දෑවුරුද්දකට මැතිවරණ අහෝසියි අදුරේ අතපත ගාන රංගේගේ දේශපාලන යෝජනාව


ජනමත විචාරණයක් පවත්වා ජනපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් අවුරුදු දෙකකට කල් දැමිය යුතු යැයි එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර මහතා යෝජනා කර තිබේ. මෙහි දේශපාලන පසුබිම හඳුනාගැනීමට පෙර නීතිමය පසුබිම හඳුනාගැනීම වැදගත්ය. ඒ නීති විශාරදයන් මෙන්ම නීතිඥ දේශපාලකයින් ගණනාවක් ද මෙම යෝජනාව නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී යෝජනාවක් ලෙස හඳුන්වා දී ඇති බැවිනි. මෙම යෝජනාව ප්‍රජාතන්ත්‍ර විරෝධී බව ඇත්තකි. ප්‍රායෝගික නොවන බව ද ඇත්තකි. නමුත් එය නීති විරෝධී යැයි පැවසීම ජනතාව නොමග යවන ප්‍රකාශයකි. ඒ ජනමත විමසුමකින් ජනතාවගේ අනුමැතිය ලබා ගෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමේ විධිවිධාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු හෙයිනි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියෙන් මැතිවරණ කල් දැමීමට අවශ්‍ය විධිවිධාන සලසා ඇත. ඒ වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය සය අවුරුද්දක් ඉක්මවා දිගු කරන පනත් කෙටුම්පතක් හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය සය අවුරුද්දක් ඉක්මවා දිගු කරන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් අනුමත කර ගෙන ඉන්පසු ජනමත විමසුමක දී ජනතාව විසින් ද අනුමත කළොත් නීතියක් බවට පත් වේ. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් වුවත් මෙම වගන්තියේ දක්වා ඇත්තේ සය අවුරුද්දක් ඉක්මවන පනතක් සඳහා ජනතා අනුමැතිය ලබා ගත යුතු බවයි. 1978 දී සම්මත කළ මුල් ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය වසර හයකි. ඉන්පසු 2019 දී සම්මත වුණු 19 වන සංශෝධනයෙන් ජනාධිපතිගේත්, පාර්ලිමේන්තුවේත් කාලය වසර පහ දක්වා අඩු කරන ලදි.  නමුත් එකී ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළ අයට නව ධුර කාලයට අනුරූපීව 83 වන වගන්තිය සංශෝධනය කිරීමට අමතක වී ඇති බව පෙනේ.  


කෙසේ වෙතත් මෙම වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය දිගු කරන හෝ පාර්ලිමේන්තුවේ කාලය දිගු කරන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් අනුමත කර, ජනතාව විසින් ද ජනමත විමසුමක දී අනුමත කරන්නේ නම් ජනාධිපතිවරයාගේ ද පාර්ලිමේන්තුවේ ද කාලය දිගු කළ හැකිය. එමෙන්ම එසේ දිගු කළ හැකි කාලයට උපරිම සීමාවක් දක්වා නොමැති බැවින් ජනාධිපතිගේ කාලය වසර විස්සකින් දිගු කරන පනත් කෙටුම්පතක් ගෙන ඒමට වුවත් කිසිම නීතිමය බාධාවක් නොමැත. එබැවින් එජාප මහ ලේකම්ගේ ප්‍රකාශය ව්‍යවස්ථා විරෝධී බවට නීති විශාරදයන් සහ නීතිඥයන් විසින් ප්‍රකාශ කරන්නේ ව්‍යවස්ථාව නිසි අධ්‍යයනයකින් තොරව බව පෙනේ.
