ආණ්ඩුව ඇතුළේ මොකද වෙන්නේ? ඡන්ද තියන්නේ කවදාද? මේ ඒ සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා සමග කළ සාකච්ඡාවක්.
ප්‍රශ්නය:- පොල් මිල, හාල් මිල බැලුවම ‘පොල් සම්බෝලයි බතුයි කන්නවත් බෑ’ කියලා තමයි ජනතාව කියන්නේ.
පිළිතුර:- මිනිස්සු කියන දේ ඇත්ත. අපි මිනිස්සු කියන දේ පිළිගන්නවා. ඒ වගේම මේ තත්ත්වය ඇති වුණේ ඇයි කියලා හිතන්න වෙනවා. එක පාරටම පොල් ඵලදාව අඩු වුණාද? එහෙම නැත්නම් අපි මෙතැනට ආවේ කොහොමද? ඒ වගේම අපි අපේ වගකීම හරියට ඉටු කරලා තියෙනවද කියලා බලන්න ඕන.
ප්‍රශ්නය:- අපේ වගකීම කිව්වේ?
පිළිතුර:- මෙහෙමයි. හැම ගෙවත්තකම පොල් ගහක් හිටවා ගන්න කියලා රජයත් දිගින් දිගටම කිව්වා. නමුත් ඒක වුණේ නෑ. ඒ වගේම අත්තනෝමතිකව පොල්ගස් ටික කපලා පොල්වතු ටික වෙන දේවල්වලට පාවිච්චි කළා. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ තාක්ෂණය යටතේ පොල් ඵලදාව වැඩිකර ගැනීමක් වුණේ නෑ. දැන් ඕවා පටන් ගත්තා කියලා මේ මොහොතෙම ප්‍රතිඵල ගන්නත් බෑ.
ප්‍රශ්නය:- ප්‍රශ්නයත් ඒකම තමයි. මේ මොහොතේ රටේ ජනතාව මුහුණ දීලා තියෙන ප්‍රශ්නයට ආණ්ඩුවට තියෙන උත්තරය මොකක්ද?
පිළිතුර:- පැහැදිලිවම ආණ්ඩුව හැටියට ඒ ප්‍රශ්නය ආවට පස්ෙස් හාල් පිටරටින් ගෙන්වීම සඳහා රජය තීන්දුවක් ගත්තා. එතැන දෙපැත්තක් තියෙනවනේ. එක පැත්තකින් ගොවියා බේරාගන්න ඕනෑ. අනෙක් පැත්තෙන් පාරිභෝගිකයා බේරාගන්න ඕනෑ. රජයක් විදියට මේක බොහොම සමබරව කළ යුතු කාර්යභාරයක්. ගොවියා බේරාගන්න රටලූනු වලට බද්දක් දැම්මම පාරිභෝගිකයට යම් ප්‍රශ්නයක් එනවා. නමුත් අපේ ගොවියා විනාශ වුණොත් රටට වෙන හානිය ගැන හිතලා තමයි ජනාධිපතිතුමා වහාම ගොවියන් ගැන හිතලා රට ලූනුවලට බද්දක් දැම්මේ. එතකොට බතුයි පොල් සම්බෝලයි නැතිව ලංකාවේ මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑනේ. ඒ නිසා හාල් පිටරටින් ගේන්න තීන්දු කළා. ළඟදීම ඒ හාල් ටික එනවා.
ප්‍රශ්නය:- එතකොට පොල්වලට?
පිළිතුර:- පොල්වලට අපි සෙස් බද්දක්වත් දාලා අවශ්‍ය සහනාධාර දීලා පොල් වගාවට ඵලදායිතාව වැඩි භෝග හඳුන්වලා දීලා ඒ වැඩ කටයුත්ත ආරම්භ කරලා තියෙන්නේ. ඒක දීර්ඝ කාලීන වැඩ කටයුත්තක්.
