නීතියේ ළය සිදුරු කළ අලුත් කඩේ පාතාල වෙඩිල්ල


‘‘තාත්තා මරපු 
පළිය මං ගන්නවා’’ 
කෙහෙල් බද්දර 
පද්මේ සංජීවට පණිවිඩ 
පිට පණිවිඩ

ශ්‍රී ලංකාවේ පාතාලය තිබෙන්නේ පොළොව යට නොව පොළොව උඩය. එහි කිසිදු රහස්‍යභාවයක් නොමැත. එය කෙතරම් රටට විවෘතැයි ද යත් මරා දමා ඇත්තේ කවුදැයි හඳුනාගත්තේ නම් මිනිමරුවා කවුදැයි ක්ෂණයකින් කිව හැකිය. මරා දැමුණේ ගණේමුල්ලේ සංජීව නිසාම ඔහුගේ  ඝාතකයා කවුදැයි හඳුනාගැනීම අසිරු නැත. ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා මරා දැමූ බවට සැකපිට අත්අඩංගුවට පත්වූයේ මහරගම පදිංචි සමිදු දිල්ශාන් පියුමංග කඳනාරච්චි වුවද ඔහු ඉටු කළේ කෙහෙල්බද්දර පද්මෙගේ කොන්ත්‍රාත්තුවක් බවක් පැහැදිලිය.
1978 වසරේදී උපන්  සංජීව කුමාර සමරරත්න ගණේමුල්ල පාසලකින් අපොස  උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේය. ගැටවර වයසට පා තබනවාත් සමගම ඔහුට උවමනා වූයේ වීසි කරන්නට තරමට මුදල්ය. ඒ සඳහා සදා නිම කළ මාවත් නැත. ඉක්මනින් මුදල් ඉපැයීමට නම් මංකොල්ල කෑ යුතුය. ගණේමුල්ලේ සංජීවගේ පළමු මංකොල්ලය රුපියල් 300කි!


කීර විකුණන මහලු අම්මා කෙනෙකුගේ මුදල් පසුම්බිය සංජීව කොල්ලකෑවේ එහි යම් ප්‍රමාණයක හෝ මුදලක් ඇතැයි විශ්වාසයෙනි. රුපියල් 300 අතට ගත් සංජීවට දැනුණේ මහත් ලජ්ජාවකි.
‘‘පොඩි පොඩි ගේම්වලින් ‘‘පොරක්’’ විය නොහැකි යැයි සිතු සංජීවගේ ඊළඟ පියවර වූයේ බිස්කට් වෑන් රථයක් කොල්ලකෑමය. එහි තිබූ මුදල් රුපියල් හැත්තෑ දහසකට අධිකය. ඔහු සතුටෙන් ඉපිලුණේය. එහෙත් ඒ සතුට වැඩි දවසක් නොරැඳුණේය. ඔහු අත්අඩංගුවට පත්විය. මාස ගණනාවක් මහඋළුගෙදර කල්දේරම් බතෙහි රස බැලූ ඔහු ඇප ලබා එළියට එන්නේ ‘මාකිලංගමුවේ සංජීව’ ලෙස පාතාලයේ ඉඩක් වෙන්කර ගනිමිනි!
මෙතැන් සිට  ඔහු කෙරුමෙකු මෙන් හිස ඔසොවන්නට පටන් ගත්තේය. ඔහු වටා ගැන්සියක්ද නිර්මාණය  විය. මාකිලංගමුවේ වාසය අනාරක්ෂිත  වූ විට සංජීව ගණේමුල්ලට ආවේය. ‘මාකිලංගමුවේ සංජීව’  ‘ගණේමුල්ලේ සංජීව’ බවට පත්වූයේ එසේ ය.
 ‘පස් පොඩ්ඩා’ එකල බලවත් චරිතයකි. ඔහු මහා පරිමාණයෙන් පස් ජාවාරමේ යෙදුණෙකි. ගම්පහ, මිනුවන්ගොඩ, හිනටියන ආදි ප්‍රදේශවල පස් ජාවාරමේ අධිපතිකම පස් පොඩ්ඩා දැරූ අතර ගණේමුල්ලේ සංජීව ඔහුගේ අගසව් බවට පත්විය. මෙරට සිදුවූ විශාලතම බැංකු කොල්ලයට එක්වන ගණේමුල්ලේ සංජීව එහිදී කොල්ල කෑ මුදල ලෙස පොලිස් පොත්වල සඳහන් වූයේ රුපියල් කෝටි 6කට ආසන්න මුදලකි. මේ හරහා පාතාලය තුළ තමන්ගේම වූ මුද්‍රාවක් තබා ගැනීමට ඔහු සමත් විය.
