දේශපාලකයන්ගේ තුන් බිය


එක් දහස් නවසිය හැත්තෑවේ දී බලයට පත් වූ ශ්‍රීලනිපය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව ද රාජ්‍ය බලයෙන් උපරිම සෙල්ලම් දමා හැත්තෑ පහේ දී මැතිවරණයකට මුහුණ දීම වෙනුවට තවත් වසර දෙකකින් පාර්ලිමේන්තුවේ ධුර කාලය දිගු කර ගත්තේය. එම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ද සිටියේ එළඹීමට නියමිත මැතිවරණය ගැන පුදුමාකාර බියකිනි. ඒ ලෙසම හැත්තෑ හතේ දී පැවැත්වූ මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපය අන්ත පරාජයක් ලැබුවේය. ජන බලයෙන් පිරිහුණු ආණ්ඩු මැතිවරණවලට බිය වූයේ අද පමණක් නොවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ දිනවල තුන් බියකින් පෙලෙති. ඉන් පළමුවැන්න මිළඟ ආණ්ඩුව හදන්නේ රනිල් ද?, සජිත් ද? යන්න ඔවුන්ට තවමත් සිතාගැනීමට නොහැකි වීමය. දෙවැන්න හදිසි මහ මැතිවරණයක් පැමිණියහොත් යළිත් මැති සබයට පත්වේ ද? නැද්ද? යන බියය. තුන්වැන්න මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වේ ද යන බියය.
දේශපාලකයා සහ දේශපාලනය යනු තවදුරටත් මේ රටේ ජනතා ආකර්ෂණයට ලක්වූ ක්ෂේත්‍රයක් නොවේ. රටේ ආර්ථික පරිහානිය සහ දූෂණ වංචා හේතුවෙන් බොහෝ ජනතාවට දේශපාලනය තිත්ත වෙලාය. එනිසාම ජනතාවට ඡන්දපොළ ද තිත්ත වෙලාය. ඡන්ද නොපැවැත්විය හැකි නම් ආණ්ඩුව ද කැමතිය. දැනට පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ඡන්ද අතුරුදන් කර ඇති අන්දමට ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ද අතුරුදන් කිරීමට හැකි නම් ආණ්ඩුව තරම් සතුටු වෙන අය කිසි​ෙවකු නැත. මහ මැතිවරණය කෙසේ වෙතත් ජනාධිපතිවරණය නම් ඔක්තෝබර් මාසය තුළ ස්ථිර වශයෙන්ම පවැත්විය යුතුය. එය අතුරුදන් කර දැමිය හැකි ව්‍යවස්ථා හෝ මැතිවරණ නීතියේ හිස් තැනක් හෝ ගැන 
අසන්නට වත් නැත.
එක් දහස් නවසිය හැත්තෑවේ දී බලයට පත් වූ ශ්‍රීලනිපය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව ද රාජ්‍ය බලයෙන් උපරිම සෙල්ලම් දමා හැත්තෑ පහේ දී මැතිවරණයකට මුහුණ දීම වෙනුවට තවත් වසර දෙකකින් පාර්ලිමේන්තුවේ ධුර කාලය දිගු කර ගත්තේය. එම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ද සිටියේ එළඹීමට නියමිත මැතිවරණය ගැන පුදුමාකාර බියකිනි. ඒ ලෙසම හැත්තෑ හතේ දී පැවැත්වූ මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපය අන්ත පරාජයක් ලැබුවේය. ජන බලයෙන් පිරිහුණු ආණ්ඩු මැතිවරණවලට බිය වූයේ අද පමණක් නොවේ.