ප්‍රශ්නය:- නියඟය තියෙන පළාතේ ජනතාව තුන් වේලෙන් එක වේලයි කන්නේ කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාවක් නිකුත් කරලා. පෙරදිග ධාන්‍යාගාරය අද ලංකාව දකින්නේ සෝමාලියාව වගෙයි.
පිළිතුර:- මෙහෙමයි. අපි කනගාටු වෙනවා රජය විදියට. ඇත්තටම මේ රෙට් ඒ වගේ තත්ත්වයක් ඇතිවිය යුතු නෑ. එක වේලක් කාලා ඉන්න රටක් විය යුතු නෑ. ඒ වගේම නියඟය නිසා මේ තත්ත්වය ඇතිවෙච්ච පළමු අවස්ථාවත් මේක නෙවෙයි.
ප්‍රශ්නය:- ඒ නිසා ප්‍රශ්නයක් නෑ.
පිළිතුර:- නෑ නෑ මම කියන්නේ එහෙම දෙයක් නොවෙයි. මම මේ ඒ තත්ත්වය සාධාරණීකරණය කරනවා නොවෙයි. හැබැයි අපි රට හැටියට ගත්තාම හොඳක් වෙච්ච තැනුත් තියෙනවා. නමුත් අද පත්තරේ ආකර්ෂණය තියෙන්නේ එක වේලක් ඒ පළාතේ මිනිස්සු කනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන ප්‍රවෘත්තියයි.
ප්‍රශ්නය:- ප්‍රශ්නය තියෙන්ෙන් අපේ රජය ඒක නොදැන සිටීමයි.
පිළිතුර:- ඔබ කොහොමද ඔහොම කියන්නේ? එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්න කලින් අපේ නිලධාරීන් දේශපාලන අධිකාරිය මේ තත්ත්වය දැනගෙන රජය හැටියට අපි පිළියම් යොදන්න පවා පටන් අරගෙන තියෙන්නේ. නමුත් කවුරුවත් කියන්නේ නෑ සමෘද්ධිය ලබන මට්ටමෙන් ඉහළින් ලක්ෂ ගානක් උඩට ඇවිල්ලා කියලා. එහෙම කියන්නේ නැහැ. මේක තමයි තත්ත්වය.
ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුවේ ඔබලා නිතරම කියනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර මාධ්‍ය නිදහස ලබා දුන්නා. විවේචනය කිරීමේ අයිතිය තියෙනවා. රටේ ජනතාවට කොහොම වෙතත් ඇමැතිවරුන්ටත් කතා කිරීමේ නිදහස නෑ. කතා කළොත් ඔවුන්ව දොට්ට දානවා.
පිළිතුර:- රජයේ ඇමැතිවරු කිව්වම අපිත් ඇමැතිවරුනේ. අපි අපේ අදහස් ඒ අවශ්‍ය තැන්වල බය නැතිව කියනවා. රජයේ ඇමැතිවරු කතා කළා කියලා එළියට දාලා නෑ.
ප්‍රශ්නය:- එතකොට අරුන්දික ප්‍රනාන්දු එළියට දැම්මේ?
පිළිතුර:- තමන්ටත් විනයක් තියෙන්න ඕනෑ නේ. කතා කළ යුතු තැන් තියෙනවා. කතා නොකළ යුතු තැන් තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනෑනේ. රටක් ඉදිරියට යන්න නම් විනයක් තියෙන්න ඕනෑ. පක්ෂයක් ඉදිරියට යන්න නම් විනයක් තියෙන්න ඕනෑ. ඉතින් ඒ විනය කියන එක තම තමනුත් කල්පනා කරන්න ඕනෑ. පක්ෂයත් කල්පනා කරන්න ඕනෑ. රටත් කල්පනා කරන්න ඕනා.
ප්‍රශ්නය:- ඔබ අරුන්දික ගැන කතා කළේ නෑ. ඔහු කරපු වැරැද්ද ආණ්ඩුව විවේචනය කිරීමයි.
