ජනපතිවරණ පුරාණය මහින්දගේ ඇසින්



මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය ජනාධිපතිවරණ අත්දැකීම් පිළිබඳ අදහස් දැක්වීමට මෙසේ එක්වේ.

මගේ ජනාධිපතිවරණ අත්දැකීම් කතා කරන්න ගියොත් 1982 මැතිවරණයේ ඉඳලම කතා කරන්න වෙනව. ඒත් මම මැතිවරණ කොමිසමේ සභාපති විදියට ඉඳගෙන මෙහෙයවපු ජනාධිපතිවරණ වුණේ 2015 සහ 2019 ජනාධිපතිවරණ දෙකයි.

1982 ජනාධිපතිවරණය වෙලාවෙ මම පරිපාලන සේවයේ ආධුනිකයෙක්. හැබැයි ආධුනික අයත් එස්.පී.ඕ.ල හැටියට ඡන්ද ඩියුටි යවනවා. ඒකෙදී මම වැටුණේ කළුතරට. හැබැයි අපි ඡන්ද පොළවල්වලට දැම්මෙ නෑ. අපිට තිබුණෙ නිකුත් කිරීම්, බාර ගැනීම් කරන්න සහ තැපැල් ඡන්ද ගණන් කරන්න. ඡන්ද විමසීමකට අදාළ මූලික සහ පළමුවෙනි අත්දැකීම් මම ලැබුවේ ඒ ඡන්දෙන් තමයි.

ඊට පස්සෙ ජනමත විචාරණයෙදී මට ඩියුටි කරන්න හම්බ වුණේ අනුරාධපුරේ. මම 1983 තමයි මැතිවරණ දෙපාර්තමේන්තුවෙ රස්සාවට එන්නෙ. ඊට පස්සෙ මම රාජකාරි කරපු පළවෙනි ජනාධිපතිවරණය තමයි 1988 ජනාධිපතිවරණය. එක නම් ඉතිං අමතක නොවන ඡන්දයක්. රට පුරා භීෂණය. ඒ මැද්දේ තමයි ඡන්දෙ කෙරුවේ. හැබැයි අපි ඒ වගේ තත්ත්වයක් 88 පළාත් සභා ඡන්දෙදී අත්දැකලා තිබුණෙ ඒ වෙනකොට. මට ඒ ඡන්දෙ රාජකාරි කරන්න ලැබුණෙ මාතර.

ඊට පස්සෙ 1994 ජනාධිපතිවරණය එනකොට මම කොළඹ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් හැටියටයි කටයුතු කළේ. ඒකෙදී මම තමයි නාම යෝජනා බාරගන්න නිලධාරිය හැටියට කටයුතු කළේ. නාම යෝජනා බාර ගත්ත දවසෙ අපූරු සිද්ධියක් සිදුවුණා. මම නාම යෝජනා ගන්න ස්ථානයට එනකොට මට වෙන් කරලා තිබුණු පුටුවෙ ටයි කෝට් දාගත්ත කෙනෙක් වාඩිවෙලා ඉන්නවා මට කලින් ඇවිත්. එයා කාත් එක්ක හරි ඉංග්‍රීසියෙන් කතා කර කර හිටියෙ. මට එච්චර එයා නෝට් නෑ. මම කෙළින්ම එතෙන්ට ගිහින් ඉංග්‍රීසියෙන් එයාට කිව්ව ‘ඕක මගේ පුටුව. ඔයා වෙන තැනකට යන්න’ කියලා. එයා මගේ දිහා බලලා එකපාරටම කිව්ව "අයෑම් බාලපටබැඳි" කියලා. මමත් එතකොටම කිව්ව "අයෑම් මහින්ද දේශප්‍රිය" කියලා. මම හිතුවේ එයා එයාගෙ නම කියල අඳුන්වලා දෙන්නයි එහෙම කළේ කියලා. ඒකයි මගේ නම කියල මමත් කවුද කිව්වෙ. හැබැයි එයා වෙන මොකුත් නොකියා වෙන තැනකට ගියා. මේ සිද්ධිය දැක්ක අපේ ඒ.සී. ඇඩ්මින්. මිනිහ දුව⁣ගෙන ඇවිත් මගෙන් අහනව "දේශප්‍රිය මහත්තය මොකද්ද අර මහත්තයා කිව්වෙ. දන්නෙ නැද්ද එයාව" කියලා. මම කිව්ව ඇත්තටම දන්නෙ නෑ කියලා. එයා කියනව "අයියෝ දේශප්‍රිය මහත්තය ඒ චන්ද්‍රිකා මැඩම්ගෙ සෙකට්‍රිනෙ" කියලා. බලනකොට ඒ අගමැති ලේකම් බාලපටබැඳි මහත්තයා.

