ජේ .ආර්. කළ පෙරැලිය අනුර ආපසු හරවයිද?



ජේ.ආර්ටත් වඩා ඉහළ බලයක් ලැබී ඇති වත්මන් ජනාධිපතිවරයාට  ජේ.ආර්. මෙන් ක්ෂණික තීන්දු ගත හැකිද? බොහෝ දෙනා බලාපොරොත්තුව සිටින්නේ ඔහුගේ පාලනය යටතේ මෙරට සමාජ ක්‍රමයේ යම් පරිවර්තනයක්ද සිදුවනු ඇති බවය. එහෙත් ජාතික ජන බලවේගයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති අනුව ආර්ථික හා සමාජයීය වෙනස්කම් සිදුකිරීමට ජනාධිපතිවරයාට සිදුවේද?


මෙම මහ මැතිවරණයේදී අනුර කුමාර දිසානායකත් 1977 මහා මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධනත් ලැබූ මැතිවරණ ජය එක සමානය. ජේ.ආර්ගේ එජාප දිනන බව දැන සිටිමුත් කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට විපක්ෂය සෝදා පාළුවී ගියේය. මන්ත්‍රී ආසන 164න් 138 ක්ම එජාපයට ලැබුණේය. සෙසු සියලුම පක්ෂවලට ලැබුණේ ආසන 30කි. ජේ.ආර්. ලැබූ ජයග්‍රහණය  සමස්ත පාර්ලිමේන්තුවෙන්ම හයෙන් පහක අතිවිශාල ජනවරමක් විය. එලෙසම මෙවර අනුර කුමාර දිසානායක ද මන්ත්‍රී ආසන 159 ක් හෙවත් සමස්ත මන්ත්‍රී ආසන ප්‍රමාණයෙන් 10න් 7ක අතිවිශාල ජන බලයක් ලබා සිටී.

මෙම ජයග්‍රහණයෙන් ජනතාව ලබාදී ඇති පණිවිඩය නම් පැවැති ආණ්ඩුවත් මෙතෙක් රට පාලනය කළ සියලු පක්ෂත්  ප්‍රතික්ෂේප කරන බවය. ඔවුන්ගේ දේශපාලනය ජනතාවට එතරම්ම තිත්ත වී තිබූ බවය. තමන්ට රට හැදිය හැකි බවට දූෂණයෙන් වංචාවෙන් පිරී ගොස් තිබූ පාලන තන්ත්‍රය පිරිසිදු කළ හැකි බවට මන්ත්‍රීවරයා දේශපාලනයෙන් හම්බ කරන සංස්කෘතිය නැති කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ලබාදුන් පොරොන්දු  ජනතාව විශ්වාස කර ඇති බවය.

1977 දී ජේ.ආර්. ජයවර්ධනට ලැබුණේද එවැනිම ජනවරමකි. එතෙක් පැවැති ශ්‍රීලනිපය පෙරටු කරගත් තුන් හවුලේ පාලනය ගැන ජනතාව සිටියේ අන්තයටම කලකිරීමෙනි. එහි ප්‍රතිඵලය වූයේ කිසිවකුත් නොසිතූ හයෙන් පහක අති විශාල ජනවරමකි. එම ජනවරම උපයෝගී කරගෙන ජේ.ආර්. තමාගේ සිතේ තිබූ සැලසුම ක්‍රියාත්මක කළේය.


ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා රට එතෙක් ගමන් කරමින් තිබූ මග සම්පූර්ණයෙන්ම වෙනස් කළේ එක්සත් ජාතික පක්ෂයේ බලය සම්පූර්ණයෙන්ම තමා අත තිබූ නිසාය. ඔහු පළමුවෙන්ම දිවුරුම් දුන්නේ අගමැතිවරයා හැටියටය. ඒ සමගම නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට තම සොහොයුරාත් තවත් එජාප හිතවාදී නීති වෘත්තිකයෝ දෙදෙනෙකුත් යොදා ගත්තේය. මාස හයක් ගත වන්නටත් පළමුව නව ව්‍යවස්ථාව  සම්මත කරගෙන ප්‍රථම විධායක ජනාධිපති ලෙස ඔහු දිවුරුම් දී අවසන්ය. මැතිවරණ දිනූ විගසම ආනයන සීමා ලිහිල් කරමින් පිටරට බඩු මුට්ටු සුලබ කර පාඩු ලබමින් තිබූ රාජ්‍ය ආයතන විකුණා දැමීම සහ ඈවර කිරීම ඇරඹුවේය. හරි හෝ වැරදි හෝ වේවා ජේ.ආර්. තමාට හිතුනු දේ කළේය. ඒ සඳහා රට තුළින් පමණක් නොව පක්ෂයෙන්ද බාධා එන්නට ඉඩ තැබුවේ නැත.

ජේ.ආර්ටත් වඩා ඉහළ බලයක් ලැබී ඇති වත්මන් ජනාධිපතිවරයාට  ජේ.ආර්. මෙන් ක්ෂණික තීන්දු ගත හැකිද? බොහෝ දෙනා බලාපොරොත්තුව සිටින්නේ ඔහුගේ පාලනය යටතේ මෙරට සමාජ ක්‍රමයේ යම් පරිවර්තනයක්ද සිදුවනු ඇති බවය. එහෙත් ජාතික ජන බලවේගයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති අනුව ආර්ථික හා සමාජයීය වෙනස්කම් සිදුකිරීමට ජනාධිපතිවරයාට සිදුවේද? එසේ නැතිනම් රට දැනට ගමන් කරමින් ඇති ලිබරල් ප්‍රතිසංස්කරණ ඔස්සේම රටේ ගමන මෙහෙයවීමට ජනාධිපතිවරයා සමත් වේද? දැනට පැහැදිලි වී ඇති දේශපාලන කරුණු අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිවලට වඩා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති වෙනස්ය. ජාතික ජන බලවේගය ලිබරල් ප්‍රතිපත්තිය පිළිගනියි. ඔවුන් බලයට පත් වූ විගස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සුහදතාව වගාකර ගත්තේය. ඔවුන්ගේ උපදෙස් මත ආර්ථිකය මෙහෙයවන බව පැහැදිලි කර ඇති රජයක සාර්ථක අසාර්ථක භාවය මනින්නේ පක්ෂ ප්‍රතිපත්ති මගින් නොව ජනතාව එදිනෙදා දක්වන ප්‍රතිචාරය අනුවය. අද වෙළෙඳපොළේ ඇති රාක්ක හෙට හිස් වේ නම් ඉන්ධන පිරවුම් හලේ ඛනිජ තෙල් හිඟවී පෝලිම් ඇතිවේ නම් ජනතාව රජය අතහැර යාම වැළැක්විය නොහැකිය. මැතිවරණ ජයග්‍රහණය ඉල්ලුවාටත් වැඩියෙන් ලබාදී ජනතාව දැන් බලා ඉන්නේ ‘‘අනුර’’ කොහොම මේ ගේම් එක ගහයිද කියාය.

එහෙත් අනුරට ‘‘ගේම් එක’’ ගහන්න හිතූ තරම් ලේසි නැත. භාණ්ඩාගාරය හිස්ය. බදු එකතු කිරීම හැර රටට වෙනත් ආදායම් මාර්ග නැත. ක්ෂණික ප්‍රතිලාභ නැතිනම් ජනමතයද වහා වෙනස් වන්නේ ය.

හයෙන් පහක ජනවරමක් තිබූ ජේ.ආර්ට තිබූ වාසිදායක තත්වයන් ගණනාවක්ම දහයෙන් හතක බලයක් ලැබූ අනුර කුමාර පාලනයට නැත. ජේ.ආර්. යුරෝපීය රාජ්‍යයන් ගණනාවකට කතා කර මහවැලියේ මහ ජලාශ ඉදිකරවා ගත්තේය. වසර හතක් වසා තිබූ ආර්ථිකය විවෘත කරද්දී  විදේශීය ආයෝජකයෝ විශාල වශයෙන් ලංකාවට පැමිණ ව්‍යාපාර ඇරඹූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විශාල වශයෙන් ණය ලබා දුන්නේය. හිතූ හැටියට මුදල් මුද්‍රණය කරන්නට ජේ.ආර්ගේ රජයට ඉඩ තිබිණි. එකල විදේශීය ණය තිබුණේ ඉතාම අල්ප වශයෙනි.

එහෙත් අනුර කුමාර දිසානායක රජයට ඒ කිසිම වාසියක් දැන් නැත. යුරෝපීය රාජ්‍ය තවදුරටත් අනුන්ට ණය දිය හැකි තත්ත්වයක නැත. විදේශීය ආයෝජකයන් මෙරටට නොඑන ප්‍රධාන හේතුව වෘත්තීය සමිති බලවත් වීම සහ ආයෝජකයන්ට වඩා කම්කරුවන් ආරක්ෂා කරන නීති බලවත් වී ඇති නිසාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ න්‍යාය පත්‍රයකට ලංකාව හසුකර ගෙනය. දෙන ණය මුදල් සංවර්ධනයට නොව මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහාය. වියදම් කළ නොහැකිය. මූල්‍ය අරමුදල් ගිවිසුම මත හිතූ හැටියට මුදල් මුද්‍රණය කිරීම අත්හිටුවා ඇත. රජයට මුදල් උපයා ගැනීම සඳහා බදු වැඩි කිරීමට ද නොහැකි වන අතර වත්මන් රජය බලයට ආවේ දැනට ඇති බදු ද අඩු කරන බවට පොරොන්දු වෙමිනි. එනිසා ජේ.ආර්. කළ හපන්කම් අනුරට කළ නොහැකි වන අතර ජනතාව ජේ.ආර්. කළාටත් වඩා හපන්කම් අනුරගෙන් බලාපොරොත්තු වෙති. තමා ඉන්ද්‍රජාලිකයකු නොවන බව ඔහු කියන්නේ ඒ නිසාය. අනුරට ආර්ථික ප්‍රාතිහාර්යයකට වඩා කළ හැක්කේ සමාජයීය පරිවර්තනයකි. ජනපති අගමැති හා මැති ඇමැතිවරුන්ගේ වියදම් කපා හැර ආණ්ඩුව සරල වීමෙන් ටික කලක් යනතුරු ජනතා ප්‍රසාදය රඳවා ගත හැකිය. ව්‍යවස්ථාවේ රාක්ෂ මුහුණුවර මානුෂීය මුහුණවරකට පරිවර්තනය කිරීමද ඊ ළඟට කළ හැකිය.

ජේ.ආර්. බලයට පත්වූ වහාම ඇති කළ නිදහස් ආර්ථික ක්‍රමයත් ඒ හා බැඳුණු සමාජ ක්‍රමයත් මගින් රටේ එතෙක් පැවැති ආහාර හිඟය දුරු කළා සේම එතෙක් රට තුළ පැවැති සුබසාධක ආර්ථික ක්‍රමයද දුරුකර දැම්මේය. ආහාර සුලබ විය. එහෙත් ඒවා මිලදී ගත යුතු විය. මිලදී ගැනීමට මුදල් නැති වීම ජනතාවට තිබූ ඊළඟ ප්‍රශ්නය විය. ජනතාවිරෝධය මතුවුණේ එමගිනි.

විවෘත ආර්ථික ක්‍රමයත් සමග ලෝකයත් සමග ගනුදෙනු කර මුදල් උපයා ගැනීමට රජයටත් වෙළෙඳ සමාගම්වලටත් අවස්ථාව හිමිවිය. එලෙසම එතෙක් රට තුළ නොතිබූ විවිධාකාර සමාජ වසංගත රට තුළට ආවේය. විප්ලවකාරී තරුණ පරපුර වෙනුවට පොප් සංගීතයෙන්  නැටවෙන ඩිස්කෝ ටී ෂර්ට් හඳින පිටරටින් ආ අව් කණ්ණාඩියෙන් විපරීත මුහුණක් මවාගත් මර්ජුවානා, කොකේන් වැනි එතෙර තරුණ පරපුර වැලඳගෙන සිටි මත්ද්‍රව්‍ය සාක්කුවේ දමාගත් පාදඩ තරුණ පරපුරක් බිහි වුණේය. 1971 තරුණ කැරැල්ලේ දී සැලකිය යුතු පාසල් සිසුන් පිරිසක් වාමාංශික මතවාදයෙන් සන්නද්ධව කැරැල්ලට එකතු වී සිටි අතර ජේ.ආර්. ගෙන ආ සමාජ ක්‍රමය යටතේ පාසල් සිසුන්ට මාක්ස්වාදය තබා ජාතිය ආගම ඉතිහාසය ගැන මෙලෝ දැනීමක් තිබුණේ නැත.

ලෝකයේ මාක්ස්වාදී මූලයකින් යුතු ආණ්ඩු සමාජය  දැනුමින් සන්නද්ධ කිරීම සඳහා කලාව ඉතා නිර්මාණාත්මක ලෙස යොදා ගෙන ඇත. ලෝකයේ සමාජවාදී ආණ්ඩු තිබුණේ ඉතා අතළොස්සක් වුවත් සමාජවාදී සාහිත්‍යය ධනවාදී සාහිත්‍යයට වඩා ඉතා ඉහළින් සිටියි. ජේ. ආර්. බලයට පැමිණි විගසම පාසල් අධ්‍යාපනයෙන් ඉතිහාසය විෂය ඉවත් කළේය. ඉන්පසු බිහිවූයේ  රටේ ඉතිහාසය ගැන මෙලෝ හසරක් නොදන්නා තරුණ පරපුරකි. එදා එම තරුණ පරපුර අද වැඩිහිටියන්ය. ජේ. ආර්. ඇති කළ පාදඩ සමාජ ක්‍රමය පෝෂණය කරන්නේ මේ පිරිසය. වත්මන් ජනාධිපතිවරයාට සංකරවී ඇති සමාජය පිරිසිදු කිරීමට අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. 1977 න් පසු බිහි වූ සංකර සමාජ ක්‍රමයෙන් ඉවත් වීම සඳහා ඔහු ගන්නා පියවර අනුව සමාජය වඩාත් යහපත් තැනකට ඒමටද හේතු විය හැකිය.

ජේ.ආර්. ඇති කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඒ හා සමගම බැඳුණු දේශපාලන සංස්කෘතියත් බොහෝ දෙනාගේ විවේචනයට බඳුන්ව ඇත. 1980 පමණ සිට දිගින් දිගටම ඇති වුණු ආර්ථික පසුබෑමටත් දේශපාලන අලකලංචිවලටත් නිතරම වැරදිකාරයා වන්නේ ජේ.ආර්. හැදූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. වර්තමාන ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට වන පොරොන්දුවක් ද වෙයි. 1994 චන්ද්‍රිකා කුමාරතුංගත් 2005 මහින්ද රාජපක්ෂත් 2015 දී මෛත්‍රීපාල සිරිසේනත් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බවට ප්‍රතිඥා දුන්හ. එහෙත් ඒ කිසිවක් සිදු වූයේ නැත. සැබැවින්ම රට දිනෙන් දිනම ආපස්සට යෑමටත් අසාර්ථක ආණ්ඩු බිහිවීමටත් හේතුව ව්‍යවස්ථාවමද යන්න ප්‍රශ්නාර්ථයකි. එසේ නැතිනම් රට දියුණු කිරීමේ නිවැරදි දැක්මක් නොමැති දේශපාලකයන් තමන්ගේ නොහැකියාව වසා ගන්නට ව්‍යවස්ථාවට වරද පටවනවාද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී විපක්ෂයට යන පක්ෂ පවතින ආණ්ඩුව පෙරලා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග ක්‍රියාත්මක නොකර තමන්ගේ බැරිකම ව්‍යවස්ථාව පිටින් යවනවාද යන්නත් ප්‍රශ්නකාරීය.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දුන් සමානුපාතික මැතිවරණ ක්‍රමය බොහෝ දෙනාගේ විරෝධයට ලක්ව තිබුණද මෙවර මහා මැතිවරණයේදී මෙන් සෝදාපාළුවීම් පමණක් නොව විපක්ෂයම භූමදානය වන අවස්ථාවක විපක්ෂයේ ගැලවීම තිබුණේ සමානුපාතික ඡන්ද ක්‍රමයේය. ඡන්ද කොට්ඨාස දෙකක් පමණක් දිනූ සමගි ජන බලවේගයට සමානුපාතික ක්‍රමය යටතේ මන්ත්‍රී ආසන 40ක් හිමි වී තිබේ. ඒ අනුව බලනවිට විපක්ෂය සම්පූර්ණයෙන්ම සෝදාපාළුවීම අවම කර විපක්ෂයට සැලකිය යුතු මන්ත්‍රී පිරිසක්ද ලැබී ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හඳුන්වා දුන් සමානුපාතික ඡන්ද ක්‍රමය නිසාය. ජේ.ආර්.  ඇති කළ ජාතික ලැයිස්තුවද ඡන්දයෙන් ආසනයක් ජයගත නොහැකි උගතුන් හා බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ඇතුළත් කර ගත හැකි සාධනීය මැතිවරණ ක්‍රමයකි. ජේ.ආර්ට තම මැතිවරණ ක්‍රමය අත්හදා බලන්නට අවස්ථාවක් උදා වූයේ නැත. ඔහුගෙන් පසුව ආ ජනාධිපතිවරුන් ජාතික ලැයිස්තුව යොදාගත්තේ ඡන්දය ඉල්ලා පරාජය වූ තම සගයන් පාර්ලිමේන්තුවට රිංගවා ගැනීමටය. පවුලේ බලය තහවුරු කර ගැනීම සඳහා ඥාතීන් පාර්ලිමේන්තුවට රිංගවා ගැනීමටය. එහෙත් වත්මන් ජනාධිපතිවරයා නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ජාතික ලැයිස්තුව මුල්කාලීන පරමාර්ථය යටතේ තවදුරටත් රඳවාගැනීම සුදුසු වන්නේය.

මැතිවරණ ජයග්‍රහණයක් විශාල වන විට ජනතා බලාපොරොත්තු ද විශාල වෙයි. සිංහල ජනතාවගෙන් පමණක් තුනෙන් දෙකේ බහුතරය ලැබූ 1977 හා 2020 ජයග්‍රහණ මෙන් නොව උතුරත් නැගෙනහිරත් වතුකරයත් සමස්ත රටමත් ජයගනිමින් අනුර දිසානායක ලැබූ ජය ජාතීන් අතරත් අතිමහත් බලාපොරොත්තු ජනිත කරවීමට සමත්ය. එම බලාපොරොත්තු ඉටුකිරීම රට පාලනය කරනවාට වඩා අසීරුය.

මේ වන විට දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රධාන දුක් ගැනවිලි කිහිපයක් වෙයි. පළමුවැන්න ජීවන වියදම අඩු කර ජීවත්වීම පහසු කිරීමය. දෙවැන්න දශක ගණනාවක් මොර ගෑ දේශපාලන හොරුන් අල්ලා දඬුවම් කිරීමය. තෙවැන්න අනවශ්‍ය බදු බරෙන් ජනතාව මුදා ගැනීමය. ව්‍යවස්ථා වෙනස් කම් හතර වැන්නය. යහපත් හෙට දවසක් බිහි කිරීම පස්වැන්නය. මේ සියල්ලම ඉටු කිරීමට වුවමනානම් ඉටු කළ හැකි එකම දේශපාලකයාත් ජනාධිපති අනුර කුමාර දිසානායකය. ජේ.ආර්. ජයවර්ධන රට එතෙක් යමින් තිබූ ගමන් මාර්ගය ද මහවැලිය හැරවූවා සේ දකුණට හැරවූයේ හයෙන් පහේ පාර්ලිමේන්තු බලය පමණක් උපයෝගී කරගෙනය. ඒ නිසා ජේ.ආර්ගේ ආණ්ඩුව විසින් විපරීත කරන ලද සමාජ දේහය ප්‍රකෘත්තිමත් කිරීම දහයෙන් හතක පාර්ලිමේන්තු බලයක් ලබා ගත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අසීරු වන්නට හේතුවක් නැත.

ඒ සඳහා අවශ්‍ය වන්නේ පැහැදිලි මගපෙන්වීමකි. විනය ගරුක පාලනයකි. තමන්ගේ හිතේ ඇති වෙනස්කම් නොව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්  පොරොන්දු වූ වෙනස්කම් කළහොත් ජනතා විරෝධයක් මතු වන්නේ ද නැත.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය බලයට පත් වන විට නොසිටි අලුත්ම මධ්‍යම පංතියක් එම රජයේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති සමග මෙරට බිහි වී තිබේ. ඒ 1977 න් පසුව මෙරට තුළ වේගයෙන් ප්‍රසාරණය වූ පෞද්ගලික අංශයේ ආයතනවල රැකියා කර යමක් කමක් උපයා ගත් අලුත් මධ්‍යම පංතියකි. 1977 ට පෙර සිටි මධ්‍යම පංතිය වූයේ ඉඩම් හිමි ධනවතුන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ පාරම්පරික ධනවතුන් වූත් ජේ.ආර්. ඇති කළ ආර්ථික ක්‍රමයත් සමග මාසික වැටුපෙන් ඉහළ ආදායමක් ලබන නව මධ්‍යම පංතියක් බිහිවිය. මෑත කාලයේදී එය තවත් වර්ධනය වූයේ ඇඟලුම් කම්හල්වල විධායක ශ්‍රේණි, සුපිරි වෙළෙඳසල්වල ඉහළ විධායකයන්, වරාය, විදුලිබලය වැනි රාජ්‍ය ආයතනවල ඉහළ  වැටුප් ලබන්නන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ මහා පරිමාණ සමාගම්වල විවිධ ඉහළ මට්ටමේ වැටුප් ලබන සේවයකයන් ගෙනි. මේ පිරිසට රාජ්‍ය සේවයේ ඉහළ වැටුප් ලබන විශාල පිරිසක් ද මේ වන විට එක්ව සිටිති. ලීසිං පහසුකම් යටතේ ලබාගත් වාහනයක් සතු ණය කාඩ්පත් මගින් සුපිරි වෙළෙඳ සැලෙන් ගනුදෙනු කරන අලුත් මධ්‍යම පංතිය ජේ.ආර්. හැදූ පාලන ක්‍රමයෙන් බිහි වූ සමාජ පංතියකි. අනුර කුමාර දිසානායක බලයට ගෙන ඒම සඳහා විශාල ජනමතයක් ගොඩ නැගුවේ ඔවුන්ය. ඔවුන් බලාපොරොත්තු වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය පිරිසිදු වූ දේශපාලකයා මහජන මුදල් සොරකම් නොකරණ සුපිළිපන් පාලන ක්‍රමයකි. එහෙත් පිටරටින් ගෙන එන අතිශය සුඛෝපභෝගී භාණ්ඩ භුක්ති විඳින්නේද මේ පිරිසය. වැටුප නොකඩවා ලැබෙන නිසාම ඉහළ මිලදී ගැනීමේ හැකියාවක් ඇත්තේද මේ පිරිසටය. යම් හෙයකින් විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා යළිත් ආනයන පාලනයකට රජය ගමන් කළ හොත් ඉතාම ඉක්මනින් අමාරුවේ වැටෙන්නේද මේ පිරිසය. මේ නිසා වාමාංශික මූලයකින් බිහිවූ පක්ෂයක නායකයා වන වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජේ.ආර්. බිහිකළ ආර්ථික ක්‍රමයේ සුවිශාල වෙනස්කම්වලට නැඹුරු වුවහොත් අප ඉහත කී පිරිස දැඩි අසීරුතාවකට පත්වීම වැළැක්විය නොහැකිය. එක් අතකින් ජේ.ආර්. හඳුන්වා දුන් අර්ථ ක්‍රමයේ අතුරු ඵලයක් වන වැටුප් මගින් මධ්‍යම පංතියට ගිය මේ පිරිස තමන් විසින්ම බලයට ගෙන එනු ලැබූ පාලනයකින් අසීරුවට පත් වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මෙන් දැවැන්ත මහජන විරෝධයක් මතුවීමද වැළැක්විය නොහැකිය. ජාතික ධනය විදේශ රටවල් කරා ඇදීයාම වැළක්විය යුතුමය. ඒ සඳහා නිර්භයව පියවරක් ගත හැකි එකම පාලක කණ්ඩායම වත්මන් රජය බවද පැහැදිලිය. ජේ.ආර්. බිහිකළ සමාජ ක්‍රමය සුවිශාල වෙනසකට ලක් කළ යුතු බවටද තර්කයක් නැත. එහෙත් එය මේ පොළොව මත ක්‍රියාත්මක කිරීම පහසු හා සරල නැති බවද එලෙසම පිළිගත යුතුය.


ප්‍රේමකීර්ති රණතුංග