පිළිතුර:- නෑ. ආණ්ඩුව විවේචනය කරපු පලියට අයින් කරනව නම් අපි ඔක්කොම අයින් කරන්න ඕනෑ. අපි අවශ්‍ය කරන අවස්ථාවලදී ආණ්ඩුව විවේචනය කරනවා. අපි විතරක් නොවෙයි ජනාධිපතිතුමත් සමහර අවස්ථාවලදී රජය විවේචනය කරනවා. එහෙම හේතු හින්දා කවුරුවත් අයින් කරන්නේ නැහැ. අරුන්දික ප්‍රනාන්දු මහත්තයාගේ හදවතට තට්ටු කරලා බැලුවොත් ඇයි අයින් කළේ කියලා අන්න ඇත්ත කියයි.
ප්‍රශ්නය:- ඔබ කියන්නේ අරුන්දික ඉවත් කිරීම සාධාරණයි?
පිළිතුර:- මං කියන්නේ කවුරුවත් අයින් කරන්න අවශ්‍ය නෑ. අපි කරන්න ඕනෑ අයින් කරන එක නෙවෙයි. එකතු කරගන්න එකයි. හැබැයි ඉතින් පක්ෂයක් විදියට විනයක් අවශ්‍යද නැද්ද? එදා මංගල සමරවීර මහත්තයයි ශ්‍රීපති සූරියආරච්චි මහත්තයයි අයින් කළා මතකද? එතකොට අනුර බණ්ඩාරනායක මහත්තයා අයින් කළා මතකද? අනුර බණ්ඩාරනායක මහත්තයා කියන්නේ පක්ෂයේ නිර්මාතෘවරයාගේ පුතා. ඒක හින්දා පක්ෂයක තීන්දු තීරණ ගැනීම අවශ්‍ය වෙලාවට නායකත්වය සිදු කළ යුතුව තිෙබනවා.
ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියනවා ‘කිසිම රණවිරුවෙකුට අත තියන්න දෙන්නේ නැහැ කියලා. නමුත් කැබිනට් ඇමැතිවරයකු වූ සරත් ෆොන්සේකා කියනවා ‘ජගත් ජයසූරිය යුද අපරාධ කළා කියලා.
පිළිතුර:- පාර්ලිමේන්තුවේ කැබිනට් එකේ විවිධ බුද්ධි මට්ටම් තියෙන මිනිස්සු ඉන්න පුළුවන්. රාජ්‍ය තාන්ත්‍රික භාවය විවිධාකාරයට තේරුම් ගත්ත මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි රෙට් තත්ත්වය, රජයේ මතය ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. අමතක කරන්න එපා මර්වින් සිල්වලාත් කැබිනට් මණ්ඩලවල ඉඳලා තියෙනවා.
ප්‍රශ්නය:- උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් යුද අපරාධ වුණ බවට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන්නේ සරත් ෆොන්සේකාගේ ප්‍රකාශ.
පිළිතුර:- සිවාජිලිංගම් වගේ මේ රටේ අද ඇතිවන සංහිඳියාව විනාශ කරන්න හදන අතළොස්සක් උතුරේ මහ ඇමැතිලා වගේම දකුණෙත් ඉන්නවා. අපි රටක් හැටියට හිතන්න පුරුදු වෙන්න ඕනෑ. අපි අවුරුදු 30 ක් බැට කෑවා. අපේ තරුණෙයා බැට කෑවා ත්‍රස්තවාදය නිසා. අද මේ රටේ ත්‍රස්තවාදය නැවත ඇති කරන්න උත්සාහ කරනවා නම් ඕනෑම අයකු අනවශ්‍ය කතා කියලා ඔහු මේ රටේ රාජ්‍ය ද්‍රෝහියකු ලෙස නම් කළ යුතුයි. ඔහු දෙමළ ද සිංහල ද වෙනත් ජාතිකයකුද කියන එක නොවෙයි එවන් කතා කරන උදවිය ඒ අාකාරයට හැඳින්වීම අපි රටක් විදියට ජනතාව පෙළගැස්සවිය යුතුයි.
