තීන්දු තීරණ ගන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුවයි


වැවිලි කර්මාන්ත ඇමැති, සම කැබිනට් ප්‍රකාශක  
වෛද්‍ය රමේෂ් පතිරණ

රටම ලොක් ඩවුන් කරන්නැයි සෞඛ්‍ය බලධාරිහු කියති. එහෙත් ආණ්ඩුව මුණිවත රකී. ඒ ඇයි? වැවිලි කර්මාන්ත ඇමැති, සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධවය.   


ප්‍රශ්නය:- සෞඛ්‍ය බලධාරීන් හැමෝම කියන්නේ රට වහන්න කියලා. ආණ්ඩුව රට වහනනේ නෑ. මොකක්ද මේ කරන්නේ?   


පිළිතුර:- රට පසුගිය අවස්ථා කිහිපයකදීම වසා තිබෙනවා. ඒ හරහා යම් පමණකට වසංගතය පාලනය වූ බවත් සැබෑවක්. රට වැසීම නිසා මේ රටේ අපහසුතාවයට පත්වුණ මිලියන ගණනක ජනතාවට හැකි පමණ පසුගිය වසර එක හමාරක කාලය තුළ සහන සලසන්නත් රජය කටයුතු කළා. අවස්ථා තුනකදී ආධාර හැටියට රුපියල බිලියන 80 ක් පමණ බෙද‌ා දීල තියෙනවා. එක පැත්තකින් රජයේ ආදායම් අහිමි වීමත් අනික් පැත්තෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වීමත් නිසා තමයි ක්‍රමානුකූලව රට විවෘත කරන්න කටයුතු කළේ. වර්තමානයේ තියෙන තත්ත්වය සමග සම්පූර්ණයෙන් රට වසා නොදැම්මත් අවශ්‍ය ප්‍රදේශවලට සංචරණ සීමා සහ කාර්යාල සේවකයන් කැඳවීම සීමා කිරීම ඇතුළු පියවර රාශියක් අරගෙන තියෙනවා.   


ප්‍රශ්නය:-  ඒ කියන්නේ රට වහන්නෙම නෑ?   


පිළිතුර:- එන්නත්කරණය සාර්ථකව දැනට සිදු කෙරෙනවා. එය අවසන් වෙනකොට තත්ත්වය සමනය වේවි. තීන්දු තීරණ ගන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුවයි. අවස්ථාවට උචිත ලෙස ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක කරනවා.   


ප්‍රශ්නය:- නමුත් අපට නම් පේන්නේ ආණ්ඩුව වැඩේ අතහැරලා වගෙයි? 

 
පිළිතුර:- කිසිවිටෙක නෑ. ආණ්ඩුව සියලුම අංශ ශක්තිමත් කරගෙන ඉදිරියට යමින් සිටිනවා. දිනපතා ලක්ෂ ගණනකට එන්නත් ලබා දෙනවා. සෞඛ්‍ය අංශවල කැපවීමත් ආරක්ෂක අංශ ලබාදෙන ද‌ායකත්වයත් අපි ඉහළින්ම අගය කළ යුතුයි. ඒ වගේම ජනාධිපතිතුමා ඉතාම වෙහෙසක් අරගෙන එන්නත් නිෂ්පාදනය කරන සෑම රටකටම කතා කරලා එන්නත් ලබා ගත්තා. මිලියන 12 කට ආසන්න පිරිසකට පළමු එන්නත ලබා දීලා අවසන්. ජනගහණයෙන් බාගයකට එන්නත් දෙක ලබා දුන් අවස්ථාවක හා ඊට පසු කාලවකවානුවක දී සාර්ථක පරිසරයක් සකස් කර ගන්න පුළුවන්. රජය උපරිම ධාරිතාවෙන් කැපවීමෙන් කටයුතු කරනවා. හැබැයි මේ පවතින තත්ත්වයන් යටතේදී සීමාවන් ගණනාවක් ඇති වී තිබෙන බවත් අපි තේරුම් ගත යුතුයි. මේක ආණ්ඩුවට, සෞඛ්‍ය අංශවලට, ආරක්ෂක අංශවලට තනියෙන් කළ හැකි දෙයක් නොවෙයි. උපරිම සෞඛ්‍යාරක්ෂිතව හැම කෙනෙක්ම කටයුතු කළයුතු කාලයක්. මේ වසංගතය සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොමැතිව හැසිරෙන විශාල පිරිසක් ඉන්න බව දැකගන්න පුළුවන්. ඔවුන්ගෙන් ඉතාම ගෞරවයෙන් හා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඉතා වගකීමෙන් කටයුතු කරන්න කියලා.   


