ජාතික රජය යටතේ අභියෝගාත්මක වෙනස ඉතාමත් සාර්ථකයි


(අංජුල මහික වීරරත්න)

සම්මුතිවාදී රජයේ උපරිම වාසිය ලබා ගැනීමට නම් තව දුරක් යා යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පෙරේදා (4) පැවැසීය.

ජාතික රජය යටතේ අභියෝගාත්මක වෙනස ඉතා සාර්ථක බව තම හැඟීම බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුයේ ‘‘2025 පොහොසත් රටක්’’ දැක්ම එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති උත්සවයේදීය.

මෙහිදී අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසුයේ පසුගිය රජය තරුණයන්ගෙන් සොරාගත් අනාගතය නැවත ඔවුනට ලබාදීම ජාතික රජයේ අරමුණ බවයි.

තරුණ පරපුර ජාතික රජයෙන් බලාපොරොත්තු වූ අනාගතය ඒ අයුරින්ම ලබාදෙන බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

2025 පොහොසත් රටක් දැක්ම ප‍්‍රධාන කරුණු 13කින් සමන්විතය. රජයේ ආර්ථික දැක්ම, වර්ධනය සඳහා පවතින සීමා, තුන් අවුරුදු ආර්ථික වැඩසටහන, වර්ධනයේ නව ප‍්‍රවේශය, සර්ව ආර්ථික රාමුව ශක්තිමත් කිරීම, වර්ධන රාමුව ශක්තිමත් කිරීම, ඉඩම් ශ‍්‍රම හා ප‍්‍රාග්ධන වෙළෙඳ පොළ ප‍්‍රතිසංස්කරණය, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, තාක්ෂණය හා ඩිජිටල්කරණය, සම්පත් ආරක්ෂණ වැඩසටහන, කෘෂිකර්ම හා තිරසාර සංවර්ධනය, වගකීමට බැඳී සිටීම, සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ක‍්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම එම කරුණු පහයි.

2025 දැක්ම ජනපති සහ අගමැති විසින් අනාගත පරපුරට පිළිගැන්වීම සංකේතවත් කරමින් යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.

අනතුරුව යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විවිධ දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් පැමිණි තරුණ තරුණියන්ට ජනපතිගෙන් සහ අගමැතිගෙන් ප‍්‍රශ්න විමසීමට ද අවස්ථාව ලැබිණි.

තරුණ තරුණියන් ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ඇසූ ප‍්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු මෙසේය.

ශ්‍රී ලංකා යෞවන සමාජ බල මණ්ඩලයේ උප සභාපති ශෙහාන් කෝකිල

ප‍්‍රශ්නය - සම්මුතිවාදී රජයේ කැබිනට් මණ්ඩලයට අදට වසර දෙකක් පිරෙනවා. එහි ප‍්‍රගතිය ගැන ඔබේ මතය කුමක්ද?

ජනපති - සම්මුතිවාදී ආණ්ඩුව යන සංකල්පය මේ රටට අලූත් දෙයක්. දේශපාලකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පුරවැසියන්ටත් එය අලූත්. කිසිම කෙනෙකුට අත්දැකීමක් නොතිබූ අලූත් දෙයක් අප නිර්මාණය කළා. අප රටේ සම්මුතිවාදී රජයේ වි්‍යුහය ලෝකයේ වෙනත් රටක දකින්නටත් නැහැ. ඒ නිසා මේ පිළිබඳව විවේචන රාශියක් තිබෙනවා. විරෝධතා තිබෙනවා. චෝදනා තිබෙනවා. නමුත් අප කරන්නේ ඉතා අපහසු අභියෝගාත්මක එහෙත් කළ යුතු කාර්යයක්. සම්මුතිවාදී රජයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අවුරුදු 60කට වැඩි කාලයක් විශාල වෛරයකින් ක්‍රෝධයකින් දේශපාලනය කළා. ගෙවල් ගිනි තැබුවා. දෙපැත්තෙම අයගේ ජීවිත විනාශ වුණා. රැකියා අහිමි කළා. මෙවැනි විශාල විරසකයක් තිබූ දේශපාලන පක්ෂ දෙකක්. ඒ පසුබිම තුළ වසර 60කට ආසන්න කාලයක් පිල් දෙකක සිට එකතු වූ විට අප බලාපොරොත්තු වූ කාරණය සියයට සීයක් පැයකින් මාසයකින් සිදුවන්නේ නැහැ.

