ජවිපෙ රතු පාට රතු පාටම තමයි


මහ වැසි මැද වුවද දේශපාලන ලෝකය ගිනියම්ය. උණුසුම් මතවාද ප්‍රහාර ඒ මේ අතට එල්ලවෙයි. ජනතා විමුක්ති පෙරමුණ තුළ වෙනම හැඩයකින් මෙන්ම අනන්‍යතාවකින් යුත් නිර්මාණශීලී නායකයකුවන දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සමග මේ කතාබහ ද එයට සාක්ෂියකි. 


?ඡන්දත් නෑ. ඔබේ පක්ෂය සද්දත් නෑ.


පිළිතුර- මාර්තු 9 පළාත් පාලන ඡන්දය කල් දැම්මේ මෙතෙක් රට පාලනය කරපු දැනටත් පාලනය කරන ඊනියා ප්‍රභූ කල්ලියට ඡන්දෙට මුහුණ දෙන්න බැරි නිසා, ඡන්දෙන් පරදින නිසා, ඔවුන් ඡන්දෙ කල්දාලා ඡන්දෙන් පලා ගිහිල්ලා. දැන් හැංඟෙන්න තැන් හොය හෙයා ඉන්නවා. මේක ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිද්ධ වෙච්ච දෙයක්. ගෙවුණු අවුරුදු 75 පුරාම ඡන්දෙකදී පාලකයෝ මේ විදියට පලා ගිහින් නෑ. මෙහෙම පලා යන්න හේතුව තමයි මේ ඊනියා ප්‍රභූ කල්ලියට තව දුරටත් ඡන්දෙන් දිනන්න බැරිකම. මීට කලින් හැමදාම බලයේ ඉන්න කල්ලියට දිනන්න බැරි වුණාම විපක්ෂය ලෙස නැගී හිටපු ඒ ගොල්ලන්ගේම අනික් කල්ලියට පුළුවන්කම තිබුණ ජයග්‍රහණය කරන්න. දැන් දෙගොල්ලන්ටම බෑ. 


ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික

?මගේ ප්‍රශ්නය වුණේ ඔබලාගේ නිහඬකම ගැනයි ?


පිළිතුර- පොඩ්ඩක් ඉන්න. මේ විග්‍රහයත් ඔබේ ප්‍රශ්නයට අදාළයි. ලෝක ඉතිහාසයේ කොතැනකවත් ජනතාව පීඩාවට පත් කරමින් බලයේ හිටපු පීඩක පාලක කල්ලිය පීඩිත ජන කණ්ඩායමකට ලෙහෙසියෙන් බලය දීලා නෑ. ඉතින් ඒක තමයි මේ ගොල්ලෝ පෙන්වමින් ඉන්නේ.


?ඔබලා ඒ දිහා බලාගෙන ඉන්නවා?


පිළිතුර- නෑ. අපි එහෙම ඉන්නේ නෑ. අපි ඊළඟ අදියරට පියවර තියලා තියෙනවා. 


?මොකක්ද? ඒ පියවර


පිළිතුර - අපේ දේශපාලන ගුරුවරුන් අපට උගන්වලා තියෙනවා. හොරකමින් රට කොල්ලකමින් ජනතාව හූරාකමින් ඉන්න පාලකයෝ බන්දේසියක තියලා බලය දීලා යන්නේ නෑ කියලා. ඒක මේ වෙලාවේ ශ්‍රී ලාංකේය ජනතාවට අත්දකින්න ලැබෙනවා. එතකොට තියෙන ඊළඟ පියවර තමයි සංවිධාන අරගලය කියලා කියන්නේ.


?ඒ සංවිධාන අරගලයේ හැඩය?


