දෙමළ ජාතික සන්ධානය නැවතත් 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී දකුණේ සිංහල පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දීමට තීන්දු කෙරුවේ,
එ.ජා.ප. නායක වික්‍රමසිංහ නව ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවක් මගින් දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට පොරොන්දු වූ නිසා පමණක් නොවේ.
උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව මේ 2024 ජනාධිපතිවරණයට හවුල් විය යුත්තේ කෙසේද? දකුණේ සිංහල අපේක්ෂකයෙකුට ඡන්දය දීමෙන් ඔවුනට කුමක් ලැබේද? උතුරේ දේශපාලන නායකයින් මෙවර ජනාධිපතිවරණය ගැන තීන්දු ගැනීමේදී ඔවුන්ගේ දෙමළ සමාජයේ පොදු මතය තේරුම් ගෙන තිබේද? විශේෂයෙන් යුද්ධය අවසානයෙන් පසු අලුතින් එකතු වූ සමාජීය අර්බුද සමග වර්ධනය වන වන්නිකරයේ හා යම් පමණකට නැගෙනහිර ජනතාවගේ අසහනය දෙමළ දේශපාලන නායකයින්ට මග හැර යා නොහැකි බැව්, ඔවුන් දැන් තේරුම් ගන්නා බවක් දැකිය හැකිය. දකුණේ සිංහල දේශපාලනය සමග ඔවුන් තබා ගන්නා ගනුදෙනුවෙහි පැහැදිලි වෙනසක් මෙවර 2024 ජනාධිපතිවරණයෙහි දැකිය හැක්කේ එබැවින් විය යුතුය. එහෙත්
ඔවුන් එවැනි වෙනස්කම් සමග කෙතරම් දුරක් යෑමට සූදානම් වන්නේද?
උතුරේ එල්.ටී.ටී.ඊ. ආධිපත්‍යය තිබූ සමයේ පවා 2005 ජනාධිපති මැතිවරණය වර්ජනය කළද, 2019 ජනාධිපතිවරණය තෙක් ඔවුහු දකුණේ සිංහල දේශපාලනය සමග පොදු ගනුදෙනුවක් තබා ගත්හ. එතෙක් ඔවුන් සාකච්ඡා කලේ දකුණේ ප්‍රධාන අපේක්ෂකයින්ට ඡන්දය දිය යුතුද නැතිද, සහ ඡන්දය දෙනවා නම් කාටද යනුවෙනි. මෙවර ඒ ගනුදෙනුව අතහරින්නට උතුරේ නායකයින් අතර සාකච්ඡා පැවැතින. උතුරු නැගෙනහිර ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් මෙවර දෙමළ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එක යෝජනාවක් ඇත. පිරිසිදු හින්දු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට වැඩි කලබලයක් නැති තවත් යෝජනාවක් ඇත. උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් වඩා සාධාරණ දේශපාලන ස්ථාවරයක් ඉදිරිපත් කරන “දකුණේ සිංහල” අපේක්ෂකයෙකුට සහාය දැක්වීමට තවත් යෝජනාවක් ඇත. ඊට අමතරව, ජනාධිපතිවරණය වර්ජනය කිරීමටද යෝජනා කෙරෙන්නේය. මේ යෝජනා සමූහය තුළ මුස්ලිම් ජනතාව ගැන විශේෂ කිසිත් සාකච්ඡා වෙන බවක් පෙනෙන්නට නැත.
