

ඊ. ඩබ්. පෙරේරා
|
තොළ වෙව්ලන සීයට බෑ රජය බයේ දැන් කතාව’’
50 දශකයේ ඡන්ද ව්‍යාපාරයේදී තැන තැන ඇලවුණු කවි කොළයක මෙම කවි පෙළ දිස්විණ. එදා ජේ. ආර්. ඇතුළු දේශපාලන පිලේ පැහැය වූයේ සුදු පාටය. ඊ. ඩබ්. පෙරේරා ඇතුළු දේශප්‍රේමී පිලේ පාට වූයේ කොළ පැහැයයි.
කැලණියෙන් තරග වැදුණු ඊ. ඩබ්. පෙරේරා ජාතික වීරයකු ලෙස ජනතාව සැලකූහ. ඊට හේතුව සුදු අධිරාජ්‍යවාදී පාලනය සමයේ මේ රටේ සිදුවූ මානව අයිතීන් කෙලෙසීම, යුද අපරාධ, දේශප්‍රේමීන් ඝාතනය වැනි වැරදි කෙරෙහි බ්‍රිතාන්‍ය පාලකයන් දැනුම්වත් කිරීම පිණිස තම සපත්තුව තුළ පෙත්සමක් සඟවාගෙන යුද හමුදා රැකවල්වලින් බේරී උඩු ගුවනින් ගොස් පැමිණිලි කළ අභීත ක්‍රියාව නිසා ඔහුට කළ ගෞරවයක් ලෙසිනි.
එතුමා ජනතාව අතර වීරවරයෙක් වුවද ප්‍රතිගාමී එක්සත් ජාතික පාක්ෂික නායකයන්ගෙන් ඔහුට ලැබුණේ කෙනහිලි හා අපහාස පමණි. මහලු වයසේදී පවා රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ අභීතව අදහස් උදහස් ඉදිරිපත් කළ ඊ. ඩබ්. පෙරේරාට මහලු විය නිසා තරුණ ප්‍රතිගාමීන්ගෙන් ඉහත සඳහන් අපහාසාත්මක අභියෝගය එල්ල විය. ‘‘කැලණියේ ජේ. ආර්. ජයවර්ධන සුදු පුතා දිනවමු’’ මැයෙන් එම කවි පෙළේ මාතෘකාව විය.
එදා සිටම රාජ්‍ය මන්ත්‍රණ සභාව, පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාදායක සභාව තුළ මෙම මහලු - තරුණ ගැටුම එළිපිටත් අළු යට ගින්දර ලෙසත් පැවතුණි.
එදා මෙදා පැවති ආණ්ඩු මගින් රට පාලනයේදී ආර්ථිකය හැසිරවීමේ ජාතික ආරක්ෂාව සහ අධ්‍යාපන ප්‍රතිපත්ති මෙහෙයවීමේ තීන්දු තීරණ ගනු ලැබුවේ මැදිවිය ඉක්මවූ පරිණත දේශපාලනඥයන් විසිනි. 1948 දී අප රටට දේශපාලන නිදහස පිරිනැමුණු යුගයේ එම නිදහස භාරගත්තේ රදල පරපුරක් වූ බෝතලේ වලව්වේ ප්‍රධානියා වූ ඩී. ඇස්. සේනානායක මහතා ඇතුළු උසස් ප්‍රභූ පෙළැන්තියයි.
ඔවුන් තුළ රටේ ඉදිරි සංවර්ධනය සඳහා කෙතරම් සැලසුම් තිබුණද සාර්ථක වූයේ අතළොස්සක් පමණි. සියලු තීන්දු තීරණ ගතයුතු වූයේ පැරණි ලෙසටම අධිරාජ්‍යවාදී ගැති, රදලවාදී, ධනවාදී ආකල්පයන්ගෙන් සිරවීය. මේ රටේ දිනෙන් දින උග්‍රවන ආර්ථික, සමාජයීය, විරැකියා ගැටලුවලට තිරසාර පිළිතුරක් ලබාදීමට එතෙක් මෙතෙක් රටේ පාලනය භාරගත් දේශපාලනඥයෝ අසමත් වූහ. මේ නිසා අළු යට ගිනි සේ ජනතාව තුළ එක්තරා විකල්පවාදී විරෝධයක් ඉස්මතුවෙමින් පැවතිණ.