ගාලු මුවදොර අරගලය හා බැඳුණු මහජන අරගලයේ සැබෑ තේරුම වර්තමාන රජය මෙන්ම සමස්ත දේශපාලන ප්‍රජාවම හඳුනාගත් බවක් පෙනෙන්නට නැත. යම් යම් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් මැදිහත්ව සිටිය ද, අරගලයෙන් සිදුවූයේ එක්තරා දුරකට ජනතා නැගිටීමකි. එයින් ලබාදුන් පණිවිඩය වූයේ දේශපාලන පක්ෂ හා මන්ත්‍රීවරුන් කෙරෙහි ඇති ජනතා අප්‍රසාදයය. ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද මහජනතාව පහර දුන්හ. පොදු මහජනතාව​ගේ බදු මුදලින් යැපෙන දේශපාලන සනුහරය   රටට   වැඩක් නොකරන්නේය යන පොදු හඬ ගාලු මුවදොර අරගලයෙන් මතුවුවද, රජය පාලකයන්ගේ මුහුණු මාරු කළා මිස ජනතා හඬේ අරුත වටහා ගත්තේ නැත. අඩුම වශයෙන් නීති හා සරසවි අංශවල විද්වතුන්ගෙන් යුතු කොමිෂන් සභාවක් පත්කර ජනතා විරෝධයේ සැබෑ අරුත තේරුම් ගන්නට උත්සාහ කළා නම් මැතිවරණවලට බියේ සැඟවෙන්නට සිදුවෙන්නේ නැත. තමන්ට දිනන්නට බැරි කලට මැතිවරණ සඟවා, දිනන්නට පුළුවන් වූ කලට මැතිවරණ පැවැත්වීම 
ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. 
රට පාලනය කරන්නන්ට සිටින්නේ තමන් පමණක් බව සිතන්නේ මෝඩයෝය. එසේ සිතූ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය කැඳවාගෙන ගියේ දේශපාලන කටුගෙය වෙතය. එය යළිත් කවදාවත් කටුගෙයින් එළියට එන්නේ නැත. ගාලුමුවදොර අරගලය සඳහා මිනිසුන් පෙළ ගැසෙන්නට හේතුව තේරුම් ගෙන එම හේතුව නැති කරන ක්‍රමයකට පියවර ගන්නට ගෙවී ගිය කාලයේ හොඳටම අවස්ථාව තිබිණ. එහෙත් පොදු ජන පෙරමුණු රජය එවැනි පියවරක් ගත්තේ නැත. ඒ වෙනුවට ටික කලක් හිස සඟවාගෙන සිට යළිත් පුරුදු රූකඩ ටික නැටවීමේ ප්‍රතිඵලය වී ඇත්තේ මැතිවරණවලින් පලා යාමය.


මේ වසරේ නොවැම්බර් 17 වැනිදා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුර කාලය අවසන් වෙයි. ඔහු ජනාධිපති වූයේ ඡන්දයෙන් පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහජන කැරැල්ලකට බියවී රටෙන් පලා ගිය පසු ඇති වූ හිස් තැන පිරවීමෙනි. අන් කෙනෙකුගේ හිස් වූ තනතුරකට පත් වූ නිසා ජනවරම ලැබී තිබූ දිනය දක්වාම ඔහුට තනතුරේ සිටිය හැකි අතර, එම දිනයෙන් පසු කොට්ට පැදුරු අකුළාගෙන 
ආපසු යා යුතුය.
වත්මන් ජනාධිපතිවරයා බාරගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් රජයේ මුල් පුටුවය. ජනතා විරෝධය නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් ආණ්ඩුවේ පසුපෙළට ගිය අතර, තනතුරු කිසිත් නොලැබූ පසු පෙළ සිටි මන්ත්‍රීවරුන් ඉදිරියට ගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අලුත් ආණ්ඩුවක් බව පෙන්වමින් පරණ ආණ්ඩුවේ කටයුතු ටිකම ඉදිරියට කරගෙන ගියේය. ඔහුගේ ආණ්ඩුව ආරක්ෂා කළේ මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසිනි.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය වූයේ 2001දී ඔහු විසින් රට හමුවේ තැබූ ‘‘යළි පුබුදමු ශ්‍රී ලංකා’’ වැඩපිළිවෙළමය. ඒ යටතේ වැඩි නැඹුරුවක් තිබුණේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමය. එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග වෙනත් පක්ෂයක සාමාජිකාවක වූයෙන් රනිල් හා චන්ද්‍රිකාගේ මත ගැටුම් හා හැප්පිලි නිසා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. 
