වරින්වර බලයට පත්වුණු පාලකයන්ගෙන් රටට යුක්තිය ඉෂ්ට වුණේ නෑ. නැත්නම් රට මෙවැනි අර්බුදයකට යන්නෙ නැහැනෙ. හැම ප්‍රධාන පක්ෂයක්ම එපාවුණු නිසා
තමයි මහජනයා මෙවර නව නායකත්වයක් තෝරාගත්තේසීලවතී අම්මාටත්, ඇගේ දියණියටත්, හිරිහැර කළ යුතු නැත. ජනාධිපති ආර්යාවරුන්ට හා ජනාධිපති ඥාතීන්ට වැලඳෙන ප්‍රතිරූප අසනීප මෙහි නොමැත. නල්ලච්චියේ සීලවතී අම්මා තවමත් ඔබ පෙර දුටු අම්මා ම ය.
මග දෙපස හිස්වුණු නිල්පාට පොලිතින් පැකට්, සුදු පාට ප්ලාස්ටික් කෝප්ප, පිපිරුණු රතිඤ්ඤා කැබලි, හිස් බෝතල්, සිගරට් කොට යනාදී කිසිවක් නොමැති මාවත දිගේ ඉදිරියට යමින් සිටියෙමි. ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ගම වන නල්ලච්චියට අප ගියේ ජනාධිපතිවරණයට පෙරය. ඔහු අද මුල්පුටුව හොබවන නායකයාය. මේ අපේ දෙවැනි ගමනයි. ඔහු හැදුණු වැඩුණු ගමේ වැසියන්ගේ ජීවන සුවඳ බිඳක් මෙහි සටහන් වෙයි.
තඹුත්තේගම නගරයෙන් හැරී - නල්ලච්චිය ගම්මානයට යන මග දෙපස පලතුරු, බඩඉරිඟු, ත්‍රී ක්වාටර්ස් කලිසම්, වට්ටක්කා, කැකිරි ඇතුළු නන්විධ දෑ විකුණන කුඩා පියසි අතරින් සිනාදල්ලක් මතු වෙයි.
“අවුරුදු දාස් ගාණකට පස්සෙ රජරට අපට රජෙක් ලැබුණා.”
වැලි බත් උයන මිනිබිරියකගේ සුරතල් දකිමින්, සාලය මැද හාන්සි පුටුවක අසුන්ගෙන සිටි මිත්තණියක වන ජේ.ඒ. සුජාතා පෙරේරා, එසේ
පැවසුවා ය.
ජනාධිපතිවරණයෙන් ජය ලැබූ අනුර කුමාර දිසානායක ගේ ගමට ගොස් - ගම්මුන්ගේ අදහස් දැන ගැනීමේ පළමු අවස්ථාව, එය විය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ ගම්වලට ගොස් ගම්මුන් කියන කතා ලිපි පෙළ පටන් ගත්තේ, අනුර කුමාර දිසානායකගේ ගම වූ නල්ලච්චියෙනි. ඔහු අද 9 වැනි විධායක ජනාධිපති ලෙස ප්‍රධාන රටවැසියා බවට පත්ව සිටියි. මේ ලිපි මාලාවෙහි අවසන් ලිපිය මෙයයි.
“මම හොඳ යූ.ඇන්.පී. කාරියක් ඉස්සර ඉඳලා. ඒ වුණාට ජනාධිපති කියන්නේ පක්ෂයකට අයිති කෙනෙක් නෙවෙයි. අපි හැමෝගෙම නායකයා. එතුමා අපේ. අපේ තාත්තලා හොඳ ව්‍යාපාර කරපු අය. අපි හොඳ ව්‍යවසායකයෝ. ඒ සියල්ල විනාස වුණා. අපි බින්දුවටම වැටුණා. රටක් ඉතිරි වුණේ නෑ අපට. කවුරු ආණ්ඩු කළත්, අපට අන්තිමට ඉතුරු වුණ දෙයක් නෑ. අන්න ඒ හින්දයි, අපට අපේ ගමෙන් ම පත් වුණු ජනාධිපතිවරයා වටින්නේ. මුළු රට ම ලොකු අර්බුදයකට පත්වුණ වෙලාවක, ඔහු නායකයා වීමෙන් අපට ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා. ඔහුට මේ ප්‍රශ්න හොඳින් තේරෙනවා. අපේ කාලෙ ඉවරයි. මේ දරු පැටවුන්ට අනාගතය යහපත් කරදීමේ හැකියාව ඇතැයි අප විශ්වාස කරනවා.”
