ජලය නැතිවුවහොත් විදුලියට විකල්ප බලශක්ති යොදා ගන්න වේවි


 

විදුලිය කපා හැරීමකින් හා විදුලිය බිල වැඩි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා මෙම අර්බුදකාරී අවස්ථාවේ ජනතාවගේ සහයෝගය ද අත්‍යවශ්‍ය බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියයි.


විදුලිය අභියෝගයක් වී ඇත. වසර 10 කට පසු දකුණු ආසියාවේ ඇතිවූ දරුණුම නියඟය මෙයයි. තව සති දෙකක් පෑවිල්ල ගියොත් වසර 40 කට පසු ඇතිවූ දැඩිම නියඟය මෙය වෙනවා. දශක හතරකට පසු ඇතිවෙන දරුණු නියඟයක් වනු ඇත. නියඟය වගේම වර්ෂාවත් විශාල අභියෝගයක් වෙන අවස්ථා ඇත. කාල ගුණයේ අසමතුලිතතාව මෙයට හේතුවේ. අපිට රටක් වශයෙන් නිරිත දිග හා ඊසාන දිග මෝසමෙන් වර්ෂාව හිමිවෙයි. 2016 නිරිත දිග මෝසම අසමතුලිත විය. දින දෙකක් අපේ දිස්ත්‍රික්කයට ලැබුණ වැස්ස නිසා නාය යන තත්ත්වයක් උදාවිය. ඉන්පසු වර්ෂාව නොවීය. සාමාන්‍යයෙන් ඊසාන දිග මෝසමෙන් අපේ ජලාශ පිරී යයි. ගිය මෝසමෙන් අපට ප්‍රමාණවත් ජල ධාරිතාවක් නොලැබිණි. 


මේ වන විට ජලාශවල ජලය රැඳී ඇත්තේ සියයට 32ක ප්‍රමාණයකි. ගිය වසරේ මේ වකවානුව වනවිට ජලාශවල සියයට 70ක ජල ප්‍රමාණයක් රැඳී තිබිණි. අපේ මුළු විදුලි නිෂ්පාදනයෙන් සියයට 40ක් ජල විදුලියෙන් ලබාගනී. පරිසර හිතකාමී වශයෙන් ජල විදුලිය බෙහෙවින් වැදගත් ස්ථානයක් ගනී. කාලගුණය විසින් ජල විදුලියට විශාල බලපෑමක් එල්ල කරනු ලබයි. අපේ රටේ විදුලිය වැඩි වශයෙන් භාවිත කරනු ලබන්නේ සවස 6.00 සිටය. එම කාලයට විදුලිය මෙ. වො. 2400ක පමණ අවශ්‍ය වේ. 


මෙ.වො. 1900ක ප්‍රමාණයක් අප සතුව පවතී. නමුත් එයින් භාගයක්ම කාලගුණික තත්ත්වයන් මත වෙනස්වීම සිදුවේ. එසේ වුවත් මේ වනවිටත් විදුලිය සියයට 100ක්ම ලබාදීම සිදු කෙරේ. විදුලිය අද සමාජයට බොන වතුර ටික මෙන් බලපෑමක් ඇති කරයි. ඒ යටතේ අපට වගකීම් දෙකක් පැවැරී ඇත


ඉන් එකක් අඛණ්ඩව විදුලිය සැපයීමයි. අලුත් වැය බරක් ජනතාවට ලබා නොදීම දෙවැනි කරුණයි. මේ නියඟයේදී ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා විදුලිබල අමාත්‍යාංශය මාස ගණනාවක් තිස්සේ පියවර ගෙන ඇත. කැබිනට් පත්‍රිකා හතරක් ඉදිරිපත් කරනු ලැබිණි. ජනාධිපතිතුමාගේ ආපදා කමිටුවේ මා නිත්‍ය සාමාජිකත්වයක් ලබා ඇත. මෙම ප්‍රශ්නයට පිළියම් වශයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා හතර මෙසේය.


මෙ. වො. 60ක හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදු කිරීම පළමු යෝජනාවයි. රටේ අවශ්‍යතාවය මත හදිසි විදුලිය ගැනීමක් සඳහා ඇමැතිවරයාට පනතින් බලය පැවැරී ඇත. එහෙත් පළමු වතාවට හදිසි මිලදී ගැනීමක් සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබිණි. ඒකකයක් සඳහා රුපියල් 29 කට ආසන්න මුදලකට එයින් විදුලිය ලබාගත හැකිව ඇත. එහෙත් පරණ ගිවිසුම්වලට අනුව ඒකකයක් රුපියල් 30ට 40ට ගනු ලබයි. දැන් මෙගාවොට් 60ක විදුලිය ප්‍රමාණයක් අඩු මිලට තරගකාරීව ලබාගෙන ක්‍රියාත්මක වෙයි.


