දශකයක කාලයක් රාජ්‍ය ආදායමෙන් සියයට 90 ක් වැයකර ඇත්තේ ණය හා පොලී ගෙවන්න


ශ්‍රී ලංකාව 2005-2016 අතර කාල සීමාවේදී රුපියල් බිලියන 1,700 ක් පමණ වැය කර ඇත්තේ අධිවේගී මාර්ග හා සාමාන්‍ය මහාමාර්ග සඳහා බවත්, එම කාලය තුළ සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 588ක් පමණක් බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රාජ්‍ය ආයතන හැරුණු කොට මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 79.3ක්ම අපේ ණය බර බවත්, පසුගිය දශකයක පමණ කාලය තුළ රාජ්‍ය ආදායමින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් වැය කර ඇත්තේ ණය වාරික හා පොලිය ගෙවීම වෙනුවෙන් බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා මේ බව දක්වා ඇත්තේ රටේ ආර්ථික, දේශපාලන හා සාමාජීය කාරණා පිළිබඳව විශ්ලේෂණය කරමින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර තිබේ.

“අධිවේගී මාර්ග සඳහා වැය කරන ධනය රටට ඔරොත්තු දෙන ධනයක්ද?, රටේ ණය බරට එයින් වන බලපෑම කුමක්ද යන්න සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුයි. රටේ නොයෙක් සංවර්ධන ප්‍රමුඛතා ඇති අතර, පානීය ජලය නොමැතිකම, ගොවිතැන් සඳහා ජලය නොමැතිකම, නිවාස ගැටලුව, වැසිකිළි - කැසිකිළි ගැටලුව, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය ආදී නොයෙක් ගැටලුවලට මිනිසුන් මුහුණ දී සිටිනවා. එමෙන්ම ප්‍රවාහනය ශක්තිමත් කිරීමත් මාර්ග පහසුකම් වැඩිදියුණු කර ගැනීමත් සංවර්ධනයේ ප්‍රමුඛතාවක්. මෙහිදී සංවර්ධනයේ ප්‍රමුඛතාව හිමි විය යුත්තේ කවර කරුණු කාරණා සම්බන්ධයෙන් ද යන වග සැලකිල්ලට ගත යුතුයි.

ලංකාව මධ්‍ය ආදායම් රටක් බවට පරිවර්තනය වීමත් සමග රටේ ජනගහණයෙන් සියයට 50 ක් පමණ නාගරීකරණ පහසුකම් භුක්ති විඳිනවා. රටක් හැටියට පත්වීමත් සමග නාගරික තදබදය සහ පාරිසරික වශයෙන් ඇති වී තිබෙන ව්‍යසනකාරී ගංවතුර, නායයෑම් වැනි අනතුරු ඇඟවීම් සමග නාගරිකරණය සහ ජනාවාසකරණය තිරසර සංවර්ධනයත් සමග කෙසේ ගමන් කළ යුතු ද යන්න පිළිබඳව සලකා බැලිය යුතුව තිබෙනවා.

 ණය බර පිළිබඳ කාරණය වත්මන් රජය අත්විඳින ප්‍රමුඛ අභියෝගයයි. රාජ්‍ය මුල්‍ය එසේත්  නැත්නම් අපේ පිස්කල් බැලන්ස් එක පිළිබඳ කාරණය පිළිබඳ සලකා බැලුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 2017 ඔක්තෝබර් සංගුණකවලට අනුව ලෝකය සමග සැසැඳීමේදී ලංකාව රටවල් 193ක් අතුරින් 143 වන ස්ථානයේ පසුවෙනවා.

ඒ අනුව රජයේ ආදායම් හා වියදම් පිළිබඳව අප සිටින්නේ ලෝකයේ අන්තිම පන්තියේයි. රාජ්‍ය ණයගැතිභාවය පිළිබදව අවධානය යොමුකළ විට රටවල් 193ක් අතුරින් අපි සිටින්නේ 157වන ස්ථානයේය. රාජ්‍ය ආයතන හැරුණු කොට අපගේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 79.3 ක්ම අපේ ණය බරයි. තවද අනෙකුත් රාජ්‍ය ආයතනත් සමග ගත්විට මෙය සියයට 90කට වඩා වැඩි විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2007 ඔක්තෝබර් මාසයේ වාර්තාවේ සඳහන් වී තිබෙනවා.

