අනුරුද්ධ පොල්ගම්පල
|
සිරිපාල අමරසිංහ
|
ප්‍රේමසිරි මානගේ
|
2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ 40 දෙනා අතුරින් - 39 දෙනෙකු නාමයෝජනා සඳහා ඉදිරිපත් වූ අතර, එම 39 දෙනාගේම නම් පිළිගත් බැව්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව, පිළිගත් අයගේ නම්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
ලියාපදිංචි දේශපාලන පක්ෂ අපේක්ෂකයෝ 22 ක් ද ඇතුළුව ස්වාධීන අපේක්ෂකයෝ 17 දෙනෙක්, මෙවර ජනාධිපති සටනට සුදුසුකම් ලබා සිටිති. ඉන් පසුගිය සතියේ එක් ස්වාධීන අපේක්ෂකයෙකු හදිසි මරණයකට පත්වූ අතර, ඒ අනුව දැන් ස්වාධීන අපේක්ෂකයෝ 16 දෙනෙක් ජනාධිපති සටනට එක්ව සිටිති.
මෙම ස්වාධීන අපේක්ෂකයෝ 16 දෙනාගෙන් තිදෙනෙකු අතීතයේ එකම පක්ෂයක, එනම් 1994 න් පසු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ව සිටි අය වෙති. සිරිපාල අමරසිංහ, ප්‍රේමසිරි මානගේ හා අනුරුද්ධ පොල්ගම්පල යන තිදෙනා 2024 ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයන් ලෙස තරග වදිති.
ඒ අනුව සිරිපාල අමරසිංහ මහතා ටයරය ලකුණින් ද, ප්‍රේමසිරි මානගේ මහතා කණ්ණාඩි කුට්ටම ලකුණින් හා අනුරුද්ධ පොල්ගම්පල මහතා අශ්ව ලාඩම ලකුණින් තරග කරති.
මෙසේ මෙවර ජනාධිපතිවරණයට තරග කරන සිරිපාල අමරසිංහ, ප්‍රේමසිරි මානගේ හා අනුරුද්ධ පොල්ගම්පල යන තිදෙනා 2004 දී ජනතා විමුක්ති පෙරමුණ - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දීගයේ රැල්ල හරහා පාර්ලිමේන්තුවට පත් වූ අය වෙති. 2001 දෙසැම්බර් 05 වැනිදා පැවැත්වූ 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජවිපෙ ඡන්ද 815,353ක් ලබාගත් අතර, එය සමස්ත ඡන්දවලින් 9.10%ක ප්‍රතිශතයකි. ඊට අනුව ජවිපෙට මන්ත්‍රී ධුර 16ක් හිමිවිය. 2001 මහමැතිවරණයෙන්, සිය දේශපාලන ඉතිහාසයේ ඉහළ ඡන්ද ප්‍රතිශතයක් හා මන්ත්‍රීධුර සංඛ්‍යාවක් දිනා ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණ, 2004 අප්‍රේල් 02 වැනි දින පැවැති මහමැතිවරණයට තරග කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේය. මේ තීන්දුව ජවිපෙ දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වන්නේ, ඔවුන් ප්‍රථම වරට ප්‍රධාන ධාරාවේ ජාතික දේශපාලන පක්ෂයක් වන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත වී පුළුල් පෙරමුණක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වූ නිසාය. මෙහිදී අතිශය සටකපට මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගිය ජවිපෙට, තම අපේක්ෂකයන් ඉදිරිපත් කළ සෑම දිස්ත්‍රික්කයකින්ම මුල් මනාප හිමියන් අතරට පැමිණීමට පමණක් නොව - කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්කවලින් ජවිපෙ අපේක්ෂකයන් තිදෙනකු බැගින් ජයග්‍රහණය කරවා ගැනීමට හැකි විය.
උදාහරණයක් ලෙස එ.ජ.නි.සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවේ මුල්ම තිදෙනා බවට - විමල් වීරවංශ (මනාප 237,185), සුනිල් හඳුන්නෙත්ති සහ ලක්ෂ්මන් නිපුණආරච්චි පත්වන විට, ගම්පහ දිස්ත්‍රික්කයේ මුල්ම ජයග්‍රාහකයා ලෙස විජිත හේරත් (මනාප 215,540), තෙවැනි ස්ථානයට සිරිපාල අමරසිංහ සහ සිව්වැනි ස්ථානයට අන්ජාන් උම්මා පත් වූහ. කළුතර දිස්ත්‍රික්කයේ නන්දන ගුණතිලක මුල් ස්ථානයට පත් වේ. ඒ ආකාරයට සමස්තයක් ලෙස ජවිපෙ අපේක්ෂකයන් 39 දෙනකු පාර්ලිමේන්තුවට පත්වන අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් ද සමග ඔවුන්ට ලැබුණු මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 41 කි. එහිදී, මේ දැවැන්ත ජයග්‍රහණය හමුවේ මන්ත්‍රී ධුර 02ක් සන්ධානයට පරිත්‍යාග කිරීමට පවා ජවිපෙ පරිත්‍යාගශීලි වූ බැව් කිව මනාය.