ප්‍රශ්නය:- නමුත් මේ ප්‍රකාශය ගැන කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. විජයදාස රාජපක්ෂ ඉවත් කරන්න කියලා එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විශාල සටනක් කළා. නමුත් සරත් ෆොන්සේකාට එරෙහිව කවුරුවත් කතා කරන්නේ නැහැ.
පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නොවෙයි ෆොන්සේකා.
ප්‍රශ්නය:- නමුත් ඔහු ඔබත් ඉන්න කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක්?
පිළිතුර:- ඒක තමයි මේ ආණ්ඩුවේ පක්ෂ දෙකක් තියෙනවනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය ආරක්ෂා කිරීම සඳහා තීන්දු අරගෙන තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි අභීතව කියනවා පහුගිය මහ මැතිවරණයේදී මේ ඡන්ද ක්‍රමය යටතේ අපේ හතර දෙනෙක් හිටිය ඉහළින්ම දිනන. ඒත් ඒ හතර දෙනාට අපි නාම යෝජනා දුන්නේ නැහැ.
ඒ වගේම අපේ ඇමැතිවරුන් අපිත් එක්ක ඉන්න 41 පහුගිය අවුරුදු දෙක තුළ කාටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් විදියට නොවෙයි කටයුතු කරලා තියෙන්නේ. හොඳම උදාහරණය අරන් හිතන්න මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැතිතුමා. එතුමගේ එදා හැසිරීම හා අද හැසිරීම කොහොමද? පක්ෂයේ විනයක් ඇතිවෙලා තියෙනවා. අපේ කණ්ඩායම රටේ ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයට ඉඳලා තියෙනවා. අනෙකුත් දේශපාලන පක්ෂත් මෙම විශ්වාස කරනවා තමන්ගේ තීන්දු තමන් ගන්න ඕනෑ. ඒකයි ජනතාවගේ බලාපොරොත්තුව.
ප්‍රශ්නය:- ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා මින් ඉදිරියට නෑ කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති මෛත්‍රීට කිව්වා කියලා ඔබ මාධ්‍යයට කියලා තිබුණ?
පිළිතුර:- නැවත හොයන්නේ නැහැ කියන එක නොවෙයි. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ලංකාවට කිසිම කලබලයක් වෙන්න අවශ්‍ය නැහැ කියලා තමයි ජනාධිපතිතුමාට කියලා තියෙන්නේ.
ප්‍රශ්නය:- බටහිරට ඕනෑ විදියට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනකොට මේ රට අනාගාමික රටක් තරහකොට එහෙම ප්‍රතිඥා ලැබීම ගැන විමතියක් නෑ කියලා ඒකාබද්ධ විපක්ෂය කියනවා.
පිළිතුර:- ඔය කොහේ තියෙන ව්‍යවස්ථාවක් ගැනද ඔය කියන්නේ? එහෙම එකක් නෑ. ආවොත් එන්නේ සියලු දෙනාට පිළිගන්න පුළුවන් ව්‍යවස්ථාවක්. ජිනීවා වාර්තාව අරගෙන බලන්න. ඇමෙරිකා එක්සත් ජනපදය ගැන තියෙන සඳහන් දිහා බැලුවාම ලංකාව ගැන බයවෙන්න දෙයක් ඇත්තෙම නෑ කියලා තමයි එතුමාට කියලා තියෙන්නේ.
ප්‍රශ්නය:- මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා කියලා කිව්වට ඡන්ද තියෙන්නේ නැහැනේ. ඡන්ද කල් දානවනේ.