පිළිතුර- දැන් මතවාදි අරගලය කියන්නේ රැස්වීම් තියනවා, ජනතාවට කරුණු කියනවා. ජනමාධ්‍ය මගින් මෙන්ම විවිධ ක්‍රම මගින් කියනවා. ඒකට දේශපලනයේ දී කියන්නේ මතවාදි අරගලය කියලා. දැන් අපි ඒ මතවාදි අරගලය දිනලා තියෙන්නේ. එතකොට ඊළඟ අරගලය තමයි දිනපු මතවාදී අරගලය ආරක්ෂා කර ගනිමින් සංවිධාන අරගලය පෙරට ගන්න එක. දැන් අපි ඒ සංවිධාන අරගලය පෙරට ගන්න අවශ්‍ය කරන වැඩ කටයුතුවල තමයි නිරතවෙලා ඉන්නේ.


?‘මාර්තු 9 ඡන්දය නොදුන්නොත් බලාගෙනයි’ කිව්වා. ‘අප්‍රේල් 24 ඡන්දය නොදුන්නොත් බලාගෙනයි’ කිව්වා. මම ඒකයි කිව්වේ. ‘බලාගෙන ඉන්නවා මිසක් වැඩ නෑ’ කියලා. 


පිළිතුර- බලාගෙන ඉන්නේ ඊළඟ අදියර දිහා. මතවාදී අරගලය ජයග්‍රහණය කළාට පස්සේ ඡන්දෙ නැත්නම් ‘බලාගන්නවා’ කියන්නේ ඊළඟ අරගලය. ඒක පැහැදිලි කළෙත් මෙහෙමයි. ජනමතයක් කියන්නේ විසිරිලා පැතිරිලා තියෙන දෙයක්. ඒ මතයට ආපු ජනතාව සංවිධානය කරන්න ඕනෑ ඉදිරියට යන්න නම්. ඒ වෙනුවෙන් අපි රටපුරාම ගම්වල ජනයා සංවිධානය කරනවා ‘කොට්ඨාස සභාව’ කියන ආකෘතිය ඇතුළේ. ඒ කොට්ඨාස සභාවට පුළුවන් ජනතාවත් එක්ක බද්ධවෙලා ඕනෑම තීරණයක් ගන්න. ඒ වැඩපිළිවෙළේ අපි අර්ධයක් මේ වෙනකොට සම්පූර්ණ කරල තියෙනවා. ඉතිරි අර්ධය දැන් ක්‍රියාත්මක කරමින් තියෙනවා. තව පැත්තකින් වෘත්තීය සමිති ව්‍යාපාරය මේ වෙන කොට ඒක විසිරිලා තිබුණේ. දැන් වෙනකොට ඒක වෘත්තීය සමිති එකමුතුව නමින් එකතුවී සටන් පාඨ ඉදිරියට දාලා තියෙනවා.


?පහුගිය දවස්වල මහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නව කියලා කිව්වම ගහපු පදයකුත් නෑ බෙරේ පළුවකුත් නෑ.


පිළිතුර- ඒකේ සාර්ථකත්වය ජනතාවට පෙනෙන්නෙ ඉදිරියෙදී ඒක එහෙම එක පාරට පේන්නෙ නෑ. එහෙම පෙන්වන්න ඕනැත් නෑ. ජනතාව සමග රැඳෙමින් ජනතා සහය ලබා ගනිමින් තමයි මේක ඉස්සරහට ගන්නේ. එහෙම නොවුණොත් මේක මර්දනය කරන්න පියවර ගන්නවා. ඒ නිසා දැන් අවශ්‍ය වෙලා තියෙනවා මහා දැවැන්ත බහුජන අරගලයක්. ඒක ගොවි ජනතාව සංවිධානය කරලා පෙරට ගැනීමෙන් ශිෂ්‍ය ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය පෙරට ගැනීමෙන් කොට්ඨාස සභා පෙරට ගැනීමෙන් ඒකාබද්ධව සිද්ධ කළ යුතු දෙයක්. ඒ කටයුත්තට ජනතාවට අවබෝධය දෙමින් පෙළ ගස්වමින් තමයි දැන් ඉන්නේ. මොකද ජනතාවට මතවාදී අරගලයෙ වැඩ කරලා තමයි හුඟක් පුරුද්ද තියෙන්නේ. සංවිධාන අරගලය පෙරට අරගෙන ඊළඟ පියවර හැටියට තමයි අවසාන සටනට එන්නේ.


?අවසාන සටන?