ගණේමුල්ලේ සංජීව වටා ඔහු වැනිම ත්‍රාඩ තරුණයෝ පිරිසක් එක්ව සිටියහ. පස් පොඩ්ඩාගේ ජාවාරමට සහාය දීමට සංජීව යොදාගත්තේ මෙම තරුණයන්ය. ඔවුහු සංජීවගේ මග පෙන්වීම යටතේ කොල්ලකෑම් කළහ. කප්පම් ගත්හ. මිනීමැරූහ.
 සංජීවගේ ප්‍රතිවාදියන් වූයේ කෙහෙල්බද්දර පද්මේගේ පියා සහ හීනටියන මහේෂ්ය. ඔවුන්ද පස් ජාවාරමට සම්බන්ධව සිටි බව පොලිසිය කියයි. එහෙත් වැඩි දිනක් යාමට  මත්තෙන් ඔවුන්ට සිදුවූයේ අනුඅංකයක් නැති ගිනි අවියකින් නික්මුණු වෙඩි උණ්ඩවලට යටත්වීමටය.
ගණේමුල්ලේ සංජීව පාතාලයේ ලොකු වැඩ කාරයකු බවට පත්වන්නේ මෙම ඝාතන හරහාය. රටේ කොතැනින් කොන්ත්‍රාත්තුවක් ලැබුණ ද එය භාරගෙන ක්‍රියාත්මක කිරීමට සංජීව සහ ඔහුගේ පිරිවර පසුබට නොවූහ.
කුලියට මිනීමැරීම ප්‍රධාන ආදායම් මාර්ගය බවට  පත් කරගත් ගණේමුල්ලේ සංජීව ඊළඟට යොමු වූයේ මත්ද්‍රව්‍ය ජාවාරමටය. සිරගතව සිටියදී හඳුනාගත් මාකඳුරේ මධුෂ් හරහා මත්ද්‍රව්‍ය ජාවාරමට අත්පොත් තැබීම සංජීව සිදු කළේය. එමගින් යහමින් මුදල් ඉපැයීමට සංජීව සමත් විය.
ගණේමුල්ලේ සංජීවගේ විශේෂත්වය වන්නේ ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ද සම්බන්ධතා පැවැත්වීමය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු අවි ආයුධ පාතාලයට ලබාගැනීමට පමණක් නොව එල්.ටී.ටී.ඊ සාමාජිකයන් තමන්ගේ කණ්ඩායමේ සගයන් බවට පත්තකර ගැනීමටද ඔහු සමත්විය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට රැඳී සිටීමට වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ ආරක්ෂිත නිවාසයක්ද ඔහුට තිබිණි.
ගණේමුල්ලේ  සංජීවගේ කණ්ඩායමේ දක්ෂතම වෙඩික්කරුවන් බවට පත්වූයේ එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන්ය. ආරක්ෂක අංශ පවසන ආකාරයට එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවි 30කට වැඩි ප්‍රමාණයක් සංජීවගේ ආයුධ ගබඩාවේ තිබී ඇත.
පට්ටිය හන්දිය  ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සංජීව අධිකරණයට ඉදිරිපත්  කිරීමෙන් පසුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරිණි. එම්.ඒ. සජිත් රංග නමැති පුද්ගලයා නිදි යහනේදීම වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වූයේ සංජීවටය. කැලණිය ප්‍රදේශයේ දී පුද්ගලයකුට  වෙඩි තබා  ඝාතනය කිරීමට උත්සාහ කිරීම සහ කොළඹ දී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට  උත්සාහ කිරීම යන චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතවීමට ද සංජීවට සිදුවිය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන දෙමටගොඩ චමින්ද බන්ධනාගාර බස් රථයකින් රැගෙන යාමේදී මග හරස් කර බස්රථය නවතා දෙමටගොඩ චමින්දට වෙඩි තබා ඝාතනය කිරීම  මෙන්ම ප්‍රබල පාතාල නායකයකු වන සමයංට කඩුවෙල උසාවි  බිමේදීම වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වූයේ ගණේමුල්ලේ සංජීවටය. ඔහු කෙතරම් කුරිරු ඝාතකයෙක් ද යන්න පැහැදිලි වන්නේ ඔහුගේ නම ඉදිරියෙන්  ඝාතන 34ක් සටහන්වීම තුළය.