ගෝඨාභයගේ අනුප්‍රාප්තිකයා ලෙස ජනාධිපති පුටුවට නැග ගත් පසු රනිල්, 2001දී බැරි වූ දේ මෙදා මහින්දගේ මන්ත්‍රීවරුන් ලවාම කරවා ගත්තේය.. රනිල් ගෙන යන පෞද්ගලීකරණ වැඩපිළිවෙළට අත උස්සා අනුමත කළ සියලු මැති ඇමැතිවරුන් පොහොට්ටුවේය. මත්තල ගුවන්තොටුපොළ ඉන්දීය – රුසියා හවුල් ව්‍යාපාරයක් සඳහා ඊයේ පෙරේදා අනුමැතිය ලබා දුන්නේ පොහොට්ටුවේ වත්මන් ඇමැති මණ්ඩලය මිස වෙනත් රජයක් නොවේ. කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉන්දියාවේ අදානිට ලබා දුන්නේ ද වත්මන් රජය විසිනි. මේ සියල්ලම ආණ්ඩුවක් කරගෙන යද්දී කළ යුතු දේ බව පෙනුණත් විපක්ෂය මේ කටයුතු හඳුන්වන්නේ රාජ්‍ය දේපොල විකුණාගෙන කෑමක් හැටියටය. එනිසාම රාජ්‍ය සම්පත් නොරටුන්ට දීමේ වැඩපිළිවෙළ මැතිවරණ සමයක දී දැඩි දෝෂ දර්ශනයට ලක්වෙයි. එමගින් ජනතාවගේ ජාතික හැඟීම් ඇවිස්සෙයි. මෙය පවත්නා රජයට දැඩි ලෙස හානිකරය.
මැතිවරණ බිය
හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් තරම් මන්ත්‍රීවරුන් අකමැති වෙනත් කිසිම මැතිවරණයක් නැත. හැත්තෑ හතේ දී හඳුන්වා දුන්, දිස්ත්‍රික්කයම මැතිවරණ කොට්ඨාසයක් ලෙස සලකන ක්‍රමය යටතේ මන්ත්‍රී අපේක්ෂකයන්ට දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණයක නිරත වීමට සිදුවෙන්නේ ඡන්දදායකයන්​ අතිවිශාල පිරිසකට ආමන්ත්‍රණය කිරීමට සිදුවෙන නිසාය. මේ නිසා ලැයිස්තුවේ මුල් තැනට පැමිණීමට අපේක්ෂා කරන මන්ත්‍රී අපේක්ෂකයන්ට දිස්ත්‍රික්කය පුරාම පෝස්ටර් ඇලවීමට සිදුවෙයි. මෙය අතිවිශාල වියදමක් දැරීමට සිදුවෙන කටයුත්තකි. 2015 මහා මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ එක් අපේක්ෂකයකුගේ ප්‍රචාරක වියදම රුපියල් කෝටි හයක් ලෙස වාර්තා විය. දිස්ත්‍රික්කයේ පළමුවැන්නා වූ විට ඇමැතිකමකට ළං විය හැකි නිසා මන්ත්‍රී අපේක්ෂකයෝ කෝටි ගණන් වියදම් කර ලැයිස්තුවේ පළමුවැනියා වෙන්නට උත්සාහ දරති. එහෙත් මෙය ලේසි පහසු කටයුත්තක් නොවෙන හෙයින් වැඩියෙන් වියදම් කිරීම් සඳහා අනුන්ට අත පෑමට සිදුවේ. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සිට කළු සල්ලි උපයන්නන් දක්වා ධනවත් පංතියට අතපෑමට මන්ත්‍රී අපේක්ෂකයාට සිදුවේ. ඔවුන්ගේ උදව් ලැබ පාර්ලිමේන්තුවට ගියදා පටන් සිදුවෙන්නේ උදව්කාරයන්ට කළගුණ සැලකීමටය. එහිදී ඉතා අවංකව පිරිසිදුව කතිරය ගසා උදව් කළ ඡන්දදායකයන් පැත්තකට වීසිකර තමන්ට මුදලින් උදව් කළ ව්‍යාපාරිකයන්, කළු සල්ලි සුදු කරන්නන්ට කළගුණ සැලකීමට මන්ත්‍රීවරයාට  තමන් ධුරය දරන වසර පහ ද මදිය.
කෝටි පනහක් වියදම් කර පාර්ලිමේන්තු ආසනයක් දිනා ගන්නා මන්ත්‍රීවරයාට වසර පහක පාර්ලිමේන්තු කාලය තුළදී එම වැය කළ මුදල කවර ලෙසකින්වත් සොයා ගත නොහැකිය. ඔහුට එතරම් වැටුපක් හිමිවෙන්නේ නැත. පළමුව මන්ත්‍රී තනතුරකටත්, අනතුරුව ඇමැති තනතුරකටත් රිංගා ගැනීමෙන් පසු ඔහුගේ උත්සාහය වෙන්නේ තමාට උදව් කළ ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණු උදව්වට ප්‍රතිඋපකාර කිරීම සඳහා ක්‍රමයක් පාදා ගැනීමය. සමහරු පිට වාසිවලින් එම ප්‍රතිඋපකාරය සිදු කරති. සමහරු ටෙන්ඩර්, කොන්ත්‍රාත් ආදිය තම හිතවතාට ලබා දෙති. නවක මන්ත්‍රීවරුන්ට මුදල් සොයන එක් මාර්ගයක් වෙන්නේ තීරු බදු රහිත වාහන බලපත්‍රයය. බලපත්‍රය ඉකුත් කාලයේ විකිණුනේ රුපියල් කෝටි පහකටය.
