(අංජුල මහික වීරරත්න සහ ශාන්ත ප‍්‍රදීප් කුමාර)
”යහපාලන ජාතික රජය රට සංවර්ධනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ විශේෂ වාසියක් ගැනීමේ අරමුණෙන් නොවේ” යයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ පන්නිපිටියේදී පැවැසීය.
”සියලූ වැඩ කටයුතු කරන්නේ ජාතික ආණ්ඩුව ලෙස හැම පාර්ශ්වයකම එකමුතුවෙන්” බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහි අවසාන ප‍්‍රතිඵලය සියලූම ශ්‍රී ලාංකිකයන්ට සමසේ බෙදී යන්නේ යැයි පැවැසීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ සඳහන් කළේ සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ක‍්‍රියාත්මක මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු ඇරැඹීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.
පන්නිපිටිය වීර මාවතේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක රුපියල් මිලියන 6000ක වියදමින් ඉදිවන නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 500කින් සමන්විතය.
ව්‍යාපෘතිය නම් කර ඇත්තේ ”වියත් පුර” නමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.
”වියත් පුරය” යනු යහපාලන රජයේ නිවාස යෝජනා ක‍්‍රමය, නාගරික යෝජනා ක‍්‍රමය මෙන්ම ආර්ථික වැඩසටහන යන අංශ තුනටම අයත් වූ ව්‍යාපෘතිය බව කිව යුතුයි.
ලබන වසර තුන ඇතුළත දී ශ්‍රී ලංකාවට රුපියල් කෝටි හාර ලක්ෂ විසි දහසක ණයක් ගෙවීමට තිබෙනවා. ඒ ණය ගෙවා දැමීමට නම් අපට ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් අවශ්‍යයි. එමෙන්ම අපගේ අපනයනය වැඩි කළ යුතුයි. රටේ ආදායම වර්ධනය කළ යුතුව තිබෙනවා. බදු ආදායම වැඩි කළ යුතුව තිබෙනවා.
2020 වසර වනවිට මූලික ණය ගෙවීමේ පදනම ඇති කර ඊළඟ වසර 5 ඇතුළත ණය බර ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු කිරීමට හැකියි. ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකය ඇති කළවිට ඉන් ලැබෙන වාසිය ස්වල්ප දෙනකුට පමණක් සීමා කරන්න බැහැ. එහි ප‍්‍රතිලාබ බෙදී යන්නේ කර්මාන්ත, ව්‍යාපාර හිමි කිහිපදෙනකුට පමණක් නොවෙයි.
අපට වෙළෙඳ ආර්ථිකය සහ සමාජ සාධාරණත්වය යන අංශ දෙකම අවශ්‍යයි. පසුගිය සතියේ දී වෙළෙඳ කලාපීය වෘත්තීය සමිති සමඟ සාකච්ඡුා කිරීමට මට අවස්ථාව ලැබුණා. නිෂ්පාදනවලට ලැබෙන ලාබය වැඩි වූ විට එහි වාසිය ලාබයේ කොටස්කරුවන් වන සේවකයන් සඳහා දෙන්නේ කෙසේ දැයි සාකච්ඡුා කළා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ ද ඒ ක‍්‍රියාමාර්ග ගත යුතුයි.
ජනතාවට සහන දීම සඳහා තවත් ප‍්‍රධාන කාරණා දෙකක් තිබෙනවා. පළමු වැන්න නම් අධ්‍යාපනයයි. වසර 13ක අධ්‍යාපනය අනිවාර්යය කර පාසල් ක‍්‍රමය දියුණු කිරීමට අප කටයුතු කරනවා. ”හොඳ පාසල් නැහැ, ජාතික පාසල් අවශ්‍යයි” යන චෝදනාව එවිට නගන්නට හැකි වන්නේ නැහැ.
