දේශපාලකයන්ට වඩා වැඩිපුර වාරයක් විදේශගත වන්නේ ඉහළ රාජ්‍ය නිලධාරීන් වුවත් සමාජය ඒ බවක් දන්නේ නැත. නිරතුරුවම සමාජයේ විවේචනයට බඳුන් වන්නේ ඇමැතිවරුන්ගේ රට සවාරි පිළිබඳවය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රසායනික පොහොර ආනයනය නතර කිරීමට තීන්දු කළේ ගොවිතැන පිළිබඳ අබමල් රේණුවක ආදරයකට නොවේ. ඔහුගේ රජයට ඩොලර් සංචිත හීන වූ නිසාය. කොවිඩ් උවදුරත් සමඟ මෙරටට ගලා ආ ඩොලර් ආදායම නතර විය. ඒ සමඟම අප රට සතු විය යුතු විදේශ වත්කම් ද හීන විය. මේ නිසා ආණ්ඩුව ආනයන සීමා කරන ප්‍රතිපත්තියකට මාරු විය. පළමුවෙන් නතර කළේ රසායනික පොහොර ගෙන ඒමය.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මාක්ස්වාදී මූලයකින් යුතු පක්ෂයක නායකයකු ලෙස බලයට පත්වූයේ ඔහු එම මූලය මත රට පාලනය කරනු ඇතැයි බොහෝ සිත්සතන්වල සැක සංකා පළව තිබියදීය. ඔහු බලයට පත්වූ විගසින්ම ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක ප්‍රතිපත්ති මත රට පාලනය කරනු ඇතැයි බොහෝ දෙනාගේ සැක සංකා මිලිනව තිබේ. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලසුමට අනුව ගොඩනගා තිබූ ආර්ථික මොඩලයේම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ද ගමන් කරනු ඇති බවට හෙතෙම ජාතිය අමතා ප්‍රතිඥා දුන්නේය. ඔහු විසින් මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි ජනතාවට නිරතුරුවම සම්බන්ධ වෙන අමාත්‍යංශවලට පත්කර ඇති ලේකම්වරුන්ද රනිල් වික්‍රමසිංහ පාලනය විසින් පත් කරනු ලැබූවන්මය. ඒ ගැන ඔහුට ඡන්දය ප්‍රකාශ කළ ඇතැමුන්ගේ විවේචන ඇතත් බොහෝ දෙනා එම තීන්දු ගැන ප්‍රශංසා පළ කරති.
කුමන පාලන මූලධර්ම මත දේශපාලනය කළ ද, රාජ්‍ය නායකයා ලෙස රට පාලනය කළ යුතු වෙන්නේ පවත්නා ක්‍රමයේම බව ජනාධිපතිවරයා තේරුම්ගෙන තිබීම ක්ෂණික වෙනස්කම් මගින් රට අස්ථාවර වෙනු ඇතැයි සිතූ ජනතාවගේ අස්වැසිල්ලට කරුණකි. ජවිපෙ ඍජුවම දායක වූ 2015 යහපාලන රජය අස්ථාවර වූ හේතුව ජනාධිපතිවරයා පැහැදිලිවම වටහාගෙන ඇති සෙයකි. ඉහළම මට්ටමේ ලේකම්වරුන් ගණනාවක් සිරගත කිරීම හා උසාවි ගෙනයාම නිසා සමස්ත රාජ්‍ය සේවයම කටයුතු කළේ ඇල්මැරුණු ස්වරූපයකිනි. වෙනදා එක් මසකින් අනුමත වෙන සංවර්ධන ව්‍යාපෘති අවුරුදු තුනක් ගතවීත් අනුමත නොවුණු උදාහරණ ඕනෑ තරම් එම රජය යටතේ තිබේ. ඉහළම නිලධාරීන් අමනාප කරගෙන රාජ්‍යය පවත්වාගෙන යා නොහැකි බව යහපාලන රජයෙන් අපට ගත හැකි පාඩමය. දෙවැන්න ගෝඨාභය
රාජපක්ෂ රජයෙනි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට ගොස් නිලධාරීන් අසීරුවට පත්වෙන ආකාරයේ නිරීක්ෂණ ගණනාවක් සිදුකළ අතර ඉන්පසු රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් කටයුතු කළේ නීති පොතේ ඇති දෑ පමණක් ඉටුකරන රාජකාරීන් පමණය. නිලධාරීන් සමඟ වැල් පාලමේ ගමන ඉතා අසීරු බව එම ආණ්ඩු දෙකම අපට
උගන්වන පාඩමය.