බලයට පත්වන ආණ්ඩුව තුළ ඔවුන් කලින් පොරොන්දු වූ ඉල්ලීම් ලබාදීමේ පැහැදිලි ක්‍රමවේදයක් නොවූ අතර තරුණ පරපුරේ ආකල්ප වූයේ තමන් ඔවුන්ට රැවටුණු බවය. දිනෙන් දින ඉස්මතු වෙමින් පැවති තරුණ අසහනය තුළ ජනතාවගේ අදහස්වලට සමීපවන්නට දේශපාලනඥයෝ සීත කාමරවල සිට සැලසුම් ඇන්දාහ.
1931 දී ඩොනමෝර් කොමිසම මගින් මෙසේ සර්වජන ඡන්ද බලය හඳුන්වා දෙනු ලැබිණ. ඒ අනුව වයස අවරුදු 21 න් ඉහළ ස්ත්‍රී පුරුෂ සැමට ඡන්ද බලය හිමි විය. ශ්‍රී ලංකාව ඒ සඳහා බ්‍රිතාන්‍ය කිරීටයෙන් 1928 සිටම ඉල්ලීම් කර තිබිණ. මුළු ආසියාවේ මෙන්ම ඕස්ට්‍රේලියානු කලාපයේද නවසීලන්තය හැර හැම රටකම පෙර සර්වජන ඡන්ද බලය ලැබුණේ මෙරටට වීම ආඩම්බරයකි.
1956 දක්වා එම වයසේ වෙනසක් නොතිබුණි.
එතැන් සිට වසර 16කට පසුව 1947 වසරේ අගෝස්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වුවද ඡන්දය පාවිච්චි කළ හැකි අවම වයසේ වෙනසක් නොවිණ. සියලු තීන්දු තීරණ ගැනීම මැතිවරණ කොමසාරිස්ට පැවරිණ. ජනතාවගේ තීන්දු තීරණ ගැනීම මැතිවරණ කොමසාරිස්ට පැවරිණ. ජනතාවගේ සුදුසුකම් හා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධිය තකා ඡන්දය දීමේ වයස පිළිබඳ අවධානය යොමු වූයේ 1956 දී ඇමැති බණ්ඩාරනායක මැතිඳුන්ගේ ආණ්ඩුවෙනි.
1459 අගෝස්තු 11 දරන සංශෝධන පනතට අනුව එතෙක් අවුරුදු 21 ක්වූ ඡන්ද දීමේ අවම වයස අවුරුදු 18 දක්වා අඩු කළ අතර ගෘහ අංක මත නාමලේඛන සකසා මූලික සුදුසුකම් ලැබූ සාමාජිකයන් පිළිබඳව ලේඛනගත කෙරිණ.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍ය අත්හළ නොහැකි අතර මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලයද ඊට ඇතුළත්ය.
1959 ට පෙරද ඡන්දය දීමේ අයිතිය අවුරුදු 18 කළ යුතු බවට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය තර්කකර තිබූ බවද මෙහිලා සිහිපත් කළ යුතුය.
1952 දී පීටර් කෙනමන් මන්ත්‍රීවරයා කළ යෝජනාව මන්ත්‍රණ සභාවේදී පරාජය විය.
‘‘මේ යෝජනාව නිසා රට අරාජික වෙනවා’’ යැයි එජාපය දොස් කී අතර දහ අටේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි ඡන්දය අයිතිය දෙන එක වඳුරන්ට දැළි පිහිය දුන්නා වගේ හොඳට හිටී’’ සාම්ප්‍රදායික එජාප දේශපාලනඥයකු වූ සර් ජෝන් කොතලාවල මැතිසබය තුළද ඉන් පිටතද දෙස් දෙවොල් තිබ්බේය. මේ කිසිවක් ගණන් නොගත් බණ්ඩාරනායක ආණ්ඩුව 1959 මැයි 07 දා ඡන්ද දීමේ අයිතිය අවුරුදු 18 දක්වා අඩු කිරීමේ පනත සම්මත කර ගත්තේ තවත් ඡන්ද පොරොන්දුවක් ඉටු කරමිනි.
එහෙත් 18 විය පිරුණු පළියට සමකාලීන කිසිම ඡන්දයකදී ඡන්ද භාවිත කිරීමේ අයිතිය ඔවුන්ට නොලැබෙන අතර ලියාපදිංචි වී මතු දිනක ප්‍රකාශයට පත්වන මැතිවරණයකදී එම අයිතිය ලැබෙනු ඇත. මෙතෙක් පැවැති ඡන්දවලදී වයස අවුරුදු 20 හෝ 21 වනතුරු බලා සිටීමට ඔවුන්ට සිදුවිය.