1999 ජනාධිපතිවරණය වෙනකොට මම ගාල්ලට මාරුවෙලා. ඊට පස්සෙ 2005 ජනාධිපතිවරණය තියද්දි මම ආපහු කොළඹ රාජකාරි කරන්න ඇවිත්. 2008 මම නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් විදියට ප්‍රධාන කාර්යාලයේ රාජකාරි බාරගත්තා. ඊට පස්සෙ ආපු ජනාධිපතිවරණය තමයි 2010 අවුරුද්දෙ තිබුණෙ. ඒක ටිකක් සංකීර්ණ ඡන්දයක් වුණා. රටේ ලොකු අවධානයක් ලැබුණු එකක් ඒක. මහින්ද රාජපක්ෂයි, සරත් ෆොන්සේකයි අතරෙ තමයි සටන තිබුණෙ. ඒ ඡන්දෙ වෙලාවෙ තමයි  කොමසාරිස්තුමාගෙ අර ප්‍රසිද්ධ ආතතිය කතාව ඇතිවුණෙ. ඒත් එක්කම ඒ ඡන්ද ප්‍රතිඵල දෙද්දි කොමසාරිස්වරයා කාර්යාලයේ හිටියෙ නෑ, එතුමා ප්‍රතිඵල හිරකරගෙන ඉන්නව කියල ලොකු ආන්දෝලනාත්මක තත්ත්වයකුත් ඇති වුණානේ. දයානන්ද දිසානායක මහත්තයගෙ කටින් ආතතිය කතාව ආවෙ ඔය මිස්කමියුනිකේෂන් එකකින් සිද්ධ වෙච්ච අකරතැබ්බයක් නිසා තමයි.

ඔය වගේ නොයෙකුත් සිද්ධි හැම මැතිවරණයකදීම වගේ සිදුවුණා.

ඒව ඉතිං අපි වැඩිය දුර දිග යන්න නොදී කොහොම හරි බැලන්ස් කෙරුවා.

මම මැතිවරණ කොමිසමේ සභාපති විදියට පත්වෙලා ජනාධිපතිවරණ දෙකක් කෙරුවා. පළවෙනි එක 2015 ජනාධිපතිවරණය. දෙවෙනි එක 2019 ජනාධිපතිවරණය. මේ දෙකම රටේ ලොකු අවධානයක් දිනාගත්ත ජනපතිවරණ දෙකක්.

2015 ජනාධිපතිවරණය අපේ රටේ ආන්දෝලනයකට ලක්වූ එකක්. ඒ වෙලාවෙ මං ගැනත් එක එක පාර්ශ්ව එක එක කතන්දර කිව්වා. විරුද්ධ පක්ෂයට මාව පෙනුණෙ මම ආණ්ඩුවට සහාය දක්වනව වගේ. ඉතිහාසයේ කිසිම මැතිවරණ කොමසාරිස්වරයෙකුට නැති තරම් මට කාටුන් ඇඳුනා. සමහර ඒවයි මාව පඹයට ඇන්දා. සමහර ඒවයි මාව ගිරවට ඇන්දා. හැබැයි මම ඒ කිසිම දෙයක් සීරියස් ගත්තෙ නෑ.

පෝස්ටර් කටවුට් ගහපුව ගලවන වැඩ බලන එකේ ඉඳලා මම හැමදේම ගැන හොඳ අවධානෙකින් හිටියේ. හැම තිස්සෙම මගේ ස්ටාෆ් එකත් එක්ක සාකච්ඡා කරමින් කිසිම අර්බුදයක් ඇති නොවෙන්න පසුබිම සකස් කරන්න තමයි උත්සාහ කෙරුවේ. ඒ ඡන්දෙදී අපට කටවුට් ගලවලා ඉවරයක් නැතිවුණෙ ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි. කඹ දාල ඇදල තමයි සමහර දැවැන්ත කටවුට් අයින් කෙරුවේ.

