අහස් දියෙන් මෙන්ම ජයගඟේ දිය දහරින් පෝෂණය ලබන නල්ලච්චිය මහ වැවේ දියවර, ජනපදයෙහි ගොවිබිම් සරු කරන අතර තඹුත්තේගම නගරයෙහි පානීය ජල අවශ්‍යතාව ද සපුරයි. එහෙයින් මේ ජනපදවාසීන් මහවැලි දරුවන් ලෙස හැඳින්වීමෙහි වරදක් නොපෙනේ. නල්ලච්චිය ගම්මැද්දෑවේ ජනතාව බහුතරයක් පාරම්පරිකව ද සෙසු අය මහවැලි ඉඩම්ලාභීන් ලෙස අයිතිය තහවුරු කරගෙන සිටිති. ඔවුන්ගේ මුවග මේ දිනවල රැව්දෙන මාතෘකාවක් ඇත. එනම් ගමේ කොල්ලෙක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමය. ප්‍රභූ පවුලක නූපන්නෙකු වුවද ඔහු අභියෝග රැසක් මැද උසස් අධ්‍යාපනය හමාර කර පූර්ණකාලීනව දේශපාලනයට කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ජනබලවේගයේ නායකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. අනුර කුමාර දිසානායකගේ ගම වන නල්ලච්චියේ ගම්මුන්ට ඔහු පෙනෙනු, දැනෙනු ඇත්තේ කෙසේද?
ආඬියාගල ප්‍රදේශයෙහි උපන් ඔහු කුඩා කල නල්ලච්චියට පදිංචියට පැමිණියේ ඔහුගේ පියා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ නිසා ය. පුංචි කුලී ගෙදරක සෙවන ලැබ අකුරු කරන්නට පාසල් ගිය ඔහු ගැන අයන්නේ පටන් දන්නා ප්‍රධාන සාක්ෂිකාරියක වන්නේ අනුරගේ වැඩිමල් සොයුරිය වන ශ්‍රියාලතා
දිසානායක (අවු.62) ය.
“මගේ මල්ලි ගැන මට ආඩම්බරයි. එයා පුංචි කාලෙ ඉඳලා අද දක්වා ආපු ගමන පහසු එකක් නොවෙයි. ඒත් පුංචි කාලෙ ඉඳලම එයා පසුබෑම්වලින් දුක් වෙන්නැතුව පුදුම දහිරියකින් වැඩ කළේ. මට තවමත් මැවිලා පෙනෙනවා, මිදුලෙ අරලිය ගහට පොතකුත් අතින් අරං නැගලා පාඩම් කරන හැටි. මල්ලි බත් කනකොටත් පොතක් හරි පත්තරයක්
හරි කියෙව්වා.
කවදාවත් කාලය අපතේ යැව්වෙ නෑ. ඒ හින්දා තමයි ඉගෙනුමෙන් වගේම හැම අතින්ම ඉස්සරහට ගියේ. මම තමයි පුංචි කාලෙ ඉඳල හෙවණැල්ල වගේ මල්ලිගෙ දුක සතුට බෙදාගත්තෙ. වැඩ දාහක් මැද්දෙ වුණත් ගෙදර ආ දාට ගෙදර ඉස්සරහ ඇළේ, නල්ලච්චිය වැවේ පීනන්න ආසයි. පුංචි කාලෙ වාගෙම තමයි. මල්ලි තමයි මට ලෝකේ සම්පත. මල්ලි හැම මනුස්සයෙක් ගැනම ආදරෙන් කරන කැපවීම ගැන මට හරි සතුටුයි.”
ශ්‍රියාලතා එසේ කියන්නේ කඳුළු පිරි දෑසිනි. ඒවා සතුටු කඳුළු ද දුක් කඳුළු ද නිර්වචනය
කළ නොහැක.
අම්මෙකුට තම දරුවා ළඟ සිටිනු දකින්නට තරම් සතුටක් තවත් තිබේ ද? නිතර නොදුටුවත් ළඟ ම ඇතැයි සිතමින් තම පුතාගේ ඡායාරූප අතපත ගාන, පුතා ගැන සිතා හදවතින් සතුටුවෙන සීලවතී (අවු. 87) මාතාව මෙසේ කීවාය.
