නිෂ්පාදනයත් අපනයනයත් දිනෙන් දින පල්ලම් බහින ලංකාවේ තේ කර්මාන්තය


  • 2013 සිට 2023 කාලයේදී තේ නිෂ්පාදනය සියයට 25 කිනුත් තේ අපනයනය සියයට 24 කිනුත් කඩා වැටිලා.
  • 2013 සිට 2023 කාලයේ තේ නිෂ්පාදනය කඩා වැටුණු නිසා රටට අහිමි වී ඇති මුදල ඩොලර් බිලියන 2 කට වැඩියි.
  • ‍2013 දී ලෝක වෙළෙඳපොළට සියයට 7 ක තේ ප්‍රමාණයක් අපනයනය කළ ලංකාව 2023 දී අපනයනය කර ඇත්තේ සියයට 4 ක් පමණයි.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සහ අපනයනය පහත වැටී ඇති බවට සංඛ්‍යා දත්ත සහිතව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි. එබැවින් අපි මෙරට තේ කර්මාන්තය ගමන් කරමින් සිටින දිසාව ගැන මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා සමග සවිස්තර දත්ත සමගින් විමසා බැලීමක් කළෙමු. මේ එහි සටහනයි.
මෙරට තේ කර්මාන්තයේ කඩාවැටීමක් පසුගිය කාලය පුරා දැක ගත හැකි විය. 2013 වෙනවිට තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 340,000 ක් විය. එය 2015 අවසන් වෙද්දී මෙට්‍රික් ටොන් 328,800 දක්වා පහත බැස තිබුණි. තේ නිෂ්පාදනය තවත් පහළ යමින් 2017 වෙන විට එම අගය සටහන් වූයේ මෙට්‍රික් ටොන් 307,060 ක් වශයෙනි. 2020 දී එය 278,489 ක් දක්වා තවත් අඩු විය. 2022 දී මෙට්‍රික් ටොන් 251,499 දක්වාත්, 2023 දී මෙට්‍රික් ටොන් 256,039 දක්වාත් පහත බැස තිබුණි. 2013 ට සාපේක්ෂව 2023 දී තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 83,961 න් පහළ ගොස් ඇත. මේ සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වෙන්නේ සෑම වසරකම තේ නිෂ්පාදනය පහළ බැස ඇති බවය.


 එසේ තේ නිෂ්පාදනය අඛණ්ඩව අඩු වීම නිසා සිදු වූ පාඩුව අපි ගණනය කළෙමු. එහිදී වසරක දී තේ නිෂ්පාදනය අඩු වූ අගය අදාළ වසරේදී තේ මෙට්‍රික් ටොන් එකක් සඳහා පැවති වටිනාකමින් නිමානය (ගුණ කිරීමෙන්) කළෙමු. එවිට තේ නිෂ්පාදනය පහළ යෑම නිසා කොපමණ වටිනාකමින් යුතු තේ ප්‍රමාණයක් අහිමි වී ඇත්ද යන්න දැන ගත හැකි විය. රුපියල් බිලියන 511 (ඩොලර් බිලියන 2.18 ක්) ක පමණ වටිනාකමකින් යුත් තේ ප්‍රමාණයක් අදාළ කාලයේදී රටට අහිමි වී ඇති බව එහිදී හෙළි විය. 
තේ නිෂ්පාදනය පහළ යෑමට සාපේක්ෂව තේ අපනයනයත් අඩු වී ඇත. 2013 දී අපනයනය කර ඇති මුළු තේ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 319,700 කි. එම අගය 2015 වෙනවිට මෙට්‍රික් ටොන් 306,900 දක්වා අඩු විය. 2017 වෙද්දි එය තවත් පිරිහෙමින් 289,000 දක්වා අඩු වී තිබිණි. 2020 දී මෙට්‍රික් ටොන් 265,569 දක්වාත්, 2022 දී මෙට්‍රික් ටොන් 250,191 දක්වාත්, 2023 වෙනවිට මෙට්‍රික් ටොන් 241,912 දක්වාත් තේ අපනයනය අඛණ්ඩව පහත වැටී ඇත. 2013 ට සාපේක්ෂව 2023 දී තේ අපනයනයේ පහළ යෑම මෙට්‍රික් ටොන් 77,788 කි. තේ නිෂ්පාදනය හා අපනයනයට අදාළ මේ සංඛ්‍යා දත්ත තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වෙන්නේ අදාළ කාලයේදී තේ නිෂ්පාදනය සියයට 25 න් ද තේ අපනයනය සියයට 24 කින් ද පහළ ගොස් ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස රටට ඩොලර් බිලියන 2කට වැඩි මුදලක් අහිමි වී ඇතත් කිසිවෙකුගේ අවධානය ඊට යොමු වී ඇති බවක් නොපෙනේ.


ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය දිගු ඉතිහාසයකට දිවෙන අතර යටත්විජිත අවධියේ දී එය ආරම්භ විණි. පසුව ශීඝ්‍රයෙන් දියුණු වූ අතර නිදහස ලබන අවධිය වෙනවිට තේ පදනම් කර ගත් ආර්ථිකයක් ද ගොඩනැගී තිබිණි. තේවලින් රටට ආදායම් ලැබුණ ද 2013 වෙද්දී ලෝකයේ ඉහළම තේ සැපයුම්කරුවන් අතර ලංකාව පසුවූයේ 4 වැනි ස්ථානයේය. එහිදී ලෝක වෙළෙඳපොළට තේ සපයන රටවල් අතර පළමු තැන පසුවූයේ චීනයයි. චීනය එම වසරේදී ලෝක වෙළෙඳපොළට සැපයූ තේ ප්‍රමාණය සියයට 38 කි. දෙවැනි තැන සිටි ඉන්දියාව සියයට 24 ක් ද තෙවැනි තැන පසු වූ කෙන්යාව සියයට 9 ක් ද වශයෙන් ලෝක වෙළෙඳපොළට තේ අපනයනය කර ඇත. එම වසරේදී ශ්‍රී ලංකාව සියයට 7 ක ප්‍රමාණයක් තේ සැපයුවේය. එම ලැයිස්තුවේ තුර්කිය (සියයට 5 ක්),  වියට්නාමය (සියයට 4 ක්), ඉන්දුනීසියාව (සියයට 3 ක්), ජපානය (සියයට 2ක්), බංග්ලාදේශය (සියයට 1 ක්), උගන්ඩාව (සියයට 1) යන රටවල් ශ්‍රී ලංකාවට පසු වැඩියෙන්ම ලෝක වෙළෙඳපොළට තේ සැපයූ රටවල් බවට පත් විය. 
2022 දී චීනය තවදුරටත් මේ ලැයිස්තුවේ අංක එකේ පසුවෙමින් ලෝක වෙළෙඳපොළට සැපයූ තේ ප්‍රමාණය වැඩි කරගෙන ඇත. ඒ අනුව, එම වසරේ දී චීනය ලෝක වෙළෙඳපොළට අපනයනය කර ඇති මුළු තේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සියයට 49 කි. එම වසරේදී ඉන්දියාව සියයට 21 ක් ද කෙන්යාව සියයට 8 ක් ද ශ්‍රී ලංකාව සියයට 4 ක් ද වශයෙන් ලෝක වෙළෙඳපොළට තේ අපනයනය කර ඇත. එයින් පැහැදිලි වෙන්නේ චීනය හැර සෙසු රටවල තේ අපනයනය පහත ගොස් ඇති බවය. 2013 දී ලෝක වෙළෙඳපොළට සියයට 7 ක් තේ සැපයූ ශ්‍රී ලංකාව 2022 දී සපයා ඇත්තේ සියයට 4 ක් පමණි.
මෙරට තේ කර්මාන්තය සැලකීමේදී එහි ප්‍රධාන කොටස් දෙකක් හඳුනාගත හැකිය. පළමුවැන්න, ප්‍රාදේශීය තේ වතු සමාගම්ය. 1992 දී එතෙක් රජය සතුව පැවති මහා පරිමාණ තේ වතු ප්‍රාදේශීය වතු සමාගම් 22 කට බෙදන ලදී. එම සමාගම්වල කළමනාකාරීත්වය පෞද්ගලික අංශයට පැවරීම ද එයින් සිදු විණි. මේ ක්‍රියාවලියත් සමගම තේ නිෂ්පාදනය කොටස් දෙකකට බෙදිණි. එනම්, මහා පරිමාණ තේ වතු හිමියන් සහ කුඩා තේ වතු හිමියන් වශයෙනි. කුඩා තේ වතු හිමියන් ඔවුන්ගේ තේ ඉඩම් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතුය. මෙරට වාර්ෂික තේ නිෂ්පාදනයෙන් සියයට 75 ක් පමණ එන්නේ කුඩා තේ වතු හිමියන්ගෙනි. 2022 වෙනවිට කුඩා තේ වතු මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 158,060 ක් විය. කුඩා තේ වතු හිමියන් ගණන 418,530 කි.
කුඩා තේ වතුවල හා ප්‍රාදේශීය තේ වතු සමාගම්වල නිෂ්පාදන ඵලදායීතාව පහළ මට්ටමක පවතී. සාමාන්‍ය ඵලදාව එනම්, හෙක්ටයාර් එකකින් නිමි තේ කිලෝ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නේ ද යන්න සලකා බැලුව හොත් 2019 වෙන විට හෙක්ටයාර් එකකින් නිෂ්පාදනය කර ඇති නිමි තේ ප්‍රමාණය කිලෝ 1,938 කි. 2020 දී එම අගය 1,766 දක්වාත් 2021 දී 1,414 දක්වාත් 2022 දී 1,200 දක්වාත් අඛණ්ඩව අඩු වී ඇත. මෙරට තේ කර්මාන්තය ලෝක වෙළෙඳපොළේ තරගාකාරීව ඉදිරියට යෑමට නම්, ඵලදායීතාව වැඩි විය යුතුය. එහෙත් ඵලදායීතාව පහළ ගොස් ඇති බව ඉහත දත්ත පිරික්සීමේදී පෙනේ. එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ.
තේ ආර්ථිකය ඇතුළත හඳුනාගත හැකි ප්‍රශ්න කිහිපයක් තිබේ. වතුකරයේ ඇති ප්‍රශ්න, ප්‍රාදේශීය තේ වතු සමාගම් රට ගැන නොසිතා ඒවායෙහි පෞද්ගලික අරමුණු ගැන පමණක් සැලකිලිමත් වෙමින් කටයුතු කිරීම, අලුත් තේ ගස් පැළ නොකර අවුරුදු හැට හැත්තෑව පරණ තේ ගස්වලින් තේ නෙළීම, තේ නෙළීමේ කටයුතු සඳහා නව තාක්ෂණය අවම වශයෙන් යොදාගැනීම, අඛණ්ඩව ඉහළ යන පිරිවැය සහ ශ්‍රම හිඟය යනු ඒ අතරින් කිහිපයකි. ඒවා විසඳීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ නොගැනුණි. එබැවින් රටට ඉතා අවාසි සහගත තත්ත්වයක් උදා වී තිබේ. ඊට අමතරව දේශගුණික වෙනස්කම්, ශ්‍රම වෙළෙඳපොළෙහි උද්ගතව ඇති වෙනස්කම් මේ ආදිය ද තේ කර්මාන්තයට බලපායි. මේ සියලු තත්ත්ව හමුවේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ලෝක වෙළෙඳපොළත් සමග තරගකාරීව ඉදිරියට ගෙන යෑමට මෙතෙක් අපි අසමත් වී සිටිමු.


චීනය, ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවල් තේ කර්මාන්තය සඳහා තාක්ෂණය මනා ලෙස යොදාගනියි. තේ වගා කරන භූමියෙහි ස්වභාවය, දේශගුණික හා කාලගුණික තත්ත්ව සහ ශ්‍රම වෙළෙඳපොළවල්හි ස්වභාවය යන සාධක ගත් විට ශ්‍රී ලංකාවෙහි තත්ත්වය ඉහත සඳහන් කළ රටවලට වඩා වෙනස්ය. අපේ භූමියට, පසට සහ දේශගුණයට ගැළපෙන තාක්ෂණ විධි මොනවාද යන්න ගැන අපි අධ්‍යයනය කළ යුතු වෙමු. ඊට අදාළ පර්යේෂණ ආයතන සහ රාජ්‍ය ආයතන තිබුණ ද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වෙන බවක් නොපෙනේ. තේ නැවත වගා කිරීම වෙනුවෙන් STaRR නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර ඒ යටතේ තේ නැවත වගා කිරීම සඳහා දිරි දීමනා ලබා දීමක් සිදු කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2019 වෙන විට හෙක්ටයාර් 787 ක භූමි ප්‍රමාණයක අලුතින් තේ වගා කිරීම සඳහා දිරි දීමනා ලබා දී තිබිණි. 2020 දී හෙක්ටයාර් 946 ක ද 2021 දී හෙක්ටයාර් 1,466 ක ද 2022 දී හෙක්ටයාර් 1,596 ක ද වශයෙන් අලුතින් තේ වගා කිරීම සඳහා දිරි දීමනා ලබා දුන්නේය. ඊට අමතරව තේ අලුතින් වගා කිරීම වෙනුවෙන් ද රජය විටින් විට වැඩසටහන් ක්‍රියාත්මක කළේය. ඒවා යටතේ 2019 වෙද්දි හෙක්ටයාර් 296 ක ද 2020 දී හෙක්ටයාර් 424 ක ද 2021 දී හෙක්ටයාර් 678 ක ද 2022 වෙනවිට හෙක්ටයාර් 408 ක ද අලුතින් තේ වගා කර තිබුණි.
මෙවැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වුවද තේ කර්මාන්තයෙහි ඵලදායීතාව හා තරගකාරීත්වය ඉහළ නංවා ගැනීමට ප්‍රමාණවත් අවධානයක් යොමු ව ඇති බවක් පෙනෙන්නට නැත. තේ කර්මාන්තය දියුණු නොවූයේ එබැවිනි. එහෙත් තේ නිෂ්පාදනය කරන සෙසු රටවල් එම අංශ දියුණු කර ඇත.
කසළ තේ කලවම් කර තේ අපනයනය කිරීමේ සිදුවීම් සම්බන්ධ විස්තර පසුගිය කාලයේදී අසන්නට ලැබිණි. ප්‍රමිතියකින් තොරව නීත්‍යනුකූල ක්‍රමවලින් බැහැරව තේ අපනයනය කරන විට එමගින් රටේ අපනයන කටයුතුවලට දිගුකාලීනව බලපෑම් එල්ල විය හැකිය. එයින් රටේ ප්‍රතිරූපයට ද හානි පැමිණේ. මෙවැනි කටයුතු දැඩිව පාලනය කිරීමත් ඒවාට සම්බන්ධ අයට දැඩි දඬුවම් පැමිණවීමත් අවශ්‍ය වේ.