පිළිතුර- ඔව් ඇයි? අවසාන සටන තමයි. ඒකට එන්නේ මෙහෙමයි. උදාහරණයක් ගත්තොත් 1962 දී ආපු ඉල්ලීම් 21 ව්‍යාපාරය වගේ 1953දී ආපු හර්තාලය වගේ. ඒ සියලු සටන් කැටිකර ගත්තු දියුණු සටන් මාදිළියක්. ‘විදුලි බිල අඩු කරපන්, වැටුප වැඩි කරපන්, බඩු මිල අඩු කරපන් රැකියා නැති අයට ඉඩම් නැති අයට ඒවා ලබා දියන්’ ආදි පොදු ජනයාගේ අරගලය. ඒ පොදු ජනයාගේ ඉල්ලීම් ද ඉල්ලමින් වෘත්තිය සමිති ව්‍යාපාරයේ දේවලුත් ඉල්ලමින් ගොවිජන ව්‍යාපාරය ධීවර ජනයා ඒකාබද්ධ කරගත් දැවැන්ත ආර්ථික අරගලයක්. ඒක තමයි මේ පාලකයන්ට දෙන්න තියෙන උත්තරය. ඒකට අපි වැඩ කරගෙන යනවා. ඒක විටෙක පේනවා. විටෙක පේන්නේ නෑ. 


?එහෙම දැවැන්ත අරගලයක් කරන්න ජවිපෙට දැන් පුළුවන්ද? මොකද රතුපාට ජවිපෙ වෙනුවට දැන් තියෙන්නේ රෝස පාට මාලිමාවක්?


පිළිතුර- ඒක මෙහෙමයි, ජවිපෙ රතුපාට රතුපාටම තමයි. ඒක නිසා තමයි මෙවර මැයි දිනයේ දී රතුපාට යස අගේට පෙන්නුවේ. ජාතික ජන බලවේගය කියන්නේ ජවිපෙත් ඉන්න ඉතා පුළුල් ව්‍යාපාරයක්. අන්න ඒ පුළුල් ව්‍යාපාරය තමයි මේ අරගලයට නායකත්වය දෙන්නේ. ඔබ ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. මැතිවරණ අත්හැරලා පාලකයො පලා යනකොට එහෙම අත්දැකීමක් මීට පෙර නෑනේ. අපිත් එහෙම අත්දැකීම් ලබමින් හැබැයි අපි කලබල වෙන්නෙත් නැතිව ශක්තිමත්ව මේක ඉස්සරහට ගන්න ඕනෑ. ඒක කවුරුන් කියන  විදියට දඩි බිඩියට කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. ඒ වගේම අනන්තයට කල්දාන එකකුත් නෙවෙයි. 


?මාලිමාව ඉදිරිපිට රඟන අය දිහා බැලුවම ජවිපෙ ඉතිහාසයක් සහිත කේඩරය අතරමං වෙලා අසරණ වෙලා කියලා මම කිව්වොත් ?


පිළිතුර - මෙච්චර ජයග්‍රහණ ලබලා තියෙන වෙලාවක අසරණ වෙලා තියෙන්නේ පාලකයොයි ඒ වටා සිටින කල්ලියි. ඒක ඔබට පේනවා මැයි දිනය බැලුවා නම්. මැයි දිනයේ දී බලන්න ඕනැ අපි දිහා නෙවෙයි. අනික් අයට මොකද්ද වෙලා තියෙන්නේ කියලයි. සියලුම දෙනා අනාථයි. අපි තමයි ඉහළම ජයග්‍රහණයේ කෙළවරේ ඉන්නෙ. මේ වෙනකොට ලෝකය තුළවත් මේ මට්ටමට පොදුජන ජනතා බලයක් ගොඩනගල නෑ. රාජ්‍ය බලය ඉදිරියේ මේ තරම් ජන බලයක් ගොඩනංවපු තැනක් නෑ. ජවිපෙ සාමාජිකයා ඇතුළු මුළු මහත් මාලිමාවම ඉහළ තෘප්තිමත් ජයග්‍රාහි මනසකින් ඉන්නේ. තමන්ගේ බලය හමුවේ පාලකයන් පලා යනකොට ජනතා විමුක්ති පෙරමුණේ අයයි ජාතික ජන බලවේගයේ අයයි මොකද උකටලී වෙන්නේ සතුටු වෙනවා මිසක්.


