පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පොදු ජන එක්සත් පෙරමුණෙන් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා ය. ලංකාවේ දේශපාලන පවුල් ඉතිහාසය අනුව බැලූ විට, ලොකුම පවුල් ගස නියෝජනය කරන අපේක්ෂකයා ද, ළාබාලම තරගකරු ද ඔහු ය.
ගිරුවාපත්තුවට අයත් වීරකැටිය මැදමුලන වලව්ව රාජපක්ෂ පරම්පරාවේ මහගෙදරයි. වී ගොවිතැන සහ පොල් වගාව ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග වේ. රාජපක්ෂ පරම්පරාවේ මුල්ම මහජන නියෝජිතයන් ප්‍රකට වූයේ ද කුඹුරු වැඩ කර මඩ සෝදාගෙන මැතිසබයට ආ ජනතා පුත්‍රයන් ලෙස ය. 1947 සිට බෙලිඅත්ත ආසනය නියෝජනය කළ ඩී. ඒ. රාජපක්ෂ පිළිබඳ මැදමුලන ප්‍රදේශයේ ජනතාව අතර ඇත්තේ මැතිසබයට ගිය ගොවි මහතකු පිළිබඳ ස්මරණ රැසකි.
රාජපක්ෂවරුන් තංගල්ල, කොළඹ යනාදී ප්‍රදේශ කිහිපයක විසිරී සිටිය ද තවමත් තම ඡන්ද පාවිච්චි කිරීම සහ අවුරුද්දේ විශේෂ දවස් සැමරීම සිදු කරන්නේ මැදමුලන ය.
“අවුරුද්දකට වතාවක් දෙමව්පියන් සමරන පින්කමට රාජපක්ෂ පවුලේ හැමෝම සහභාගි වනවා. ගමේ අපිත් සහභාගි වනවා. අපටත් යුතුකම් කරනවා. ගමේ සම්බන්ධය නැති කරගෙන නෑ.”
මුදමුලන පදිංචිකරුවකු වන පැටී මහත්තයා පවසයි. මැදමුලන වාසීන්ගෙන් සැලකිය යුතු පිරිසක් ජීවත් වන්නේ අඳ ගොවීන් හැටියට ය. ඇතැම් කුඹුරු අයත් වන්නේ රාජපක්ෂ පවුලට ය.
මැදමුලන, විකුම්සිරිහි පදිංචි ඩබ්. ගුණදාස (අවු. 68) අඳ ක්‍රමයට ගොවිතැන් කරන්නෙකි. නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන ඔහු මෙසේ කියයි.
“අපේ ගමේ අපේම කෙනෙක් ඉදිරිපත් වීම සතුටක්. මහින්ද මහත්තයගෙ දෙමව්පියන්ගෙ කාලෙ ඉඳලා ගමට රටට කළ සේවය විශාලයි. මහින්ද මහත්තයට අපේ තියන ගෞරවය තවමත් නැති වෙලා නෑ. එතුමාගෙ පුතාට අයිතිය තියනවා රටේ නායකත්වයට තරග කරන්න. ඒක උරුමයක් හැටියට තියෙනවනෙ. අප ගැන දන්න, මිනිස්සුන්ගෙ දුක තේරෙන නායකයෙක් තමයි අපට අවශ්‍ය. නාමල් මහත්තයා ප්‍රමාද වෙලා ඉදිරිපත් නොවී, මුල සිටම අවස්ථාව ලබාගත්තා නම් මීට වඩා හොඳට සංවිධානය වෙන්න තිබුණා. කවුරු හරි කකුලෙන් ඇද්ද වගේ පේනවා. රාජපක්ෂවරුන්ට ගමේ අපේ තියන බැඳීම රට පුරාමත් තවම ඇතියි හිතෙනවා.”
