. රට හැදුවේ රනිල් බව ජනතාව දන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වෙනවා. නැවත පෝලිම්වල ලගින්න ආස නම් රනිල්ට ඡන්දෙ නොදී ඉන්න.
ජනපති නිතරම කතා කරන්නේ සියලු පක්ෂ එක්ව සහයෝගයෙන් ගමනක් යා යුතු බවයි. ඒ කියන්නේ දැන් එක්සත් ජාතික පක්ෂය අත හැරලා ද?
එතුමා හෝ අප පක්ෂය අතහැර නැහැ. ඔහු මේ වෙලාවේ රට ගැන සිතා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙනවා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ අප එතුමාට උපරිමයෙන් සහාය දක්වනවා. එතුමා ගත්ත තීරණය හරි. අද අප දේශපාලන අරමුණු පසෙක තබා රට ගැන සිතිය යුතුයි. විපක්ෂය බලන්නේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද යන්න නොව ජනපති පුටුවට එන්නේ කොහොම ද කියන කාරණයයි. රට ගැන හෝ ජනතාව ගැන නොව බලය ගන්නේ කොහොම ද කියන කාරණය වෙනුවෙන් ඔවුන් දඟලමින් සිටිනවා. මේ වෙලාවේ බල අරගල පසෙකින් තබා රට වෙනුවෙන් සියලු දෙනාට එක් වෙන්න හැකි නම් මීට වඩා පහසුවෙන් රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. පීඩාවට පත්ව සිටින ජනතාව ගැන සිතා හරිනම් අප සියලු දෙනා එක්විය යුතුව තිබෙනවා. රනිල් එන්නේ කිසිම පක්ෂයක අපේක්ෂකයෙක් විදිහට නොවේ. ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසයි. පක්ෂ සියලු දෙනාම එක වේදිකාවට ආවොත් මේ ජාතික ආණ්ඩුවක් හදන්න හොඳ වෙලාවක්.
රජය යම් සහන ප්‍රමාණයක් දෙන්නට පටන්ගෙන තිබෙන බව පේනවා. නමුත් විපක්ෂය කියන්නේ මේවා ඡන්ද ගුණ්ඩු කියලයි. රනිල් දිනුවොත් මේ සහන නැවත හකුළා නොගන්නා බවට සහතිකයක් දිය හැකි ද?
හරි, ඔය සහන නොදී හිටියා කියමු. එතකොට සහන දෙන්නේ නැතැයි ඔය පිරිස කෑගහනවා. දැන් සහන දෙනකොටත් කෑ ගහනවා. විපක්ෂයේ ඉන්නේ ඔය වගේ මානසිකත්වයක් තියෙන දේශපාලන පක්ෂ තමයි. රට බංකොලොත් භාවයේ තිබියදීම රනිල් වික්‍රමසිංහ ‘ජනපති උරුමය’ වැඩසටහනින් ඔප්පු ලබාදීමට පටන් ගත්තා. ‘අස්වැසුම’ වැඩසටහන මගින් විශාල සහන රැසක් සැලසුවා. රටේ ආර්ථිකය ශක්තිමත් වී ඉදිරියට යන විට මීටත් වඩා සහන දෙන්න පුළුවන්. විපක්ෂයට කියන්න දෙයක් නැති නිසා හැමදේටම කෑ ගසමින් ඉන්නවා. ඔවුන්ට තියෙන එකම ආයුධය හැමදේටම විරුද්ධ වීම පමණයි.
සජබෙන් කට්ටියක් එන බව කියනවා. කවද්ද ඒ අය එන්නේ.
ඒ අය තීරණයක් අරගෙන හරි වෙලාවට ඒවි. සජබෙ ඉන්නේ අප දන්න හඳුනන එජාපයේ හිටපු මන්ත්‍රීවරු. රනිල් විසින් නිර්මාණය කරපු දේශපාලකයන්. ඔය මාධ්‍ය සංදර්ශන දාන සජබෙ උදවිය හවස් වරුවේ අපට කතා කරලා, වෙන කවුරුවත් නෑ මේක කරන්න පුළුවන් රනිල්ට විතරක් බව කියනවා. ඒ අය හරි වෙලාවට තීරණයක් අරගෙන එකතු වේවි. කුට්ටි කඩාගන්නවාට වඩා මේ මොහොතේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස හරි නායකයා වටා එකතු වුවහොත් රට ප්‍රශ්නවලින් ගලවා ගැනීම සඳහා ලොකු දෙයක් කළ හැකියි.
