ජනාධිපතිවරණය අවසානයේ පාර්ලිමේන්තු ඡන්දය හා තවත් ඡන්ද



ජනාධිපතිවරණය අවසන්ය. ඡන්ද රැස්වීම්වල ප්‍රකාශ වූ පරිදි, නුදුරු දිනයක දී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත. සංයුතියකින් තොර හා දෙසිය විසි පස් දෙනාම ප්‍රතික්ෂේප කරන ලද පාර්ලිමේන්තුවක් සමග කටයුතු කිරීම පහසු නැත. අභිමතාර්ථය අනුව ජනාධිපතිවරයා පත් කරන කැබිනට් මණ්ඩලයක් මගින් ආණ්ඩුව විසුරුවා හැරීමෙන් පසු භාරකාර රජය වශයෙන් ක්‍රියාත්මක විය  හැකිය.

අලුත් යුගයක් කෙරෙහි අසීමිත අපේක්ෂා තබාගැනීමට ඉක්මන් විය නැත. ජනාධිපතිවරණයට පසු පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වීමට නියමිතය. අධිකරණ නියෝගයක් පවා නිකුත් වී ඇති පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම අවශ්‍යයෙන්ම පැවැත්විය යුතුය. පලාත් සභා ක්‍රමය ද, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් අංගයකි. අවුරුදු දහයකින් පළාත් සභා ඡන්ද පවත්වා නැත. ක්‍රමය අහෝසි කිරීම කළ යුතු අතර එසේ නොකරන්නේ නම් පළාත් සභා ඡන්ද පවත්වා මහජන නියෝජිතයන් පත් කරගැනීමේ අයිතියක් මහජනතාවට තිබේ.

ජනාධිපතිවරයා අවුල් කරන මැතිවරණ සිතියම

ජනතාව තෝරාගත් විධායක ජනාධිපතිවරයාගේ සද්භාවය හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අතර පරතරයක් ඇත. හෙතෙම ජනතාව හමුවේ සවිස්තරාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තැබීය. මෙම ප්‍රතිපත්ති සමග ඉදිරියේ පවත්වන ඡන්දවලට ඇතුළුවෙන්නට සිදුවේ. දරුණු ආර්ථික අර්බුදයකට පසු සහනශීලී වාතාවරණයක් අපේක්ෂා කරන ලද ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි සැලකිය යුතු බරක් තැබීය. ජීවන වියදම අඩු කරන අතර ඉහළ ආදායමක් කෙරෙහි වැඩ 

කරන ජනතාව බලාපොරොත්තුවෙන් සිටී. තරුණන්ට රැකියා, අධ්‍යාපනයේ වෙනස්කම්, සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම හා පොදු ප්‍රවාහනය නැංවීම ඇතුළු විශාල පැතිරීමක ව්‍යුහාත්මක වෙනස්කම් සිදු විය යුතු බව ඔවුන්ගේ විශ්වාසය වී ඇත. මෙම සියලු කටයුතු දීර්ඝ කාලයක් නොවිසඳී පසෙක තිබුණු, එහෙත් වහාම උත්තර ලැබිය යුතු අංශ වශයෙන් දැක්විය හැකිය. 

එක පැත්තකින් ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සාක්ෂාත් කරන අතර අනෙක් පැත්තකින් ආර්ථික හා සමාජ දුබලතා මැඩ අලුත් හැරවුමකට යොමු කිරීම කිසිසේත් පහසු කාර්යයක් නොවේ. ධනය උපයන දැවැන්ත රාමුවකට ඇතුල් විය යුතුය. එපමණක් නොව එම රාමුව ලබන 2025 වසර තුළ අඛණ්ඩව පවත්වාගැනීමට සිදුවනු ඇත. මැතිවරණ සිතියම අනුව වරින් වර පවත්වන ඡන්ද ආර්ථිකයේ ස්ථාවර නැග්මට සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නට ඉඩ තිබේ. ඡන්ද වියදම හා ප්‍රචාරක යාන්ත්‍රණය තුළ හැසිරෙන ආකාරය වරින් වර ශ්‍රී ලංකාවේ සමාජ සන්සුන් භාවය හීන කරවනු ඇත. දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයක් තුළින් ඉලක්ක කරන සංවර්ධනය අත පසුවීමට සඳහා බලපාන ප්‍රධාන සාධකයකි. මේවා ජනාධිපතිවරයා මුහුණ දෙන මූලික අභියෝග අතර වේ.