මැදමුලන, කොළඹගෙදර පදිංචි ආර්.එම්.කේ. ගුණපාල (අවු. 68) ගේ අදහස වන්නේ ද මහින්ද රාජපක්ෂට ලැබී තිබූ ජනවරම යම් වෙනසකට ලක් වී ඇතත්, විශාල ජනතා ප්‍රසාදයක් ඔහුට ඇති නිසා, ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ වෙනුවෙන් එම ජනතා කැමැත්ත පළ වෙනු ඇති බව ය.
”අපට පාරක බැහැල යන්න පුලුවන් තත්ත්වයට මේ රට පරිවර්තනය කළේ රාජපක්ෂවරු. ගමේ පාරවල් ටික හදලා විදුලිය දීලා, රැකියා දීලා, පමණක් කළ සේවයක් නෙවෙයි ඒක. මුළු රටටම සතුටු විය හැකි තත්ත්වයට ප්‍රශ්න විසඳුවා. සමහර අඩුපාඩු තිබුණා තමයි. ඒත් කළ සේවය අමතක කරන්න බැහැ.”
මැදමුලන ගොඩේවත්ත පදිංචි කේ. ඩී. පියසේන (අවු. 70) අඳ ක්‍රමයට කුඹුරු වගා කරන ගොවියෙකි. ඔහු ද නාමල්ගේ ආගමනය ගැන කතා කළේ ප්‍රසාදයෙනි.
“මේ ගම හැදුවේ රාජපක්ෂලා. වෙන කවුරුවත් කරපු දෙයක් නැහැ. මහින්ද මහත්තයා විවිධ ඇමති ධුර දැරුවනෙ. ඒ හැම අවස්ථාවෙම ගමට වෙන්න ඕනැ යුතුකම් කළා.
නාමල් මහත්තය මෙහෙ නොහිටියට එයා අපේ ගමේ කෙනෙක් හැටියටයි අපි පිළිගන්නෙ. වෙන කොහෙ හිටියත් එයාගෙ ගමේ මිනිස්සු තමයි අපි. පවුලේ හැම විශේෂ දවසකම ඒ අය එන්නෙ ගමට. මේක ඒ පරම්පරාවෙ නිජබිමනෙ. මිනිස්සුන්ගෙ අදහස් වෙනස්වෙලා වගේ පෙනුණට ඡන්දෙදී බලාගන්න පුළුවන් මිනිස්සු තවමත් කැමති කාට ද කියලා.”
මැදමුලන ගොඩේවත්ත, කමලා වික්‍රමසිංහ පවසන්නේ මුළුගැන්වී සිටි කාන්තාවන්ට සමාජයෙහි විවිධ අවස්ථා විවරකර දුන්නේ රාජපක්ෂවරුන් බවය.
“අපේ රටට තරුණ නායකත්වයක් ලැබෙන එක ගැන සතුටුයි. නාමල් මහත්තයා තාත්තගෙ අඩි පාරේ ගිහින් දේශපාලනය ගැන අත්දැකීම් ලබලා තියනවා. උගත්කම තියෙනවා. මිනිස්සු අතරට ගිහින් වැඩ කරන්න දන්නවා. ඒක ඩී. ඒ. රාජපක්ෂ මහත්තයගෙ ඉඳලම ආපු ගුණයක්. මේ පළාතේ ඕනැ කෙනෙක් එයට සාක්ෂි දරයි. කෘතගුණය දන්නා මිනිස්සු එය අමතක කරන්නේ නැහැ.”
ගාලුමුවදොර අරගලයට පහරදුන් දා රාත්‍රියෙහි රටේ විවිධ ස්ථානවල දේශපාලකයන්ගේ නිවාස ගිනිබත් කෙරිණ. විනාශ වූ දේපළ සඳහා රජයෙන් වන්දි ලබාදීමට කටයුතු කළ බව ද ප්‍රසිද්ධ විය. වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පියසේන ලියනාරච්චි පදිංචිව සිටි මැදමුලනේ ඔහුට හිමි නිවස ද ගිනිබත් කරන ලදි. පාසල් යන දරුවන් සිටින ඔහු දැන් පදිංචිව සිටින්නේ මඩුවක් වැනි තාවකාලික හෙවණක ය.
