ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ හා කොමියුනිස්ට් පෙරමුණේ ආරම්භක නායකයෙකු වූ එන්. ෂන්මුගදාසන් මහතාගේ 32 වන ගුණසමරුව පසුගිය පෙබරවාරි මස 08 වන දිනට යෙදී තිබිණි. මෙම ලිපිය එය නිමිත්තෙනි.
ලෝක විප්ලවය සිදු කළ යුතු ආකාරය පිළිබඳව ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ දැඩි සංවාදයක් 1962 වසර වන විට හට ගත්තේය. එවකට සෝවියට් නායකයාව සිටි නිකිතා කෘෂෙෆ් සාමකාමි සහජීවනය මඟින් බටහිර කඳවුර සමඟ සංහිඳියාවක් පවත්වාගෙන යමින් ආසියාවේ - අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ රටවල පවතින ජාතික විමුක්තිය සඳහා වූ අරගලය සහ නිර්ධන පන්ති විප්ලවය සාර්තක කර ගැනීමට උපකාර කළ යුතු යැයි මතයක් ඉදිරිපත් කළේය. අධිරාජ්‍යවාදය යනු කඩදාසි කොටියෙකි. එය විනාශ කිරීම ඉතා පහසුය. එනිසා තුවක්කු පාවිච්චිය තුළින් හැර විප්ලවය සඳහා වෙනත් විකල්පයක් නැත. “දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කුවේ කඳ තුළිනි.” යන්න චීන නායකයා වූ මාඕ සේතුං ගේ ප්‍රකට උදෘත පාඨය විය. සාමකාමි සහජීවනය යනු අධිරාජ්‍යවාදය ඉදිරියේ දණ නැමීමකි. මෙම මතභේදය දැඩි විවාදයකට හේතු වූ අතර ලොව පුරා සියලු කොමියුනිස්ට් පක්ෂ දෙකඩ වීමට හේතු විය.
ඒ අනූව ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ මහා බෙදීමක් ඇති කළ චීන - සෝවියට් මත ගැටුම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේත් කොමියුනිස්ට් පක්ෂ දෙකඩ කිරීමට හේතු විය. එම තත්ත්වය තුළ ඒ දක්වා එකම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ලංකා කොමියුනිස්ට් පක්ෂයත්, මොස්කව් පිල සහ චීන පිල වශයෙන් පක්ෂ දෙකකට බෙදී ගියේය. එහිදී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල නාගලිංගම් ෂන්මුගදාසන් මහතා විසින් මෙහෙයවනු ලැබුණි. ලංකා කම්කරු සමිති සම්මේලනය නමින් විශාල සාමාජික සංඛ්‍යාවකින් යුතුව පැවති ශක්තිමත් සංවිධානයේ ප්‍රධාන ලේකම්ධූරයේ කටයුතු කරනු ලැබූවේ ද එන්. ෂන්මුගදාසන් විසිනි.
ඒ අනූව මාක්ස් ලෙනින්වාදි මාඕ සේතුං චින්තනයේ ශ්‍රේෂ්ඨ රතු පතාකය ඉහළින් ඔසවාගෙන එය ආරක්ෂා කරගැනීමේ සටනටත්, නූතන සංශෝධනවාදයේ විෂඝෝර න්‍යායන්ට විරුද්ධ සටනටත්, ඔහු දේශපාලනික නායකත්වය ලබා දුන්නේය. විශේෂයෙන් මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කිරීමේ කාර්ය සඳහා ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළේය.
යාපනයේ මනීපායි හිදී උපත ලද එන්. ෂන්මුගදාසන් කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂයෙකු වූ අතර 1938 වසරේදී ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව බටහිර ඉතිහාසය විෂය සම්බන්ධ උපාධිය හැදෑරුවේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේදිම කොමියුනිස්ට් නායකයන් මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂ නායකත්වය සමඟ දේශපාලන සම්බන්ධතා ඇති කර ගත්තේය. සටන්කාමි දේශපාලන කටයුතුවල නිරත වීම හේතුවෙන් කෙටි කලකින්ම විශ්වවිද්‍යාලය තුළදී ෂන්මුගදාසන් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූයේය. එහි ප්‍රතිඵලය වූයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් හා සභාපති ධූරය ඉසිලීමට අවස්ථාව හිමි වීමය. උපාධිය ලබා ගැනීමෙන් පසුව 1943 දී විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව 1943 දී පිහිටුවන ලද ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සම ආරම්භක සාමාජිකයෙකු විය. එතැන් පටන් කොමියුනිස්ට් ව්‍යාපාරයේ පූර්ණකාලීන දේශපාලන ක්‍රියාධරයෙකු විය. ඒ අනූව කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති වැඩකටයුතුවලදී ඔහු අද්විතීය කාර්යභාරයක් ඉටු කළේය.