“මගෙ පුතා පොඩි කාලෙ ඉඳලම කවුරු එක්කත් කතා අඩුයි. එයාට ඕනැ වැඩ කරන්න. ඉස්කෝලෙදි, පන්සලේදි පැවරෙන හැම වැඩක්ම හරියට ම කෙරුවා. හැබැයි ඒ තැන්වල නිස්සද්ද නෑ. මං දන්නව මගෙ පුතාගෙ හිතේ තියෙන්නෙ හැමෝම සතුටින් ඉන්නව දකින්න. ඒ හින්දා තමයි මගෙ පුතා ගැන මං වැඩියෙම්ම
සතුටු වෙන්නෙ.”
සීලවතී අම්මාගේ මතක පොත බරසාර එකකි. ඒ බර පොතෙන් පේළියක් දෙකක් කියවා ගැනීම වුවද අසීරු කටයුත්තකි. පුතා ගැන සංවේදීවීමෙන් සිතුවිලි විසිර යෑම ඊට හේතුවයි.
පවුලේ සාමාජිකයන්ට තමන්ගේ ආදරණීයයා එසේ දැනෙන අතර, ගම්මුන්ට ඔහු විවිධ කෝණවලින් කියවිය හැකිය. ඒ මිනිස් ස්වභාවයයි. තමා අගයන යම් දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන අයෙකු ගැන අදහසක් කීම ද එපරිදිය. ව්‍යවසායකයෙකු වන ලලිත් වසන්ත ගුණසේකර, අනුර ගැන තම අදහස්
මෙසේ පැවසීය.
“මම ජනාධිපතිවරණෙදි ඡන්දෙ දෙන්නෙ කාටද කියලා තවම තීරණය කර නැහැ. පහුගිය කාලෙ රටේ පැවති තත්වය අනුව අපේ ව්‍යාපාර කඩා වැටුණා. යන්තම් තමයි අල්ලගෙන ඉන්නෙ. අපේ රටේ ඉතිහාසය පුරාම අපි දැක්කෙ දේශපාලන න්‍යායන් ගැන මොනව කතා කළත් ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක නොකළ අය. එනිසා රටේ හැම අතින්ම තියන ගරා වැටීම් තේරුම්ගෙන ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කළ හැකි නායකයකු රටට අවශ්‍යයි. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේ ගමෙන් ඉදිරිපත් වූ කෙනෙක් සිටීම ගැන ගමේ අය හැටියට සතුටුයි. ඔහු තමන්ගෙ හොඳ නම රැකගත්තු පුද්ගලයෙක්. යහපත් මනුස්සයෙක්.”
රෝහණ කුමාර (අවු.45) සංචාරක මග පෙන්වන්නෙකි. මේ ඔහුගේ අදහස් ය.
”අපේ ගමෙන් කෙනෙක් ඉදිරිපත්වීම ගමට නෙවෙයි රටටම ජයක්. 76 අවුරුද්දක් රට පාලනය කළ අයගේ වැරදි ප්‍රතිපත්ති නිසා මිනිස්සු දුක් විඳිනවා. මිනිස්සුන්ගෙන් ඡන්ද අරගත්තු පාලකයො ඉදිරියට ගියා. මිනිස්සු පහළට ගියා. මේ නිසා අනුර කුමාර තමයි රටට ගැළපෙන නායකයා.
අපේ රටට නීතියේ පාලනයක් අවශ්‍යයි. දේශපාලකයන්ටයි ප්‍රභූන්ටයි එක නීතියක්. සාමාන්‍ය මිනිහට තවත් නීතියක්. ඒක වෙනස් වෙන්න ඕනැ. ප්‍රභූවරුන්ගෙ වැරදිවලට දඬුවම් නෑ. දුප්පතාට විතරයි නීතිය කෙරෙන්නේ. පන්තිභේදය අනුව. එනිසා සැමට එක නීතියක් අවශ්‍යයි. දූෂණ, වංචා නිසා රටේ ආර්ථිකය වැටිලා තියෙන්නේ. මේ නිසා දූෂණයට වැට බැඳිය යුතුමයි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වන සැලසුම්වලින් රටක් හදන්න බැහැ. හැම ක්ෂේත්‍රයකටම අදාළ ව ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ කරුණු තුන අනුව අපට විශ්වාසය තැබිය හැකි එකම නායකයා
අනුර කුමාර දිසානායකයි.”