ප්‍රශ්නය:-  හාල් සීනි මිල ඉහළ නැගලා. මේවා ආණ්ඩුවේ පාලනයෙන් තොර ද?   


පිළිතුර:- හාල්වල මිල ඉතාම අඩු මට්ටමක තියෙන්නේ. රුපියල් 80 ට 90 ට හාල් තියෙනවා. සීනි ගැන ජනතාව තුළ යම් චකිතයක් ඇතිවෙලා තියෙනවා. මිල ඉහළ යයි කියලා ජනතාව හිතනවා. නමුත් රටට අවශ්‍ය තරම් සීනි සංචිත තියෙනවා.   


ප්‍රශ්නය:- වෙළඳපොළේ කිරි පිටිත් නෑ. ගෑස් නෑ. ආණ්ඩුව ජනතාවට ගෑස් පෙන්වනවද?   


පිළිතුර:- ගෑස් හා පිටිකිරි සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙලා තියෙන බව සත්‍යයක්. ගෑස් පිළිබඳ කාරණාවේදී එක ගෑස් සමාගමක් විශාල ලෙස මිල ඉහළ දමන්න ඉල්ලීමක් කළා. ජනතාව පීඩාවට පත්වෙන නිසා රජය ඒ ඉල්ලීමට එකඟ වුණේ නෑ.   


ලිට්රෝ ගෑස්වල හිඟයක් නෑ. ඊයේ පෙරේද‌ාත් ගෑස් නැවක් ආවා. ගෑස් හිඟයක් ඇතිවේදෝ කියන කාරණය සම්බන්ධයෙන් ජනතාව කලබලයට පත්වෙලා තියෙනවා. මිල පාලක මණ්ඩලය මගින් අනික් සමාගමටත් යම්කිසි මිල වැඩි කිරීමක් කරන්න තීන්දු කරලා තියෙනවා? ඔවුන් එයට එකඟවෙයි කියලා අපි හිතනවා. ඒ අනුව මේ තදබදය ඉතාම ඉක්මනට අවසන් වෙයි. 

 
ප්‍රශ්නය:-  එතකොට පිටිකිරි? මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ එක පෙළට?   


පිළිතුර:- ඔවුනුත් ඉල්ලීමක් කරල තියෙනවා මිල වැඩි කරන්න අවසර දෙන්න කියලා. මිල වැඩි කරන්න අවසර නොදුන් නිසා තමයි හිඟයක් ඇතිවෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුව පහුගිය බද‌ාද‌ා තීන්දුවක් ගත්තා කිරිපිටි වලින් අයකරන බදු ඉවත් කරන්න. ඒ කෙටි කාලයකට. බදු ඉවත් කළාම ආනයනික සමාගම්වලට ඒ වාසිය සැලසෙනවා. එතකොට ඔවුන්ට පෙර මිලටම පිටිකිරි ලබා දීමේ හැකියාව ලැබෙනවා.   

 

ප්‍රශ්නය:-  බදු ඉවත් කළත් පවතින මිලට පිටිකිරි දෙන්න බෑ කියලා ඒ සමාගම් කියනවා?   


පිළිතුර:- මුදල් ඇමැතිතුමා ඔවුන් සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒ සමාගම් එකඟ වෙලා තියෙනවා පැරණි මිලටම පිටිකිරි ලබා දෙන්න. ඒ සාකච්ඡා ඵලද‌ායි මට්ටමක තමයි තියෙන්නේ. පසුගිය දිනවල ලෝක වෙළෙඳපොළේ පිටිකිරි මිල ඉහළ ගියත් නැවත එය අඩුවන ප්‍රවණතාවක් තියෙනවා. ඒ නිසා ඔවුන්ට ඒ මිලටම දෙන්න පුළුවන් වෙයි. රට ලෝකය හොඳට පවතින කාලය තුළ ඔවුන් විශාල ලාභයක් ලබාගෙන තියෙනවා. ඒ නිසා ඔවුන්ටත් සමාජමය වගකීමක් තියෙනවා යම්කිසි පාඩුවක් දරාගෙන හෝ මෙවැනි අර්බුදකාරී කාල සීමාවක සමතුළිත මට්ටමින් හෝ මේ ජනතාවට සහනයක් සපයන්න. ඒ වගකීම ඔවුන් ඉටු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.   


ප්‍රශ්නය:- එකක් පසුපස එකක් වශයෙන් ප්‍රශ්න ඒමෙන් පේන්නේ ආණ්ඩුවේ අසමත්කම නොවෙයිද? ආණ්ඩුව ඔහේ බලාගෙන ඉන්නවා?   


