(අංජුල මහික වීරරත්න සහ මඩුකන්ද සිතුම් චතුරංග මරඳමඩු පුදබිමේ සිට)
“සියලුම ආගම්වලින් උගන්වන දයාව සහ කරුණාව වෛරයක් ලෙස වැරදියට අර්ථ කථනය කිරීම නිසා ශ්‍රී ලාංකේය සමාජයට අහිතකර බලපෑම සිදුවී ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම මරඳ මඩු පුද බිමේදී පැවසීය.
“ආගම්වල දයාව සහ කරුණාව විකෘති කරමින් වෛරය පතුර වන්න කිසිවකුටත් ඉඩ නොදෙන බවද” අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මන්නාරම- මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අවසන් දේව මෙහෙය අවස්ථාවට සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු මරඳමඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය සඳහා සහභාගි වූ දෙවැනි වතාව ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සනිටුහන් විය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ලෙස පළමු වරට මඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය සඳහා සහභාගි වී ඇත්තේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මරඳමඩු දේවස්ථානයේ පරිපාලන කටයුතු සඳහා එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන් වෙත මුදල් චෙක්පත් ද ප්‍රදානය කළේය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ප්‍රමුඛ අගරදගුරුතුමන්ද, එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ රදගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අවසන් දේව මෙහෙය පැවැත්විණි.
මඩු මංගල්‍යය උත්සවයේ දී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
“මඩු මාතා මංගල්‍යය කතෝලික ජනතාවට පමණක් සීමාවී නැහැ. මඩු දේවස්ථානය යනු කතෝලික මෙන්ම කතෝලික නොවන සියලුම ජනතාව ඉහළින් පිළිගෙන තිබෙන ආගමික ස්ථානයක් බව කිව යුතුයි.
මඩු මාතාව උදෙසා යාච්ඤා කිරීමට අද ඔබ මෙහි පැමිණ සිටිනවා. තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම වෙනුවෙන් මෙහිදී යාච්ඤා කරනවා. එමෙන්ම දෙවියන් වහන්සේගේ කරුණාව ලබාගැනීම උදෙසා යාච්ඤා කරනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම සිංහල-දෙමළ සියලුම ජන කොටස් මෙහි පැමිණ සිටිනවා.
මෙම ස්ථානය ප්‍රධාන ආගමික විශ්වාස තිබෙන ස්ථානය පමණක් නොව සංහිඳියාවේ ප්‍රධාන මූලස්ථානය ද බව සඳහන් කළ යුතුයි. සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම කටයුතු කරන ජනතාව අද මෙතැන දී එකට එකතු වී සිටිනවා.
වසර 30 යුද්ධයකට මුහුණ දුන්නා. අප අතර ක්‍රෝධය ඇති කළ අවස්ථා තිබුණා. මරාගත් අවස්ථා තිබුණා. ඒ යුගයෙන් පසුව යළිත් සංහිඳියාව ගොඩ නැගෙන්නේ මෙවැනි උත්සව නිසා බව කිව යුතුයි.
එමෙන්ම කතෝලිකයකු නොවුණත් මෙහි එන සෑම පුද්ගලයකුටම දෙවියන් වහන්සේගේ ධර්මය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට හැකි වෙනවා.
මේ මාසයේ දී ප්‍රධාන ආගමික උත්සව දෙකක් තිබෙනවා. උතුරේ මඩු දේවස්ථානයේ උත්සවය මෙන්ම දකුණේ කතරගම දේවාලයේ උත්සවය සඳහන් කළ හැකිය. උතුරේ සිටින ජනතාව කතරගම පුදබිම වන්දනා කරන්න එනවා. දකුණේ ජනතාව මඩු පල්ලිය වන්දනා කරන්න එනවා.