මහවැලි දියවරින් පෝෂණය ලබන ජනපදයක් ලෙස වත්මන් ගොවීන් මුහුණ දෙන ගැටලු නල්ලච්චියටද පොදුය. ගොවියෙකු වන ඩී.එම්. කරුණාරත්න (අවු. 43) ඒ ගැන පැවසීය.
“අපට තියෙන ලොකුම ගැටලුව වගා ණයවලින් නිදහස් වෙන්න බැරිවීම. දැන් පොහොර හිඟයක් නම් නැහැ. ඒත් වියදම් දරාගන්න බැහැ. වී මිල ස්ථාවර නැහැ. මේ නිසා අපේ පළමු ඉල්ලීම ගෙවාගන්න අමාරු වගා ණය කපාහැරීම. වීවලට සාධාරණ ස්ථාවර මිලක් ලබාදීම. ඒවගේම මේ ප්‍රදේශයේ අතුරු මාර්ග සියල්ල විනාස වෙලා. ඒවා හරි ප්‍රමිතියට හදල නෑ නිසි නියාමනයක් යටතේ මේවා පවතින විදියට හදන්න ඕනැ. අනුර කුමාර දිසානායක වගා ණය ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳුමක් දෙන බව කියනවා. අප ඔහු විශ්වාස කරනවා.”
ගොවිතැන ජීවිකාව කරගත් පී.ඒ.ජී.ආර්. දිසානායක (අවු. 43) මෙවර රටේ දේශපාලනයෙහි ලොකු වෙනසක් විය යුතු බව කියයි.
“රටේ දේශපාලන පක්ෂ හැමදාම අපිව ඇන්දුවා. මිනිස් ජීවිත දුකට හෙළුවා. ඒක ලොකු අසාධාරණයක්. හැමෝටම උසස් ජීවන මට්ටමක් ඕනෑ. දරුවන්ට අනාගතයක් ඕනැ. එනිසා මෙවර අපි අලුත් නායකයෙක් පත් කරගන්නවා. අනුර තමයි රටට හරියන නායකයා.”
ඩී.එම්. ශ්‍රියාලතා තම සැමියා වන වසන්ත කුමාර සමග එක්ව තේ පැන් හලක් පවත්වාගෙන යන තැනැත්තියකි. වත්මන් තත්ත්වය සහ රටට ගැළපෙන නායකත්වය ගැන ඇය මෙසේ කියයි.
“අනුර තමයි රටට හරියන නායකයා. මං එහෙම කියන්නෙ ජීවත්වෙන්න සටනක් කරන කෙනෙක් හැටියටයි. වෙනදා අපි පැය අටක් වැඩ කරලා ජීවත් වුණා නම් අද ඒ ගණනම හොයාගන්න පැය 18ක් වැඩ කරන්න වෙලා. නිකං ඉඳලා ජීවත්වෙන පිරිසකට හම්බු කරන්නෙත් අපි. මේක හරිම අසාධාරණයි. රටේ අධ්‍යාපනය, රාජ්‍ය සේවය හැම පැත්තක්ම එහෙමයි. පාසල්වල ගුරුවරු හරියට උගන්වනවා නම් ළමයි ටියුෂන් යන්න ඕන නැහැනෙ. ගුරුවරුන්ට ටාගට් එකක් දෙන්න ඕනැ. එයාලට පඩි ගෙවන්නෙ උගන්නන්නනෙ. රජයේ කාර්යාලයකට ගියාම මිනිස්සු කොච්චර රස්තියාදු කරනව ද? එයාල පඩි ගන්නෙ මොකට ද?