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිගේ ධුර කාලය දිගු කිරීමට විධිවිධාන තිබුණත් එය ප්‍රායෝගිකව කළ හැකි දැයි අපි මී ළඟට විමසමු.  ජනාධිපතිගේ ධුර කාලය දිගු කරන පනත් කෙටුම්පතට පැනීමට ඇති පළමු කඩුල්ල වන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් එය සම්මත කර ගැනීමයි. එම කඩුල්ල පැනගැනීමට නොහැකි වුණොත් ජනමත විමසුමක් පැවැත්වීමේ අවශ්‍යතාව පැන නොනගියි. පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් සම්මත වීම යනු පනත් කෙටුම්පතට පක්ෂව මන්ත්‍රීවරු 150 දෙනෙකුගේ සහයෝගය ලැබීමයි. වික්‍රමසිංහ ආණ්ඩුව කිසිම දිනක එකී ඉලක්කමට පාර්ලිමේන්තුව තුළ සමීප වීමටවත් සමත් වී නැත. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ වාර්තා කළ ඉහළම සහයෝගය වන්නේ මන්ත්‍රි ධුර 134කි. ඒ වික්‍රමසිංහ මහතා තනතුරට පත් වුණු පාර්ලිමේන්තු තුළ පැවැති ජනාධිපතිවරණයේ දීය. ඉන්පසු කිසිම දිනක මන්ත්‍රීවරු 125ක වත් සහයෝගය ලබා ගැනීමට ආණ්ඩුව සමත් වී නැත. එබැවින් ජනාධිපතිගේ ධුර කාලය වසර දෙකකින් දිගු කරන පනතක් වත්මන් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සිහිනයක් පමණකි.
රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශයේ වඩාත් වැදගත් කරුණ වන්නේ එහි ඇති දේශපාලන ප්‍රකාශනයයි. ආණ්ඩුව ඉදිරි ජනපතිවරණය ජයග්‍රහණය කරන්නේ නම් ජනාධිපතිට අවුරුදු දෙකක් වෙනුවට අවුරුදු පහක්ම ලැබේ. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය ආණ්ඩුව ජයග්‍රහණය කරත් නම් පාර්ලිමේන්තුවට ද අවුරුදු දෙකක් වෙනුවට අවුරුදු පහක් ලැබේ. අවුරුදු පහක් බලය ලබා ගැනීමට හැකි මැතිවරණ දෙකට මුහුණ නොදී අවුරුදු දෙකකින් කාලය දිගු කර ගන්නා මෙන් එජාප මහ ලේකම් ජනාධිපතිගෙන් ඉල්ලා සිටින්නේ, තමන්ට එකී මැතිවරණ ජයග්‍රහණය කිරීමට නොහැකි බව දන්නා හෙයිනි.  


ආණ්ඩුවට ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සිහිනයක් පමණක් බව මෑත කාලයේ පැවැත්වූ සෑම සමීක්ෂණයකින්ම හෙළිවුණු කරුණකි. ජයග්‍රහණය පමණක් නොව, සියයට20ක් ඉක්මවා ඡන්ද ලබා ගැනීම පවා දැවැන්ත අභියෝගයකි. ඒ නිසාම අවම වශයෙන් දෙවැනි ස්ථානය ලබා ජනාධිපතිවරණයෙන් නම්බුකාර පරාජයක් ලැබීම ද සිහිනයකි. නමුත් ආණ්ඩුවේ නායකයින් ජනතාව ඉදිරියේත්, කැමරා ඉදිරියේ වහසි බස් දොඩන්නේ තමන් ඉදිරි ජනාධිපතිවරණය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවයි. තිත්ත ඇත්ත දනිමින් මුසා බස් දොඩන්නේ ජනතාව රවටා මැතිවරණය පවත්වන තුරු ජනතා සහයෝගය රැකගැනීමේ කූට අරමුණෙනි. නමුත් මෙකී ප්‍රකාශය තුළින් ඉදිරි ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පරාජයට පත් වන බව එජාප ප්‍රධාන ලේකම්වරයා ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ. රංගේ බණ්ඩාර මහතා එය පැවසීමට වඩා වැඩි වටිනාකමක් ලැබෙන්නේ එය පවසන්නේ ජනපතිගේ පක්ෂය වන එජාප මහ ලේකම් බැවිනි. එබැවින් මුසාවක් බව දනිමින් ජනතාව ඉදිරියේ තෙපලූ ජයග්‍රහණයේ වහසි බස් තවදුරටත් තෙපලීමට ආණ්ඩුවේ නායකයන්ට නොහැකිය.