සුජාතා පෙරේරා තම මිනිබිරිය ඔඩොක්කුවට ගත්තේ සෙනෙහසිනි.
නල්ලච්චිය ගමේ සිට එප්පාවලට හැරෙන හන්දිය දක්වා යන මාවතෙහි දී ඊළඟට හමු වූයේ, මග අයිනේ දඬු මැස්සක් මත කෙසෙල්ගෙඩි සහ පැපොල් තබාගෙන අලෙවි කරන වියපත් යුවළකි.
”වෙනදා ඡන්දයක් ඉවරවුණාම, දිනපු අය අරක්කු බෙදනවා. රතිඤ්ඤා පත්තු කරනවා - බල්ලෙකුට, පූසෙකුටවත් නිවනක් නැතිවෙන්ඩ. කුරුලු පැටියෙකුටවත් කූඩුවක ඉන්ඩ බැරිවෙන්ඩ. පාරවල් ගානෙ සාජ්ජ. පැරදිච්ච අයගෙ ගෙවල්වලට ගහන සද්ද. අඳෝනා. අපායට හෙණ ගැහුවා වගේ. අපිත් ඉන්නෙ දොරවල් වහගෙන නින්දක් නැතිව. හූල්ල හූල්ලා. මොන කරුමයක් ද මේ කියලා ළත වෙවී....මේ සැරේ කොහොම ද. වෙනදා වගේ ම ඉර පායලා බැහැලා ගියා. අපි අපේ වැඩවල යෙදුණා. හිතේ සතුට කොච්චර ද. අනේ ඒ පින ම ඇති. මෙතුමා පත්වුණු දවසෙම රටට දුන්නු ආදර්සෙ බොහොම වටිනවා. ඒරොප්පෙ රටවල අපි අහල තියන තත්ත්වෙ මේක තමයි. මෙහෙම තමයි වෙන්න ඕනැ.
බලන්න දිවුරුම් දුන්නු අපූරුව. සෝබන නෑ. කෝටි ගානක් වියදම් කළේ නෑ. ලොකුකම් කීවෙ නෑ. පපුවට අත ගහගත්තේ නෑ. අපේ හාමුදුරුවනේ කිය කියා බොරු බෞද්ධකම් පෙන්නන්න ගියෙ නෑ. හැබැයි මෙතුමා එක්ක හාමුදුරුවරු වගේම, අනෙකුත් සියලු පූජකවරු ඉන්න බව අපි දැක්කා. නිකං කයිවාරු ගගහා අපි අන්දලා, රටේ දේපළ කොල්ලකන උදවිය එක්ක බලද්දි - අනුර කුමාර අපට වගේ ම රටට ම වටිනවා. ඉතින් ඒ තරම් සතුටක් තවත් කොහි ද අපට.”
එච්. බී. කිරිබණ්ඩා හැඟුම්බරව
පැවසීය.
සහනාධාර එපා
එස්. බේබිනෝනා, සිය සැමියාගේ ගොවිතැනට උදව් දෙන අතරතුර - දරු පැටවුන් ලොකු මහත් කිරීම සඳහා ජීවිතය කැපකර සැඳෑ සමයෙහිදී ද සැමියා සමග එක්ව ජීවන බර කරට ගෙන සිටින මවකි. ඇය මෙසේ පවසයි.
“අපි අපේ දෑතේ මහන්සියෙන් ජීවත් වෙන මිනිස්සු. අපි කාගෙන්වත් සහනාධාර ඉල්ලන්නෑ. සහනාධාර දීලා මිනිස්සු රවට්ටන පාලකයන් අපට වැඩකුත් නෑ. අපි දන්නවා අපේ ගමට තියන පොදු පහසුකම්වල ප්‍රශ්න. පාරවල් නඩත්තු කරන් නෑ.