පළාත් සභා සමඟ සාකච්ඡා කර පළාත් සභා පාසල් ගණනාවක් ඒ සහ බී ශ්‍රේණියේ මධ්‍ය මහා විද්‍යාල බවට පත් කිරීමටත්, ඒ තත්ත්වය ආරක්ෂා කිරීමටත් ක‍්‍රියා කරන බව අධ්‍යාපන ඇමැතිතුමා මා සමඟ පැවසුවා. තම දරුවන්ට හොඳ අනාගතය ලබා දීම සියලූම දෙනාගේ අපේක්ෂාවයි.
ඇතැම් සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු වීමට දක්ෂකම් නැහැ. ඒ නිසා බොහෝ පිරිසක් පාසල් අතහැර යනවා. අපේ උත්සාහය වන්නේ එලෙස පාසල් හැර යන අයත්, පාසලේ තබා ගෙන ඒ පිරිසට වෘත්තීය දැනුම දීමයි. එවැනි දැනුමක් ඇති වෘත්තීයවේදීන්ටත් මේ යුගයේ දී හොඳින් මුදල් ඉපැයීමට අවස්ථාව තිබෙනවා.
එවැනි අයකු විදේශගත වුවහොත් සාමාන්‍ය උපාධිය ඇති අයකුට වඩා හොඳ ආදායම ගත හැකි තත්ත්වය නිර්මාණය වී තිබෙනවා.
සෞඛ්‍ය සේවය දියුණු කිරීම සඳහා යහපාලන රජය තවත් වෛද්‍ය පීඨ ගණනාවක් මොරටුව, සබරගමුව, වයඹ ආරම්භ කරනවා. අපට අවශ්‍ය වෛද්‍යවේදීන් ඒ අනුව බිහි කළ හැකියි.
මීට අමතරව ඇති විශාලතම ප‍්‍රශ්නය වන්නේ නිවාස ප‍්‍රශ්නයයි. ග‍්‍රාමීය මධ්‍යම පාන්තික ජනතාවට, උතුරේ නිවාස අහිමි වූ ජනතාවට, බිම් අඟලක හෝ හිමිකාරීත්වයක් නැති කඳුකරයේ කම්කරු ජනතාවට, කොළඹ පැල්පත් ජනතාවට සහ මධ්‍යම පාන්තිකයන්ට නිවාස දීම සඳහා අප විශාල වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම නාගරීකරණයේ ප‍්‍රධාන වැඩසටහන ලෙස තට්ටු නිවාස ව්‍යාපෘතිය ද ඉදිකිරීමට ද යටිතල පහසුකම් දියුණු කිරීමට ද අදාළ කටයුතු සැලසුම් කර තිබෙනවා.
අද කුඩා කාලයේ ලංකාවේ ප‍්‍රධාන නගරය ලෙස පැවැතියේ කොළඹ පමණයි. ඒ කාලයේ මහරගම ආදී නගර කොළඹින් බොහෝ දුර බැහැර නගර ලෙසයි සැලකුණේ. ඒත් අද වනවිට හෝමාගම, මහරගම දක්වාත් අනෙක් පසින් ගම්පහ සිට කුරුණෑගල දක්වාත් නාගරීකරණය වෙලා.
තවත් වසර 10ක් පමණ ගත වනවිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත ආදී ප‍්‍රදේශ එක් පසෙකිනුත් අනෙක් පසින් ගාල්ල, මාතර දක්වාත් විශාල නාගරීකරණයකට රට ලක් වෙනවා.
නාගරීකරණය තුළ ජීවත් වීමට තට්ටු නිවාස ක‍්‍රමය අවශ්‍යයි. නිවාස සම්බන්ධව විශාල ගැටලූ තිබෙන්නේ අපේ රටේ වෘත්තීයවේදීන්ටයි. මුදල් නොමැතිවීම, නිවාස සඳහා ණය ගැනීමට සිදුවීම ආදී ගැටලූ ඔවුන්ට බලපානවා. ඒ සඳහා විසඳුම ලෙස විදෙස්ගත වී මුදල් සෙවීමට ඇතැමුන් කල්පනා කරනවා.