අවංක චේතනාවකින් බලයට පත්වන ජනාධිපතිවරයාගේ සැලසුම් දුබල කරන්නට පක්ෂ දේශපාලනය හේතු විය හැකි අතර වෘත්තිය සමිති හා සමාජ මාධ්‍ය වලින් එල්ලවෙන පීඩනය කලබලකාරී ව්‍යුහයක් ඇති කරන බරපතල පදනමකි. ඡන්ද වේදිකාවේ ප්‍රකාශ වූ කරුණු, ප්‍රතිපත්ති  ප්‍රකාශනය ඉදිරි මැතිවරණවල දී තියුණු ලෙස ප්‍රශ්න කරන්නට ඉඩ තිබේ. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉතා සංයමයකින් හා ජනතාව සමග පවත්වන සෘජු සම්බන්ධතාව තරකොට තබාගැනීමෙකින් කටයුතු කරන්නට සිදුවනු ඇත.

2025 අයවැය ගැන පුරෝකථනයක්

ලබන වසරේ රජයේ මුල්‍ය තත්ත්වය ජනාධිපතිවරයා ගේ වගකීමකි. තාවකාලික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර වියදම ආවරණය කරගත හැක. නමුත් එහි සීමාවක් තිබේ. රජයේ ආදායම හා වියදම ගලපා සංවර්ධනය සඳහා කරන ආයෝජනය තක්සේරු කළ යුතුව ඇත. රේගු, දුම්කොළ හා මත්පැන් සහ ආදායම් බදු රජයට ආදායම සපයන ප්‍රධාන අංශයන්ය. ඕනෑම ස්ථානයකට පනවන බදු අවසානයේ දී ගෙවන්නේ පොදු ජනතාව  බව අමතක කළ යුතු නැත. සමාගමකට අලුතින් නංවන බද්දක් නිෂ්පාදනයට හෝ සේවාවට එකතුවේ. ගෙවන්නේ පාරිභෝගිකයාය. බදු පැනැවිය නොහැකි තැනට පත් වූ පසු ණය ගන්නට සිදුවේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත්වීම හේතුකොටගෙන මුදල් අච්චුගසන, දේශීය ණය ගැනීම පාලනය කර ඇත. මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන සාකච්ඡා වටයකින් පසු ඒවා වෙනස් කළහොත් දිගකාලයක් වේදනා විඳින්නට සිදුවේ. ඉක්මන් වෙනස්කම්වලින් හැඩගැසිය හැකි ආර්ථිකය දිගුකාලයක් ඇදෙන තැනට පත්වුවහොත් අලුත් වටයකින් ප්‍රශ්න ඇතිවේ.

අය වැය මගින් ඡන්ද වියදම වෙන් කළ යුතුය. මැතිවරණ කොමිසම ජනාධිපතිවරණ වියදම රුපියල් බිලියන දහයක් බව දක්වයි. ඡන්ද හතරක  දී දළ වශයෙන් රුපියල් බිලියන අසූවක් වැය කෙරේ.  මිලියන දෙකක ජනගහනයක් සඳහා අවුරුද්දකට අස්වැසුම සහන වෙනුවෙන් 2024 අය වැය වෙන් කළ මුදල රු. බිලියන 183 කි. දළ වශයෙන් මිලියනයක ජනගහනයක් සඳහා අස්වැසුම අවුරුද්දක් ගෙවන්නට මැතිවරණ කොමිසමේ වියදම පමණක් ප්‍රමාණවත්ය. ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙකුට වැය කළ හැකි මුදල ලෙස රුපියල් බිලියන 1.8ක් තීරණය විය. මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන් දහස් ගණනක් පලාත් සභා සහා පලාත් පාලන ආයතන සඳහා තවත් දස දහස් ගණනක් අපේක්ෂකයන්වැය කරන මුදල තක්සේරු කිරීම පහසු නැත. මෙම ධනය හුවමාරු කෙරෙන්නේ කෙසේද? ධනය වැය කරන අපේක්ෂකයන් ඒවා උපයා ගන්නා ආකාරය අනාවරණය කරගත නොහැකි අතර අතිශය දූෂිත තත්ත්වයක් බව නොකිවමනාය. මෙම කලු ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිරිසිදු පාලනයක් සඳහා අනපේක්ෂිත පමණක් නොව පාලනය කිරීම සඳහා සැලකිය යුතු ජවයක් යොදන්නට සිදුවේ.