අපි නිදාගන්නෙ පැය දෙක තුනයි. ජීවත්වෙන්න කරන්නෙ සටනක්. අපෙන් ගන්න බදු ආදායමෙන් වරප්‍රසාද ලබන අය තමන්ගෙ වැඩේ හරියට කරන්නෑ. මේ ක්‍රමය වෙනස් කරන වැඩපිළිවෙළක් අනුරට තියෙන බව අපට විශ්වාසයි.”
ව්‍යාපාරිකයෙකු වන ඩොනල්ඩ් ආනන්ද (අවු. 55) මෙසේ පැවසීය.
“අනුරයි මමයි එකට පාසල් ගියෙ. ඔහු මට වඩා පන්ති දෙකක් ඉහළ. 7 පන්තියෙදි අපට ගණන් උගන්වන්න ගුරුවරයෙක් හිටියෙ නෑ. අනුර තමයි අපට ගණන් ඉගැන්නුවෙ. අනුරයි අපියි පාඩම් කළේ එකට. පවුලේ අය වගේ. පොඩි කාලෙ ඉඳලම අනුන් ගැන හිතපු කෙනෙක්. හැමෝටම හැකි අයුරින් උදව් කළා. පුදුම නිහතමානිකමක්. ගමේ තරුණයොත් එක්ක සහයෝගෙන් වැඩ කළා. අපට ආඩම්බරයි ඔහු ගැන. ඔහු රටේ නායකයා වෙනවා නම් ඒක තමයි අපේ
ලොකුම සතුට.”
අනුරට ඉගැන්වූ ගුරු පරපුර ඔහු ගැන සිහිපත් කරන්නෙ ප්‍රමෝදයෙන්. රාණි හේවාවිතාරණ එසේ සතුටුවෙන විශ්‍රාමික ගුරුවරියකි. ශිෂ්‍ය උපදේශිකාවකි.
”මම ගුරු සේවයට ආවෙ 1976දි. අනුර එකේ දෙකේ පන්තිවලදි මට හමුවුණේ. හරිම චතුරයි. කඩිසරයි. දක්ෂයි. දැඟලිල්ලයි. එයා පිටුපස පේළියෙ හිටියෙ. එයාට හැම ළමයම පේනව. හැමදෙයටම ප්‍රතිචාර දක්වනවා. ටීචර්, ටීචර් කියාගත්තු ගමන්මයි. මම ඔහු ඉදිරි පේළියට ගත්තා. ඒ දවස්වල මටත් ඒ දරුවා හරි ආදරෙයි. ඔහු දුර ගමනක් යන ලකුණු එකල සිටම පෙන්නුවා.”
විශ්‍රාමික කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු හා ගුරුවරයෙකු වන ඩී.එම්. අමරසූරිය අනුර ගැන මතක මෙසේ අවදි කළේය.
“අනුර ශිෂ්‍ය අවධියෙදි විවාද කණ්ඩායම්වල හිටියා. හොඳ කථිකයෙක්. අයුක්තියට, අසාධාරණයට විරුද්ධව පෙනීසිටියා. ඒ කාලෙම ඔහුගේ අනාගත ගමන පෙන්නුම් කළ බවයි මගේ හැඟීම. අපේ රටේ අධ්‍යාපනයේ තියන බරපතළ ගැටලුවලට විසඳුමක් අවශ්‍යයි. සිසුන් විශාල ප්‍රමාණයක් අතරමග හැළෙනවා. මේ අය නිසි අධ්‍යාපන ක්‍රියාවලියකට හසුකර ගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. දැන් ඒකට හොඳම කාලයයි”
අනුරට කැමති බොහෝ අදහස් දක්වන්නට ඉදිරිපත් වුණත් මේ හැම දෙනාගේ ඉල්ලීම වූයේ ඒවා පුවත්පතෙහි පළ නොකළ යුතු බවය. දිනන්නේ කව්ද යන සැකය බොහෝ අයගේ සිත්හි හොල්මන් කරනු පෙනේ. වෙනත් දේශපාලන පක්ෂවලට ළැදියාවන් ඇති කිහිප දෙනෙකුගේ අදහස වූයේ දැන්ම තීරණයක් නොගෙන මැතිවරණය ආසන්නයේ ඒ ගැන සිතන බවය.
