මෙවර මහ මැතිවරණය වෙනුවෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරගවදින අපේක්ෂක ජීවන්ත කුමාර හේරත් සමග කළ සංවාදයකි.
කවුද මේ ජීවන්ත කුමාර හේරත්?
මම ගුරුවරයෙක් වගේම දේශකයෙක්. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තමයි පාසල් අධ්‍යාපනය හැදෑරුවේ. පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙමින් මගේ උපාධිය අවසන් කළා. ඊට අමතරව මම එංගලන්තයේ කේන්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ භාෂා සම්බන්ධ සහතිකලාභියෙක් සහ ඉංග්‍රීසි ඉගැන්වීම සම්බන්ධයෙන් ඩිප්ලෝමාධාරියෙක්. ඒ වගේම දැන් මම බාහිර දේශකයෙක් විදිහට ලංකාවේ ආරක්ෂක අංශවලට දේශන පවත්වනවා.
මැතිවරණ වේදිකාවට ඔබ නවකයෙක්. ඔබ දේශපාලනයටත් නවකයෙක් ද?
මේ මගේ පළමුවෙනි දේශපාලන ආගමනය. මීට පෙර මම බිම් මට්ටමේ දේශපාලනයට සමග සක්‍රියව සම්බන්ධවෙලා හිටියෙ නැහැ. නමුත් මම රටේ තියන ප්‍රධාන ප්‍රශ්නවලදි බලයේ සිටින රජය කුමක් වුණත් උපාය මාර්ගික සැලසුම්කරැවෙක් විදිහට පෙනී සිටිමින් මගේ සේවය ලබා දුන්නා. 2010 වර්ෂයේ සිටම මාව දේශපාලනයට රැගෙන එන්න මගේ ගම්වාසින් උත්සාහ කළත් මම ඒ සමයෙදි කැමැත්ත ප්‍රකාශ නොකළේ මට දේශපාලනය ඇතුළෙ බොහෝ දේ ඉගෙනගන්න තිබුණ කියල මට දැනුන නිසා. ඉතින් මම 2010 සිට 2014 වෙනකන් දේශපාලනය ගැන ගොඩක් දේවල ඉගෙන ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම 2024 මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් තරග වදින්න තීරණය කළා.
මුල්ම දේශපාලනය අවතීරණයට ඇයි මේ සන්ධානය තෝරාගත්තේ?
ලංකාවේ එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික ජන්ද දායකයින් පිරිසකින් ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට ඍජුව ලැබුණේ පන්ලක්ෂ පනස් හය හමාරක් පමණ ජන්ද විතරයි. එයින් තේරුම්ගත හැකි කරුණ තමයි සමස්ත ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 1/3 ආසන්න සංඛ්‍යාවක් තමයි වර්තමාන ජනාධිපතිවරයාට තියෙන්නෙ කියන දෙය. නමුත් ඒක මිනිසුන්ගේ තෝරාගැනීමක්. ඒ තෝරා ගැනීමට ගරු කරන්න වෙනවා. ඒවගේම තමයි මෙතනදි අනිත් පැත්තෙන් විපක්ෂය විදිහට තියෙන්නේ සමගි ජන බලවේගය. ඔවුන් තුළ තිරසාර වැඩසටහනක් හෝ සාධනීය තත්ත්වයක් අපි දකින්නෙ නැහැ. ඔවුන්ගේ හිටපු අනුග්රාහකයෝ දැන් ඔවුන්ගෙන් ඉවත් වෙලා තියෙනවා. ජනාධිපතිවරණයේ දී සජිත්ගෙ තිබුණ බැබළීම දැන් දකින්න නැහැ. ඒවගේම ඔවුන්ගේ පාක්ෂිකයෝ, ඔවුන් සමග ක්‍රියාකාරීව දේශපාලනය කරපු බොහෝ පුද්ගලයින් වේගයෙන් ඔවුන්ගෙන් ඈත් වෙනවා සහ වෙනත් පක්ෂ සමග එකතුවෙනවා. ඒ ගැටලුකාරී තත්ත්වයන් සියල්ල නිර්මාණය වන අතරතුර පොහොට්ටුව ආශ්රිත පිරිස ජනතාව තවමත් ප්‍රතික්ෂේප කරනවා. ඒ සමාජ වෛරයේ ප්‍රතිඵලය තමයි මාලිමාවේ ජයග්‍රහණය. මේ වගේ පසුබිමක තවමත් ඉතිරි වී තිබෙන්නේ එක කණ්ඩායමයි. ඒ කණ්ඩායමත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක කොටසක් තමා සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පෙනී සිටින හොරු - දූෂිතයෝ නොවන පිරිස. දෙවන කණ්ඩායම මම නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය තුළ සිටින හොරු - දූෂිතයෝ නොවන කණ්ඩායම. මේ කියන කාරණා නිසා මම විශ්වාස කරනවා අපිට මේ පක්ෂය තුළින් සාධනීය බලවේගයක් විදිහට රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් කියලා.
