පුංචි උල්පතකින් නික්මෙන දිය බිඳුව අවසානයේ දී මහා ප්‍රවාහයක් වී මුහුදට එක් වේ. සමාජ සංසිද්ධි ද එසේමය. කුඩාවට ඇරැඹෙන ඇතැම් ප්‍රවණතා බිහිසුණු ප්‍රචණ්ඩ කුණාටු බවට පත් වන්නේ ඇසපිය හෙළන පමාවෙන්ය.
‘සාමණේර භික්ෂුව ද, රජ දරුවා ද, නයි පැටවා ද, පුංචි ගිනි දල්ල ද කුඩාවට නොගන්නයි’ බුදු බණෙහි සඳහන්ය. අනාගතයේ දී ධර්මධර විනයධර, උපසපන් මහ තෙර නමක් බවට පත් වන්නේ පුංචි සාමණේර භික්ෂුවය. අනාගතයේ රජකම ලබා සිහසුන් අරා සිටිනුයේ රජ දරුවාය. මහා නාග රාජෙයකු බවට පත්වන්නේ නාග පැටවාය. මහා ගිනි ජාලාවක් බවට පත්වීමේ හැකියාව පුංචි ගිනි සිළුවකට තිබේ. ඒවා කුඩාවට නොගත යුත්තේ එහෙයිනි. අනාගතය දෙස බලා ඒ දෙස බරින් බැලිය යුත්තේය.
පරිසර සංරක්ෂණ විෂයට නම ලැබුවේ අසූව දශකයේදීය. වන ගහණය ආරක්ෂා කර ගැනීමට අදාළ වාද – විවාද සංවාද ජාතික මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ඇවිළී ගියේය. එහෙත් ඒවා අරුත් සුන් හිස් වචන බවට පත්විය. අද එහි තාර්කික වන්දිය ලෝකවාසී ජනයාත් අපිත් ගෙවමින් සිටිමු.
කාලගුණය සම්බන්ධයෙන් අනාවැකි කිව නොහැකි තරමට කාලගුණය විකෘති වී තිබේ. හෙට කුමන ‘මරාලයක්’ කඩා පාත්වේදෝයි කිව නොහැකි තරමේ දෙගිඩියාවකින් කල්ගත කිරීමට අපට සිදුවේ.
අපගේ අවධානය එයට සමාන්තරව වෙන එකකි.
නවගමුවේදී අවුරුදු හැත්තෑ හයක් වයසැති සිය මිත්තණියට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට අවුරුදු 15ක් වයසැති මුනුපුරා අත්අඩංගුවට පත්වීමේ පුවත ලංකාදීප පුවත්පත වාර්තා කළේ සිකුරාදාය. හම්බන්තොට සාමෝදාගම ප්‍රදේශයේ දී හම්බන්තොට පාසල් දෙකක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර පරණ කෝන්තරයක් මත පැන නැගුණු බහින් බස්වීමක් දුරදිග ගොස් ඇති වූ පහරදීමකින් එක් සිසුවකු මියයාමේ සිදුවීමට තවම දෙතුන් දිනක් ගත වී නැත. මියගිය සිසුවාගේ වයස අවුරුදු 15කි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 17 හැවිරිදි සිසුවෙකි.
අඟුණකොළපැලැස්ස වැටිය ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දරුෙවකු අවුරුදු 8ක් වයසැති අසල්වැසි නිවෙසක පදිංචි දරුෙවකුට පිහියෙන් ඇනීමේ සිදුවීමක් වාර්තා වූයේ ඉකුත් 6 වැනිදාය. පිහි ඇනුම් කෑමට ලක් වූ දරුවා රෝහල්ගත කර ඇති බවත් පිහි පහර එල්ල කළ දරුවා වස පානය කිරීමෙන් පසුව රෝහල්ගත කර ඇති බවත් මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.