පිළිතුර:- මතුවෙලා තියෙන ප්‍රශ්නවලට රජය හැටියට ගත් පියවර මම ඔබට පැහැදිළි කළා. මේ වගේ ප්‍රශ්නවලදී අංශ කිහිපයක්ම ආවරණය කරන්න සිදුවෙන නිසා ක්ෂණිකව විසඳුම් දෙන්න බෑ. අපි කනගාටුවට පත්වෙනවා ගෑස් සමාගම හා කිරිපිටි සමාගම් මෙවැනි අවස්ථාවක ජනතාව මත බර පැටවීම සම්බන්ධයෙන්. කිරිපිටිවලදී ආණ්ඩුවට දෙන්න පුළුවන් සහනය තමයි බදු ඉවත් කිරීම. රජය ඒක කළා. ගෑස්වලට බද්දක් නෑ. ඒ නිසා යම් මට්ටමකට මිල ඉහළ ද‌ාන්න ඔවුන්ට අවසර දීලා තියෙනවා.

   
ප්‍රශ්නය:- ඇමැති කෙහෙළිය කිව්වා ‘දෙයියන්ට බාර දෙනවා.’ කියලා. දැන් එතැනටද ගිහින් තියෙන්නේ?   


පිළිතුර:- මම එතුමාගේ ප්‍රකාශය දැක්කේ නෑ. එතුමා වෙනත් විදියකට ඒක කියන්න ඇත්තේ. ආණ්ඩුව උපරිම ධාරිතාවෙන් වැඩ කරනවා. ඔබට පෙනෙනවා ලංකාවේ විතරක් නොවෙයි ලෝකයේ රටවල් බහුතරයක ඉතාම අර්බුදකාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා. ජනතාවට තදින්ම බලපාන්නේ මේ මාරක වසංගතය හා බඩුමිල පිළිබඳ ප්‍රශ්නය නිසා ආණ්ඩුව එයට විශේෂ අවධානය යොමු කරලා කටයුතු කරනවා. අපි හැම කෙනෙක්ම මේ දෙස ධනාත්මකව බලන්නත් අවශ්‍යයි. ඉතාම ඉක්මනට මේ සියලු තත්ත්වයන් යහපත් අතට හරවගන්න පුළුවන් වෙයි කියල අපි හිතනවා.   


ප්‍රශ්නය:- එක පැත්තකින් ලෝක වසංගතයක්. කිරිපිටි නෑ. ගෑස් නෑ. දරුවන්ට අධ්‍යාපනය නෑ. බඩුමිල අහස උසට. මොකක්ද මේ ශාපය කියලා මිනිස්සු ප්‍රශ්න කරනවා?   


පිළිතුර:- පහුගිය රජය තිබුණා නම් මේ වෙලාවේ රටේ ජනතාවට බලාගන්න තිබුණා ශාපය කොහොමද කියලා. මේ තියෙන තත්ත්වය අපේ රටට පමණක් බලපාන තත්ත්වයක් නොවෙයි. ගුරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සාධනීය සාකච්ඡා රැසක් පවත්වලා තියෙනවා. අවුරුදු 23 කට පසුව ගුරු වැටුප්තලවල විසමතාවක් තිබෙන බවත් එය විසඳිය යුතු බවත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තියෙනවා. 2020 ජනවාරි මාසයේ එවකට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා ඒකට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අයට අවශ්‍ය වැටුප් වැඩි කිරීමට වටපිටාවක් පසුගිය වසර එක හමාරක කාලය තුළ නොතිබූ බව කවුරුත් පිළිගන්නවා. දැනටමත් විශේෂ කැබිනට් අනුකාරක සභාවක් මගින් වැටුප් හා කාර්ය සාධන කොමිසම මගින් ඉදිරිපත් කළ වැටුප් තල හා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ වැටුප් තලයන් හි අවධානය යොමු කරලා සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දීමට අනිවාර්යයෙන්ම යෝජනා කරනවා. එහි පළමු පියවර 2022 අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කිරීමටත් කොටස් වශයෙන් එහි වැටුප් වර්ධක ලබා දීමටත් මුදල් ඇමැතිතුමා එකඟතාව පල කරලා තියෙනවා. ඒ නිසා මේ රටේ ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී දරුවන්ට පීඩාවක් එල්ල කරන්න එපා. ඔබතුමන්ලා විශාල වූ කැප කිරීමක් කළා ‘ඔන්ලයින්’ මාර්ගයෙන් දරුවන්ට උගන්වන්න. ඒක රටේ සෑම කෙනෙක්ම අගය කරනවා. ඒ ගෞරවය ගුරු මෑණිවරුන්ට පියවරුන්ට හිමි වෙනවා. ඒ නිසා මේ තීරණාත්මක මොහොතේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතහැර දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සඳහා මැදිහත් වෙන්න කියලා.   