එදා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටි, ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ සිරිපාල අමරසිංහ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ දැව සංස්ථාවේ සභාපති ලෙස ද කටයුතු කළේය. ඒකාබද්ධ වෘත්තීය සමිති කේන්ද්‍රය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස, ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. සිරිපාල අමරසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ 15 වෙනියා වන අතර, හයවැනි ස්වාධීන අපේක්ෂකයා ද වේ. සිරිපාල අමරසිංහ මහතා මේ වෙනවිට නිමල් ලන්සා ප්‍රමුඛ නව සන්ධානයේ, ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ද කටයුතු කරයි.
2004 දී පාර්ලිමේන්තුවට තේරීපත් වූ ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ, මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස කණ්ණාඩි කුට්ටම ලකුණින් ඉදිරිපත් වන බව කියැවිණි. නමුත් ඒ මහතා, පසුගිය සතියේ දී, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට එකතු වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රේමසිරි මානගේ මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
ජනතා විමුක්ති පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ අනුරුද්ධ පොල්ගම්පල මහතා, මෙවර ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස අශ්ව ලාඩම ලකුණින් තරග කරයි. 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සමීපව කටයුතු කළ අනුරුද්ධ පොල්ගම්පල මහතා, රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කළේය.
2005 ජනපතිවරණය - ජවිපෙ හැඩය පූර්ණ වෙනසකට ලක් කළේය. ඒ, එළිපිටම ජනපතිවරණ අපේක්ෂකයෙකුට සහාය පළකිරීමෙනි. 1999 ජනාධිපතිවරණයෙන් තම උපරිම ශක්තිය වටහා ගත් ජවිපෙ, 2000-2001 මහ මැතිවරණවලදී, තම පක්ෂයට ඇති ජනතා පදනම ගැන නැවැත නැවතත් තහවුරු කරගෙන තිබුණි. පරිවාස ආණ්ඩුව (චන්ද්‍රිකා කුමාරතුංග සමඟ) නව අත් හදා බැලීමකි. එහි උපරිම අවස්ථාව 2004 මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධානය නමින් ශ්‍රිලනිප සමඟ එක්ව මැතිවරණයට තරග කිරීමය.
ඔවුහු කැබිනට් ඇමති ධුර තුනක් සහිතව රාජ්‍ය පාලනයට එක්වූවත්, සුනාමි සහන මණ්ඩලය මත පදනම්ව ආණ්ඩුවෙන් ඉවත් වූහ. සන්ධානගත වීම නිසා තමන්ට ලැබුණු 40ක පමණ මන්ත්‍රීධුර සංඛ්‍යාව හේතුවෙන්, ඒ වෙනවිට ජවිපෙට අතිශය ප්‍රබල තත්ත්වයක් හිමිව තිබුණි.
2005 ජනාපතිවරණයේදී ජවිපෙ එක්වූයේ, මහින්ද රාජපක්ෂ නම්වූ අපේක්ෂකයා සමගය. එය අවබෝධතා ගිවිසුමක් මත වූ එකඟත්වයකි. ශ්‍රිලනිපය මහින්ද රාජපක්ෂ හුදකලා කොට අපේක්ෂකත්වය දුන්නද, ජවිපෙ සියලු බර කරට ගෙන, රාජපක්ෂ දිනවීමට කටයුතු කළහ. එය එසේ කළ යුත්තේ ඇයිදැයි යන්න එහි දේශපාලන මණ්ඩලය තුළ කතා බහට ලක්ව තිබුණේ විස්තරාත්මකවය. මහින්ද රාජපක්ෂට සහාය දිය යුත්තේ ඇයි? එමගින් පක්ෂයට ලබාගත හැකි කෙටිකාලීන වාසි, දිගුකාලීන වාසි, තමන් ඉල්ලා සිටිය යුතු දේ, යනාදිය මනා ලෙස සාකච්ඡා වී තිබුණි. ඒවා ජයග්‍රහණය කළ පසු අත්පත් කරගත යුතු ආකාරයද, පසුව නිරීක්ෂණය කළ හැකි විය.
එම ලිපි මත පදනම්ව ජවිපෙ පෙර අවස්ථාවලදී සිතන ලද ආකාරය, පහසුවෙන් වටහා ගත හැකිය. මෙම ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් දුන් බවට වන ප්‍රකාශ ඕනෑ තරම් ඇති මුත්, ජවිපෙට දුන් මුදල් ගැන ප්‍රසිද්ධ සාකච්ඡා නොමැත. එහෙත් මහින්ද රාජපක්ෂ ගෙන් ලබාගත් වරප්‍රසාද ගැන ඕනෑ තරම් සාක්ෂි පැවතීම මගින් - ජවිපෙ දේශපාලනය පිළිබඳවත්, එහි භූමිකාව ගැනත්, වැටහීමක් ලබාගත හැකිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ 2004 මහමැතිවරණයට තරග කළ ජනතා විමුක්ති පෙරමුණට ආසන 39 හිමිවිය. එය එම පක්ෂය පාර්ලිමේන්තු ක්‍රමය තුළ ලබා ගත් ඉහළම ජයග්‍රහණය බව සඳහන් කළ යුතුය. එම කණ්ඩායමට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 3 ක්ද විය.
- එම්. තාරික්