දැන්වත් රට හැදෙයිද?


රට තුළ රුපියල් සංචිත වේගයෙන් සිඳී යාමට ඒ ඒ ඇමැතිවරයා ගන්නා දේශපාලන තීන්දු ද බලපායි. රාජ්‍ය පරිපාලන ඇමැතිවරයාට රජයේ සියලු ආයතනවලට නව පරිගණක ලබාදීමේ සිතක් පහළ වුවහොත් ඔහු එය ක්‍රියාත්මක කිරීමට පැකිළෙන්නේ නැත. මෙරට පවතින ක්‍රමය අනුව ඇමැති බලතල ඇත්තේ නිලධාරීන්ගේ බලතල වලට වඩා ඉහළිනි. එහෙත් එම පරිගණක අත්‍යවශ්‍ය ද නැද්ද යන්න දන්නා අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන් හෝ වෙනත් නිලධාරීන්ගෙන් නොවිමසා ගන්නා තීන්දු තීරණ නිසා ඉකුත් කාලයේ රට බංකොලොත් විය.

ප්‍රධානම මැතිවරණ දෙක අවසන්ය. දැන් ඇත්තේ පොරොන්දු ඉටුකිරීමේ හා රට හැදීමේ අවස්ථාවය. රජයට බහුතර බලයක් ලැබී තිබෙන නිසා ඉදිරි වසර පහ ව්‍යවස්ථාවේ ආණ්ඩුව පවත්වාගෙන යාමට බාධාවක් නැත.
අලුතෙන් පත්වූ ආණ්ඩුවට උණුසුම් සුබපැතුම් එක් කරන අතරම අපට කීමට ඇත්තේ ඡන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පොරොන්දු ඉටු කරන ලෙසය. මෙවැනිම අතිවිශාල ජනබලයකින් ජනාධිපති වූ චන්ද්‍රිකා කුමාරතුංග රජය ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් ඉතා ඉක්මනින්ම ජනතා අප්‍රසාදයට ලක්වූ බවද 2015  බලයට පත්වූ යහපාලන රජය ඉතා ඉක්මනින්ම ජනතා අප්‍රසාදයට ලක්වූ  බවද එම ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙමින් 2020දී බලයට  ආ ගෝඨාභය රාජපක්ෂ රජයත් ජනතා අප්‍රසාදයට ලක්වී ඉතා කෙටි කලකින් ඇදවැටීමද වත්මන් ආණ්ඩුවට අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. කෙටියෙන්ම කියන්නේ නම් තමන් විසින්ම ඡන්දය දී පත් කරගන්නා ආණ්ඩුවලට ඉතා කෙටි කාලකින් බැණ වැදුණු ජාතියක් ලෙස ලාංකිකයන් ඉතිහාසගතව සිටී. එනිසා ලැබුණු අතිවිශාල ජනවරම වරදවා වටහා නොගෙන ජනතාවට වූ පොරොන්දු ඉටුකර රට ගොඩනැගීම වත්මන් රජයෙන් ජනතාව බලාපොරොත්තු වන ප්‍රධානම සේවය වේ.
මැතිවරණයකට මුහුණදීමෙන් තොරව මෙරට කිසිම ආණ්ඩුවක් බලයට ආවේ නැත. සෑම ආණ්ඩුවක්ම බලයට පත් වූයේ විශාල මහජන වරමක් සහිතවය. එහෙත් ඒ සෑම ආණ්ඩුවකටම වැඩිකල් නොයාම ජනතාවගෙන් බැනුම් අසන්නට සිදුවිය. අප්‍රසාදයට ලක් වන්නට සිදුවිය. ඩඩ්ලි සේනානායකට, සිරිමාවෝට, අගමැති බණ්ඩාරනායකට, ප්‍රේමදාසට පමණක් නොව සිරිසේනට හා ගෝඨාභයටද බැනුම් අසන්නට සිදුවිය. ජනවරම තේරුම් නොගෙන තමාගේ සමීප සගයන්,  පවුලේ ඥාතීන්, පාසල් සගයන්, මත්පැන් සාදයේ සුමිතුරන් ආණ්ඩුවේත් තමාගේත් උපදේශකයන් ලෙස පත් කරගෙන රට පාලනය කළ පූර්වගාමී නායකයන් ගෙන් වත්මන් රජයේ නායකයන්ට ගත හැකි පාඩම නම් තමාගේ සිතේ ඇති දේ නොව ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති දේ ක්‍රියාත්මක කිරීමය.


රැල්ලට ඡන්දය දෙන ඡන්ද දායකයින් තේරුම් නොගන්නා පරම සත්‍යය නම් ආණ්ඩුවක් අලුතෙන් පත්කරගත් පළියටම සංවර්ධිත රටක් බිහි නොවන බවය. ආණ්ඩුවක් පත්වූ පමණින් රටට සල්ලි උනන්නේ නැත. මෙරට රජයට මුදල් උපයන්න මාර්ගයක් නැත. එකම මාර්ගය වන්නේ විදේශ ණය ගෙන අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අානයනය කිරීමත් එම භාණ්ඩ විකුණන ව්‍යාපාරිකයන් හා රට වැසියන්ගෙන් බදු අය කිරීමත්ය. රජය උපයා ගන්නා රුපියල් බදුවලින් පෙරළා ලක්ෂ 14ක රාජ්‍ය  සේවක පඩි නඩි ගෙවීම, රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සහ සමෘද්ධි, අස්වැසුම ආදී ආධාර ලබාදීමත් කළ පසු එසේ උපයා ගන්නා බදු මුදලද අවසන්ය. සුබසාධන කටයුතුවලින් රජය ඉවත් නොවනතාක් සහ රාජ්‍ය අංශය කුඩා නොකරන තාක් ණයවීම හැර අන් විසඳුමක් රජයකට නැත.
බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමත් සමග රට සුබසාධක රාජ්‍යයක් බවට පත්විය. රාජ්‍ය සේවය විශාල විය. එතෙක් පෞද්ගලික අංශය සතුව තිබූ ආයතන රජයට පවරා ගැනුණි. විදේශීය තෙල් සමාගම් සතුව තිබූ තෙල් බෙදාහැරීම රජයට පවරා ගත්තද එයින් වැඩිකල් ගතවීමට පෙරම සුවිශාල විදේශ විනිමය ප්‍රශ්නයක රට සිරවුණේය. තෙල් සමාගම් තෙල් ගෙන ආවේ තම වියදමෙනි. එහෙත් රජයට පවරා ගත් පසු ඒ සඳහා විදේශ විනිමය සෙවීමට සිදුවූයේ රජයටය. එතෙක් රජයේ ආධාර මත පමණක් තිබූ පාසල් දෙදහස් ගණනක් රජයට පවරා ගැනිණි. හුණුකෑල්ලේ සිට පාසල් ගොඩනැගිලි නඩත්තුව, ඉදිකිරීම, ගුරුවරුන්ට වැටුප් ගෙවීම ඇතුළු අතිවිශාල වැය බරක් එමගින් රජයට උරුම විය. 1970 බණ්ඩාරනායක රජය එතෙක් පෞද්ගලික හිමිකාරිත්වයට තිබූ මහ පරිමාණ වතු රජයට පවරා ගත්තේය. එයින් සිදුවූයේ රජයට සුවිශාල බරක් එකතු වීමය. වතුවලින් ආදායම් ලැබුණේ ටික කලකි. එයට පෙරම 1973 දී පවරා ගැනීමත් සමගම එකල සමගි පෙරමුණු රජයේ පාර්ශ්වවල බූදලයක් බවට වතු පත්විය. මහා වතුයායවල තිබූ සුවිශාල ගස් කපා විකුණා ගත් ශ්‍රීලනිප ආධාරකරුවෝ වතු බංගලාවල උළුවහු පවා ගලවා ගෙන තම නිවෙස්වලට ගෙන ගියහ. වතු රජයට පවරා ගැනීම තරම් ඔල මොට්ටල වැඩක් කිසිම දේශපාලන පක්ෂයක් මෙතෙක් කර නැත. 
පෞද්ගලික හාම්පුතා යටතේ වතු මනා ලෙස නඩත්තු වුවද රජයට පවරා ගත් පසු එම වතුවල තනතුරුවලට පත් කළේ ශ්‍රීලනිපය අතුළු සමගි පෙරමුණේ ආධාරකරුවන්ය. ඔවුන්ට රැකියා දීමේ ස්ථානයක් බවට පත්වූ වා හැර වතු රජයට පවරා ගැනීමෙන් රටට වූ සෙතක් නැත. පළමුව ශ්‍රීලනිප හිතවාදීහුද 1977න් පසු එජාප හිතවාදීහුද වතුවල නඩත්තුවට ගෙන ආ පොහොර ටිකෙන් පවා ගසා කෑම හැර අන් යමක් කළේ නැත. බණ්ඩාරනායක ආණ්ඩු දේශප්‍රේමී වුවත් ආර්ථික කළමනාකරණය අතින් රටට ඇති කළේ බරක් මිස සහනයක් නොවේ. එජාප ආණ්ඩු රාජ්‍ය සේවය අඩු කිරීමට නිරතුරුවම පෙනී සිටි නිසා එම ආණ්ඩු ජනතා විරෝධයට නිතර ලක්විය. එහෙත් ආර්ථික කළමනාකරණය අතින් එජාප ආණ්ඩුවලින් රටට යහපතක් විය. 
කොතරම් උත්සාහ කළත් මෙරටට විදේශ ආයෝජන නොපැමිණේ. එයට හේතුව කම්කරු ශ්‍රමිකයන්  ආරක්ෂා කරන නීති රීති අන් රටවලට වඩා වැඩිවීමය. රටේ ජාතික නිවාඩු අතිවිශාල ප්‍රමාණයකි. වැඩ වර්ජන උද්ඝෝෂණ නිමක් නැත. එවැනි තත්ත්වයකදී විදේශ ආයෝජකයන් පැමිණීමට කැමැත්තක් දක්වන්නේ නැත. රටේ ඉදිරි ගමන අඩාළ කරන ප්‍රධානතම බාධාවක් වන්නේ  සීමාවකින් තොරව කෙරෙන වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සහ වැඩ වර්ජනය. මහින්ද රාජපක්ෂ හා චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාල දෙක තුළ වෘත්තීය සමිති සඳහා අසීමිත නිදහසක් ලැබිණි. පහසුකම් ලැබිණි. රාජපක්ෂ රජය පෙනී සිටියේ වැඩ කරන පංතියේ ගැලවුම්කාරයා හැටියටය. එජාපය විසින් 1990 වන විට මර්දනය කර තිබූ වෘත්තීය සමිති යළි පණ ගැන්වූයේ 1994 කුමාරතුංග රජය පැමිණීමත් සමගය. මහින්ද රාජපක්ෂ රජය යටතේ එය වඩාත් ශක්තිමත්ව වැඩුණේය. එසේ ඇති වූ හා වැඩ වර්ජන මගින් ශක්තිය පෙන්වූ වෘත්තීය සමිති බොහොමයක් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති වේ. ජවිපෙ පසුගිය කාලය පුරාම රාජ්‍ය සේවකයන් අතර ශීඝ්‍ර  වර්ධනයක් ලබා ගත්තේ මෙම වෘත්තීය සමිති නිසාය. දැන් ඇත්තේ ජවිපෙ රජයකි. තමන්ගේම වෘත්තීය සමිතිවල හඬ පාලනය කිරීමට රජයට අනිවාර්‌යයෙන්ම සිදුවනු ඇත. තම රජය පත්වූ පසු වෘත්තීය සමිති විසුරුවා හරිනි බව ජවිපෙ මන්ත්‍රී අපේක්ෂකයකු ඉකුත්දා පැවසුවේද මෙම තත්ත්වය වටහා ගෙන විය යුතුය. රජය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජවිපෙට තම වෘත්තීය සමිති විසුරුවා හෝ වෙනත් පාලනයකට ලක් කරන්නට සිදුවූවත් විපක්ෂයෙන් වෘත්තීය සමිති නැගී එ්ම වැළැක්විය නොහැකි වනු ඇත. 


වසර ගණනාවක් තිස්සේම පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තු කරන ලද්දේ පළමුව විදේශයෙන්ද අනතුරුව මහා භාණ්ඩාගාරය දේශීය මූල්‍ය ආයතන වලින්ද ගන්නා ණය මුදල් මගිනි. 1971 වසරේදී ජාතික ගුවන් සේවය, විදුලිබලය, බෙහෙත් ගෙන ඒම ඇතුළු එදිනෙදා රාජ්‍ය ව්‍යවසාය නඩත්තුවට විදේශීය මූල්‍ය සංචිත පවත්වාගෙන යාම සඳහා කැනඩාව, ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුව, ජපානය, එක්සත් ජනපදය, ඉන්දියාව, ප්‍රංශය, චීනය ඇතුළු රටවලින් ලබාගත් ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 92කි. 1972දී එම රටවලින්ම ගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 107කි. 1975 වසරේදී ඩොලර් මිලියන 230ක් විය. 1977 දී ඩොලර් මිලියන 80කද ණය ලබාගෙන ඇත. මේවා වසරින් වසර ලබා ගත් ණය මිස සමස්ත එකතුව නොවේ. අප සෑම වසරකම ණය ලබා ගන්නේ මේ රට තුළ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි කර්මාන්ත නොමැති නිසා ය. එවැනි විටක ලක්ෂ දාහහතරක් ඉක්මවා යන රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් නඩත්තු කිරීම කිසිදු රජයකට කළ හැකි ක්‍රියාවක් නොවේ. ඒ නිසා කළ යුතු වන්නේ දරාගත නොහැකි විදේශ විනිමයක්  වැය වන රාජ්‍ය ආයතන එක්කෝ විකුණා දැමීමය. නැතිනම් කළමනාකරණය සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීමය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම තනතුරට පත්වූ පසු ගත් ආර්ථික ප්‍රතිසංස්කරණ පියවර රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුවද ඒ මග හැර අන් මගක් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගත නොහැකිය. ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීම සඳහා ලංසු කැඳවා තිබුණ ද ඒ වනතුරුත් කිසිදු ආයෝජකයකු නොපැමිණියේ එම ආයතනය සතු අතිමහත් ණය කන්දරාව නිසාය. එහෙත් වත්මන් රජය එම ආයතනය විකුණා නොදමන බව මේ වන විට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව තව තවත් ණය වෙමින් මහා භාණ්ඩාගාරයෙන් මුදල් පොම්ප කරමින් සේවක පඩිනඩි ගෙවමින් එම ආයතනය රටට බරක් ලෙස පවතිනු ඇත.
ඊළඟ ගිනි මකරා රාජ්‍ය සේවයය. ලක්ෂ දාහතරක සේවකයන් පිරිසක් රාජ්‍ය සේවයේ වෙතත් රෝහල් පොලීසි හා හමුදා හැර අන් අයට ඇති එකම රාජකාරිය ලිපි ගොනු පිරවීමය. දෙපාර්තමේන්තුවෙන් දෙපාර්තමේන්තුවට අමාත්‍යාංශයෙන් අමාත්‍යාංශයට පමණක් නොව ආයතන ප්‍රධානියාගෙන් ප්‍රධානියාටද ලිපිගොනු ගණනක් පුරවා යැවිය යුතුය. තට්ටුවෙන් තට්ටුවට ආයතනයෙන් ආයතනයට යන මෙම ලිපිගොනු නිල වාර්තා, සංවර්ධන වාර්තා උපමාන, සැලසුම් ආදී විවිධ නම්වලින් හැඳින් වෙතත් අවසානයේ මේ හැම වාර්තාවම දූවිලි කන්දරාවකින් වැසී යන තෙක් කොහේ හෝ අල්මාරියක තැන්පත් වන්නේය. යළිත් පෙර සිටම මුල සිට අගටම සංසාර චක්‍රය සේ වාර්තා සැලසුම් හැදිය යුතුය. බලන කෙනෙකුත් නැත. වැඩක් ගන්න කෙනකුත් නැත.
ආර්ථිකය විනාශ කරන ඊළඟ බාධකය ශ්‍රී ලංකා දුම්රිය සේවයය.
දුම්රිය සේවය නවීකරණය කිරීමට රජයට අපහසු නම් ඒ සඳහා මූල්‍ය හැකියාවක් නොමැති නම් කළ යුතු එකම දේ පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීමය. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව තිබියදී එම කටයුත්ත කළ නොහැකිය. වෙනත් රටවල මෙන් දුම්රිය අධිකාරියක් පළමුව පිහිටුවා ඉන්පසු පෞද්ගලික අංශයේ දායකත්වය එයට ලබා ගත හැකිය. ජපානයේ දුම්රිය සේවය ජැපෑන් රේල්වේ නමින් (ජේ.ආර්. ලයින්,) පැවැතුණත් එහි අර්ධයකට වැඩියෙන් හිමිකාරීත්වය ඇත්තේ පෞද්ගලික අංශයටය. ලොව වර්ජන තර්ජන නොමැති කාර්යක්ෂම දුම්රිය සේවයක් ලෙස ජපාන දුම්රිය සේවය පිළිගැනෙයි. ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව වැඩ වර්ජන සිදුකිරීමෙන් ලංකාවේ පමණක් නොව ආසියාවේම වාර්තා තබා ඇති බව පැහැදිලිය. වත්මන් රජය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමක් සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැකිය. ඒ අනුව එහි අතිවිශාල නඩත්තු වියදමත් දුම්රිය සේවයම එපා කරවන වෘත්තීය සමිති ආධිපත්‍යයත් යටතේ රජයට තවදුරටත් බරක් වන බව පැහැදිලිය.
ආණ්ඩුව තීරණයක් ගැනීමට සිදුවන රටට බරක් වී ඇති තවත් ආයතන දෙකක් තිබේ. ඒ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ය. දැනට මන්ත්‍රීවරුන් නැතිව වුවත් එම ආයතන මැනවින් ක්‍රියාත්මක වේ. පළාත් පාලන ආයතන සඳහා 2019 දී යහපාලන රජය ඇට වූ නව පනත අනුව එතෙක් 3800ක් ව සිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9000 දක්වා ඉහළ ගියේය. එම පනතේ ඒ ඒ ආයතන සඳහා නිශ්චිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් දක්වා නැත. ඇල්පිටිය  ප්‍රා. සභාව සඳහා සිටිය යුත්තේ මන්ත්‍රීවරුන් 28ක් වුවත් ඡන්දය ගණන් කර අවසාන වෙද්දී 30 දෙනෙක් පත්ව සිටියහ. ප්‍රාදේශීය සභා සංකල්පය රටට අවශ්‍ය වුවත් මෙතරම් විශාල මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් අවශ්‍ය නොවේ. ඔවුන් රටට බරකි. ඒ නිසා 2019ට පෙර පැවැති ආකාරයටවත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 3800 දක්වා අඩු කිරීමට රජය තීරණයක් ගත යුතුය. එක පිට එක ඊළඟට ඒමට නියමිත මැතිවරණය වන්නේ පළාත් සභා මැතිවරණයය. එම ආයතන අදටත් මන්ත්‍රීවරුන් නොමැතිව මැනවින් ක්‍රියාත්මක වේ. පළාත් සභා ඡන්දය පැවැත්වීමට පනතක්ද දැනට නැත. රට තවමත් බංකොලොත් බවෙන් මිදී නැති පසුබිමක පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ දෙක වෙනුවෙන් බිලියන ගණනක් වැය කිරීම සුදුසුදැයි රජයට කල්පනා කිරීමට සිදුවනු ඇත
ඉකුත් ජනපතිවරණ ප්‍රචාරක සමයේ ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පොරොන්දු වූවා මිස රාජ්‍ය සේවයේ මිනිස්බලය අඩු කිරීමට පොරොන්දු වූයේ නැත. අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස දෙදෙනාම මෙරට දුප්පත් ජනතාවට රුපියල් දසදහසක් විසි දහසක් වැනි විවිධ ප්‍රධානයන් පොරොන්දු වූවේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමක්ද පොරොන්දු 
වන ගමන්මය.