ප්‍රශ්නය:-  ආණ්ඩුව තීන්දු තීරණ ගන්නකොට හොඳ සාකච්ඡාවකින්ද ඒක ගන්නේ? එහෙම නැත්නම් දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලාද?   


පිළිතුර:- ඔබ සඳහන් කරපු කරුණු කිසිවක් ආණ්ඩුවේ වරදකින් සිදුවුණා කියලා මම හිතන්නේ නෑ. ඒ හැම ප්‍රශ්නයකටම අද‌ාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් තමයි විසඳුම් නිර්දේශ කරන්නේ. ඒ නිසා ඔබේ ප්‍රශ්නය අද‌ාළ නැහැ.   


ප්‍රශ්නය:- ඇමැති මණ්ඩල සංශෝධනයක් වෙනවා කියලා කියනවා. වෙයිද?   


පිළිතුර:- ඒ සම්බන්ධයෙන් මාධ්‍යයේ පළවෙන දේවල් හැරෙන්න වෙනත් කිසිම දෙයක් මම දන්නේ නෑ.   


ප්‍රශ්නය:- අලුත් සෞඛ්‍ය ඇමැති ඔබ?   


පිළිතුර:- එවැනි අදහසකින් මම කටයුතු කරන්නේ නෑ. මට කැබිනට් ඇමැතිවරයකු හැටියට ලබා දුන් වගකීම ඉහළින්ම ඉටු කිරීමට කැපවීමෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත ඇමැතිවරයා හැටියට පසුගිය කාලයේ ජනාධිපතිතුමත් රජයත් බාරදුන් වගකීම හැකි උපරිමයෙන් මම ඉෂ්ඨ කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට 2020 වසරේදී 2019 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වැවිලි අපනයන්හි අගය සියයට 13 කින් වැඩි වෙලා තියෙනවා. 2020 ට සාපේක්ෂ 2021 වසරේදී පුරෝකථනය කරන හැටියට අවම වශයෙන් සියයට 20 ක අපනයන වර්ධනයක් සිදුවෙනවා. ඒක ඉතිහාසගත විශාල වර්ධනයක්. ඒ වගේම ගොවි මහත්වරුන්ට ආද‌ායම් ලැබීම වැඩිවෙලා තියෙනවා. රබර් කැපෙනවා. කුරුඳුවල මිල දෙගුණ වෙලා තියෙනවා. තේවලට ඉතාම සාධාරණ මිලක් ලැබෙනවා. වෙනත් කෘෂි භෝගවල අලුත් වර්ධනයක් ඇතිවෙලා තියෙනවා. ඒ විදියට මම මගේ වගකීම ඉටු කරලා තියෙනවා. දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් මම මගේ උපරිමයෙන් සේවය කරනවා. ඒකට තනතුරු ප්‍රශ්නයක් නෑ.   


ප්‍රශ්නය:-  පොහොර උද්ඝෝෂණ නම් නතර වෙලා?   


පිළිතුර:- දැනටමත් දේශීය වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනය විධිමත් කොට ඒ යාන්ත්‍රණය සැකසෙමින් තිබෙනවා. පහුගිය මාස කිහිපය තිස්සේ තිබුණ රසායනික පොහාර අපි ක්‍රමානුකූලව තේ වගාවට ලබා දෙමින් සිටිනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් රටට අවශ්‍ය විශේෂයෙන්ම ශාඛ පෝෂක වලින් අවශ්‍ය ඒවා ගෙන්වන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා. තව මාස දෙකක තුනක කාලයකදී ගුණාත්මක භාවයෙන් ඉහළ කාබනික පොහොර වගාවට යොද‌ාගෙන කෘෂිකර්මාන්තයේ ගැටලුව අවසන් කරගන්න පුළුවන්.  


ප්‍රශ්නය:- කාබනික පොහොර නිසා අස්වැන්න සියයට 40 කින් අඩු වෙනවා?  


පිළිතුර:- දැනට වාර්තා වන ආකාරයට එවැනි අඩුවීමක් නෑ. නමුත් කෘෂි විද්‍යාඥයන්ගේ පර්යේෂණවලට අනුව කාබනික පොහොර වලින් ලැබෙන ධාරිතාවේ යම් තරමක අඩුවීමක් විය හැකියි. අපි බලන්න අවශ්‍ය වෙන්නේ එහෙම අඩු වෙනවා නම් රට තුළ අනික් පැත්තෙන් පිළිකා වකුගඩු වැනි රෝග ඇතුළු බෝ නොවන රෝග නිසා විශාල වශයෙන් ජනතාව රෝගී වෙනවා. ඒ වෙනුවෙන් තමයි ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තේ.

ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කිරීමට ගත් ඓතිහාසික තීන්දුවක් ඒක. ඒ නිසා එය නැවත හැරවෙන්නේ නැ.  

 

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්