?පාලකයන් පන්නා දැමූ ඔය ඔබ කියන මහා අරගලයේ ශේෂ පත්‍රය ගත්තොත් මහා විජයග්‍රහණයක් ද තියෙන්නේ ?


පිළිතුර- අරගලයේ ජයග්‍රහණ තියෙනවා. අරගලය විසින් තමයි පොදු මහජනයාට පණ දුන්නේ. ඒ නිසා ඒ අරගලය විසින් පුබුදුවාලු ජනතාව මේ පාලකයන් පලවා හැරීමට පෙළ ගැහිලා ඉන්නේ. ඒක තමයි අරගලයේ ජයග්‍රහණය. අරගලයක් කියන්නේ එක අදියරකින් දිනන එකක් නොවෙයි. අදියර ගණනකින් තමයි ජයග්‍රහණ එන්නේ. හැබැයි ඒ අරගලය ඇතුළේ තව ප්‍රශ්න තිබුණා. 


?මොනව ද ඒ ප්‍රශ්න?


පිළිතුර- ඒ ප්‍රශ්න තමයි ඕනෑම අරගලයක් පිබිදීගෙන එනකොට ප්‍රතිගාමී බලවේග වහාම මැදිහත්වෙලා ඒ අරගලය නොමග යවන්නත් කටයුතු කරනවා. එවැනි ක්‍රියා මාර්ගත් මේ අරගලය ඇතුළේ තිබුණා. රට ඇතුළේ මෙහෙම අරගලයක් එනකොට ඇමෙරිකානු තානාපති කාර්යාලය චීන තානාපති කාර්යාලය, ඉන්දියන් තානාපති කාර්යාලය, රෝ එක, සීඅයිඒ එක නිකම් බලාගෙන ඉන්නේ නෑ. ඒගොල්ලන්ට ඕනෑ ලයින් එකට ඒක තල්ලු කරගන්න. ඒ අයත් වැඩ කරනවා. මේ අරගලය ඇතුළේ අපිත් වැඩ කරනවා. පොදු ජනතාවත් මේකට සම්බන්ධ වෙනවා.’


?ඔබ කියන විදියට රෝ එක, සී.අයි.ඩී. එක, එක්ක ඔබලාත් අරගලය ඇතුළේ හිටියා.


පිළිතුර - අරමුණු වෙනස්. නමුත් මම කියපු විදියට තමයි ඕව වෙන්නේ.


?විමල් වීරවංශ ඔහුගේ ‘නවය සැඟවුණු කතාව’ පොතෙන් කියන්නෙත් ඔය ඔබ කියන කතාවමයි. නමුත් ටිල්වින් සිල්වා කිව්වා ‘ඒවා විමල්ගේ හිතලු’ කියල?


පිළිතුර - විමල් එළි දක්වපු පොත මම තවම දැක්කෙත් නෑ. කියෙව්වෙත් නෑ. 


?පොත ලැබුණොත් කියවනව ද?


පිළිතුර - ඔව් බලන්න බලාපොරොත්තුවක් තියෙනවා. තාම මට පොත හොයාගන්න ලැබුණේ නෑ. ඒක වෙනම කාරණාවක්. විමල් කියපු එක නොවෙයි මම කියන්නේ. මේ වගේ අරගලයක් ඉදිරියට එනකොට ඒක යහමග යවන්න ඒක ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට හසුරුවා ගන්න ලංකාවේ ඉන්න ඇමෙරිකානු තානාපති කාර්යාලයයි ඒ ගොල්ලන්ගේ බුද්ධි අංශයි මැදිහත් වෙන්නේ නැත්නම් එහෙනම් ඒක ඇමෙරිකාව නොවෙයි. ඒ වගේ වෙලාවක අතපය බැඳගෙන ඒ ගොල්ලෝ පැත්තකට වෙලා ඉඳියි කියලා හිතනව නම් එයාගේ මොළේ වෙනම පරීක්ෂා කරන්න ඕනෑ.