ගමට අලි එනවා. ගොවිතැනෙන් පාඩුයි. ජීවත් වෙන්න අමාරුයි. මේ ටික තමා විසඳන්න ඕනැ. අපේ ගමෙන් රටේම නායකයා බිහිවීම අපට සතුටක්. අනෙක් ජනාධිපතිවරු ගමට කොරගත්තා වගේ අපේ ගමට විතරක් වැඩ කරන්ඩ කියලා අපි ඉල්ලන්නේ නෑ. රටේ හැම තැනකම තියෙන පොදු ප්‍රශ්න මේවා. මට හිතෙනවා එතුමාට ඒ ගැන හොඳ අවබෝධයක් තියනවා කියලා. එතුමත් දුක් විඳලා ආපු කෙනෙක්. දැං රටේම ඉන්න මහජනතාවගේ දුක්ගිනි එතුමගෙ හදවතේ. අපි දන්නවා ඒවා විසඳන්න හැකි හැම දෙයක්ම කරයි. ඒක හරි අමාරු වැඩක්. හැමෝම සතුටු කරන එක ලේසි පාසු වැඩක් නෙවේ. එතුමට අපි ආශීර්වාද කරනවා. ගම අමතක නොකළ නායකයෙක්. හැම ආරක්ෂාවක්ම ලැබෙන්න ඕන අපේ අනුර කුමාරට.
බේබිනෝනා මාතාව ජනාධිපතිවරයාට - තම ගමෙන් උපන් පුත් රුවනට, ඒ අයුරින් ආශීර්වාද කළා ය.
ශ්‍රියාලතා දිසානායක සහ වසන්ත කුමාර නල්ලච්චිය ප්‍රධාන මාවත අද්දර කදිම තේ පැන්සලක් පවත්වාගෙන යන දෙපළකි. එතැන බැදෙන වඩේ ගම් තුලානේ කා අතරත් ජනප්‍රියයි. මේ ඔවුන්ගේ අදහස් ය.
“ඡන්දෙට කලිනුත් අපි අපේ අදහස් කීවනෙ. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය ගැන සතුටු නොවන කෙනෙක් ගමේ නැති තරම්. දැං තියෙන්නෙ වැඩ කරන්න. අපි ජයග්‍රහණය ගැන උදම්වෙලා පරාජිතයන් හෙළා දැකිය යුතු නෑ. කවුරුත් ගමේ මිනිස්සු. දුකට සැපට අපි හැමෝ ම අපට අවශ්‍යයි. අපට පක්ෂ භේදයක් නෑ. මනුස්සකමයි වටින්නෙ. අපේ කඩේට එන්නෙ මිනිස්සු. පාක්ෂිකයො නෙවෙයි. දැං අපට හොඳ ආදර්ශයකුත් ලැබිල තියනවා. ජයග්‍රහණවලින් උදම් නොවී, කාටත් මනුෂ්‍යත්වයෙන් සැලකිය යුතු බව. ඒ ගැන සතුටුයි.”
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ගම මැදින් ඇදෙන අවමඟුල් පෙරහරක් දුටුවෙමි. පිළිකා රෝගයෙන් මියගිය දරුවකුගේ දේහය රැගත් පෙරහරට සියලු ගම්වැසියෝ එක්ව සිටිති. සියලු නිවෙස්වල දොරවල් වසා ඇත. කම්පිතව ගොළු වූ හදවත් හෙමිහිට අවදි වෙයි. ටිකෙන් ටික කතා කරන්නට පටන් ගනී.
නල්ලච්චිය, තේක්කවත්තෙහි පදිංචි ඩබ්.එන්. ප්‍රේමසිරි ජනාධිපති පදවිප්‍රාප්තිය සුබවාදී ව දකින්නෙකි. ඔහු මෙසේ පැවසී ය.
“බදුබර නිසා රටේ සාමාන්‍ය මිනිස්සු මිරිකිලා ඉන්නෙ. ධපතියන්ට සියලු සහන. පොඩි මිනිස්සුන්ට බදු බර දීලා ඔවුන් නඩත්තු කරනවා. මේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් ෙවන්න ඕනැ. මේ තමයි හොඳම අවස්ථාව. ජනතාවගේ දුක හඳුනන අනුර කුමාර දිසානායක ඒ දේ කරයි කියලා මම විශ්වාස කරනවා. ඔහුට සුබ පතනවා.”
සියල්ල වෙනස් විය යුතුයි
නල්ලච්චිය, ග්‍රීන්මාට් අලෙවි සලෙහි හිමිකරු වන එම්.පී. සෙනෙවිරත්න විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකි. රටේ නායකත්වය වෙනස් වීම පිළිබඳ සුබවාදී ආකල්පයක් ඔහුට ද ඇත.