ජන්මෙට වඩා පුරුද්ද ලොකු යැයි ගමේ කතාවක් තිබෙනවා. අප බලාපොරොත්තු වන මූලික විනයක් හික්මීමක් සමග ඉදිරියට යාමට පසුගිය කාලයේ අභියෝගාත්මක කාර්යයකට උර දුන්නා. ඒ අභියෝගාත්මක වෙනස ඉතා සාර්ථක බව මගේ හැඟීමයි. කවුරුන් කෙසේ කීවත් එය සාර්ථකයි. ඒ සාර්ථකත්වය ඇත්තේ සම්මුතිවාදී බව මත ඉදිරියට යාම නිසයි. ඒ අභියෝගාත්මක පසුබිම තුළ අප සාර්ථකත්වය කරා ළඟා වී තිබෙනවා. අත්දැකීම් ලබාගෙන ඉදිරියට යනවිට බොහෝ අඩුපාඩු සමනය වේවි.

අගමැති (පිළිතුර) - අලූත් පරපුරට අපි අලූත් දෙයක් දී තිබෙනවා. පක්ෂ දෙක ගහමරා ගැනීමෙන් ඵලක් නැහැ. තරුණයන් සඳහා අප අලූත් දෙයක් ලබාදිය යුතුයි. ඔවුන් අපෙන් බලාපොරොත්තු වූ අනාගතයක් තිබෙනවා. අපි බාර ගත්තේ විශාල අභියෝගයක්. වසර 60ක් ගහමරා ගත් අය දැන් එකතු වී තිබෙනවා. මීට පෙරත් අප එකට වැඩ කරන්නට උත්සාහ කළා. දැන් අපි මේ ගමන ඉදිරියට යමු.

අපිට දැනෙන වෙනසක් තිබෙනවා. තරුණයන්ට අද  අනාගතය ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. සියලූම දේ ඉටු කරන්නට බැරි වුණත් අපි ඉදිරි ගමනක් යනවා. සම්මුතිවාදී රජයෙන් ඔබට සෙතක් වුණාද නැද්ද යන්න සිතන්න. සෙතක් වී තිබේනම් අපේ වැඩකටයුතු ගෙනයාම සඳහා සහයෝගය දෙන්න.

 ප‍්‍රශ්නය: යොවුන් පාර්ලිමේන්තුවේ කථානායක සචිත‍්‍ර දුලංජන:- 2025 වන විට විශාල ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට අගමැතිතුමා සැලසුම් කර තිබෙනවා. රැකියා දශ ලක්‍ෂයක් ලබාදීම යථාර්ථයක් කිරීම සඳහා අනුගමනය කරන ක‍්‍රමෝපායන් මොනවාද?

අගමැති (පිළිතුර) :- පක්‍ෂයක මන්තී‍්‍ර පිරිසක් සිටි පමණින් අපට වැඩ කරන්නට බැහැ. පක්‍ෂ දෙක එකතු විය යුතුයි. දැන් ඒ තත්ත්වය ඇති වී තිබෙන නිසා ක‍්‍රමෝපායන් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව අපට තිබෙනවා. අප එකට එක්ව සාකච්ඡා කරනවා. ස්ථාවර බවක් නැතිනම් ඉදිරියට යන්න බැහැ. එංගලන්තය, ඇමරිකාව වැනි රටවල හැමවිටම ආර්ථික සමාජ ක‍්‍රම ගැන එකඟතාවයක් තිබෙනවා. අපේ රටේත් එවැනි ක‍්‍රමයක් ඇතිකර වෙළෙඳ ආර්ථිකය සහ සමාජ සාධාරණත්වය යන අංශ දෙකම පදනම් කරගෙන ඉදිරියට යාම අපේ අරමුණයි. ලෝක තත්ත්වයන් අනුව අප වෙනස් විය යුතුයි. පක්‍ෂ දෙක එකට එක්වී ඉදිරියට යාම ප‍්‍රධානම කාරණයයි.