ඉන් වන්නේ ජනතාවගේ සේවය රටට අහිමි වීමයි. ඒ ගැටලූ සඳහා පිළියම් දෙමින් ලාංකික වෘත්තීයවේදීන්ගේ සේවය ශ්‍රී ලංකාවටම ගැනීම සඳහා අප මේ වැඩ කටයුතු ආරම්භ කළා. රටේ මධ්‍යම පන්තික උගතුන්ට, වෘත්තීයවේදීන්ට මෙලෙස නිවාස දීම වන්නේ පාඨලී චම්පික අමාත්‍යතුමාගේ යෝජනාවක් අනුවයි. එය රටට අවශ්‍යයි.
ශ්‍රී ලංකාව වැනි රටක් දියුණු වීමට නම් මධ්‍යම පාන්තිකයන් අත්‍යවශ්‍යයි. තමන් නීතිඥයකු, වෛද්‍යවරයකු, දක්ෂතා සහිත කාර්මිකයකු හෝ ව්‍යාපාරිකයකු හෝ වුවත් මධ්‍යම පන්තියට ඇතුළත් වීමේ හැකියාව සියලූ දෙනාට තිබිය යුතුයි. මේ වැඩසටහන යටතේ විශාල නිවාස සංඛ්‍යාවක් ඉදිකිරීමට තිබෙනවා.
බස්නාහිර පළාතේ නාගරීකරණය දියුණු කිරීම සඳහා නිවාස පමණක් නොව යටිතල පහසුකම්, විදුලිය, ජල පහසුකම් ද දියුණු කළ යුතුයි. වාහන තදබදයත් විසඳිය යුතු එක් ගැටලූවක් වනවා. පාඨලී චම්පික ඇමැතිතුමා අභියෝග බාර ගනිමින් ඒ සඳහා වැඩ කටයුතු කරමින් සිටිනවා. ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා එතුමාට තවත් මුදල් දීමට මා බලාපොරොත්තු වෙනවා.
2015 දී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අප ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ මෙවැනි විශාල වැඩ කොටස කිරීමට අවශ්‍ය බව තේරුම් ගත් නිසයි. පැරණි දේශපාලන සම්ප‍්‍රදායට අනුව අපේ පක්ෂයෙන් පමණක් තනිව ආණ්ඩුව ගෙන යනවා යයි පැවැසීමට හැකියාව තිබුණා. ඒත් ගැටලූවලට විසඳුම් දෙමින් එක්ව වැඩ කිරීමට මා තීරණය කළා. පසුව ඡුන්දයට මුහුණ දෙනවිට ජනතාව පක්ෂ දෙකෙහි ගුණ වර්ණනා කරයි. එවිට ජනතාව පක්ෂ දෙකෙහිම අපේක්ෂකයන් අතුරෙන් රටට වැඩදායී අපේක්ෂකයන් තෝරා ගනීවි. මේ ක‍්‍රමය අප ගෙනාවේ ලෝකය දෙසට අවධානය යොමු කරමිනුයි.
මේ වනවිට අපට ජාත්‍යන්තර ආධාර සහයෝගය ලැබෙමින් පවතිනවා. ගෙවා ගැනීමට නොහැකිව තිබූ ණය බර අද අප පාලනය කරලා. සියලූ වැඩ කටයුතු කරන්නේ ජාතික ආණ්ඩුව ලෙස සියලූ දෙනාගේම එකතුවෙනුයි. එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ විශේෂ වාසිය දීමට අප වැඩ කරන්නේ නැහැ. පක්ෂ දෙකක් එකට වැඩ කිරීම යනු ඉතා අසීරු කාර්යයයි. මේ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජාතික ආණ්ඩුව රැුගෙන යනවා වාගේ යයි මා පැවසුවේත් ඒ නිසයි. ජාතික ආණ්ඩුව රැුගෙන යනවිට යම්තමින් හෝ අවධානය ගිළිහුණොත් වරදින්නේ කෙසේ දැයි සිතා ගැනීමටත් නොහැකියි. පොඞ්ඩක් බැරි වුණොත් කොහේ ගිහින් වදියි ද දන්නේ නැහැ. රටට වාසිය වන නිසා කෙසේ හෝ මෙය ඉදිරියට ගෙන යාමට මා තීරණය කරනවා.