පොහොට්ටුවේ බහුතරයක් ජනපති සමග සිටින බව පේනවා. නමුත් පොහොට්ටුව පක්ෂයක් ලෙස ජනපතිට සහාය නොදුන්නොත් එය ලොකු අවාසියක් නොවේ ද?
පොහොට්ටුව පක්ෂයක් ලෙස අවසාන මොහොතේ හරි තීරණයක් ගනු ඇතැයි අප සිතනවා. ඔවුන්ට දේශපාලන වශයෙන් යම් ප්‍රශ්න ඇති. නමුත් මේ අප රට ගැන සිතිය යුතු අවස්ථාව. මේ අවස්ථාවේ පොහොට්ටුව හරි තීරණයක් නොගත්තොත් ඉදිරි අනාගතයේදී ඔවුන්ට තමන්ගේ පාක්ෂිකයන්ගෙන්ම යම් ප්‍රශ්නයක් ඇතිවේවි.
ඇත්තටම රනිල් ජනපතිවරණයෙන් ජය ගනීවි යැයි ඔබ සිතනවා ද? එහෙම දිනනවා නම් එසේ කියන්නට තිබෙන හේතු සාධක මොනවා ද?
එතුමා ඉදිරිපත් කරන සැලසුම් ක්‍රියාවෙන්ද පෙන්වා දී තිබෙනවා. මේ වසර දෙකේදී ඔහු කළ පරිවර්තනය හොඳම සාක්කියක්. මේ වෙලාවේ රට කරන්න පුළුවන් රනිල්ට පමණක් බවට මිනිසුන්ගේ විශ්වාසයක් තිබෙනවා. සමහරු මාලිමාව ගැන කියාගෙන එනවා. ඒක මං හිතන්නෙ Fashion trend (විලාසිතා ප්‍රවණතාවක්) එකක් වගේ දෙයක්. මාලිමාවට හොඳ කියන සමහරු එක්ක ගැඹුරින් කතා කරනකොට අන්තිමට කියන්නේ ‘රනිල් තමයි එකම මිනිහා’ කියන කාරණය තමයි. මැතිවරණය ළං වෙන්න ළං වෙන්න සියලු රැලි බිමට සමතලා වී රනිල්ගේ රැල්ල පමණක් මතු වී පෙනෙන්නට පටන් ගෙන තිබෙනවා. රට හදන්න පුළුවන් රනිල්ට පමණක් බව සජබෙ අයත් හොඳින්ම දන්නවා. බොහෝ අය සජබෙ, මාලිමාවේ රැස්වීම්වලට ගියත් අවසානයේ ඡන්දය දෙන්නේ රනිල්ට.
සංවාද සටහන |
අංජුල මහික වීරරත්න
ජනාධිපතිවරණය දිනෙන් දින කිට්ටු වෙනවාත් සමග ජනාධිපති අපේක්ෂකයින්ද මෙරු මෙන් මතුවෙති. දේශපාලන කරළියේ උණුසුමද වැඩිවෙමින් ඇත. මේ ඒ උණුසුම පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දක්වන අදහස්ය.
ජනාධිපතිවරණයට සියල්ල සූදානම්. සැප්තැම්බර් 22 මේ රටේ ජනාධිපති කවුරු වෙයිද?
මේ වෙනකොට රටේ බහුතරයකගෙ අපේක්ෂාව සහ ප්‍රාර්ථනාව අනුර කුමාර දිසානායක. අනුර සහෝදරයාගෙ ජයග්‍රහණය ගැන ලොකු විශ්වාසයක් රට පුරා ඇතිවෙලා තියෙනව. ඒ අවස්ථාවට දැන් දින වකවානුවත් ප්‍රකාශයට පත්වෙලා තියෙන්නෙ. දැන් තියෙන්නෙ ජනාධිපතිවරණය පවත්වන එක විතරයි. හැබැයි මේ ජයග්‍රහණය අනුර දිසානායකගෙ ජයග්‍රහණයක් නෙවෙයි. රටේ ජනතාවගෙ ජයග්‍රහණයක්.