 ප‍්‍රශ්නය:- කළුතර දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් පැමිණි දිලූෂි වීරසිංහ:- ප‍්‍රධාන පක්‍ෂ දෙක සම්මුතියක් ඇති කරගෙන ඇති අවස්ථාවක රටට මෙම සම්මුතියෙන් උපරිම වාසි ලැබේවි යැයි සිතනවාද?

පිළිතුර ජනපති:- උපරිම වාසිය ගන්න නම් තවදුරටත් යා යුතු වෙනවා. සම්මුතිවාදී ආණ්ඩු සංකල්පය පිළිබඳව අත්දැකීම් නැති මෙන්ම ඊට කැමති නැති අය බලය ඉලක්ක කරගෙන පටු දේශපාලනයක් කරනවා. රට ගැන නොසිතා තමන්ගේ බලය ගැන සිතා සැලසුම් සකසන අය සමාජයේ ජීවත් වෙනවා. මේ කාර්යය සාර්ථක කර ගැනීම දේශපාලනඥයාගේ වගකීමයි. රාජ්‍ය නිලධාරීන්ගේ සහ පුරවැසියන්ගේ වගකීමයි. ව්‍යාපාරිකයන්ගේ වගකීමයි. ඒ සියල්ලන්ගෙන්ම තම වගකීම හරිහැටි ඉටු විය යුතුයි. එමෙන්ම සැමවිටම අපේ ප‍්‍රතිපත්තිය විය යුත්තේ වෙන්වීම නොව එක්වීමයි. කිසිම තැනක වෙන්වීම සුබදායක වන්නේ නැහැ. සැමවිටම එක්වීම තිබිය යුතුයි.

 සාමුහිකත්වය, පොදු බව තිබෙන්නේ එක්වීම යන සංකල්පය තුළයි. පෞද්ගලිකත්වයෙන් මිදී සාමුහිකත්වය සහ පොදු බව අගයන වැඩපිළිවෙළකට යා යුතුයි. අපේ සමාජයේ මේ තත්ත්වය ගොඩනැගීම එතරම් පහසු කරුණක් නොවේ. කිසියම් දෙයක් අරඹා පළමු වසරේදීම සියයට සියයක සාර්ථකත්වයක් දකින්නට හැකියාවක් නැහැ. සාර්ථකත්වය දකින්නට හැක්කේ පියවර ගණනාවක් ගිය විටදීයි. ගමන් මග හරියාකාරව තේරුම්ගත් විට අපට බලාපොරොත්තු ඉලක්ක කරා යාමට හැකියාව තිබෙනවා. ඒ සඳහා සියලූ පාර්ශවවල  කැපවීම අධිෂ්ඨානය අවශ්‍යයි.

 ප‍්‍රශ්නය:- අල්ලසින් දුෂණයෙන් තොර සමාජයක් අනාගතයට තිළිණ කිරීම සඳහා වන සැලසුම් මොනවාද?

