නිශ්චිත කාලයකට එකට එක්විය යුතුමයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

 ඩලස් අලහප්පෙරුම

  • අපේ රටේ තියෙන්නේ අවංකකම පිළිබඳ අර්බුදයක්  
  • ජනතාව  නායකයන් පිළිගන්නේ නෑ    පක්ෂ විශ්වාස  කරන්නේ නෑ

 

පසුගිය සමයේ අගමැති ධුරයට පවා නම කියැවුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද ගුප්ත නිහැඬියාවකය. ඒ ඇයි? මේ ඒ ගැන විමසමින් ඒ මහතා සමග කළ සාකච්ඡාවකි.   

ප්‍රශ්නය- ඔබේ හඬ ඇහෙන්නේ නෑ. මොකද නිහඬ?   


පිළිතුර- ඔබට වගේම බොහෝ දෙනාට එය ඝෝෂාවක් විදියට දැනිලා ඇති. නිහඬ බව කියන්නෙම ඝෝෂාවක පෙරවදන.   


ප්‍රශ්නය-   ඔබත් 225න් එක්කෙනෙක්?   


පිළිතුර- ඔව්! ඒ සම්බන්ධයෙන් මම ආඩම්බර වෙනවා. ඒ වගේම ලජ්ජා වෙනවා.   


ප්‍රශ්නය- උත්තරය එහෙම් පිටින්ම අපබ්‍රංසයක්?   


පිළිතුර- ආඩම්බර වෙන්නේ පාර්ලිමේන්තුවේ 225 තුළ සුළුතරය පිළිබඳව. ලජ්ජා වෙන්නේ මිලියන 16ක ඡන්ද දායකයන්ගේ බහුතරය පිළිබඳව.   


ප්‍රශ්නය- අගමැති ධුරයට ඔබේ නමත් යෝජනා වුණා. නමුත් අන්තිම මොහොතේ ඒක ගහලා ගියා?   


පිළිතුර- මිලියන 22ක් කැමැති වුණත් වැඩක් නෑ. ජනාධිපතිවරයා අකමැතිනම්. ඒකනේ අපේ ව්‍යවස්ථාව කියන විදිය. එතුමාගේ කැමැත්ත වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.   


ප්‍රශ්නය-  ඇත්තටම එතැන මොකද්ද වුණේ?   


පිළිතුර- ඒක දිග කතාවක්.   


ප්‍රශ්නය- දිග වුණත් ඒක ඉතිහාසයට වටිනවා?   


පිළිතුර- විමල්, වාසු, උදය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 11 අප්‍රේල් 8 වැනිදා ජනාධිපතිතුමාට යෝජනාවලියක් බාර දුන්නා. මෙම අර්බුදයට විසඳුම් මාර්ගයක් පෙන්වමින්. ඒකෙන් තමයි ඔය සර්ව පාක්ෂික ආණ්ඩුව කියන යෙදුම මතුවෙන්නේ. මා දන්නා තරමින් එහි යෝජනා 21ක් තිබුණා. අගමැති, ඇමැති මණ්ඩලය සහ අමාත්‍යංශ ලේකම්වරුන් තෝරාපත් කළ යුත්තේ ජනාධිපතිවරයාද මූලිකත්වය දරණ ජාතික සභාව විසින් බව එහි ප්‍රමුඛ යෝජනාවක්.   


ප්‍රශ්නය-  ජනාධිපතිවරයා ඒක පිළිගත්තද?   


පිළිතුර- ඔව්! ජනාධිපතිවරයා ඒක පිළිගත්තා. නමුත් කුමන්ත්‍රණකාරීව එය ක්‍රියාත්මකවීම නතර කෙරෙව්වා.   
ප්‍රශ්නය- කවුද කුමන්ත්‍රණකරුවෝ?   


පිළිතුර- හඳුනාගත් මුහුණු කිහිපයක් තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට බැසිල් රාජපක්ෂ මහත්මා දැනුම් දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉවත් කරන්නේ නම් පක්ෂයෙන් වෙනත් අයකු නම් නොකරන බව. ඒ වගේම එහෙම ඉවත් කිරීමකට අකමැති බවත් දැනුම් දුන්නා. ඊට අමතරව පක්ෂ 11 නායක රැස්වීමේදී නිමල් සිරිපාල ඇමැතිතුමා විරෝධ්‍ය පළ කළා.   


ප්‍රශ්නය-  ඔහු මොකද කිව්වේ?   