යළිත් මැතිවරණයකට මුහුණදීමේ දී තමාට නැවතත් පාර්ලිමේන්තුවට වරම හිමිවේ ද යන බිය සහ සැකය බොහෝ මන්ත්‍රීවරුන් තුළ තිබේ. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේ වෙන විට රටවැසියන් තුළ දේශපාලකයන් කෙරෙහි ඇති අකමැත්තයි. රට ආර්ථික වශයෙන් බංකොලොත් වූයේත් මෙතරම් අගාධයකට ඇදවැටුණේත් දේශපාලකයන් නිසාය යන්න එයට හේතුවය. නිදහසෙන් පසු ගෙවී ගිය හැත්තෑ හය වසර තුළ දේශපාලකයන් රට විනාශ කළ බව රටවැසියන් තුළ ගැඹුරින් සමාජගත වී තිබේ. මේ නිසා දේශපාලකයන් සහභාගි වෙන මහජන රැස්වීම්වල දී ජන සහභාගිත්වය ඉතා අඩුය.
මීළඟ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට පත්වීමේ හැකියාව වඩාත්ම අඩුවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටය. මන්ත්‍රී අපේක්ෂකයන්ට ජනතාවගේ මනාපය ලැබෙන්නේ ඔහු පොදු ජන යහපත සඳහා කර ඇති උදව් උපකාර මතය. වත්මන් රජය බලයට පත්වූ පසු කිසිදු සංවර්ධන ක්‍රියාවලියක් සිදුනොවූ අතර, ජනතාව අතට මුදල් ගලා ඒම සීමා විය. ගම්බද ජනතාව අතට මුදල් ගලා ආ සංවර්ධන කටයුතු වූ මාර්ග ඉදිකිරීම් ආදිය නතර වූයේ කොරෝනා උවදුර සහ ඉන්පසු ඇති වූ ආර්ථික බංකොලොත්භාවය නිසාය. අධිවේගී මාර්ග ඉදිකිරීමේදී පස්, කළුගල්, ටිපර් ඇතුළු බර වාහන, බත් පාර්සල් ආදිය සැපයීම මගින් ගම්බද ජනතාව අතටත් යම් මුදලක් ගලා ආවේය. අධිවේගී මාර්ගයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොලබතත් ජනතාව ප්‍රතිලාභයක් ලැබුවේ යටිතල පහසුකම් සඳහා දායකවීමෙනි. ගම්බද ණය පදනම හැඩ ගැසුණේ ද මේ මගිනි. 
මේ ව්‍යාපෘති නතරවීම මගින් පහර වැදුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ටය. අද වෙන විට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සිටින්නේ ඡන්දය ඉල්ලා ජනතාව අතරට යා හැකි මාර්ගයක් නැතිවය. 2020 අගෝස්තු 5 වැනිදා පැවැති මැතිවරණයෙන් පසු ඔවුන් යළිත් ජනතාව ඉදිරියට යා යුතු වෙන්නේ 2025 අගෝස්තුවේය. සිව් වසරක් ගතවීමටත් පෙරම පාර්ලිමේන්තු ඡන්දයකට යළිත් යා යුතු වුවහොත් එයින් වඩාත්ම පහර වදින්නේ මේ පිරිසටය. ඔවුන්ගේ බිය ඒ නිසාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලකිය යුතු පිරිසක් මේ වෙනවිට වෙනත් පක්ෂ සොයා ගොස් ඇත්තේ ද ආණ්ඩු පක්ෂයට තිබූ ජනප්‍රියතාව නැත්තටම නැති වී ගොස් තිබෙන නිසාය. එහෙත් මෙසේ විපක්ෂයට එක් වූ පළියටම ලබන මැතිවරණයේදී ජනතාව තෝරා ගන්නා මන්ත්‍රීවරුන් අතරට ඔවුන්ට ඇතුළත්වීමට හැකි වේ දැයි දැන්ම
කිව නොහැකිය.