 ජනපති:- අල්ලස, දුෂණය, වංචාව ආදී සියලූ දේවලින් පිරුණු සමාජයක් අප විසින් බාරගත්තා. ඒ තත්ත්වය ඉහළ සිට පහළටම ගලාගෙන පැමිණ තිබුණා. ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් කිරීම දවසකින් හෝ දෙකකින් කළ හැකි දෙයක් නොවේ. අල්ලස දුෂණ වංචාව නතර කිරීම සඳහා තීන්දු තීරණ රාශියක් ගෙන තිබෙනවා. අප නීතිය ශක්තිමත් කළා. අල්ලස දුෂණය වංචාව මර්දනය කරන ආයතන ශක්තිමත් කළා. මේ වනවිට සමාජය සකස් වෙමින් ඉදිරියට එන බවක්  පෙනෙන්නට තිබෙනවා. වැරදි කරන්නට දේශපාලකයන්  තුළ  බයක් ඇති වී තිබෙනවා. එදා, අද මෙන්ම හෙට කරන සහ කළ වැරදිවලට දඬුවම් ලැබෙන බවට බයක් ඇති වී තිබෙනවා. සමාජය විනය ගරුක වීමට නම් ලැජ්ජාව සහ බය තිබිය යුතුයි. වැරැද්දක් කළොත් දඬුවමක් ලැබෙන බවට එන බය අද ඇති වී තිබෙනවා. මේ වසර එකහමාරේදී ගත් තීන්දු තීරණ නිසා වගකීම නිසි ලෙස ඉටු කළ යුතු යැයි දේශපාලකයන්ට හැඟීමක් ඇතිවී තිබෙනවා. එසේ හැඟීමක් නැතිනම් අපට නීතියෙන් දඬුවම් කරන්නට වේවි. අනෙක් පැත්තෙන් ජනතාවගෙන් දඬුවම් ලැබේවි. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට දේශපාලකයන්ගේ පෙළගැස්මක් ඇති වී තිබෙනවා.

ඇමැතිවරයා සොරකම් කරනවා නම් අමාත්‍යාංශ ලේකම් ද ඊට පෙලඹෙනවා. ඒ අයුරින් සමාජ පද්ධතියම වැරදි පැත්තට යනවා. මේ ආකාරයට සමාජයක් වැරදි පැත්තට ගලාගෙන  යාම නොවැළැක්විය හැකි දෙයක්. නිවැරදි පැත්තට සමාජය හැඩගස්වා ගැනීම ආදර්ශයෙන් කළ යුතු දෙයක්. ඒ ආදර්ශය අපි විසින් දිය යුතුයි. අපේ දේශපාලන සංස්කෘතිය පිරිහීමට හේතු රැසක් බලපෑවා ඒ දේශපාලන සංස්කෘතියේ පිරිහීම නිසා මුළුමහත් සමාජ දේහයම පිරිහුණා. රාජ්‍ය සේවයත් පිරිහුණා.

ප‍්‍රශ්නය - ගාල්ලේ තිළිණි මැදගොඩ - ණය බරින් රට මුදා ගැනීමට ඔබ යෝජනා කරන ක‍්‍රමවේද මොනවාද?

පිළිතුර - අගමැති: අප රජය බාරගත්තේ අපේ ආදායමෙන් ණය පොලියවත් ගෙවීමට නොහැකි මොහොතකයි. දැන් අප ණය ගෙවීමට හැකි ස්ථාවර ආර්ථික තත්ත්වයකට පැමිණ තිබෙනවා. නමුත් අපට එදිනෙදා කටයුතු සඳහා ණය ගැනීමට සිදුවන අවස්ථා තිබෙනවා. 2025 වනවිට මේ ණය බර අඩුකර ගැනීම අපේ අරමුණයි. මේ වසර තුනේ විශාල ආයෝජන පැමිණි විට 2025 වන විට අපේ ආදායම ශීඝ‍්‍රයෙන් වැඩි වෙනවා. එමෙන්ම අපේ විදේශ විනිමය වැඩි වෙනවා. එවිට ණය ගෙවීම අසීරු වැඩ කටයුත්තක් නොවේ. අපට අවශ්‍ය සාමාන්‍ය ආර්ථික ශක්තියක් ඇතිකර ගැනීමයි. අපේ යුගයේදී මේ ප‍්‍රශ්නය විසඳාගෙන අනාගත පරපුරට ශීඝ‍්‍ර දියුණුවක් ලබාදීම අපේ අරමුණයි. ඊට අවශ්‍ය පදනම මේ වසර පහ තුළ දැමිය යුතුයි.