මේ දේශපාලන මත සමග උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන නායකයින් පොරබැදුවත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ඒ තීන්දු අතරින් කවරක් සමග සිටින්නේ දැයි යන්න තවම උතුරේවත් දකුණේවත් දේශපාලන නායකයින් කතා කරන බවක් දැකිය නොහැකිය. දකුණේ දේශපාලන නායකයින්ට ඒ කිසිවක වගක් නැති සෙයකි. ඒ කිසිවක් දකුණේ සිංහල සමාජයෙහි කතා නොවන්නේ ඇයිද යන්න අතිශය වැදගත් ප්‍රශ්නයකි. අප තේරුම්ගත යුතු වැදගත්ම කාරණාව නම්, අවුරුදු 75 ට වැඩි කාලයක් උතුරු නැගෙනහිර ජනතාවගේ දේශපාලන ඉල්ලීම් සඳහා දකුණේ සමාජයෙහි හා ප්‍රධාන දේශපාලන ධාරාවෙහි වැදගත් අවධානයක්, ස්ථානයක් නොමැති හෙයින්ම, දෙමළ ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමේ විධි ක්‍රම ගැන සිතන්නට බල කෙරෙන බවය. මේ ජනාධිපතිවරණයෙහි ඔවුන් මැදිහත් විය යුත්තේ කෙසේ දැයි මත කිහිපයක් ඇත්තේද ඒ නිසාම ය.
එවැනි පසුබිමක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ තනි ආධිපත්‍යයක් ඇති “ඉලන්කෛ තමිල් අරසු කච්චි” (ෆෙඩරල්) පක්ෂයේ තීන්දුවලට යටත් වෙන දෙමළ ජාතික සන්ධානය හැරුණු විට, අනෙක් සියල්ලන්ම පාහේ මෙවර ජනාධිපතිවරණයෙහි දකුණ නොතකා යෑමේ ප්‍රවණතාවක් ඇත. සුමන්තිරන්ගේ කොළඹට කොටු වූ දෙමළ දේශපාලනයට උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාව අතර ප්‍රසාදයක් නොවුනු බවද 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනේ.
යුද්ධය අවසන් කෙරුණු 2009 මැයි මාසයෙන් මාස 07 ට පසු, එනම් 2010 ජනවාරියේ රාජපක්ෂ පාලනය යටතේ මහින්ද රාජපක්ෂගේ දෙවන ධූර කාලය සඳහා ජනාධිපතිවරණයක් තීන්දු කෙරුණේ යුද ජයග්‍රහණයෙහි කීර්තිය දකුණේ අලෙවි කළ හැකි වූ බැවිනි. ඒ වෙන විට “මැණික් ෆාම්” අනාථ කඳවුරුවල ගාල් කර සිටි උතුරේ දෙමළ ජනතාවගෙන් ලක්ෂයකට වැඩි පිරිසක් නැවත පදිංචියට යැවීමට ජනාධිපතිවරණය වෙනුවෙන් ආණ්ඩුව හදිසි පියවර ගත්තේය. යුද්ධය අවසානයේ එල්.ටී.ටී.ඊ.ය සමූලඝාතනය කර තිබූයෙන් දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව නියෝජනය කළ ප්‍රධානම දේශපාලන නායකත්වය බවට පත්ව සිටියහ. දකුණේ විපක්ෂය සමග හවුල්වී ඔවුන් සිවිල් අපේක්ෂක රාජපක්ෂට එරෙහිව යුද්ධය මෙහෙයවූ හමුදාපතිට පූර්ණ සහාය දීමට තීන්දු කෙරුවේ, තමන්ගේ යැයි දේශපාලනයක් නොමැති වග මෙන්ම ඔප්පු කරමිනි. එවගේම සමාජ ව්‍යුහ සියල්ල බිඳ වැටී සීසීකඩ විසිර සිටි උතුරු නැගෙනහිර ජනතාවටද සාකච්ඡා සංවාද තුළ තීන්දු ගැනීමේ හැකියාවක් නොවූයෙන් ඔවුහුද දෙමළ ජාතික සන්ධානයේ තීන්දුවට අනුගත වූහ.