“ඔහුගේ ගමේ කෙනෙක් හැටියට මම අවංකවම සතුටු වෙනවා. රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් හෝ විසඳීමේ හැකියාව ඔහුට ඇතැයි මා සිතනවා.
අපට තියන ප්‍රධාන ම ප්‍රශ්නය තමයි ආර්ථිකය. මම කරන්නේ පොහොර අලෙවි කිරීම. පොහොර මිල සහ අනෙකුත් පිරිවැය අනුව ගොවියා හරිම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නැහැනෙ. කෘෂි රසායන, යන්ත්‍රෝපකරණ, බීජ වර්ග, ධීවර උපකරණ, ඉන්ධන යන හැමදේ ම මිල ඉහළයි. නිෂ්පාදනවලට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණවත් නැහැ. මේ නිසා හුඟක් අයට වෙලා තියෙන්නෙ අපතේ යන ආයෝජනයක් කරන්න. පිරටවලින් ආනයනය කරන භාණ්ඩවලින් වැඩි ලාභයක් ගන්නෙ ලොකු සමාගම්. මේ සමහර ඒවා අපේ රටේ නිපදවන්න පුළුවන්. සමහර ඒවගෙ මිල මීට වඩා අඩු කරන්නත් පුළුවන්. ඒක මේ කාලේ අත්‍යවශ්‍යම වැඩක්. සමාගම් සහ ආනයනකරුවන්ට වාසි වෙන විදියේ යාන්ත්‍රණයක් තියෙන්නේ. මෙය වෙනස් විය යුතුයි.”
රටේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයෙහි ඇති විෂමතා ඉවත් කිරීම නව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ කාර්යක් විය යුතු බව, එච්.එම්.
චන්ද්‍රලතා පවසයි.
“නොමිලේ අධ්‍යාපනය ලබා දීම වචනයට පමණක් සීමාවෙලා. දරුවන් පාසල් යැවීමේදී තිබෙන වියදම් චක්‍රය දෙමව්පියන්ට දරාගන්න බැහැ. එමෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයත් එහෙමයි. නිදහස් සෞඛ්‍ය සේවයත් නමට විතරනෙ. බෙහෙත්වලට මොන තරම් මිලක් වැය වෙනව ද. මේවා අපේ ගමට පමණක් නොව රටට ම අදාළ ප්‍රශ්න. මේවාට විසඳුම් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානම කටයුත්තක් වනවා දකින්න මම කැමතියි. අපි වගේම ගමක හැදුණු වැඩුණු උසස් අධ්‍යාපනය ලැබූ කෙනෙක් හැටියට ඔහු මේ ගැටලු විසඳයි කියන විශ්වාසය අපට තියනවා. අපි සුබ පතනවා ඔහුට.”
ගොවි පවුලක උපන් දරුවකු හැටියට රටේ ඉහළම තනතුර දක්වා පැමිණි ගමන ගැන හදවතින් ම සතුටු වන බව, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන ඊ.ඒ.ඒ. නිමල්සිරි පවසයි.
“වරින්වර බලයට පත්වුණු පාලකයන්ගෙන් රටට යුක්තිය ඉෂ්ට වුණේ නෑ. නැත්නම් රට මෙවැනි අර්බුදයකට යන්නෙ නැහැනෙ. හැම ප්‍රධාන පක්ෂයක්ම එපාවුණු නිසා තමයි මහජනයා මෙවර නව නායකත්වයක් තෝරාගත්තේ. ඒක මම පිළිගන්නවා.
රටේ කර්මාන්ත ක්ෂේත්‍රය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය යන හැම ක්ෂේත්‍රයක් ම අලුතින් සැලසුම් කළ යුතු වෙනවා. එහෙම නැතුව රට හදන්න බැහැ. පැරණි පාරේ ගිහින් හරියන් නෑ. ඒක වැරදිලා ඉවරයිනෙ. මෙහෙත් කර්මාන්ත පුරයක් පටන්ගත්තා. ඒකට ඉඩම් සෑහෙන ප්‍රමාණයක් අරං තියනවා. වැටවල් ගහලා තිබ්බාට කර්මාන්ත අවශ්‍ය තරම් ආරම්භ වෙලා නෑ. මේවාට නැවත අතගහන්න වෙනවා. කර්මාන්ත ගමට ගේන්න ඕනෑ. නිෂ්පාදනය වැඩිවෙනවා වගේම ගමට රැකියා ලැබෙනවා. අලුත් නායකයා සහ අලුතෙන් හැදෙන ආණ්ඩුව මේ වෙනස කරන්නේ යැයි
බලාපොරොත්තු වෙනවා.”