ජනපතිට, මට මෙන්ම ආණ්ඩුවට දොස් කියනවා. අනාගතයට ණය බර නැති රටක් උරුම කිරීම අපේ අරමුණයි. අද වනවිට ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. නියඟ ගංවතුරවලට මුහුණ දීම සඳහා ආදායම අප විසින් සොයා ගත්තා. අසීරුම වසර දෙකට අප මුහුණ දුන්නා. යුද්ධයෙන් නැති වූ උතුරේ ආර්ථිකයත් අප විසින් දියුණු කරනවා.

ප‍්‍රශ්නය x ඒකපුද්ගල ආදායම වැඩි කිරීමේ සහ රැකියා බිහි කිරීමේ සැලසුම් මොනවාද?

පිළිතුර (අගමැති) - පළමුවෙන්ම ආයෝජන ලබාගත යුතුයි. ආයෝජන නිසා තාක්ෂණය දියුණු වෙනවා. තාක්ෂණය සමග රටේ ආර්ථිකය නවීකරණය වෙනවා. එම නවීකරණය කෘෂිකාර්මික, සේවා, ක්‍ෂෙත‍්‍රවලටත් ගමන් කරනවා. තොරතුරු තාක්ෂණය සෞඛ්‍ය තාක්ෂණය දියුණු වී ඇති ආකාරය බලන්න. අපගේ නිෂ්පාදන ක‍්‍රමවේදය වෙනස් වෙලා. ආයෝජන සඳහා අදාළ ස්ථාවර බව ඇති කළ යුතුයි. ආර්ථික ස්ථාවර බව ඇති කිරීමට පෙර සමාජ සමබර බව ඇති කළ යුතුයි. අප රජයේ ආගමික ජනවාර්ගික ගැටුම් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක කරනවා. ඒ ස්ථාවර බව උඩ අපට අවශ්‍ය වන්නේ පළමුවෙන්ම යටිතල පහසුකම් ලබාදීමයි. රටේ හැම ප‍්‍රදේශයකටම අප මෙම යටිතල පහසුකම් ලබා දෙනවා.

අප මිනිස් සම්පත දියුණු කළ යුතුයි. පුහුණුව ලබාදිය යුතුයි. අධ්‍යාපනය තුළින් ඉදිරියට යා යුතුයි. ලෝකය සමග අපත් වෙනස්විය යුතුයි. ජංගම දුරකතනයෙන් දැනුම සොයාගත හැකි තත්ත්වයට යා යුතුයි.

ඒ සමගම අප ලෝක වෙළෙඳපොළට ඇතැළු විය යුතුව තිබෙනවා. ඒ සඳහා තාක්ෂණය, ආයෝජන ලබාගත යුතුයි. කර්මාන්තශාලා, සංචාරක ව්‍යාපාරය, සේවා දැනුම ඇති කළ යුතුයි. යුරෝපා වෙළෙඳ පොළටගොස් තරග කළ හැකි තත්ත්වයක් ඇති කිරීම අපේ අරමුණයි. ඉන්දියාව, චීනයට ගොස් තරග කළ හැකි තත්ත්වයක් අප නිර්මාණය කරනවා.

අපේ රට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවානම්. ඒ දියුණු බවට සම්බන්ධ වෙනවා නම් ඔබට අනාගතයක් තිබෙනවා.

මඩකළපුවේ එස්. ඉන්දුරාජා මෙනවිය (ප‍්‍රශ්නය):- වත්මන් ආණ්ඩුව අන් කවරදාවත් වඩා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර සහයෝගය මෙරට සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් යොදාගන්නේ කෙසේද?