එබැවින් 2010 ජනාධිපතිවරණයේදී යාපනය ඡන්දදායකයින්ගෙන් සියයට 24.8 ක් රාජපක්ෂට ජන්දය දෙන විට, සියයට 63.8 ක් හමුදාපති ෆොන්සේකාට ඡන්දය දුන්හ. වන්නියේ එය සියයට 67.9 ක් විය. මඩකළපුවේ ජනතාව සියයට 68.9 ක් හමුදාපති ෆොන්සේකාට ඡන්දය දුන්හ. දිගාමඩුල්ලේ සියයට 49.9 ක් සහ ත්‍රිකුණාමලයේ සියයට 54.1 ක් ඔහුට ඡන්දය දී තිබිණ. පොදු අපේක්ෂක හමුදාපති ෆොන්සේකාට දකුණෙන් ලැබී තිබුණේ දළ වශයෙන් සියයට 34 ත් 45 ත් අතර ඡන්ද ප්‍රමාණයකි.
දෙමළ ජාතික සන්ධානය නැවතත් 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී දකුණේ සිංහල පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දීමට තීන්දු කෙරුවේ, එ.ජා.ප. නායක වික්‍රමසිංහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට පොරොන්දු වූ නිසා පමණක් නොවේ. එසේම එය උතුරු නැගෙනහිර ජනතාවට අලෙවි කළ හැකි යෝජනාවක් වූ අතර තමන්ගේ ස්වාධීන දේශපාලන තීන්දුවකට වඩා එය පහසු බැවිනි.
ඒ වෙනවිට උතුරු නැගෙනහිර ජනතාව තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් හඬ නගන්නටද සංවිධානය වන්නටද පටන් ගෙන තිබිණ. ආරක්ෂක හේතු මත යැයි හමුදාව පවරා ගෙන තිබූ ඔවුන්ගේ පාරම්පරික ඉඩම් නැවත ලබා ගැනීම, අතුරුදහන් කෙරුණු තරුණයින් සොයාගැනීම වැනි කාරණා වෙනුවෙන් සැලකිය යුතු කාන්තා පිරිසක්ද උතුරු නැගෙනහිර විරෝධතාවලට සංවිධානාත්මකව හවුල් වෙමින් සිටියහ. දිගු කල් උරුමයක් සහිත උතුරේ පුවත්පත් ඇතුළු පළාත්බද මාධ්‍යද ස්වාධීන සිවිල් මාධ්‍ය ප්‍රවණතාවක් ලෙස නැවත සමාජ වගකීම් වෙනුවෙන් වාර්තාකරණයට පිවිස සිටියහ.
සාමාන්‍ය ජන සමාජය එවැනි ස්වාධීන ගොනු වීමක් පෙන්වූ දේශපාලනික වටපිටාවක ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ එල්.ටී.ටී.ඊ තීන්දුව මගින් 2005 නොවැම්බරයේ ජනාධිපතිවරණයෙන් අති බහුතරයක් දෙමළ ඡන්දදායකයින් ඉවත් කර තැබීමෙන් රාජපක්ෂගේ ජයග්‍රහණය සහතික කෙරුණා සේම, 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී අති බහුතරයක් දෙමළ ඡන්දදායකයින් රාජපක්ෂට විරුද්ධව ඡන්දය දීමෙන් දකුණේ පොදු අපේක්ෂක සිරිසේන ජනාධිපති ලෙස පත් කෙරිණ. 2010 ජනවාරි ජනාධිපතිවරණයෙහි රාජපක්ෂ විරෝධී ජනාධිපති අපේක්ෂක හමුදාපති ෆොන්සේකාට මඩකළපුවෙන් ලැබුණු ඡන්ද සියයට 68.9 ඉක්මවා ඡන්ද සියයට 81.6 ක් සිවිල් අපේක්ෂක සිරිසේනට ලැබිණ. උතුරු-නැගෙනහිර අනෙක් සියලු දිස්ත්‍රික්කවලද එවැනිම විය. දිගාමඩුල්ලෙහි සියයට 65.2 ක්ද, යාපනයෙහි සියයට 74.4 ක්ද, ත්‍රිකුණාමලයෙහි සියයට 71.8 ක් සහ
වන්නියෙහි සියයට 78.5 ක්ද පොදු අපේක්ෂක සිරිසේනට ලැබිණ.