පිළිතුර:- ඡන්ද තියන්නේ නැත්තේ නැහැ. ජනවාරි මාසයේ පළාත් පාලන ඡන්දය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි. ඒ සඳහා සීමා නිර්ණය අවසන්. තවත් සංශෝධනයක් තිබුණා. ඒකත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකත් එක්ක මැතිවරණ කොමිසමේ සභාපතිවරයට පුළුවන්කම තියෙනවා මැතිවරණ තියන්න.
ප්‍රශ්නය:- නමුත් පළාත් සභා ඡන්දය දින නියමයක් නැතිව කල් ගියා?
පිළිතුර:- දින නියමයක් නැතිව නොවෙයිනේ. ඔබතුමා පනත බැලුවොත් එහෙම තේරෙයි. ඇත්තටම අපි හැමදාම කිව්වේ මොකක්ද? කොට්ඨාස ක්‍රමයට ඡන්දය තියනවා කියලා. මිනිස්සු ඉල්ලුවේ අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මන්ත්‍රීවරයෙක් අවශ්‍යයි කියලා. නමුත් ඒක වුණේ නැහැනේ. හැමදාම කිය කියා හිටියා. අපි බොහොම අමාරුවෙන් ප්‍රාදේශීය සභාවට ඒක ගෙනාවා. දැන් පළාත් සභාවෙත් ඒ වෙනස ඇතිකරන්න මාස 4 යි දීලා තියෙන්නේ. සීමා නිර්ණය පනතට අනුව සීමා නිර්ණය අවසන් කරන්න තියෙනවා. ඒකට සීමා නිර්ණ කමිටුව පත්කරන තීන්දුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ නිසා නියමිත කාලයේදී පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන්.
ප්‍රශ්නය:- නමුත් පළාත් පාලන මැතිවරණය නොපවත්වා දැන් අවුරුදු දෙක හමාරක් වෙනවා?
පිළිතුර:- ඒකට හේතුවක් තියනවනේ. පළාත් පාලන ඡන්දෙදි සීමා නිර්ණය කිරීමේදී කොට්ඨාස දහස් ගණනක් තියෙනවා. විරෝධතා වැඩියි. නමුත් පළාත් සභා ඡන්දයට එච්චර කොට්ඨාස ප්‍රමාණයක් නෑ. ඒ නිසා එච්චර කාලයක් ගතවෙන එකක් නැහැ.
ප්‍රශ්නය:- ඒ පනත සම්මත කර ගත්තොත් සියලු පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උල්ලංඝණය කරල?
පිළිතුර:- ඒ කියන්නේ මොකක්ද? එහෙම දෙයක් වෙලා තියෙනවා නම් එහෙම කියන අයට උසාවි යන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සම්මත වෙන දේ තමයි මේ රටේ නීතිය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත තියෙනවා නම් මේ රටේ ඉහළම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්. ඉහළම බලාපෙරොත්තු වන ඒකමතිකයට අනුව තමයි මේ සංශෝධනය කරලා තියෙන්නේ.
ප්‍රශ්නය:- පිටු දෙකයි ඡේද තුනක පනතකට පිටු 42 ක සංශෝධන ගෙනාව?
පිළිතුර:- නෑ නෑ... පිටු 42 ක සංශෝධන ගෙනාවේ නැහැ. කවුද කියන්නේ?
ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය එහෙම චෝදනා කරනවා?
පිළිතුර:- ඒකාබද්ධ විපක්ෂය හොඳින්ම දන්නවා. ඒකාබද්ධ විපක්ෂෙ අපේ සහෝදරවරුන්. මේ ඇත්තටම දිනේෂ් ගුණවර්ධන මේ කොට්ඨාස ක්‍රමය ඇති කළ යුතුයි කියලා තීන්දු කළේ එතුමාගේ කමිටුවනේ. එතකොට මොකක්ද මේ පිටු දෙකේ තියෙන්නේ. පළාත් සභා මැතිවරණයත් කොට්ඨාස ක්‍රමයට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා යෝජනා කරපු ආකාරයට පැවැත්විය යුතුයි කියන එකයි. ඇයි ඒකට විරුද්ධ වෙන්නේ. ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනසක් නොවෙයිද ඒක.