මේ ජනාධිපතිවරණය පවත්වනව කියපු දවසෙ ඉඳල ඒකට කොච්චර බාධා ආවද. රනිල් වික්‍රමසිංහ මොන තරම් වෙට්ටු දැම්මද වැඩේ ආපස්සට අදින්න. අදටත් ඒක ඉවර නෑ. ජනාධිපති සහ ආණ්ඩුව විශාල අර්බුදයකට මුහුණපාලා ඉන්නෙ මේ වෙනකොට. අනිත් දේශපාලන කඳවුරුත් එහෙමයි. හැම තැනම අවුල් වියවුල්. රනිල් වික්‍රමසිංහගෙ කටේ නිතරම ප්රජාතන්ත්රවාදය කියන මන්තරේ තිබුණට ක්‍රියාවෙදි ඒක තුට්ටුවකට සලකන්නෙ නැති පාලකයෙක්. රනිල් කොච්චර කකුල් මාට්ටු දැම්මත් දැන් ඡන්දෙ තියන්නම වෙනව. සැප්තැම්බර් විසි එක මේ රටට ඓතිහාසික දවසක් වේවි.
පොලිස්පති සම්බන්ධයෙන් ලැබුණු අධිකරණ තීන්දුවත් අපි දකින්නෙ රනිල් වික්‍රමසිංහට වැදුනු අතුල් පහරක් විදියට. දේශබන්දු තෙන්නකෝන්ගෙ පත්කිරීම ගැන රටෙන් විශාල විරෝධයක් එල්ලවෙද්දි රනිල් හිතුවක්කාර විදියට තමයි ඒක කෙරුවෙ. අද ඒකට උසාවියෙන් පිළිතුරක් හම්බවෙලා තියෙනව. දැන්වත් ලැජ්ජාවක් තියෙනව නම් රනිල් මේ ප්රජාතන්ත්ර විරෝධී නාඩගම් නැටිල්ල නවත්තන්න ඕන.
පොහොට්ටුවෙ ඇතුළෙ කචල්. අපේක්ෂකය කවුද කියල කියාගන්න බැරුව දඟලනව. කට්ටියක් රනිල් පස්සෙ වැටිල යනව. තව කට්ටියක් බැසිල් කියන දෙයක් දිහා බලාගෙන ඉන්නව. නාමල් රාජපක්ෂ ප්‍රසිද්ධියෙම රනිල්ට දොස් කියනව පොහොට්ටුව දෙකට කැඩුව කියල. ශ්‍රී ලංකා එක පක්ෂ කාර්යාලයටත් ගහගන්නව. එයාල ඉතිං ඔය කාට හරි මුක්කුවක් ගහවි අන්තිමට.
මේක ජනතාවට හොඳ අවස්ථාවක්. මෙච්චර කල් රට බංකොලොත් කරපු අසමත් තක්කඩි පාලක පංතිය ගෙදර යවල ජනතාවගෙ නායකයෙක් ජනාධිපති කරගන්න.
ඡන්දෙට එන හැම කෙනාම තමන් තමයි ඊළඟ ජනාධිපති කියලනේ සපථ කරන්නේ. කාටත් තම තමන්ගෙ දිනුම ගැන පුදුම ෂුවර් එකක් තියෙන්නෙ....?
පිළිතුර - කවුරුත් පරදිනව කියල කියන්නේ නෑ තමයි. හැබැයි මහ පොළොවෙ යථාර්ථය මොකද්ද කියල ටිකක් හොයල බැලුවම පැහැදිලි වෙනව කාටද වැඩි වාසි කියල. දැනට තියෙන සියලු තොරතුරු අනුව අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ඉන්නව. විවිධ ජනමත සමීක්ෂණ ඒ බව තහවුරු කරල තියෙනව. ඒ ඔක්කොටම වැඩිය අපි ගමට බිමට බැහැල මිනිස්සු එක්ක කතා කළාම තේරෙනව ඒ අයගෙ තීන්දුව මොකද්ද කියල. අති බහුතරයක් දැන් ඉන්නෙ මාලිමාවත් එක්ක. විශේෂයෙන්ම රනිල් තමන්ගෙ පරාජය ගැන ඉතා හොඳින් දන්න නිසා තමයි ඡන්දෙට මෙතරම් වෙට්ටු දාන්නෙ. සජිත් ප්‍රේමදාසත් දැන් දෙගිඩියාවක ඉන්නෙ. තමන්ගෙ පක්ෂෙ සභාපතිත් දැන් තමන් එක්ක තරගෙට ජනාධිපතිවරණෙට ඇවිත්. සරත් ෆොන්සේකා වගේම ආණ්ඩුවෙ ඇමතිකමක් කරන විජේදාස රාජපක්ෂත් ජනාධිපතිකමේ සිහින දකිනව. කාට වුණත් හීන දකින්න අයිතියක් තියෙනව. හැබැයි රටේ මිනිස්සු තීරණය කරල ඉවරයි ඊළඟ ජනාධිපති අනුර දිසානායක කියල.
