නිදහස් මනසින් මහ වැඩ කරන හරිනි


ඇය කිසිම දවසක පෞද්ගලික වාහනයක් පාවිච්චි කළේ නැහැ. දැන් වුණත් එයාට පෞද්ගලික වාහනයක් නැහැ. ඒ කාලෙත් ඇය ප්‍රවාහන පහසුකම් සපය ගත්තේ ත්‍රීවීල් සහ බස්වලින්.
 
2024 ජනාධිපතිවරණයෙන් පසුව අගමැතිනිය ලෙස පත් වූ ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙරට එම ධුරයට පත් වූ තුන්වැනි කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙයි. ඒ  අනුව මෙරට අගමැති ධුරයේ  දිවුරුම් දුන් 16 වැන්නා වන්නේ ඇයයි. 
ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරියක ලෙස 2020 මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට පත් වූයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමිනි. වසර කිහිපයක්ම ජාතික ජනබලවේගයේ දේශපාලන ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කළ ඇය ජාතික ජනබලවේග පක්ෂ ඉතිහාසයේ පත් කළ පළමු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරිය ද වේ. 
ඇය තරුණ විරැකියාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ළමා ආරක්ෂණය මෙන්ම මෙරට අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් පර්යේෂණාත්මක කාර්ය භාරයක් ඉටුකරමින් සිටින ප්‍රකට කාන්තාවකි. අද අපේ කතානායිකාව ඇයයි.
 