ඒ ඡන්දෙ නාම යෝජනා ගන්න දවසෙම මරු වැඩක් වුණා. අපි වැඩේ පටන්ගන්න ඔක්කොම සූදානම් කරල තියෙද්දී රූපවාහිනියෙ ලොකු තනතුරක් දරපු මහත්තයෙක් ඇවිත් නොමිනේෂන් හෝල් එක ඇතුළට යන්න ඕන කියල කලබල කළා. මම කිව්ව ඕනම නම් මගේ රූම් එකේ ඉන්න එහෙම නැතුව නොමිනේෂන් හෝල් එකට යන්න දෙන්න බෑ කියලා. එයාට ඒකට ටිකක් අවුල් වුණා. ඔය අතරෙ නොමිනේෂන් ලයිව් එක රූපවාහිනියෙ යද්දී ඒ අස්සෙන් යනව ජනාධිපති ප්‍රවර්ධන කරන විෂුවල්. මම එක පාරක් කෙනෙකුට එන්න කියලා ඒකට බැන්නා. තව ටිකකින් නිව්ස් පටියක් යනවා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීමට තීරණය කරමින් පක්ෂයෙන් ඉවත්වෙයි කියලා. මම නොමිනේෂන් ගන්න විෂුවල් යටින් ප්‍රවෘත්ති උපශීර්ෂ විදියට යනවා. මට යකා නැග්ගා. ලයිව් එක නිසා මට නැගිටලා යන්නත් බෑ. මම මගේ කොල්ලෙකුට කතා කරල චිට් එකක් ලියලා යැව්ව උප සිරැසි නවත්තන්න කියලා. ටික වෙලාවකින් මට තොරතුරක් එනව සිරසට විෂුවල් දෙන එක නවත්තලා රූපවාහිනියේ බ්‍රෝඩ්කාස්ට් බස් එකෙන් කියලා. ඒකෙන්නෙ ඔක්කොම චැනල්වලට දුන්නෙ. මම හොයල බලනකොට වෙලා තියෙන්නෙ රූපවාහිනියෙ යටින් යන පටි නිව්ස් නවත්තන්න නිසා මම උපසිරැසි නවත්තන්න කියල යවපු චිට් එක ගෙනියපු අපේ ගෝලය අදාළ කෙනාට ඒක පෙන්නන්න චිට් එක අල්ලද්දී උප සිරුසි කියන එකේ උප කියන වචනෙ ඇඟිල්ලකට වැහිලා. ඒක දැකපු අර පුද්ගලයා සිරසට විෂුවල් දෙන එක නවත්තලා විනාඩි දහයක් විතර සිරසෙ ලයිව් එක නැවතිලා තිබුණා. සිරසෙ කට්ටිය ඒකට කලබල වෙලා මොකද්ද වුණේ කියලා. සමහරු හිතාගෙන ඒක මම කරපු දෙයක් කියලා මට බණිනවා. මම රූපවාහිනිය ආණ්ඩුවට පක්ෂග්‍රාහීව කටයුතු කිරීම නවත්තන්න ගිහින් මම ආණ්ඩුවට සපෝට් කරනවා කියල නිකං බැණුම් ඇහුවා.