අනුරගෙ ජයග්‍රහණය එච්චර ෂුවර් නම් ඇයි මේ මාධ්‍යවේදීන්ට තර්ජනය කරනව කියල කියන්නෙ. ජනමාධ්‍ය ඇමතිත් කියල තිබුණ ඒ ගැන. හඩ්සන් සමරසිංහ සී.අයි.ඩී. එකටත් ගිහිල්ලු ජේ.වී.පී. එක තමන්ට තර්ජනය කෙරුව කියල. මොකද්ද මේ භීෂණේ...?
මේක හරිම හාස්‍යජනක තත්ත්වයක්. ඇත්තටම මාධ්‍යවේදීන්ට තර්ජනය කරල, මාධ්‍යවේදීන් අතුරුදන් කරල, මාධ්‍යවේදීන් ඝාතනය කරල, මාධ්‍ය ආයතන ගිනි තියල වැඩ කෙරුවෙ කවුද කියල මේ රටේම මිනිස්සු දන්නව. එයාලා තමයි දැන් අපිට මේ බොරු චෝදනා කරන්නේ. අපි කරපු තර්ජනයක් තියෙනව නම් අධිකරණයට ගිහින් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔය කතා කියන අයගෙනෙ දැන් ආණ්ඩුව. මාලිමාවේ ජයග්‍රහණය ඉවසගන්න බැරිවුණාම අපිට විරුද්ධව කරන්න කිසිම චෝදනාවක් නැතිවුණාම ඔය වගේ අවලාද ගහනව. හැමදාම ඔහොම තමයි. අපි ඕවට එච්චර කලබල වෙන්නෙ නෑ. හැබැයි අපිට අයිතියක් තියෙනව අපිට විරුද්ධව තම තමන්ගෙ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාරය කරන මාධ්‍යවේදීන්ගෙ ඒ කැත වැඩේ ගැන අපේ අදහස රටට කියන්න. එයාලගෙ ඒ තක්කඩිකම විවේචනය කරාම ඒ විවේචනය තර්ජනයක් ලෙස ගත්තට අපිට කරන්න දෙයක් නෑ. ඒ නැතත් ඔය කියන මාධ්‍යවේදීන් මෙච්චර කල් වැඩ කෙරුවෙ කොහොමද කියල රටේ මිනිස්සු දන්නව.
ඒ වගේම තමයි දැන් අපි දකිනව ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවො දිගින් දිගටම ජේ.වී.පී. එකට පහර දෙනව පාස්කු දින ප්‍රහාරයට වගකිවයුතු අය හැංගෙන්නෙ ජේ.වී.පී. එක අස්සෙ කියල.
ඥානසාර හාමුදුරුවො ඇප දීල එළියට එද්දිම සමාජයේ මතයක් ඇතිවුණා එහෙම ගත්තේ දේශපාලන කොන්ත්‍රාත් එකකට පාවිච්චි කරන්න කියල. ඥානසාර හාමුදුරුවන්ට තියෙන වගකීම තමයි තමන් එළියට ආවේ එහෙම දේකට නෙවෙයි කියල ඔප්පු කරන එක. ඒක උන්වහන්සෙගෙ වැඩක්. දැන් මේ කරන ප්‍රකාශ හරහා වෙන්නෙ අර ජනතාව අතර තියෙන අදහස තහවුරු වෙන එක. ඒක නිවැරදි කරනවද නැද්ද කියන එක තියෙන්නෙ ඥානසාර හාමුදුරුවන්ගෙ අතේ තමයි.