දේශපාලන පවුල් පසුබිමක් නොමැතිව අගමැති ධුරයට පත් වූ හරිනි 
 
 
1970 මාර්තු 6 වැනිදා උපත ලැබූ ආචාර්ය හරිනි අමරසූරිය මෙරට මධ්‍යම පාන්තික පවුලක බඩපිස්සීය. වැඩිමහල් සහෝදරයකු සහ සහෝදරියක සමඟ හැදී වැඩුණ ඇය කුඩා කල සිටම ජීවිතය ගැඩගස්සවා ගත්තේ තමන්ට කැමති විදියටය. විටෙක ඇය දඩබ්බරය. හිතුවක්කාරය. පරම්පාරවෙන්ම සැප පහසු ජීවිතයකට උරුමකම් කිවූ ඇය කොළඹ ඉපිද කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබමින් ලෝකය වෙනස් කෝණයකින්  දකින්නට පුරුදු වූවාය. එමෙන්ම පාසල් සමයේ සිටම නායකත්ව ගති ලක්ෂණ ඉස්මතු වූ ඇය අසාධාරණයට, අයුක්තියට එරෙහිව ශක්තිමක් කාන්තා පුද්ගලභාවයක් ගොඩනගාගත්තීය.    
අතිශය සුන්දර ළමා කාලයක් ගත කළ හරිනි අමරසූරියගේ ජීවිතයෙහි බොහෝ දේ වෙනස් වූයේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් කොළඹට පැමිණීමත් සමඟය. දකුණෙන් කොළඹට ආ ගමන ඇයට යාන්ත්‍රික වුවත් ඇයගේ සිත නිතරම නතර වූයේ දකුණේ ජීවත් වූ තම පියාගේ ගම් පියසේය. 
“මම ඉපදුණේ කොළඹ, මගේ තාත්තාගේ ගම ගාල්ල පරගොඩ. වතු අධිකාරිවරයෙක් විදිහට තේ වතු ආශ්‍රිත රැකියාවක් තමයි කළේ. පුංචි කාලේ මමයි, අක්කයි, අයියයි, හැදුණේ වැඩුණේ ගාල්ල පරගොඩ කියන තාත්තාගේ ගමේ. ගමේ හැදුණට පාසල් ගමනත් එක්ක කොළඹ එන්න වුණා. ඉගෙන ගන්න කොළඹ එන්න වුණත් ගම දාලා ආවේ ආසාවකින් නෙමෙයි. කොළඹ ජීවත් වුණත් මට පරගොඩ කියන ගමත් එක්ක ලොකු බැඳීමක් තිබුණා. අදටත් ඒ ගමට, දකුණට මම ආදරෙයි. මගේ ජීවිතේ සුන්දරම කාලේ ගෙවුණේ එහේ. දැන් මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. තාත්තා නැති වුණේ 2015දී. අම්මා ඉන්නේ මා එක්ක. අයියයි, අක්කයි දෙන්නම දැන් කාලයක් තිස්සේ එයාලගෙ පවුල් එක්ක ජීවත් වෙන්නේ පිටරට”
තමන්ගේම විදිහට හැදුණ ඇයට පාසල් කාලේදීවත් මව්පියන් නීති දැම්මේ නැත.  ඇයගේ ගමනට,  ඇයගේ තෝරා ගැනීම්වලට මව්පියන් ඉඩ දුන් නිසාම අධ්‍යාපනික, සමාජීය  විවිධ මාවත්වල ඇය පියමැන්නාය. 90 වසරේ දී උසස් පෙළට පෙනී සිටි ඇය විශ්වවිද්‍යාලයට වරම් ලැබුවත් රටේ පැවැති කලබලකාරී වාතාවරණය නිසා විශ්වවිද්‍යාල වසා දමා තිබුණි. පසුව ඇය ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන්  ප්‍රථම උපාධිය සම්පූර්ණ කළාය. එය අවසන් කිරීමෙන් පසු ඇය රාජ්‍ය නොවන ආයතනයක ප්‍රජා සෞඛ්‍ය සේවිකාවක් ලෙස පළමු රැකියාව තෝරා ගත්තාය. 
පසුව ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි මැකවරි  විශ්ව විද්‍යාලයෙන් ව්‍යවාහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය හදෑරුවාය. එයින් පසු ටික කලක් ලංකාවට පැමිණ ජාත්‍යන්තර මානුෂීය හා සංවර්ධන අංශයේ සේවය කරමින් ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගත්තාය. පසුව එංගලන්තයේ එඩ්න්බරෝ විශ්ව විද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳව ආචර්ය උපාධිය සම්පූර්ණ කළාය. 
ඇය මානසික ප්‍රජා සෞඛ්‍ය, දේශපාලනය විසම්මුතිය, ස්ත්‍රි පුරුෂ සමාජභාවය, සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ගෝලීයකරණය පිළිබඳව අවුරුදු ගණනාවක් පර්යේෂණ සිදුකර ඇත. එමෙන්ම ළමා ආරක්ෂණ සහ මනෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහිත් දරුවන් හා කාන්තාවන් මුහුණ දෙන ගැටලුවල දී ඔවුන් වෙනුවෙන් සේවය කළාය. 
ඒ අතර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙහි සමාජ විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සිය වෘත්තිය ආරම්භ කළේ 2011 වසරේදීය. ඇය තම ජීවිතයේ තෘප්තිමත්ම, ආදරණීයම කාල පරිච්ඡේදය වසර 10 ක් පුරා ගෙවා දමන්නේ කථිකාචාර්ය ජීවිත තුළය. ශාස්ත්‍රීය නිදහස, ස්වාධීනත්වය, සිසුන්ගේ ළෙන්ගතුකම මේ සියල්ලම ඇයට නොඅඩුවම ලැබිණ. ඒ අතරතුර පර්යේෂණ කෘති ගණනාවක් ද ඇයගේ අතින් ලියවිණ. 
ඇය වසර 10 ක කථිකාචාර්ය ධුරයට සමුදී දේශපාලනය කරළියට පිවිසුණේ 2020 පාර්ලිමෙන්තු මැතිවරණයේදීය. 
“මම දේශපාලනයට එන්න කවදාවත් හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්.“ 
ඇය වරක් පැවසුවාය. දේශපාලනයට පැමිණීමේ දී ගත් අභියෝගය ගැන ඇය කියා සිටියේ මෙසේය, 
“ජාතික ලැයිස්තුවෙන් මගේ නම යෝජනා කළා කියලා  අනුර සහෝදරයා කිව්වාම මගේ ඇඟ සීතල වුණා. මුලින්ම මම යෝජනාව ප්‍රතික්ෂේප කළා. පස්සේ මම උත්තරයක් දෙන්න දවස් දෙකක් කල් ඉල්ලුවා. ජාතික ජනබලවේගයේ නායකත්ව මණ්ඩලය සමග මම කතා කළා. මං අන්තිමටම කතා කළේ පවුලේ අය එක්ක. මගේ අක්කා මේ තීරණයට තදින්ම විරුද්ධ වුණා. ඇය බය වුණා මට හානියක් වේවි කියලා. මගේ මුරණ්ඩුකම්වලට ඇගේ දෝස්මුර ලැබුණා. 
ඒවා හරි ආදරණීය බැණුම්.”
සියයට 50ක කාන්තා නියෝජනයක් ඕන කියලා කෑ ගහපු අපිම පස්සට යන්නේ ඇයි කියලා මම හිත හිතා හිටියේ නැහැ. හා කියලා කිව්වා. මම ඒ වෙලොවේ ඒ තීරණය ගත්තේ ගෙදර කිසිම කෙනෙකුට කියන්නේ නැතුව. “ 
ඇයගේ උත්සාහය අද ඒ සියල්ල වෙනස් මාවතකට හරවා අවසන්ය.
ජාතික විද්වත් සභාව, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වැනි සංවිධාන රැසකට සම්බන්ධවී   මානව සුබසිද්ධිය උදෙසා සිය දායකත්වය ලබා දී ඇති ඇය පිළිබඳ මතකය අවදි කළේ සමකාලීන වෘත්තීය සගයකු වන ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිලීප විතාරණයි. 
“මම හරිනි අඳුනගත්තේ එයාගෙ අචාර්ය උපාධිය කරන කාලේ.  ඇගේ විෂය වුණේ සමාජ මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍යය හා සංවර්ධන අධ්‍යයනය. ගාල්ලෙ කොටුවෙ තියනවා ළමා ආරක්ෂණ අධිකාරියේ කාර්යාලයක් ඒකේ තමයි  හරිනිගේ ක්ෂේත්‍රයට අදාළව වැඩ කළේ. ඔය විදිහට හරිනි ඒ PHD එක ඉතා හොඳින් ඉවර කළා. ඊට අමතරව ශ්‍රී  ලංකාවේ ප්‍රජා සෞඛය සංවිධානයක් වන නෙස්ට්හි අධ්‍යක්ෂ ධුරයක් ද දැරැවා.  ඒ වගේම කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පර්යේෂණ සංවිධානයක් වන Cenwor ආයතයෙත් තනතුරක්ද දැරුවා.”  
හරිනිගේ ශ්‍රාස්තීය පර්‌යේෂණ ඇයි මේ තරම් විශේෂ වුණේ
 
“අපි දන්න ගොඩාක්  ශාස්ත්‍රීය  පර්යේෂණ හුදකලා බවක් තියෙනවා. ඒ කියන්නේ සමාජයට තියන අදාළත්වය අඩුයි. ඒ  ශාස්ත්‍රීය පර්යේෂණ සමාජයට ලොකු සේවයක් සිදු කෙරෙන්නෙ නෑ. හැබැයි හරිනිගෙ  ශාස්ත්‍රීය  පර්යේෂණ විශේෂත්වය තමයි ඒවායේ සමාජ අදාළත්වය ඉහළින්ම තිබුණා.  ඒ හැම ශාස්ත්‍රීය  පර්යේෂණයක්ම සමාජයත් එක්ක බද්ධ වෙච්ච ඒවා.  ඇය ඇගේ  ශාස්ත්‍රීය  පර්යේෂණ කලාපවල ඇය සමාජ ක්‍රියාකාරිණියක් විදියටත් ඉන්නවා.
හරිනි 2010 ඉඳලා තමයි විවෘත විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණේ.  එදා ඉඳලා 2020 පාර්ලිමේන්තුවට යනකම්ම  විවෘත විශ්වවිද්‍යාල‍යේ කථකාචාර්යවරියක් ලෙස කටයුතු කළා. මම ඇය දකින්නෙ පරිපූර්ණ මොඩල් ඇකඩමික් කෙනෙක් විදිහට.  හරිනිට හතුරො අඩුයි. දේශපාලනයෙදී උනත් එයාට විරුද්ධවාදීනුත් හරි කැමතියි. ඒක විශ්වවිද්‍යාල‍යෙදිත් තිබුණා. සාමාන්‍ය සුළු සේවකයාගේ ඉඳලා වී.සී දක්වා ඇයට බොහෝ සෙයින් ආදරය කළා. ඇයට ප්‍රිය කළා.” 
“සම්බන්ධතා නඩත්තු  කිරීමේ  හැකියාව ඇයට ශිෂ්‍යයන් සමඟත් හොඳ ගනුදෙනුවක් තිබුණා.  විශේෂයෙන් ඒ කාලෙ වෙනකොට කථකාචාර්යවරු සහ ශිෂ්‍ය ව්‍යාපාර අතර තිබුණේ රළු සම්බන්ධයක්. හැබැයි හරිනිට ශිෂ්‍යයෝ ආදරෙයි. එක වතාවක්  සිංහල අවුරුද්දක් වෙලාවක විවෘත විශ්වවිද්‍යාලයේ  ශිෂ්‍යයෝ  විශ්වවිද්‍යාලයේ ගාස්තු වැඩියි කියලා අට්ටාලයක් ගහගෙන මාස ගණනක් උපවාස කළා. අවුරුදු කාලේ නිසා  කැම්පස් එකේ කවුරුත් නෑ. හැබැයි ළමයි දිගටම උපවාසයේ හිටියා. මට මතකයි  හරිනි ගෙදරින් කිරිබත් උයල ඒ උපවාස කරන දරුවන්ට ගෙනත් දුන්නා. ඇය ඒ වගේ  සියලුම දෙනා එක්ක හොඳ ගනුදෙනුවක් පැවැත්තුවා. දැනුත් ඒක ඒ විදිහටම තියනවා. අපේ රටේ පක්ෂ අතර තියන වෛරය කියන එක ඒ විදිහටම හරිනිට එල්ල වෙන්නෙ නෑ.  මම කීවනෙ එයා මොඩල් ඇකඩමික් ඇයට කරන්න පුළුවන් රෝල් ගොඩාක් තියෙනවා. ඇය  උගන්වන තැනදී හොඳ ගුරුවරියක්.  ළමයි කැමතියි ඇය උගන්වනවා අහන් ඉන්න.” 
 
හරිනිගේ වෘත්තීය සමිති ‍භූමිකාව 
 
  
“හරිනි විවෘත විශ්ව විද්‍යාලයේ  කථකාචාර්ය පත්වීම භාරගත්ත දවසෙම තමයි  අධ්‍යාපනයට සියයට හය කියන උද්ඝෝෂණ ව්‍යාපාරය පටන් ගත්තෙ.  ඇය වැඩ භාරගත්ත ලියුම දීලා මුලින් ආවේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උද්ඝෝෂණයට.
වී.සී. ඔෆිස් එක ඉස්සරහ උද්ඝෝෂණය කරන කට්ටිය අතරට ගිහින් ඇයත් හිටගත්තා . ඒ හැම දෙයකින්ම ඇයට විශ්වවිද්‍යාල ජීවිතයේ පුදුමාකාර ආදරණීය මිනිස්සු ටිකක් හමුවුණා. 2013 සහ 2021 වසරවල විවෘත විශ්ව විද්‍යාලයේ ආචාරවරුන්ගේ සංගමයේ ලේකම්වරිය ලෙසත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ  සහකාර ලේකම් ලෙසත් ඇය කටයුතු කළා. 
දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියලා ක්‍රියාත්මක කරපු අරගලයේ  සංවිධාන කටයුතු  සිද්ධ වුණේ හරිනිගෙ ගෙදරදී. හරිනිට රසට කෑම හදන්න පුළුවන්. සංවිධාන කටයුතුවලට වඩා  හැමෝම යන්නේ හරිනිගේ කෑම කන්න.”
 
  දේශපාලන සංක්‍රමණය
 
 
“2011 විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති අරගලයෙන් පස්සේ ඇය ටිකක් ක්‍රියාකාරී ලෙස කටයුතු කළා. ජාතික විද්වත් සංවිධානයටත් සම්බන්ධ වුණා. ඒ දේවල් කළාට ඇයට කිසිම වෙලාවක දේශපාලනයට එන්න නම් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඇයට නිතරම ඕන වුණේ  අසාධාරණකම්වලට හිංසනයන්ට පත් වෙන අය වෙනුවෙන්, විශේෂයෙන් කාන්තාවන් වෙනුවෙන් හඩක් නගන්න. ඒවා සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වවලට බලපෑම් කිරීමේදී ඇය පෙරමුණේම හිටියා. එක තැනකදී ජාතික ජනබලවේගය ගැන ඇයට යම් අවබෝධයක් ඇති වුණා. 
NNP නායක අනුර කුමාර ජාතික ලැයිස්තුවෙන් නම දාමුදැයි අහපුවාම  හරිනි පාර්ලිමේන්තු යන්න අවශ්‍ය නැහැ කියන පදනමෙන්  තමයි  හිතුවේ. ඒත්  මන්ත්‍රී ආසන 3 ක් ආවම දැන් පාර්ලිමේන්තු එන්න වෙනවනේ. “අපේ මට බෑ ,”හරිනි මුල් ස්වරයෙන්ම ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කළා.  විශ්ව විද්‍යාලය  දාලා යන්න කැමැත්තක් ඇයට තිබුණේ නැහැ.  ඒ තීරණයට යනව නම් කථිකාචාර්ය වෘත්තියට සමු දෙන්නම වෙනවා. ඇයට  ඒක  ගන්න අමාරුම තීන්දුවක් වුණා. 
මට මතකයි හරිනි දේශපාලනයට ඒන තීන්දුව ගනිද්දී මම ඇතුළු එයාගෙ අනෙකුත් යාළුවන්ගෙනුත් උපදෙස් ගත්තා. අවසානයේ ඇය අමාරුවෙන් තීරණය කළා විශ්වවිද්‍යාල ජීවිතයෙන් අයින් වෙලා පාර්ලිමේන්තුවට යනවා කියලා. ඇත්තටම අපි පෞද්ගලිකව අකමැති වුණා ඇය දේශපාලනයට එනවට. 
මොකද හරිනි එච්චරටම  බ්‍රිලියන්ට් ඇකඩමික් කෙනෙක්. ඒත් අද දැනෙනවා එදා ඇය ගත්ත තීරණේ හරි තීරණයක් බව. දැන්   ඊට වඩා ලොකු වගකීමක් රට වෙනුවෙන් කරන්න පුළුවන්.” 
ඔබ දැකපු හරිනි කොයි වගේද?  
 
 
හරිනි තමන් හැදුණු පවුල් පසුබිම කඩාගෙන එළියට ආව කෙනෙක්.  ඇය කවදාවත් ඇගේ පෞද්ගලික අභිවෘ ද්ධියක් කියන එකක් ගැන උනන්දු වුණේ නෑ.  එයා හැම තිස්සෙම ජීවිතේ සතුටක් වින්දේ පොදු වැඩවල නිරත වෙලා. මිනිස්සුන්ට වගේම ඇය පණට වඩා සතුන්ට ආදරය කරනවා. සියලුම දෙනාට සමාන අයිතිවාසිකම් තියෙනවා කියන තැන තමයි ඇය හැමදාම ඉන්නේ.
මම දන්න හරිනි ජීවිතේ යම් තීරණයක් ගත්තට පස්සේ නැවත කවදාවත් ඒ ගැන තැවෙන කෙනෙක් නෙවෙයි. ගුරු වෘත්තීය සහ විශ්වවිද්‍යාල ජීවිතයෙහි ඇය ගත කළේ ඉතාමත් තෘප්තිමත් ජීවිතයක්. ඇය නොයෙකුත් රැකියා කළා. 
ඒ හරහා විවිධාකාර අත්දැකීම් රාශියක්  ඇය ලබා ගත්තා. ඇගේ ජීවිතය කිසිම වෙලාවක සරල රේඛාවක ගමන් කළේ නැහැ.  හැරවුම් ගොඩාක් තිබුණා. ඇය කිසිම දවසක පෞද්ගලික වාහනයක් පාවිච්චි කළේ නැහැ. දැන් වුණත් එයාට පෞද්ගලික වාහනයක් නැහැ. ඒ කාලෙත් ඇය ප්‍රවාහන පහසුකම් සපය ගත්තේ ත්‍රීවීල් සහ බස්වලින්. 
ඇය දේශපාලන ගමන ආවේ කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. දැන් නම් මන් හිතන්නෙ එයාට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා එයාට NNP එකෙන් වාහන පහසුකම් දෙනවානේ. ඉස්සර වගේ  දැන් පොදු සේවයේ යන්න බැහැනේ. දැන් ආරක්ෂාව අනිවාර්යෙන්ම ඕන. 
“පුංචි දෙයක් කියන්නම් ... මම දන්න හරිනි ඔය හිරවීමේ ඉන්නත් කැමති නෑ. හැබැයි ඒ වුණත්  ඒ සමාජ වගකීම ඇය අකුරටම කරාවි කියන විශ්වාසය තියෙනවා. 
නදීශා අතුකෝරළ