?ඔබ ඔය ප්‍රහාරය එල්ල කරන්නේ ඔබේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට.


පිළිතුර- නෑ. අපේ ටිල්වින් සිල්වා සහෝදරයා විමල්ගේ පොත ගැන කිව්වා මිසක මේ ඇමෙරිකන් කතාව ගැන මුකුත් කිව්වේ නැහැනේ. ටිල්වින් සහෝදරයා විමල්ට අදාළ දේවල් ටිකක් තමයි කිව්වේ. කිසිම කෙනෙකුට මේකේ කියන්න පුළුවන් කමක් නෑ. මුකුත්ම වුණේ නෑ කියලා. අරගලයට චීනය මැදිහත් වෙනවා. ඇමෙරිකාව මැදිහත් වෙනවා. ඉන්දියාව රෝ එක මැදිහත් වුණා. එහෙම මැදිහත් නොවී රටක විශේෂයෙන්ම ඉන්දියාව කට උඩ තියාගෙන භූගෝලීය දේශපාලන කතාවක් මෙතැන තියෙද්දී ඒ ගොල්ලෝ පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ නෑ. ඒ ගොල්ලන්ගේ මැදිහත්වීමෙන් තමයි රනිල් වික්‍රමසිංහව මෙතැනට පූට්ටු කරන්නේ. ඒ ගොල්ලන්ගේ මැදිහත්වීමෙන් තමයි ගෝඨාභයට යන්න කියන්නෙ. ගෝඨා යන්න එක හේතුවක් අරගලය. අනික් එක ඔය කියන බාහිර මැදිහත්වීම් එහෙම නැතිව ගෝඨා බබා වගේ වෙඩි තියන්නේ නැතිව ගියා නොවෙයි. එයාට අරගොල්ලොත් කියනවා ‘ඔයා පොඩ්ඩක් පැත්තකට වෙන්න කියලා. එහෙම තමයි ඒවා වෙන්නේ. තෙල් ප්‍රශ්නයයි, ගෑස් ප්‍රශ්නයයි රටේ ඇති වෙච්ච පෝර ප්‍රශ්නයයි ඒවා මත අරගල නිකම්ම වගේ එන්නේ නෑ. ඒවා තමන්ට ඕනෑ පැතිවලට ගෙනියන්න තමයි රටේ තියෙන දේශපාලන පක්ෂවලට මේකට සම්බන්ධ වෙන්න එපා කියලා ඒ ගොල්ලෝ මුලින්ම කිව්වේ. ඒ ගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට මේක ගෙනියන්නම තමයි එහෙම කළේ. ඇයි එහෙනම් ඒ අරගලය පාර්ලිමේන්තුව පන්නලා දාන්න වැඩ නොකළේ ? පාර්ලිමේන්තුව තියා ගන්නෙම ගෝඨව යවලා පාර්ලිමේන්තුවෙන් රනිල්ව ගේන්න.


?ඔබ සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුව වට කරන්න ගියා ?


පිළිතුර- අපිට මේ ‘ලයින්’ එක තේරුණානේ. අපේ සටන් පාඨ තුළ මුලින්ම තිබුණේ ‘පාර්ලිමේන්තුව විසුරවනු’ කියලයි. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ සටන් පාඨවල තිබුණේ පාර්ලිමේන්තුව විසුරවනු කියලයි. ඒකේ මැදට තමයි ‘ගෝඨා ගෝ හෝම්’ කියන එක පැන්නේ. ගෝ හෝම් සටන පාර්ලිමේන්තුව විසුරවන සටන දක්වා ආවේ නැත්තේ පාර්ලිමේන්තුව තියාගන්න ඕනෑ. ඒ ගොල්ලන්ට රනිල් වික්‍රමසිංහව ගේන්න හරිද? ඒකට තමයි ඒක තියා ගත්තේ. ඒක තුළින්ම පේනවා කතාව මොකක්ද කියලා. මෙතැන මේ ‘සිස්ටම් චේන්ජ්’ එකක් කරන්න ඕනෑ නම් ගෝඨාව විතරක් යවලා බෑනේ. පාර්ලිමේන්තුවත් යවන්න ඕනෑ වහාම. එහෙනම් ජුලි මාසේ 9 වැනිදා ගෝඨා ගියාට පස්සේ පාර්ලිමේන්තුව දිහාට හැරෙන්න එපැයි. නමුත් එහෙම වුණේ නැහැනේ. පොදු ජනතාවට ඒ ඕනෑකම තිබ්බා. හරිද? නමුත් අර බාහිර බලවේගවලට තිබුණේ වෙන අරමුණක්.