ඔහුට වන්දි ලැබී නොමැත. මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පොලිස්පති, රාජ්‍ය පරිපාලන ඇමති ප්‍රමුඛ පාර්ශ්ව ගණනාවක් ලිඛිතව දැනුම්වත් කර ඇතත්, මේ වනතුරු ප්‍රතිඵලයක් ලැබී නොමැති බව ඔහු පවසයි.
නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන ඔහුගේ අදහස් මෙසේ ය.
“ගිනි තියපු අයගේ දේශපාලනයට වඩා වැදගත් දේශපාලනයක් රටට ඕනෑ. රටේ මොන ප්‍රශ්න තිබුණත්, අපි ඒ පළිගැනීමේ දේශපාලනය අනුමත කරන්නෙ නැහැ. රටට ගමට ලොකු සේවයක් කරපු ආපේ ගමේම කෙනෙක් වෙච්ච, නාමල් රාජපක්ෂ වෙනුවෙන් අපි පෙනී හිටිනවා.”
මැදමුලන අයත් වීරකැටිය කොට්ඨාසය කෘෂිකාර්මික ප්‍රදේශයක් වුව ද නියඟයෙන් ගොවිතැනට හානි පැමිණීම සුලබ අත්දැකීමකි. මේ දිනවල අඛණ්ඩව නොසිතූ ලෙස වැසි පතිත වීම නිසා අස්වනු නෙළන්නට පෙර විනාශ වූ අවස්ථා ද පෙනේ. එමෙන්ම අස්වනු වැස්සට අසුවීම නිසා කාපට් පාරේ දමාගෙන වේළන දසුන් ද සුලබ ය. ඒ අනුව බොහෝ ගොවීන් සිටින්නේ කලකිරීමෙනි.
වීරකැටියේ කේ. ඩී. ගුණරත්න මේ ගැන අදහස් පළ කළේ ය.
“වී කිලෝව ගන්නෙ රු. 105ට. එහෙම දෙන්නත් බැහැ තෝරනවා. තෙත බර බලනවා. බොල් බලනවා. රජයේ ආයතන මොකවත්ම මේවට මැදිහත් වෙන්නෙ නැ. එහෙම ආයතන හදලත් නෑ. මහ ලොකු ගොවි පරම්පරාවක කියලා කයිවාරු ගහන මිනිස්සු එහෙම ක්‍රමයක් හදල තිබ්බ නම්, අපි මෙහෙම අමාරුවෙ වැටෙන්නෙ නැහැ. ගමේ දකින්නවත් නැති කොහෙ හරි ඉඳල තමන්ගෙ වුවමනාවට ගමට පාත් වෙන මිනිස්සු ගැන අපේ විශ්වාසයක් නැහැ.එයාල අතීතයෙ වැඩ කරල ඇති. ඒත් අදට නං හරියන්නෙ නැහැ. පවුල් දේශපාලනේ අපට ඕනැත් නෑ. අපට මෙවරවත් රටේ නායකත්වයේ වෙනසක් ඕනෑ. අපි රැවටුණා. මාරුවෙන් මාරුවට දෙගොල්ලක් පත්කළා. රට විනාශ වුණා. හොරකම වංචාව රජ වුණා. අප්පාගෙන් පුතාට යන දේශපාලනෙන් රට හදන්ඩ පුලුවන් කියලා හිතනවා නම් ඒක ලොකු රැවටීමක්. පරම්පරා ගණනක් රැවටුණා. මෙවර එය වෙනස් කළ යුතුමයි.”
ඔහු කතා කළේ ආවේගයෙනි, වේදනාවෙනි.
මේ දිනවල මැදමුලන ප්‍රදේශයේ පොල් ඉඩම්වල පොල් කඩන දසුන් සුලබ ය. උණ ලීය හා ගස් නැගීම පොල් කැඩීමේ දෙවිදියයි. ගස් නැග පොල් කඩන්නාට ලැබෙන කුලිය එක ගසකට රු. 150 කි.