දෙවැනි යෝජනාව ඛනිජ තෙල්වලින් ක්‍රියාත්මක කරනු ලබන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන නිසිලෙස නොලැබීමයි. ඛනිජ තෙල් ලබා ගැනීමේ ප්‍රශ්නකාරී තත්ත්වයක් පසුගිය කාලය තුළ පැවතිණි. ඒ පිළිබඳව ඛනිජතෙල් ඇමැතිවරයා සමඟ සාකච්ඡා වට තුනක් පවත්වා කැබිනට් මණ්ඩලයට ඒකාබද්ධ සන්දේශයක් ඉදිරිපත් කරනු ලැබිණි. දැන් අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ඉන්ධන ලබා ගැනීම සිදුවේ.


තුන්වැන්න වූයේ මීට පෙර විදුලිය බිඳ වැටුණු අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරනු ලැබූ තිබිණි. ඒ අනු කමිටුව යෝජනා කර තිබුණේ. විදුලිබල මණ්ඩලයටම ජෙනරේටර් ලබා ගත යුතුය යන්නයි. ලබන මැයි මාසය වෙන විට එම ජෙනරේටර් ලබා ගැනීමට හැකි වේ. එයත් විදුලිය අර්බුදය අවස්ථාවලදී විශාල පිටිවහලක් වනු ඇත.


මෙ.වො. 225ක විලිය බාහිර ආයතනවලින් ලබා ගැනීම මීට පෙර ක්‍රියාත්මක වුණි. ඇඹිලිපිටිය පුත්තලම ප්‍රදේශවලින් මෙ. වො. 100 බැගින් විදුලිය ලබාගෙන තිබිණි. ඒ කොන්ත්‍රාත්තුව තවත් මාස 6 ක කාලයකට දීර්ඝ කර ඉන් පසුව එම ආයතන විදුලිබල මණ්ඩලයටම මිලදී ගැනීමට කටයුතු යොදා ඇත.


ඊට අමතරව ජනතාව සමඟ ද කරුණු කීපයක් කතා කිරීමට බලාපොරොත්තුවේ. විදුලිය මෙ. වො. 25ත් 50ත් අතර ප්‍රමාණයක් දවසකට එක් නිවසකින් විදුලිය ඉතිරිකර දීමට ජනතාව ඉදිරිපත් වෙන්නේ නම් එය ඉමහත් සහනයක් වනු ඇත. මීට අමතරව කර්මාන්ත ශාලා සතුව මෙ. වො. 500ක ජෙනරේටර් ඇත. ඔවුන් සඳහා ඒකකයකට රුපියල් 36.00ක මුදලක් ලබාදීමට සැළසුම් කර ඇත. ලොකු ජෙනරේටරයක නිෂ්පාදන වියදම රුපියල් 20.00ක් පමණ වෙයි. කුඩා ජෙනරේටරයක නිෂ්පාදන වියදම රුපියල් 30.00ක් පමණය. කුඩා ජෙනරේටර් හිමි කර්මාන්ත ශාලාවලට ඒකකයකට රුපියල් 6.00ක ලාභයක් ගත හැකිවේ.


මෙයින් මෙ. වො. 200ක පමණ ප්‍රමාණයක් ජාතික විදුලිය පද්ධතියට සම්බන්ධ වී පවතී. අනෙකුත් කර්මාන්ත ශාලාවලින්ද මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. ජාතික ආපදා අවස්ථාවක් ලෙස සලකා සහය දක්වන ලෙසට ඉල්ලා ඇත.


තවත් කරුණක් නම් පළාත් පාලන ලේකම්වරු කොළඹට කැඳවා විදුලි ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කර ඇත. රටේ වීදි ලාම්පු ලක්ෂ 5ක් පවතී. මේ වීදි ලාම්පු ඇතැම් විට ප.ව. 5.00 සිට පසුවදා අලුයම් 6.30, 7.00 දක්වා දැල්වෙන අවස්ථා ඇත.


මේ කාලය දිනකට පැයක් වශයෙන් විදුලි ලාම්පුවලට වැයවන විදුලිය ඉතිරි කර දෙන ලෙසට 
තවද මේ පවත්නා හදිසි තත්ත්වය යටතේ නිවසක විදුලි බල්බ එකක් දෙකක් දිනකට දැල්වීම අඩුකළ හැකි වේ. ජනවාරි බිල කලින් මාසයට වඩා සියයට 10ක් අඩුකර ගන්නා නිවසකට විදුලිබල මණ්ඩලයෙන්ද සියයට 10 ක් බිල කපා හැරීමට තීරණය කර ඇත.
උදාහරණයක් වශයෙන් මාසික විදුලි ඒකක 100ක් පාවිච්චි කරන කෙනෙක් එය ඊළඟ මාසයේදී ඒකක 90ට අඩුකර ගතහොත් ඔහුට සියයට 10ක වට්ටමක් හිමිවේ. මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන්නේ විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට ජනතාව පෙලඹවීමක් වශයෙනි.