?ඔබ කියනවා ජනතාව තුළ දැනටමත් ඔබලා ජයග්‍රහණය කරලා කියලා. එහෙම නම් ඇයි ඔබලාට අරගලය ඒ දිශාවට යොමු කරන්න බැරි වුණේ ?


පිළිතුර - අරගලය ආවෙම ප්‍රතිගාමී බලවේග. මේක නිර්පාක්ෂිකයි කියමින්නේ. නමුත් අපේ කණ්ඩායම් එතැන හිටියා. ඒ වැඩ කළේම අරගලය පාර්ලිමේන්තුව පැත්තට හරවා ගැනීමේ ඕනෑ කමක් එක්කම. ඒ උත්සාහය අපි ගත්තා. නමුත් ඒක සාර්ථක කරගන්න බැරිවුණා. අතරමග දී ඒ අරගලය ගබ්සා කළා.


?අර්බුදය උත්සන්න වෙනකොට අගමැති ධුරයට සජිත් ප්‍රේමදාසට වගේම අනුර කුමාරටත් ආරාධනා කළා. ඒ වෙලාවේ අනුර කුමාර ඒක බාර ගත්තාම අද ගබ්සා කතා නෑ. 


පිළිතුර - මෙහෙමයි, සජිත් ගැන අපි දන්නේ නෑ. අපි පාර්ලිමේන්තුවේ තිබුණ ජනාධිපති තරගයට ඉදිරිපත් වුණා. පාර්ලිමේන්තුව අපට ඒක දුන්නේ නැහැනේ.


?ඒක වුණේ අගමැතිකම බාරගන්න කියලා කිව්වට පස්සේ ?


පිළිතුර- ඔව්! එතැනදී අපි ගෝඨා යටතේ අගමැතිකම ගන්නේ නෑ. ඒකට අපි ක්‍රියාවලියක් කිව්වා. ඒ ක්‍රියාවලිය වෙන්නේ නැතිව අපි මේ නිකම් අනුන්ගේ මඟුල් කරගහන්නේ නෑ. හරිද? අනිත් එක ඒක වෙන්න ඕනෑ ජනවරමකින්. අපිට මේ ගෝඨාභය රාජපක්ෂගේ බම්බුවක් වැඩක් නෑ. 


?එහෙමනම් පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ? ඔබලම කියනවනේ’ ඒ ජනාධිපති ධුරයට ජනවරමක් නෑ කියලා.


පිළිතුර- ඒක වෙනම තත්ත්වයක්. මේක වෙනම තත්ත්වයක්. මෙහෙම පාර්ලිමේන්තුවක් තියාගෙන අගමැතිකම් අරගෙන වැඩක් නෑ. අනිත් එක මේ නිකම් බොරු කතා වැඩක් නෑ. ගෝඨාභය ඇතූළු අශුද්ධ බලවේග අපට කතා කරලා ‘ආ’ මේක ගන්න කියලා එහෙම නිකම් දෙන්නේ නෑ. ඕවා නිකම් කතන්දර.


?එහෙම කතන්දර මැද්දෙ වුණත් ආපු රනිල් වැඩේ ගොඩ දැම්මා. ඒ අනුව රනිල් වැඩ්ඩෙක් නොවෙයි ද?

පිළිතුර - රනිල් තව ණය අරගෙන ණය කන්ද උඩට තව ණය කන්දක් ගහලා පෝලිම් ටික අඩුකරලා තියෙනවා. තාවකාලිකව ඊට වඩා මුකුත් කරලා නෑ.