​දේශපාලකයන් යනු නිරතුරුවම දිනන පැත්තට පනින පිරිසක් වුවත් මේ වෙන විට ඉදිරි මැතිවරණය දිනන්නේ කවුදැයි පැහැදිලිවම නොපෙනෙන නිසා පක්ෂ මාරු තවමත් ඇරඹී නැත. අද හෙට සිදුවෙන බවක් ද නොපෙනේ. එනිසාම බොහෝ මන්ත්‍රීවරුන් සිටින්නේ තමන්ගේ අනාගතය ගැන බියට පත්වය. බොහෝ මන්ත්‍රීවරුන් සිටින්නේ ජනපති රනිල්ගේ පාර්ශ්වය තෝරා ගන්නවා ද? නැතිනම් විපක්ෂනායක සජිත්ගේ පාර්ශ්වය තෝරා ගන්නවා දැයි තීරණය කරගත නොහැකිවය.
විසුරුවා හැරියොත් 
නවක 80කට 
විශ්‍රාම වැටුප අහිමියි.
මන්ත්‍රීවර ෙයකු විශ්‍රාම වැටුප් හිමිකම් ලබා ගැනීමට නම් වසර පහක පාර්ලිමේන්තු සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුය. මෙය අඛණ්ඩව අවශ්‍ය නැත. කෙටි කාලීන මන්ත්‍රී ධුර කාල කිහිපයක් එකතු කර හෝ වසර පහ පිරීම විශ්‍රාම වැටුප් හිමිකම ලැබීමේ සුදුසුකමය. වසර පහක කාලය සම්පූර්ණ කර නැති මන්ත්‍රීවරුන් අසූ දෙනෙක් වත්මන් පාර්ලිමේන්තුවේ සිටිති. හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මේ අසූ දෙනාට විශ්‍රාම වැටුප් 
හිමිකම නොලැබේ.
වසර පහක සේවා කාලයක් පිරී ඇති විශ්‍රාමික මන්ත්‍රීවරයෙකුට වැටුපෙන් තුනෙන් එකක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලැබේ. මේ වෙන විට මන්ත්‍රීවරයකුගේ මූලික වැටුප රුපියල් 54,285ක් වෙන අතර එවිට විශ්‍රාම වැටුප වෙන්නේ රුපියල් 18,091කි.
රටේ ව්‍යාකූල දේශපාලන තත්ත්වයේ වැඩිම අවාසිය ඇත්තේ ආණ්ඩු පක්ෂයටය. සජබයේ මන්ත්‍රීවරුන් ගණනාවකටත් එම අවාසිය යම් තරමකට තිබේ. මේ දෙපිරිසම වරින් වර පක්ෂ මාරු කර ජනතා අප්‍රසාදයට ලක් වූවන්ය. ජනාධිපතිවරණයක දී ජනාධිපතිවරයාට ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇති ව්‍යාකූලත්වය සේම මෙකී මන්ත්‍රීවරුන්ටත් ඉදිරි මහා මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමේ අභියෝගය තිබේ. එනිසා මැතිවරණ නොපැවැත්වෙනවා නම් මේ දෙපිරිසම කැමතිය. ඔවුන් සෑම දෙනාම බලා ඉන්නේ ‘‘ලොක්කා’’ මොනවා හෝ කරයි කියන බලාපොරොත්තුවෙනි. ගෝඨාභය රටින් පලාගොස් රනිල් යළිත් ආණ්ඩුව ඒකරාශි කර ස්ථාවර කරගත් පසු එතෙක් බියෙන් සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිනාසෙන්නට පටන් ගත්තේ ‘‘ලොක්කා’’ ඔවුන්ට කී යම් දෙයක් නිසාය. ‘‘කවුරු මොනවා කීවත් ඊළඟට එන්නෙත් අපි’’ ඒ මන්ත්‍රීවරුන් සිනාසෙමින් කීවේ එවැනි කතාවකි. එයින් නිගමනය කළ හැක්කේ මැතිවරණ සිතියමේ කුමක් හෝ අවුල් කිරීමක් ගැන මන්ත්‍රීවරුන්ගේ සිතේ විශ්වාසයක් ඇති බවය. එළිපිට කුමන මැතිවරණය ගැන දේශපාලකයන් කතා කළත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් බලා සිටින්නේ ඉහළ මැදිහත්වීමකින් මැතිවරණ සිතියම අවුල් වෙනතුරු බව නම් අපට නිසැකය.