ජනාධිපතිවරණ පරාජයෙන් පසු තමන් “තවමත් සිංහල ජනතාවගේ ජනාධිපති” යැයි මහින්ද රාජපක්ෂ කියුවේද ඒ නිසා ය. විපක්ෂයේ පොදු අපේක්ෂක සිරිසේන මහින්ද රාජපක්ෂට වඩා වැඩි ඡන්ද 4,49,072 ක් ගනු ලැබුවේ උතුරු නැගෙනහිරෙන් ලැබුණු ඡන්ද 9,78,111 ක් සමග ය. මහින්ද රාජපක්ෂගේ තර්කය වූයේ ඔහු ලැබූ ඡන්ද දස ලක්ෂ 5.8 සිංහල ඡන්ද බවත් එනිසා දකුණේ බහුතරය සමග ඔහු දකුණේ සිංහල ජනාධිපති බවත් ය. උතුරු නැගෙනහිර එවැනි ඡන්ද පෙළගැස්මක වාසිය 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී සම්පන්තන්-සුමන්තිරන් නායකත්වයට ලබා ගත හැකි විය. ඒ වාසිය ඔවුන්ට නිකම්ම ලැබුණක්ද නොවුනි. දෙමළ ජාතික සන්ධානය සඳහා මන්ත්‍රීවරැ 16ක් දිනා ගත හැකි වූයේ සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව ඔවුන්ට අභිමත පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට අවකාශය ලබාදෙනු ඇතැයි පොරොන්දු වූ බැවිනි.
අගමැති වික්‍රමසිංහ සුපුරැදු පරිදි ඔහුගේ කමිටු, අනු කමිටු, පාර්ලිමේන්තු කමිටු යන ලේබල් යටතේ “කමිටු සූත්‍රය” සමගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ වගකීම ජයම්පති-සුමන්තිරන් කමිටුවට බාර දී දකුණේ සිංහල සමාජය සමග ඒ සම්බන්ධ කිසිදු කතා බහකට නොගියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පූර්ණ කර ගැනීමට ආණ්ඩුවට හිරිහැර නොවන ලෙස සිටිය යුතු යැයි තර්ක කළ සුමන්තිරන්ගේ බලපෑම මත දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර ජනතාවගේ ඉල්ලීම්, උද්ඝෝෂණ සියල්ලෙන් ඉවත් විය. වෙනකක් තබා ඔවුන්ගේම උතුරු පළාත් සභාවෙහි කටයුතුද ඔවුහු මග හැරියහ. එහි මහ ඇමති දේශපාලන නවකයෙකු වූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරයෙකු වූ විග්නේශ්වරන් උතුරේ නව නායකයෙකු ලෙස මතු වේ යැයි පළාත් සභාවෙහි සක්‍රීය පැවැත්ම සුමන්තිරන් ඔහුට හැකි පමණින් අඩාල කළේය.