ජනපති (පිළිතුර) - අපට අභ්‍යන්තර සහාය ලැබුණේ මේ වසර කීපයේදී අප ගෙනගිය වැඩපිළිවෙළ නිසයි. පෙර රජයට ජාත්‍යන්තර සහයෝගයක් නොලැබුණේ ඒ රජය ගෙන ගිය වැඩපිළිවෙළේ තිබූ වැරදිසහගත ස්වභාවය නිසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි සාමාජික රටවල් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියා සංවර්ධන බැංකුව මේ සියලූ දේ ජාත්‍යන්තරයට අයත් එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ තිබෙන කරුණු අපත් පිළිපැදිය යුතුයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතා නිදහස, මානව හිමිකම්, මානව අයිතිවාසිකම්, මූලික අයිතීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තහවුරු විය යුතුයි. මාධ්‍ය නිදහස තහවුරු විය යුතුයි. එය සමාජයේ හොඳ ලක්ෂණයක්. එවිට අප ජාත්‍යන්තර ප‍්‍රසාදයට ලක්වෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය කරනවා නම් ඔවුන් රට හැරදමා යනවා නම් මාධ්‍ය ආයතන ගිනි තබනවා නම් ජාත්‍යන්තරය ඒ පාලනය ප‍්‍රතික්ෂේප කරනවා.

මිනිසුන්ට නිදහසේ ජීවත්වීම සඳහා අප අයිතිය තහවුරු කොට තිබෙනවා. මිනිසුන්ගේ දුගී බව තුරන් කිරීම සඳහා රජයක් ක‍්‍රියා කරන ආකාරය ඉතා වැදගත්. රටක දුප්පත්කම අවම කරගන්නේ කෙසේද? ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ කෙසේද? සංවර්ධනයේදී යටිතල පහසුකම් සම්බන්ධයෙන් වන සැලසුම් මොනවාද? අධ්‍යාපනයේ ගුණාත්මක බව ඇති කරන්නේ කෙසේද? සමාජය යහපත් කිරීම සඳහා ගෙන තිබෙන පියවර මොනවාද? ඒ සඳහා රජයක් ලෙස ගෙන තිබෙන පියවර මොනවාද? යන කරුණු ගැන ජාත්‍යන්තරය බලාපොරොත්තුවෙන් සිටිනවා.

නීතියේ ආධිපත්‍ය රැකීමට අප බැඳී සිටිනවා. නීතියට ඉහළින් කිසිවකුත් නැහැ. සෑම කෙනෙකුගේම හිසට උඩින් නීතිය තිබෙනවා යන කරුණු සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින දෙයක්.

අධිකරණය ස්වාධීන අපක්ෂපාති විය යුතුයි. රජයක් ලෙස කටයුතු කරන විට දේශපාලන පක්ෂ බේදයෙන් තොරව නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරමින් මානව හිමිකම්, මුූලික අයිතිවාසිකම් තුළ සියලූ දෙනාට සමාජ සාධාරණත්වය ලබාදිය යුතුයි. එමෙන්ම සැමට සමානාත්මතාවයෙන් කටයුතු කිරීම රජයේ ප‍්‍රතිපත්තිය විය යුතුයි.

කෙනකුට නිදහසේ ව්‍යාපාරයක් කරගෙන යාමට ඉඩදිය යුතුයි. අපට මේ වසර කීපයේදී ජාත්‍යන්තර හොඳ හිත ලැබී ඇත්තේ අප කරගෙන පැමිණි වැඩපිළිවෙළ නිසායි.

අපට පෙර පාලනයේ ජාත්‍යන්තර හොඳ හිත නැති වූයේ එවැනි වැඩපිළිවෙළක් නැතිව සමාජය උඩු යටිකුරු කොට කටයුතු කළ නිසයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පෙන්නුම් නොකර ආඥාදායක පාලනයක් ගෙන ගියා. 18 වැනි සංශෝධනය අප රටේ උගතුන් බුද්ධිමතුන් පමණක් නොව මුළු ලෝකයේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන අය විසින් ප‍්‍රතික්ෂේප කළා. අප 18 වැනි සංශෝධනය අහෝසි කොට 19 වැනි සංශෝධනය තුළින් නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කොට  අධිකරණ අපක්ෂපාතී බව අල්ලස දුෂණයට විරුද්ධව අනාගත ශක්තිමත් කිරීම කළා. එවිට ඒ පාලනය ගැන ජාත්‍යන්තර ප‍්‍රසාදයක් ඇති වෙනවා. අපට ජාත්‍යන්තර ප‍්‍රසාදයක් ඇතිවී ඇත්තේ රට වෙනුවෙන් තීන්දු තීරණ ගත් නිසයි.