දේශපාලකයා උපදෙස් දුන්නද රටේ සියලු දෑ පාලනය කෙරෙන්නේ නිලධාරීන් අතිනි. ජනපති ප්‍රමුඛ ඇමැති මණ්ඩලය ගන්නා තීන්දු ක්‍රියාත්මක වී මහජනතාව ළඟට ගෙනයන්නේ රාජ්‍ය නිලධාරියාය. මොහොතක ප්‍රමාදයකින් තෙල් හිඟයක්, ගෑස් හිඟයක්, පාන්පිටි හිඟයක් ඇතිවුවහොත් ජනතාව දොස් කියන්නේ නිලධාරීන්ට නොව දේශපාලකයන්ටය. එහෙත් මේ සියලු දෑ ඇණවුම් කරන්නේ නිලධාරියාය. එනිසා නිලධාරියාට ආණ්ඩුවක් හෙල්ලුම් කැවීමටද හැකියාව තිබේ.
එකල අමාත්‍යංශ ලේකම්වරුන් පත්වූයේ සිවිල් සේවයෙනි. මේ සිවිල් සේවය වර්තමාන පරිපාලන සේවයට සමාන මුත් තත්ත්වයෙන් ඊට වඩා ඉහළ විය. ලංකා සිවිල් සේවය හැදුණේ බ්‍රිතාන්‍ය යුගයේය. රට අල්ලාගත් මුල් කාලයේ බ්‍රිතාන්‍ය නිලධාරීන් යටත්විජිතවල වූ වස්තුව සිය රට පැටවීම සඳහා අධිරාජ්‍යය විසින්ම එවන ලද කොල්ලකාරයන් වුවද, බ්‍රිතාන්‍යයන් රටේ ස්ථාවර වූ පසු ලංකාවේ නිලධාරීන් ලෙස එවූයේ බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලවල උපාධිධාරී උගත් පිරිසකි. ශ්‍රී වික්‍රම රාජසිංහ දැපනේ දමාගෙන උඩරට රාජ්‍යයම අල්ලා ගැනීම සඳහා ඇම හැටියට යොදාගත් ජෝන් ඩොයිලි, එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ උපාධිධරයෙකි. පසුව උඩරට ප්‍රධාන ඉංගිරිසි නිලධාරියා වූයේද ඔහුය. බ්‍රිතාන්‍ය පාලනය අවසන් වෙද්දී ඔවුන් මෙරටට ඉතා වටිනා සිවිල් සේවයක් හෙවත් නිලධාරී ෙපළැන්තියක් දායාද කර තිබිණ.
නිදහස් ලංකාවේ අමාත්‍යාංශ පාලනය වූයේ සිවිල් සේවයේ නිලධාරීන් අතිනි. අමාත්‍යංශ ස්ථිර ලේකම් ලෙස හැඳින්වූ ඔවුන් සැමවිටම අමාත්‍යංශය පාලනය කළ පුද්ගලයා විය. ඇමැතිවරුන්ට ලේකම්වරයාගේ රාජකාරියට අතගැසිය නොහැකි විය. වර්තමාන අමාත්‍යාංශ පාලනය කෙරෙන ක්‍රමය දෙස බැලූවිට, එදා සිටි ඇමැතිවරුන් අමාත්‍යංශ ලේකම්වරයාට කෙතරම් කීකරුව සිටියේද යත් අලුත් පරම්පරාවට ඒ ගැන පැහැදිලි කිරීමත් අසීරු කාරණයකි. අද අමාත්‍යාංශයට අදාළ ගෘහ භාණ්ඩ තෝරා ගැනීමේ සිට අමාත්‍යාංශය පිරිසුදු කරන ආයතනය තෝරා ගැනීම දක්වා ද සියල්ල කෙරෙන්නේ ඇමැතිවරයාගේ අණ පරිදිය. ලේකම්වරයා කරන්නේ ඇමැති නියම කරන ලැයිස්තුවට අනුමැතිය ලබාදීමය. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් රොත්තක්ම රිමාන්ඩ් සිර මැදිරියේ කූරු ගණන් කිරීම එයට උදාහරණයකි. එහෙත් නිදහස ලැබූ දා සිට හැත්තෑවේ දශකයේ ආරම්භය දක්වා අමාත්‍යංශවල රජ කළේ ස්ථිර ලේකම්වරයාය. මෙරට රාජ්‍ය අංශයේ දූෂණ වංචා අවම සමය වූයේ එකලය.