එජාප ප්‍රධාන ලේකම්වරයාගේ මෙම මත දැක්වීම සම කළ හැක්කේ සීතාම්බර සළුව පැලඳ ඇතැයි සිතා නිරුවතින් පෙරහැරේ ගිය රජතුමා නිරුවතින් ගමන් කරන බව කෑ ගසා පැවසූ දරුවාගේ ප්‍රකාශයටය. එදා රජතුමාගේ නිරුවත අද සමාන වන්නේ ජනාධිපතිගේ නියත පරාජයටය.  එබැවින් එජාප ලේකම්වරයා විසින් ආණ්ඩුව තල්ලු කර ඇත්තේ යළි කිසිම දිනක ගොඩ ඒමට නොහැකි අගාධයකටය.
එජාප ප්‍රධාන ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය මගින් ඔහු සිය දේශපාලන අනවබෝධය සහ නොමේරූකම ද ප්‍රදර්ශනය කර ඇත.  මෙවර ජනපතිවරණයේ දී කිසිම අපේක්ෂකයෙකුට සියයට50ක් ලබා ගත නොහැකි බව සමීක්ෂණවලින් හෙළිවන නිශ්චිත කරුණකි.  ජනාධිපතිවරණ පනත අනුව කිසිම අපේක්ෂකයෙකු සියයට 50ක් ඉක්මවා ඡන්ද ලබා ගෙන නොමැති නම් ඊ ළඟට කළ යුත්තේ පළමු සහ දෙවන ස්ථානයට ඡන්ද ලබා ගත් අපේක්ෂකයන් අත්හැර අනෙකුත් අපේක්ෂකයන්ට පළමු මනාපය ලකුණු කළ ඡන්ද පත්‍රිකාවල ඇති පළමු සහ දෙවන ස්ථාන ලැබූ අපේක්ෂකයින්ට ලබා දී ඇති දෙවන මනාප ඔවුන්ට එකතු කිරීමයි. එයින් පසුව ද කිසිවෙකු සියයට50ක් ඉක්මවා ඡන්ද ලබා නැති නම්, අනෙකුත් අපේක්ෂකයන්ට පළමු මනාපය ලකුණු කළ ඡන්ද පත්‍රිකාවල ඇති පළමු සහ දෙවන ස්ථාන ලැබූ අපේක්ෂකයන්ට ලබා දී ඇති තුන්වන මනාප ද ඔවුන්ට එකතු කරනු ඇත. එවිටත් කිසිවෙකු සියයට50 ඉක්මවා නොමැති නම් වැඩිම ඡන්ද ගණන ලබාගෙන ඇති අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තෝරා ගත් බව මැතිවරණ කොමිසම විසින් නිවේදනය කරනු ඇත.
ජනාධිපතිවරණ පනත අනුව නම් ඡන්දදායකයන්ට 1, 2 සහ 3 ලෙස අපේක්ෂකයන් තුන්දෙනෙකුට සිය කැමැත්ත අනුපිළිවෙළින් ලකුණු කළ හැකිය. නමුත් කිසිම ඡන්දදායකයෙක් එසේ මනාප ලකුණු නොකරති. ඒ වෙනුවට කරන්නේ තමන් වඩාත් කැමැති අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් කතිරයක් ලකුණු කිරීමයි. මැතිවරණ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ කිසිම ඡන්දයක කිසිම ඡන්දදායකයෙකු එසේ මනාප තුනක් ලකුණු කර නොමැති බවයි. පසුගිය ජනාධිපතිවරණ හතරේම ඡන්ද පත්‍රිකා ගණන් කරනු නිරීක්ෂණය කළ පුද්ගලයෙකු ලෙස මේ ලියුම්කරු ද කිසිම දිනක එසේ 1, 2 සහ 3 වශයෙන් මනාප ලකුණු කළ ඡන්ද පත්‍රිකාවක් දැක නැත.  එබැවින් පළමු වටයේ දී වැඩිම ඡන්ද ගණන ලබන අපේක්ෂකයා කුමන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබුණත් ඔහු ජනාධිපති ලෙස නිවේදනය කරනු ඇත.  