මීට අමතර බොහොමයක් නගරවල විදුලිය සැරසිලි දක්නට ලැබෙයි. 


බොහෝ විට තොරණක් ලෙසින් විදුලි බුබුළු දල්වා තිබෙන අවස්ථා ඇත. මේ අර්බුදකාරී අවස්ථාවේ එලෙස විදුලි බල්බ දැල්වීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරමු. 


වායු සමීකරණය එස්කිමෝවරු මෙන් පාවිච්චි කිරීම බොහෝ විට සිදුවන්නකි. වායු සමීකරණ අංශය 26ංට යොදා ගන්නා ලෙස පොදුවේ ඉල්ලා සිටී.  


මේ අවස්ථාවේ ජලය පාවිච්චි කරනු ලබන්නේ ඉතාම පරෙස්සමෙනි. විදුලිය කොයිතරම් වැදගත් වුවත් පානීය ජල අවශ්‍යතාවට ප්‍රමුඛ ස්ථානය සැලසෙයි. මාඋස්සාකැලේ ජලය අපට අවශ්‍ය පරිදි යොදා ගත නොහැකිය. එහිදී මූලික ස්ථානය ලබා දෙන්නේ බීමට ගන්නා ජලය සඳහාය.


ජලය නොමැති වුවහොත් සම්පූර්ණ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හා ගල්අඟුරු යොදා ගැනීමට සිදුවෙයි. විදුලි බිල වැඩි නොකර පවත්වාගෙන යාම රජයේ අරමුණ වී ඇත.


ලබන ජුනි දක්වා වැසි නොමැති වුවහොත් බිලියන 50ක මුදලක් අමතරව වියදම් කිරීමට සිදුවනු ඇත. ලබන අප්‍රේල්, මැයි මාසවල වැසි නොලැබුණහොත් මේ මුදල අවශ්‍ය බවට අමාත්‍ය මණ්ඩලය දැනටමත් දැනුම්වත් කර ඇත. ඒ වියදම ලබාදීමට රජය එකඟතාව දක්වා ඇත.


පවත්නා මේ තත්ත්වය කාගේවත් වරදක් හෝ දුර්වලතාවක් හෝ නොවේ. මේ ආපදා තත්ත්වයකි.
ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ විදුලිය අර්බුදයේ බරපතළකම ඇඟට ගන්නා ලෙසටයි. 


 

 

දැනට පවතින නියඟයට හා ඉදිරියේ ඇතිවිය හැකි නියං තත්ත්වයකදී ඇතිවිය හැකි විදුලිය අර්බුදයකට මුහුණදීමට රජය පියවර නොගත් බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නි ආරච්චි මහතා මෙසේද කීය.


මේ නියඟයෙන් ඇතිවිය හැකි විදුලිය අර්බුදය පිළිබඳව වෘත්තීය සමිතියක් හා විදුලිය ඉංජිනේරුවන් වශයෙන් විටින් විට බලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා. දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට අවශ්‍යතාවක් තිබුණේ නැහැ.


එක වසරක රටේ විදුලි ජනනය විදුලි ඒකක බිලියන 14ක ප්‍රමාණය ඉක්මවනු ලබනවා. ඒ නිසා එක ඒකකයක ජනන වියදම රුපියලකින් ඉහළ ගියොත් එය ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 14ක බලපෑමක් වෙනවා. නමුත් අද ගනිමින් සිටින තීරණ නිසා විදුලිය ජනන ඒකකයක මිල රුපියලකින් නොව රුපියල් 10.00කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ යන තත්ත්වයකට පත්වී තිබෙනවා. විදුලිය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගන්නා තීරණ රටේ අනාගත පරපුරට මහත් අනර්ථකාරී බලපෑම් එල්ල කරනු ලබනවා.


වත්මන් විදුලිය අර්බුදය ඇතුළු මෑත දශක දෙක තුළම මුහුණ දුන් විදුලිය අර්බුදවලට හේතුව කාලගුණය පමණක් නොව උවමනාවෙන්ම අර්බුද නිර්මාණය කිරීමක් ලෙස සඳහන් කළ හැකියි. 


සුදුසුකම් සහ පුහුණුව ලැබූ වෘත්තිකයන් විසින් දිගුකාලීනව අඩු වියදමට විදුලිය ජනනය කිරීම සඳහා වූ සැලසුම් ඉදිරිපත් කර තිබුණත් එය ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ඒ වෙනුවට මිල වැඩි බලාගාරවලින් නිපදවන විදුලිය ජාතික පද්ධතියට එකතු කරවීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා.