සමාජ සාධාරණත්වය සහිත වෙළෙඳ ආර්ථිකය බිහි කිරීමේ හැකියාව අපට තිබෙනවා. ඒ සඳහා වන වැඩපිළිවෙළෙහි සමාරම්භක අවස්ථාවට මට ආරාධනා කළ පාඨලී චම්පික ඇමැතිතුමාට සුභ ප‍්‍රාර්ථනා කරනවා” යැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා
”මහරගම, හෝමාගම, කොට්ටාව ප‍්‍රදේශ කොළඹ නගරයෙන් පසුව බිහි වන දෙවැනි අගනගරය ලෙස සැලකිය හැකියි.
හෝමාගම දැන් තාක්ෂණික නගරය ලෙස දියුණු වෙමින් තිබෙනවා. දෙවැනි අගනගරය මේ ප‍්‍රදේශයේ බිහි වනවිට වියත් පරපුර සඳහා නිවාස අවශ්‍යයි. මේ වසරේ දී ස්ථාන 6ක් කේන්ද්‍ර කරගනිමින් වෘත්තීයවේදීන් සඳහා නිවාස ඉදිකරනවා. ඒ අනුව නිවාස 5000ක් ඉදි වීමට නියමිතයි. බොරැුල්ල නිවාස සංකීර්ණයේ වැඩ මේ වනවිට අවසන් වෙමින් තිබෙනවා.
විනිවිද පෙනෙන අයුරින් ජනතාවට උපරිම ප‍්‍රතිලාබ දීම අපේ අරමුණයි. අතීතයේ ද නොයෙක් ජන වර්ග තමන් ලෝකයට මඟ පෙන්වන්න සුදුසු බව කල්පනා කළා. එවැනි සංකල්පය නිසා ඇතැම්විට යුද්ධ ඇති වුණා. ඇතැම්විට යහපත් දේ සිදු වුණා. ලෝකයට මඟපෙන්වීම ගැන විවිධ අය විවිධ කතා කියනවා.
නවෝත්පාදනයේ යෙදෙන තාක්ෂණ කණ්ඩායම ලෝකයට මඟපෙන්වන බව අලූත්ම මතයයි. එනම් මධ්‍යම පන්තියයි.
මෙරට වූ සමාජ පෙරළියේ පෙරමුණ ගත්තේ ද මැද පන්තිය බව කිය යුතුයි. අනාගතයේ මේ ප‍්‍රදේශය කොළඹටත් වඩා තාක්ෂණ පන්තියේ අගනගරය බවට පත් වෙනවා.
ශ‍්‍රම විභජනය අනුව දොස්තර, ඉංජිනේරු, ගණකාධිකාරී වශයෙන් අලූත් කුල ක‍්‍රමය නිර්මාණය වී තිබෙනවා. මේ නිවාස යෝජනා ක‍්‍රමය ඔවුන් සඳහායි. අපේ නව නගරයට ඇතුළු වන්නැයි වෘත්තීයවේදීන්ගෙන් මා ඉල්ලා සිටිනවා.
පොදු පහසුකම් සඳහා වෙන් කළ භූමිය සංවර්ධනය කර අප නැවත ජනතාවට දෙනවා. එමෙන්ම මෙහි කසළ කළමනාකරණය මෙන්ම ජල කළමනාකරණය ආදිය හරිත ක‍්‍රමවේදයට අනුව ක‍්‍රියාත්මක වන බව කිව යුතුයි.”
මේ අවස්ථාවට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, පළාත් සභා මන්ත‍්‍රීවරු වන රොඞ්නි ෆ්‍රෙෂර්, නිමල් ආර්. පීරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.