“අනුර පුද්ගලයෙක් හැටියට හොඳයි. මම ඔහුට කැමතියි. හැබැයි එයාගෙ පක්ෂයට කැමති නෑ.” නම් සඳහන් කරන්නට අකමැති දෙදෙනෙක් එසේ කීහ. මේ සියලු දෙනාගේ විශේෂත්වය වන්නේ දේශපාලන පක්ෂය කුමක් වුවත් අනුර විරල ගණයේ දක්ෂතා සහිත මිනිසෙකු බව කීමය.
අනුර පුද්ගලයෙකු හැටියට හොඳ වුවද එම පක්ෂයට අකමැති බව කී දෙදෙනෙකුගේ අදහස් මෙසේය.
එළවළු අලෙවියෙහි යෙදෙන්නෙකු වන පී.ඒ. කුලරත්න (අවු. 53) ”කැරැල්ලකින් රට වෙනස් කරන්න උත්සාහ කළ අය හැටියට දැන් ඔවුන් කරන දේශපාලනය ගැන සතුටුයි. ඒ වගේම අනුර කුමාර ඒ පක්ෂයේ ඉන්න අන්තවාදී නැති නායකයෙක්. හැබැයි ඔවුන් තවමත් තමන් අතින් වූ වැරදි අනාගතයේ එසේ නොවන බවට අප තුළ විශ්වාසය තහවුරු කර නැහැ.
මෑතකදි වුණත් ඒ පක්ෂයේ සමහර අය 80 ගණන්වලදි කසිප්පු පෙරපු, ස්ත්‍රී දූෂණයෙහි යෙදුණු අයට දුන් දඬුවම් අනුමත වෙන විදියේ ප්‍රකාශ කළා. පක්ෂයක් හැටියට එම අදහස් හෙළා දැක නැහැ. පළාත් සභාවලට පක්ෂ වූ අය මරා දැම්මත් ඔවුන් පළාත් සභා නියෝජනය කරනවා. ඔවුන් බලයට පත්වුණාම පළාත් සභාවලට මොකද වෙන්නෙ. මෙන්න මෙවැනි ගැටලුවලටත් එම පක්ෂයෙන් පිළිතුරු අවශ්‍යයි”
කේ.බී. ආනන්ද (අවු. 48) වෙළෙඳසල් සේවකයෙකි. ඔහු මෙසේ පවසයි.
“මමත් මුල් කාලෙ ඔය පක්ෂයට කැමැත්තෙන් හිටියෙ. අනුර කුමාර ඉදිරිපත් වුණු එකත් හොඳයි. හැබැයි ඒ පක්ෂයේ වැඩිහරියක් ඉන්නෙ අනෙක් පක්ෂවල ක්‍රියාකාරි අය හිතන විදියෙම මිනිස්සු. ඔවුන් බලයට පත්වුණ ගමන් ලොකු වෙනසක් වෙයි කියලා මම හිතන්නෑ..
ලෝකයේ දේශපාලන තත්වයත් බලපානවනෙ. දූෂණයට විරුද්ධ වූ පමණින් රටක් දියුණු කළ හැකිද? රටේ අනෙකුත් නායකයන් මෙතෙක් කර ඇති, මහවැලිය, ගොවි ජනපද වෙළෙඳ කලාප වගේ වැඩසටහන් ගැන ඔවුන්ගේ ඇගයීමක් තියනවද. ඒ සියල්ල වැරදිද? ඔවුන් මොකද්ද කරන්න යන්නේ?
මේ සියලු දෙනාගේ විශේෂත්වය වන්නේ දේශපාලන පක්ෂය කුමක් වුවත් අනුර විරල ගණයේ දක්ෂතා සහිත මිනිසෙකු බව අනුරගේ ගමේ පිරිස විශ්වාස කරන බවය.
තිඹිරියාගම බණ්ඩාර
(විශේෂ සහාය ඩබ්. ප්‍රදීප් මහතාට)