ප්‍රශ්නය:- ඔබට අනුව ඒ සංශෝධනයේ පිටු කීයද?
පිළිතුර:- පිටු ගණනනම් මට මතක නෑ. ඔය ඔබ කියන තරම් නම් පිටු තිබුණේ නෑ. එකම සංශෝධනයයි තිබුණේ. කොට්ඨාසය සමානුපාතික ක්‍රමයට මිශ්‍ර ක්‍රමයකට දිනේෂ් ගුණවර්ධන කමිටුව විසින් යෝජනා කරන ලද ක්‍රමවේදය අනුව ප්‍රාදේශීය සභා විතරක් නොවෙයි පළාත් සභා මැතිවරණ පැවැත්වීම. අපේ ඉල්ලීම පාර්ලිමේන්තුවත් ඒ ක්‍රමයටම ඡන්දය තිබිය යුතුයි කියලයි. ඒකාබද්ධයෙ ඉන්න කණ්ඩායමයි අපි සියලු දෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙන්න ඒකමතිකව එකඟ වුණේ 20 වැනි සංශෝධනය ගෙනැල්ලා පාර්ලිමේන්තුවේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියන පොරොන්දුවක් අරගෙන. ඒ මතෙය් තමයි අපි ඔක්කොම හිටියේ. දැන් මේකට මෙහෙම විරුද්ධ වුණේ ඇයි කියලයි මට හිතාගන්න බැරි.
ප්‍රශ්නය:- සෝභිත හාමුදුරුවන්ගේ අාදාහන උත්සවයේදී ජනාධිපති මෛත්‍රී බොහොම පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා. නමුත් ශ්‍රී ලංකා එක දැන් කියනවා විධායක බලතල අවශ්‍යයි කියලා?
පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහොම පැහැදිලිව කියන්නේ රටේ අනාගතය. අපට හැමදේටම වැඩියෙන් මේ රට ලොකුයි. අපේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්න නම් බලතල බෙදීමත් එක්ක මේ රටේ ජාතික ආරක්ෂාව ඇතුළු විශේෂ කාරණා සම්බන්ධයෙන් තීන්දු ගත හැකි ජනතාව විසින් පත් කරපු විධායක ජනාධිපතිවරයෙක් සිටිය යුතුයි. හැබැයි විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල කපාහැරිය යුතුයි කියලා තීන්දු කරලා ඒ වෙනුවෙන් ඡන්දය දීලා ඒ වෙනස කරලත් තියෙනවා. මල්වතු-අස්ගිරි මහා නායක හාමුදුරුවරු මොකද කියන්නේ? මේක සිංහල බෞද්ධ රටක්. අනෙකුත් ජාතීන් සමග සමාදානයෙන් ජීවත්විය යුතුයි.’ කියලයි. අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංචවිධ බලවේගයත් එක්කයි. අපි මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනාවලට ඇහුම්කන් දීලා රෙට් අනාගතය ඒකීය භාවය පිළිබඳව ෙත්රුම් අරගෙන බුද්ධාගමට තියෙන තැන අාරක්ෂා කරමින් අනෙකුත් ජාතීන්ට ආගම්වලට නිසිතැන දීමේ බලාෙපාරොත්තුව ඇතිව මේ රට ගෙනියන්න නම් විධායක ජනාධිපතිවරයෙක් සීමාසහිත බලතල සහිත ජනාධිපතිවරයෙක් සිටිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ.
ප්‍රශ්නය:- ආණ්ඩුවෙන් තවත් ඇමැතිවරු ඉවත්වෙන බව ආරංචියි?
පිළිතුර:- මම හිතන්නේ නැහැ. යනවා නම් තනි තනිව කවුරුවත් යන්නේ නැහැ. යන්නේ පක්ෂයක් හැටියට විතරයි.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්