එසේම ෂන්මුගදාසන්ගේ පෞද්ගලික දිවිය ද අපූරු එකක් විය. ඒ අනූව ෂන්මුගදාසන්ගේ පළමු විවාහය සිදු වූයේ කොමියුනිස්ට් පක්ෂයේ නායක දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතාගේ ආබාධිත සොහොයුරියක් සමඟ ය. දෙවැනිවර ඔහු විවාහ වූයේ, 1956 - 1960 පොන් - පේදුරුතුඩුව මන්ත්‍රීවරයෙකු ද, ෂන්මුගදාසන්ගේ දේශපාලන සගයෙකු ද වූ කන්දයියා ගේ වැන්දඹු බිරිඳ වන පරමේෂ්වරී සමගය. කන්දයියාගේ දියණිය වන රාධා යන දරුවා, ඔහු දරුකමට හදා ගත්තේය. ඔහු තම දේශපාලන සගයාට ගෞරව කළේ එසේය. කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වූ ෂන්මුගදාසන් 1947 රජයේ සේවක වැඩවර්ජනය සාර්ථක කර ගැනීමට කැපවී කටයුතු කළේය. එසේම 1953 හර්තාලය අවස්ථාවේදීද කම්කරුවන් සමඟ එක්ව විශාල කාර්යභාරයක් ඉටු කළේය. මීට අමතරව යාපනය හින්දු කුලවාදයට විරුද්ධව ක්‍රියාකාරි දේශපාලන ඉදිරි දැක්මක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේද ෂන්මුගදාසන්ය.
ඒ අනූව යාපනයේ කුලයෙන් උසස් වෙල්ලාලයෙකු වූ ෂන්මුගදාසන් යාපනයේ තුල පීඩිතයින් වන නලවාර්, පරයර් හා පල්ලාර් යැයි හඳුන්වනු ලබන අයගේ කෝවිල්වලට කුල පිඩිතයන් සමඟ ඇතුළු වුණේය. පොදු සොහොන් භූමිවල මෘත ශරීර වළ දැමීම, ස්ත්රීන්ට උඩුකය වැසීම හා සල්වාර්ය පැලඳීමේ අයිතිය වෙනුවෙන් සංවිධානාත්මකව සටන්කිරීමට නායකත්වය දීම වැනි කුළ පීඩිතයින් වෙනුවෙන් කටයුතු කළේය. ඒ අනූව කුලවාදයට විරුද්ධව යාපනය හින්දු සමාජය තුළ සාහිත්‍යයක් ඇති වූයේ ෂන්මුගදාසන්ගේ මැදිහත් වීමකින් බව සඳහන් කළ යුතුය. කුලය අඩු යැයි සම්මත යාපනයේ හින්දූන්ට ආගමික නිදහස ලබා දීමට ෂන්මුගදාසන් කටයුතු කළ අතර ඔහුගේ එම කැපකිරිම සඳහා පී. කන්දයියා, වෛද්‍යලිංගම් හා වී. පොන්නම්බලම් වැනි කොමියුනිස්ට්වාදි අදහස් දරන වාමාංශික නායකයෝ ද උපකාර කළහ. මෙවැනි දේශපාලනමය දෘෂ්ටිකෝණයකින් සමාජය දැකීම ෂන්මුගදාසන්ට පදනම වැටුණේ ඉතා ගැඹුරු ලෙස මාක්ස් ලෙනින්වාදී හා මාවෝවාදී සාහිත්‍ය ග්‍රහණය කර ගැනීමය.