මැදමුලන පහලවාඩිය පදිංචි ජී. ඩබ්. සිරිසේන (අවු. 52) පොල් කැඩීම ජීවන වෘත්තිය කරගත්තෙකි. සාම්ප්‍රදායික දේශපාලනය ගමේ මෙන්ම රටේ ද වෙනස් විය යුතු බව ඔහුගේ අදහසයි.
ඔහු මෙසේ කියයි.
“බුද්ධියක් තියන කිසි කෙනෙක් පවුල් දේශපාලනය පස්සෙ යන්නෙ නෑ. අපේ පරම්පරාවල වැඩිහිටියො ගිය මාර්ගයේ අප යා යුතුත් නැහැ. සමාජ සාධාරණත්වය හැමෝටම අවශ්‍යයි. තෝරාගත් පිරිසකට නෙවෙයි. අපි තරුණ අය හැටියට ඒ වෙනුවෙන් දිවා රෑ හිතනවා. වැඩ කරනවා. මිනිස්සු හරි පැත්තට ගන්න උත්සාහ කරනවා. දැං ගමේ මිනිස්සු ඉස්සරට වඩා වෙනස්. වැඩවසම් විදියට හිතන එකෙං වෙනස් වෙන්න පටන් අරං. මෙවර ජනාධිපතිවරණයෙන් ඒ වෙනස පෙනෙන බව ස්ථිරයි.”
මැදමුලන දෙගම්පතන පදිංචි ආරියසේන රාජපක්ෂ (58) දරන අදහස් ද මීට සමානය. ඔහු ද සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවට සැබෑ වෙනසක් අපේක්ෂා කරයි. ඒ මෙසේය.
“වර්තමානය වන විට මිනිස්සු විශාල ආහාර ප්‍රශ්නයකට මුහුණ දීලා. ජීවන මාර්ග ඇහිරිලා. සමාජ අසාධාරණය හැම තැන ම පේනවා. නීතිය ක්‍රියාත්මක වන්නේ පුංචි මිනිස්සුන්ට එරෙහිව විතරයි. මහ මිනිස්සු බේරෙනවා. මේ නීතියේ සාධාරණත්වය රටට අවශ්‍යයි. වැඩවසම් නායකත්වයකින් ඒක කරන්න බැහැ. නායකයකුට උදාර අරමුණක් තියෙන්න ඕනැ. ඒ අරමුණ කරා යන වැඩපිළිවෙළක් තියෙන්න ඕනැ. එහෙම වැඩ කර ඇති බවට මහජන විශ්වාසයක් තියෙන්න ඕනැ. රට විනාශ කරපු දේශපාලන පවුල්වලට එහෙම උදාර අරමුණු ඇතැයි අප විශ්වාස කරන්නෙ නැහැ. ඒ නිසා අපි මෙවර ජනාධිපතිවරණයෙන් අලුත් නායකයෙකු පත් කරගන්නවා. ඒ නායකයා පවුල් දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි.”
වීරකැටිය පදිංචි ජී. ඩබ්. ප්‍රියන්ත අඳ ගොවීන්ගේ අයිතීන් වෙනු වෙන් හඬ නගන ගොවියෙකි. තම අසල්වැසියකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඔහු මෙසේ කියයි.
“මේ පළාතේ ජීවත්වන ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් කිසිම වැඩපිළිවෙළක් ඔහු ඉදිරිපත් කර නැහැ. ගොවීන්ගේ ප්‍රශ්න හඳුනන්නෙ නැහැ. පරම්පරාවෙන් දේශපාලනය උරුම වූ පමණින් රටක නායකත්වයක් දැරිය හැකි යැයි සිතීම මුළාවක්”
තමන්ට ඉදිරිපත් කිරීමට දරුණු විවේචන ඇතත් බිය නිසා නිහඬ වන බව ඇතැම්හු පැවසූහ. බියෙන් තොර ව ජීවත් විය හැකි සමාජයක් ගොඩ නැගීම යුගයේ අවශ්‍යතාවකි.
ඡායාරූප සහ සටහන තිඹිරියාගම බණ්ඩාර