පිළිතුර- එතුමා කිව්වේ ජ්‍යෙෂ්ඨත්වයට අනුව අගමැති ධුරයට සුදුස්සා එතුමා බවයි. එහෙම කියලා එතුමා නැගිටලා ගියා. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිතුමා සුපුරුදු ‘රිවස් ගියරය’ පාවිච්චි කළා. පක්ෂ එකොළහේ ඒකමතික යෝජනාවලිය කුණු කූඩයට දැම්මා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිතුමා තුළ හෝ පවුල තුළ චෙස් ක්‍රීඩාවේ මෙන් 'Extra Knight' වරයකු ලෙස හිටි බව පසුවයි තේරුම් ගන්නේ.   


ප්‍රශ්නය- කොහොම වුණත් ඔය ඔබ කියන කුමන්ත්‍රණය ඔබට දැන් වෙස් වළාගත් ආශිර්වාදයක් කියලා මම කිව්වොත්?   


පිළිතුර- මට සෙත් කවියක් වෙලා වැඩක් තියෙනවද රටට වස් කවියක් වෙලා.   

ප්‍රශ්නය- ඒ කියන්නේ අගමැතිවරයා ගැන ඔබේ ස්ථාවරය සජබයේ ස්ථාවරයමද?   


පිළිතුර- අපෝ නැහැ. ව්‍යවස්ථාව අපයෝජනය කරමින් ඔහු පත් කළත් ඔහුට හා කැබිනට් මණ්ඩලයට වෙට්ටු නොදා යම් කාලයක් දිය යුතුයි. දශකයක විනාශය මාස දෙකකින් ගොඩදාන්න පුළුවන් කාටද? නමුත් ගොඩ එන්න සැලසුමක් ඕනෑ.   


ප්‍රශ්නය- ඔබ කියන්නෙත් ආණ්ඩුව අසමත් කියලද?   


පිළිතුර- සමත් කියලා කියන කෙනෙක් ඔබට දැනිලා තියෙනවද? නමුත් ඒ එක්කම අපි පිළිගන්න ඕනෑ, කිසිම නායකයකුට කිසිම පක්ෂයකට තනි තනිව මේ අර්බුදයට මුහුණ දිය නොහැකි බව මෙන්ම උත්තර ලබාදිය නොහැකි බවත්.   


ප්‍රශ්නය- ඔය ඔබ ආවේ වෙනත් භාෂාවකින් කිව්වේ එකම විසඳුම සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියන තැනට නේද?   


පිළිතුර- මම වෙනත් කිසිම භාෂාවකින් කතා කරන්නේ නෑ. පිරිසුදු සිංහලෙන් කියන්නේ. අර්බුදයකදි එහි දිග පළල ගැඹුර පිළිබඳව පාර්ශ්ව අතර සමාන මතයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේම එයින් ගොඩ එන මාර්ගය පිළිබඳවත් විවිධ විසඳුම් මාර්ග යෝජනා වෙනවා. අප සියලු‍ දෙනාම මේ අර්බුදයේ කොටස්කාරයන් බව අමතක නොකර සාමූහිකව අර්බුදය පිළිබඳව නිවැරැදි අවබෝධයක් කියැවීමක් ලබාගෙන නිශ්චිත කාලයකට එකට එක්විය යුතුමයි. ඒකට ඕනෑම නමක් දාගන්න.   


ප්‍රශ්නය- ඔබට අනුව රටේ තියෙන්නේ ආර්ථික අර්බුදයක්ද? දේශපාලන අර්බුදයක්ද?   


පිළිතුර- ඔය එකක්වත් නොවෙයි. අපේ රටේ තියෙන්නේ අවංකකම පිළිබඳ අර්බුදයක්. රටට මිනිසුන්ට වංක වීමේ විවිධ ප්‍රකාශනයි අපි මේ අත්විඳිමින් ඉන්නේ. ජනතාව නායකයන් පිළිගන්නේ නෑ. පක්ෂ විශ්වාස කරන්නේ නෑ. දශක ගණනාවක චෞර සංස්කෘතියක අවසන් පරිච්ඡේද කිහිපයක් මේ ලියමින් පවතින්නේ.   


ප්‍රශ්නය- එතකොට ඔබ ඉන්නේ කොතැනද?   


පිළිතුර- මම ඉන්නේ විත්ති කූඩුවේ   


ප්‍රශ්නය- ඔබ කිව්වා ජනතාව කිසිම පක්ෂයක් විශ්වාස කරන්නේ නෑ කියලා. ඒක පොහොට්ටුවටත් අදාළයි?   


පිළිතුර- යකඩ ගෝනියට ගුල්ලෝ ගහපු තැනට පුළුන් ගෝනිය ගැන විශේෂයෙන් අහලා වැඩක් නෑ. 