දෙමළ ජනතාවගේ ක්‍රියාකාරිත්වයෙන් ඉවත්ව වික්‍රමසිංහ ආණ්ඩුවේ අතකොළුවක් වූ එහි ප්‍රතිඵලය වූයේ ඊළඟ 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට යන විට ඔවුන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තබා ඔවුන්ගේ ඡන්දදායකයින්ට පෙන්වීමට කෙටුම්පතක් පවා නොවීමය. මැතිවරණයේ ප්‍රතිඵල ලැබෙන විට ඔවුන්ට උතුරැ නැගෙනහිර තිබූ ඡන්ද 5,15,963 න් ඉතිරිව තිබුණේ ඡන්ද 3,27,168 ක් පමණි. මන්ත්‍රීවරු 16 ද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයාද සමග 10 ට අඩුව තිබුණි. උතුරු නැගෙනහිර ආධිපත්‍යය ඔවුන්ට අහිමිකරමින් තවත් දේශපාලන නියෝජන කිහිපයක්ම පාර්ලිමේන්තුවට පැමිණ තිබිණි. ඒ අතර, මැතිවරණ ගණනාවක යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ දේවානන්දගේ ඊ.පී.ඩී.පි.ය හැරුණු විට සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණද, පිල්ලෙයාන්ගේ නැගෙනහිර පක්ෂය වන ටී.එම්.වී.පි.ය සහ විග්නේස්වරන්ගේ අලුත් සන්ධානය වන තමිල් මක්කල් තේසීය කූටනිය දැන් දෙමළ ජනතාවගේ නියෝජනයට පැමිණ ඇත. එමෙන්ම පාර්ලිමේන්තු නියෝජනයක් නැතත්, කාලයක් දෙමළ සන්නද්ධ දේශපාලනයේ සිට එල්.ටී.ටී.ඊ. විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ ඊ.පී.ආර්.එල්.එෆ්. සහ ධර්මලිංගම්ගේ ප්ලොට් සංවිධානය වැනි පක්ෂත් උතුරේ දේශපාලනයෙහි වැදගත් සාධක වේ.
මෙය උතුරු නැගෙනහිර දේශපාලන නියෝජනය දෙමළ ජාතික සන්ධානයෙන් තවත් කිහිප දෙනෙකු අතට මාරුවීමක් පමණක් නොව, සමාජීය වශයෙන් දෙමළ සමාජය කැබලිවීමකි. එබැවින් දැන් දෙමළ සමාජයේ පොදු තීන්දු ගැනීමේ බරපතළ අපහසුවක් ඇත. එනිසා මෙවර සාකච්ඡ වන තරමට තීන්දු ක්‍රියාවට නැගෙන්නේ නැත. මේ සන්දර්භය තුළ අතරමං වෙන උතුරු නැගෙනහිර දෙමළ සමාජයට මේ ජනාධිපතිවරණයෙහි ගත යුතු තීන්දුව කුමක් දැයි තේරුම් බේරුම් කරගැනීම අවුලක් වෙනු ඇත. එබැවින් උතුරු නැගෙනහිර ඡන්ද භාවිතය මෙතෙක් තිබූ සියයට 70 - 80 දක්වා වන ප්‍රතිශතය, සියයට 60 ට පමණ පහත වැටිය හැකිය. ඒ සමග සුමන්තිරන්ගේ රනිල් විරෝධී කොළඹ දේශපාලනය සමග බොහෝ විට ස.ජ.බ.ට ඔවුන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරු නැගෙනහිරින් ලබාගත් ප්‍රතිශතයට ආසන්න සියයට 20 - 25 ක් ලබා ගැනීමට ඉඩ ඇත. කොළඹ ලක්ෂයක පමණ
දෙමළ ඡන්ද ප්‍රමාණයද ඇතැම් විට ස.ජ.බට හා රනිල්ට බෙදෙනු ඇත.
මුස්ලිම් ඡන්ද හැසිරීම ඊට වෙනස් ය. ඔවුන්ගේ මුස්ලිම් කොන්ග්‍රසයට අෂ්රෆ් සමයේ මෙන් පිළිගැනුමක් ගෞරවයක් දැන් නැත. ඔවුන්ට දැන් සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව හසුරැවා ගැනීමට තරම් දේශපාලන ආධිපත්‍යයක්ද නැත. ඔවුන්ගේ නායකත්වයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව තවත් ඈත් වූයේ කොවිඩ් - 19 වසංගතය හේතුවක් කරගත් මුස්ලිම් විරෝධය වෙනුවෙන් මියගියවුන් භූමදානය ජනාධිපති ගෝඨාභය පාලනය විසින් තහනම් කිරීම සමගය. ඔවුන්ගේ ආගමික පිළිවෙත් අනුව භූමදානය, අනිවාර්ය සංස්කෘතික අවශ්‍යතාවක් වූවත් මුස්ලිම් නායකයින් ඒ වෙනුවෙන් සෘජුව පෙනී නොසිටි බැව් රටම දන්නා කාරණයකි. එය මුස්ලිම් නායකත්වය හා මුස්ලිම් ප්‍රජාව අතර පරතරය තවත් පුළුල් කෙරැණකි.