ජනාධිපතිවරණයේ දී ඔබේ සන්ධානය ලබාගත් ඡන්ද ප්‍රතිශතයත් සමග මහමැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව ඔබට විශ්වාසයක් තිබිය හැකිද?
ජනාධිපතිවරණය හා මහමැතිවරණය කියන්නෙ මැතිවරණ දෙකක්. ජනාධිපතිවරණයේදි පැහැදිලිවම එක පුද්ගලයෙකුට තමයි ඡන්දය ප්‍රකාශ කරල තියෙන්නේ. ඒක කේන්ද්‍රගතයි. නමුත් මහ මැතිවරණයක් කියල කියන්නේ පුද්ගල බද්ධ කාරණාවක්. එතනදි පාක්ෂිකයා, ප්‍රදේශවාසියා තමයි තීරණය කරන්නේ කාටද මනාපය පලකරන්නෙ කියන එක. මහමැතිවරණයකදී මිනිස්සු තෝරගන්න ඕන තමන්ව නියෝජනය කරන්නේ කවුද කියන දේ නිවැරදිව තීරණය කරන්න. එතනදි අපි විශ්වාස කරනවා ඔය කියන ආකාරයේ 2/3 ක බලයක් පවතින ආණ්ඩුවට ලැබෙන්නෙ නැහැ කියන දේ. ඒ යටතේ ආණ්ඩුව ගෙන එන නිවැරදි තීරණවලට සහය දෙන, වැරදිදේට විරුද්ධ වෙන සහ ආණ්ඩුව කඩන්වැටෙන ඕනම වෙලාවක බයේ දුවන්නෙ නැතුව ඒක භාරගන්න තරම් ශක්තියක් තියන බලගතු විපක්ෂයක් අවශ්‍යයි.
හොඳ අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට යවන එක අපහසු කටයුත්තක් නෙවෙයි. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕන. මොකද මිනිස්සු අරගල කළේ 225ම එපා කියලා. ඒ කියන්නෙ දූෂිත දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවට එපා, මහජන නියෝජිතයො බවට පත් කරන්න එපා කියන තැන ඉඳලා. ඉතින් මේ මැතිවරණයේදි මහජනතාව පරිස්සම් වෙන්න ඕන ඔය චෝදනාව ලබපු හෝ ඔප්පුවුණු, දඩුවම් ලබපු, කිසිම කෙනෙක් ජනතා නියෝජිතයො ලෙසින් තෝරා නොගන්න.
ඔබේ පසුබිම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක්, ඒ තුළින් වෙනස් ගමනක් ආරම්භ කළ හැකිවේද?
ඇත්තටම මේ සන්ධාන ගතවීම ක්‍රියාත්මක වෙන්නෙම ජනාධිපතිවරණයේ ක්‍රියාත්මක වූ සන්ධාන ගතවීම නිසාමයි
එනම් ඒ අවස්ථාවේ ජනාධිපතිතුමාට සහාය ලබාදීම පිළිබඳ කෘතගුණ සැලකීමක් විදිහට තමයි මේ නාමයෝජනා සිලින්ඩරය ලකුණෙන් බෙදා දීම සිද්ධ වෙන්නේ. ඒ විදිහට නාමයෝජනා භාර දුන්නත් තෝරා ගැනීම සිද්ධ කරන්න ඕන මහජනතාව. එතනදි මහජනතාව තීරණය කරන්න ඕන කවුද පාර්ලිමේන්තු යවන්නේ සහ නොයවා සිටින්නේ කියන එක. ඒවගේම විශේෂම දේ තමයි මේ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් යටතේ වුණත් ඕනම කෙනෙකුට මහමැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් පරමාධිපත්‍ය බලය තියෙන්නේ මහජනතාවට.
ඔබේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව කොයි වගේ ද?