උදුරාගත් ජීවිත
නල්ලච්චියේ පදිංචි ඩබ්. කේ. ධර්මසේන අඳ ගොවියෙකි. තමන්ට කුඹුරු අහිමි නිසා අනුන්ගේ කුඹුරුවල අඳයට වැඩ කරන ගොවි පරපුරේ අයෙකි. අඳ ගොවි තැනට සමුදී ඇති ඔහු ජීවත් වන්නට මගක් සොයන්නෙකි. රටේ නායකත්ව වෙනස ගැන ඔහු ද සතුටට පත් වෙයි.
“අපට තියෙන්නේ ජීවත් වීමේ ගැටලුව. නායකයෙක් පත් වුණ ගමන් එක රැයින් හැම ප්‍රශ්නෙ ම විසඳන්න බැහැ. එහෙම බලාපොරොත්තු වන එකත් අසාධාරණයි. හැබැයි ඔහු මේ ප්‍රශ්න ගැන දන්නා නිසා අපට මහත් බලාපොරොත්තුවක් තියනවා. ඔහු හොඳ හදවතක් තියන උගත් මහත්මයෙක්. ඒ නිසා අනාගතය ගැන අපට බලාපොරොත්තුවක් තියනවා.
මම අඳ ගොවිතැන අතහරින්න හේතු වුණේ පාඩු නිසයි.
අක්කර දෙක හමාරක් කරන්න ලක්ෂ තුනක් විතර වියදම් යනවා. අයිතිකරුට වී මලු සීයක් දෙන්න ඕනෑ. ඒක හරි අමාරු වැඩක්. වියදම වැඩියි. අස්වැන්න මදි. අපේ මහන්සිය වතුරේ.”
ධර්මසේන පවසන්නේ කලකිරීමෙනි.
විරැකියා ප්‍රශ්නයට නිවැරදි පිළියම් නොයෙදීම නිසා නිහඬ මරණ ද සිදුවේ. පොහොට්ටු ආණ්ඩුව පාක්ෂිකයන් ගොනාට ඇන්දවීම සඳහා රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළක් හඳුන්වා දුන්නේ, වසර කිහිපයකට පෙර ය. එහිදී වනජීවී දෙපාර්තමේන්තුවට බඳවා ගත් නල්ලච්චියේ පියෙකුට ලැබුණු වැටුප රු. 22,500කි. දෙදරු පියෙකු වන ඔහුට වසර පහකින් රැකියාව අහිමි විය. සිත් තැවුලෙන් හා රෝග පීඩාදියෙන් දුක් විඳි ඔහු දිවියට සමුදුන්නේ ය.
ඔහුගේ බිරිය වන මේඛලා මධුශංකා කඳුළු අතරින් ජීවිතය ගැට ගහන්නට වෙර දරන දිරිය මවකි. තම ගමෙන් රටේ නායකයා බිහිවීම ගැන ඇයටද ඇත්තේ සතුටකි.
“එතුමාගේ ජයග්‍රහණය අපේ වාසනාවක්. අපි හරිම සතුටු වෙනවා ඒ ගැන. මුළු රටේ ම ප්‍රශ්න ඔළුවට ගෙන සිටින ඔහුට අප කිසිවකු පුද්ගලික දුක් ගැනවිලි ඉදිරිපත් කළ යුතු නෑ. ඒක අසාධාරණයි. ඔහු නිවැරදි සැලසුමක්, හොඳ රැකියා ප්‍රතිපත්තියක් හැදුවොත් - මගේ සැමියාට සිදුවූ විපත කිසිවකුට සිදු නොවනු ඇති බව මට විශ්වාසයි.”