ඇත්ත ප්රශ්නය ගත්තොත් පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ චෝදනා ආවේ කාටද. අධිකරණයෙන් තීන්දු දුන්නේ කාටද. දඩ ගැහුවෙ කාටද. දඩ ගැහුවෙ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට. අනෙක් චෝදනා එල්ල වෙන්නෙ හිටපු ආණ්ඩුවට. ඒ ආණ්ඩුවෙ ආරක්ෂක ඇමතිට. හිටපු පොලිස්පතිට. රාජ්‍ය බුද්ධි අංශයෙ අයට. එහෙම තියෙද්දි කිසිම සම්බන්ධයක් නැති අපිට මේ චෝදනා එල්ල කරන්නේ වෙන කිසිම දේකට නෙවෙයි, ඉදිරි මැතිවරණ ජයග්‍රහණය ඉවසන්න බැරි නිසයි. අපි හිතනව ඥානසාර හාමුදුරුවො තමන්ගෙ කට පාවිච්චි කරන්න ඕන කොහොමද කියල ආපහු හොඳට කල්පනා කෙරුවොත් හොඳයි. මොකද කට වැරදීමේ ප්‍රතිඵල කොයි වගේද කියල තේරුම් ගන්න උන්වහන්සේ පහුගිය ටිකේ ලබපු අත්දැකීම් හොඳටම ප්‍රමාණවත් කියල අපි විශ්වාස කරනව.
සාකච්ඡා කළේ |
ප්‍රියන්ත කොඩිප්පිලි
ජනාධිපතිවරණය අත ළඟටම පැමිණ තිබේ. ජයග්‍රහණය සම්බන්ධයෙන් තබා තිබෙන බලාපොරොත්තු මොනවාද?රෝහිණී කවිරත්න මහත්මිය සමග මේ සාකච්ඡාව ඒ පිළිබඳවය.
විපක්ෂය කිය කියා හිටියේ ජනාධිපතිවරණය කල්දාන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. නමුත් ඡන්දෙ තියන්න ආණ්ඩුව සූදානම්.
මෙහෙමනේ ගහන්න පුළුවන් ඔක්කොම දහම්ගැට ගැහුවා මේක නොපවත්වා ඉන්න. නමුත් නොපවත්වා ඉන්න බැරි තැනට ඇවිත් තියෙනවා. ඇත්තටම වුණේ ඒකයි.
මේ මොහොත ජනාධිපතිවරයාට කිසියම් වාසිදායක තත්ත්වයක් තියෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
ලෙහෙලා බලන්න තියෙන මල්ල මොකටද ඔබලා බලන්නේ. අපි හිතනවා සැප්තැම්බර් මාසයේ අවසන් සතිය වෙනකොට ජනාධිපතිවරණය පැවැත්වෙනවා කියලා. එතැනදි ජනාධිපතිතුමාට තියෙන ප්‍රතිචාර මොනවද කියලා බලාගන්න පුළුවන්. අපි ගම්වල ඇවිදිනවා. ජනතාව හමුවෙනවා. ඒ නිසා ගිය ඔය ඔබ කියන විදියේ තත්ත්වයක් අපට නම් පේන්නේ නෑ.
ජනාධිපති රනිල් එතකොට රටේ තිබුණ තත්ත්වය අපට මතකයි. එහෙම පසුබිමක මේ තත්ත්වය වෙනස් කරන්න මිනිස්සු කැමති වෙයි ද?
මිනිස්සු දන්නවා ණය ගෙවීම සම්බන්ධයෙන් අපට ගැටලුවක් තියෙනවා. ණය ප්‍රතිව්‍යුහත කිරීම තුළ තව අවුරුදු හයකින් ඒ ණය ගෙවන්න වෙන්නේ. ඒ ගෙවීමත් රජයේ සේවකයාගේ ඊ.ටී.එෆ්. එක මත පටලවල තියෙන්නේ. ඊළඟ ආණ්ඩුවට නොවෙයි ඊටත් පස්සේ එන ආණ්ඩුවට තමයි මේ බර දැනෙන්නේ. එවැනි තත්ත්වයක් ඇති කරලා ණය ගෙවීමේ අවස්ථාව මග ඇරලා ගිහින් පෝලිම් නැති කළා කියන එකයි. ඉදිරියේදී ඇතිවීමට නියමිත තත්ත්වය සංසන්දනය කරන්න වෙනවා මේ රටේ ජනතාවට.
උදාහරණයක් ගත්තොත් ගෙදර ණය ගෙවන්න තියෙන සල්ලිවලින් කාලා බීලා හිටියට ඇතිවන තත්ත්වය තමයි රටේ තියෙන්නේ. ජනතාව ඒ ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. මාධ්‍ය කියන කතාවයි ජනතාව කියන කතාවයි දෙකක්.
සජබෙත්, මාලිමාවත් කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ව සාකච්ඡා කරනවා කියලයි. ජනාධිපති රනිල් කළේත් ඒකමනේ?