ලංකා කම්කරු සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් වූ ඇම්. ජී. මැන්දිස් මහතා ගේ මඟ පෙන්වීම අනූව ෂන්මුගදාසන් කම්කරු සමිති පෙරමුණට පිවිසීමේ මාර්ගය විවර විය. ඇම්.ජී. මැන්දිස් මහතා සමඟ විදේශ සම්මේලන කීපයකටද සහභාගි වීමට ෂන්මුගදාසන් ට හැකි විය. විශේෂයෙන් අන්තර්ජාතික කම්කරු සංවිධානය විසින් කැඳවන ලද රැස්විම්වලටද ඔහු සහභාගි විය. මෙහිදී ඉතා කැපවීමකින් කටයුතු කළ ඔහු කම්කරු විනිශ්චය සභා හා පඩිපාලක සභාවලදී ද කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උනන්දුවෙන් කටයුතු කළේය. කම්කරු නීති අණපනත් සම්බන්ධයෙන් ෂන්මුගදාසන්ට මනා දැනුමක් පැවතුණි.
රෝහණ විජේවීර විසින් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැඟීමට පෙර චීන පිලේ මතය පිළිගනිමින් ෂන්මුගදාසන් සමඟ දේශපාලන කටයුතු කළ නමුත් පසුව ඇතිවූ මතභේදකාරි තත්ත්වය නිසා ෂන්මුගදාසන් විසින් විජේවීරව තම පක්ෂයෙන් නෙරපන ලදි. මෙසේ විජේවීරව නෙරපා හරින අවස්ථාවේදී ෂන්මුගදාසන් විසින් විජේවීරට චෝදනා කීපයක්ද එල්ල කළේය. එනම් තම පක්ෂයට රහසිගතව ගොවිපොළක් පවත්වාගෙන යාම, පක්ෂ තීරණයන්ට පටහැනිව දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනතට විරෝධය පළ කරන ලද ජනවාරි 8 වැනිදා පෙළපාළියට සහභාගි වීම හා පක්ෂය තුළ ප්රජාතන්ත්ර විරෝධි ලෙස ප්රතිකණ්ඩායමක් පවත්වාගෙන යෑම යනාදි කරුණු පිළිබඳවය. කෙසේ වුවද පසුව විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළේය. 1967 වසරේදී ෂන්මුගදාසන් විසින් පක්ෂය දෙකට බෙදීමට හේතු තර්ක ඉදිරිපත් කළේය. ඒ අනුව ඔහු මෙසේ තර්ක කළේය.
“වමේ ව්‍යාපාරයේ විශාල කොටසක් පත්ව ඇති වත්මන් පරිහානියේ මූලික හේතුව වන්නේ, විශේෂයෙන්ම 1956 න් පසුව ඔවුන් මාක්ස් ලෙනින්වාදයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවාදය දෙසට සහ පාර්ලිමේන්තුව හරහා සමාජවාදය කරා සාමකාමි ලෙස සංක්‍රමණය විය හැකිය යන්න කරා කරණම් ගැසීමය.”
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද 1971 තරුණ අරගලය කාලපරිච්ඡේදය වනවිට සිරිමා ආණ්ඩුව විසින් අභූත චෝදනා නඟමින් ෂන්මුගදාසන්ව මාස දහයක කාලයක් සිරභාරයේ රඳවා තබන ලදි. මෙම සිරගත කාලයේදී ලංකා ඉතිහාසය පිළිබඳව මාක්ස්වාදී විග්රහයකින් කරුණු ඉදිරිපත් කරමින්ද, ජනතා විමුක්ති පෙරමුණේ 71 තරුණ අරගලය පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින්ද, “ලංකා ඉතිහාසය දෙස මාක්ස්වාදි ඇසකින්” යනුවෙන් කෘතියක් රචනා කළේය. මෙම කෘතියට අමතරව ෂන්මුගදාසන් විසින් රචිත සම්මානයට පාත්‍ර වූ කෘතීන් රාශියකි. එසේම පුවත්පත් කලාවට ද බලවත් උනන්දුවක් දැක්වූ ඔහු අන්තර්ජාතික පුවත්පත්වලටද නිතරම පාහේ දේශපාලන ලිපි සැපයීමට කටයුතු කළේය.