ඒ ඡන්දෙ නැගලම ගිය  කතාව තමයි මම අර "ඔළුවටම තියන්න" කිව්ව කියලා ගිය  එක. හැබැයි ඔය සමහර කතා නම් ගියේ පොඩි පොඩි විකෘති කිරීම් එක්ක. මැතිවරණ කාලේ පොලිසිය වැඩ කටයුතු කරන ආකාරය ගැන ⁣බොහෝ සමාජ විවේචන එනව. ඒව ගැන අපිටත් මැදිහත් වෙන්න පුළුවන් සීමාවන් තියෙනවා. එදා මම කිව්වෙ නෑ හොර ඡන්ද දැම්මොත් වෙඩි තියන්න කියලා. ඡන්දෙ ආසන්නම මොහොතේ මාධ්‍ය එක්ක ඡන්ද පොළ ආශ්‍රිතව නීති විරෝධී මැර ක්‍රියා වළක්වා ගැනීමට ගත හැකි පියවර ගැන සාකච්ඡාවකදී තමයි ඔය සිදුවීම සිද්ධ වුණෙ. ඔය සාකච්ඡාවෙදී ඡන්ද පොළවල්වල මීට පෙර සිද්ධ වෙච්ච මැර ක්‍රියා ගැන විස්තර කර කර ඉද්දී එක මාධ්‍යවේදියෙක් ඇහුව අවි ආයුධ අරගෙන ඇවිත් ඡන්ද පෙට්ටියක් පැහැර ගත්තොත් මොක ද කරන්නෙ කියලා. මම කිව්ව එහෙම සිදුවීමක් වුණොත් පොලිසිය අවශ්‍ය පියවර ගනියි කියලා. එයා ආපහු ඇහුව ඒ කියන්නේ පොලිසිය අවම බලය පාවිච්චි කරනවද කියලා. මම කිව්ව අවම බලය කියලා එකක් දැන් නෑ කියලා. එතකොට එයා ඇහුව එහෙනං ප්‍රමාණවත් බලයද? කියලා. මම කිව්ව ඔව් කියලා. එතකොට එයා අහනව ඒ කියන්නේ දණ හිසෙන් පහළට වෙඩි තියෙනවද? කියලා. ඒ ප්‍රශ්නය අහනවත් එක්කම මට මතක් වුණා මීට කලින් ඡන්ද පොළවල්වලදී අපි මුහුණ දීපු ඒ වගේ මැර ක්‍රියා. ඡන්ද පෙට්ටි පැහැර ගැනීම් බලපෑම් කිරීම් වගේ මම ඇහින් දැකපු දේවල් මට මැවිලා පේන්න පටන් ගත්තා. වතාවක් එක දේශපාලකයෙක් ඡන්ද පෙට්ටියක් පොරවකින් දෙකට පලපු සිදුවීමකට පොලිසිය නඩු දාලා තිබුණෙ දණ්ඩ නීති සංග්‍රහය යටතේ. මැතිවරණ නීතිය යටතේ නඩු දැම්ම නම් මිනිහගෙ ප්‍රජා අයිතියත් නැති වෙනවා. පස්සෙ මිනිහා හිරේ ගිහින් ටික දවසකින් නිදහස් වෙලා ආපහු ඡන්දෙ ඉල්ලලා ලොකු තනතුරකටත් පත්වුණා. මට ඕව මේවා ඔක්කොම මතක් වුණා අර මාධ්‍යවේදියගෙ ප්‍රශ්නෙත් එක්ක. ඉතිං මම කිව්ව "දණහිසෙන් පල්ලෙහාට වෙඩි තියන්නෙ මක්කටෙයි, ඔළුවටම තියලා දාන එකනෙ ඇත්තෙ." කියලා. මං හිතනවා ඒ කතාවත් එක්ක ඒ ඡන්දෙ මැර ක්‍රියා ගොඩක් අඩු වුණා කියලා. මැරයො බය වුණා ඒකට.

ඔය ඡන්දෙ තවත් විශේෂ සිදුවීමක් තමයි ඡන්දෙ දවසෙ ජාතික රූපවාහිනියෙ වැරදි ප්‍රවෘත්තියක් ප්‍රචාරය කරලා මට ගිහින් ඒකට ඇක්ෂන් ගන්න වෙච්ච එක. එක අපේක්ෂකයෙක් තමන්ගෙ සහය වෙනත් අපේක්ෂකයෙකුට දෙන බවට ප්‍රකාශයක් කෙරුවා කියලා ඡන්දෙ දවසෙ උදේ රූපවාහිනියෙ නිව්ස් එකක් ගැහුවා. ඒ අපේක්ෂකයා මට කම්ප්ලේන් කළා ඒක නිවැරදි කරන්න කියලා යවපු කරෙක්ෂන් එකත් රූපවාහිනියෙ අය වරද්දලා. බැරිම තැන මම ගියා රූපවාහිනියට. ඒ නිව්ස් එක නිවැරදි කෙරුවේ නැත්නම් රූපවාහිනිය වස්සනව කිව්වම තමයි හරියට ඒක නිවැරදි කෙරුවේ.

2015 ඡන්දෙ ඔන්න ඔය වගේ අමතක නොවන සිද්ධි ගණනාවක් සිද්ධ වුණා. හැබැයි අපි ඒවට කලබල නොවී ඒ ඒ බෝලෙට හරියාකාරව බැට් කරලා කඩුල්ල බේර ගත්තා.

ඊළඟ ජනාධිපතිවරණය ආවේ 2019 අවුරුද්දෙ. මේ ඡන්දෙ තිබුණු විශේෂත්වය තමයි එතකොට බලයේ ඉඳපු ජනාධිපතිගෙ සහාය එක අපේක්ෂකයෙකුට ලැබෙද්දී අගමැතිවරයාගේ සහාය තවත් අපේක්ෂකයෙකුට ලැබීම. එහෙම තත්ත්වයක් පැවති ඉතිහාසයේ පළවෙනි ඡන්දෙ ඒක. ඊට කලින් එහෙම තත්ත්වයක් තිබිලම නෑ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තරග කරන්නෙත් නැතුව තවත් එකිනෙකට විරුද්ධ අපේක්ෂකයන් දෙන්නෙකුට සහය පළකිරීම තමයි එතන තිබුණ කැපීපේන වෙනස.