ඔව්! ඉතින් ඉස්සෙල්ලාම අයි.එම්.එෆ්. එකට යන්න කියලා කිව්වේ අපිනේ. සමගි ජන බලවේගය බොහොම විවෘතව කිව්වා ‘‘අයි.එම්.එෆ්. එකට යන්න. මේක පරක්කු කරන්න එපා’’ කියලා. ණය ප්‍රතිව්‍යුහගත කරපු එක වැරැදියි කියලා නොවෙයි මෙම කියන්නේ. ඒක කරපු ක්‍රමයයි වැරැදි. ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රම කිහිපයකට කරන්න පුළුවන්. එක්කෝ පොලිය අඩු කරන්න ඕනෑ. එහෙම නැත්නම් ණයෙන් කොටසක් කපා හරින්න ඕනෑ. ඒ වගේම ණය ගෙවීම කල්දාගන්නත් ඕනෑ.
එතකොට දැන් වෙලා තියෙන්නේ කල් දමා ගැනීම පමණයි. ණය ප්‍රමාණය අඩුවෙලත් නෑ. පොලිය අඩුවෙලත් නෑ. ඒක තුළ ලැබෙන වාසිය මොකක්ද කියන එක ගැන ගැටලුවක් තියෙනවනේ. අපි ඒ නිසයි කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරපු විදිය වැරැදියි කියලා.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. පොහොට්ටුවෙනුත් අපේක්ෂකයෙක් දානවා කියනවා. මේ විදියට ඡන්ද කැඩුණොත් ඒක ජනාධිපති රනිල්ට වාසියක් නොවේ ද?
ඔය ඔබ කියපු අය විතරක් නොවෙයි තව තවත් අය ඉල්ලනවා කියලා කියනවනේ. ඒක හොඳයි. එතකොට ඒ ඒ අයගේ තරම ඒ ඒ අයටම බලාගන්න පුළුවන්. ඊළඟ මහ මැතිවරණයට යනකොට තමන් ඉන්නේ කොතැන ද කියලා බලාගන්නත් එක්ක ඔහොම ඉදිරිපත් වෙන එක හොඳයි. සමගි ජන බලවේගයට වෙන්වෙච්ච ඡන්ද පදනමක් තියෙනවා. ඒවගේම අලුතෙන් පිරිස් වේගයෙන් එකතු වෙමින් ඉන්නවා. ඒ නිසා අපේ පක්ෂයෙ ජයග්‍රහණයට ඔය කිසිම කෙනෙක් අභියෝගයක් හැටියට මම දකින්නෙ නෑ.
පොහොට්ටුවේ බලවත් කණ්ඩායමක් ජනාධිපති රනිල්ට සහයෝගය දෙනවා. ඒකත් රනිල්ට වාසියක්?
එක්සත් ජාතික පක්ෂය අවසාන මැතිවරණයේ දී ගත්ත ඡන්ද ප්‍රමාණයට වඩා පොඩ්ඩක් උඩට එයි. අපි ඒක නෑ කියන්නේ නෑ. මාලිමාවත් තියෙන සියයට තුනට වඩා ටිකක් ඉදිරියට එයි. මම නෑ කියන්නේ නෑ. හැම පක්ෂයකම වෙනසක් වෙයි. මොකද පොහොට්ටුවට තිබුණ හැට නව ලක්ෂය බෙදිලා යනවා. ඒක තුළ හැමෝගෙම ප්‍රතිශතය වැඩිවීමක් වෙයි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාම සජබෙ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් ළඟ හිටගන්නවා කියලත් කිව්වා.
ඕක ඉතින් සෑහෙන කාලයක් තිස්සේ කිව්වනේ. අද එනවා හෙට එනවා කියලා කිව්වනේ. යන කට්ටිය තමයි දැනට ගිහිල්ලා ඉන්නේ. ආවත් යන්න අය ඉඳීවි කියලා හිතන්න බෑ.
එහෙම යන අයගේ නම් ලැයිස්තුවේ ඔබේ නම ඉදිරියෙන්ම තිබුණා.
ඔව්! මට විරුද්ධ කෙනාට පුළුවන් මට විරුද්ධව විවිධ කතා කියන්න. යනව ද නැද්ද කියන එක තීරණය කරන්නේ මමනේ. යනවානම් මම මීට කලින් ආණ්ඩුවට ගිහිල්ලනේ. ජනාධිපතිවරණය අත ළඟටම ඇවිත් තිබියදී මම නොවෙයි අපේ කවුරුත් ම යන්නේ නෑ.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්