?ඔබට අනුව මීළඟට මුලින්ම එන මැතිවරණය මොකක්ද?


පිළිතුර- ගන්න ඕනැ මැතිවරණය පළාත් පාලන මැතිවරණයයි. ඒක තමයි ඇවිල්ල තියෙන ඡන්දය. ඒ ප්‍රකාශයට පත් කරලා තියෙන ඡන්දය අත්හැරලා දාලා වෙන එන්න තියෙන මැතිවරණ ගැන කතා කරන්න බෑ. එහෙම කතා කරන එක වැරැදියි. රනිල්ට ඕනෑකම ඇති ජනාධිපතිවරණයක් ගේන්න. ඒ එයාට ඕනැ වටපිටාව හදාගෙන. සජබයත් අරගෙන. තව තව අය සම්බන්ධ කරගෙන එයාට එන්න ඕනෑකම තියෙනවා. එයා හිතන් ඉන්න එක වෙන්නෙත් නෑ.


?දේශපාලන ආරංචි මාර්ගවලට අනුව මුලින්ම එන්නේ ජනාධිපතිවරණය. එහෙම වුණොත් කවුද ඔබේ ජනාධිපති අපේක්ෂකයා?


පිළිතුර- ජනාධිපතිවරණය ගැන අපේ කිසිම සාකච්ඡාවක් නෑ, ජනාධිපතිවරණයට අපි දැන්ම අපේක්ෂකයෝ තෝරන්නෙත් නෑ. ජනාධිපතිවරණයට නාම යෝජනා බාරගෙන ප්‍රකාශයට පත් කරලා තියෙන මැතිවරණයක් තියෙනවා. ඒක ගැනයි අපි සටන් කරන්නේ. ජනාධිපතිවරණය ගැන අපේ මුකුත් කතාවක් නෑ.


?ජවිපෙ ලේකම්ධුරයෙන් ටිල්වින් සිල්වා අයින් කරලා බිමල් රත්නායක ගේන්න සූදානමක් තියෙනවා කියලත් ආරංචියි?


පිළිතුර- පක්ෂයෙ නායකයෝ මාරු කරන්නවත් පක්ෂයේ ලේකම් මාරු කරන්නවත් එවැනි කතා බහක් ඇතිවෙලා නෑ. මේ මොහොතේ දේශපාලනය තුළ එහෙම කතාවක් ඇතිවෙන්න හේතුවකුත් නෑ. මොකද අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ඇතුළු දේශපාලන මණ්ඩලය ඉතාම සාර්ථකව ජන අරගලය මුදුනටම අරගෙන ඇවිත් තියෙනවා. ඒ නිසා එහෙම මාරු කිරීම්වට මේ මොහොතේ කිසිම පදනමක් නෑ. ඕවා නිකම් එළියෙ ගහන ‘ගොසිප්’ 


?මහලු නායකයන් ගෙදර යන්න ඕනෑ කියන ඔබේ පක්ෂයේ නායකයොත් දැන් මහලුයි ?


පිළිතුර- මහලු නායකයන් යන්න ඕනෑ. ඒ අයට වැඩ බැරිනම් නේ. වැඩ බැරිනම් මහලු වුණත් තරුණ වුණත් යන්න ඕනෑ. නමුත් වයසට ගියත් වැඩ පෙන්වනව නම් ඒ අය යන්න ඕනැ නෑ.


?ජවිපෙ නායකයන් අතර වෙනම හැඩයක් සහිත ඔබ පක්ෂයේ නායකත්වයට සුදුසුකම් ඉදිරිපත් කරන්නේ නැද්ද?


පිළිතුර - මම පක්ෂයේ නායකයෙක්. තව නායකයෝ ගොඩාක් ඉන්නවා. අපේ පක්ෂය ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන වෙලාවක එවැනි කතා අදාළම නෑ. අපි සතුටින් හොඳින් ශක්තිමත්ව වැඩ කරමින් ඉන්නවා.

 

 

■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්