මාඕවාදි දේශපාලන චින්තනයෙන් දැඩි ලෙස බැඳි සිටි ෂන්මුගදාසන් හැත්තෑව දශකය අගභාගයේදී වෙනම සංවිධානයක් පිහිටුවා ගනු ලැබුවද එය සාර්ථක නොවිණි. පසුව ගාමිණි යාපා ආරම්භ කළ පෙරදිග සුළඟ සංවිධානය සමඟද ෂන්මුගදාසන් දේශපාලනික සම්බන්ධතා පැවැත්වීය. මේ කාලපරිච්ඡේදය වන විට ෂන්මුගදාසන් ශ්‍රී ලංකාවේ ජාතික ප්රශ්නය පිළිබඳව තම අදහස් ඉදිරිපත් කළේය. ඒ අනූව ඔහු මෙලෙස සඳහන් කළේය.
“ශ්‍රී ලංකාවේ දමිළ ජනයා තවම ජාතියක් හැටියට වර්ධනය වී නැහැ. ඒ නිසා ඔවුන්ට ස්වයං නීර්ණ අයිතිය තිබේ යැයි කියන්න බැහැ. ස්වයං නීර්ණ අයිතිය තිබෙන්නේ පීඩිත ජාතීන්ටයි. නමුත් ශ්‍රී ලංකාවේ දමිළ ජනයා ජාතියක් සේ වර්ධනය වී නැහැ. එහෙත්, ඔවුන් පීඩාවට පත් කිරීමට අප විරුද්ධ විය යුතුයි.”
“ශ්‍රී ලංකාවේ දමිළ ජනයා තවමත් ජාතියක් ලෙස වර්ධනය නොවීමට හේතුව, ඔවුන්ට වෙනම ආර්ථිකයක් නැතිවීමයි. උතුරු-නැගෙනහිර දමිළ ජනයාට ඇත්තේ මනිඕඩර් ආර්ථිකයක්. කොළඹ හෝ වෙනත් පළාතක රැකියා කරන ඔවුන් උතුරු-නැගෙනහිර ඉන්න තම පවුල්වලට මනිඕඩර් යවමින් ඔවුන් නඩත්තු කරනවා.
ජෝසෆ් ස්ටාලින් ජාතියක් විග්රහ කරද්දි ඒ සඳහා කරුණු හතරක් සම්පූර්ණ විය යුතු බව පැවසුවා. ඒවා නම්, පොදු භාෂාවක්, පොදු භූමි භාගයක්, පොදු සංස්කෘතික මනෝභාවයක් හා වෙනම ආර්ථිකයක්. ස්ටාලින් ට අනූව මේ එකක් හෝ සම්පූර්ණ නොවේ නම් ඔවුන් ජාතියක් ලෙස විග්රහ කරන්න බැහැ. ඒ නිසා වෙනම රාජ්‍යයක් ගැන උතුරේ හා නැගෙනහිර දෙමළ සංවිධාන කතාකිරීම වැරදියි. එසේ වුවත් ඔවුන්ට ස්ව පාලනයක් ලබා දීම මඟින් ජනවාර්ගික අසාධාරණකම් තුරන් කළ යුතුයි.”
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ ෂන්මුගදාසන් යාපනයේදී විවෘත විවාද පැවැත්වූයේ වෙනම රාජ්‍යයක්/ ස්වයං නීර්ණ අයිතිය ඉල්ලීම වැරදිය යන මේ මූලික පදනම මත පිහිටාය. ෂන්මුගදාසන් සිය දිවියම කැප කළේ කොමියුනිස්ට් සමාජයක උතුම් අරමුණු ඉෂ්ඨ කර ගැනීමේ අභිලාසයෙනි. 1993 පෙබරවාරි මස 08 වන දින මෙම අසහාය නායකයා ලන්ඩන් නුවර දී සිය අවසන් සුසුම් හෙළුවේය. එහෙත් කම්කරු ජනතාව වෙනුවෙන් ඔහු කළ දේශපාලනික මෙහෙය සදා අමරණීය වනු ඇත.
එම්. තාරික්