නිලධාරීවාදයට යට නොවී තමාට වුවමනා හැටියට නිලධාරී තන්ත්‍රයම හසුරුවාගත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් බොහෝ අත්දැකීම් ලබාගත හැකිය. ඔහුගේ සමයේ නිලධාරීන්ගේ ඒකාධිකාරයක් තිබුණේ නැත. ප්‍රේමදාස ජනාධිපතිවරයා කියන දෙයට පිටින් නිලධාරීන් වැඩ කළේ ද නැත. ඔහුගේ කෙටි කාලීන ජනාධිපති ධුර කාලයේ නිලධාරී තන්ත්‍රයට අතිශය වැඩ රාජකාරි පැවරී තිබුණේය. සේවයෙන් ජනතාවට කරගත හැකි දේ වෙනුවෙන් අගනුවරට ඒම වළක්වා, ජනතා ප්‍රශ්න විසඳීමට ජනාධිපති ජංගම සේවයක් සකස් කර සියලු රාජ්‍ය ආයතන එකතු කර රටේ තැනින් තැන ජංගම සේවා පැවැත්වීය. එය අතිශය ප්‍රයෝජනවත් රාජ්‍ය සේවයක් බවට පත් විය. රට පුරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇති කරමින් නගරයට සීමාව තිබූ රාජ්‍ය කාර්යාල ගමට ගෙන ගිය සංකල්පය ද ඔහුගේය. උප්පැන්න පත්ඉරු ආදී සහතික ලබාගැනීම සඳහා එකල පහසුකම් තිබුණේ දිස්ත්‍රික්කයකට එකක් වූ කච්චේරියේ පමණකි. එහෙත් ඔහුගෙන් පසුව රාජ්‍ය සේවය නිලධාරීන්ගේ බූදලයක් බවට පත් විය. ඇතැම් අංශවලින් ආණ්ඩුවේ කටයුතු අඩපණ කිරීමේ හැකියාවක් පවා නිලධාරී තන්ත්‍රයට
ලැබී තිබිණ.
මෙරට ආණ්ඩු කරන්නේ දේශපාලන පක්ෂ නායකයකු වුවද රාජ්‍යය පවත්වාගෙන යන්නේ නිලධාරී තන්ත්‍රයක් මගිනි. දේශපාලකයන් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය නිලධාරීන් විසිනි. සෑම විටෙකම දේශපාලන යාන්ත්‍රණයට චෝදනා එල්ල වුවද නිලධාරී තන්ත්‍රණයට චෝදනා එල්ල වෙන්නේ නැත. මෙරටට ගෙන ආ යුතු බඩු භාණ්ඩ තීරණය කිරීමේ සිට මහජන සුබසාධනය සඳහා ජනාධිපති ඇතුළු දේශපාලකයන් කරන නියෝග ක්‍රියාත්මක කිරීම ඇත්තේ නිලධාරීන් අතය. මෙම නිලධාරී තන්ත්‍රය ශරීරයේ ලේ නහර වැනිය. ආණ්ඩුවක් ජනප්‍රියවීම හෝ අප්‍රසන්නවීම පවත්නේ නිලධාරී තන්ත්‍රය අතය. තමන් බලයට ගෙන ආ ඡන්දදායකයා සමඟ දේශපාලකයාගේ මීළඟ ගනුදෙනුව සිදුවෙන්නේ වසර පහකිනි. ඔහුට මුහුණ දී තවත් වසර පහකට පාලන බලය අතට ගැනීම සඳහා උත්සුක වෙන දේශපාලකයන්ට එම ගනුදෙනුව ඉටුකර ගැනීම සඳහා මාර්ගය හදා දෙන්නේ නිලධාරියාය. නිලධාරී තන්ත්‍රය කරන යම් ප්‍රමාදයක් හෝ යම් අතපසු කිරීමක් හෝ යම් අවුල්සහගතභාවයක් හෝ දේශපාලකයා සහ මහජනතාව අතර ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අවුල් කර දැමීමට
සමත් වෙන්නේය.