පාතාලයට එරෙහිව මර්දනය දියත්වන විට සංජීවගේ ගෝලයෝ ඩුබායි රටට පැන ගත්හ. එසේ ඩුබායි රටට පැනගත් එම  ගෝලයෝ සංජීවගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූහ. එම මුදල් සංජීවගේ අතට ලැබුණේය.
පස් ජාවාරම අතට ගැනීම සඳහා සංජීව කෙහෙල්බද්දර පද්මේගේ පියා මරා දැම්මේය. එයින් සිදුවූයේ බරපතළ වෛරකාරයකු සංජීවට හිමිවීමය.
‘‘තාත්තා මරපු පළිය මං ගන්නවා’’ කෙහෙල් බද්දර පද්මේ සංජීවට පණිවිඩ පිට පණිවිඩ එව්වේය.
2021 වසරේ වැඩි කාලයක් සංජීව සිටියේ බන්ධනාගාරගතවය. එම වසරේ සැප්තැම්බර්  9 වැනිදා ගම්පහ මහාධිකරණයෙන් ඔහුට ඇප ලැබිණි. කෙහෙල්බද්දර පද්මෙගෙ තර්ජන නිසා ආරක්ෂාව පතා සංජීව රට පැනීමට තීරණය කළේය. එහිදී ඔහුට උපකාර කළේ ඔහුගේ සමීපතම මිතුරෙකි. එම මිතුරා ඔහුට නවීන ජංගම දුරකතනයක් හා සිම්පතක් ලබාදී කුලී  රියකින් මන්නාරමට පිටත් කර හැරියේය. එම මිතුරා බැලීමට ඉන්දියාවේ වෙසෙන සෙල්වරාජා නමැත්තෙකු සම්බන්ධ කර දුන්නේය. සෙල්වරාජාගේ උපදෙස් පරිදි ධීවරයන් මෙන් සැරසී මන්නාරමෙන් බෝට්ටුවකට නැඟ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. 
ඉන්දියා මුහුදු සීමාව දක්වා බෝට්ටුවෙන් ගිය පසු රුවල් නැවකට ගොඩ වී ඉන්දියාවට පැනගත් පසු ගංජා රැගෙන යාමට සෙල්වරාජා  පැමිණ තිබේ. මේ සඳහා සංජීව වියදම් කළ මුදල රුපියල් ලක්ෂ 20ක් පමණ බව ඔහු පොලිසියට පවසා ඇත.
සෙල්වරාජාගේ නිවසේ 2022 වසරේ දෙසැම්බර් මාසය දක්වා රැඳී සිටි සංජීව  තවත් රුපියල් ලක්ෂ 29ක් පමණ වියදම් කර සේනාධීරගේ කරුණාරත්න නමින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමට සමත්විය. මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය උපයෝගි කරගෙන රටවල් කිහිපයකට යාමට සංජීව සමත්විය. ඔහු අවසන් වරට ගිය රට නේපාලය ය. 


ප්‍රසන්න සංජීව තෙන්නකෝන් 

08 වැනි පිටුවෙන්....