ඇගේ වැඩිමල් පුතු උසස් පෙළ තාක්ෂණවේදය හදාරන්නේ තඹුත්තේගම මහ විදුහලෙනි. දරුවන්ගේ අධ්‍යාපන වියදම් අහස උසට ය. අමතර ආදායම් ලැබෙන කිසිදු මගක් නැති මේ මවට ලැබෙන එක ම ආදායම, දිනකට ලැබෙන කිරි ලීටර් හතර පමණි. ලීටරයක් රු.165 ගණනේ දිනක ආදායම රු.660කි. පැටියා ලොකු මහත්වන විට එයද අහිමිය. ගවදෙනට තණ කොළ සොයා යෑමද දුෂ්කර කටයුත්තකි. මෙබඳු නිවෙස්වල වසන්නන්ගේ හදවත්වල ගින්දර නිවන දේශපාලනයක් මෙතෙක් මෙරට තිබී නොමැත. අලුත් අනාගතයක් ගැන සිහින දකින්නේ කුරාකුහුඹුවන් වන් මෙවන් දයාබර මව්වරුන්ය. පියවරුන් ය. දරුවන් ය.
ගෝර්කිගේ අම්මා
මැක්සිම් ගෝර්කිගේ අම්මා නවකතාව මුළුමහත් ලෝකවාසීන්ගේ පීඩිත මව් ආත්මයෙහි ඇතුළු ගින්දර බහාලූ ලේඛන මංජුසාවක් වැන්න. මැක්සිම් ගෝර්කිගේ පොතේ ජීවත්වන අම්මා ඔහුගේම අම්මා ය. ගෝර්කි එම මව හඳුන්වා ඇත්තේ, පමණට වඩා බර ඉසිලීමෙන් ගෙල මහත්වූ කාන්තාවක් හැටියට ය. පර්ල් එස්. බක් ලියූ, සාරභූමි නවකතාවෙහි ඕලෑං නමැති ගෙවිලියගේ පිටි පතුල් පැතලි වී පළල් වී ඇත්තේ, ගොවි බිමෙහි මහත් දුර ඇවිදීමෙනි. ඒ මව්වරුන්ගේ හදවත් ගැහෙන්නේ එක ම රිද්මයකිනි.
ඒ ගොර්කිගේ අම්මා ය. මේ සීලවතී අම්මා ය. ගෝර්කිට අකුරු කරන්නට ගෙදර විදුලි ආලෝකය තිබුණේ නැත. බේකරියක වහලයේ ලයිට් එළිය යට ද ගෝර්කි අකුරු කියෙව්වේ ය. ගෝර්කිගේ අම්මා පුතු දෙස බලා සිටියේ අනාගතයේ රුසියානු ජනතාවගේ දුක්ගිනි හදවතට ඇතුළු කරගෙන, ඒ ගිනි නිවන මං සොයන මිනිසෙකු නිර්මාණය වීමේ
සිහිනය දකිමිනි.
“මගේ මල්ලි නිතර ම පොතක් අතේ තියාගෙන, මිදුලෙ අරලිය ගහට නැගලාහරි, එළියක් තැනක ඉඳගෙන හරි, - ඉඳන් පාඩම් කරපු හැටි තාමත් හොඳහැටි මතකයි. අද ඔහු ඉන්න තැන ගැන මං තරම් සතුටු වෙන කෙනෙක් ඉන්නවද.?
අනුර කුමාර දිසානායකගේ අක්කණ්ඩිය වන ශ්‍රියාලතාගේ හැඟුම් දහරාව සටහන් වූ මගේ ඇක්සයිස් පොත් පිටුව පෙරළා බලමි.
“මගෙ පුතා අහිංසකයි. මගෙ පුතා ඉන්න තැන ගැන මට ආඩම්බරයි.”
සීලවතී අම්මාගේ හැඟුම් දහරාව සටහන් වූ පිටුව නැවත පෙරළා බලමි.
ඔව් ඒ තමයි ගෝර්කිගේ අම්මා.
පැටි වියෙහි දී මිදුලෙහි දුව පැන කෙළිදෙළෙන් නැටූ සිඟිත්තා - යොවුන් වියට එළඹුණු පසු, සිසුවියෙහි දීම සමාජ අසාධාරණයට එරෙහි ව හඬනඟනවිට ඇසක් මෙන් ඔහු රැකගත් අම්මා ඇයයි. තම පුතු සමග එක ඇඳේ නිදාගත් ඔහුගේ අයියණ්ඩිය වෙඩි පහරින් මිය යන විට දැදුරුවූ හදවතින් ඉතිරි වූ පුතු රැකගන්නට දෑස් නොපියා මැදියමේ, හිමිදිරියේ වියළි අත්තක් බිඳෙන හඬට පවා සීරුවෙන් කන්දෙමින් පුතු වසන් කරගත් අම්මා ඇයයි. සරසවි දිවියෙහිදී රට භීෂණයේ ගනාන්ධකාරයෙන් වෙළී යද්දි පුතු ගැන ආරංචි විමසමින් නොනිදා රැය පහන් කළ අම්මා ඇයයි.