මැතිවරණ ප්‍රචාරක 
වියදමට සීමාවක්
රටේ දේශපාලනයේ එවැනි ව්‍යාකූල තත්ත්වයක් පැවතියත් සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් ඉකුත්දා සම්මත කළ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ අනාගත මැතිවරණවලදී ‘‘ප්‍රචාරක’’ යුද්ධයේ යම් අඩුවීමක් පෙන්නුම් කරනු ඇත. එය ධනකුවේරයන් නොවන මන්ත්‍රීවරුන්ට සහනයක්ද සලසයි.
නව පනතට අනුව, මැතිවරණ සමයේදී මන්ත්‍රී අපේක්ෂකයන්ගේ වියදම් දැඩි සීමා කිරීමකට සහ නියාමනයකට හසුවෙයි. ඇතැම් මන්ත්‍රී අපේක්ෂකයන් දිස්ත්‍රික්කය පුරාම පෝස්ටර් වපුරමින්  මැතිවරණ කාර්යාල විවෘත කරමින් ජනමාධ්‍යයේ දැන්වීම් පළකරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා කෝටි ගණනක් වියදම් කරති. අලුත් පනත අනුව මැතිවරණ කොමිසම නිර්දේශ කරන මුදලට වඩා වැඩියෙන් වියදම් කර තිබුණොත් එම අපේක්ෂකයා හෝ මන්ත්‍රීවරයාට නඩු පැවරීමට මැතිවරණ කොමිසමට බලය තිබේ. මැතිවරණයට පෙර මැතිවරණ කොමිසමේ පැවැත්වෙන සාකච්ඡාවකදී ඒ ඒ දිස්ත්‍රික්කයේ ඡන්දදායක සංඛ්‍යාව අනුව එක් ඡන්දදා​ෙයකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල නියම කරයි. හම්බන්තොට වැනි ඡන්දදායකයන් අඩු දිස්ත්‍රික්කයක දී එක් ඡන්දදායක​ෙයකුට රුපියල් තිහක් පමණ ද, කොළඹදී එක් ඡන්දදායකයකුට රුපියල් සීයක් පමණ ද වෙතැයි සැලකේ. ඒ අනුව හම්බන්තොටදී එක් අපේක්ෂකයකුට රුපියල් ලක්ෂ හැටක් පමණ ද, කොළඹදී කෝටි එකහමාරක් පමණ ද තම ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් වියදම් කළ හැකිය. මැතිවරණය අවසන් වී මාසයක් තුළ තමා කළ සියලු වියදම් බිල්පත් සමග මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතුය. පුවත්පත් දැන්වීම්, රූපවාහිනී දැන්වීම්, පෝස්ටර් වියදම් ඇතුළු සියලු වියදම් මෙම මුදලට අයත්ය. නෑ හිතමිතුරන් හෝ ව්‍යාපාරිකයන් පෝස්ටර් මුද්‍රණය කර හෝ දැන්වීම් පළ කළේ නම් එම මුදල ද අපේක්ෂකයා වෙනුවෙන් වෙන් කර ඇති මුදලට අයත්වේ.


මේ නිසා පෝස්ටර් යුද්ධයත් කෝටි ගණනින් වියදම් කිරීමත් යම් සීමාවකට ලක්විය හැකි බව නිරීක්ෂණය කළ හැකිය.
මෙහි සාධනීය තත්ත්වය වෙන්නේ නඩු දැමීම සිදුකරන්නේ මැතිවරණ කොමිසම විසින් වීමය. අපේක්ෂකයා වැරදිකරු වුවහොත් ඔහුගේ මන්ත්‍රීධුරය අභියෝගයට ලක්වේ. මේ නිසා පරජය වූ අපේක්ෂකයන් පවා තම පක්ෂයේම වැඩියෙන් වැය කළ අපේක්ෂකයන් ගැන හෙළිදරව් කිරීමට ඉඩ තිබේ. අලුත් නීතියක් වුවත් මන්ත්‍රී අපේක්ෂකයන් එම නීතියෙන් රිංගා යෑමට උත්සාහ කළ හැකි වුවත් ඉදිරි මැතිවරණයේ දී මෙම නීතියෙන් යම් සාධනීය ප්‍රතිඵල ලබාගත හැකි යැයි සැලකිය හැකිය.
ප්‍රේමකීර්ති රණතුංග.