2023 වසරේ සැප්තැම්බර් 13 වැනිදා නේපාලයේ කත්මණ්ඩු නුවර සිට මෙරටට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු මෙරටට පැමිණියේය. එතෙක් නිරුපද්‍රිතව පැමිණි  සංජීවගේ ගමන නතර වූයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදීය. එහිදී ආගමන විගමන නිලධාරීන්ගේ සුපරීක්ෂාව නිසා  ව්‍යාජ නමකින් යුත් ගුවන් බලපත්‍රයකින් පැමිණ තිබෙන්නේ රටේ නම ගිය මෙන්ම ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර  ඇති දරුණු ගණයේ පාතාල නායකයකු බව හඳුනා ගැනුණි. ගණේමුල්ලේ සංජීව නමැති පාතාල  නායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර ගැනුණේ ඉන් අනතුරුවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටි සංජීව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට  බාරදෙනු ලැබුවේ ඔහු සතු අවි ආයුධ සොයා ගැනීමටය. එම කටයුතු වඩාත්  පහසු කිරීම සඳහා වීරඟුල පොලීසියේ විශේෂ සිර මැදිරියක ඔහු රඳවනු ලැබීය. ඒ අනෙකුත් පාතාල  කල්ලිවලින් ඔහුට ඇති තර්ජන නිසාය. එම විශේෂ සිර කුටියේ ඔහු රැඳී සිටි  කාලය  වසරකට ආසන්න විය. වසරකට පමණ පසුව අධිකරණයට ඉදිරිපත් කළ සංජීව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 දරුණු ගණයේ අපරාධකරුවකු වන හෙයින් ගනේමුල්ලේ සංජීව රඳවා තබනු ලැබුවේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේය.
 සංජීව අත්අඩංගුවට පත්වීමත් සමගම …ඩුබායි හි සිටි ඔහුගේ ගෝල බාලයෝ යන එන මං නැති තැනට පත්වූහ. ඒ ඔවුන්ගේ ආදායම් මාර්ගය ගණේමුල්ලේ සංජීව වූ බැවිනි. ගොත අසංක හෙවත් ආමි අසංක, හීනටියන සංඛ, බොරැල්ලේ චුට්ටං, හේමන්ත හෙවත් පැට්ටා , මංජු දිප්පිටිගොඩ ළහිරු, බූස්සේ ජබ්බා, කරන්දෙණියේ සුද්දා ජගත්, …භවන්ත ,  මීගමුවේ සලින්ද, රොෂාන් වැලිගේ, සුරාජ් වසන්ත. ශක්ති මල්ලි රාජු යන ලොකු ළහිරු සහ ගෝලබාලයෝ මේ අතර සිටියහ.  
ගණේමුල්ලේ සංජීවගේ හොඳම ගෝලයකු වූයේ  සලින්ත මධුෂාන්ය. ඔහු හිටපු කොමන්ඩෝ භටයෙකි. එහෙයින් ඔහු කොමාන්ඩෝ සලිත්ත නමින්ද හැඳින්වේ. ගනේමුල්ලේ සංජීව නැති අඩුව පුරවමින් ඔහු කල්ලියට නායකත්වය දීමට උත්සාහ ගත්තද එය සාර්ථක නොවීය. එම කල්ලිය කල්ලි පහකට කැඩී බිඳී ගියේය.
තමන් මෙසේ  අසරණ කිරීම සම්බන්ධයෙන් සංජීව සමග වෛර බැඳගත් කොමාන්ඩෝ සලින්ත පිටබැද්දර පද්මේ සමග එක්විය. පිටබැද්දර පද්මේ තම පියා මැරූ පළිය ගන්නට අවස්ථාවක් සොයමින් සිටි අතර කොමාන්ඩෝ සලින්ත තමන් සමග එක්වීම විශාල ජයග්‍රහණයක් ලෙස ඔහු සිතුවේය. ඒ  සඳහා ද සැලසුම් ඔවුන් දෙදෙනා දිවා රෑ නොතකා සංවිධානය කළහ.
රක්ෂිත බන්ධනාගාරගතව සිටි ගණේමුල්ලේ සංජීව පසුගිය 5 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ පසු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මීය පෙබරවාරි 19 දක්වා  රිමාන්ඩ් බන්ධනාගාර ගත  කරන ලෙස නියෝග කළාය.
19 වැනිදා දිනය උදාවිය. බූස්සේ අධිආරක්ෂිත බන්ධනාගාර බස් රියෙහි බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ මැද ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ උසාවිය බලා එමින් සිටියේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළු රැගත් ජීප් රිය ආරක්ෂාව සපයමින් ඉදිරියෙන් ධාවනය විය. පෙරවරු 9ට පමණ ඔවුහු අලුත්කඩේ උසාවියට පැමිණියහ.