ගමන හරවන්නට දැවැන්ත බලයක් 

ආර්ථිකයේ දිග පලල ජනතාව දන්නේ නැත.  අවුරුදු හතලිස් පහක් විවෘත ආර්ථික ප්‍රතිපත්ති තුළ කටයුතු කරන ලද නමුත් ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන විනිමය ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 12 ඉක්මවා නැත. අපනයන අංශය කලාපයේ අඩුම ස්වභාවය බව පෙනේ. 2007 සිට 2019 දක්වා ජාත්‍යන්තර සංවර්ධන බැඳුම්කර වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 17.6ක් ණයට ගෙන ඇත. අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියනයක් පොලිය පමණක් ගෙවන්නට සිදුවී තිබේ. විදේශගත ශ්‍රමිකයන් උපයා එවන මුදලින් හයෙන් එකක් නොඑසේනම් සම්පූර්ණ සංචාරක ඉපැයීම් විදේශ ණය පොලිය සඳහා ගෙවන පසු සිස්ටම් වෙනස් කිරීම පහසු නැත. 2007-19 කාලය තුළ ටට ලැබී ඇති ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 11.3 කි. 

ඉන්දියාවට ඇමරිකානු ඩොලර් බිලියන 200 ක විදේශ ප්‍රේෂණ අවුරුද්දකට ලැබේ. සෘජු විදේශ ආයෝජන වශයෙන් 2023 වසරේ දී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 46 ක් ගෙන්වා ගත හැකි වී ඇත. විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් හා සංචාරක කර්මාන්තයෙන් පමණක් රටට අවශ්‍ය ධනය උත්පාදනය කරගත නොහැකි බව දැක්විය යුතුය. මෙයට විකල්පයක් වශයෙන් කලාපයේ ඉහළට නැගෙන්නට අවශ්‍ය අතර එම ගමන සඳහා ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍ය වේ. 

1977 වසරේ දී විවෘත ආර්ථික ක්‍රමය සඳහා හැඩගස්සවන ලද ආකාරයට වඩා දෙගුණයක වේගයකින් ලිබරල් ආකෘතියක් රටට හඳුන්වාදෙන්නට සිදුවිය හැකිය. ඉදිරි වසර දහය හෝ විස්ස හෝ ඇතුලත අපනයනවලින් ලබන ආදායම අඩුම තරමින් ඇමරිකානු ඩොලර් බිලියන සියයක් පමණ උපයාගත යුතුය. අපනයනය කරන අලුත් අංශ ඇති කරන විවිධාංගීකරණයක් අවශ්‍යය. ශ්‍රී ලංකාවේ තේ රබර් සහ පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ වේ. ඇඟළුම් අපනයනයෙන් ලැබෙන විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහකි. සංවර්ධනය හා රට ඉහළට ඔසවා තබන සැලසුම් ගැන සාකච්ඡා කරන අතරවාරයේ මෙම ඉලක්කම්වල බරපතලභාවය පැහැදිලි කරගත යුතුව ඇත. මෙම පරාසය පුළුල් කරන දර්ශනයක් රටට වුවමනා කරන අතර ජනාධිපතිවරයා ගෙන් ජනතාව ඉල්ලන තරම එය බව සඳහන් කිරීම වැදගත් පැත්තකි.