ඒ අම්මාගේ පුතු අද රටේ නායකයාය. එය අති දුෂ්කර ගමනකි. නින්දා, අවලාද, අපහාස මැදින් ආ ගමනකි.
ඡන්ද ව්‍යාපාරයෙහි දී තර්කාන්විතව සන්සුන්ව කරුණු පැහැදිලි කරන විට ප්‍රතිපාර්ශ්වයෙන් ඇසෙන කියමන්වලින් යළිත් හදවතට බිය ඇතුළු කරගත් අම්මා ඇයයි. ඒ අම්මා අද විඳින්නේ නිරාමිස සතුටකි.
“අම්මා ඡන්දෙ දැම්මෙ කාට ද?
තරුණියක් අසයි.
“මගෙ පුතාට”
සීලවතී අම්මාගේ දෙකම්මුලෙහි රේඛාවක් ඇඳෙයි. ඇගේ මුහුණෙහි සීදේවි සිනාවක් පිපෙයි.
මේ වීඩියෝව යූ ටියුබ් හි ජනප්‍රිය වීම නිසා - සමහරු නල්ලචියේ මහගෙදර හඹායන්නට උත්සාහ කළහ. ඒ ඇගෙන් ප්‍රකාශයක් වීඩියෝ කරගැනීමට ය. මෙය තරගයකි. අප සීලවතී අම්මාගේ නිවසට දෙවැනි වරට යනවිට දුටුවේ ඇය හමුවන්නට පැමිණෙන පිරිස් ය. ඇයට සැනසීමෙන්, නිවීමෙන්, නිදහසේ ඉන්නට ඉඩදිය යුතුය යන ආකල්පය
ඇතැමුන්ට නැත.
නෝනාවරුනි - මහත්වරුනි, පැරණි මතක හාරා අවුස්සමින් සීලවතී අම්මාටත්, ඇගේ දියණියටත්, හිරිහැර කළ යුතු නැත. ජනාධිපති ආර්යාවරුන්ට හා ජනාධිපති ඥාතීන්ට වැලඳෙන ප්‍රතිරූප අසනීප මෙහි නොමැත. නල්ලච්චියේ සීලවතී අම්මා තවමත් ඔබ පෙර දුටු අම්මා ම ය. තම පුතු දෙස දෑස දල්වා බලා සිටින ගෝර්කිගේ අම්මා ය. ඇයට පාඩුවේ ඉන්නට ඉඩ දෙන්න.
“අත්තම්මා කැමති - පාඩුවේ ඉන්න. එයාට මානසික නිදහස ඕනැ. එයාගෙ සෞඛ්‍ය ගැන හිතන්න ඕනැ.”
සීලවතී අම්මාගේ ඥාති දියණියක් පැවසුවාය.
සුපුරුදු ලෙස ඒ මහගෙදර ඉදිරිපිටින් මහවැලි ඇළ ගලා යයි. හිමිදිරියෙහි ජනපදිකයෝ කැත්තේ උදැල්ලේ වැඩට - ගොවිබිම්වලට යති. ගොවි පුතෙකු ඇත්තට ම රජෙකු ලෙස ඔවුනට දැනේ. හැඟේ.
ඉර බැස යන යාමයේ ආලින්දයේ හාන්සි පුටුවට වී සීලවතී අම්මා බලා සිටී. ඇය දන්නා සත්‍යයක් තිබේ. ඒ ඉඩක් ලද සැණින් තම පුතු සුපුරුදු ලෙස පැමිණෙන බව ය. මහවැලි ඇළේ හෝ වැවේ ගමේ තරුණයන් සමග දිය කෙළින්නට යන බව ය. එහෙත් එම පුතු අද වන විට රටේ ම වගකීම බාරගත්, අවිවේකී මිනිසෙකි. මුළු මහත් රටක ජනතාව ඔහු දෙස බලා සිටී.