ගණේමුල්ලේ සංජීව මුලින්ම රැගෙන ගියේ අධිකරණ සංකීර්ණයේ තුන්වැනි මහලේ අංක  9 අධිකරණ ශාලාව තුළටය. එම අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා නඩු කටයුත්තක් සඳහා අධිකරණයෙන් බැහැරව සිටි හෙයින් අධිකරණයේ නඩු කටයුතු ප්‍රමාද වෙමින් තිබිණි. එහෙයින් විභාගයට ගැනීමට තිබූ තවත් නඩුවකට බන්ධනාගාර නිලධාරීහු ගණේමුල්ලේ සංජීව දෙවැනි මහලේ පිහිටි අංක 5 අධිකරණ ශාලාවට රැගෙන ගියහ.
ඒ මොහොතේ අධිකරණයේ විභාගවෙමින් පැවතියේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ විභාගවන නඩු පමණකි. එහෙත් හදිසියේ ඇතිවූ දත්ත අවහිරතාවයක් නිසා ගණේමුල්ලේ සංජීවගේ එම නඩුව කැඳවනු ලැබිණි. 
උසාවි සංකීර්ණය කොහොමත් කාර්ය බහුලය. නීතිඥ පිරිස් හා නඩුහබවලට සම්බන්ධ පිරිස් දහස් ගණනින් එහි රැඳී සිටිති.
මෙම සෙනඟ අතරින් ප්‍රසන්න පෙනුමැති තරුණයෙක් අධිකරණ ශාලාවට ආවේය. ඔහු බැල බැල්මට නීතිඥවරයකු ලෙස පෙනුණි.
නීතිඥ අසුන් පෙළ වෙත ගිය ආගන්තුකයා පුරුදුකාරයකු මෙන් එහි වාඩි විය. පිට පළාත්වලින් නීතිඥයන් හැමදාම මෙන් එහි පැමිණෙන හෙයින් අලුත් නීතිඥයන්ට අනෙක් නීතිඥයන් සමඟ දැන හැඳුනුම්කම් නැතද එය බාධාවක් නොවේ.
කොළඹ  අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය විනිසුරු  අසුනේ අසුන් ගත්තාය. බන්ධනාගාර නිලධාරීන් විසින් ගණේමුල්ලේ සංජීව විත්ති කුඩුවට නංවනු ලැබිණ. සංජීවගේ නඩු තුන අතුරින් පළමු නඩු කටයුත්ත නිමාවිය. දෙවැනි නඩුව කැඳවිණි. 
ආගන්තුක නීතිඥයා නැඟී සිටියේය. ඔහු ගණේමුල්ල සංජීව සමීපයටම ගියේය. 
විත්ති කුඩුවේ සිටින විත්තිකරුවන් අසලටම ගොස් උපදෙස් ලබාදීම නීතිඥයෝ ඇතැම් විට සිදුකරති. එහෙයින් ආගන්තුක නීතිඥයා ගණේමුල්ලේ සංජීව අසලට යාම විශේෂයක් වූයේ නැත. කවුරුත් හිතුවේ ඔහු සංජීවගේ නීතිඥයා බවය. ආගන්තුක නීතිඥයා සංජීව ළඟට ගිය සැණින් රතිඤ්ඤා පුපුරන්නාක් මෙන් හඬක් නැගිණි. දුමාරයද ගලා යයි. ‘මෙන්න සංජීව පැන්නා’ යනුවෙන් කෑ ගසමින් ආගන්තුක නීතිඥයා කලබල වූ පිරිස මැදින් ඉදිරියට ඇදුණේය.
සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීමට යම් කාලයක් ගත ​ෙවන්නට ඇත. බන්ධනාගාර නිලධාරීහු හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු විත්ති කුඩුව අසලට දිව ආහ. ඔවුන් දුටුවේ විත්ති කූඩුවේ උඩුබැලි අතට  වැටී සිටින ගණේමුල්ලේ සංජීවය.
ඔහු වහා ජීප් රියට නංවාගත් පිරිස කොළඹ ජාතික රෝහල කරා පියඹා ගියහ. ඝාතකයාගේ ඉලක්කය සපිරුණි. ලෙයට ලෙය ඉල්ලන, මරණයට මරණය ඉල්ලන අණක් ගුණක් නැති පාතාලයේ කිරුළ සොයා මිනිස් ජීවිත වනසමින් සංහාරකයකුගේ භූමිකාවට පණදුන් සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව වැපුරූ අස්වැන්නම නෙළා ගනිමින් කොළඹ ජාතික රෝහලේ ඇඳක් මත අවසන් හුස්ම හෙළීය.