1931-2019 කාලය වනවිට සාක්ෂරතාව 30% සිට 74% දක්වා වර්ධනය විය. 1940 දී විශ්වවිද්‍යාලයට ගිය ශිෂ්‍ය සංඛ්‍යාව වසරකට 100ක් වූ අතර 2012 වනවිට එය 22,000 ක් වී තිබිණ.
ඒ අනුව සාක්ෂරතාව දියුණුවීමත් සමග සංවර්ධන ක්‍රියාදාමයන්ට දායකත්වය ලබාදිය හැකි උගත් තරුණ පිරිසගේද දැවැන්ත වර්ධනයක් සිදුවී ඇත.
එහෙත් ආර්ථික හා සමාජීය ප්‍රශ්න නිසා උග්‍රවන තරුණ අසහනයට පිළිතුරු සෙවීමට සාම්ප්‍රදායික පාලකයන්ට නොහැකි විය. යොවුන් පාර්ලිමේන්තුවද මෙම ගැටලු ඉදිරියට ගෙන ආවේය.
තරුණ සංකල්පවලට අනුකූලව රටේ දැවෙන ප්‍රශ්න ගැන කතා කිරීමට තරුණ දේශපාලනඥයන් පාර්ලිමේන්තුව යැවිය යුතු විය. ඒ සඳහා ප්‍රජා නායකත්වය දැරිය හැකි ප්‍රාදේශීය ඡන්ද නියෝජිතයන් මෙන්ම ඡන්ද අයිතිය දැන් තරුණ ඡන්දදායකයන් වඩාත් අවශ්‍ය වෙයි.
1959 ඡන්ද අයිතිය 18 වන නියමය අනුව පාර්ලිමේන්තුවට පත්වූ ළාබාලතම මන්ත්‍රීවරයා වූයේ ලක්ෂ්මන් රාජපක්ෂය. අවුරුදු 18 දී ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචි වූ ඔහුට අවුරුදු 21 දී පාර්ලිමේන්තුවට පැමිණිය හැකි විය.
‘‘මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ’’ යනුවෙන් එදා ගුත්තිල පඬිවරයා සංගීත ශාස්ත්‍රයෙන් සමුගෙන එය තම විශ්වාසවන්තම දක්ෂ ගෝලයා වූ මූසිලට පැවරුවේය. නමුත් මූසිල සංගීතය පරතෙරට ඉගෙන ගුරුවරයාටද අභියෝග කිරීමට තරම් එඩිතර විය.
දේශපාලන ක්ෂේත්‍රයේදී ගුරුවරයාගෙන් ගෝලයාටද, පියාගෙන් පුතාටද, සහෝදරයාගෙන් සහෝදරයාටද, සැමියාගෙන් බිරිඳටද, දේශපාලන බලය දෝලනය වන යුගයක එහි වෙනසක් කළ හැක්කේ ඡන්දදායකයාටය.
ප්‍රධාන පක්ෂ දෙක අතර වසර 70ක් පුරා දෝලනය වන ඡන්ද බලය නිසා තරුණ ගැටලුත් රටේ ගැටලුත් නිරාකරණය නොවන බව පෙන්වා දෙමින් විප්ලවවාදී මතධාරීන් රැසක් විසින් විවිධ ක්‍රියාකාරකම් රැසක් රට තුළ සිදුකරන ලදී. මෙහිලා තරුණ නැගිටීම් විශේෂයෙන් සඳහන් කළ යුතුය.
71 අප්‍රේල් කැරැල්ල, 83-89 වැනි දෙවන නැගී සිටීම, උතුරේ ත්‍රස්තවාදී ව්‍යාපාරය වැනි ආයුධ සන්නද්ධ ක්‍රියාකාරකම්වලට මූලික හේතුවද තරුණ අසහනය ලෙස සමහර අර්ථදක්වති. ඡන්ද බලය කෙතරම් අඩු කළද තරුණ අසහනයට පිළියම් ලෙස එය නොපිළිගන්නා කොටස් අන්තවාදී ලෙස බලපෑම් තුළින් රාජ්‍ය බලය උදුරා ගැනීමට සැලසුම් කිරීම නිසා තරුණ ජීවිත ලක්ෂ ගණන් කලින් කලට රටට අහිමි වූ අතර තරුණ ගැටලු ගැන මැති සබයේ කතා කරන්නට සිටි දේශපාලනඥයන් රැසකගේද ජීවිත විනාශ විය.
1956 දී බණ්ඩාරනායක මැතිඳුන්ට පැවති තවත් ගැටලුවක් වූයේ කඩිමුඩියේ පැවැත්වෙන මෙම මැතිවරණය සඳහා ආසන මට්ටමින් නායකයන් පත් කිරීමයි. එය නිවැරදිව දුර දක්නා නුවණින් කළ යුතුය.