පළමුව අවධාරණය කළ යුත්තේ මෙම සිදුවීම් කිසි ලෙසකින් හෝ කුඩාවට නොගත යුතු බවය. මෙම සිදුවීම් එයට හිමි බරින්, ප්‍රමාණයෙන් ගත යුතුය. අනාගත මහා ව්‍යසනයක පෙර නිමිති මෙම සිදුවීම් වලින් පැහැදිලිව දැකගත හැකිය.
සමාජය සෑම අතින්ම සංකීර්ණ වී ඇත. ශිෂ්ටත්වය පාදම බවට පත් කරගත් ජාතියක් සැලුම් වෙවුලුම් කා යමින් තිබේ. සෙත් පිරිතෙන් අවදිව මහ පිරිතෙන් නින්දට ගිය ජාතියක අධ්‍යාත්මය පුපුරා හැලෙමින් තිබේ. පෙර කී සිදුවීම් ත්‍රිත්වයම වුව ද එයට ශාක්ෂියකි.
රටේ අනාගතය දරුවාය. මේ රට බාරගැනීමට සිටින පැනසර බුද්ධි සම්මත දරුවාය. එහෙත් දරුවන්ගේ ලෝකයෙන් අපට අසන්නට දකින්නට ලැබෙන්නේ අනාගතය සම්බන්ධයෙන් සංත්‍රාසය දනවන සිදුවීම් නම්, ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වීම අනිවාර්ය වූවකි.
ශ්‍රී ලංකාව වසර තිහක් පුරා යුද ගින්දරෙන් ද තැවුණු රටකි. එම ශාපලත් යුද්ධයෙන් නික්මුණ ගිනි අඟුරු අධ්‍යාත්මය තවමත් දවමින් තිබේ. ලේ, කඳුළු හා මළ කඳන් පිරිවරා යුද්ධයේ සැහැසි ග්‍රහණයෙන් අප තවමත් මිදී නැත. විවිධාකාරයෙන් විවිධ සමාජ තීරුවලින් ප්‍රකාශයට පත්වන ප්‍රචණ්ඩත්වයට එක් හේතුවක් එයය.
යුද්ධයක බරැති අත්දැකීම් සහිත රටක් යළි ගොඩනැගීමට සමාජය පිරිපහදු කිරීමක් ඇවැසිය. අවාසනාවකට මෙන් මෙම සමාජය එවැනි පිරිපහදුවකට ලක්වූයේ නැත. එහෙත් එය ප්‍රධානම ජාතික වගකීමක් ලෙස පෙරට ගත යුතු තීරණාත්මක පැය එළඹ ඇති බව ඒකාන්ත වශයෙන්ම ඔප්පු වී තිබේ.
අප මෙම තීරුවෙන් බොහෝ විට අවධාරණය කළ කරුණක් තිබේ. එනම් අපගේ අවධානය යොමු විය යුත්තේ මැරයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගැනීම පමණක් නොව දරුවන් මැරයන් බවට පත් වීමෙන් වළක්වාගැනීමටත් බවය. රටේ ඇති පාසල් බන්ධනාගාර බවට පරිවර්තනය වීමේ සැහැසි ඉරණම වෙනස් කළ යුතුව තිබේ.
රට, සියල් සපිරිය සිතා දවස් ගෙවා දැමීම අනුවණය. එසේ සිටීම මහා විනාශයකට පාවාඩ එළීමකි. අනාගතය සම්බන්ධයෙන් දීප්තිමත් බලාපොරොත්තු රඳවාගැනීමට නම් දරුවන් ඉලක්ක කරගත් මානුෂීය මෙහෙයුමක් ඇරඹිය යුතුය. එය පාසල, ආගමික ස්ථානවලින් පමණක් නොව නිවෙස තුළින් ද ක්‍රියාත්මක විය යුතුය. නැතහොත් මත්ද්‍රව්‍යයන්ට බිලි වූ පාතාලයේ අත්පොත් තැබූ දරු පරපුරක් දැකීම වැළැක්වීමට නොහැක වනු ඇත.