 

ප්‍රශ්නය-  අපි දැක්කා ඔබ මැතිවරණ කොමිසමට ගිහින් කියනවා ‘ලංකාවේ දැන් පක්ෂ නෑ’ කියලා. මොකද්ද? ඒකේ තේරුම?   


පිළිතුර- මම කිව්වේ ඉතිහාසයෙ තිබුණ පක්ෂ දැන් නැහැ. දැන් තියෙන්නේ කිසියම් නායකයෙක් වටේ ඉන්න කල්ලියක් මිස පක්ෂ ව්‍යුහයක්, සම්මේලන ප්‍රජාතන්ත්‍රවාදී නියාමන කිසිවක් නෑ.   

ප්‍රශ්නය-  එතකොට පොහොට්ටුව?   


පිළිතුර- අනිවාර්යයෙන්ම අදාළයි. ඔබට පුළුවන් පරීක්ෂණයක් කරලා බලන්න. අපේ ඕනෑම

මන්ත්‍රීවරයකුගෙන් අහන්න කවුද පක්ෂයේ භාණ්ඩාගාරික කවුද පක්ෂයේ උප සභාපති, කවුද උප ලේකම්, කවදද පක්ෂ සම්මේලනයක් තිබ්බේ කියලා. මම වගේම ඔය කිසි කෙනෙක් ඒ ගැන දන්නේ නැති බව ඔබට වැටහේවි. මේක මැතිවරණ කොමිසමේ වැරැද්දක්. පක්ෂයක් කියන්නේ මහජන දේපොළක්. ඒ නිසා පක්ෂයක් ලියාපදිංචි කරනකොට නිවැරැදිම තොරතුරු ලබාගත යුතුයි. අපේ රටේ ලියාපදිංචි පක්ෂ 76න් පක්ෂ 52ක් කිසිම ජාතික මැතිවරණයකට තරග කරලා නෑ. මේ විකෘතියෙ වගකීම මැතිවරණ කොමිසම භාරගත යුතුයි.   
ප්‍රශ්නය- නව දේශපාලන පක්ෂයක අවශ්‍යතාවද ඔබ “වහෙන් ඔරෝ’ විදියට කියන්නේ?   


පිළිතුර- මම කවදාවත් ‘ඔහෙන් වරෝ’ මිස හංඟලා කියන්නේ නෑ. රටට නව දේශපාලන කියැවීමක් අවශ්‍යයි. සැබැවින්ම අවංක, දක්ෂයන්ට නිසි තැන ලැබෙන පවුලකට හෝ කණ්ඩායමකට කේන්ද්‍ර නොවන වගේම 21 වැනි සියවසේ අවශ්‍යතාවයන් තේරුම්ගත් නව ලෝක රටාවෙන් සන්නද්ධ වූ පෙරමුණක අවශ්‍යතාව තදින්ම අද දැනෙනවා නේද?   


ප්‍රශ්නය-  එතකොට මේ කඩා වැටිච්ච ආර්ථිකය?   


පිළිතුර- ආර්ථිකය සහ අධ්‍යාපනය තමයි සැම දේශපාලන න්‍යාය පත්‍රයකම ඉහළින්ම තියෙන්න ඕනැ. ආනයනය හා අපනයනය අතර තිබෙන පරතරය කොහොමද නැති කරන්නේ කියන එක තමයි පළමු කොන්දේසිය විය යුත්තේ. ණය සහ ආධාර මත යැපුණ කොල්ලකාරි සංස්කෘතියට අභියෝග කළ යුතුමයි. ඒ වෙනුවෙන් කඩිනමින් ප්‍රධාන පෙළේ විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට සුදුසු පරිසරයක් සකස් කළ යුතුයි. මෙතැනදී විශ්වසනීයත්වය ඉතා වැදගත් වෙනවා. ඒ වෙනුවෙන් නෛතික හා දේශපාලනික විධිමත් පරිසරයක් ඇති කළ යුතුයි.   


ප්‍රශ්නය- මොනවද ඔබ ඒ සඳහා හඳුනාගත් ප්‍රමුඛතා?   


පිළිතුර- ක්ෂණිකවම පොසිල ඉන්ධන මත දහනය වන අපේ ආර්ථිකය මුදා ගැනීම. විශේෂයෙන් පොදු ප්‍රවාහනය ශක්තිමත් කර බහුතර ජනතාව ආකර්ෂණය කර ගැනීම. අමතක කරන්න එපා අපි මාසිකව ඩොලර් මිලියන 550ක් ගෙවලා ගෙන්වන ඉන්ධනවලින් සියයට 74ක්ම සිත් පිත් නැති විදියට බීලා දාන්නේ අවිධිමත් ප්‍රවාහනයේ බව. 2025 වෙනකොට සංචාරකයන් මිලියන දෙක හමාරක් මෙරටට ගෙන්වා ගැනීම, පුහුණු ශ්‍රමිකයන් ලක්ෂයක් වාර්ෂිකව විදෙස් වෙළෙඳපොළට යැවීම වගේම තොරතුරු තාක්ෂණය මත පදනම් වූ රැකියාවන් සඳහා වූ යටිතල පහසුකම්, යාන්ත්‍රණය, අධ්‍යාපනය ලබාදීම ප්‍රමුඛතා ලේඛනයේ ඉහළින්ම තිබිය යුතුයි.   

ප්‍රශ්නය- ඔබ අධ්‍යාපනය ගැන කතා කළා. ආපහු පාසල් විශ්වවිද්‍යාල වහලා. ඇත්තටම දුකක් නැද්ද රටේ දරුවෝ ගැන. මහජන නියෝජිතයෙක් හැටියට?   


පිළිතුර- පාර්ලිමේන්තු නියෝජිතයෙක් විදියට ලජ්ජයි. තාත්තා කෙනෙක් විදියට දුකයි. පුරවැසියෙක් විදියට කනගාටුයි. මොකද මේ වත්මන් අර්බුදයේ ඉඳුරාම වින්දිතයෝ බවට පත් වෙලා තියෙන්නේ අපේ දූ පුතුන්, අද ඊයේ නොවෙයි. පාස්කු දින ප්‍රහාරය කොවිඩ් වසංගතය මේ හැම දෙයකින්ම විශාලම පාඩුව වුණේ දරුවන්ට. වසර තුනක් පුරාවට අහිමි වූ ඉගෙනුම් කාලය පමණක් නොවෙයි අහිමිවූ විෂය බාහිර කරුණු බිලිඳුන්ගේ පෙර පාසල් අධ්‍යාපනය මේ සියල්ලම අහිමි වුණා. මේ කිසිවක හානිය ගණනය කළ නොහැකිය.   


ප්‍රශ්නය-  ඔබ හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙක්. කනගාටුවෙලා දුක්වෙලා විතරක් වැඩක් තියෙනවද?   


පිළිතුර- මට ‘ඉසුරුපායේ’ ඔය පුටුවෙ ඉන්න දුන්නේ හරියටම මාස නවයයි. ඒ මාස නවය තමයි මගේ දේශපාලන ජීවිතයේ ස්වර්ණමය පරිච්ඡේදය. ඒ වගේම තෘප්තිමත්ම කාලයක එදා ගත් ඇතැම් ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරන්න දුන්නා නම් දරුවන්ට මීට වඩා හොඳ දියුණු වටපිටාවක් වනවා ඒකාන්තයි.   


ප්‍රශ්නය- ඔබගේ උත්තරය තුළ කියැවුණේ ‘මට ඉසුරුපායෙ ඉන්න දුන්නේ’ කියලයි. ඇයි කවුරුවත් ඇදලා දැම්මද?   


පිළිතුර- ඒක රටට රහසක් නෙවෙයි. ඔබට රහසකුත් නොවෙයි. සරලව කිව්වොත් පසුගිය මහ මැතිවරණයේදී මාතර ඇතැම් වේදිකාවල මැතිවරණ පොරොන්දුවක් වුණ අගෝස්තු 6 වැනිදාට පසුව සිදුවන දේ ගැන. කොහොම වුණත් මම ඒක බාධාවක් ලෙස දකින්නේ නෑ. මගේ මවත් පියත් විදුහල්පතිවරුන්. පසුගිය සතියේදිත් මම පාර්ලිමේන්තුවට යෝජනා කළා දරුවන්ගේ අධ්‍යාපනයට අදාළ ගැටලු‍ කඩිනමින් විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට සහාය වීමට තේරීම් කාරක සභාවක් පිහිටුවන්න කියලා. දැන් බලන්න ලක්ෂ 12ක් පාසල් දරුවන්ට දැන් වසර දෙකකින් දිවා ආහාරය ලැබිලා නෑ. රාජ්‍ය පාලනයෙ සියලු‍ ප්‍රතිපත්ති සැකසිය යුත්තේ දරුවන් කේන්ද්‍ර කරගෙනයි. දරුවන් අධ්‍යාපනය තුළ රඳවා ගැනීමටයි.   


ප්‍රශ්නය- ඔබ ආර්ථිකය ගැන කතා කළා. නමුත් සුදු අලි බවට පත්ව තිබෙන අති දූෂිත රාජ්‍ය ආයතන ගැන කතා කළේ නෑ. බොහෝ දේශපාලනඥයන් බයයි මනාප නැතිවෙයි කියලා රාජ්‍ය සේවය ගැන කතා කරන්න?   


පිළිතුර- කිසිම පැකිලීමක් නෑ. ඒ ගැන කතා කළ යුතුමයි. විශේෂයෙන් ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත නොකර නව ආර්ථික මොඩලයන් ආදේශ නොකර අපට අනාගතයක් නෑ. දැන් උදාහරණයක් විදියට ටෙලිකොම් ආයතනය දිහා බලන්න. ඒක මංගල සමරවීර හිටපු ඇමැතිතුමා ගෙනාපු හොඳ මොඩල් එකක්. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව නම් තවම තියෙන්නෙ දුරකථනයක් ගන්න අරවුරුද්දක් දෙකක් පෝලිමේ ඉන්න වෙනවා. අයිතිය මුළුමනින්ම අන්සතු නොකොට කාර්යක්ෂම ලාභදායි රාජ්‍ය ව්‍යුහයක්. මම වෘත්තිය පුහුණු ඇමැතිවරයා විදියට 2012 දි හරිත සරසවිය (NSBM) හැදුවා. අද බලන්න වසරකට පිටරට ගිය දරුවන් තුන් දහසක් රට තුළ හොඳින් ගත කරනවද? රැකියා හිමිවීම සියයට 94යි. මේ ආයතන දෙක ප්‍රතිසංස්කරණයට හොඳ මොඩල් දෙකක්.   


ප්‍රශ්නය- 21 වැනි සංශෝධනය ගැන කතා බහ නතර වෙලාද?   


පිළිතුර- ඇයි නතර කරන්නේ? අපේ අතින් වෙච්ච වැරැද්ද අප විසින්ම නිවැරැදි කළ යුතුයි.   


ප්‍රශ්නය- එමගින් ජනාධිපතිවරයා සහ එම ධුරය තවත් ශක්තිමත් කෙරෙන බවට චෝදනාවක් තියෙනවාද?   


පිළිතුර- ඒ නොදන්නාකමට. මම විශ්වාස කරන ආකාරයට ‘විධායක ජනාධිපති ධුරය වෙනස් කළ යුතුමයි' නැවතත්, නැවත නැවතත් ඔප්පු කර තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය රටට කොඩි විනයක් බවයි. මැතිවරණ ක්‍රමය හා 13 වැනි සංශෝධනය එය මත ගැට ගසා ඇති නිසා එම ගැට ලිහමින් කටයුතු කළ යුතු වෙනවා. 21 වැනි සංශෝධනය මගින් එහි අතරමැදි කාර්ය භාරයක් ඉටු කරාවි. කෙටි කාලීනව එයත් දිගු කාලීනව අත්තනෝමතික ජනාධිපති ධුරය අහෝසි කිරීමත් එකට කියවමු.   


ප්‍රශ්නය- 21 සංශෝධනයෙ ඇත්ත අරමුණ බැසිල් රාජපක්ෂගෙ ද්විත්ව පුරවැසිභාවය පදනම් කරගෙන ඔහු ඉවත් කිරීම?   


පිළිතුර- ඔහුගේම සහෝදරයා එහෙම කරයි කියලා හිතනවද?   


ප්‍රශ්නය- ඉක්මන් මැතිවරණයක් ගැන ඔබගේ අදහස?   


පිළිතුර- මේ මොහොතෙ මහ මැතිවරණයක් කියන්නේ තනිකරම මනෝ විකාරයක්. පළමුවෙන්ම හෙට දවස ගැන භය නැතිව හෙට නින්දට යන්න පුළුවන් පරිසරය ගොඩනැගිය යුතුයි.   


ප්‍රශ්නය- මේ පාර්ලිමේන්තුවට අනාගතයක් තියේවිද?   


පිළිතුර- මම අංජනම් කාරයෙක් හෝ පේන කාරයෙක් නෙවෙයි. නමුත් මෙහෙම නම් යන්නේ වාහනේ ගහේ හැප්පෙන එක වළක්වන්න අමාරුයි.   


ප්‍රශ්නය- පොදුවේ දේශපාලකයාගේ වගකීම ගැන ඔබත් ඇතුළුව කතා කළොත්?   


පිළිතුර- වේගයෙන් ප්‍රපාතයට යන වාහනයේ සුක්කානමට පොර කන්නේ නැතිව ‘බ්රේක්’ එක පාගන්න උනන්දුවන්න. ඉක්මන් ​ෙවන්න.   

 

 

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්