ඉදිරි ජනපතිවරණයේ දී තියුණු තුන් කොන් සටනක් තිබුණොත් ජයග්‍රහකයා ලබනු ඇත්තේ සියයට35ක පමණ ඡන්ද ප්‍රතිශතයකි. එසේ නැතත් ජයග්‍රහකයා සියයට40ක ප්‍රතිශතයක් ඉක්මවා නොයනු ඇත. ඒ අනුව ආණ්ඩුවේ අපේක්ෂකයාට සියයට 35ක් පමණ ජනාධිපතිවරණයේ දී ලබා ගත හැකි නම් ජනාධිපති වනු ඇත්තේ ආණ්ඩුවේ අපේක්ෂකයාය.  ජනමත විමසුමක් හරහා ජනාධිපතිගේ ධුර කාලය දිගු කිරීමට වත්මන් ජනාධිපතිගේ පක්ෂයේ ප්‍රධාන ලේකම් යෝජනා කරන්නේ, එකී සියයට 35වත් තමන්ගේ අපේක්ෂකයාට ලබා ගත නොහැකි බවට ඔහු අනුමාන කරන බැවිනි.
ජනමත විචාරණයක දී ඇත්තේ පාර්ශ්ව දෙකකි. ඒ ජනමත විමසුමට යොමු කරන ප්‍රශ්නයට  “ඔව් : ලාම්පුව” ලෙස පිළිතුරු දෙන පාර්ශ්වය සහ  “නැත : කළ ගෙඩිය” ලෙස ප්‍රකාශ කරන පාර්ශ්වයයි. දෙපාර්ශ්වයක් අතර පවතින තරගයක දී ජයග්‍රාහී පක්ෂය අනිවාර්යයෙන්ම සියයට50 ඉක්මවා ඡන්ද ලබා ගත යුතුය. ජනමත විචාරණයේ දී ආණ්ඩුව එක පැත්තකට යන විට විපක්ෂයේ අපේක්ෂකයන් සියලුම දෙනා අනිත් පැත්තට යනු ඇත.  එබැවින් ජනමත විමසුමක දී ආණ්ඩුව තනිව සියයට50ක් ලබා ගැනීම අතිශයින්ම දුෂ්කර කටයුත්තකි.  ජනපතිවරණයක දී අපේක්ෂකයන් සියලු දෙනාම එකිනෙකා සමග තරග කරන බැවින් ජනපතිවරණයක් යනු බහුපාර්ශ්වික මැතිවරණයකි. එබැවින් සියයට35ක් ලබා ගත්තත් ඒ ලබාගෙන ඇත්තේ වැඩිම ඡන්ද නම් ඒ පාර්ශ්වය ජයග්‍රහණය කරනු ඇත.  


ඉහත විග්‍රහයෙන් පෙනීයන්නේ ජනපතිවරණයක් ජයග්‍රහණය කිරීමට වඩා ජනමත විචාරණයක් ජයග්‍රහණය කිරීම අපහසු බවයි.  එසේ නම් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බැවින් ඒ වෙනුවට ඊටත් වඩා ජයග්‍රහණය දුෂ්කර ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනා කිරීමෙන් රංගේ බණ්ඩාර මහතා ප්‍රදර්ශනය කර ඇත්තේ සිය දේශපාලන අවබෝධයේ දුප්පත්කමයි. එවැනි පුද්ගලයෙකු පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුරට පත්කර ගැනීමෙන් එජාපය ප්‍රදර්ශනය කර ඇත්තේ ද එකී පක්ෂයේ දුප්පත්කමයි.