ත්‍රස්තවාදය මර්දන පනත ගෙනාවේ මෙහෙමයි


අවුරුද්දකට පැනවූ පනතටදැන් අවුරුදු 45ක්

 

ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත අහෝසි කිරීම වර්තමාන රජයේ මැතිවරණ පොරොන්දුවක් විය. විපක්ෂයේ සිටිය දී එම පක්ෂ්‍ය පනතට එරෙහිව දැඩි මාතවාදයක් ගෙන ගියේය. විවිධ මහජන සංවිධාන මෙන්ම ජනමාධ්‍ය සංවිධානද බලා සිටින්නේ රජය පොරොන්දු වූ ලෙසම පනත අහෝසි කරන තුරුය. ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ද ඉදිරියේ දී පනත අහෝසි කරන බවට පොරොන්දුවක් ලබා දී ඇත. එවැනි පසුබිමක පීටීඒ හෙවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 දී ගෙන ඒමට තුඩු දුන් හේතු විමසා බැලීම කාලෝචිතය.

ඊලාම් ත්‍රස්තවාදයට අදාලව යාපනයේ පළ වූ ත්‍රස්තවාදී ක්‍රියාව වාර්තා වූයේ 1972 මැයි මස 21 වැනිදාය. එම දිනය යොදාගැනීමට විශේෂ හේතුවක් තිබිණි. එනම් එවකට සමගි පෙරමුණු රජය එතෙක් පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැන වූයේ එදිනය. මැයි 22 වැනිදා මෙරට ජනරජයක් බවට පත්විය. රජය මගින් එදින ජනරජ දිනය ලෙස ද නම් කෙරිණි. මෙම විශේෂිත දිනයේ යාපනය අර්ධද්වීපයට අඳුරේ තැබීම ත්‍රස්තවාදී කණ්ඩායම් අරමුණ විය. ඒ අනුව අධිබලැති විදුලිය කණුවක් පුපුරුවා හැරීමෙන් යාපනයට විදුලිය ගෙන එන සම්ප්‍රේෂණ මාර්ගය අක්‍රිය කරවීමට එම ත්‍රස්තවා දී කණ්ඩායමට හැකිවිය. මුළු රටකම නව ව්‍යවස්ථාව සමග ජනරජ දිනය සමරද්දී යාපනය අර්ධද්වීපය අඳුරේ ගිලී තිබුණි. පළමු ත්‍රස්තවාදී ක්‍රියාව වූයේ එම විදුලි කුලුන පුපුරුවා හැරීමය.

ඉන්පසුව 1974 දී ජාත්‍යන්තර ද්‍රවිඩ පර්‌යේෂණ සංගමය පැවැත් වූ සමුළුවකට පොලිසිය කළ පහර දීමේ දී නව දෙනෙක් මිය ගියහ. මෙයින් නව දෙනාම මිය ගියේ පොලිස් පහරදීමෙන් නොව පහරදීම සිදුවූ අවස්ථාවේ කලබල වූ පිරිසට විදුලි සැර වැදීම නිසාය. ඉන්පසුව 1975 දී බණ්ඩාරනායක මැතිනියගේ සමීප හිතවතකු වූ යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාව වෙඩි තබා මරා දැමුණි. එය ත්‍රස්තවාදයේ පළමු බිල්ල විය. චෝදනා එල්ල වූයේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ටය. 1970 න් පසු දමිළ හා සිංහල පොලිස් නිලධාරීන් එකා දෙන්නා තැන තැන මරා දැමීම ඇරඹිණි. 1978 වසරේ දී ‘‘ද්‍රවිඩ කොටි’’ නමැති කණ්ඩායම කලඑළි බැස්සේය. බැංකුවලින් මුදල් කොල්ලකෑම් ගණනාවක් කළේය. පොලිස් නිලධාරීන් ගණනාවක් මරා දැමූහ. 1972 වසරේ සිට 1979 දක්වා විටින් විට මරා දැමුණු පොලිස් නිලධාරීන් ගණන 28 කි. ආරක්ෂක හමුදාවට ඔත්තු දුන් බවට චෝදනා කර මැදිහත් දෙමළ පුරවැසියන් ලයිට් කණුවල ගැටගසා ඝාතනය කරනු ලැබිණ.

උතුරේ කලබල ඇතිවන අවස්ථාව වනවිටත් විධිමත් ආරක්ෂක හමුදාවක් උතුරේ ස්ථානගත කර තිබුණේ නැත. යාපනයේ සිටියේ ඉතා සීමිත හමුදා භට පිරිසකි. මෙරටට නිදහස ලැබුණු මුල් දිනවල පටන් උතුරේ කුඩා හමුදා ඛණ්ඩ දෙකක් නවතා තිබුණේ අරමුණු දෙක්ක ඉටුකර ගැනීම සඳහාය. ඉන් පළමුවැන්න තමිල්නාඩුවේ හා ආන්ද්‍රා ප්‍රදේශයේ සිට මෙරටට ගලා එන නීති විරෝධී සංක්‍රමණිකයන් නැවැත්වීමටය. දෙවැනි අරමුණ වැල්වැටිතුරේ ඇතුළු උතුරේ තොටුපොළ මගින් වසර සිය ගණනක් තිස්සේ සිදුවූ හොර බඩු ජාවාරම වැළැක්වීමටය. හොරබඩු ජාවාරම නිසා යාපනය වඩාත් ළංවූයේ කොළඹට නොව තමිල්නාඩුවටය. පසුව ඊළාම් ත්‍රස්තවාදී සංවිධානවල නායකයන් හා සාමාජිකයන් වූයේ මෙසේ දෙරට අතර හොර බඩු ජාවාරමේ යෙදුණු කණ්ඩායමය.

1975 ජුලි 27 වැනිදා යාපනය නගරාධිපති දොරේ අප්පා ඝාතනය කිරීම එම ඝාතනය ගැන පරීක්ෂණ පැවැත් වූ පොලිස් කොස්තාපල් කරුණානිධි 1977 පෙබරවාරි 14 වැනිදා ඝාතනය කිරීම ද එකට ඈදුණු සිදුවීම්ය. කොස්තාපල් කරුණානිධි දොරේ අප්පා ඝාතකයා ලෙස වේළුපිල්ලේ ප්‍රභාකරන් පිළිබඳ ඉව අල්ලමින් සිටීම ඔහුගේ ජීවිතය අහිමිවීමට තුඩු දුන්නේය. එතැන් සිට හුදකලා ඝාතන ගණනාවක් උතුරේ සිදුවිය. පොලිස් පරීක්ෂක බැස්ටියන් පිල්ලේ සහ උප පොලිස් පරීක්ෂවරයෙක් සැරයන්වරයෙක් හා පොලිස් රියැදුරෙක් 404 පර්ජෝ මෝටර් රථයකින් ද්‍රවිඩ කොටි කල්ලියේ කඳවුරක් සොයා උතුරේ ගිය අතර ඔවුන් යළි පැමිණියේ නැත. පහර දී වෙඩි තබා මරා දැමූ ඔවුන්ගේ සිරුරු මන්නාරම පාරේ මුරුන්කන් ගොවිපොලක ළිඳේ තිබිය දී පසුව හමුවිය. මේ සියලු දෙනාම රාජ පාක්ෂික නිලධාරීහු වූහ. සිදුවූ ප්‍රහාරය පොලිසියට විස්මය දැන වූයේය. ත්‍රස්තවාදය පිළිබඳ මනා දැනුමකින් සිටි බැස්ටියන් පිල්ලේ ත්‍රස්තවාදය මැඩලීම සඳහා මහත් කැපවීමෙන් කටයුතු කළ නිලධාරියකු බවට පොලිසිය තුළ කීර්තියක් ඇතිව වුන්නේය.

උතුරේ ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බවට රජය තේරුම් ගත්තේ මෙම ප්‍රහාරයෙනි. 

1977 ජූලි මාසයේ එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ පසු උතුරේ ත්‍රස්තවාදී ක්‍රියා වේගවත් විය. 1978 දී එජාපයට එකතු වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු වූ කනකරත්නම් කොළඹ ඔහුගේ නිවසේ දී පිස්තෝලකරුවකුගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබීය. මෙම ඝාතනය උත්සාහයට උමා මහේෂ්වරන් සහ ප්‍රභාකරන් නමැත්තෙක් සැක බවට රජයේ ආරක්ෂක අංශ තොරතුරු සොයා ගත්තේය. මේ පිළිබඳ පැවැති සාකච්ඡාවකින් පසු රජය ත්‍රස්තවාදීන් ලෙස නම් කළ 38 දෙනකුගේ නම් ඡායාරූප සමග ප්‍රසිද්ධ කළේය.

ඊළඟට රජය තැති ගැන් වූ තවත් ප්‍රහාරයක් සිදුවිය. එනම් යාපනය සහ රත්මලාන අතර මගීන් ප්‍රවාහනය කළ ඇව්රෝ ගුවන් යානය පුපුරුවා හැරීමය. මෙම ප්‍රහාරය සිදු වූයේ ජේ.ආර්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන් උත්සව සමයේය. යානය ගුවනේ දී පුපුරුවන ලෙස සැලසුම් කර තිබුණ ද නියමුවා නියමිත වේලාවට කලින් පැමිණීම නිසා යානය පුපුරා ගියේ ගොඩ බස්වා තිබියදීය. තම රජයට මහත් අභියෝගයක් උතුරේ තරුණයන්ගෙන් එල්ල වන බව ජේ.ආර්. වටහා ගත්තේය.

1979 මාර්තු 25 වැනිදා හොරණ ශ්‍රීපාලියේ පැවැති උත්සවයක දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මෙසේ කීවේය.

‘‘උතුරේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් තවදුරටත් නිහඬව සිටිය නොහැකියි. ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි ක්‍රියාමාර්ග පවා ගැනීමට ආණ්ඩුවට සිදුවෙනවා... දිනපතාම අහිංසක ජීවිත විනාශ වෙනවා. දැන් උදාවී තිබෙන්නේ භයානක තත්ත්වයක්. අහිංසක ජීවිත බේරාගැනීමට එම ප්‍රදේශයට පමණක් බල පැවැත්වෙන වෙනම නීතිරීති පැනවීමට අප සොයා බලමින් යනවා...’’ රජයක් හැටියට රටේ සියලුම ජනතාව ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා. පවතින නීති රීති උල්ලංඝනය වන විට අහිංසක පුරවැසියන් මරා දැමෙන විට ඒ පළාත්වලට රටේ පොදු නීතිරීතිවලට අමතරව දැඩි නීතිරීති පැනවීමට සිදුවෙනවා...’’ යැයි ජනාධිපතිවරයා පැවසීය. උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී ඇති බව කී ජනාධිපතිවරයා පසුගියදා කොටි සංවිධාන විරෝධී නීති පැනවූ නමුත් ලබන මැයි මාසයේ දී එම නීතිරීති අහෝසි වන්නේ යැයි ද නොසතුටුදායක තත්ත්වය දිගටම පැවතුනහොත් තද නීතිරීති පනවන බව ද කීවේය.

රජයට වෙනත් විකල්පයක් තිබුණේ නැත. 1979 ජුලි 15 වැනි දින ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය දෙවැනි වර කියවා සම්මත වූයේ 1979 ජූලි මස 20 වැනි දිනය. පනත සකස් වූයේ බ්‍රිතාන්‍ය රජය අයර්ලන්තයේ අයි.ආර්.ඒ. ගරිල්ලන් මර්දනය කිරීමට යොදා ගත් පනත අනුසාරයෙනි. මෙම පනත මගින් එල්ටීටීඊය ඇතුළු සියලු අවිගත් කල්ලි තහනම් කෙරුණි. ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත් මුදලි සහ අධි නීතිඥ මාක් ප්‍රනාන්දු පනත කොටුම්පත් කිරීමේ කටයුතුවලට මුල් තැන ගත්හ. ත්‍රස්තවාදී සැකකරුවකු මෙම පනත යටතේ මාස 18ක කාලයක් එනම් අවුරුදු එකහමාරක් ඇප නොදී රඳවාගත හැකිය. එකල මෙම පනත ප්‍රසිද්ධ වූයේ ‘‘“කොටි පනත’’ නමිනි. කොටි සංවිධානය මර්දනය කිරීමට ගෙන ආ පනත වීම එයට හේතුවය. පනත ගෙන එමින් රජය පැවසුවේ එය වර්ෂයක කාලයකට පමණක් ක්‍රියාත්මක වන පනතක් බවය. තාවකාලික විධිවිධාන පනත යනුවෙන් එය හඳුන්වාදී තිබීමෙන්ම ඒ බව පැහැදිලි වෙයි. එහෙත් ත්‍රස්තවාදය වර්ෂයකින් හමාර කරන්නට ඉඩ ලැබුණේ නැත. කුඩා ත්‍රස්තවාදී ප්‍රහාර මහා යුද්ධයක් දක්වා දිග් ගැසුණේය. 1982 දී පනත ස්ථිර පනතක් ලෙසගෙන ආවේය. ඉන්පසුව ත්‍රස්තවාදී කල්ලි අතින් මහා පරිමාණ ඝාතන ද රජයේ හමුදා අතින් මහා පරිමාණයේ අතුරුදන්වීම් ද සිදුවිය. ඒ සියල්ලටම ආවරණය ලැබුණේ ‘‘කොටි පනතෙනි.’’ උතුරට යොදා ගත් පනත 1987 ජවිපෙ භීෂණ සමයේ දී දකුණට ද යොදා ගත්තේය. සිංහල තරුණයන් දහස් ගණනන් අතුරුදන් කිරීමට රජය ආවරණය ලබා ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙනි. ඉන් පසුව එම පනත ත්‍රස්තවාදීන් පමණක් නොව දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට ද යොදා ගත්තේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇතුළු කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත සංශෝධන ගෙන ආවේය. එහෙත් එම සංශෝධන ක්‍රියාත්මක වූයේ නැත.

‘‘නීතිඥ සංගමය හැටියට අපි වාක්‍යයෙන් වාක්‍යයට බලල සංශෝධන එකතු කළා. මමත් ශවින්ද්‍ර ප්‍රනාන්දු, අනුර මැද්දෙගොඩ යන ජ්‍යෙෂ්ඨ නීතිඥයනුත් ඇතුළු කණ්ඩායමක් තමයි ඔය සංශෝධන එකතු කළේ. ඒ සංශෝධනවලට වෙච්චි දෙයක් නෑ. ඉවත් කළ යුතු දේ ඉවත් කරලා අලුත් කළ යුතු දේ අලුත් කරලයි අපි ඒ සංශෝධන යෝජනා කළේ. ඒ ආණ්ඩුව අපේ යෝජනාවලියම විසි කළා.’’ උපුල් ජයසූරිය සඳහන් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසුව ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත බටව පත්වී සෑම රජයකටම තම විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා වටිනාකම මෙවලම බවට පත්විය. 1994 දී චන්ද්‍රිකා රජය මෙම පනත අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණිය ද ඇය අනතුරුව එජාප රජයටත් වඩා ඉදිරියට ගොස් තම විරුද්ධවාදීන් සහ ජනමාධ්‍ය මර්දනයට යොදා ගත්තාය. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන සියලු ජනාධිපතිවරුන් රට පාලනය කළේ මෙම පනතේ රැකවරණය ලබමිනි. විපක්ෂයේ දී පනතට දැඩි විරෝධයක් පෑ අනුර දිසානායක සහ එම පක්ෂය රාජ්‍ය බලය අත්පත්කරගත් පසු එදා පනත අහෝසි කිරීමට පෙන්වූ හදිස්සිය මේ වනවිට දියාරුවී ඇති බව පෙනෙන්නට තිබේ. එහි තේරුම නම් පනත තවත් දිගු කලක් යෙහෙන් වැජඹීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවය.

ප්‍රේමකීර්ති රණතුංග