(අංජුල මහික වීරරත්න, උඩුගම රවි ලියනගේ සහ ගාල්ල අමල් වික්‍රමරත්න ගාල්ලේ සිට)
“ජාතික රජයේ ප්‍රගතිය තව වසර දෙකක් ඇතුළත ජනතාවට සම්පූර්ණයෙන්ම අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.
ප්‍රධාන පක්ෂ එක්වී ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ ජනතාවට දැනුණු ණය බරට හසු වී සිටින මොහොතේ ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමට බව කී අග්‍රාමාත්‍යවරයා මේ වන විට ඒ අරමුණ ඉටු වී තිබෙන බව ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ගංවතුරින් හානියට පත් කුඩා තේ වතු හිමියන් සහ කර්මාන්ත ශාලා හිමියන් සඳහා මුදල්-චෙක්පත් ප්‍රදානය කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.
“වැවිලි සවියට තවත් සවියක්” තේමාවෙන් සංවිධානය කෙරුණු උත්සවය ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව වැඩසටහන සංවිධානය කර තිබිණ.
කුඩා තේ වතු හිමියන් 5648 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 1670 ක්ද, තේ කම්හල් 17 ක් සඳහා රුපියල් ලක්ෂ 1700 ක්ද වශයෙන් ලක්ෂ 3370 ක් මෙහිදී ප්‍රදානය කෙරිණි.
උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උපන් දිනයත් යෙදී තිබෙනවා. ගංවතුරට ලක්වූ කුඩා තේ වතු හිමියන් සඳහා ආධාර උපකාර දීම එක් අතකට ඇමැතිතුමාගේ උපන් දින සැමරුම හැටියටත් අර්ථ දැක්විය හැකියි.
නවීන් දිසානායක ඇමැතිතුමා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා විශාල උනන්දුවක් ගන්නවා. රබර්, තේ, පොල් මෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
වැඩසටහන් තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම අපේ අරමුණයි. උත්සවය සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාකළේ වජිර අබේවර්ධන ඇමැතිතුමායි. එතුමා ගංවතුරෙන් හානියට පත්වූවන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පියවර රාශියක් ගත් බව කිව යුතුයි. එමෙන්ම මෙරට අභ්‍යන්තර පාලන කටයුතු සම්බන්ධවත් එතුමා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා.
එමෙන්ම ප්‍රදේශයේ වැඩකටයුතු සඳහා උපකාර කරන තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටිනවා. දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ලැබීම විශේෂ වාසියක් බව සඳහන් කළ යුතුයි.
චන්දිම වීරක්කොඩි ඇමැතිතුමා මෙහි සංවර්ධන කටයුතු සඳහා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ප්‍රදේශය දියුණු කිරීම සඳහා එතුමා සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් ඉදිරිපත් කළා.
රැකියා සඳහා පුහුණුව දීම ඇතුළු සියලුම කරුණුවලට වඩා වැදගත් වන බව සඳහන් කළ යුතුයි. ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා මෙහි නොසිටියත් එතුමාගේ සහයෝගයත් නිරන්තරයෙන් ලැබෙනවා.
ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තේ වගාව පිළිබඳව පොත් දෙක තුනක් රචනා කිරීමට පවා දැනුම ඇති අයකු බව සඳහන් කළ යුතුයි. එතුමාගේ සහයෝගයත් ලැබෙනවා. ගංවතුර උවදුරට මුහුණ දීම සඳහා ප්‍රදේශයේ සියලුම දේශපාලන නියෝජිතයින් සහයෝගය දැක්වූවා.
ගංවතුර සමයේ විශාලතම හානියක් වූයේ කුඩා තේ වතු හිමියන්ටයි. හිනිදුම, බද්දේගම, අකුරැස්ස, දෙනියාය, රක්වාන, කලවාන, බුලත්සිංහල, අගලවත්ත ප්‍රදේශවල තේ වගාවලට වැඩිපුරම හානි වුණා. ඉන් පසුව හානි වූයේ රබර් වගාවටයි. සෙසු භෝගවලට එතරම්ම හානියක් වූයේ නැහැ.
කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂයෙන්ම ආධාර උපකාර කරනවා. ඒ ක්ෂේත්‍රය නඟා සිටුවීම අපේ අරමුණයි.
ගංවතුර ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී අප පොහොර සඳහා මූල්‍ය සහනාධාර දීමට එකඟ වී සිටියා. ගෙවා නොතිබූ අය සඳහා රුපියල් කෝටි 47 ක් දුන්නා. ඒ මුදලෙන් රුපියල් කෝටි 16 ක ගෙවීම් කළේ ගාලු දිස්ත්‍රික්කය සඳහායි.
අද කුඩා තේ වතු හිමියන් 5600 කටත් ගංවතුරෙන් හානියට පත්වූ තේ කර්මාන්තශාලා 17 ක් සඳහාත් රුපියල් කෝටි 33 ක් දෙනවා. සෑම ආධාරයක්ම දෙන්නේ කුඩා තේ වතු හිමියන්ටත්, ඔවුන්ගේ තේ මිලදී ගන්නා කර්මාන්ත ශාලා ශක්තිමත් කිරීම සඳහාත් බව කිව යුතුයි.
පොහොර සඳහා රුපියල් කෝටි 220 දුන්නා. ඒ මුදලින් සියයට හැත්තෑ පහක්-අසූවක් පමණ දැනට ගෙවලා. නොගෙවූ මුදල් ද කඩිනමින් දෙන ලෙස මා අද උදේ මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා. තේ වලට අමතරව රබර්, පොල් ආදිය සඳහාත් පොහොර සහනාධාරය දිය යුතුයි.
ඊට අමතරව කෘෂිකර්මය සඳහා වන ජාත්‍යන්තර අරමුදල තේ හා රබර් කර්මාන්තයට ආධාර කිරීම සඳහා තවත් රුපියල් කෝටි 100 ක් දුන්නා. ඊට අමතරව කුඩා තේ වතු හිමියන් සඳහා අප තවත් ආධාර දෙනවා. නැවත වගා කිරීම් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 5 බැගින් දෙනවා. එමෙන්ම වගාව හෙක්ටයාරයකට අඩු නම් අහිමි වන මුදල දී තිබෙනවා. මේ ප්‍රමාණය තවත් වැඩි කළ යුතුයි.
තේ කර්මාන්තය ගෙන යා යුතු ප්‍රාග්ධන මුදල් ක්‍රම කිහිපයක් යටතේ ණය ආධාර ලෙස දී තිබෙනවා. තේ වගාව තවදුරටත් දියුණු කිරීම වර්තමානයේ අප හමුවේ තිබෙන අභියෝගයයි.
තේ සංවර්ධනය කිරීමට, පසෙහි ගුණාත්මක බව දියුණු කිරීමට අලුත් තේ පැළ වර්ග දීමට මීට වඩා සහනාධාර දීමට අපේක්ෂා කරනවා. තේ වගාව සම්පූර්ණයෙන්ම දියුණු කිරීම එහි අරමුණයි.
තේ කර්මාන්තශාලා සඳහාත් ක්‍රම කිහිපයකට මුදල් දීමට අප තීරණය කර තිබෙනවා. තේ වගා අක්කර 50 කට අඩු වැවිලිකරුවන් සඳහාත් මුදල් දිය යුතුයි. තේ අක්කර 50 ක් ඇත්තේ දේශීය ඉඩම් හිමියන් සඳහායි. ඒ අයටත් අප ආධාර උපකාර කරනවා.
නැවත වගාව දියුණු කිරීම තුළින් ඊළඟ වසර දහය-පහළොව ඇතුළත තේ වගාවේ ශීඝ්‍ර දියුණුව අපේක්ෂා කරනවා. මේ කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. එමෙන්ම ගංවතුර සමයේ වැඩ කටයුතු කළ රජයේ සේවකයින් සඳහා 2002-2005 වසරවල මෙන් විශේෂ දීමනාව දීමටද කටයුතු කරනවා.