මඩු පල්ලිය පිහිටා තිබෙන්නේ යුද්ධයට මැදි වූ ස්ථානයකයි. යුද්ධයෙන් අසරණ වූ ජනතාවට මෙම පල්ලිය සරණ දුන්නා. ජනතාවට මඩු දේවස්ථානය පිළිබඳ විශාල විශ්වාසය තිබුණා. එසේ නම් ඒ දෙවියන් වහන්සේගේ දයාව රටේ සියලු දෙනාට ලැබෙනවා.
සෑම ආගමකින්ම දයාව-අනුකම්පාව උගන්වනවා. අවාසනාවකට ඇතැම් අය ආගම්වලින් උගන්වන දයාව සහ අනුකම්පාව වෛරය බවට අර්ථකථනය කරනවා. මීට අප කෙලෙසකවත් ඉඩ දෙන්නේ නැහැ. අද වන විට රටට දෙවියන් වහන්සේ ඉගැන්වූ දයාව සහ අනුකම්පාව අවශ්‍යයි.
මෙරට ක්‍රිස්තු භක්තිකයන් සඳහා තම ආගම ඉදිරියට ගෙනයාම, ආගම ඉගෙන ගැනීම සඳහා තිබෙන අඩුපාඩුකම් දුරලීමට ක්‍රියා කරගෙන යනවා. සියලු දෙනාම එක්ව රටට දෙවියන් වහන්සේගේ දයාව සහ කරුණාව ප්‍රාර්ථනා කරන ලෙස ඉල්ලා සිටිනවා” යයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.
අවසන් දේව මෙහෙය අනුශාසනාව කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මෙසේ පැවසූහ.
“අප මූලික වශයෙන්ම අවධානය යොමු කළ යුත්තේ දරුවන් සඳහායි. දරුවන්ට ජාති-භාෂා භේද උගන් වන්නේ වැඩිහිටි සමාජයයි. දරුවන්ට කෝටි ගණනින් විවිධ හැකියා තිබෙනවා.
දරුවන් ගැන නිතර සොයා බැලීම මා-පියන්ගේ වගකීමයි. වර්තමානයේ දී තරුණ-තරුණියන් මත්කුඩු-මත්ද්‍රව්‍ය අමුතු සාද නිසා නොමඟට ඇදී යනවා. දරුවන්ගේ අධ්‍යාත්මය නැසීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා.
අධ්‍යාත්මික පොහොසත් බව නැතිව මනුෂ්‍ය ජීවිත පරිපූර්ණ වන්නේ නැහැ. අඹ ඇටය පැළ කරන විට අඹ පැළය ලැබෙනවා සේ දරුවන් කුමන අතකට යවනවාද කිය මා පියන් තීරණය කළ යුතුයි.
කුඩා දරුවන් විවිධ අයට බලා ගන්න දී මව රැකියාවට යාම විශාල ප්‍රශ්නය වී තිබෙනවා. විවිධ ආර්ථික ප්‍රශ්න නිසා එලෙස කරන්න වෙනවා. එහෙත් කුඩා කල දී දරුවන් නොමඟ ගියහොත් ඔබ උපයන මුදල්වලින් පලක් නැහැ.
දරුවන් රැකබලා ගන්නා මව්වරුන්ට නිවසේ සිටින මවුවරුන්ට වේතනයක් ගෙවිය යුතු යැයි දෙවැනි ජුවාන් පාවුළු පාප් වහන්සේ වරෙක යෝජනා කර තිබෙනවා. මමත් ඒ යෝජනාව අනුමත කරනවා.
වර්තමානයේ දරුවන් අවශ්‍ය නැතැයි කියන සමාජ නිර්මාණය වෙලා. මානව හිමිකම් පිළිබඳ මහ ඉහළින් කතා කරන ඇතැම් රටවල ද දරුවන් කරදරයක් යන මතයේ සිටීම පුදුමයට කරුණක් යැයි ද කාදිනල්තුමෝ පැවසූහ.
මෙම අවස්ථාවට ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු සහභාගි වී සිටියහ.
ඡායාරූප - ශාන්ත රත්නායක