රටේ ණය බරට වඩා ඒ රටට ණය ගෙවන්න තිබෙන හැකියාව, පොලී අනුපාතය කීයද යන්න ගත්විට ලෝක බැංකුවේ වාර්තාව අනුව දත්ත තියෙන රටවල් 95 අතුරින් ලංකාව ඉන්නේ 91 වැනි ස්ථානයේයි. දැනට බංකොළොත්භාවය ප්‍රකාශ කර ඇති ග්‍රීසිය, අයර්ලන්තය, පෘතුගාලය වැනි රටවලුත් අපට වඩා ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම ජපානය අපට වඩා ණයගැතියි. ජපානයේ ණයගැතිභාවය ඒ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 250ක් පමණ වෙනවා. අපේ රටේ එය සියයට 80කට ආසන්නයෙන් තිබෙන බව නිල වාර්තාවල සඳහන් වෙනවා.

කෙසේ වුණත් අපිට අපේ පොලී අනුපාතය අරගත්තට පස්සෙ ණයවල සක්‍රිය පොලී අනුපාතය සියයට 8 කට වඩා වැඩියි. අපේ රටට ලැබෙන සහන ණය ප්‍රමාණයට වඩා වාණිජ ණය ප්‍රමාණය සියයට 55 ඉක්මවා තියෙනවා. මේ තත්ත්වය යටතේ ලංකාව ලොකයේ දත්ත තොරතුරු තියෙන රටවල් 95 අතුරින් 91 වැනි ස්ථානයේ, ඉතාම දුර්වල තැනක මුල්‍යමය වශයෙන් ලංකාව පසුවෙනවා.

පසුගිය දශකයක පමණ කාලය තුළ අපේ රාජ්‍ය ආදායමින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් වැයවන්නේ ණයේ වාරිකය හා පොලිය ගෙවීමටයි.  එසේනම් මේ තත්ත්වය යටතේ දී රටේ අනාගත ආයෝජන, විශේෂයෙන්ම රාජ්‍ය ආයෝජන බුද්ධිමත්ව හැසිරවීම සිදු නොකළ හොත්, ඒ වගේම ආදායම්, රැකියා උත්පාදනය කරන තැන්හි නිසි හැසිරවීමක් ද සිදුවූයේ නැතිනම් රට තව තවත් ණය අර්බුදයක ගිලෙනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ වැනි ආදායම් නොඋපදවන ආර්ථික සුදු අලිසේම අධිවේගී මාර්ගත් සුදු අලි බවට පත්වෙන්න ඉඩ තිබෙනවා.

ඒ වගේම නිවාස හා නාගරීකරණයට රුපියල් බිලියන 50ක් වත් වියදම් කරලා නෑ. මේ වියදම් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අපට හොඳ සංගුණකයකුත් ලැබිලා තියෙනවා. අපි මේ ලෝකයේ ප්‍රවාහන මහාමාර්ග තත්ත්වය අනුව බැලුවහම දැනට අපි ලෝකයේ 34වැනි ස්ථානයේ සිටින්නේ. එතනදී අපිට පන්තියේ මුල් පේලිය හම්බෙලා තියෙනවා. නමුත් එයට අපි විශාල වන්දියක් ගෙවනු ලැබුවා. රුපියල් බිලියන 1700ක්. අධ්‍යාපනයට, සෞඛ්‍යයට වියදම් කළා වගේ තුන් ගුණයක් අපි එතනට වියදම් කරලා තමයි ඒ තත්ත්වය අරගෙන තිබෙන්නේ’ යයි අමාත්‍යවරයා සඳහන් කර තිබේ.