නිතරම අඩිකෝඩ පෙරළගන්නා ට්රම්පොච්චා මහඋළු ගෙදර ගේට්ටුව මානයට ගොස් තිබේ. ඒත් අනික් පැත්තෙන් ඔහුට ඇමෙරිකාවේ මහ බලසම්පන්න ධවල මන්දිරයේ දොරද විවෘත වෙන බවක් පෙනෙන්නට තිබේ. ට්‍රම්ප් ඇතුළට යන්නේ මේ දොරටු දෙක අතරින් කවරක්ද? අපි විමසා බලමු.
ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ඇමෙරිකාවේ ඉතිහාසයෙහි වාර්තා පිට වාර්තා තැබූ චරිතයකි. ඔහු මෙවර තැබූ වාර්තාව අනාගතයේ කිසිවෙකුටත් බිඳ හෙළිය නොහැක්කකි. ඔහු අපරාධ වරදකට උසාවියෙන් දඩුවම් ලැබූ ප්‍රථම ඇමෙරිකානු ජනාධිපතිවරයා (හිටපු හෝ දැනට සේවයේ සිටින) ලෙස ඉතිහාසගතවී තිබේ. ප්රශ්නය එතැනින් අවසන් නැත. තවත් අපරාධ නඩු තුනක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමට ගොනුවී තිබේ. ඒවායින් ට්‍රම්ප් වැරදිකරු වුවහොත්?
නිව් යෝක් අධිකරණය හමුවේ පැවති HUSH MONEY TRIAL ( රහසක් රැකගැනීමට ගෙවන මුදල) ආශ්රිත නඩු විභාගයේ තීන්දුව ඉකුත් සිකුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 4.00 ට පමණ ප්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව ගොනු කොට තිබූ චෝදනා 34ටම ඩොනල්ඩ් ට්‍රම්ප් වැරදිකරු ලෙස ජූරි සභාව තීන්දු කර තිබිණ. දෙදිනක් පුරා පැවති සාකච්ඡා හා සලකාබැලීම් අනුව ජූරි සභාවේ සාමාජිකයන් 12 දෙනා ඒකමතිකව තීන්දු කළේ ට්‍රම්ප් වැරදිකරු ලෙසයි. මේ අනුව ට්‍රම්ප්ට දඩුවම් නියම කිරීම ජූලි මස 11 වැනිදාට නියමව ඇත. එය පැවරෙන්නේ විනිසුරු ජුවාන් මර්චාන් හටයි. දැනටමත් මේ නඩු විභාගය විනිසුරු ජුවාන්ට දැඩි අභියෝගයක් ගෙනදී තිබේ. ප්‍රධානතම ගැටලුව ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා අධිකරණ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දැක්වූ අතිශය බලපෑම්කාරී චර්යා රටාව හා බලය විදහා පෑමයි. මේ නිසා ට්‍රම්ප්ගේ හැසිරීම හමුවේ අධිකරණයේ ගරුත්වය රැකගැනීම සඳහා ක්‍රියාත්මක වීමට විනිසුරුවරයාට සිදුවිය. නඩු විභාගයට බාධා නොකරන ලෙස ට්‍රම්ප්ට අණ කරමින් විශේෂ නියෝග (Gag orders ) නිකුත් කිරීම හා ඒවා යළි යළිත් උල්ලංඝනය කළ ට්‍රම්ප්ට දඩුවම් කිරීම හා සිරගතකරන බවට අනතුරු ඇඟවීම නඩු විභාගයෙන් පරිබාහිරව විනිසුරුවරයාට මුහුණ දීමට සිදුවූ අභියෝගකාරි සිදුවීම් අතර වෙයි.
HUSH MONEY නඩුව කුමක්ද
ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය හා පාර්ශ්ව කල්පනා කරන්නේ මේ නඩුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලිංගික චර්යා ආශ්රිත චෝදනා මත ගොනු වූවක් ලෙසයි. එහෙත් එය එසේ නොවේ. ට්‍රම්ප්ගේ නඩුවේ මූලික චෝදනා ආශ්‍රිතව ලිංගික සේවිකාවක් හා වැඩිහිටි චිත්‍රපට රංගන ශිල්පිනියක් වෙන ස්ටෝමි ඩැනියෙල්ස් සම්බන්ධ බව සත්‍යයකි. 2016 ජනපතිවරණය ආසන්නයේ දී ට්‍රම්ප් පාර්ශ්වය ස්ටෝමි ඩැනියෙල්ස්ට ඇමෙරිකා ඩොලර් 130000 ගෙවා ඇති බව හෙළි විය. ඇය හා ට්‍රම්ප් අතර ලිංගික සම්බන්ධතා පැවති බව කියැවේ. ජනාධිපතිවරණය ආසන්නයේදී ඇයට ට්‍රම්ප් පාර්ශ්වය මෙම මුදල ගෙවා ඇත්තේ ඡන්ද ප්රචාරක සමයෙහි ඇගේ කට වසා තැබීමට බව කියනු ලැබේ. ස්ටෝමි ඩැනියෙල්ස්ට මේ මුදල ගෙවා ඇත්තේ ට්‍රම්ප්ගේ නීතිඥයා වූ මයිකල් කොහෙන් විසිනි. ඇමෙරිකානු සමාජ රටාවෙහි මෙවැනි සබඳතා පැවැත්වීම හෝ ඒවා හෙළිදරව් කිරීම වැළැක්වීමට මුදල් ගෙවීම නීති විරෝධී නොවේ. එහෙත් මෙහි මූලික වරද ලෙස දක්වා ඇත්තේ ඩැනියෙල්ස්ට ගෙවූ මුදල නීතිඥ ගාස්තු ලෙස හුවා දක්වා ව්‍යාපාරික අයවැය ලේඛන වංචා සහගත ලෙස සකසා ඇති බවටයි. එමෙන්ම ඒ හරහා 2016 නොවැම්බර් ජනාධිපතිවරණය ආසන්නයේ සිදුකළ මේ ක්‍රියාවෙන් ඇමෙරිකානු ඡන්ද දායකයන් මුළා කළ බවට එල්ල වී ඇති චෝදනාවද බරපතළය.
එම නඩු නිමිති ආශ්‍රිතව චෝදනා 34ක් සකසා නඩු විභාගයේදී ට්‍රම්ප්ට එරෙහිව ගොනු කරනු ලැබීය. මේ චෝදනා අපරාධ ගණයට අයත් වේ. ඒ නිසා මෙය අපරාධ නඩු විභාගයක් යන ලේබලය යටතේ විභාග කෙරුණකි. මේ නඩු විභාගය ඇමෙරිකානු දණ්ඩනීති සංග්‍රහයේ ඉතා සංකීර්ණ තාක්ෂණික කරුණු මත පදනම්ව ගොනු කරනු ලැබුවක් බව නීති විශාරදයන්ගේ අදහසයි. ට්‍රම්ප් ආධාරකරුවන් මෙය අසාධාරණ නඩු විභාගයක් ලෙස සලකන්නේ ද එම සංකීර්ණතාව පදනම් කරගත් වාතාවරණය මුල්කරගෙනයි.
නඩුවේ දේශපාලනය
HUSH MONEY නඩුව පවරනු ලැබුවේ නිව්යෝක්හි මෑන් හැටන් දිස්ත්‍රික් නීති නිලධාරී, අභිචෝදක, ඇල්වින් බ්රැග් විසිනි. බ්රැග් යනු ට්‍රම්ප් ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු වෙන අතර එම පක්ෂය යටතේ, ඡන්දයෙන් ඇමෙරිකානු අධිකරණ සේවයට පත්වූ නිලධාරියෙකු වේ. (ඇමෙරිකානු අධිකරණ පත්කිරීම් ක්‍රියාවලිය ඉතා සංකීර්ණ අතර පදනම් කිහිපයක් යටතේ එය සිදුවේ. පාක්ෂික පදනම යටතේ ජන්දයෙන් පත් කිරීම එක් ක්‍රියාවලියකි.) ට්‍රම්ප්ට එරෙහි නඩු විභාග සියල්ල දේශපාලන පදනමක් සහිත බවට චෝදනා එල්ල වෙන්නේ එබැවිනි. මෙය මේ ලිපියේ පසුවට සාකච්ඡා කෙරේ. 2023 මාර්තු මාසයේ අභිචෝදක බ්රැග් ට්‍රම්ප්ට එරෙහි නඩුව ගොනුකරන්නේ ස්ටෝමි ඩැනියෙල්ස් හට මුදල් ගෙවීමේ සිද්ධිය අතිශය තාක්ෂණික එහෙත් විධිමත් නීති කටයුත්තක් බවට පරිවර්තනය කරමිනි. එම චෝදනාවලට මුහුණ දීමේදී ට්‍රම්ප් නීතිඥ පාර්ශ්වය අභියෝග ගණනාවකට මුහුණ පෑවේය.
ට්‍රම්ප්ගේ නීතිඥයන් මුහුණ දුන් අභියෝග
ප්‍රධානතම අභියෝගය වෙන්නේ සේවා දායකයා වූ ට්‍රම්ප්ය. ඔහු හිටපු ජනාධිපතිවරයායි. අතිශය ප්‍රබල ව්‍යාපාරිකයෙකි. ඔහු වටා පුළුල් දක්ෂිණාංශික ජන පදනමක් විය. ඒ සියල්ලටම වඩා හිතෙන දේ කියන, කටට බ්රේක් නැති, නාහෙට නාහන චරිතයකි. උපදෙස් දී පාලනය කළ හැකි කෙනෙක් නොවේ. වසරකට මඳක් වැඩි කාලයක් පැවති නඩු විභාගයේදී ට්‍රම්ප් නීතිඥ කණ්ඩායම පැමිණිල්ලේ චෝදනා අභියෝගයට ලක්කිරීමට සාර්ථකව පියවර නොගත් බව එම නඩුව පිළිබඳ මූලික විශ්ලේෂණ සිදු කරන නීති විශාරදයන්ගේ අදහසයි. සාක්ෂිකරුවන් බොරුකාරයන් ලෙස තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස ට්‍රම්ප් නීතිඥ කණ්ඩායමට ලබා දී තිබුණු උපදෙස් නිසා සාක්ෂි විභාගයේදී සාක්ෂිකරුවන්ගේ අනෙක් දුර්වලතා ඉස්මතුකරලීමට නීතිඥයන්ට නොහැකි වූ බව එක් පිළිගැනීමකි. ට්‍රම්ප්ගේ නිවැරදි බව තහවුරු කිරීම සඳහා ඔහුගේ නීතිඥ කණ්ඩායමෙන් ප්‍රබල ප්රතිතර්ක මතු නොවූ බව තවත් එක් චෝදනාවකි. ඒ සියල්ල මත මේ නඩුවේ අවසන් තීන්දුව ට්‍රම්ප්ට අවාසි සහගත වූ බව පොදු පිළිගැනීමයි. අනෙක් අතට නීතිඥයන්ගේ අවවාද නොතකා ට්‍රම්ප් දිගින් දිගටම අධිකරණයට හා විනිසුරුවරයාට මෙන්ම ජූරියටද අභියෝග කිරීමයි. ට්‍රම්ප් 9 වතාවක් අධිකරණයට බාධා කළ අතර විනිසුරුගේ නියෝග නොතකා විවේචනාත්මක අදහස් අධිකරණය සම්බන්ධයෙන් මාධ්‍යයට නිකුත් කර තිබිණ. එම ක්‍රියාවලිය නතර වූයේ විනිසුරු ජුවාන් මර්චාන්, ට්‍රම්ප් සිරගත කරන බවට ඔහුට අනතුරු ඇඟවීමෙන් පසු හා එම උල්ලංඝන 9ටම එකකට ඩොලර් දහස බැගින් දඩ මුදල් පැනවීමෙන් පසුවයි. එම දුර්වලතාවල ප්‍රධාන වාසිය ග්‍රහණය කර ගැනීමට හැකි වූයේ ප්‍රතිවාදී පාර්ශ්වයටයි.
මෙතැනින් පසු
ට්‍රම්ප්ට දඬුවම් කිරීම ඊළඟට නියමව ඇති ප්‍රධාන තීරණාත්මක සාධකයයි. ඔහු වරදකරු වූ චෝදනාවලට උපරිම දඬුවම අවුරුදු 4ක සිරදඩුවමකි. ඊට අමතරව දඩ මුදලක් නියම කෙරේ. මෙහිදී දඬුවම් නියම කිරීමේ ක්‍රියාවලිය උපරිම තලය දක්වා ගෙන ගොස්, ට්‍රම්ප් සිපිරිගෙට යැවීමට විනිසුරුවරයා පියවර නොගනු ඇතැයි නීති අංශ අනුමාන කරයි. ඒ වෙනුවට ට්‍රම්ප්ට දඩ මුදලක් නියම කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.
ට්‍රම්ප් යනු හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරයායි. ඔහු සිපිරිගෙට යැවීම ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවේ. ඔහුගේ ජනාධිපති මුක්තිය පවතී. හිටපු ජනපතිවරයෙකුට දෙන ආරක්ෂාව ඒ ආකාරයෙන්ම ඔහුට ලැබිය යුතුය. ආරක්ෂකයන් ඔහු වටා සිටිය යුතුය. එවැනි තත්ත්වයක් යටතේ ට්‍රම්ප් හිරගෙට යැවීම ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට හිසරදයක් වෙනු ඇත. එක්කෝ ට්‍රම්ප්ට වෙනම හිර ගෙයක් නිර්මාණය කළ යුතු වේ. එසේත් නැත්නම් ආරක්ෂකයන් හා රහස් ඒජන්තයන් සමගම ට්‍රම්ප් සිරගත කළ යුතුය. මේ කිසිවක් යථාර්ථවාදී නොවේ. එබැවින් හිටපු ජනාධිපතිවරයෙකු සිරගත කිරීමේ පසුබිමක් තවමත් ඇමෙරිකාවෙහි නොමැති තත්ත්වයක් පවතින බව කරුණු විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. ඒ නිසා නඩු 4න්ම වැරදිකරු වුවත් ට්‍රම්ප් සිරගත කෙරෙනු ඇත්දැයි යන්න ප්රශ්නයකි.
දෙවැන්න නම් අභියාචනයක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් පාර්ශ්වයට ඇති හැකියාවයි. මේ නිසා ට්‍රම්ප්ට තම දේශපාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා අවකාශයක් ලැබේ. ඒ මන්ද, අභියාචනයක තීන්දුව නොවැම්බර් 5 ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයට පත්වීමට ඉඩක් නැති බැවිනි.
ඉතිරි නඩු
ට්‍රම්ප්ට එරෙහි ඉතිරි අපරාධ නඩු අතරින් තීරණාත්මක නඩු විභාගයක් වන්නේ 2020 කැපිටල් හිල් ගොඩනැගිල්ලට ට්‍රම්ප් ආධාරකරුවන් පහරදීමේ සිද්ධිය ආශ්රිත කුමන්ත්‍රණ චෝදනා නඩු විභාගයයි. කැපිටල් හිල් ප්‍රහාරයට ට්‍රම්ප්ගේ දායකත්වයක් තිබුනේද යන්න තහවුරු කොට ඊට අදාළ දඬුවම් පැමිණවීම එහි අරමුණයි.
කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් 25වෙනිදා මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් පාර්ශ්වය ෙ ශ්‍ර්ෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් කියා සිටියේ ට්‍රම්ප් ජනාධිපති මුක්තිය සහිත බවයි. ඒ පිළිබඳ ෙ ශ්ර්ෂ්ඨාධිකරණ තීන්දුව ලබන මස ලබාදීමට නියමිතයි.
2020 ජෝර්ජියා ප්‍රාන්ත ඡන්ද නඩුව ඊළග අභියෝගයයි. 2020 ජනාධිපතිවරණයේදී ජෝ බයිඩන් ජෝර්ජියා ප්‍රාන්තය ජය ගත්තේ යන්තමිනි. එම මැතිවරණයේ වලංගු බව ගැන ට්‍රම්ප් සිය ආධාරකරුවන්ද සමග අභියෝග කළේය. ට්‍රම්ප්ට හා ඔහුගේ අනුගාමිකයන් 18 දෙනෙකුට විරුද්ධව මේ නඩුව පවරා ඇත.
සිව්වැනි නඩුව වන්නේ රහසිගත ලිපි ලේඛන අවභාවිත කළ බවට ඇති චෝදනාවයි. ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පැරදි ෆ්ලොරිඩාවේ ‘මාර් ඔ ලාගෝ’’ හි ඔහුගේ නිවසට ගිය අතර එහිදි අනාවරණය වූයේ ජනාධිපතිවරයා ලෙස රාජකාරි කළ සමයේදී ට්‍රම්ප් ලබාගෙන තිබූ අතිශයින් වැදගත් රාජ්‍ය ලිපිලේඛන රැසක් ඔහු සිය පෞද්ගලික නිවස වෙත ගෙනගොස් ඇති බව තහවුරු වීමයි. අදාළ ලිපි ගොනු ඇතුළත් පෙට්ටි 40ක් පමණ ට්‍රම්ප් නිවසේ තිබි පොලිසියට හමුවිය. ඒවා කුමන අරමුණකින් රැගෙන ගියේද යන්න ගැන පැහැදිළි නැත. අනෙක් අතට වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ද මෙවැනිම චෝදනාවකට ගොනු වී ඇත්තේ ඔහු උප ජනාධිපති පදවිය දැරූ සමයේ රැගෙන ගිය රහස් ලිපි ලේඛන තොගයක් බයිඩන්ගේ ද නිවසේ තිබි හමුවීමයි. ඊට එරෙහිවද දැන් නීතිමය කටයුතු සිදුකෙරෙමින් පවතී.
ජනපතිවරණය හා ට්‍රම්ප්
සියල්ල සළකා බලන කළ, ඩොනල්ඞ් ට්‍රම්ප්ට නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැටළුවක් නොවන බව පෙනීයයි. අධිකරණයෙන් වරදකරු වුවද රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට ජනාධිපතිවරණයට තරග කිරීමට බාධාවක් නැත. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වළක්වාලීමේ ක්‍රියාවලියක් සඳහා නීතිමය බාධාවන් ඇත. ට්‍රම්ප් මෙතරම් දැඩි අභියෝග මධ්‍යයේ වුවද ඉතා තීරණාත්මක ලෙස තරගයට අවතීර්ණ වෙන්නට සැලසුම් කරන්නේ එබැවිනි.
ට්‍රම්ප් නඩු හා ඩිමොක්රටික් පාක්ෂිකයන්
2024 ජනාධිපතිවරණය සැලකීමේදී ජෝ බයිඩන් යනු සාර්ථක තරගකරුවෙකු නොවන බව ඩිමොක්රටික් පාක්ෂිකයන් පවා පිළිගන්නා බව ඇමෙරිකානුවන් අතර ඇති පිළිගැනීමකි. අනෙක් අතට, ජනමත විමසුම් සලකා බැලීමේදී ට්‍රම්ප්, බයිඩන් අභිභවා ඉදිරියට ගොස් ඇති බවක් තහවුරු වේ. බයිඩන්ගේ වයස, ඔහුගේ පාලන සමය තුළ ඇමෙරිකානු ආර්ථිකයේ ඇතිවූ අඩු ලුහුඬුකම්, යුක්රේන යුද්ධයට මුදල් පොම්ප කිරීම හා එහි බර ඇමෙරිකානු ජනතාව මතට වැටීම, මැදපෙරදිග යුද්ධයේදී ඊශ්‍රායලයට බයිඩන් එරෙහි බවට යුදෙව් ජනතාව අතර ගොඩනැගී ඇති මතය, බයිඩන්ගේ ශක්තිමත් ජන්ද පදනමක් වන ඇමෙරිකානු අරාබි ජනකොටස් අතර, ඊශ්‍රායලයට බයිඩන් පක්ෂ බවට චෝදනා කරමින් ඉස්මතු වී ඇති විරෝධය ඇමෙරිකානු අභ්‍යන්තර කටයුතු සඳහා දැඩි අවධානයක් නොමැති වීම ඇතුළු සාධක ගණනාවක් ජෝ බයිඩන්ට එරෙහිව ඉස්මතු වි තිබේ.
අනෙක් අතට, ට්‍රම්ප් ඇමෙරිකාවේ දක්ෂිණාංශික සුදු ජාතික හා යුදෙව් ජන්ද පදනමෙන් බහුතරයකට හිමිකම් කියන අතර රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් සැලකිය යුතු කොටසක් අතර ට්‍රම්ප් ජනප්‍රියත්වය හිමිකරගෙන තිබේ. “ට්‍රම්ප් සුළග“ ඇමෙරිකාව හරහා හමායන බව තහවුරු වූයේ රිපබ්ලිකන් අපේක්ෂක තේරීමේ ඡන්ද විමසීමේදී ට්‍රම්ප් පහසුවෙන් ජය ලැබීම නිසාය. මේ නිසා ඩිමොක්රටික් පාර්ශ්වයේ අරමුණ වී ඇත්තේ ට්‍රම්ප් අධිකරණය ඔස්සේ පරාජය කිරීමයි. ඒ සඳහා දැනට ක්‍රියාත්මක නඩු බොහොමයක් ඩිමොක්රටික් දායකත්වය ඇතිව ක්‍රියාත්මක බව නොරහසකි. ට්‍රම්ප්ට ඇති අවාසිය වෙන්නේ නඩුවලින් වැරදිකරුවෙකු වෙන විට ඔහුගේ ඡන්ද පදනම සසල වීමයි. ඔහු වැරදිකරුවෙකු වෙන්නේ නම් තමන් ජන්දය නොදෙන බව රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් 16%ක් ප්‍රකාශ කර ඇති බව අලුත්ම ජනමත විමසුම් ප්‍රතිඵල පෙන්වා දෙයි. එය අභියෝගයකි. එසේම තවත් පිරිසක් නඩු හබවලින් ට්‍රම්ප් අමාරුවේ වැටෙන තරමටම ඔහු වඩා ශක්තිමත් ලෙස එක්වීමට උත්සාහ දරති. සිකුරාදා නඩු තීන්දුව ප්‍රකාශ වීමත් සමග ට්‍රම්ප්ගේ දේශපාලන හා මැතිවරණ ව්‍යාපාරයට මූල්‍යාධාර ගලාඒම සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව බැංකු මෙහෙයුම් වාර්තා පෙන්වා දෙයි.
ට්‍රම්ප් යනු හුදෙක් වයස්ගත, කට සැර, මහලු මුදලාලි කෙනෙක් පමණක් නොවේ. ඔහු වැඩිපුර සමාජ මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍ය මෙහෙයුම් හොඳින් දනී. ඒ අතරම ඇමෙරිකානු ඡන්දදායක ප්‍රජාව දක්ෂිණාංශික හා මධ්‍යස්ථ වශයෙන් බෙදා දක්ෂිණාංශික සහාය දිගටම තමන් වෙත රඳවා ගැනීමට සමත් වූ නායකයෙකි. මේ නිසා ඉදිරි ඇමෙරිකානු ජනපතිවරණය හා ලෝක බලවතාගේ අනාගතය තීරණය කිරීමේ ට්‍රම්ප් සාධකය ඉතා වැදගත් මෙන්ම තීරණාත්මකය.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