නිකවැරටිය ආසනයට සුදුස්සකු අවසාන මොහොත දක්වාම සොයා ගැනීම උගහට විය. අවසානයේදී ඊට සුදුසුකම් සපුරා ඇතැයි හිතවතුන් සහතික කළ මුදියන්සේ තෙන්නකෝන් නමැති තරුණයකුට නාමයෝජනා දීමට තීන්දු විය. නාමයෝජනා දී සුළු මොහොතකට පෙර ඔහු අතුරුදන් විය. එය ප්‍රතිගාමීන්ගේ කුමන්ත්‍රණයක් වන්නට පුළුවන.
හිස මොළ රත් වූ බණ්ඩාරනායක මැතිඳුන් හමුවට වදෙන් පොරෙන් රැගෙන ආවේ තවත් නව යොවුන් තරුණයෙකි. ‘‘සර් මෙයාගෙ නමත් මුදියන්සේ තෙන්නකෝන්’’ ඒ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ’’ පාක්ෂිකයෝ කීහ.
නිවැරදි මුදියන්සේ වෙනුවට ඩුබ්ලිකේට් මුදියන්සේ නිකවැරටියට තරග කර වැඩි ඡන්දෙන් පාර්ලිමේන්තු ගියේය. මැති සබේ පොඩි පුතා වූ නිකවැරටියේ මුදියන්සේ වැඩි කලක් මැති සබයේ නොසිටියේය. ගතානුගතික දේශපාලන ක්‍රියාපිළිවෙත් ප්‍රතික්ෂේප කළ ඔහු දේශපාලනයෙන් සමුගත්තේ මෙසේ කියමින්.
‘‘ජනතා විශ්වාසය දිනා ගන්න බැරි දේශපාලනයෙන් ජනතාවට දියුණුව සලසන්න බෑ’’
මෙසේ මහලු දේශපාලකයන් සමග ගැටෙන තරුණ දේශපාලනඥයෝ කවදත් පාර්ලිමේන්තුව තුළ සිටිති. ගතානුගතික දේශපාලනඥයන් සග ගැටීමට වයසින් තරුණ විය යුතුම නැත.
ජේ. ආර්. සමගත් ප්‍රේමදාස සමගත් ගැටුම් ඇතිකර ගනිමින් ලලිත් ඇතුළත් මුදලි, ගාමිණී දිසානායක, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර වැනි පිරිස් වෙනම පක්ෂයක් පිහිටුවා ගත්හ. බණ්ඩාරනායක මැතිඳුන්ට පවා අභියෝග එල්ල වුණේය. සිරිමාවෝ මැතිනියගේ සමයේ පක්ෂය කැඩී බිඳී ගියෙත් අළු යට ගිනි මෙන් කලින් කලට නැගී එන ඇතුළේ විරෝධතාකල්ප නිසාය.
‘‘ඉඟුරු කල්ලිය’’, ‘‘පසුපෙළ කල්ලිය’’, ඒකාබද්ධ විපක්ෂය වැනි නම්වලින් අද ද හැඳින්වෙන්නේ සම්ප්‍රදායික පාලනයට එරෙහිව එන රැල්ලයි.
මෑතකදී 18 විය සම්පූර්ණ වූ දිස්ත්‍රික්ක 15ක තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසන් සභාව වැටලූ තරුණ උද්ඝෝෂකයන්ට එහි සභාපති මහින්ද දේශප්‍රිය දැක්වූ අදහස මෙම ගැටලුවට කදිම පිළිතුරකි.
‘‘18 අයට ඡන්දෙ දෙන්න ඕනැ කින එක අපේම ස්ලෝගන් එකක්. (අපේම උපකල්පනයක්). ඒකම අපිටම කැරකිලා එන එක තමයි වැඩේ කියන්නෙ. කවුරු හරි ඒක අරගෙන ඉදිරියට යන එක අපටත් සතුටක්.
මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන ආචාර්ය රත්නජීවන් හුල් එම අදහස පැහැදිලි කළේ මෙසේය.
18 සම්පූර්ණ වුණු ගමන් ඡන්දෙ දාන්න අයිතිය දෙනවා කියන්නෙ පාර්ලිමේන්තු නීති උල්ලංඝනය කිරීමක්. ඉහළම නීතිය ව්‍යවස්ථා නීතියයි.
පුෂ්‍පනාත් ජයසිරි මල්ලිකාරච්චි