නැගෙනහිර මුස්ලිම් සමාජයෙහි දෙමළ විරෝධයක් තිබුණත් ඔවුන්ද ස.ජ.බ.ට එකතු වෙන දෙමළ ඡන්දවලට එකතු විය හැකිය. එහෙත් නැගෙනහිරෙන් පිටත විශේෂයෙන් සිංහල දකුණේ සාම්ප්‍රදායිකව වෙළඳ හා වාණිජ කටයුතු සමග වන මුස්ලිම් ප්‍රජාව, ඔවුන්ගේ දේශපාලන නායකත්වයේ තීන්දු ගැන එතරම් සෙවිල්ලක් බැලිල්ලක් නැතිව, සිංහල-බෞද්ධයින් තරහ නොකර ගැනීමේ දේශපාලන හැසිරීමක් සමගින් දෛනික කටයුතු කර ගෙන යන්නෝ වෙති. පසුගිය හැම මැතිවරණයකම දකුණේ තරග කිරීමට මුස්ලිම් කොංග්‍රසය වෙළෙඳ ව්‍යාපාරික අනුග්‍රහය වැඩියෙන් ඇති එ.ජා.පය සමගත් පසුව ස.ජ.බ. සමගත් සන්ධානගත වූයේ එනිසා ය. මෙවරද එය එසේම වනු ඇත.
එවැනි සන්දර්භයක, පෙනෙන අයුරැ තුන් කොන් සටනක් වන මෙවර ජනාධිපතිවරණයෙහි කිසිවෙකුට පළමු වටයේ සියයට 50 ට එකක් වැඩියෙන් ඡන්ද ගැනීම පහසු නැත. එය වඩාත් අපහසු වනු ඇත්තේ මුස්ලිම් ඡන්ද එකතු කරගත්තද, උතුරැ නැගෙනහිර දෙමළ ඡන්ද මෙවර තීරණාත්මක ඡන්දයක් නොවිය හැකි හෙයිනි.
දෙවන මනාපයක් ළකුණු කිරීමේ පුරැද්දක් වුවමනාවක් මෙතෙක් නොවුනු හෙයින් මේ ජනාපධිතිවරණයේද දෙවන මනාපයක් ලකුණු කරන්නට කිසිවෙකු උනන්දු නොවනු ඇත. ඒ අර්ථයෙන් මුස්ලිම් ඡන්ද මෙන් නොව, මෙවර දෙමළ ඡන්ද ඔවුන්ගේ නායකයින්ගෙන් තීන්දු මත දකුණේ අපේක්ෂකයින්ට නොලැබෙන්නකි. එහෙත් බලය බෙදීම සමග ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් දකුණේ විවෘතව පෙනීසිටින්නට සූදානම් අපේක්ෂකයෙකුට උතුරේ ඡන්ද බහුතරයක් ලබා ගත හැකිය. ඒ ප්‍රතිශතය බොහෝ විට දකුණෙන් අහිමි වන ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි විය හැකිය. එවැන්නකට සූදානම් නොවන දකුණේ නිවට දේශපාලනයකට, දකුණේ ප්‍රශ්න සඳහාද විසඳුම් සෙවිය නොහැකි බවත් අවසන් වශයෙන් මෙහි සටහන් කළ යුත්තකි.