නිලධාරීන් සමඟ වැල් පාලමේ කරන ගමන අවිනිශ්චිත වෙන්නේ ඒ නිසාය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රසායනික පොහොර ආනයනය නතර කිරීමට තීන්දු කළේ ගොවිතැන පිළිබඳ අබමල් රේණුවක ආදරයකට නොවේ. එසේම ඔහුගේ රජයට ඩොලර් සංචිත ද හීන වූ නිසාය. මෙරටට ගලා ආ ඩොලර් ආදායම කොවිඩ් උවදුරත් සමඟ නතර විය. ඒ සමඟම අප රට සතු විය යුතු විදේශ වත්කම් ද හීන විය. මේ නිසා ආණ්ඩුව ආනයන සීමා කරන ප්‍රතිපත්තියකට මාරු විය. පළමුවෙන් නතර කළේ රසායනික පොහොර ගෙන ඒමය. ඒ වෙද්දි ඔහුගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබූ “වස විසෙන් තොර ගොවිතැනක්” වගන්ති කිහිපය ක්‍රියාත්මක කරමින් එක රැයකින් රසායනික පොහොර තහනම් කරන තීන්දුවකට එළැඹුණේය. රසායනික පොහොර ආනයනය නවතන මෙම තීන්දුව මුදල් අමාත්‍යංශ සහ මහ බැංකු ඉහළ නිලධාරීන්ගේ තීන්දුවක් මිස අන් යමක් නොවේ. විදේශ මුදල් සැපයුම නතර වූ හැමවිටම මෙරට රජය කර ඇත්තේ ආනයන තහනම් කිරීමය. 1970 බණ්ඩාරනායක මැතිනියගේ රජය ද ආනයන තහනමකින් ඉන්පසු සදහටම බලයට ඒම අහිමි කරගත්තා හා සමානවම ගෝඨාභයගේ රජය ද මෙවැනි තීන්දුවකට එළැඹුණේ නිලධාරීන්ගේ බස් විශ්වාස කිරීම නිසාය. රට පාලනය සඳහා අවශ්‍ය මුදල් සොයාදීම දේශපාලකයන් නොකරන විට නිලධාරීන් කරන්නේ යම් යම් කප්පාදුවලට එළැඹ ගිණුම් සමතුලිත කරගැනීමය. ඔවුන් කරන්නේ රාජකාරියක් නිසා ඔවුන්ට මහජන පීඩනය නොදැනේ. එහෙත් දේශපාලකයා බලයට එන්නේ ඡන්දදායකයා නමැති ඉන්ධනයේ පිහිටෙනි. ඔහුට බලය සැපයෙන්නේ එම ඉන්ධනයෙනි. එම ඉන්ධනය සමඟ තම මිතුරුදම දේශපාලකයා සැමදා තබාගත යුතුය. පොහොර නැතිව, ඉන්ධන නැතිව, ගෑස් නැතිව ඡන්දදායකයාට තම එදිනෙදා ජීවිතය පවත්වාගෙන යා නොහැකිය. එම අත්‍යවශ්‍ය දෑ නොලැබෙන විට ඡන්දදායකයා පාලකයාගෙන් දුරස් වෙයි. නිලධාරියා කියන කියන දේට හිස නවා එය පිළිගැනීමේ ප්‍රතිඵලය වෙන්නේ ඡන්දදායකයා අමනාප වීමය. නිලධාරියාට දේශපාලකයා ඇති කිරීම මෙන්ම නැති කිරීම ද කළ හැකි බව අප කියන්නේ ඒ නිසාය.
දේශපාලකයන්ට වඩා වැඩිපුර වාරයක් විදේශගත වෙන්නේ ඉහළ රාජ්‍ය නිලධාරීන් වුවත් සමාජය ඒ බවක් දන්නේ නැත. නිරතුරුවම සමාජයේ විවේචනයට බඳුන් වෙන්නේ ඇමැතිවරුන්ගේ රට සවාරි පිළිබඳවය. එහෙත් අමාත්‍යංශවල ඉහළ නිලධාරීන්ට විවිධාකාර වැඩසටහන් සඳහා විදේශගතවීමට අවස්ථාව උදා වෙයි. මෙරට රජයේ විවිධ අමාත්‍යාංශවලට ලොව විවිධ රටවලින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, යුනෙස්කෝ සංවිධානයේ, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ වැනි ලෝක වැඩසටහන්වල විවිධ සමුළු සහ සාකච්ඡා වාර සඳහා වසරකට ලැබෙන ආරාධනා ප්‍රමාණය එකක් දෙකක් නොව සිය ගණනකි. ඇතැම් අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, අධිකාරිවල නිලධාරීහු මේ සෑම වැඩසටහනකටම සහභාගි වෙති. මෙම බොහෝ වැඩසටහන් සහ වැඩමුළුවලට එම ආරාධනා කරනු ලබන අදාළ ආයතනයෙන් ගුවන් ටිකට් හා ඉඳුම් හිටුම් සැපයුණ ද හැන්ද තමාගේ අතේ ඇති රාජ්‍ය නිලධාරීහු විදේශ ගමන් සඳහා රජයෙන් ලැබෙන සියලු දීමනා ද ලබාගනිති. අප කරන මෙම සඳහන අමාත්‍යාංශ ලේකම්වරුන් ගැන නොවේ. එයට පහළ සිටින විවිධාකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් හා උපදේශවරුන්ට අදාළය. එවැනි පිරිස දස දහස් ගණනකි. මුදල් අමාත්‍යාංශයේ, මහා භාණ්ඩාගාරයේ, අයවැය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ වැනි ආර්ථිකය හසුරුවන ඉහළම ආයතනවල නිලධාරීන් විවිධාකාර විදේශ නිල සංචාරවල නිරත වෙන ආකාරය ජනතාව පුදුමයට පත්කරවනසුලු ය. මෙම ඇතැම් නිලධාරියකු ඔහුගේ පහළ ශ්‍රේණියේ හැටියට පාවිච්චි කළ නොහැකි තරමේ පෞද්ගලික වාහන දෙක, තුන සිය පෞද්ගලික නිවෙසේ ගොඩගසාගෙන සිටින ආකාරය දකින විට ජාතික ධනය අපතේ යැවීම ගැන සැබැවින්ම දෝෂදර්ශනයට ලක්වෙන්නේ එයට සැබෑ වගකිවයුත්තා ද යන ප්‍රශ්නය
මතු වෙයි.
ශ්‍රී ලංකා ජනරජය සැදී ඇත්තේ මෙවැනි ඉහළ නිලධාරීන්ගෙනි. ඕනෑම ජනාධිපතිවරයකු රාජකාරි කළ යුතු වෙන්නේ මෙම නිලධාරීන් සමඟය. ජනාධිපතිවරයා ලබාදෙන උපදෙසක් නීතියක් බවට පත්ව පහළ පොදු ජනතාව වෙත ගලා යන්නේ මෙම නිලධාරීන් මගිනි. ජනාධිපතිවරයාගේ නියෝගය ජනප්‍රිය තීන්දුවක් බවට පත් කරනවාද නැතිනම් ජනතාවගේ විරෝධයට ලක් කරනවාද යන්න ඇත්තේ මෙම නිලධාරීන් අතය. ඕනෑම සුළු ප්‍රමාදයකින් ජනාධිපතිවරයා සහ රජය මහජන විරෝධයට ලක් කිරීමේ ‘ස්විචය’ ඇත්තේ මෙම නිලධාරීන් අතය. ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ විය යුත්තේ මෙම නිලධාරීන් සමඟය.
අතීතයේ දී මෙන් නොව වර්තමානයේ බොහෝ රාජ්‍ය නිලධාරීන් බිහිවූයේ සරල ගැමි ගොවි පවුල්වලිනි. සම්පූර්ණයෙන්ම නිදහස් අධ්‍යාපනයේ පිහිටෙනි. සරසවි උපාධි ලබා රාජ්‍ය සේවයට පිවිසි පසු පියවරෙන් පියවර උසස්වීම් ලබා රජයේ ඉහළ තානාන්තර ලබාගන්නා මෙම නිලධාරීහු ඉන්පසු ක්‍රමයෙන් මධ්‍යම පන්තියේ ජීවන රටාවකට හුරුපුරුදු වෙති. බොහෝ දෙනාට විදේශ ශිෂ්‍යත්ව හා නිල සංචාර ලැබේ. එමගින් යම්කිසි මුදලක් ඉතිරි කරගන්නා සමහරු වාර්ෂිකව විදේශගත වීම පුරුද්දක් කර ගනිති. එවිට ලැබෙන දීමනා ඉතිරි කරගනිමින් පෞද්ගලික වාහනයක් මිලදී ගෙන පවුලේ දියුණුව කරා ටිකෙන් ටික ළඟා වෙති. මේ නව ජීවිතය සඳහා රාජ්‍ය නිලධාරියාට මුදල් වුවමනාය. ජාවාරම්කාර වෙළෙඳ ප්‍රජාව ඇතුළු බාහිර බලපෑම් නිලධාරීන්ට එල්ල වෙන්නේ එහිදීය. බොහෝ දෙනා මෙම බාහිර බලපෑම්වලට නතු වෙන්නේ මුදල් ප්‍රමුඛ කරගත් ඉහළ යැයි සම්මත සමාජයේ ඉසුරින් යුතුව ජීවත් වීම සඳහාය.
අභිනවයෙන් පත්වෙන ජනාධිපතිවරුන් රාජ්‍ය අංශයේ දූෂණය වැළැක්වීමට කටයුතු කරද්දී ප්‍රධාන බාධාව වෙන්නේ මෙවැනි නිලධාරීන්ය.
එහිදී ජනාධිපතිවරයා ජනතාව අතර හෑල්ලුවට ලක්වෙන තීන්දු තීරණ ගැනීමට මෙවැනි නිලධාරීන් පැකිළෙන්නේ නැත. උදාහරණයක් ලෙස වැඩිහිටි දීමනාව ගතහොත්, රුපියල් දෙදහසක මාසික වැඩිහිටි දීමනාව ලබාගැනීමට වැඩිහිටියා සැතපුම් ගණනක් දුර කාර්යාලවලට කැඳවන්නේ එවැනි නිලධාරීන්ය. රුපියල් දෙදහසක මුදල ලබාගැනීමට රුපියල් හත් අටසියයක වියදමක් දරා ත්‍රිරෝද රියකින් රජයේ කාර්යාලයට යන වැඩිහිටියා ආපසු එන්නේ ජනාධිපතිවරයා ඇතුළු පාලන තන්ත්‍රය කෙරෙහිම කේන්තියෙනි. නිලධාරීන් ඉදිකර ඇති වැල් පාලම තරණය කිරීම ලෙහෙසි හෝ පහසු
හෝ නැත.
මහා පරිමාණ ටෙන්ඩර්වලින් යැපෙන නිලධාරීන්, රටින් බඩු ගෙන ඒමට මුදලාලිලා සමඟ ගිවිසුම්ගතව සිටින නිලධාරීන් පාලනය ලෙහෙසි නැත. රට හැදෙන්නේ එවැනි නිලධාරීන් ඉවත් කර සාධාරණ නිලධාරීන් පත් කිරීමෙන් පමණය. එදා අගමැති බණ්ඩාරනායක හමුවේ තිබූ අභියෝගය ම අද ජනපති අනුර කුමාර දිසානායක හමුවේත් ඇති බව අපගේ නිගමනය ය.
ප්‍රේමකීර්ති රණතුංග