සියලුම පියවර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ජනාධිපති මෛත්‍රිීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ජාතික රජයට ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබුණු නිසායි.
2005-2014 කාලයේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය සියයට 233 කින් වැඩිවුණා. එලෙස වැඩිවුණේ සහනාධාර ණය නොව වාණිජ ණයයි. ණය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.
2013 වසරේ රටේ ණය ගෙවීමට කෝටි එක්ලක්ෂ දහහතර දහස් හත්සියයක් අවශ්‍ය වුණා. නමුත් ඒ වන විට ආදායම කෝටි එක්ලක්ෂ දහතුන් දහස් හත්සියයක් පමණයි. එසේ නම් රටට ලැබෙන ආදායමට වඩා ණය ගෙවීමට අවශ්‍ය මුදල් විශාලයි.
නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුව යටතේ ගත් ආර්ථිකමය ප්‍රතිපත්ති හේතුවෙන් 2016 වන විට රටේ ණය පියවීමට අවශ්‍ය මුදල කෝටි එක්ලක්ෂ තිස්හත්දහස් හාරසියයක් වූ අතර ඒ වන විට රටේ ආදායම කෝටි එක්ලක්ෂ හතළිස්පන්දහසක් දක්වා වර්ධනය කර ගැනීමට අපට හැකි වුණා. ඒ අනුව රටේ ආදායම වර්ධනය කර ගැනීමට අපට හැකි වූ බව පැහැදිලියි.
වැට් බදු වැඩිකිරීම් ආදිය කරන විට ජනතාවගේ දෝෂාරෝපණ එල්ලවුණත් අවසානයේ රටේ ආදායම වර්ධනය කරගැනීමට හැකි වුණා. 2014 වසරේ අපේ ආදායම් වියදම් මූලික හිඟය වූයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1.5 යි. 2016 වන විට එය සියයට 0.2 ක් බවට පරිවර්තනය කරගැනීමට හැකි වුණා. 2020 වන විට එහි අතිරික්තයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
කුඩා තේ වතු සංවර්ධනය කරගැනීම සඳහා මේ ආකාරයට මුදල් ගැනීමට හැකි වී තිබෙන්නේ රජය ලෙස අප කල්පනාකාරීව කටයුතු කරන නිසයි. ඒ සමඟම අධ්‍යාපනය වෙනුවෙන් ද මුදල් වෙන්කර තිබෙනවා.
නිවාස ලක්ෂ දෙකක් ඉදිකිරීම සඳහා මුදල් දුන්නා. ඉන්ධන මිල පහළ දැමීමටත් අප කටයුතු කළා. ගැබිනි මව්වරුන්ට රුපියල් 20,000 ක දීමනාව දුන්නා. රැකියා අවස්ථා ලක්ෂ හතර බිහි කිරීමට අපට හැකි වුණා.
මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන දෙකක් දක්වා වර්ධනය කිරීමට හැකි වුණා. මෙවැනි ආර්ථික සංවර්ධන කටයුතු ගණනාවක් අප කළා. ඒ වගේම නීතිය සහ සාමය සුරක්ෂිත කරමින් රටේ බරපතළ ගණයේ අපරාධ සියයට 30 කින් අඩුකර ගැනීමට හැකි වුණා.
මේ කටයුතු වලින් පමණක් අපට සෑහීමකට පත්විය නොහැකියි. ආණ්ඩුවක් ලෙස රට වෙනුවෙන් විශාල යුතුකමක් තිබෙනවා. රටේ ආදායම වැඩි කිරීම පමණක් නොවෙයි, රටේ විදේශ විනිමය වර්ධනය කිරීමත් කළ යුතුයි.