ප‍්‍රශ්නය - අපට අහිමි වූ ජාත්‍යන්තර මිතුරු බව යළි ලැබීම ගැන අගමැතිතුමාගේ අදහස කුමක්ද?

අගමැති - ලෝකයේ එක් පිලකටවත් නොබැඳි රටක් ලෙස කටයුතු කිරීම අපේ පිළිවෙතයි. ලොව අප පිළිගෙන තිබුණා ඒ පිළිගැනීම අප ආරක්ෂා කරගත යුතුව තිබුණා. නමුත් පසුගිය රජය සමයේ අප ඒ පිළිගැනීම ආරක්ෂා කරගත්තේ නැහැ.  අවසානයේ අපට යුරෝපා සංගමය සමග ගැටෙන්න සිදු වුණා. අපට ජාත්‍යන්තරයෙන් දී තිබූ සහන අප විසින් අහිමිකර ගත්තා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ගැටුණා. ඉන්දියාව, ජපානය සමග ගැටුණා. ඒ අය අප සමග තරහ වෙන්න ආවේ නැහැ. අප යුද සමයේ ඒ රටවල් සමග එකට එක්වී කටයුතු කළා. මානව හිමිකම් රකින්න උපකාර කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න. රට දියුණු කරන්න උපකාර කළා.

2010-2015 අතර අපට ජාත්‍යන්තර සහන විශාල වශයෙන් නැති වුණා. ඒ කාලයේ බංගලාදේශය විශාල පිම්මකින් ඉදිරියට ගියා. 2030-2040 වන විට ලෝකයේ ප‍්‍රධාන ආර්ථික 32කෙන් එකක් බවට බංගලාදේශය පත් වෙනවා. වියට්නාමය දියුණුවට පත් වෙනවා. අපට අතට ලැබුණු සහන අතහැර තිබෙනවා.

අවසානයේ අපට ගෙවන්න බැරි ණයක් ඉතිරි වුණා. අපගේ අපනයන ආදායම අඩු වුණා. ඇඟළුම් කර්මාන්තශාලා වැසී ගියා. අනාගතයක් සොයා ගන්න නම් මැදපෙරදිග යන්නට සිදුවුණා.

2015 ජාතික ආණ්ඩුවෙන් පසු අපි ජාත්‍යන්තර මිත‍්‍රත්වයට එළඹුණ හැම රටක් සමගම අප මිතුරු වී සිටිනවා. ලෝකය සමග අප වැඩ කරනවා.

ඞී.එස්. සේනානායක යුගයේ සිට අපට ලෝකය සමග එක්ව ඉදිරියට යාමට හැකි වුණානම් ඇයි අපි ලෝකය සමග හැප්පුනේ. ලෝකය අප සමග හැප්පෙන්න ආවේ නැහැ.

ඔවුන් ඔබේ අනාගතයෙන් වසර පහක් සොරකම් කර ගත්තා. අප උත්සහ කරන්නේ එලෙස සොරාගත් අනාගතය නැවත ලබාදීමටයි.

ලෝකයේ බලවත්ම ඇමරිකාවටවත් ලෝකය සමග තරහ වී ඉන්නට හැකියාවක් නැහැ. පක්ෂ දෙක එක්වී අප අලූත් පණිවිඩයක් ලබා දුන්නා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, කථානායක කරු ජයසූරිය මහත්ම මහත්මීහු යහපාලන රජයේ මැති ඇමැතිවරු ද, සිවිල් සමාජ ක‍්‍රියාකාරීහු ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ.