1972 ව්‍යවස්ථාව වෙනුවට 1978 නව ව්‍යවස්ථාවක් මගින් එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගත වන පරිදි විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙන ලද්දේ 1977 වර්ෂයේ බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසිනි. 1978 නිර්මාණය කළ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක් විය. පළමු ජනාධිපතිවරයා ලෙස ජනාධිපතිවරණයක් නොපවත්වාම 1978 පෙබරවාරි 04 දින ගාලුමුවදොර පිටියේදී අගමැති ජේ.ආර්. ජයවර්ධන දිවුරුම් දුන් අතර, ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබුණේ 1984 වර්ෂයේදීය. නමුත් මතුවෙමින් එන අර්බුදය තුළ එතරම් කාලයක් පමාවීම අවාසිදායක බව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තේරුම්ගෙන සිටියේය.
මේ අනුව පළමු ජනාධිපති ධුර කාලයට වසර 4 ක් පිරීමෙන් පසුව අවශ්‍ය නම් ජනාධිපතිවරණයකට යාම සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය 1982 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත් තුන්වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාගන්නා ලදි. 1982 ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පවත්වන ලද්දේ ඒ අනුවය.
- දමිළ දේශපාලන පක්ෂ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ බිහිවීම.
1976 වසර වන විට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නමින් නව සංවිධානයක් ගොඩනගන ලද්දේ සමස්ත ලංකා දෙමළ සංගමයත් ෆෙඩරල් පක්‍ෂයත් එකතු කිරීමෙනි. මොවුන් 1977 මැතිවරණයට තරග කරන ලද්දේ මුස්ලිම් ජාතිකයන් යනු දෙමළ කතා කරන ජන කොටසක් නිසා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු යැයි තර්කය මත පදනම්වය. ඒ අනුව පසුකාලීනව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නිර්මාතෘ එම්.එච්.එම්. අෂ්රෆ්ද 1977 මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළේය. ඔහු ෆෙඩරල් පක්‍ෂයේ වේදිකාවේද කතා කළ අතර, 1976 මැයි මාසයේදී ඵෙතිහාසික වඩුක්කෝඩෙයි සම්මේලනයට ද සහභාගි විය. අෂ්රෆ්, 1977 මැතිවරණයේදී තරග නොකළ නමුත් ක්‍රියාකාරීව දේශපාලන කටයුතුවල නිරත වූ අයෙකි. මැතිවරණ ප‍්‍රතිඵලවලින් පෙන්නුම් කළේ නැගෙනහිර පළාතේ මන්ත‍්‍රී ආසන තුනක් හැරෙන්නට අනෙක් ඒවායේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කර ඇති බවත්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ජයග‍්‍රහණය කර නොතිබුණු බවත්ය. මෙම තත්ත්වය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමග අෂ්රෆ්ගේ සම්බන්ධතා ක්‍රමයෙන් අඩාළ වීමට හේතු විය.
1981 දිස්ත‍්‍රික් සංවර්ධන සභා මැතිවරණයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් දෙමළ අපේක්‍ෂකයන් ඡන්දයට ඉදිරිපත් විය. මන්නාරම, ත‍්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත‍්‍රික්ක හතරේම මුස්ලිම් ජාතිකයන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් එම ප‍්‍රදේශවලින් මුස්ලිම් අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට අෂ්රෆ්ට අවශ්‍ය විය. ඒ අනුව දෙමළ හා සිංහල දේශපාලනයෙන් ස්වාධීනව වෙනම දේශපාලන ගමනක් මුස්ලිම්වරුන්ට අවශ්‍ය බව අෂ්රෆ් තේරුම් ගත්තේය. මේ නිසා ඔහු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් වෙන්වී නව දේශපාලන පක්‍ෂයක් ගොඩනැගුවේය. එ් අනුව1981 සැප්තැම්බර් 21 වැනි දින කාත්තන්කුඩිහි දී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය බිහිවිය. මෙය මුස්ලිම් ජනතාවගේ දේශපාලන ප‍්‍රශ්නවලට වඩා සමාජ සංස්කෘතික කරුණු කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන නැගෙනහිර සංවිධානයක් වූයේය.
කෙසේ නමුත් පක්‍ෂය ආරම්භ කරන ලද මුල් කාලයේ මුස්ලිම් ප‍්‍රජාව තුළ පක්‍ෂය කෙරෙහි ප‍්‍රසාදයක් නොවීය. ඔවුන්ගේ පිළිගැනීම තිබුණේ ප‍්‍රධාන වශයෙන් දමිළ පක්‍ෂ වටාය. නමුත් 1985 දී කල්මුණේ සහ අවට ප‍්‍රදේශවල මුස්ලිම් ජනයාට එල්ලවූ කොටි ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් ඒ තත්ත්වය වෙනස් විය. අනතුරුව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට නැගෙනහිර මුස්ලිම් ජනයා තුළ පක්‍ෂයක් වශයෙන් පිළිගැනීමක් ලැබුණි. ක්‍රමයෙන් දමිළ පක්‍ෂවලින් මුස්ලිම් ප‍්‍රජාව ඈත්වූ අතර පසුකාලීනව මුස්ලිම් කොංග‍්‍රසයේ සභාපති වශයෙන් කටයුතු කළ බෂීර් සේගු දාවුද් පවා දමිළ දේශපාලන පක්‍ෂවලට සමුදුන්නේ මේ කාලයේදීය.
- 1982 විධායක බලය සහිත ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ප්‍රථම ජනාධිපතිවරණය
මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූයේ ජේ.ආර්. ජයවර්ධනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කඳවුරෙන් හෙක්ටර් කොබ්බෑකඩුවද ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ඊට අමතරව පළමු ජනාධිපතිවරණයේ දී කැපීපෙනෙන අපේක්ෂකයන් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර සහ උතුරේ ඉලංගයි තමිල් කොංග්‍රසය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කුමාර් පොන්නම්බලම් ය. ධනවාදී විවෘත ආර්ථික ප්‍රතිපත්තියට විරෝධය ගොනු කිරීම ශ්‍රීලනිපයේ ප්‍රමුඛ සටන් පාඨය විය. ඒ අතරේ එජාපය “ජනාධිපතිවරණයට ජනාධිපතිතුමා” මැයෙන් පෝස්ටරයක් රට පුරා අලවන ලදී. ජනාධිපතිවරණයකට ඉදිරිපත්වෙන ජනාධිපතිවරයෙකු පැරදවිය නොහැකිය යන මතය එමගින් ජනගත විය. අවසානයේ ජේ.ආර්. ජයවර්ධන සියයට52.91 ක ප්‍රතිශතයක් ලබා පළමු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ශ්‍රීලනිපය නියෝජනය කළ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට ලබා ගත හැකි වූයේ සියයට39.07 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. රෝහණ විජේවීර සියයට 4.19 ක ඡන්ද ප්‍රතිශතයක් ද, කුමාර් පොන්නම්බලම් සියයට2.67 ක ප්‍රතිශතයක් ද ලබාගැනීමට සමත් වූහ.
1977 - 1982 අතර වර්ෂවල දී ආණ්ඩුවේ මන්ත්‍රීවරු, නිලධාරීන් හා පාක්ෂිකයන් අමු අමුවේ මරා දැමීමේ රැල්ලක් නිර්මාණය වී තිබිණි. එජාපයේ පොතුවිල් මන්ත්‍රී කනගරත්නම් ඝාතනය කිරීමෙන් එය ඇරඹිණි. රජයට පක්ෂ සිංහල, දමිළ හා මුස්ලිම් දේශපාලඥයෝද, පාක්ෂිකයෝ ඝාතනයට ලක්වූහ. මේ අවධිය වෙනවිට උතුරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට ද වැඩ වැඩි විය.
කෙසේ වුවද 1982 ඡන්ද සටනේ තීරණාත්මක සාධකය වූයේ උතුරු - නැගෙනහිර පළාත්වල ඡන්ද ගණනයි. මේ හේතුවෙන් ජනාධිපති අපේක්ෂකයෝ උතුරේ ජනතාවට ඇමතීමේ පිපාසයෙන් සිටියහ. මෙම ජනාධිපතිවරණයෙන් එජාප අපේක්ෂකයා වූ ජේ.ආර්. ජයවර්ධන ජයග්‍රහණය කළද ඔහුට යාපනය දිස්ත්‍රික්කයේ ජය හිමිවූයේ නැත. උතුරේ ප්‍රබල පක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඡන්දය වර්ජනය කරන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටියද, ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වූ 533,478 දෙනාගෙන් 228,013 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේය. ඒ අනුව සමස්ත ලංකා දමිළ සංගමයෙන් ඉදිරිපත්ව සිටි කුමාර් පොන්නම්බලම්ට යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 87,263 ක් හිමිව තිබුණු අතර ශ්‍රීලනිප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව ඡන්ද 77,402 ක් ලබා දෙවැනි තැනට පත්විය.
- 1988 දෙවැනි ජනාධිපතිවරණය
1988 ජනාධිපතිවරණයේ දී ආණ්ඩු පක්ෂයේ එනම් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූ ආර්. ප්‍රේමදාසට යාපනය ජයග්‍රහණය කිරීමට හැකි වූයේ නැත. ජේ.ආර්. ජයවර්ධනට මෙන්ම ආර්. ප්‍රේමදාසට යාපනයෙන් හිමිව තිබුණේ තෙවන ස්ථානයයි. ශ්‍රීලනිපයේ සිරිමාවෝ බණ්ඩාරනායකට යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 44,197 ක් ලබා පළමුවන තැනටත්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ඔසී අබේගුණසේකර ඡන්ද 33,650 ක් ලැබ දෙවන තැනටත්, පත්ව සිටියහ. නමුත් මඩකලපුව දිස්ත්‍රික්කය ගත් කල, මුස්ලිම් ඡන්දවලින් බහුතරය එනම් පළමු තැන ආර්. ප්‍රේමදාසට හිමි වූ අතර දෙවන තැන හිමිවූයේ ඔසී අබේගුණසේකරටය. නමුත් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක තෙවන තැනට පත්ව සිටියාය.
- 1994 තෙවැනි නාධිපතිවරණය
1994 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කළ එවකට අගමැති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 16,934 ක් ලබා ගත් අතර ප්‍රතිවාදියා වූ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ශ්‍රීමා දිසානායකට හිමිවූයේ ඡන්ද 223 කි. ඒ අනුව එවකට උතුරු නැගෙනහිර ප්‍රදේශවල සැලකිය යුතු පාලනයක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් හට යටත්ව තිබීම නිසා දමිළ ජනතාවට නිදහසේ තම ඡන්දය පාවිච්චි කිරීමේ තත්වයක් තිබුණේ නැත. මඩකලපුව දිස්ත්‍රික්කය ගත් කල, මුස්ලිම් ඡන්ද හිමිව තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගටය. ඒ අනුව ඡන්ද 144,725 ක් ඇයට හිමිව තිබුණු අතර ශ්‍රීමා දිසානායකට හිමිව තිබුණේ ඡන්ද 14,812 ක් පමණය.
- 1999 හතර වැනි නාධිපතිවරණය
එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1999 ජනාධිපතිවරණයෙන් යාපනයෙන් පරාජයට පත් වූවාය. ඒ අනූව ඇයට ඡන්ද 5,204 ක් ලැබී තිබුණි. එම ජනාධිපතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ජය ලැබුණේ රනිල් වික්‍රමසිංහය. ඔහු ඡන්ද 48,005 ක් ලබා තිබුණේය. එසේම මඩකලපුව දිස්ත්‍රික්කයෙන්ද ජයග්‍රහණය ලැබුවේ රනිල් වික්‍රමසිංහය. ඔහු ඡන්ද 104,100 හිමි කරගෙන තිබුණු අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ලබාගෙන තිබුණේ ඡන්ද 58,975 ක් පමණය.
- 2005 පස් වැනි ජනාධිපතිවරණය
2005 වෙන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ පාලනය තදින් ක්‍රියාත්මක වූ අවධියක් බව සඳහන් කළ යුතුය. 2005 ජනාධිපතිවරණයේ දී ඡන්ද වර්ජනය කරන ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එසේම ඡන්දය පාවිච්චි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද එල්.ටී.ටී.ඊ. සංවිධානය ජනතාව වෙත දැනුම්වත් කර තිබිණි. තත්ත්වය එසේ තිබියදී ඡන්ද 2,975 ක් ලබා ගෙන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූ රනිල් වික්‍රමසිංහ යාපනය දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ එවකට අගමැති මහින්ද රාජපක්ෂ ලබා තිබුණේ ඡන්ද 988 ක් පමණය. මඩකලපුව දිස්ත්‍රික්කයේ රනිල් වික්‍රමසිංහ ඡන්ද 121,514 ක් ලැබ ජයග්‍රහණය කළ අතර මහින්ද රාජපක්ෂට හිමිව තිබුණේ, ඡන්ද 28,836 කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ එකඟතාව මත උතුරේ ඡන්ද වර්ජනය ක්‍රියාත්මක වූ බව එවකට කියැවුණේය. උතුරේ ඡන්ද වර්ජනයක් සිදු නොවුණේ නම්, 2005 ජනාධිපතිවරණයෙන් ජය ලබා ගන්නේ රනිල් වික්‍රමසිංහය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වූයේ වැඩි ඡන්ද 180,796 කිනි.