ඒ වගේම රටේ ණය බර ගෙවා දැමීමත් කළ යුතු වෙනවා. ණය බර පියවීමට නම් රටේ ආදායම ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා රටේ ආයෝජන අවස්ථා වැඩිකළ යුතුය. එය දේශීය හෝ විදේශීය හෝ විය හැකියි. පුද්ගලික අංශයෙන් විය හැකියි. කෙසේ වුවත් සෑම ආයෝජන අවස්ථාවක්ම ඉහළ දැමිය යුතු වෙනවා.
දේශීය සහ විදේශීය ආයෝජන සඳහා බදු සහන දී තිබෙන්නේ ඒ නිසයි. සියලුම ආයෝජකයින් දිරිමත් කිරීමට අවශ්‍ය බදු සහන නව දේශීය ආදායම් පනත මගින් සම්මත කළා.
සියලු දේ ක්‍රියාත්මක කළ පසු ඉදිරි වසරේ එහි ප්‍රතිඵල ජනතාවට අත්විඳිය හැකියි. ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් නැවත ගැනීමට අපට හැකි වුණා.
සිංගප්පූරුව, ඉන්දියාව සහ චීනය සමගත් නිදහස් වෙළඳ ගිවිසුම් එළැඹීමට කටයුතු කරනවා. විදේශ විනිමය සඳහා නව පනත ගෙන ඒමටත් කටයුතු කර තිබෙනවා. ආයෝජන හරහා රට තුළට මුදල් ගෙන ඒමට කටයුතු කරනවා.
රටේ ආයෝජන ඇති කිරීම සඳහා සංවර්ධන සැලැස්මක් අවශ්‍යයි. සංවර්ධන සැලැස්මට අනුව අප මේ වන විට වැඩ කටයුතු ආරම්භ කරමින් සිටිනවා.
මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවා. මහනුවර නගරය දියුණුකිරීම, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, තාක්ෂණය දියුණුකිරීම, මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු ආරම්භකිරීම, කර්මාන්ත කලාප ඇතිකිරීම, කල්පිටිය ප්‍රදේශය තවදුරටත් සංවර්ධනය කිරීම, කොළඹ නගරය මහ නගර සංකල්පයට අනුව දියුණුකිරීම, කළුතර ප්‍රදේශයේ විශාල කර්මාන්ත කලාප ඇතිකිරීම ආදී වැඩ කටයුතු රැසක් අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම අපේ අවධානය ගාල්ල ප්‍රදේශයටත් යොමුවනවා. මේ ප්‍රදේශය තුළ ඉහළ ආදායම් සහිත සංචාරකයින් සඳහා වන කලාපය ඇතිකරනවා. ඊට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් පවතිනවා.
එක් පසකින් දේද්දූව, අනික් පසෙන් අකුරණ, චන්දිම වීරක්කොඩි මහතා නියෝජනය කරන කොග්ගල, ආදී ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයත්, කර්මාන්ත කලාපත් ඇතිකරනවා. සාමාන්‍ය ආදායම සහිත සංචාරකයින් සඳහා වෙළඳ පොළ ඇති කිරීමට මේ ප්‍රදේශයේම සාමාන්‍ය ජනතාවටත් අවස්ථාව ලැබෙනවා. මේ වැඩ කටයුතු අප මාතර දක්වා ගෙන යනවා. ඉන් පසුව හම්බන්තොටටත්, වැල්ලවාය දක්වාත් විශාල කර්මාන්තකරණය ඇති කරනවා.
හම්බන්තොට වරායෙන් පාඩු ලැබීම නතර කර ගැනීමට අපට හැකිවුණා. එය චීන-ලංකා ඒකාබද්ධ සමාගම හරහා භාරගත්තා. මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීමේ වැඩකටයුතු ද ආරම්භ කර තිබෙනවා.
තෙල් පිරිපහදු මධ්‍යස්ථානය, එල්.එන්.ජී. විදුලි බලාගාරය, වානේ කර්මාන්ත ශාලාව, සිමෙන්ති කර්මාන්තශාලාව ආදිය ඇතිකිරීමටත් සැලසුම් කර තිබෙනවා.
චාර්ලිමන්ට් වත්ත ආශ්‍රිත ප්‍රදේශයත් කර්මාන්ත කලාපයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. එවැනි විශාල දියුණුව දකුණට ගෙන ඒමට මා බලාපොරොත්තු වෙනවා.
අප රටට අනාගතය ඇති කළ යුතුයි. රට දියුණු වූ විට ණය ගෙවීමටත් විදේශ විනිමය ගැනීමටත් හැකියාව ලැබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ඇතිකර ගත් ජාතික ආණ්ඩුව නිසා රට වෙනුවෙන් මේ වැඩ කටයුතු කිරීම පහසු වූවා.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කඳුකරයේ දෙමළ පක්ෂ, ජාතික හෙළ උරුමය ආදී පක්ෂ සියල්ල එකට එකතු වූයේ තනි දේශපාලන පක්ෂය ලෙස ක්‍රියාකිරීමට නොවෙයි. අප එකට එක් වූයේ ජනතාව ණය බරට හසු වී සිටි මොහොතක ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමටත්, රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාමත් අරමුණ කරගනිමිනුයි.
පළමුව දෙපිලේම පාක්ෂිකයින් විවේචනය කළා. නමුත් දැන් රටේ ඇති වී තිබෙන ප්‍රගතිය ජනතාවට පෙනෙනවා. 2015-16 කාලයේදී ජනතාව එය දුටුවේ නැහැ. 2017 මේ වන විට ඔවුන් එය යම් තරමකින් තේරුම් ගනිමින් සිටිනවා. 2018-19 වන විට ඒ ප්‍රගතිය ජනතාවට සම්පූර්ණයෙන්ම අවබොධ කරගැනීමට හැකි වේවි. ජාතික ආණ්ඩුව ලෙස එකට එක්වී එළැඹෙන මැතිවරණය තෙක් එක්ව වැඩ කිරීම දේශපාලකයින් ලෙස අප ගත් හොඳ තීරණය බව එදාට ජනතාව පවසාවි.
ජනතාවට සහන සැළසීම සඳහා කැපවී ක්‍රියාකිරීම අප හමුවේ ඇති කාර්යයි. දැන් ඒ සඳහා ඔබේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රතිලාභ ලබන කුඩා තේ වතු හිමියන්ට මා සුභ ප්‍රාර්ථනා කරනවා යයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා-
“ගංවතුර ව්‍යසනය වූ සැනින් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපට දැනුම් දුන්නා. සෑම දිස්ත්‍රික්කයකම ඒ කටයුතු සාර්ථක ලෙස ක්‍රියාත්මක වූවා.
සියලුම දෙනා එක කණ්ඩායම ලෙස මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කළා. ජනපති මෙන්ම අගමැති හැම විටම ජනතාවට කාර්යක්ෂම සේවය සැලසීම සඳහා විමසිලිමත්ව කටයුතු කළා. ඉතිහාසයේ ස්වභාවික ව්‍යසන ඇති වූ කිසිම අවස්ථාවක මෙවැනි කාර්යක්ෂම සේවයක් මා දුටුවේ නැහැ.
තේ කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල මුදලක් වැය කරනවා. නමුත් හැමදාම ගංවතුර ආදී විපත්වලට මුහුණ දෙමින් ජීවත්වීමට හැකියාව නැහැ. ගංවතුර ව්‍යසනවලට මුහුණදීම සඳහා ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. ගංවතුර නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අපට හැකියාව තිබෙනවා.
වර්තමානයේදී බද්දේගම මාර්ගය ගංවතුරින් යට නොවීමට හේතුව ගංවතුර නැවැත්වීම සඳහා බැම්ම ඉඳිකර තිබීමයි. ඒ නිසා සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ගංවතුර වැළැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.
නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා-
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්වැල් බැඳගෙන ජනතාවගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන ජාතික ආණ්ඩුව යටතේ විශාල සහන සලසා තිබෙනවා.
එදා ගාල්ලට සුනාමි ව්‍යසනය ඇතිවූ දවසත්, මහ ගංවතුර ඇති වූ දවසත් අපට මතකයි. ගංවතුර ව්‍යසනය ඇති වූ දවසේ ජනපති-අගමැති ප්‍රමුඛ ආණ්ඩුව විශාල කැප කිරීමක් කර කඩිනමින් ජනතා සහන සැලසීමට කටයුතු කළා.
තේ වතුවලට පමණක් නොව සෑම දෙනෙකුටම පොරොන්දු වූ පරිදි කඩිනම් සහන සැලසීමට අපට හැකි වුණා. වෙනත් තැන්වල ස්වභාවික ව්‍යසන අවස්ථාවලදී උද්ඝෝෂණ තිබුණත් ගාල්ල දිස්ත්‍රික්කයේ එවැනි කිසිදු අර්බුදයකින් තොරව නිසි පරිදි සහන සැලසීමට හැකි වූ බව කිව යුතුයි.
අගමැතිතුමා පුළුල් දැක්මක් සහිතව ආර්ථිකය හසුරුවන නායකයෙකු වනවා. එමෙන්ම අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභය ගන්නේ කෙසේ දැයි සෑම වැවිලිකරුවෙකුම කල්පනා කළ යුතුයි.
දකුණු පළාත් ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා-
ශ්‍රී ලාංකික තේ අදටත් ලොව ප්‍රමුඛතම තේ ලෙස සැලකෙනවා. අනෙක් රටවල තේ නිෂ්පාදනය ශ්‍රී ලංකාව අභිබවා ගියත් මෙරට තේ වල තිබෙන ස්වභාවික උත්තේජන නිසා තවමත් සිලෝන් ටී ප්‍රමුඛත්වයේ ලා සලකනවා.
සමස්ත වැවිලි කර්මාන්තකරුවන්ගෙන් සියයට 75 ක් කුඩා තේ වතු හිමියන් නම් ඔවුන්ට රජය උපරිම සහාය දිය යුතුයි. වර්තමානයේ කුඩා තේ වතු හිමියන්ගේ අස්වැන්න මසකට කිලෝ තුන් සියයක් හාර සියයක් පමණ වෙනවා. මේ ප්‍රමාණය කිලෝ හත්සියය දක්වා වැඩිකර ගත යුතුයි.
අගමැතිතුමාගේ දේශපාලන දිවියට වසර 40 ක් සපිරුණු මොහොතේ එතුමාට රටට සේවය කිරීමට තවත් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා-
“ගිංගඟ මිටියාවතේ ජනතාවට අතීතයේ සිටම ගංවතුර සහ නාය යෑම් ඛේදවාචකවලට මුහුණු දීමට වුණා. විපත් අවස්ථාවේදී ජන ජීවිතය නැවත නඟා සිටුවීම සඳහා විශාල වැඩ කොටසක් කළ බව කිව යුතුයි. එදා ජනතාවට දුන් ප්‍රතිඥාව අද ඉටු කරලා.
ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතය නඟා සිටුවීම සඳහා තේ දල්ල මහෝපකාරී වුණා. කුඩා තේ වතු හිමියන් තේ නිෂ්පාදන කාර්යයේදී විශාල වැඩ කටයුතුත් කරන බව කිව යුතුයි. අප රටේ පස තේ වගාවට ඉතා සුදුසු බැවින් ලොව හොඳම තේ නිපදවන රටක් ලෙස අපට කීර්තිය හිමි වුණා.”
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ. රංජිත් සහ අඬාරදෙණිය තේ කම්හලේ හිමිකරු ඩබ්ලිව්. ජිනදාස යන මහත්වරු ද සභාව ඇමැතූහ.
මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ඉෂාන් සංජීව