ලක්ෂ දාහතරක රාජ්‍ය සේවක ප්‍රමාණයකට මෙසේ මාසිකව දහස් ගණනින් අමතරව බෙදාදීමට මුදල් ඇත්තේ කොහේ ද? සරදියෙල් පන්නයේ බෙදාදීම් රටට තව දුරටත් 
ඉසිලිය නොහැකිය.
එක්දහස් නවසිය පනහ සහ හැටේ දශකවල අමාත්‍යංශ ලේකම්වරුන් භුක්ති විඳි මූල්‍ය පාලනය අද වැනි කලෙක සිතන්නටවත් අපහසු සිහින ලොවක තතු සිහිපත් කරවයි. එකල බොහෝ ඇමැතිවරුන් තමාගේ අබලන් වූ නිල රථය වෙනුවට වෙනත් නිල රථයක් ගෙන්වා දෙන ලෙස ඉල්ලා අමාත්‍යංශයේ ස්ථිර ලේකම්වරයා ළඟ බැගෑපත් වූ අන්දම සැබෑවක් ලෙස විශ්වාස කරන්නටත් අද බොහෝ දෙනා පැකිළෙනු ඇත. එදා දේශපාලකයන් මේච්චල් කරන නාස් ලණුව තිබුණේ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා ළඟය. අමාත්‍යාංශයකට ඇත්තේ නිල රථ දෙක තුනක් පමණක් වන අතර ඇමැතිවරයාට ලැබෙන්නේ ඉන් එකකි. තමා ඇමැති වූ පළියට ලොව හොඳම මිල අධිකම මෝටර් රථ ගෙන්වා ගන්නට එදා ඇමැතිවරුන්ට බලයක් නොතිබිණ. ඔහු ලබා ගත යුතු වූයේ අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලබා දෙන නිල රථයය. එය අබලන් වූ විට අමාත්‍යාංශයේ වෙනත් වාහනයක් ලැබෙන්නේත් පළමු වාහනය ගැන මනා පරීක්ෂණයකින් පසුවය. මේ නිසා රටේ පොදු ජනතාවගෙන් උපයා ගන්නා බදු මුදල් වෙනත් අත්‍යවශ්‍ය කටයුත්තකට යොදා ගත හැකි විය.
රට තුළ රුපියල් සංචිත වේගයෙන් සිඳී යාමට ඒ ඒ ඇමැතිවරයා ගන්නා දේශපාලන තීන්දු ද බලපායි. රාජ්‍ය පරිපාලන ඇමැතිවරයාට රජයේ සියලු ආයතනවලට නව පරිගණක ලබාදීමේ සිතක් පහළ වුවහොත් ඔහු එය ක්‍රියාත්මක කිරීමට පැකිළෙන්නේ නැත. මෙරට පවතින ක්‍රමය අනුව ඇමැති බලතල ඇත්තේ නිලධාරීන්ගේ බලතල වලට වඩා ඉහළිනි. එහෙත් එම පරිගණක අත්‍යවශ්‍ය ද නැද්ද යන්න දන්නා අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන් හෝ වෙනත් නිලධාරීන්ගෙන් නොවිමසා ගන්නා තීන්දු තීරණ නිසා ඉකුත් කාලයේ රට බංකොලොත් විය. 
අසීරුවෙන් එකකු කර ගන්නා බදු මුදල් වේගයෙන් සිඳී ගියේය. නව රජය බලයට ආවේ දේශපාලන සංස්කෘතියම වෙනස් කරන බවට පොරොන්දු වෙමිනි. හිටපු ඇමැතිවරුන්ගේ වැරදි පෙන්වමින් අලුතෙන් බිහිවන ඇමැතිවරුන් තම හිතවතුන්ට මිතුරන්ට පක්ෂයේ හිතවතුන්ට අවශ්‍ය ලෙස අමාත්‍යංශ පාලනය කිරීමට ගියහොත් සිදුවනු ඇත්තේ ද පැරණි ඇමැතිවරුන් කළ වැරැද්දමය. අලුතෙන් පත්වූ සෑම ආණ්ඩුවක්ම පළමුවෙන් කළේ ඒ කටයුත්තය. එසේ නොවේවා යනු 
අපේ පැතුමය.
ප්‍රේමකීර්ති රණතුංග