- 2010 හය වැනි ජනාධිපතිවරණය
2010 ජනාධිපතිවරණය පවත්වන විට, 2009 වෙන තෙක් පැවති දරුණු සටන්වලින් පසු එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කිරීමට රටේ සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂට හැකි වූ නිසා ඔහු අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටියේය. 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ විශිෂ්ට ජයක් අත් කර ගත්තද, යාපනය හා වන්නි දිස්ත්‍රික් ජයග්‍රහණය කිරීමට ලැබුණේ නැත. එම දිස්ත්‍රික්කවල ජය ලැබුවේ ප්‍රතිවාදී පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකාය. ඒ අනුව ඔහු යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 113,877 ක්ද, වන්නි දිස්ත්‍රික්කයෙන් ඡන්ද 70,307 ක්ද ලබා ජයග්‍රහණය කළේය. නමුත් මහින්ද රාජපක්ෂට යාපනය දිස්ත්‍රික්කයෙන් හිමිවූයේ ඡන්ද 4,415 කි. ඔහු වන්නි දිස්ත්‍රික්කයෙන් ඡන්ද 28,700 ක් ද ලබා ගත්තේය.
එසේම මඩකලපුව දිස්ත්‍රික්කයෙන්ද, ජයග්‍රහණය ලැබුවේ සරත් ෆොන්සේකාය. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් සරත් ෆොන්සේකා ඡන්ද 146,057 ක් ලබා ගනිද්දී මහින්ද රාජපක්ෂ ඡන්ද 55,603 ක් ලබා පරාජයට පත් විය. සුවිශේෂී කරුණ නම්, එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමට යුදමය නායකත්වය දුන් සරත් ෆොන්සේකා උතුරු මෙන්ම නැගෙනහිර දිස්ත්‍රික්කවලින් ජයග්‍රහණය කර තිබීමය.
- 2015 හත් වැනි ජනාධිපතිවරණය
2015 එජාපය ප්‍රමුඛව විපක්ෂය පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේනය. එම ජනාධිපතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කළ මෛත්‍රීපාල සිරිසේනට උතුරු නැගෙනහිර දමිළ මුස්ලිම් ඡන්ද පමණක් නොව වතුකරයේ දමිළ ජනතාවගේ ඡන්දයද හිමි විය. ඒ අනුව ඡන්ද 6,217,162 ක් ලැබ ඔහු ජයග්‍රහණය කළේය. නමුත් ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂට බලාපොරොත්තු වූ අන්දමට උතුරු නැගෙනහිර ඡන්ද හිමි වූයේ නැත. ඔහු ඡන්ද 5,768,090 ක් ලබා එම ජනාධිපතිවරණයෙන් පරාජයට පත්විය.
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම්, 2015 ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර පමණක් නොව රටේ තරුණ තරුණියන් බහුතරය ඡන්දය දෙනු ලැබුවේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනටය. නමුත් යහපාලනය පිළිබඳ අපේක්ෂාව ඉතා ඉක්මනින්ම රනිල් - මෛත්‍රී හවුල විසින් බිඳදමන ලදී.
2005 සහ 2015 යන ජනාධිපතිවරණවල දී උතුරු නැගෙනහිර දමිළ හා මුස්ලිම් ඡන්ද තීරණාත්මක වූ බව පැහැදිලිව පෙනීයන කරුණකි.
- 2019 අට වැනි ජනාධිපතිවරණය
2019 ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ ඡන්ද කෙසේ වෙතත්, දකුණේ තරුණ තරුණියන්ගේ ඡන්ද අතිබහුතරය හිමි වූයේ ගෝඨාභය රාජපක්ෂටය. ඒ අනුව ඔහු ඡන්ද ලක්ෂ 69 ක් ලබා ජයග්‍රහණය කළේය. උතුරු නැගෙනහිර තරුණ ඡන්ද යම් ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හිමිවෙන්නට ඇත. නමුත් 2019 දී ප්‍රතිවාදියා වූ එජාපයේ සජිත් ප්‍රේමදාසට උතුරු නැගෙනහිර දමිළ හා මුස්ලිම් ඡන්ද මෙන්ම වතුකරයේ දමිළ ඡන්ද බහුතරය හිමි වුණේය.
ඒ අනුව එම ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයින් වූ ගෝඨාභය රාජපක්ෂට සුළු ජන කොටස්වලට අයත් බහුතර ජනතාවගේ විශ්වාසයත්, සජිත් ප්‍රේමදාසට බහුතර සිංහල ජනතාවගේ විශ්වාසයත් දිනාගැනීමට නොහැකි වී ඇති බව පෙනීයයි.
2019 දී ජයග්‍රහණය සඳහා උතුරු නැගෙනහිර දමිළ මුස්ලිම් ඡන්ද බලපෑමක් එල්ල නොකළද, 2024 ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර දමිළ මුස්ලිම් ඡන්දවල හැසිරීම පිළිබඳව සියලුම දේශපාලන පක්ෂ අවධානය යොමු කර තිබේ.