හැමදාමත් සෝදා මඩට ඔබන රාජ්‍ය ව්‍යවසාය

ආණ්ඩුවක් බලයට පත් වූ පසු රජයට අයත් ව්‍යාපාර ශක්තිමත්ව දේශපාලනයෙන් තොරව ගෙන යන බවට ප්‍රකාශ වේ. පත්ව සිටින ජනාධිපතිවරයාගේ ද අභිලාෂය එය විය හැකිය. ඔහුගේ සහායට සිටි දක්ෂ කණ්ඩායමට රාජ්‍ය ව්‍යවසායවල මුල් පුටු භාරදෙනු ඇති අතර ඉතිහාසය ඔප්පුකර ඇති පරිදි දක්ෂ කණ්ඩායම රාජ්‍ය ව්‍යවසාය හසුරුවන උත්සාහය තුළ අසාර්ථකම පිරිස බවට පත්වේ. ඉන්දියාව, චීනය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය හෝ යුරෝපා රටවල් පුද්ගලික අංශයට ධනය ඉපැයීමේ කාර්‌්‍යභාර දී ඇත. ව්‍යාපාර මෙහෙයවන අතර ව්‍යාපාර වලට පනවන බදු රජයේ ආදායම වශයෙන් අත්පත් කරගනී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් ද එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු කණ්ඩායම සූදානම් ද යන ප්‍රශ්නය අප හමුවේ ඇත. කාර්යක්ෂමතාව, දූෂණ තුරන් කිරීම, මහජන යහපතට ආයතන හැසිරවීම යන සුමුදු වචනවලින් කියැවෙන නමුත් කිසිම ආණ්ඩුවක් රජයේ ආයතන පිලිගත හැකි මුල්‍ය ක්‍රමවේදවලට පවත්වාගෙන ගොස් නැත. නීති රීති හා රෙගුලාසිවලින් තවත් අක්‍රමවත් වී ඇත.

2007 සිට 2021 දක්වා කාලය තුළ රාජ්‍ය ව්‍යවසායවල අලාභය රැපියල් ට්‍රිලියන 1.5 ක් බව දැක්වේ. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ දේශීය ණය ප්‍රමාණය දහ හතකි. ණයවලින් දහයෙන් එකක පමණ ප්‍රමාණයක් රාජ්‍ය ආයතන හාරසිය ගණනක අලාභය බව දක්වන රටකට පැවැත්මක් තිබිය හැකිද?

අලුත් කර්මාන්ත ප්‍රතිපත්ති, කෘෂිකර්මයේ නවෝදය, රජයේ සංවර්ධන සැලසුම් කතා කරන අතරවාරයේ කළ හැකි හා කළ නොහැකි දේ වෙන්කර හඳුනාගෙන උපායශීලීව ක්‍රියාත්මකවීම අවශ්‍ය කෙරේ. රජයේ සේවක පිරිස අඩු කරන අතර තාක්ෂණය යහමින් උපයෝගී කරගෙන සැලසුම් වේගවත් කිරීම හැර අනෙක පියවරක් මෙහි දී නැත. ජනතාව අපේක්ෂා කරන ප්‍රමාණයක් තිබේ. දශක කිහිපයකට කලින් වටපිටාවට වඩා ලෝකයේ අනෙක් රටවල් දියුණු වී ඇති තරම ගැන අවබෝධයක් ඔවුන්ට ඇත. සොබා සෞන්දර්යයයෙන් අනූන ස්වභාවික විපත් අඩු ශ්‍රී ලංකාව පසුගිය කාලයේ දී ජාතික සංවර්ධන අවශ්‍යතා ඉදිරියේ සංකීර්ණ අර්බුදවලට මුහුණ පෑවේය. රට ආපසු ඉහළට ඔසවන බව දක්වා බලයට පත්වන අතරවාරයේ පැරණි අත්දැකීම්වලින් පාඩමක් ඉගෙන ගත යුතුය. ඉහළට ඔසවා තබන ජනී ජනයා අපේක්ෂා සාක්ෂාත් නොවනහොත් ආපසු හැරෙන බව අමතක කළ යුතු නැත.


  • සාරා කන්දෙගොඩ