වර්තමාන අර්බුදය හමුවේ මේ වනවිට උද්ගත වී ඇති විදුලිය අර්බුදයට පිළියම් ලබාදීමේ මුවාවෙන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව වැඩි මිල විදුලිය බලාගාර යෝජනා වැල නොකැඩී ගලා එමින් පවතිනවා. ඊට අමතරව මේ වැඩි මිල බලාගාර යෝජනා ජනන සැලැස්මට බලහත්කාරයෙන් රිංගවීමටත් ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට තර්ජනය කිරීමට ද උත්සාහ කරනවා.
තමන් වටා ගැවසෙන ව්‍යාපාරිකයන්ට සවන් දෙන බොහොමයක් දේශපාලනඥයන් වෘත්තිකයන්ට අවධානය යොමු කිරීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැහැ. ඒනිසා විදුලිය ක්ෂේත්‍රයේ අර්බුදයත් අතීතයෙන් පාඩම් ඉගෙන නොගෙන නැවත නැවතත් ඒ වැරැද්දම අනාගතයටත් සිදු කරමින් සිටිනවා. 


ජාතික විදුලිය අවශ්‍යතාවෙන් හරි අඩකට වඩා ඒකකයක් රුපියල් 5.00 ක් වැනි වියදමකට සපයන නොරොච්චෝල බලාගාරය ඉදි කිරීම වසර 15කින් පමා කිරීම නිසා ජාතියට සිදුවූ පාඩුව රුපියල් බිලියන 900ක් වශයෙන් ගණන් බලා ඇත. 


සාම්පූර්වල ඉදිකිරීමට යෝජිතව තිබූ මෙ. වො. 500ක බලාගාරය නවතා ඒ වෙනුවට ඉදිකිරීමට යෝජිත කෙරවලපිටිය හා හම්බන්තොට බලාගාරවලට ඉදිරි වසර 4 සඳහා ඩීසල්වලට රුපියල් බිලියන 160ක වියදමක් දැරීමට සිදුවේ.


මේ තත්ත්වයන් ගැන සලකා බැලීමේදි රටේ සමස්ත විදුලිය බල අවශ්‍යතාව සපුරා ගත යුත්තේ ජල විදුලිය, ගල් අඟුරු ඇතුළු විශාල තාප විදුලි බලාගාර මෙන්ම සූර්ය හා සුළං බලාගාරවලිනි. මේවා ආර්ථික වශයෙන්ද යහපත්වේ. 


සුළං හමන විට පමණක් ජනනය වන සුළං විදුලියත් දහවලට පමණක් නිෂ්පාදිත සූර්ය විදුලියත් තාක්ෂණික වශයෙන් සම්බන්ධකරගත හැකි සීමා ඇත. සූර්ය තාපය නොමිලයේ ලැබුණත් ඒකකයකට රුපියල් 20ක් පමණ වැය කිරීමට සිදුවේ.
රටේ ආර්ථික මට්ටම, කර්මාන්ත සඳහා අඩු වියදමට විදුලිය සැපයීම, අප විදුලි පද්ධතියේ සුවිශේෂී භාවය ආදී කරුණු පිළිබඳව සැලකිල්ලට ගෙන ක්‍රම ක්‍රමයෙන් සම්පූර්ණයෙන් පුනර්ජනනීය විදුලිය වෙත යාමේ සැලැස්මක් අප ක්‍රියාත්මක කළ යුතුවේ.
ස්වභාවික වායු බලාගාර ඉදිකරන බව ප්‍රකාශ වී ඇතත් ඒ සඳහා මෙතෙක් හරියාකාර සැලැස්මක් නැත. මෙවැනි පර්යන්තයක් ඉදි කිරීමට අවම වශයෙන් වසර 4 කාලයක්වත් ගතවේ.


මේ පවත්නා අර්බුදයට විසඳුමක් ලෙස අවම වශයෙන් වරායවල් ආශ්‍රිතව තවත් ගල් අඟුරු බලාගාර දෙකක්වත් ඉදිකළ යුතුවෙයි. ත්‍රිකුණාමලය හා හම්බන්තොට ඒ සඳහා සුදුසුම ස්ථාන වෙයි.


එසේ නොමැතිව විදුලිබල අර්බුදයට වෙනත් විසඳුමක් දැකිය නොහැකිය. ස්ථිර විසඳුමක් ලබා නොගතහොත් ඉදිරියේදී ඇතිවන විදුලිය අර්බුද සඳහාත් තාවකාලික විසඳුම් ලබාදීමට සිදුවනු ඇත. එහි වාසිය ඇතැම් දේශපාලනඥයන්ගේ හිතවත් ගෝල බාලයන්ටය. රටේ ජනතාවට නොවේ.