ඒ ඡන්දෙ සියලු පක්ෂවලට අදාළව තීරණාත්මක එක් පොදු සාධකයක් බලපෑව. ඒක තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය. ඒ වගේම තමයි ජාතිවාදය ආගම්වාදය ඇතුළෙ කෙරුණු ඔය වඳ කොත්තු, ඩොක්ටර් ෂාපිගෙ සිද්ධිය වගේ දේවල්. අනෙක් අතට කැලණි ගඟෙන් නයෙක් මතුවීමේ සිද්ධිය. මේ ඡන්දෙ ජනමතයට බලපෑම් කරන්න මේ සාධක හේතු වුණා.

ඒ වගේම සමාජ මාධ්‍ය තුළ එහෙම විශාල වශයෙන් සංවාදයට ලක්වුණු එක් අපේක්ෂකයෙකුගෙ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය. මේ සම්බන්ධ ඊට කලින් මැයි මාසේ එකම එක පුරවැසියෙක් ලියලා එවලා තිබුණ වෙනත් රටක පුරවැසිභාවය සහිත අපේක්ෂකයො දෙන්නෙක් තරග කරන්න ඉන්නවා කියලා. හැබැයි අපට නොමිනේෂන් කැඳවන තාක්කල් ඉල්ලන්නෙ කවුද කියලා කියන්න බෑනෙ. නාම යෝජනා භාරදීමේ සිට ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන තාක් කල් ඒ එක් අපේක්ෂකයෙකුගෙ පුරවැසිභාවය පිළිබඳ සමාජ මාධ්‍ය ඇතුළෙ මිනිස්සු කතා කළාට කිසිම ක්‍රමවේදයක් මගින් හෝ කිසිම ලිඛිත පැමිණිල්ලක් මැතිවරණ කොමිසමට කිසිම පුරවැසියෙක් කෙරුවේ නෑ. මගෙන්වත් කිසිම කෙනෙක් කිසිම විමසීමක් කෙරුවෙ නෑ. සෝෂල් මීඩියා එකේ එක එක අය මේ ගැන ලියලා මට බැන්නට ඒක නෙවෙයි මේ වගේ දේකට විරුද්ධ වෙන නිසි ක්‍රමවේදය. ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුගේ අපේක්ෂකත්වය අහෝසි කරන්න පුළුවන් නුසුදුසුකම් තියෙනවා විස්සකට වැඩි ප්‍රමාණයක්. හැබැයි මේවට විරැද්ධව පියවර ගැනීමේ නීත්‍යනුකූල අයිතියක් මැතිවරණ කොමිෂන් සභාවට නෑ. නොමිනේෂන් එකක් රිජෙක්ට් කරන්න පුළුවන් පනතේ දැක්වෙන හේතු උඩ පමණයි. හැබැයි මැතිවරණ කොමිසමට මේ ගැන නොයෙක් චෝදනා එල්ල වුණා.

ඔය අතරෙ ලොකු හාහෝවක් ගියා කොමිසමේ සාමාජිකයන්ගෙ බෙදීමක් ඇතිවෙලා තියෙනවා කියලා. ඒකත් බොරු කතාවක්. අපි අතර කිසිම බෙදීමක් තිබුණෙ නෑ. නොමිනේෂන් බාරගත්ත එකට කොමිසමේ තුන්දෙනාම අත්සන් කෙරුවා. ඔය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ආපු අපේක්ෂකයගෙ නාම යෝජනාව සම්බන්ධව කොමිසම නිල වශයෙන් විරෝධයක් දක්වන්න ඕන කියලා ඒකට විරුද්ධ වුණා කියන එක කොමිෂනර් කියලත් නෑ කිසිම වෙලාවක. අන්තිමට කොහොම හරි ඔක්කොම ගල් ටික මට වැදුණා, මහින්ද දේශප්‍රිය මේ නොමිනේෂන් එක ගත්තයි කියල.

2019 ඡන්දෙ 2015 ඡන්දෙ තරම් අර්බුදයක් ඇතිවුණ එකක් නෙවෙයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අතිනුත් කලින් මැතිවරණවලට සාපේක්ෂව සාමකාමී එකක්. ලොකුම ප්‍රශ්නයකට තිබුණෙ කොවිඩ් තත්ත්වය තමයි.

  • ප්‍රියන්ත කොඩිප්පිලි