මිනිස්සු පරණ මුහුණු ප්‍රතික්ෂේප කරමින් අලුත් මුහුණු හොයමින් ඉන්නේ. හැබැයි එතනදි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන දේ තමයි මේ අලුත් මුහුණු ඇතුළෙ ඉන්නේ පරණ අයගෙම සෙවණැලිද කියන එක ගැන. ඒ කියන්නේ අලුත් අපේක්ෂකයෝ හිටපු දේශපාලනඥයින්ගේ පුතාලද නෑදෑයෝ ද එසේත් නැත්නම් අලුත්ම මුහුණු ද කියන එක. ඒවගේම මේ අපේක්ෂකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනව ද? ඔවුන්ගේ පවුල් වපසරිය කවරාකාර ද? ඔවුන් දේශපාලනය තුළ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කොයි විදිහට ද? ඔවුන්ගේ හැසිරීම කොහොමද? ඔවුන්ගේ ආකල්ප කොහොම ද? ඇත්තටම ඔවුන් සැලසුම් සහගත ද? රට වෙනුවෙන් දෙයක් කරන්න තරම් ඔවුන් බුද්ධිමත් ද? වගේ කරුණු කාරණා දෙසත් අවධානය යොමු කරන්න ඕනෑ. ඉතින් මේ දේවල් සලකා බලන විට අලුත් මුහුණු අතර මගේ නම ඉහළම තැනක තියෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා.
මේ දිනවල බොහෝ පරණ දේශපාලනඥයනගේ අදහස අත්දැකීම් නැති අයව තෝරන්න එපා කියන එක. ඉතින් ඔබත් අත්දැකීම් නැති කෙනෙක්නෙ.
මම දන්න විදිහට අත්දැකීම් එහෙමත් නැත්තං පළපුරුද්ද කියන කාරණය නිර්මාණය වෙන්නේ දැක පුරුද්ද, දැන පුරුද්ද සහ කළ පුරුද්ද යන කාරණා කිහිපයක එකතුවකින්. මම අහනවා මේ කියන කාරණා තුනම අත්දැකීම් සහිතයි කියන දේශපාලනඥයන් තුළ තිබුණා නම්, ඇයි අපේ රට මෙතරම් බංකොලොත් වුනේ. ඇත්තටම දේශපාලනඥයෙක් කරන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය. එතකොට ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන මට්ටමක් තියෙනවා. ඒ වගේම දැනුමක් තියෙන්නේ කළ පුරුද්ද නොමැති අවස්ථාවක වුවත් ඔහුට අදාළ අවස්ථාව අනුව තීරණ ගැනීමේ හැකියාව තියෙන්න පුළුවන්. පක්ෂය කුමක් වුවත් පාලන බලයේ කවුරුන් සිටියත් අපේ රට දැන් කොතන ද නතර වෙලා තියෙන්නේ. ඉතින් ඒ අය ළඟ දැක පුරුද්ද තියෙනවා නමුත් දැන පුරුද්දක් නැහැ.
දැනගෙන තියෙන්නේ ඒ අයට වාසි දේවල් විතරයි. රටට වාසි දේවල් ඔවුන් දන්නේ නැහැ. ඒවගේම තමයි කළ පුරැද්දෙන් හරියට දෙයක් කළා නම්, මේ රට මෙතන තියෙන්න විදිහක් නැහැ. එහෙනම් අපිටත් පුළුවන් වෘත්තියක් කරගෙන පැත්තකට වෙලා ඉන්නවා. ඒත් දැන් අපි වෘත්තීන් අතහැරලා සැලසුම් කරපු ජීවිතය පැත්තකින් කියල ඇයි මේ රට වෙනුවෙන් එළියට බැහැල ඉන්නේ.
මොකද ඒ මෙතරම් කාලයක් රට භාරගත්ත හසළ පරපුරුද්දක් තියනවා යැයි පුරසාරම් දෙඩූ පුද්ගලයින්ගේම අසාර්ථක කිරීම් නිසා. තවත් පිරිසකගේ මතයක් තියෙනවා ප්‍රාදේශීය සභාවකවත්, නගර සභාවකවත් හිටපු නැති කෙනෙක් දේශපාලනඥයෙක් කරන්න එපා කියලා. ඒක මේ සිස්ටම් එක ඇතුළේ දූෂිතයින්ට රැකෙන්නෙ හදපු තවත් එක සටන් පාඨයක් විතරයි.
දුලක්ෂි ලියනගේ